අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාවේ මා දැකි අනගිතම ගෘහස්ථ රඟමඬල

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2012

සිනමා ශාලාවලට යෑම කෙමෙන් කෙමෙන් අඩු වී ගොස් ලොව වටා ජනයා සිනමාවත්, ටෙලිනාට්‍යයත් ගෙදර දී ම නැරඹීම සේ ම පරිගණක ක්‍රීඩාවන් ද ගෙදර දී ම සෙල්ලම් කරන්නට ඇති කැමැත්ත වැඩි වෙමින් පවතී.

අකුරැස්ස පාරේ පිලාන හංදියට නුදුරින් වූ මේ සුවිශේෂී ගෘහස්ථ රඟමඬල නිම කර ඇත්තේ පින්තූරයේ පෙනී සිටින සරත් අතපත්තු නැමති දක්ෂ කැටයම් ශිල්පියා විසිනි. ඇම්බැක්කේ කැටයම් කලාවෙන් පෝෂිත වී හැදුණු මෙය ලංකාවේ මා දැකි අනගිතම ගෘහස්ථ රඟමඬල යැයි කියත හැකිය.

******
2012 මාර්තු 3 වැනිදා එකතු කරන ලදි:

මදැයි! උදේ නැඟිට්ට ගමන් ඔක්කොම ප්‍රතිචාර කියවමින් හිනාවෙන්න ගිහින් තව පොඩ්ඩෙන් නිදාගෙන හිටිය ඇඳෙන් බිමටත් වැටෙනවා!!!

කෙටියෙන් සටහන් ලිවීම දිග සටහන් ලියනවාට වඩා මට හොඳයි යැයි කිව්වාට, දාර්ශනික දේ ලියනවාට වඩා සරල දේ ගැන සටහන් ලිවීම මට හොඳැයි කිව්වාට, “අන්න හඳ කියද්දී ඇඟිල්ල දිහා බලනවා” යැයි මට කිව්වාට, කෙටියෙන්, සරල දෙයක් ගැන ලිව්වාම ලැබෙන වැඩිපුර ප්‍රතිචාර මේවා ද?!!!!!

මෙන්න සංසන්දනය කරන්න “මිලිතත්පර 500ක යශස” සටහනේ දී මා දැමූ ඇමෙරිකන් ගෘහස්ථ රඟමඬලක පින්තූරයක්; ඒකට එහෙම කියන්න කැමත්තක් නැත්නම් ඔය පහත ප්‍රතිචාර වල දාලා තියන තමන් කැමති නම් වලින් ඕන එකක් යොදා ගන්න.

මෙම ගෘහස්ථ ස්ථානය රඟමඬලක් කරගන්න බැරි හිතන්න බැරි අයට විතරයි! මට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරයෙක් වන ගාමිණී හත්තොටුවේගම අද ජීවතුන් අතර හිටියා නම් එයා මෙතැන නාට්‍ය්‍යක් වුනත් රඟදක්වන්නට සමත් වෙයි!!!

ඒත් ඇයි රසවින්දනයට සිනමාව, ටෙලිනාට්‍ය හෝ සජීවි නාට්‍යය වල පමණක් හිරවෙන්නෙ? ඇයි පරිගණක ක්‍රීඩාවේ යෙදීමෙන් විනෝදාශ්වාදයක් ලැබෙන්නෙ නැත් ද?

ටිකක්, සරල ව ලිව්වාම ඉතිරිය හිතාගන්න මොළය වෙහෙසන්න අකමැති අය සිංහලෙන් කියවන්නෝ අතර වැඩියෙන් ඉන්න නිසාම වෙන්නැති මාත් දිගින් දිගට, නුහුරු දේවල් ගැන වැඩි විස්තර ඇතුව ලියන්න හුරු වෙලා ඇත්තෙත් :D

වයිරස් බිය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 28, 2012

කුඩා කාලය ගැන කියද්දී “කමිස අතෙන් නැහැය පිස දමමින් ගිය කාලේ” යැයි අපි කැම්පස් සිටි කාලයේ දී කියුවෙමි. ඒ තරමට පාසැල් ගිය කාලයේ දී අපිට හෙම්බිරිස්සාව උණ හැදුනානේ.

මේ වයිරස් බියක් ඇති වූ පියෙක් ගැන පුවත්පතක වූ ප්‍රවෘත්තියක්. එවපු යාළුවා ගෙන් මම ඉල්ලුවා පුවත්පතේ නම සහ දිනය. ඒවා ලැබුනාම ඒවත් ඇතුල් කරන්නම්. මේක දැක්ක කෙනෙක් ඉන්නවා නම් ඒ පත්‍රයේ නම සහ දිනය එවන්න.

ලංකාවට පරිගණක ගෙනා මුල් කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඒවා තැබි කාමරය හා ඊට ඇතුලත් වූ පිළිවෙත් දුටුවා නම් මේ පියාගේ බිය තවත් වැඩිවෙනවා.

තේරේ ඝර් කේ සාම්නේ …

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2012

… එක් ඝර් බනාඌංගා තේරේ ඝර් කේ සාම්නේ …

ඉන්දියාවේ දෙයියො අගය කළේ නැතිවුනාට මම ඉන්දියාවේ හින්දි සංගීතය රසවිඳින්න කැමැතියි. ඉතින් ඊයේ ගියා සුවිශේෂී හමුවකට. ඒ පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ හින්දි ගීත ප්‍රසංගයකට. සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ බිෂෝප්ස් විද්‍යාලයේ වුවත් ඊයේ පැවතියේ කොළඹ මහජන පුස්තකාල දේශනාගාරයේ.

මේක ප්‍රියන්ත ගමගේ විසින් පටන් ගන්නා ලද්දක්. 2012 ට 10 වසරක් පිරෙන උත්සාහයක්.

හරියට මුහුණුපොත වගේ ම තමයි, කිසිවිටෙක එහි රසාස්වාදය ලබන්නාගෙන් අය කිරීමක් නැහැ.

ප්‍රසංගයේ ගී ගැයූ අය වගේ ම ප්‍රෙක්ෂකයන් අතර ද ගී ගයනා දක්ෂයන් සිටින බවත් හින්දි භාෂාව අගයන සෑහෙන පිරිසක් රැස් ව සිටි බවත් දැකගන්නට ලැබුණා.

ඉතින් පැරණි හින්දි චිත්‍රපටි ගීත රසික සමාජයට එකතු වෙන්න කැමති අයට පුළුවන් නො. 93/30, ප්‍රගතිපුර මාදිවෙල, කෝට්ටෙ වෙතින් තොරතුරැ ලබාගන්න. දුරකතනය 2778649/0718293411

සංගීතය බෙදාහරින්න සහායට ගත්ත පැරණි භාණ්ඩ ප්‍රදර්ශනයක් සහ පැරණි සඟරා තොගයකුත් දකින්න ලැබුණා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භව්‍ය භාෂා අංශයේ අන්ධ මහාචාර්ය විමල් වීරක්කොඩි ඉදිරිපත් කළ එකෝඩියන් වාදනය ඉතා අගෙයි. එකෝඩියන් එකක් දැක්කෙ ගොඩ කාලෙකට පස්සෙ.

ආපු දවස්වල ම ගිහින් ආනන්ද විද්‍යාලය ඉදිරිපත් කරන ප්‍රශස්ති බලන්නත් ලැබුණ. පරණ පුරුද්දට තමා කොළඹ පිරිමි ඉස්කොල වලින් ඉදිරිපත් කරන වැඩසටහන් බලන්න හිතුනෙ. පිටිපස්සෙ හිටපු ගැටවර වයසේ කොළු පැංචෙක් සංගීතය හමුවේ දාපු රංගනය අනිත් අය පරදවන දක්ෂතාවයක් ඉස්මතු කළා. කොල්ලාව ඇමෙරිකාවට එක්කන් ගියා නම් ඊ ළඟ ඇමෙරිකන් ඩාන්සින් ස්ටාර් වෙනවා ෂුවර්!

පාසැල් සංගීත කණ්ඩයාම් ඉතා දක්ෂ ලෙස සංගීතය සැපයුවත් වැඩි අවධානය අනවසරයෙන් ඇදී ගියේ දාලා තිබිච්ච ලයිට් ෂෝ එකට. හරියට පාවිච්චි කරපු කාර් සේල් තැනක වගේ දාපු ඒ ලයිට් නැත්නම් ප්‍රසංගය තවත් රසවිඳින්න තිබ්බා.

නිසි අයට තුති පුද කරන එකිනෙකාගේ වර්ණනා කියා ගැනීම් නම් මේ අවස්ථා දෙකේ ම පමණට වඩා වැඩි යැයි සිතුණා. මම කරපු කියපු දෙයකට ඒ වගේ සභාවක් ඉදිරියේ ස්තූති කරන්න පටන් ගත්තා නම්, මම ආයෙත් ඒ වගේ වැඩක් නොකර ඉන්න තරමට ලැජ්ජා වෙනවා.

මා ගත්ත පින්තුරයට වඩා හොඳ පින්තූරයක් මට එව්ව එක්කෙනාට ස්තූතියි.

දෙයියෝ වැඩිවෙලා එක් අයකුගේ වත් පිහිටක් නැද්ද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 24, 2012

හඳට ගිය ඇමෙරිකන්කාරයා දෙවියන්වහන්සේ විශ්වාස කිරීම ලෝකයේ මහත් පිරිසක් නිතර හුවා දක්වන කාරණයකි.

ජපානයට ගිය මම එහි දී හංදියක් පාසා ඇති රූ ලාවන්‍ය සඳහා වූ කඩ හා හරි හරියට ඇති ජපන් පන්සල් දුටිමි. කන්නට පෙර බත්පතට වැඳීම හිරෝෂිමා විශ්ව විද්‍යාල කැෆටේරියාවේ දී බොහෝ සිසු සිසුවියන් අතර දැකිය හැකිවිය. ජපන් සමාජය නොයෙකුත් ඇදහිලි හා විශ්වාස වලින් පිරුණකි. මඟතොට දී දකිනා ෂින්ටෝ ඇතුළු තවත් දහම් අදහන පන්සල් වල ජනයා සතියේ දිනවල දහවල් කාලයේ දී ගැවසෙන ආකාරය ද දකිනු හැකිවිය.

ජපානයේ මෙන් ලංකාවේ ද රූ ලාවන්‍යය සඳහා වූ කඩ බහුල ය. මා හිතුවේ Chopping Bloc නමින් වූ ස්ථානය මස් කඩයක් යැයි කියාය!!!!

ඇමෙරිකන්කාරයා අනුගමනය කරමින් හඳට යන්නට අද චීන්නුන්ට මහත් උවමනාවක් ඇත.

දෙවියන්වහන්සේ විශ්වාස නොකරන රටකින් ගගනගාමීයෙකුට කවදා හෝ හඳට යන්නට හැකිවනු ඇත් ද?

තවත් විදියකින් ඇහැව්වොත්, දෙවියන් අදහන්නේ නැති අය ඉන්නා රටක් සොයාගත හැකි ද?

නැත්නම් කිසිම දෙයියෙක් විශ්වාස නොකරන 16% ක ඇමෙරිකානුවන් ඉන්නා විට හඳට ගිය ඇමෙරිකන්කාරයා දෙවියන්වහන්සේ අදහනවා යැයි විසුළු කරන අනිත් රටවල් වල දෙයියෝ වැඩිවෙලා නිසා ඒ දෙවියන් අතරින් එක් අයෙකුගේ වත් පිහිටක් පුරවැසියාට නැද්ද?

ජපානයේ බස් ටිකට් එකේ මිල වැටෙන තැන ලංකාවේ බස් රථයක මෙසේ දිස්විය. ඒ බස් රථයේ ම “…මඟීන්ටද…” යැයි ද සඳහන් වී තිබුණි. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර ඇතිව ගමන් කරන මඟීන්ටත් දඩ මුදලක් ඇති බව නේද?!!!!

කොයි දෙයියන් යටතේ ද ඊයේ රෑ දොළහට රුපියල් පහකින් මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බාරකාරත්වය තිබ්බේ?

මිය යන්නට පෙර මා යළි හමුවේවා යැයි වසර ගණනාවක් තිස්සේ සායිබාබා හමුවේ පැතූ යෙහෙළියකගේ ප්‍රාර්ථනාව අද ඉෂ්ඨ වී ඇත. ඇය ඊට තුති පුදකරන්නට යද්දී මා ද කැටුව යන්නට අපේක්ෂා කරන්නීය. මුහුණුපොතට තෙවරක් වැඳ වැඩ පටන් ගත යුතු ද?!! නැත්නම් අනේ අපොයි, මාර්ක් සුකර්බර්ග්ට වඳින්නට ආපසු ගිය ගමන් මා නිව්ජර්සි යා යුතු ද?!!!!

සමහර ස්ථාන එදා මෙන්ම සුන්දර ය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 23, 2012

සමහර ස්ථාන ටික කලකින් බෙහෙවින් වෙනස් වී තිබිය ද සමහර තැන් නම් එදා මෙන් ම සුන්දර ය. එදා යැයි කියන්නේ වසර 25 කට පමණ පෙර අතීතයකට දිව යන මතකයකි!!!

ආයෙත් ලංකාවට ආවා. අර රහ බලල යන්න බැරිවෙච්ච කොත්තු රොටි වලට ම නෙමෙයි හැබැයි!!!

ලංකාවේ ප්‍රමුඛ පෙලේ අවන්හලක් හැටියට තිබිච්ච තැනක 2007 දී සතුටු සන්ධ්‍යාවක් ගෙවන්න ලැබුණ. පරිසරය මිහිරි කළේ ලාංකික පියානෝ වාදකයෙක්. සුද්දෝ ඇරුනාම මම නම් වූ කළු සුද්දිත් ගිහින් එයාගේ ටිප් බන්දේසියට නෝට්ටුවක් දාලා ආවා ඇමෙරිකාවේ පුරුද්දට. කෑම කොච්චර රස ද කිව්වොත් සාමාන්‍යයෙන් බඩ පිරෙන්න කළින් කෑම නතර කරන මමත් බඩ පිරෙන්නම කෑවා.

ඒ මෙතැන.
ඉතින් ඊයේ පෙරේදා දවසක ආයෙත් එතැනට ගියා අර රසවත් සැන්දෑවේ මතකය නිසාම. අපොයි මේ කොහෙද වැරදිලා වෙන තැනකට ආවා ද කියල තමා හිතට ආවේ.

කෑම යුරෝපීය ද නොවේ, ලාංකික ද නොවේ. මොකක් ද අමුතු මිශ්‍රණයක්. වේටර් මහත්තයා ඇවිත් හැඳි ගෑරුප්පු එහාට මෙහාට කළා කිහිප සැරයක්ම, අන්තිමේ දී ඕවා ඔහොම අතගාන්නෙ නැහැ කියල කියන්නත් සිද්ධ වුනා මට.

කුශලාත්මක ප්‍රතිශ්ඨාව (meritorious consideration) නොහොත් කුශලතාවයන්ට තැන දීමෙන් (meritocracy) මිසක් රටක් රාජ්‍යයක් දියුණු වෙන්නෙ නැහැ යැයි කියූවේ චීනයේ විසූ මහා දාර්ශනිකයා කොන්ෆියුසියස්.

“ඥාත්‍යානුග්‍රහය (nepotism) සහ රාජානුග්‍රහය වෙනුවට එදා චීනයේ වූයේ කුසලතාවයට තැන දීමෙන් ආණ්ඩුවේ තනතුරු තීරණය වන ක්‍රමයකි.”

කොතැන ගියත්, මොන අභියෝගයක් ඉදිරියේ වුවත් අපේ විනෝදය අඩු නොකර ගන්න අය නිසා වෙන්නැති අපි කාලා බීලා ඉවර වුනාම මෙන්න ගෙනාපි හොඳ නරක ලියන්න කොළයක්! මේකෙ අපි දැක්ක දේවල් ලිව්වොත් ඔයාලගෙ රස්සාවල් නැතිවෙනවා ඒ නිසා ලියන්නෙ නැහැ හොඳේ කියලා එතැනින් මාරු වුනා.

ඒත් සමහර ස්ථාන එදා මෙන් ම සුන්දරයි. කළින් කිව්වා වගේ වසර 25 කට පෙරත් ඒ අතර තුර කාලයේ ලංකාවට එන සෑම අවස්ථාවක දී ම පබ්ලිස් සූපවේදියාගේ ආහාර වට්ටෝරුවක් රස විඳින්න අමතක කරන්නෙ නැහැ.

කියලා වැඩක් තියෙනවා!!! තාමත් එදා වගේ ම රසයි. තැනත් එදා වගේ ම සුන්දරයි.

ජෙනරල් මැනේජර් මහත්තයා ඇමෙරිකාවේ ද සේවය කරලා තියෙන කෙනෙක් නිසා නෙමෙයි ඔන්න එහෙම කියන්නෙ!!!!

බස් කොන්දොස්තරලාගේ රස්සාව නැතිවෙන වැඩක්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 22, 2012

ජපන් බස්වල ටිකට් ගන්න හරි ලේසියි. PASPY නමින් තියෙන බස්, ට්‍රෑම්, ෆෙරී පාස් එකක් ගන්න පුළුවන් ඩ්‍රැයිවර් මහත්තයාගෙන් තමන්ට කැමති මුදල් ප්‍රමාණය අනුව. ඒක පොඩි හතරැස් ඉලෙක්ට්‍රොනික් කෑල්ලකට අල්ලන්නෙ බසයට නඟිද්දී. ඉස්සරහින් බහිද්දී ආයෙත් ඩ්‍රැයිවර් මහත්තයා ළඟ තියෙන ඉලෙක්ට්‍රොනික් කෑල්ලට ඇල්ලුවාම ඒ ගමනෙ ගාස්තුව ඉබේම අඩුවෙනවා.

බස් එක ඉස්සරහා උඩින් දමා ඇති පුවරුවක ඊ ළඟ නැවතුම්පලේ දී බහින කොට ගෙවන්න සිද්ධ වෙන ගාස්තුවත් වැටෙනවා. ජපන් කියවන්න බැරි වුනාට අංක කියවන්න පුළුවන්නෙ.

මේ බස් ටිකට් එක නම් කියවන්න අපහසුවක් නැහැ. ඒත්, මේ බස් ටිකට් එකට හරියටම සල්ලි දුන්නෙ නැත්නම් ඉතුරු ලැබෙන්නෙ නැහැ. ඉතුරු හැම විටම ලැබෙන්නෙ නැතිකොට ඊ ළඟ බස් එකේ දී හෝ හරියට ම සල්ලි දෙන්න මාරු කාසි කෝ?!!!


ඔකොනොමියාකි – お好み焼き

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 21, 2012

ඔකොනොමියාකි කියන්නෙ ජපන් කෑමක්. රසයි. කොයි වගේ ද කියන්න කිව්වම ලංකාවේ සිට පැමිණ ජපානයේ ඉගෙන ගන්න අයෙක් කිව්වෙ කොත්තු රොටි වගෙයි කියල. මම තාම කොත්තු රොටි කාලා නැති නිසා ඒක කොහොම ද කියන්නෙ දන්නෙ නැහැ.

ඔකොනොමියාකි හොයා ගන්න අවන්හල් ඉදිරියේ ගහලා තියන කෑම පිඟන් පින්තූර දිහා බල බල ගියා. අන්තිමේ දී අවන්හලක් ඇතුලට ගිහින් අතේ තිබ්බ සංචාරක විස්තර කොළයේ පින්තූරය පෙන්නලා මේක ගන්න පුළුවන් දැයි ඇහැව්වා.

අවන්හලේ මනුස්සයා “වේට් ප්ලීස්” -කරුණාකර පොඩ්ඩක් ඉන්න- යැයි ඉංග්‍රීසියෙන් කියා ඇතුලට දුවගෙන ගිහින් කුස්සියෙ වැඩ කරන තරුණයෙක්ව එක්ක ගෙන ආවා. එයා අපිත් එක්ක පාර පැනලා වමට හැරිලා, දකුණට හැරිලා වංගුවක් පාස් කරලා, කන්දක් නැඟලා පල්ලම බැහැලා ආයෙත් හැරිලා පුංචි කඩයක් ඇතුලට එක්ක ගෙන ගියා. එයාම තමා කඩයේ අයිතිකාරියට කිව්වෙ අපි ඉල්ලන්නෙ මොනවා ද කියල.

ඔකොනොමියාකි අපි කෑවේ හිරෝෂිමා ස්ටයිල් එකට. ඒ කියන්නෙ තට්ටුවෙන් තට්ටුවට එක එක දේවල් එකතු කරලා හදපු විදියෙන්. මුලින් ම පෑන් කේක් වගේ එකක් දාලා ඊට උඩින් තට්ටු වශයෙන් නූඩ්ල්ස්, ගෝවා ගොඩක්, බේකන්, බිත්තර දාලා අන්තිමේ දී ඔකොනොමියාකි සෝස් එකක් යහමින් දානවා. උඩින් ම දැම්මෙ කොළ පාට කුඩු පාර්ස්ලි වර්ගයක්.

ලංකාවේ ද ඔකොනොමියාකි හදන කෙනෙක් ඉන්නවා. එයා ජපන් කෑම දිවා ආහාරයට ගෙදර සිට පිළියෙල කර විකුණන, ජපානයේ කාලයක් වාසය කර තියෙන මගේ යෙහෙළියක්.

සකේ හදන කම්හලක් බලන්නට ගියෙමි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 17, 2012

මුලින් ම, ඔව්, බීලා බලන්න ඩ්‍රෑම් එකක විතර වීදුරුවකට දාලා නොමිලේ සකේ ටිකක් ලැබෙනවා!

හිරෝෂීමා ප්‍රිෆෙක්ට්චරයේ වන සයිජෝ නගරයේ භූමිගත වතුර ඉතා උසස් යැයි සැලකෙන නිසා එහි සකේ හදන කම්හල් කිහිපයක් තියෙනවා. අපි ගියේ පවුලේ කම්හලකට. එහි අයිතිකාරිය Masako Enomoto වූ අතර ඇය ඇමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියෑටල් නගරයේ කුඩා කාලයේ හැදුණු වැඩුණු බවත් දැනගන්නට ලැබුණ.

සකේ හදන්න අවශ්‍ය සුපිරි වතුර (80% ක්), සුපිරි හාල්, තාක්ෂණික දැනුම, යීස්ට් සමඟ පරිසරය හා කාලගුණයයි (ඒ යීස්ට් වලට පිපෙන්න).

සකේ හදන්න පාවිච්චි කරන ළිඳේ වතුර එයාලා කම්හලෙන් පිටත ඇති තැනක උණ ලී බටයකින් පිට කරමින් කැමති ඕනෑම කෙනෙකුට අරගන්නත් හදා තියෙනවා. සකේ හදන පැත්තේ ඇවිදින්න යද්දී එහෙම වතුර ඇති ළිං තියන තැන්වල සුදු විසිතුරු සැරසිල්ලකින් එල්ලා ඇති කුඩා කොඩි දකින්නට හැකියි.

මේ ඔවුන් හදන සකේ වලට පාවිච්චි කරන ජපානයේ වැවෙන වී වර්ග.

සහල් තම්බන්නෙ Shikomi ටැංකිවල. වතුර දාන්නෙ නැතිව යටින් වැදෙන හුමාලයෙන්.

ඊ ළඟට තම්බපු හාල් වලට එකතු කරනවා යීස්ට්, වතුර සහ koji (aspergillus oryzae) කියන පුස් වර්ගයක්.

තැම්බූ බත් තුනී රෙද්දක් වගේ තලපයක් හදා මෙහෙම එල්ලා වියැලෙනවා. එයින් කෑල්ලක් අපිට කන්න දුන්නා. බත් රහක් තමා තිබ්බෙ.

ඊට පස්සෙ ඒවා පල් කරන්න දානවා භාජන වලට. දවස් 18-32 ක් අතර කාලයක් පල් කරනවා. ඊට නැවතත් හාල්, පුස් වර්ගය සහ වතුර එකතු කරනවා.

අවසානයෙ දී තලපය තදින් මිරිකලා, වතුර වලින් පෙරාගෙන, තව කැමති නම් පළතුරු රස සමඟින් එකතු කරනවා. ඒ තමයි සකේ.

කම්හල පෙන්වලා අවසානයේ (නොමිලේ ලැබිච්ච ටුවර් එක) අපි සකේ බෝතල් දෙකකුත් ගත්තා. උමෙ (Prunus mume) කියන ජපන් පළතුරකින් සමඟින් පෙරපු පැණිරහ සකේ.

ඔව්, සාම්පල් බීලා බැලුවා … පළතුරු දාපු නිසා පැණිරහයි, ගඳක් සුවඳක් ද නැති වූවක්.

Thank You! Ms. Masako Enomoto for giving us a tour of your Saijo Tsuru Sake Brewing Company Ltd.

හිරෝශිමා සාම කටුගෙයි ලාංකික ප්‍රදර්ශන

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 16, 2012

හිරෝශිමා සාම කටුගෙය තුල නන් දෙසින් ජපානයට ලැබි ප්‍රදර්ශනයට තැබූ විවිධ දෑ අතර ලංකාවෙන් තෑගි කරපු අලි ඔසවා ගත් පාත්‍රයක් ද, සාම පණිවුඩයක් ද, දකින්නට ලැබුණි.

අලි ඔසවා ගත් පාත්‍රය තෑගි කර තියෙන්නෙ හේමා ප්‍රේමදාස විසිනි. සාම පණිවුඩය ජේ. ආර්. ජයවර්ධන විසින් ලියන ලද්දකි.

ෆ්ලෑෂ් ගහන්නෙ නැත්නම් පින්තූර ගැනීමට තහනමක් නැත.


කාට ද වැඩියෙන් තියෙන්නෙ?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2012

අහිංසක මිනිස්සුයි මැරෙන්නෙ තමන්ගෙ පාලකයන්ට බලය දුන්නම ඔවුන් කරන වැරදි නිසා!!!

ඉතින් කාට ද වැඩියෙන් තියෙන්නෙ?

Follow

Get every new post delivered to your Inbox.

Join 111 other followers