පුංචිගෙ කොන්ද, නැන්දම්මාගේ කොන්ද සහ මෙග් කොන්ද
මගේ ශිට්ටි පුංචිගෙ (පව් ඉතින් ඒ පවුලේ බාලයා නිසා නම වැටිලා තියෙන්නෙ එහෙම) කොන්ද කැඩිලා. එයාට වයස 70 විතර. ලංකාවේ ඉතින් කරන්න ඔපරේෂන් නැහැලු. වේදනාවට බෙහෙත් බීලා ඉන්නවාලු. මගේ නැන්දම්මාගේ වයස 88 යි. ගිය අවුරුද්දෙ අන්තිම එයාගෙ කොන්ද කැඩුණ. ඇමෙරිකාවේ ඉන්න නිසා එයා දොස්තර ළඟට ගිහින් මැලියමක් ගාලා කොන්දෙ කැඩුණු ඇට තද වෙන්න අලවලා දැන් පොඩ්ඩක් වයස නිසා කුදු වුනාට කොන්ද හොඳයි. ඉතින් ඒ ප්‍රතිකාර ක්‍රමය ලංකාවේ කරන්න කෙනෙක් හොයනවා මේ දවස්වල එතකොට ශිට්ටි පුංචිවත් හොඳ කරගන්න පුළුවන් වෙයි නිසා.
වයසට යනකොට ගැහැණු අයගෙ ඇටකටු වලට හරි කරදර. කුදු වෙනවා, උස අඩුවෙනවා ඊ ළඟට ඇටකටු බිඳිලා යනවා. වයස්ගත ස්ත්‍රියකගේ උකුළු කැඩුණාම වසරක් ඇතුලත මිය යාම සාමාන්‍ය සිද්ධියක් ලෙස වෛද්‍ය විද්‍යාවේ සැලකෙනවා. සාමාන්‍යයෙන් වයස 50 න් පස්සෙ ඒ කියන්නේ කාන්තාවකගේ ඔසප් නැවතීම හෝ රජඃස්තම්භය පටන් ගන්න කොට ඇටකටු දුර්වලකම් පටන් ගන්නෙ.
ඇමෙරිකාවේ කේටී බෙන්හවුසර්ගෙ කතාව වෙනස් එකක්. ඒක බෙහෙතකට හරියන්න ඇටකටු ලෙඩක පරිණාමය සිද්ධ වූ ආකාරයයි. හිතන්න ලෙඩේ ලෙඩක් කියලා දැනගන්න කළින් ඒකට බෙහෙත් කරන්න බෙහෙතක් හදපු එක ගැන!
1992 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ Osteoporosis විශේෂඥයෝ පිරිසක් රෝමයේ දී හමුවෙලා මේ වයසට යනකොට ඇටකටු දුර්වලවීම ගැන සම්මන්ත්‍රණයක් පවත්වද්දී හැමෝම දවස් දෙක තුනක් කතාබහ කරලා අන්තිමට එක රස්නෙ දවසක දැන් ඉතින් කතා කළා ඇති කියලා මෙන්න මෙතනින් පහත මට්ටම මේ ලෙඩේ එතනින් ඉහත මට්ටම මේ ලෙඩේ කියලා තීරණයක් ගත්තාලු. එතනින් තමයි නැති රෝගයක් ආරම්භ වුනේ. Osteopenia කියන්නේ රෝගයකට වඩා රෝගයක් ඇති වන්න තියන ප්‍රවණාතවය වැඩියි කියලා පෙන්වන තත්වය. ඒ කියන්නෙ Osteopenia මට්ටම දකිද්දි මේ අයට අනාගතයේ දී Osteoporosis හැදෙන චාන්ස් එක වැඩියි. ඉතින් දැන් Osteoporosis තත්වයට එන්න කළින් Osteopenia මට්ටම තිබිය දී ගන්න බෙහෙත් නිෂ්පාදනය වෙලා. අන්තිමට නැති ලෙඩක් මේ නිසා ලෙඩක් හැටියට ඒ කියන්නෙ දොස්තරවරයා නියම කරන බෙහෙතක් පාවිච්චි කරන තත්වයට පත්වෙලා.
මේ අතර තුර Francis Sellers Collins (Human Genome Project එක භාරව හිටපු ජානුවිද්‍යාඥයා) එයාගෙ අළුත්ම පොත ඊයේ පෙරේදා නිකුත් කළා. නම The Language of Life: DNA and the Revolution in Personalized Medicine (2010) අද වෙනකොට අන්තර්ජාලයෙන් කියවපු පොතක් ගන්න පුළුවන් ඩොලර් 12 කට විතර. පොතේ මිල ඩොලර් 30 කට ආසන්නව පටන් ගත්තෙ. සැප්තැම්බරයේ Tony Blair ගේ චරිතාපදන කතාව (එයාම ලියපු) එළිදකිනවා. ඒකට Random House ටෝනිට දීලා තියෙනවාලු ඇමෙරිකන් ඩොලර් මිලියන 7.5 ක්. ඒ පොතේ මිලත් ඩොලර් 30 ක් විතර. මන්දා, පොත් දෙකෙන් කොයි එක කොපමණ අලෙවි වෙයිද කියලා. කෙසේ වෙතත් හැරී පොටර් පොත් තරම් නම් දෙකෙන් එකක්වත් අලෙවි වෙන එකක් නෑ.
ෆ්‍රැන්සිස් කොලින්ස් කියන්නේ අද තියෙන්නෙ රෝගයට බෙහෙත් කරන සෞඛ්‍ය සේවාවයි නමුත් අනාගතයේ දී ඇතිවන්නෙ සෞඛ්‍ය ආරක්ෂා කරන සේවාවක් යන්නයි. ජානු පිළිබඳ තොරතුරු දැන ගැනීම නිසා අනාගතයේ දී ඇතිවිය හැකි රෝග තත්වයක් ගැන දැන්ම දැනගන්න පුළුවන් නිසා දැන්ම ඒවා වළක්වා ගන්න කටයුතු කළ හැකි බව ඉන් අදහස් කෙරෙන්නෙ.
ජනාධිපති ඔබාමා මේ ළඟ දී ජනාධිපතිවරයා වශයෙන් යන වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණයට පෙනී සිටියා. එයාගෙ පවුලෙ දෙදෙනෙක් පිළිකා රෝගයට ගොදුරු වූ නිසා එයත් ct (cat) scan එකකින් colonography එකක් අරගෙන colorectal cancer වලට ඉඩකඩ ඇද්ද නැද්ද කියලා හොයලා බලලා තියෙනවා. අප්‍රිකන්-ඇමෙරිකන් අය අතර ඒක වැඩියෙන් පවතින රෝගයක්. ඇමෙරිකාවේ පිළිකා රෝග වලින් පෙනහළු පිළිකා වලට පස්සෙ මරාන්තික දෙවැනියා ආමාශ පිළිකාවන්. ඔබාමාට රෝගයක් ඇති බව කළින් කියන ලකුණු නැහැ කියා හොඳ සෞඛ්‍ය සහතිකයකුත් දිලා දොස්තරවරයා සිගරැට් බොන එක නවත්තන්න අවවාද කරලා ආපහු යැව්වාලු.
ෆ්‍රැන්සිස් කොලින්ස් කියන්නේ තමන්ගෙ පවුලෙ දෙන්නෙක් හෝ වැඩිය අයට යම් රෝගයක් තියනවා නම් තමන් ද ඒ රෝගයට ගොදුරු වීමට අවස්ථාව ඇති බැවින් කළින් ගිහින් ඊට කළ යුතු පිළියම් සොයා බැලීම අවශ්‍ය බවයි. ඉතින් අද ආණ්ඩුවෙන් වෙඩ් අඩවියකුත් තියෙනවා පවුලේ තොරතුරු දාන්න. ඇතුලත් කරාම සේරම තොරතුරු අරගෙන දොස්තරට ගිහින් පෙන්වලා රෝග හැදෙන්න තියන චාන්ස් ගැන දැන ගන්න පුළුවන්. අපි බොහෝ දෙනෙකුට නම් ඉතින් අම්මා තාත්තාගෙන් හා නෑදෑයන් ගෙන් අහලා දැනගන්න පුළුවන්. හැබැයි ඇමෙරිකාවේ හදාගන්න ගත්තු ළමයි බොහෝ දෙනෙක් තමන්ගෙ අම්මා තාත්තා නෑදෑයෝ කවුදැයි දන්නේ නෑ. ඒ අයට මෙවැනි වෙබ් සයිට් එකක් වැදගත් වෙනවා.
ඒ වගේම අද ජානු සිතියමක් ගෙන්න ගන්න පුළුවන් ගෙදරටම. කටේ ඇතුල් පැත්තෙන් පුළුන් කෑල්ලකින් DNA අරගෙන යැව්වම ඩොලර් 400 කට ජානු සිතියම එනවා. ඩොලර් 2500 ක් දුන්නම ජානු උපදේශයක් එක්ක දුරකතනයෙන් කතාබහ කරලා ඒක පැහැදිලි කරගන්නත් පුළුවන්. කටේ ඇතුල් පැත්තෙන් DNA ගන්නෙ ඔය නිතරම ස්කෑන් කරන්න, ටෙස්ට් කරන්න ගිය අයගෙ ඒ ඒ ටෙස්ට් කරපු පැතිවල එකස්-රේ, රේඩියේෂන් නිසා ජානු හරියට සිතියමට වැටෙන්නෙ නැති නිසාලු.
මේ තොරතුරු රහසිගත වුවත් ඒවා අන්තර්ජාලයේ පැවතීම නිසා එයින් පුද්ගලයාට බලපෑම් එල්ල වෙයි ද? ආණ්ඩුවෙන්, රැකියා ස්ථානයෙන්, රක්ෂණ සේවාවෙන් ජානු තොරුතුරු ඉල්ලා ගන්න නීති ඇති වේ ද? ඒ තොරතුරු නිසා පුද්ගලයාට බලපෑම් කිරිමක් පටන් ගැනේ ද? Gattaca (1997) චිත්‍රපටිය ඒ තේමාව විචාරයි. (නම යොදා ඇත්තේ ඒ ජානු කෝඩ් අකුරු නිසාය.) දැනටමත් පවතින රෝගයකට සෞඛ්‍ය රක්ෂණ සේවා ලබා ගනු නොහැකිය. මේ තොරතුරු නිසා ඉදිරියේ ඇතිවිය හැකි රෝගයකට සෞඛ්‍ය රක්ෂණ ප්‍රතික්ෂේප කිරිමක් ඇති වේ ද?
ජානු තොරතුරු නිසා වෙනස්කම් කළ නොහැකිය කියා පනතක් (Genetic Information Non-discrimination Act -2008) දැනටමත් රජය විසින් අනුමත කර ඇත.
Nutrigenomics කියන්නේ තමාගේ ජානු අනුව තමන් ගන්නා ආහාර මාධ්‍යයෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමය. අද මේ විෂයයේ පර්යේෂණ Human Genome Project පර්යේෂණ මෙන් විසි ගුණයක් වැඩියෙන් වන බව ෆ්‍රැන්සිස් කොලින්ස් කියයි.
Pharmacogenomics කියන්නේ මනුෂ්‍යයාගේ ජානු නිසා පුද්ගලයා ගන්නා බෙහෙත් කෙසේ බලපානවා ද යන්න විමසන විද්‍යාවයි. කෙනෙකුට ඇති පියයුරු පිළිකාවේ කාරක ප්‍රෝටීනය හඳුනාගත් කළ ඊට දිය යුතු ඖෂධයකින් සුව වෙනවා ද නැද්ද කියා ජානු විමසා කළින් දැනගත හැකියාව නිසා දිය යුතු ප්‍රතිකාරය දී අනවශ්‍ය බෙහෙත් නොදී සිටිය හැකිය.
ඉස්සර කාලේ ලෙඩේ හොයාගන්න බැරුව නැතිවුන අය වෙනුවට අනාගතයේ ඉන්නෙ ලෙඩේ හැදෙන්නත් කළින්ම බෙහෙත් අරගන්න අය වේ ද? නැත්නම් මේක තවත් ඇමෙරිකන්කාරයා ගේන “ලෙඩක්” කියා සලකා බැලීම බැහැර කරමු ද?
නැන්දම්මා නම් ලේ ඥාතියෙක් නොවන නිසා සාධක නොවුනාට ශිට්ටි පුංචි සාධක වෙන නිසා ගිහින් මමත් අනාගතයේ දී මගේ ඇටකටු ගැනත් හොයලා බලන්න ඕනා. උස අඩි පහයි. තවත් අඟල් හයක් අඩු වුනොත් අඟුටුමිට්ටෙක් වෙයි. ඊටත් වඩා වැදගත් අපේ පරම්පරාවල අය සෑහෙන්න වයස යනකම් ජීවත් වෙන නිසා වේදනා විඳිනවාට වඩා නම් හොඳයිනෙ.
මේ කාලෙ හැටියට කෙලින් තියා ගැනීම අපහසු වුනත්, පරිස්සං කරගන්න ඕනා දෙයක් තමයි කොන්ද.
නැත්නම් ඉතිං…හපෝයි, මගෙ කොන්ද…තමා
අපොයි ළමයා කොන්ද නම් ප්‍රවේශම් කර ගන්න.ඕක නැති වුනාම හරි ජරමර……….
I guess spineless humans have a different gene code!!!
මොනවා වුනත්,බටහිරින් එන හැම දේම අපිට භාර ගන්න බැහැ වගේම බැහැර කරන්න බැරි දේවලුත් තියෙනවා.ඒ නිසා සුදු මිනිස්සු කිව්ව පලියට මේ කාරණේ අහක දාන්න බැහැ.
ඔව් janjaalachamara , කවුරු කවුරුත් කියනවා තමන් විසින් විමසා බලා පිළිගත යුතුයි. කියන අයගෙ හම සුදු ද කළු ද යන විභාගයට වඩා.