අරුණි ශපීරෝ‍ වෙතින්

ගිනි නිවන හමුදාවේ බෙල්ලො උත්සවය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 30, 2011

කාමෝද්දීපනය ඇතිවෙන්නේ දේශපාලනයෙන් කියලා සමහරු සැක කළාට, තවත් පිරිසක් හිතනවා කාමෝද්දීපනය සඳහා කෑම ජාතිත් තියෙනවා කියල. එහෙම කෑම ජාති අතර රයිනෝසිරස් අං වගේම බෙල්ලොත් ඉන්නවා. හැබැයි මේ කෑම වලින් කාමෝද්දීපනය වඩවනවා කියන එකත් ගුඩ් ලක්, මිස්ට ග්‍රොස්කි’ කිව්වා වගේ නාගරික වෘත්තාන්තයක් ද?!!

නාගරික වෘත්තාන්තයක් කියන්නෙ මෑත කාලයක නගරයකින් බිහිවෙච්ච කට කතාවක්. අර යාළුවෙක්ගෙ යාළුවෙකුට වෙච්ච දෙයක් වගෙ පැතිරිලා යන කතා.

රෝම අධිරාජ්‍යයෝ බෙල්ලන් මිල දී ගෙන තියෙන්නෙ උන්ගෙ බරට රත්තරන් වලින් ගෙවලයි කියන එකත් එහෙම කතාවක් ද දන්නෑ!

කාමයේ හා ආදරයේ දෙව්දුව කියන ග්‍රීක ඇෆ්‍රඩයිටි මුහුදෙන් බෙල්ලො පියනක ඇවිත් ඊරෝස් බිහිකරපු නිසා aphrodisiac කියන වචනය බිහිවුන කතාවත්, කැසනෝවා හැම සන්ධ්‍යාවකම බෙල්ලෝ 144 ක් කෑව කතාවත් වෘත්තාන්ත වලට අයිති ඇති!!

අපිට ටිකට් දෙකක් ලැබුණ Powellville ගිනි නිවන හමුදාවේ බෙල්ලො උත්සවයට. මගෙ සුද්දා මීට කළින් මෙවැන්නකට සහභාගි වෙලා නැහැ. අළුත් අත්දැකීමකට මාත් හැමදාම සූදානමින් තමා ඉන්නෙ.

ඇමෙරිකාවේ ගිනි නිවන හමුදා ඇමෙරිකන් ඉතිහාසයත් එක්ක ඉතා ළං වූවක්. ලී වලින් තමයි ඇමෙරිකාවේ නිවාස බොහොමයක් අතීතයේ පටන් නිම වෙන්නෙ.

බෲස් ලී මිට මොළවලා පාරක් ගැහැව්වම බිත්තිය දෙබෑ වෙනවා දැකලා ඇතිනෙ චිත්‍රටපටි වලින්. මේ පැත්තෙ දී එහෙම කඩන්න වැඩි ශක්තියක් අවශ්‍ය නැහැ. බිත්ති මැදින් දුවන 4X4 ලෑලි අහු නොවෙන තැනකට මිට මොළවලා ගහන්න විතරයි ඕනා, පපඩම් බිත්ති!!

1631 දී බොස්ටන් ආණ්ඩුකාරයා තහනම් කරන තෙක් නගරයේ චිමිනි පවා නිමැවෙලා තියෙන්නෙ ලීයෙන්.

කට්ටියක් එක්ක එකතු වෙලා රටේ හැම දෙයක් ගැනම කතා කරපු ෆිලඩෙල්ෆියාවේ තරුණයෙක් හිටිය. හේ නමින් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්. ස්පාඤ්ඤ භාෂාවෙන් ආපු ‘ජුන්ටා’ යන වචනයේ එක තේරුමක් ‘රැස්වීම’ යි. ඉතින් බෙන්ජමින්ගෙ රැස්වීම් වලට නමක් වැටුන ‘ජුන්ටෝ ක්ලබ්’ කියල. ඒ අය රැස්වුනේ තැබෑරුමක!

ලීයෙන් තැනූ නිවාස ගිනි ගනිද්දී, අතීතයේ ඇමෙරිකාවේ ගිනි නිවන්න ‘බාල්දි කණ්ඩායම්’ දාලා තිබුණ. ෆිලඩෙල්ෆියාවේ ගිනි නිවන කටයුතු කාර්යක්ෂම කරන්න ජුන්ටෝ සංගමය එකතු වෙලා උපකරණ ලැයිස්තුවක් හැදුව. ළඟම තියන ළිඳෙන් වතුර ගන්න හම් බාල්දියක්, නිවසක බඩු අයින් කරන්න ලොකු කූඩයක්, ඉනිමඟක් යනාදිය හැම ගෙයකම තිබීම අනිවාර්ය වූවා.

ජුන්ටෝ සංගමය පටන් ගත්ත ‘එක්සත් ගිනි නිවන කොම්පැණිය’ වසර කිහිපයක දී ඇමෙරිකාවේ හදිසි ගින්නෙන් ආරක්ෂිතම නගරය ෆිලඩෙල්ෆියාව බවට පත් කළා.

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විතරක් නෙමේ ඇමෙරිකාවේ මුල් ම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ද ගිනි නිවන හමුදාවක ස්වේච්ඡා සේවයේ යෙදුන අයෙක්. ඒ කාලේ වගෙ ජනාධිපතිවරු අද කොහෙද?!!

අදත් ඇමෙරිකාවේ වැඩියෙන් තියෙන්නෙ ස්වේච්ඡා ගිනි නිවන හමුදා. වෙනත් රැකියා කරන අය තමන්ගේ කාලය පුහුණුවට හා ගිනි නිවන්න යොදවනවා. පළාතේ ආධාර මුදල් වලින් තමයි මේ ගිනි නිවන හමුදා නඩත්තු වෙන්නෙ.

අපි සහභාගී වෙච්ච බෙල්ලෝ උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නෙ ඒ ගමේ ගිනි නිවන හමුදාවට ආධාර එකතු කරන්න. ඇතුල්වීමේ ටිකට් පතක් ඩොලර් තිහක්. කන්න පුළුවන් තරම් බෙල්ලො කන්නත්, බොන්න පුළුවන් තරම් බියර් බොන්නත් පුළුවන්.

පැත්තක හිටියා තම්බපු නැති බෙල්ලො ඒ වෙලාවෙම ඇරලා දෙන කළු ඇමෙරිකන් කෝකියෝ දෙන්නෙක්. පණ පිටින් ඉන්න බෙල්ලො කන අය වැඩිය දැක්කෙ නැහැ. බෙල්ලො ගැන දැනුමැති අය කිව්වෙ පණ පිටින් බෙල්ලො කද්දී ෂැම්පේන් හරි විස්කි හරි බොන්න ඕනා මොනව හරි විෂබීජ තියනවා නම් ඒවත් මරන්න කියලා!

පෝලිමේ ඇතුලට ගිහින් වාඩි වුනාම මේසයට ගෙනැත් බෙල්ලො බාල්දියක් හලනවා. මේ තම්බපු බෙල්ලො. මේවාට නිතර යන එන අය තමන්ගෙ බෙල්ලො අරින පුංචි පිහියත් අරගෙනමයි ඇවිත් උන්නෙ. බෙල්ලා ඇරලා, සෝස් ටිකක් හෝ දෙහි යුෂ බිංදුවක් ඉහළ, පිහි තුඩෙන්ම බෙල්ලා කටට දා ගන්නවා. ඊට පස්සෙ බියර් උගුරක් බොනවා.

බියර් බොන්නෙ නැති අයට සෝඩා පාන තිබුණ. බෙල්ලො කන්නෙ නැති අයට හරක්මස් සැන්විච් තිබුණ. තම්බපු බෙල්ලො කන්න අකමැති අයට තෙලෙන් බැදපු බෙල්ලො සැන්විච් තිබුණ.

අපිට ඉස්සරහින් වාඩිගත් කෙනාට දවසක් මුතු ඇටයක් හම්බ වුනාලු. ඒ වසර දහයකට පෙර. මේ උත්සවයට නොකඩවා එන කෙනෙක්.

මේ අය කාපු බෙල්ලෝ මේ පළාතේ චෙසපීක් බොක්කේ ධීවර කර්මාන්තයට අයිතියි.

උත්සවයට සහභාගී වෙච්ච සංඛ්‍යාව එදා දවසේ දාහකට ආසන්නයි.

උත්සවයට ආපු අය හැඳගෙන හිටියේ ගෙදර දී අඳින වස්ත්‍ර. කතාබහ කළේ මුව දඩයම් හා මාළු මරන්න ගියාම ලැබිච්ච අත්දැකීම් ගැන. එතැන සිටි පිරිස වැඩිදෙනා ගොවියෝ, වඩුවෝ, යාන්ත්‍රික කම්කරුවෝ සහ පොලිස් නිලධාරියෝ. ඉස්සර වැඩිය කාන්තාවෝ ආවේ නැහැ කියල අර මුතු ඇටය හම්බ වෙච්ච මනුස්සයා කිව්වා. ඊයේ නම් කාන්තා පක්ෂයේ අඩුවක් දැක්කෙ නැහැ. ආසියාව පැත්තෙන් ආපු අයෙකුට හිටියෙ නම් මම පමණයි.

කන බොන වේගය අඩු වෙද්දී ‘ගන් රැෆල්’ තරඟයක් පැවත්වුණා. රෙමින්ග්ටන් 700, බෙරෙටා 3901 සහ ටී/සී ඔමෙගා තුවක්කු 3 ක් තෑගි!!

දැන් වැඩ කරන ජනතාවගෙන් අයෙක් ගෙදර වියදමට තියන සල්ලි තුවක්කුවක් ගන්න වියදම් කරන එක ‘හොඳ’ නැහැනෙ. ඉතින් මෙහෙම ආධාර දිය යුතු තැනක දී ‘දිනුමකින්’ තුවක්කුවක් ලැබුණම ‘කමක් නැති’ නිසා ද කොහෙද හිටපු හැමෝම ඒ රැෆල් එකට සහභාගී වුනා.

අවසානයේ තව කන්න, තව කන්න කිය කියා බෙල්ලෝ බාල්දි අරන් ශාලාව වටේ ගිය ගිනි නිවන හමුදා අය බියර් එකත් ළඟට ගෙනැත් දෙන්නත් ඉදිරිපත් වෙනවා දැක්ක. හැමෝම ඇති තරම් කාලා, ඇති පදම් බීලා විසිරිලා ගියා.

කාපු බෙල්ලන්ගෙ පියන් විසි කරන්නෙ නැහැ. බිත්තර දාන කුකුලන්ට කැල්සියම් අවශ්‍ය නිසා උන්ගෙ කෑම වලට එකතු කරන්න යොදා ගන්නවා. මේ පැත්තෙ සමහර නිවෙස්වලට යන අඩිපාර උඩින් දාන්නෙ බෙල්ලො පියන් කුඩු කරලා. ඒ වගේම ආපහු මුහුදු වෙරළටම ගල්පර ශක්තිමත් කරන්න එකතු කරන බෙල්ලෝ පියන් නිසා පරිසරය රැකිලා තවත් බෙල්ලෝ ජනගහණය වැඩි කරන්න උපකාර වෙලා තියෙනවා.

කැසනෝවා කාපු බෙල්ලො 144 ට වඩා කාපු අය නම් ෂුවර් එකට ඉන්නැති!!!

23 Responses

Subscribe to comments with RSS.

  1. කොලූ said, on ජනවාරි 30, 2011 at 7:12 ප.ව.

    //හැමෝම ඇති තරම් කාලා, ඇති පදම් බීලා විසිරිලා ගියා.//
    අයියෝ කිසිම ආතල් එකක් නැහැනේ. ඒ වගේද අපේ ගමේ. බලන්න එපෑය සිරි, පන්සලේ දායක සබාවත් ඔයීට වඩා හැපනින්. සරතාගේ ඔලුව පලලා. ගුරාගේ සරම කඩලා. කොල්ලෝ තාප්පෙට නැගලා යූ.ඇන්.පී නෝනලාගේපුතාලට හූ කියලා. පොලීසියෙන් ඇවිල්ලා, සරතායී, ගුරයී අම්මාබානට කාපු අනින් නෝනලාගේපුතාලයී කුදලගෙන ගිහිල්ලා. බලන්න එපෑයැ සිරි.

    • arunishapiro said, on ජනවාරි 31, 2011 at 10:34 පෙ.ව.

      අපි ඇමෙරිකන්කාරයෝ, ඇතුලෙ ගහ ගහන්නෙ මක්කටයෑ. පණුවෝ දඟලන්න ගත්තම ගිහින් ලෝකෙ කොයි පැත්තක් හරි සුන්නත් දූලි කරලා එනවා මිසක්. අනේ ආ‍යිබෝං කියලා!

      ඔබාමා ආණ්ඩුව ඊජිපත්තුවට ඇඟිලි නොගහා අනා නොගත්තොත් නම් ඔන්න ‘වෙනසක්’ කියලා ආඩම්බර වෙන්න පුළුවන් වෙයි!

  2. Alchemiya said, on ජනවාරි 30, 2011 at 7:20 ප.ව.

    //එහෙම කෑම ජාති අතර රයිනෝසිරස් අං වගේම බෙල්ලොත් ඉන්නවා. හැබැයි මේ කෑම වලින් කාමෝද්දීපනය වඩවනවා කියන එකත් ‘ගුඩ් ලක්, මිස්ට ග්‍රොස්කි’ කිව්වා වගේ නාගරික වෘත්තාන්තයක් ද?!!//

    පර්යේෂණයක් කරන්න කියාපු මාතෘකාව…. ඕන තරම් Volunteers ලා හොයාගන්න පුළුවන් වේවි….

    හැබැයි අරුණි පසුවදන ලියලා නැහැනේ…

    දැන් අරුණිලගේ ගෙදර සුද්දට තුන් වේලටම බෙල්ලෝ ලැබෙනවලු…

  3. praveena said, on ජනවාරි 30, 2011 at 9:07 ප.ව.

    “තවත් පිරිසක් හිතනවා කාමෝද්දීපනය සඳහා කෑම ජාතිත් තියෙනවා කියල”

    අපට පේන විදියට ඔය බෙල්ලෝ අයිති වෙන්නෙත් මේ ගොඩටනේ. දැන් මට ප්‍රශ්නයක් අහන්න තියනවා. කොහොමද අහන්නේ කියන එක තමා ප්‍රශ්නේ!

    දැන් ඉතින් බෙල්ලෝ කාපුවාම ඔය කියන කතා ඇත්තද?
    උඩහින් ඉන්න එක්කෙනා කියලා තියනවා වගේ දැන් හැමදාම ගෙදරට බෙල්ලෝ ගන්නවද?
    නෑ මම නිකං ඇහුවේ බෙල්ලෙක්, දෙන්නෙක් අරගන කාලා බලන්න.

  4. Priyantha said, on ජනවාරි 30, 2011 at 10:53 ප.ව.

    බෙල්ලන් වැනි ආහාර නිසා කාමෝද්දීපනය වෙන්නේ කේසේදැයි අදහසක් තියන කෙනෙක් ඉන්නවද?
    විද්‍යාත්මක හේතුවයි මම හොයන්නේ.

    • Alchemiya said, on ජනවාරි 31, 2011 at 1:39 පෙ.ව.

      බෙල්ලන්ගේ සින්ක් කියන මූලද්‍රව්‍යය වැඩියෙන් අඩංගු වෙනවා. ලිංගික ක්‍රියාවලියට සහ ලිංගික සෞඛ්‍යයට සින්ක් මූලද්‍රව්‍යයේ සම්බන්ධයක් තියෙනවා. ඒක වෙන්න ඇති එහෙම කියන්නේ.
      පෙනෙල කොළ කැඳ බිව්වාමත් එහෙම වෙනවා.
      දූරියන් ඇට වලත් ඔය කියන ගතිය තියෙනවා… දූරියන් ඇට පෙති ගහලා වතුර භාජනයක රැයක් එළිවෙන්න තියලා බිව්වාමත් වාජීකරණ ශක්තිය ලැබෙනවා කියලා මතයක් තියෙනවා….

      • නවම් said, on ජනවාරි 31, 2011 at 3:08 පෙ.ව.

        දූරියං ඇට මල්ලක් එවන්නදෝ……….. ?? :) :)

      • නවම් ඇට ගන්න මදුලු කන්න එපැයි.මදුලු කන්න මමත් සහභාගී වෙන්නද ?

      • නවම් said, on පෙබරවාරි 3, 2011 at 12:04 පෙ.ව.

        අම්මෝ මං ආසම නැති ජාතියක් තමයි ඔය දූරියන් කියන්නෙ. මම ඒකෙ සුවඳට ආසම නෑ. අම්මයි, නංගියි, චූටි මැණිකෙයි නං පණ ඇරල දූරියං කිව්වම.

      • arunishapiro said, on පෙබරවාරි 3, 2011 at 9:58 පෙ.ව.

        නවම්, දූරියන් ටොපි විකුණනවා තායිලන්තයේ. මට නම් ඒවායෙත් ඔය කියන ‘සුවඳ’ දැනෙනවා! ඒත් නහය වහාගෙන කෑවාම දූරියන් මදුළු හරි රහයි.

      • අපේ ගෙදරනම් හතර දෙනාම එක පයින් .සමාන‍යහෙන් ගෙඩි දෙකක් ඉවර වෙන්න විනඩි 10 – 20 ක් යන්නේ.මුලින් නංගිත් කැවේ නැ පස්සේ පුරුදු වුනා.දුරියන් ගැන හොද ආටිකල් එකක් තිබ්බා මෙතන http://linq.lk/adxv මට ෂුවර් මේකේ තියන විදියට දූරියන් කැවොත් ඔයත් අනිවාර්යේන්ම කනවා

  5. යාශ් said, on ජනවාරි 31, 2011 at 12:05 පෙ.ව.

    බෙල්ලන් වැනි ආහාර වලින් කාමෝද්දීපනය ඇති වන්නෙ සමහරවිට නය්ට්‍රික් ඔක්සය්ඩ් නිදහස් කරන යම් එන්සය්මයක් ඇති.ඔය කාමෝද්දීපනය වඩවන ඔසු වලත් සිදුවන්නෙ ඉහත ක්‍රියාවලියමනේ.

    • Alchemiya said, on ජනවාරි 31, 2011 at 1:39 පෙ.ව.

      බෙල්ලන්ගේ සින්ක් කියන මූලද්‍රව්‍යය වැඩියෙන් අඩංගු වෙනවා. ලිංගික ක්‍රියාවලියට සහ ලිංගික සෞඛ්‍යයට සින්ක් මූලද්‍රව්‍යයේ සම්බන්ධයක් තියෙනවා. ඒක වෙන්න ඇති එහෙම කියන්නේ.
      පෙනෙල කොළ කැඳ බිව්වාමත් එහෙම වෙනවා.
      දූරියන් ඇට වලත් ඔය කියන ගතිය තියෙනවා… දූරියන් ඇට පෙති ගහලා වතුර භාජනයක රැයක් එළිවෙන්න තියලා බිව්වාමත් වාජීකරණ ශක්තිය ලැබෙනවා කියලා මතයක් තියෙනවා….

  6. nihal gurusinghe said, on ජනවාරි 31, 2011 at 1:11 පෙ.ව.

    අරුණිගෙ ලිපි හැම එකක්ම පොඩි පහේ පාඩමක් වගේ. හරිම ඉන්ටරෙස්ටිං. ඔය දිවි මකුළු විශේෂයක් ඉන්නවලු. උන්ගෙ බොකු බැදල කෑවමත් කාමෝද්දීපනය ඇතිවෙනවලු. මම නං මකුළුවන්ට පරාණ බයයි.ඒත් ඉතිං වැඩේ ෂුවර් නං….

    ඔය නයිට්‍රස් ඔක්සයිඩ් වායුවට ” සිනා වායුව ” කියල කියනව කියල එක්දාස් නමසිය බර ගණන් වලදී මම රසායන ව්ද්‍යාව කරන කොට අහල තියෙනව. ඒකෙ නියම තේරුම දැන ගන්න සෑහෙන කලක් ගත උනා..

  7. නවම් said, on ජනවාරි 31, 2011 at 3:13 පෙ.ව.

    අච්චර අවුරුදු ගානක් ගාල්ල පලාතෙ ඉඳලත් බෙල්ලෙක් කන්න බැරිඋනානෙ අම්මප. කොහේද අපේ අම්මත් එක්ක ඕව කොරන්න බෑ. චූටිමැණිකෙ ඊට හපං. ඒත් අර කතාව කිව්වොත් තව අවුරුදු හතලිහක් විතර ගියාම බාල්දියක් විතර තම්බල දෙන්නත් බැරි නෑ ඕං. ;)

  8. නවීන් said, on ජනවාරි 31, 2011 at 5:17 පෙ.ව.

    අපේ ඉලන්දාරියාට පොඩි සහයෝගයක් දක්වන්න.. ඔයාගේ පාඨකයෝ හරහා එක කරන්න පුළුවන් වේවි..

    http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html

    Hands for Dilum http://goo.gl/VOrr5

  9. arunishapiro said, on ජනවාරි 31, 2011 at 11:10 පෙ.ව.

    විද්‍යානුකූලව එහෙම ආහාර හෝ බෙහෙත් ඇතැයි ඔප්පු කර නැහැ. ඒකයි මේ කතා නාගරික වෘත්තාන්ත අතරට වැටෙන්නෙ.

    මත්පැන් බිව්වම සමහර අයගෙ කෝල කුලෑටි ගති අඩු වෙනවා. එතකොට ගිහින් නොදන්න අය එක්කත් කතා කරලා දැන අඳුනගන්න පසුබට වෙන්නෙ නැහැ. අන්න ඒ වගේ ‘ශක්තියක්’ තමන් මේ වගේ ආහාර වලින් ලැබෙනවා කියල විශ්වාසයක් තියෙනවා නම් ඒකෙන් හිත රවට්ටා ගන්න නොදැනුම පිරි අයට පුළුවන්!!

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලිබිඩෝ (කාමරාගය = ලුබ්ධිය) සංකල්පය ජනප්‍රිය කෙරුවා. ලිබිඩෝ කියන්නෙ පුද්ගලයා සතු සහජ වූ ජවයක් හෝ බලයක්. ලිංගික හෝර්මෝන කියන ඒවා, විශේෂයෙන් ම ටෙස්ටොස්ටොරොන් හා ලිබිඩෝ මට්ටම් අතර පැහැදිලි සම්බන්ධතාවයක් විද්‍යාඥයෝ දකිනවා. නමුත් ඒ ජවය උද්දීපනය කරන්න බාහිරින් බලපෑම් කරන හැටි ගැන ‘විද්‍යාත්මක’ වූ ඔප්පු කිරීමක් කා ළඟවත් තාම නැහැ. තියරි විතරයි හැමෝටම තියෙන්නෙ!!

    ඒ කියන්නෙ කිසිම පිටස්තර වූ ආහාරයකින්, ඖෂධයකින්, රහස් ගුරුකමකින් හිත රවට්ටන්නේ නැතිව විද්‍යාත්මකව ශරීරයේ ලිබිඩෝ උද්දීපනයන් ඔප්පු කරන්න කිසිම විද්‍යාඥයෙක් තවමත් සමත් නැහැ.

    මගේ තාත්තා ‘ලිංගික මනෝවිද්‍යා රහස්’ කියලා පොතක් ගැහැව්වා ඉතා ඈත අතීතයක දී. ඒ දවස්වල උසස් පෙළ හදාරමින් සිටි මගෙ නංගියා ඒ පොත ඇරලා බලලා ‘කෝ මේකේ නොදන්න දෙයක් නෑනේ’ කිව්වා! හැබැයි අදටත් තාත්තා ගහපු පොත් අතරින් ඒක හොයාගෙන එන අය ‘සූ ගාලා’ ඉන්නවාලු.

    හැම දෙයකටම පිටතින් උදව්වක් ගන්න අපි ඉක්මන් ඇයි?

    ස්ව උත්සාහය වැඩි, මිථ්‍යා විශ්වාස අදහන්නෙ නැති, මටයි මගෙ සුද්දටයි තියන්නෙ ‘පොර’ හිත්!! බෙල්ලො ඕන නැහැ!!! :-)

  10. kumaraya said, on ජනවාරි 31, 2011 at 12:13 ප.ව.

    මට නම් මේ වෙනකම් ඔය කියන කාමෝද්දීපනය ඉතාම හොඳින් තියෙනවා… අමුතු ආහාර පාන නැතුවට.
    ඉදිරි කාලයෙ මොනව වෙයිද කියන්න බෑ.

  11. හීනියට said, on පෙබරවාරි 2, 2011 at 7:26 පෙ.ව.

    තම්බපු බෙල්ලො මොන රහද?
    අමුවෙන් කිව්වෙ පණ පිටින්ද? ඒවයේ රහ බැලුවෙ නැත්ද?

    • arunishapiro said, on පෙබරවාරි 2, 2011 at 9:32 පෙ.ව.

      හීනියට,
      මස් ජාතියක රහ ඇහැව්වම මෙහෙ ඕන කෙනෙක් කියන්නෙ කුකුල් මස් වගේ රහයි කියල!! ඒත් තම්බපු බෙල්ලො මුහුදු වතුර හා මාළු රසයක් එක්ක ටිකක් තිත්ත ගතියක් තිබ්බ. මං කෑවේ එකයි. මුකුත් සෝස් නොදා. බැදපු බෙල්ලො සැන්විච් එක නම් බැදපු තෝරා මාළු පෙත්තක් වගේ රහයි.

      ඔව්, අමුවෙන් කිව්වෙ පණ ඇති බෙල්ලො වලට. පියන් ඇරලා පණ පිටින් ඉන්න බෙල්ලො කන අය ඉන්නවා. ඒක මේ පැත්තෙ වැඩියෙන් සල්ලි දීලා කන විශේෂ දෙයක් හැටියට සලකන්නෙ. ඒත් එහෙම කාපු අයව නම් වැඩිය දැක්කෙ නැහැ. අපි දෙන්නත් පණ පිටින් බෙල්ලො රහ හොයන්න ගියේ නැහැ.

      • මම දවසක් (හුගක් පොඩි කාලේ මම හය වසරේ විතර ඇති ) බේරුවල පැත්තේ බා අකුරෙන් පටන් ගන්න හෝටලයක ඉන්නකොට (ගේදර කට්ටියත් එක්ක ගිය ගමනක් ) කොරියන් තාත්තා කෙනෙකුයි පුතෙකුයි (මගේ වයසේ විතර ) බෙල්ලෝ එතනින්ම මුහුදෙන් අල්ලාගෙන (මම හිතන්නේ කවාටි කියන ජාතිය ) පොඩි භුමිතෙල් හරි ඒ වගේ ලිපක් තියාගෙන බැද ගෙන කැවා.මමත් කැවා එකක් ඉල්ලාගෙන මට මතක හැටියට රහ බිත්තර භාගෙට තම්බලා ලුණු වැඩියෙන් දාල වගේ හැබැයි සෙවල ගතියකුත් තිබ්බා.මම අහලා තියෙනවා බෙල්ලන්ගෙන් ව්‍යංජන හදනවා කියලා හොයලා බලන්න ඔනේ

      • arunishapiro said, on පෙබරවාරි 3, 2011 at 10:39 පෙ.ව.

        ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
        ඔයා හරියටම හරි, බිත්තර බාගෙට තම්බලා ලුණු වැඩියෙන් දාල වගේ රහක් තමා!

        ඔව්, දැල්ලො ව්‍යාංජනය වගේ හදන්න පුළුවන් ඇති.

        එක හා සමාන වුවත් වෙනස්කම් ඇති බෙල්ලන්, මට්ටි හා කවාටි වෙනස්කම් මොනවා දැයි නොදනිමි. බටුවංගල විද්‍යාලයෙ අයගෙන් ඒ ගැන පිංතූර එක්ක ලිපියක් වැටුනොත් අගෙයි.

  12. [...] ගිණි නිවන හමුදාවේ බෙල්ලෝ උත්සවයෙන් බොහෝ දෙනාගේ අවධානය පොඩ්ඩක් “අර [...]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 109 other followers