අරුණි ශපීරෝ‍ වෙතින්

බ්‍රසීලයේ සෝයා බෝංචි හා ලංකාවේ උක් වගාව

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 17, 2011


වසර 30 ක දී බ්‍රසීලය ආහාර ආනයන කරන රටකින් ලෝකයේ ආහාර අපනයනය කරන “දැවැන්තයන් පහ” (ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ආර්ජන්ටීනාව, යුරෝපීය යුනියන්) අතරට එකතු වී ඇත. දැවැන්තයෝ සෞම්‍ය දේශගුණය ඇති රටවල් වෙද්දී බ්‍රසීලය එයට එකතු වෙන පළමුවැනි උෂ්ණකාලාපීය රට වෙයි.

1996-2006 අතර කාලයේ දී බ්‍රසීලය වගා කරන භෝග වටිනාකම (බ්‍රසීල රියල්) බිලියන 23 ක සිට බිලියන 108 ක් දක්වා එනම් 365% කින් වර්ධනය වී ඇත. බ්‍රසීලය ගැන දත්ත සියල්ල ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවෙනි.

දශකයක කාලයක දී එකල ලොව දැවැන්තයා වූ ඔස්ට්‍රේලියාව පරදවා බ්‍රසීලය අද ලෝකයේ විශාලතම හරක්මස් අපනයන කරන රට ද වී ඇත. එසේම දොඩම් යුෂ, කුකුල් මස්, උක්, කෝපි, හා එතනෝල් සඳහා අද ලෝකයේ විශාලතම අපනයනකරුවා ද වේ.

1990 දී සිට ලෝකයේ සෝයා බෝංචි වගාව වර්ධනය වී ඇත්තේ ටොන් මිලියන 15 ක සිට ටොන් මිලියන 60 ක් දක්වා ය. මේ ලෝක සෝයා බෝංචි වගාවෙන් 1/3 ක් බ්‍රසීලයේ සිද්ධ වේ. 1994 දී බ්‍රසීලයේ සෝයා බෝංචි අපනයනය ඇමෙරිකාවේ සෝයා බෝංචි අපනයනයෙන් 1/7 ක් පමණක් වුණි. එහෙත් අද එය 6/7ක් දක්වා වැඩි වී ඇත. ලෝකයේ සෝයා බෝංචි අපනයනට ඇමෙරිකා‍ව පළමු තැන ගනිද්දී දෙවැනි තැන ගන්නට බ්‍රසීලය ඉතා ඉක්මණින් සමත් වී ඇත. එමෙන්ම ලෝකයේ සෝයා බෝංචි වෙළඳාමේ ¼ ක වෙළඳපොල අල්ලා ගෙන සිටින බ්‍රසීලය සෝයා බෝංචි වගා කරන්නේ භෝග වගාවට සුදුසු ඉඩම් ප්‍රමාණයෙන් 6% ක පමණය!

බ්‍රසීලයේ කෘෂිකාර්මික උන්නතිය සිද්ධ වූයේ කෙසේදැයි විමසන්නට පෙර ලංකාව පැත්තට පොඩ්ඩක් පය ගහමු.

අපේ අය අතර නිතර ඇහෙන එක කන්දොස්කිරියාවක් තමයි අපේ පස් අවුරුදු ගණනාවක් වගා කරල තියන නිසා පස්වල සාරය නැතිවෙලා ගිහින් කියල.

අනික් කන්දොස්කිරියාව තමයි සුදුස්සෝ සුදුසු තැන්වල නැති නිසා නිසි සැලසුම්, නිසි කළමනාකරණය හා අවබෝධයකින් තොර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම. මේක නම් ඉතින් කෘෂිකර්මයට විතරක් නෙමෙයි නේ අදාල වෙන්නෙ!!

ආහාර මිල ගණන් යනවා යැයි හැමදාම කන්දොස්කිරියාවෙන් කුණු කුණු ගාන බොහෝ අයෙක් ‍පස් පිඩැල්ලක් පෙරලා පැලයක් හිටවන්නට තැතක් දරා නැත. ගැඩවිලෙක් දකින්නෙ වැස්ස දාට පසු ඌ තාර පාරේ වියළී ගොස් නම් පමණි. අනිත් රැකියාවල් වලට වඩා කෘෂිකර්මයට වඩාත්ම අකමැත්ත දක්වන ලාංකිකයා උෂ්ණ කලාපීය රටක ජීවත් වුවත් දහදිය දානවාට අකැමති ය. ශරීරය වෙහෙස කරන්නට අකමැති ය. මනස වෙහෙස කරන්නට ද අකමැති බව නොදැන සම්පප්‍රලාපයෙන් දිවි ගෙවීම කරන්නේ එයින් මොළය පෑදෙන්නෙ නැති බව නොදැන ය. වැරදි දැක ඒවා නොදැක්කා සේ නැත්නම් ‘කන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න’ පරම්පරා ගණනාවක සිට මනා පුහුණුවක් ලබා සිටියි!

ලංකාවේ සීනි කර්මාන්තය අනිකුත් ලාංකික අධ්‍යාපනික, කාර්මික හා කෘෂිකාර්මික විප්ලවයන් අතරින් වෙනස් මඟක ගොස් නැත. මෙයට හේතු ඉහත දක්වා ඇති නිසා වරද කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ යැයි කියත නොහැකි ය. එදා සිටි හෝ අද ඉන්නා පාලකයෝ වෙත පමණක් ද වරද පැටවිය නොහැක. මන්ද කොයි ආණ්ඩුව කොයි ආණ්ඩුව පෙරලී ගියත් ඉහත රෝග පිළිලයන් මෙන් තවමත් ඔඩු දුවමින් පවතින බැවිනි.

ලංකාවේ සීනි වගාවට වසර 58 කට වඩා අතීතයකි. පුද්ගලික සීනි කම්හල් ජනසතු වී නැවත පුද්ගලීකරණයට භාජනය වී බඩ ගාමින් මරණය කරා යයි. 2000 දී පැලවත්ත සීනි කම්හල මෙට්‍රික් ටොන් 43,000 ක් සීනි නිෂ්පාදනය කළ අතර සෙවනගල සීනි කම්හල මෙට්‍රික් ටොන් 24,396 ක් නිපදවා ඇත. 2010 වෙද්දී පැලවත්ත සීනි කම්හල විසින් කරන සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2218 ක් ද සෙවනගල කම්හල විසින් කරන සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8508 ක් පමණකට අඩු වී ඇත. මේ ආයතන දෙකෙහිම හිටපු උපදේශක හා සාමාන්‍යයාධිකාරී පී. කේ. රණසිංහ මහතා දිවයිනට ලියූ විස්තරය කියවා තව තොරතුරු දැනගත හැකිය. සීනි ගැන දත්ත සියල්ල ඒ ලිපියෙනි.

බ්‍රසීලයේ වික්‍රමයට දියුණු තාක්ෂණය ඉගෙන විදේශීය උපාධි ලබා බ්‍රසීලයට ආ විද්‍යාඥයෝ, 1972 දී රට පාලනය කරන ලද ජනරාල්වරු, බ්‍රසීලයේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය, බ්‍රසීලයේ කාර්මික යන්ත්‍ර නිෂ්පාදකයෝ, ඇමෙරිකන් පර්යේෂණ ආයතන, ඇමෙරිකන් අරමුදල්, ඇමෙරිකන් පුද්ගලික ව්‍යාපාර, බ්‍රසීල පුද්ගලික ව්‍යාපාර, ගෝලීය රසායන කොම්පැණි, ජර්මන් කොම්පියුටර් තාක්ෂණය, අභිජනනය ක්‍රම යනාදිය මෙන්ම Edward Faulkner ලියන ලද “Ploughman’s Folly” සහ Louis Bromfield ලියන ලද “Malabat Farm” ග්‍රන්ථ සහ අප්‍රිකාවේ තණකොළත් පාදක වූහ.

නෝර්මන් බෝර්ලාවුග්ට අනුව බ්‍රසීලයේ cerrado ප්‍රදේශය වගාබිමකට නුසුදුසු නිසරු තැනිතලාවකි. එහෙත් තාක්ෂණයේ මහිමයෙන් නිස්සාරත්වය සාරවත් බිමක් කරනු ඔවුනට හැකිවිය.

පළමුවෙන්ම ඔව්හු පසෙහි අම්ල වැඩි නිසා ලොරි පිටින් ගෙනා හුණු cerrado පසට එකතු කළහ. හෙක්ටෙයාර් එකකට ටොන් පහක හුණු එකතු කරන ලදැයි කියැවේ.

බැක්ටීරියාවක අභිජනනය කළ ප්‍රභේද වර්ගයන් විසින් බෝංචිවල නයිට්‍රජන් මට්ටම් ස්ථාවර පවත්වා ගන්නටත් cerrado ප්‍රදේශයේ පසට සරිලන ලෙසත් ඔව්හු දියුණු කරගත්තේ පොහොර වැඩියෙන් අවශ්‍ය නොවන ලෙසට ය.

බ්‍රසීලයට ආවේනික නොවූ තණකොළ වර්ගයක් අප්‍රිකාවෙන් ගෙනැවිත් ඔව්හු cerrado තැනිතලාවේ එය වගා කළහ. වසර තිහකට පෙර හරක්මස් සඳහා ගවයෙක් ඇතිදැඩි කරන්නට ඔවුනට වසර හතරක් ගතවිණ. මේ තණකොළ වගාවත් සමඟ දැන් හරක්මස් සඳහා ගවයා සාමාන්‍යයෙන් මාස 18-20 ත් අතර කාලයක දී ඇතිදැඩි වෙයි.

ජපානය, කොරියාව, ඊසාන දිග චීනය යනාදී සෞම්‍ය කලාපීය වගා බෝගයක් වූ සෝයා බෝංචි බ්‍රසීලයේ උෂ්ණ කලාපීය වගාබෝගයක් බවට හරවාගන්නට පරණ ක්‍රමයේ අභිජනන (crossbreeding) ක්‍රම මාර්ගයෙන් ඔව්හු සමත් වූහ. අම්ල සහිත පසට ද සරිලන වර්ගයන් බවට වෙනස් කරගත්හ. ‍මේ සෝයා බෝංචි වර්ගයන් වසර පහකට පෙර ලොව නොතිබි ඒවාය.

පස් හාරා අස්වැද්දීමකින් තොරව පැල හිටුවීමේ තාක්ෂණයත්, රසායන මඟින් වල් පැළෑටි මර්ධනයත්, වගාබෝග මුල් වලින් උදුරන්නේ නැතිව ඉතිරිය නැවත පසට එකතු වන ආකාරයටත්, කැළෑව නොකපා නිසරු බිම් යළි වගාවට සුදුසු ලෙස සකස් කරගත්හ. සත්ව ගොවිපළවල් හා කෘෂිකර්මය සහ කෑලෑවන් නැවත ප්‍රතිසංස්කරණයට ගස් සිටුවීම මඟින් එකිනෙකට උපකාර වන ප්‍රතිපත්ති දියත් කළහ.

සංවිධානාත්මක ලෙසින් සැවොම එකතු වී බ්‍රසීලය දැරූ උත්සාහයේ ප්‍රතිඵලය එසේය. මෙය අපිට කරනු නොහැකියි හෝ අපේ එකමුතුවක් නැහැ, එන හැම ආණ්ඩුවක්ම වැඩක් කරන්නෙ නැහැ යනාදී සමාවට හේතු නොසොයා කවුරු කොතැනකින් හෝ උත්සාහයක් ගත යුතුය. වැඩ නොකරන ලොකු ලොක්කන් ලැජ්ජාවට පත් කරන ලිපි පළ කරනා අය අගය කර, තවත් එවැනි ලිපි පළ කරන්නට ඉඩ පාදා දිය යුතුය.

අද ඉගෙන ගන්නා දරුවන් හෙට ඉහළ තනතුරු දරනා විට තමන් ද පිටරට චාරිකා, දීමනා හා වාසි පමණකට සීමා වී නොසිට තම රැකියාවත් නිසිසේ කරන්නට කෙසේ හෝ ක්‍රමයක් සොයා යා යුතුය.

පස නිසරු යයි වැළපෙමින් නොසිට බ්‍රසීලයේ අය වනාන්තර කැපීම නවතා නිසරු පස් සරු කරගත්හ.

තාක්ෂණයට බිය නොවී බ්‍රසීලයේ ගොවියෝ එයට හුරු වූහ.

එකිනෙකා එකතු වී මිසක තනියෙන් ඉදිරියට යන්නට නොහැකි බව වටහා නොගත්තා නම් එවැනි රටක දියුණුව සේ ම එවැනි පටු අදහස් යුතු පුද්ගලයාගේ අභිවෘද්ධිය ද තවත් කාලාන්තරයක් එකතැනම පල්වෙනු ඇත. කොයි රජයක් ආවත් පාලකයාට පමණක් රටක් දියුණු කරත නොහැකිය. අපේ රජය කවදා හෝ බලයට එනතෙක් බලාගෙන ඉන්නවා යනු ඉන් ලැබෙන වාසි හා ලාභ බලාපොරොත්තුවෙන් සිටීම ය. ඉතින්, හැම රජයක්ම ඇවිත් ගොසින් ය. පැත්ත බලය ලත් විට පැත්තට සහාය දුන්නෝ මඩි තර කර ගත්හ. අනිත් පැත්ත ආ විට පිම්බුණු පසුම්බි සහිත වූ ඔවුන් රටත් හැර දා යති.

අනුන් කර දෙන තෙක් බලා සිටින්නා තවමත් බලා සිටියි! තමන් විසින් උත්සාහයක් ගත්කළ ජයග්‍රහහණය අත්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්තගේ “ආර්ථික යුද්ධය ජයගැනීම” මේ මාසය අග දී නිකුත් වන අළුත් ග්‍රන්ථයකි. කුමන විදියක වගා සංග්‍රාම සැලැස්මක් එහි ඇත්තේ දැයි දැනගන්නට කුතුහලයෙන් පසුවෙමි!!!

කාටූනය අන්තර්ජාල ‘රිවිර’ පත්‍රයෙනි.

19 Responses

Subscribe to comments with RSS.

  1. SiriBiris said, on ජනවාරි 17, 2011 at 9:51 ප.ව.

    අනේ මන්දා නෝනෝ, ඔය ස්වභාව ධර්මයත් එක්ක සෙල්ලන් කොරන එක පරිස්සමි කොරන්න ඕනා එකක් නේද?ඔය “ධර්මෙ” මහා වස් වර්තියා, හොඳට හොඳයි නරකට අන්තිම නරකයි. මං අහල තියෙන විදිහට වතාවක් “හෝර්ටන් තැන්නෙ” අල වැව්වලු. අල නං බැස්සලු හි‍ටු කියලා, හැබැයි නුවර එලියෙ වතුර හිඳුනලු.

    ඒ උනාට මේ වැඩිවෙන ජනගහනෙ බඩකට පුරවන්න මොනවා හරි කොරන්න ඕන බව මගේ මේ මැටි මොලේටත් , නොතේරෙනවා නොවෙයි ආයිබෝං. මම GM crops වලට කැමතිනෑ,විසේසයෙන්න අර toxin පැලෑටියෙම හදන ඒවට. එහෙම කියලා මේ දුප්පත් අපි නොකා ඉන්නයෑ, ඇදලා අරිනවා කුඩා බඩවැල් දිග ඇරෙන්නම

  2. praveena said, on ජනවාරි 17, 2011 at 10:06 ප.ව.

    “වැඩ නොකරන ලොකු ලොක්කන් ලැජ්ජාවට පත් කරන ලිපි පළ කරනා අය අගය කර, තවත් එවැනි ලිපි පළ කරන්නට ඉඩ පාදා දිය යුතුය”

    අපි ඔබ ඇත්තෙන්ම අගය කරමු.

  3. hghfg said, on ජනවාරි 17, 2011 at 10:55 ප.ව.

    @siribiris, මම GM crops වලට කැමතිනෑ
    hethu tikak kiyanna puluwan da?

    • arunishapiro said, on ජනවාරි 18, 2011 at 10:15 පෙ.ව.

      hghfg,
      ජානු වෙනස්කම් වලට භාජනය කරන ලද නොහොත් ජානු ඉංජිනේරු තාක්ෂණයට ලක් වූ නොහොත් genetically modified පහසුවට GM කියා හැඳින්වේ.

      GM ක්‍රමය සත්වයන් හා පැළෑටි දෙකටම යොදා ඇතත් සත්වයින්ට වඩා පැළෑටි වලට වැඩියෙන් යොදා ඇත. සත්වයින්ගේ හා පැළැටි වල DNA වලට ඊට ආවේනික නොවන DNA ඇතුල් කිරීමෙන් GM කිරීම සිද්ධ වේ.

      මිනිසා අළුත් DNA ලෝකයට පිරිනමා නැත. මෙතැන සිද්ධ වන්නේ ලොව පවතින DNA පවතින ආකාරයෙන් නොව සූක්ෂම වූ ලෙසකින් විවිධ වෙනස්කම් වලට භාජනය කර අත්හදා බැලීමයි.

      ආහාර සඳහා GM ක්‍රමය භාවිතා කිරීමට හේතු විවිධයි. සමහර ආහාරයක් ඊට භාජනය කරන්නෙ අනුභවය කිරීමෙන් ඇතිවන ආසාත්මිකතාවන් දුරලන්න. තවත් විටෙක ඊට ආහාරයක් භාජනය කරන්නෙ වෙළඳපොලේ රාක්කයේ ඒක වැඩි දවසක් තියාගන්න හැකියාව වර්ධනයට. අද සමහර ආහාර යම් යම් ලෙඩ රෝග නිවාරණය සඳහා GM ක්‍රමය යොදන පර්යේෂණ පැවැත්වෙනවා.
      දැනට තියන GM කරපුවා තමයි කපු, සෝයා බෝංචි, කැනෝලා, අර්තාපල් අල, වම්බටු, ස්ට්‍රෝබෙරි, තිරිඟු, තක්කාලි, සලාද කොළ, කැරට් වගේ දේවල්.

      දැන් මේ ක්‍රමයට පාත්‍ර වෙච්ච දේවල් ආහාර වල පමණක් නෙමෙයි තියෙන්නෙ. බෙහෙත්, එන්නත්, නිමි ආහාර ඇතුලට දාපු කුළුබඩු වල, සත්ව ආහාර යනාදි බොහොමයක තියෙනවා.

      හොඳ නරක ගැන බලමු:

      හොඳ:
      ආසාත්මිකතා හා හඳුනාගත් ලෙඩ වළක්වා/පාලනය කරගන්න පුළුවන්.

      වඩා ඉක්මණින් වැවෙනවා. ජනගහණයට ආහාර වැඩියෙන් සපයන්න පුළුවන්. ඉ‍ඩෝර ඇති පෙදෙස්වල, නිසරු බිම් වල, ඵලදායී ලෙස වැවෙන්න හදාගන්න පුළුවන්.

      GM ක්‍රමයෙන් ලැබෙන බීජ සම්ප්‍රදායික ක්‍රමයෙන් වවන බීජ වලට වඩා මිල අධිකයි. ඒත් ඒකට දාලා තියන තාක්ෂණය නිසා කෘමීන් බීජ අඩුවෙන් විනාස කරලා හා කෘමිනාශක අඩුවෙන් යොදලා වැඩියෙන් ඵලදායක බව ලැබෙනවා. ඒකෙන් කෘමිනාශක අඩුවෙන් භාවිතය, රසායන අඩු ආහාර, වගේම පරිසරයටත් හිතවාදී. පසේ සාරය වැඩියෙන් පාවිච්චි නොකරන්න, වතුර වැඩියෙන් උරා නොබොන්න, පරිසරයට වැඩියෙන් අහිතකර වායූ පිට නොකරන්න වැනි ආකාරයටත් GM බීජ හදලා තියෙන්නෙ.

      සම්ප්‍රදායික ආහාර වලට වඩා GM ක්‍රමයෙන් එන ආහාර පෝෂ්‍යදායී බවෙන්, ඛනිජ ධාතු හා විටමින් වලින් වැඩියි. රසයෙන් ද වැඩියි. කල්තබා ගැනීම ද දීර්ඝ නිසා ආහාර කුණු වී විනාශයට යෑමත් නරක් වූ ආහාර කෑමෙන් විෂ වීමත් අඩුයි.

      නරක
      දැන් මේ GM ක්‍රමයෙන් හදපු ආහාර තවමත් ලෝකයාට අළුත් නිසා (1990 දී තමයි ජනතාව විසින් පරිහරණය පටන් ගැනීම) දීර්ඝ කාලීන පරිභෝජනයෙන් මිනිසාට ඇති අවදානම නොදැනීම. ස්වභාවික ප්‍රතිශක්තියන්ට ඇති හැකියාවන් නැතිව යාවි ද, පිළිකා වැනි රෝග වැඩියෙන් වැළ‍ඳීමට හැකියාවක් ඇත් ද යනාදිය තවමත් මනින්නට නොහැකියාව.

      ගොඩක් රටවල GM ක්‍රමයට භාජනය වූ ආහාර වෙළඳපොලේ විකිණෙනවා. ඒත් එක පාරිභෝගිකයා නොදැනීම. නිෂ්පාදකයෝ GM ලේබල් එක වසන් කරනවා ජනමතය නිසා වෙළඳාමට පාඩු වෙයි කියලා. ඒකෙන් ජනතාවට තමන් විසින් තීරණය කිරීමේ හැකියාව නැතිව යාම.

      සත්ව ජානු පැළෑටි වලටත් පැළෑටි ජානු සත්වයින්ටත් මාරු කරන එක ගැනත්, මෙහෙම DNA වලට අතගහලා වෙනස්කම් කරන එක ගැනත් ආගමික කොටස් හා සම්ප්‍රදායිකත්වය අගයන අයත් විරුද්ධයි. ඒකෙන් පරිසරයේ ඇති සමබර බවට හානියක් ස්වභාවයෙන් නොව මිනිසා විසින් ඇඟිලි ගැසීම නිසා ඇතිවීමට ඔවුන් විරුද්ධයි.

      GM ක්‍රමයෙන් ආහාර නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිද්ධ කරන්න හැකියාවත්, ඒවා කරන්නට වැඩියෙන් තාක්ෂණ හැකියාව හා ආයෝජන හැකියාව ඇත්තේ ද ධනවත් රටවල් වලට නිසා දියුණු වෙන රටවල් වලට ධනවත් රටවල් මත ආහාර සඳහා යැපීමට සිද්ධ වෙනු ඇත. හැබැයි මේක අද බ්‍රසීලයේ වික්‍රමයෙන් පරාද කරන මතයක්. බ්‍රසීලය තාක්ෂණය හා මනා කළමනාකරණය නිසා ධනවත් රටවල් හා ගැටෙන්න සමත් වුණා. ඒ එක්කම පේනවා පොඩි රටකට අවශ්‍ය ආහාර කුඩා ඉඩම් ප්‍රමාණයකින් වඩා සූක්ෂමව නිෂ්පාදනයට හැකියාව. ඉතින් GM ක්‍රම අයිති ආයතන වලින් එහෙම වෙනසකට භාජනය වූ ආහාර බීජ ගැනීමට වියදම දරන්න නොහැකි තරමට ඔවුන් ඉහළ දමයි ද යන්න බොරු බයක්. මොකද තාක්ෂණය නැති අයට මිසක් වෙන කාට ද එයාලා විකුණන්නෙ? මොබයිල් දුරකතන වලින් කතා කරන්න ගෙවන මිල ගණන් වගේ වැඩියෙන් පිරිසක් පාවිච්චියට ගියාම මිල අඩුවෙනවා.

      • SiriBiris said, on ජනවාරි 18, 2011 at 9:17 ප.ව.

        Thanks Aruni, for the reply. Still there is a monopoly in GM seed market – a couple of big biotechnology companies such as Monsanto control the market. On the other hand BT(Bacillus Thuringiensis) crops use the Genetically engineered pest control technology – making their own toxin harmful to insects. As Aruni said, we still don’t know the long term effect of them on us. You can say they are a half-baked technology, if you will; but the simple fact is we don’t have better solution to feed the mass population.

  4. Priyantha said, on ජනවාරි 18, 2011 at 2:05 පෙ.ව.

    මම නම් ගෙදර අවට පුළුවන් සෑම වෙලාවකට මොනවා හෝ ප්‍රයේජනවත් පැළයක් හිටවනවා. අවශ්‍ය වන්නේ උනන්දුව විතරයි. අපි කාටත් මේ දේවල් අඩු වැඩියෙන් කරන්න පුළුවන්. ඔබ කියනා ආකාරයටම වැඩ නොකරන ලොක්කන් ලැජ්ජාවට පත් වන ආකාරයෙන් වැඩ කරන්න පටන් ගන්න එක ගෙදරින්ම පුළුවන්. ඉතා වටිනා අදහසක් ඔබ ලියා ඇත්තේ. ඒ වගේම මෙය අනෙකුත් ක්‍ෂෙත්‍ර සඳහාද එලෙසින්ම වලංගුවේ.

    • arunishapiro said, on ජනවාරි 18, 2011 at 8:57 පෙ.ව.

      Priyantha, මේ පැත්තෙ තක්කාලි වවනවා වැල් ක්‍රමයට. වහලේ එල්ලා තිබ්බම ගෙඩි වැල දිගේ පහළට හැදෙනවා. එක පැළයකින් දෙන තක්කාලි ගෙඩි එක පවුලකට කාලා ඉවර කරන්නත් බැරි තරම්. විස්තර මෙතැනින්:
      http://upsidedowntomatoplant.com/dyi.html

      ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අධ්‍යක්ෂක ජයන්ති අබේගුණසේකර මහත්මිය මගේ හිතවතියක්, ඉතාමත් සුහද ලංකාව ගැන දැඩි කැක්කුමකින් වැඩ කරන්නියක්. ගෙදර වවන දෙයක් ගැන වුනත් ප්‍රශ්නයක් ආවොත් අහලා උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්. මාත් මතක් කළා කියන්න කතා කළොත්!!

      ප්‍රියන්ත වගේ ගෙදර අවට එළවළුවක් වවා ගන්න කැමති අයට තොරතුරු මෙතැනින්:
      http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/988

      • Priyantha said, on ජනවාරි 18, 2011 at 9:51 ප.ව.

        ස්තූතියි අරුණි. මම ලංකාවේ ඉඳලත් මෙතන දැන සිටියේ නෑ. TV එකෙන් බලන ඒවා තමා අනුගමනය කලේ. දැන් මට මෙතනින් තොරතුරු ගන්න පුළුවන්.

  5. kathandara said, on ජනවාරි 18, 2011 at 5:25 පෙ.ව.

    මේ ලිපිය සමබර නෑ කියා සැකයක් ඇතිවෙනවා.
    තමන් ගේ ගෙවත්තේ තක්කාලි, වැටකොලු, මිරිස් වැවීම ද විසඳුම?
    ගොවිපොලක ප්‍රමාණය එහි ඵලදායකතාවයට බලපාන්නේ නැද්ද?
    සෝයි වගාවෙන් බ්‍රසීලයේ පරිසරයට හානියක් සිදුවෙලාම නැද්ද?

    • praveena said, on ජනවාරි 18, 2011 at 6:36 පෙ.ව.

      තමන්ගේ ගෙදර වත්තේ එලවලු වැවීමේත් එක්තරා විදියක ප්‍රයෝජනයක් තියනවා. කතන්දරත්, අර ප්‍රියන්ත වගේ ගෙදර වත්තේ පැල ටිකක් හදන්නකෝ…

    • arunishapiro said, on ජනවාරි 18, 2011 at 8:42 පෙ.ව.

      kathandara,
      ගෙදර තක්කාලි, වැටකොලු, මිරිස් වැවීම යම් ආකාරයක විසඳුමක් වුනොත් ඒක වෙන්නෙ මෙහෙමයි. ඕනෑම පැළෑටියක් වවන්න ගියාම තමයි වැටහෙන්නෙ ස්වභාව ධර්මයේ ආශ්චර්යය. සමහර ‍පැලෑටියක් ‍පස් යටට තල්ලු කරපු ගමන් දළු දාලා ඉහළට යනවා. තවත් එකක් ආදරයෙන් බලාගත්තෙ නැත්නම් මැරිලා යනවා. කන බොන හැම අයෙක්ම ජීවිතයේ කවදා හෝ දවසක කන්න එළවළුවක් හෝ පළතුරක් ‍මහපොළවේ හිටවලා (පෝච්චියක වුණත් කමක් නැහැ) ඒ අත්දැකීම තමන් විසින්ම ලබන්න ඕනා.

      අද ඇමෙරිකාවේ මම ඉන්න පැත්තෙ ලාංකික‍ උප්පත්තියක් ඇති අයෙක් මුකුණුවැන්නා වගාවක් පවත්වා ගෙන යනවා කියල කළිනුත් කියලා තියෙනවානෙ. දැන් මුකුණුවැන්නා මෙහෙට ආවේණික පැළෑටියක් නෙමේ. නමුත් ස්ව උත්සාහයෙන් ඔහු දාලා තියන තවාන හරිම අපූරුයි. මඩේ ඉබේටම වැවෙන්නෙත් නැහැ මෙහෙ. හිමෙන් පළාතම වැහිලා ගියත් ඔහුගෙ තවාන හදලා තියෙන්නෙ ඇතුලෙ විද්‍යානනුකූල ක්‍රම වේදයක් අනුව!

      වවන්න ගන්නා උත්සාහයක දී තමයි වැටහෙන්නෙ වගාව ගැන අත්දැකීමක්. ජයගන්න තියන බාධක. සල්ලි දීලා එළවළුව අරන් ඇවිත් කන මනුස්සයාට, විශේෂයෙන්ම කුඩා දරු‍වන්ට ඒක ගැන වැටහීමක් නැහැ. ඒත් තමන් විසින් පෝච්චියක හරි තක්කාලි පැළයක්, මිරිස් ගහක්, කරපිංචා පැළයක් බලාගන්න හැකියාවක් ඇත්නම් දරුවා වගේම එය ඇතිදැඩි කරන වැඩිහිටියා තුල ත් ඇතිවෙන්නෙ තමන්ට වඩා මහා පරිමාණයෙන් වැඩ කරන අය ගැන පැහැදීමක්. ඒ ගැන කැක්කුමක්.

      පැළයක් හිටෙව්වම ඒකට වතුර දාන්න ඕන. පෝර දාන්න ඕන. ලෙඩ රෝග වලින් බේරගන්න ඕන. නැත්නම් පැළ‍ය මැරිලා යනවා. රැකබලා ගැනීම ගැන මුල් පාඩමක් එතැනින්ම ඉගෙන ගන්න ඇහැකියි. තනිවම නොව පැළය වැඩෙන්නෙ වගකීමක් ගත් අය එකතු කරන සාමූහික උත්සාහයකින් කියල පේනවා!

      2. ගොවිපළක ප්‍රමාණය එහි ඵලදායකත්වයට බලපානවා. ආහාර අපනයන කරන බ්‍රසීලය හා අනිත් දැවැන්ත‍යෝ පස්දෙනා ගත්තම එයාලට තියන ඉඩම් ප්‍රමාණය අනුව ඒක පැහැදිලියි. නමුත් කතන්දර ලංකාවට ඕනා ලෝකෙට අපනයනය කරන්න ද? නැත්නම් ලංකාවේ අයට කන්න දෙන්න පිටරටට ණය නොවී ඉන්න ද? ලංකාවේ උවමනා පිරිමසා ගන්න සීනි ලංකාවේම නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙද්දී පිටරටින් සීනි ගෙන්වන්න ලංකාවේ ආහාර අපනයනය කරන්න ගිය රුපියල් බිලියන 113 ක පමණ වියදමෙන් රුපියල් බිලියන 25 ක් ඉතුරු කරගන්න හැකියාව ඇත්නම් වඩා හොඳ කාට ද?

      3. මිනිහා ජීවත් වන නිසාම (බිලියන 7 කට කිට්ටුයි දැන්!) පරිසරයට හානියක් වෙනවා නිතැතින්ම. අධෝවාතය පිට කිරීම නිසාම කොච්චර නයිට්‍රජන් පිටට ගිහින් පරිසර හානියක් කරනවා ද?!!!! හැබැයි ඉතින් එහෙම කියල මිනිස්සු සේරම මරලා දාන්නයෑ!

      සෝයි බෝංචි cerrado ප්‍රදේශයේ භෝග වගාවට නිසරු බිම්වල වගා කිරීම සාර්ථක වූ නිසා ඇමේසන් වනාන්තර 80% කින් කැපීම අඩු කරන ප්‍රතිපත්ති බ්‍රසීලය දියත් කරලා තියෙන්නෙ. cerrado ප්‍රදේශයට ආවේනික වර්ග 12,000 ක පැළෑටි (ඉන් 40% ක් වෙන කොහේවත් වැවෙන්නෙ නැති) අවදානමකට ලක්වෙන බව දන්නා නිසා ඒවා රැකගෙන වගාවත් කරන්න ඔවුන් ක්‍රම සහ විධි සොයනවා. cerrado ප්‍රදේශයේ ද 40% කින් වගා සඳහා බිම් කැනීම් අඩු කරන්නත් ඔවුන්ගෙ අද සැලසුම.

      ඉතින් ඩෙලවෙයාර් පැත්තට ආවේනික නොවූ මුකුණුවැන්නා සරුවට වගා කරන්න තනි පුද්ගයාට මෙහෙ හැකිනම් ඇයි බැරි ඔච්චර විස්කම් දාන බ්‍රසීල විද්‍යාඥයාට cerrado ආවේනික පැළෑටිත් වඳ නොවී යා නොදී රැකගන්න?

      පරිසරයත් ආරක්ෂා කරගෙන, වගාබිම් ලොකු නොකර, තියන ප්‍රදේශයෙන් වැඩි ඵලදාව ගන්න තාක්ෂණයට එළඹීම තමා ඔවුන්ගෙ උත්සාහය.

      ඉදිරියට යන්න තැතක් ගන්නා පමණයි බාධක වැටකඩොළු දකින්නෙ. හැමදාම පිටින් එනතෙක් බලාගෙන ණයට කන්න ඉන්නා එසේ ජීවත්ව සිට මිය යන්නෙ ණය බර දරුවන්ට පටවලා, ලැග්ග සිටි තැනම ලැගගෙන.

      ලෝක අපවාද, වැරදීම් හා පාඩු විඳ නැත්නම් එවන් අයෙක් තම තත්වය උසස් කරගන්න උත්සාහයක් නොගත් අයෙක් ‘දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන’ ඉන්නා අයෙක් නොවේ ද?

  6. Alchemiya said, on ජනවාරි 18, 2011 at 12:53 ප.ව.

    මේව ගැන ලියලා ලියලා මට නම් දැන් එපා වෙලා.
    මීට අවුරුදු 3 කට පෙර මම ජනාධිපත් ලේකම් තුමා හරහා පෞද්ගලිකවම Project Proposal එකක් යැවුවා ඛණිජ තෙල් අමාත්‍යාංශයට. ඒකේ අන්තර්ගතය වුනේ පැලවත්තේ සීනි සමාගමෙන් නිපදවෙන් එතනෝල්, පෙට්‍රල් වලට මිශ්‍ර කරලා ැපට්‍රල් මිල අඩු කිරීම සහ ඛණිජ තෙල් ආනයනය අඩු කිරීම පිළිබඳව. ඒ ගැන ස්තුති කරලා ලිපියක් ආවා විතරමයි.
    මට ඒ Project එක ගන්න අවශ්‍ය නැහැ. නමුතු අවම වශයෙන් එය ක්‍රියාවට නඟනවා නම් සන්තෝසයි.
    නමුත්, තවම ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් ලංකාවෙන් ඇහෙන්නේ නැහැ..
    හැම දේම වංචාවටයි දූෂණයටයි යට වෙලා… සාමාන්‍ය ජනතාව බලන්නෙත් නිකං ඉඳං සල්ලි හම්බ කරන්න.. හැමෝම බලන් ඉන්නේ හැම දේම රජයෙන් කරලා දෙනකල්..
    මෙහෙම රටක් කවදා හැදෙයිද ?

    • arunishapiro said, on ජනවාරි 18, 2011 at 4:11 ප.ව.

      Alchemiya,
      දිවයිනේ පළ වූ ලිපිය කියෙව්වා නම් ඔයාට පැහැදිලි වෙනවා වසර 3 කට පෙර ඔබ ඛනිජ තෙල් අමාත්‍යාංශයට යැවූ ලිපිය ක්‍රියාවට නංවාලන්න බැරි වුනේ ඇයි කියලා; මොකද ඒ වෙනකොට ලංකාවේ සීනි කර්මාන්තයේ බහින කලාව පැවති නිසා.

      රටේ ජනතාවටත් මදි නිසා සීනි පිටරටින් ගෙන්වද්දි කොහොමදෑ ළමයෝ එතනෝල් හදන්නෙ?

      • Alchemiya said, on ජනවාරි 18, 2011 at 5:54 ප.ව.

        ළමයෝ, 🙂
        එතනෝල් හැදුවේ සීනි හදලා ඉතිරි වුන මොලැසස් කියන දෙයින්… ඒකට සීනි ඵලදාවේ සම්බන්ධයක් නෑ.. ඒත් බ්‍රසීලයේ නම් එතනෝල් හදන්නේ කෙළින්ම උක් සාරයෙන්. ඒ කර්මාන්තයක් වශයෙන් කරන නිසා… ලංකාවේ වන්නේ අපතේ යන දෙයින් හැදෙන එතනෝල් විකුණන එකයි ..
        ඒ වන විටත් එසේ හදන එතනෝල්, අරක්කු පෙරන හැරී ජයවර්ධනගේ ඩිස්ටිලරීස් එකටයි, සජින් වාස් ගුණවර්ධනටයි විකුණන එක තමයි ආණ්ඩුව කළේ… දැන් කරන්නෙත් ඒකම තමයි…
        මේ ගොල්ලෝ රට ගැන හිතනවට වඩා තමන්ගේ බඩ ගැන විතරයි හිතන්නේ…

        මේ හේතුව නිසාම තමයි මම ආයේ ලංකාවට ගිහින් එහේ සේවය කරන්න කියලා තියපු අඩිය ආපස්සට ගත්තේ…. ගියා නම් මෙලහකට හෙන ගිණි විජ්ජුම්බරයක් වෙලා…. හොඳ වෙලාවට අපේ දෙමාපියෝ නෙවඳිනා වැඳුම් වැඳලා මාව මෙහේ තියා ගත්තේ…..

  7. […] පෙරත් වෙනත්බොහෝ දෙනෙකුත් තම තමන්ගේ බ්ලොග් අඩවි වල විටින් විට අදහස් පළ කර තිබෙනු […]

    • arunishapiro said, on ජනවාරි 18, 2011 at 4:05 ප.ව.

      //මර්වින් ඇමති තුමනි, මේ වතාවේ ඔබ නිවැරදිය….//

      මැර බලයෙන් නීති පැනවීමට වඩා දැනුමින් අවබෝධයක් ලබා දී ඒ අවබෝධයෙන් ලැබූ උවමනාවෙන් යමකට පිවිසීම වැදගත්. නැත්නම් මැරයා ඉන්දැද්දී භයෙන් යමක් කර හෝ නොකර ඉන්න පටන් ගත්තත් මැර බලය අහෝසි වෙච්ච දාට ඊට හසු වූ උදවිය ආයෙත් පරණ හුරුවටම බහිනවා.

      හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම් වලින් පිරි ලංකාවේ ‘හත් වසරක සාපය’ නම් වූ කාලය ගැන අසා ඇත් ද? ඉන් රට බතින් බුලතින් සරුසාර වූයේ නැත. සල්ලි අතැති උදවියට පොලු හරස් වූයේත් නැත. දුප්පතා නම් හැමදාමත් උස්සාගෙන දුවන සාගත මල්ලත් රැගෙන පෝලිම් වල ලැග සිටියෝය.

      හදිසියේම භාණ්ඩ අලෙවිය තහනම් කිරීමෙන් පාඩුව එයින් දවසේ වියදම සොයාගත් වෙළෙන්ඳාට
      හා වගා කළ ගොවියාට ය. පාරිභෝගිකයෝ වෙනත් දැයක් අනුභව කරනු ඇත. කැළණියේ අලෙවි නොවූනාට කොළඹට, නුගේගොඩට ගිහින් තහනම් එළවළු මිල දී ගන්න වාහන ඇති අයට හැකිය. අවසානයේ මිරිස්, තක්කාලි, බණ්ඩක්කා හා වැටකොළු කන්නට නැතිව යන්නේ නීති පිළිපදින දුප්පතාට ය.

      නීති නොදා, තර්ජනයක්, ගර්ජනයක්, මර්ධනයක් නැතිව, ආහාර පිණිස පැළයක් තමන් විසින් ම හිටවන්නට අවබෝධය ලබා දීම තුලින් තමන්ගේ උවමනාවෙන් සාමූහිකව රටක් හැටියට උත්සාහයක් හැමෝම ගත්තොත් වඩා හොඳ නොවේ ද?

      මෙගා නාට්‍ය පෙන්වද්දී හදිසියේම ඒක අතරමඟ නවත්තලා තක්කාලි පැළයක් හිටවන හැටි ගැන මිනිත්තු පහක් කියා දුන්නොත්?!!!

      • sujeewa said, on ජනවාරි 19, 2011 at 9:06 පෙ.ව.

        [[මෙගා නාට්‍ය පෙන්වද්දී හදිසියේම ඒක අතරමඟ නවත්තලා තක්කාලි පැළයක් හිටවන හැටි ගැන මිනිත්තු පහක් කියා දුන්නොත්?!!!]]

        මෙගා නාට්‍ය කියන්නේ ගෙවල් වල දහසක් වැඩ අතපසු කරන දෙයක් නේ. ඉතින් ඔය පොඩි අතු ගෑම් ලිපේ තියෙන හට්ටිය බලන්න ලුණු බලන්න වගේ ඇඳුමක් අයන් කරන්න එහෙම තියෙද්දී තමයි ඕක බලන්නේ. මේ වැඩේ කලොත් කට්ටියම සුටුස්‌ ගාල ගිහින් ඔය ඇරියස් වැඩ කර ගෙන ඒවි. අපි නොදන්න අපේ කට්ටිය.

        කියන්නත් දෙයක් ද අරුණි, තේරෙන්නේ නැද්ද මිනිස්සුන්ට. මෙච්චර එළවලු මිල නැගලත් තේරෙන්නේ නැද්ද? විද්‍යාත්මකව හරි විදිහට ටීවී ඒකෙන ඉගෙන ගන්න තියා දන්නා විදිහටවත් එළවලු පැලයක් වවනවද අපේ කට්ටිය?

  8. sujeewa said, on ජනවාරි 19, 2011 at 9:01 පෙ.ව.

    ඉතාමත් ම හොඳ ලිපියක්

    ඉඩමක අයිතිය හිමි වූ දවසක එළවලු වවන්න මාත් සිහින මවා ගෙන ඉන්නවා.

    වඩාත් වැදගත් පොඩිත්තියට හැබෑ ගොවි කෙල්ලකගේ අත් දැකීම ලබා දීම. දන්නවනේ සින්දුව “තිරය ඇරෙනවා” සුනිල් එදිරිසිංහගේ. උපන්නේ කොහේ උනත් දරුවන් හදිය යුත්තේ මහා පොළොවේ මිස වර්චුවල් ෆැන්ටසි වල නොවේ.

    අතුරු පලයක්‌ ලෙස කාබනික එළවලු නොමිලේ ලැබීමත් නාගරීකරණයේ ලෙඩ රෝග වලින් මිදී තව ටික කලකට ලයිෆ් එක්ස්ටෙන්ෂන් එකක් ලබා ගැනීමත්.

    සිහිනය ලඟදි හැබෑ වෙයි වගේ.

    • arunishapiro said, on ජනවාරි 19, 2011 at 12:16 ප.ව.

      sujeewa,
      ඉඩමක් තියන කම් වවන්න කල්දාන්න අවශ්‍ය නැහැ. අපේ වත්තෙ තිබිච්ච මල් පෝච්චි පේලියක මායි දුවයි වතාවක් ස්ට්‍රෝබෙරි පැළ කළා. ඒ වසන්තයේ අපි විතරක් නෙමේ අල්ලපු ගෙදර වත්තෙ පුංචි පැටව් පවා ඇවිත් අපේ පෝච්චිවල වවලා තිබිච්ච ස්ට්‍රෝබෙරි කන්න උදව් වුනා. අපි වවපු ස්ට්‍රෝබෙරි GM ක්‍රමයේ ඒවා ද නැද්ද කියලා අපිට හොයාගන්න නම් බැරිවුනා. කොහොම වෙතත් මල් පෝච්චි පේලිය නම් ලස්සනයි, කොළ පාට අස්සෙ රතු බල්බ් දාලා වගේ.

      සිහිනය සැබෑ වන්නැයි කියා මගෙනුත් සුබ පැතුම්!

      //දන්නා විදිහටවත් එළවලු පැලයක් වවනවද අපේ කට්ටිය?// ඵලයක් දකිනවා නම් උත්සාහයක් ගන්න අය ඉන්නවා. පුරුද්ද නිසා හැමෝම යන පැත්තට යනවා මිසක් නැවතිලා කල්පනා කරන අය නැහැ. තනිවම තොරතුරු හොයා යන්නත් ලාංකිකයා තවම ළාබාලයි. ඒත් මෙගාවකින් යාන්තමට ඇහැට පෙනිලා හරි කෙනෙක් දෙන්නෙක් හරි නැවතිලා හැමෝම යන පැත්ත නොව වෙනත් පැති ද දකින්න ගත්තොත් ඒක ලොකු දෙයක්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න