ලෝක ජනගහණයට ආහාර සැපයුම
ලෝක ජනගහණය වැඩිවෙලා, සත්තු වර්ගයන් වඳ වී යනවා, බිලියනක ජනතාවක් යාන්තමින් කුසගිනි පියවාගන්නේ යන වදන් ඇහෙනා විට ඒවා කියනා අය මානව, පරිසර, සත්ව හිතවාදී වූවන් යැයි දැඩි ලෙන්ගතුකමක් තමයි සිතට දැනෙන්නෙ. ඒත් මේ අයගේ ඇජෙන්ඩාව මොකක් ද? කියා සිතා ඒ ගැන සොයා බලන්න පටන් ගත්ත දාට තමයි ඇත්ත ඇති සැටියෙන් පේන්න පටන් ගන්නෙ.
පසුගිය ගිම්හානයේ ඩෙලවෙයාර්හි රෙහොබොත් නැමති වෙරළාසන්න නගරයේ ප්‍රාන්ත කිහිපයක ප්‍රාන්ත ආණ්ඩුවල නිලධාරීන් හමුවක් පැවතුණා. ඊට නොයෙක් ක්ෂේත්‍ර වල ඉන්නා අය ගෙන්වා දේශන පැවැත්වූවා. මෙහි දී දේශනයක් පවත්වන්න ආපු පෝල් ශපීරෝ (නෑදැයෙක් නෙමෙයි දන්න තරමින්) ඇමෙරිකාවේ සත්ව හිතවාදය වෙනුවෙන් කැප වූ ජාතික සංවිධානයේ නියෝජිතයෙක්.
කළින් කිව්වනෙ ඩෙලවෙයාර් වල කර්මාන්ත කුකුල් වගාව ප්‍රධාන ආදායම් මාර්ගයක් කියල. අද ඇමෙරිකාවේ ගෙවතු කුකුල් වගාව ජනප්‍රිය වීගෙන යනවා. තමන්ගෙ වත්තෙ කුකුලෙක් දෙන්නෙක් දාගෙන බිත්තර වලට වැඩියෙන් හා ඉඳහිටක මස් පිණිස ඇති කිරීම. පෝල් ශපීරෝ ඉතා දක්ෂ කථිකයෙක්, මම දන්න ශපීරෝලා ගොඩක් එහෙමයි!! අනික තැනේ හැටියට සටන්කාමීත්වය අඩු වැඩි කරලා කතා කරන්නත් දන්න අයෙක්.
තමන්ගෙ වත්තෙ කොටු කරන්නෙ නැතිව නිදහසේ ඇවිදින කුකුල්ලු හදාගනිද්දි හැමදාම බිත්තරයක් දෙන ‘හෙන්රියෙටා’ කිකිළියට කොතරම් ආදරයක් ලැබෙනවා දැයි ඔහු කියද්දි අහගෙන ඉන්න අයට අමතක වෙන්නෙ රෑට වත්තට ඇවිත් ‘හෙන්රියෙටාව’ මරලා කන නරි නාම්බා ගැන. කුකුලන් රොත්තක් එළිමහනකට දැම්මොත් උන් වහාම පියස්සක් අස්සට දුවන්නෙ. ගස්වල අතුවලින් මුවා වෙලා තමයි පනුවෝ ඇහිඳින්නෙ. ඒ සහජ වූ ජානුගත ස්ව ආරක්ෂාවට. අහසේ පියාසර කරන රාජාලියන්, උකුස්සන් වෙතින් බේරෙන්න.
ඇඩම් ස්මිත්ගේ භාෂාවෙන් කිව්වොත් කර්මාන්තකරණය නිසා ශ්‍රමයෙන් පොඩ්ඩක් වෙහෙසලා විශාල වැඩ ප්‍රමාණයක් නිම කරන්න අද ඉඩක් ලැබෙනවා. ඒ තේ බිබී අල්ලාප සල්ලාපයේ යෙදී වැඩ නොකරන අයට නෙමෙයි. ලංකාවේ අය පිටරට ගියාම පරණ යාළුවෝ සේරම එක්ක මුහුණුපොතෙන්, ස්කයිප් වලින් කතා බහට ඉඩ තියෙනවා. ඒත් ලංකාවේ ඉන්දැද්දී ඒ අයව අල්ලා ගන්න හරි අමාරුයි. මොනවට ද ඔබේ කාලය වැඩියෙන් ම ගෙවෙන්නෙ? ඵලක් ඇති වැඩක් කරන්න ද? නැත්නම් සම්ප්‍රලාප වලට ද?
මිනිසා බිත්තර සඳහා කුකුලෙක්, මස් වලට ඌරෙක්, තමන්ගෙ පරිහරණයට එළවළු පළතුරු වවපු නොයෙක් කාලයන් ලෝකේ තිබ්බා. ඉතිහාසයෙන් පෙනෙන්නෙ ඒ වෑයම් වල දී ස්වභාවික උපද්‍රව නිසා, ආණ්ඩු පිළිවෙත් නිසා රටවල් පිටින් ජනතාව සාගතයෙන් වූ බව.
1315-17 යුරෝපීය මහා සාගතය පෙන්වන්නේ පුංචි ළූණු ගෙඩි දෙකක් ගන්න දවසෙන් බාගයක් වැඩ කරන්න වෙච්ච හැටි!! 2006-8 කාලයේ ද ලෝකයේ යුරෝපීය මහා සාගතය කාලයේ දී මෙන් තිරිඟු හිඟයක් පැවතියා. ඒත් 1315 දී වගේ බඩගින්නේ හිටිය අය ගැන අහන්න ලැබුනේ නැහැ. (අද සාගත ඇති රටවල් ගැන වෙනම සටහනක් මඟ එනවා.)
2006-8 දී තිරිඟු නිෂ්පාදන වලින් ආහාර සපයන කර්මාන්ත බොහොමයක් මුලින් ම තමන් විසින් පාඩු විඳගෙන මිල ඉහළ දැම්මෙ නැහැ. මොකද මුලින් ම මිල ඉහළ දාන කෙනාගෙ බඩු ගන්න අයෙක් නැතිවෙන නිසා. ඒ මිල පාලනයක් නැති රටවල එකිනෙකා හා තරඟයෙන් මිල තීරණය වෙද්දී!!! ඊ ළඟට ඔවුන් කරන්නෙ නිෂ්පාදන වැය අඩු කරගන්න වෙනත් අංශ දිහා බැලීම. අවසානයේ දී තමයි මිල ඉහළ යන්නෙ. ඒ නිසා 2008 දී තිරිඟු හිඟයෙන් ගොඩ එද්දී මිල ඉහළ යෑම අවම කරගෙන පාරිභෝගිකයාව භාණ්ඩය පරිහරණයේ තබාගන්න ඔවුන්ට හැකිවෙනවා. තවත් විදියකින් කිව්වොත් පාරිභෝගිකයා හාමතේ හිටියේ නැහැ!!!
අද එක් අයෙකුට ලැබෙන ආහාර සියල්ල වවන්නට, අසුරන්නට, බෙදා හරින්නට එක් අයෙකුට බැහැ. ඒවා බොහෝ පිරිසක් අතින් නිමවෙලා තමයි එක් අයකුගේ පරිහරණයට එන්නෙ. ලංකාවේ අයත් කන්නෙ බොන්නෙ රටේ විතරක් නෙමෙයි පිටරටින් ද ගෙන්වන ඒවා. ලංකාවේ විතරක් නෙමෙයි මේ පැති වලත් “පළාතේ වවලා පළාතේ කන්න” කියන අය බොහොමයක්. ඔවුන්ට අමතක වෙන කාරණය තමයි එදා වගේ සීමිත ආහාර වට්ටෝරුවක අපි හිරවෙලා නැති බව.
ඩෙලවෙයාර් වල කිතුල් හකුරු නැහැ. ඒත් සෝයා බෝංචි වගාව සරුවට කෙරෙනවා. කෙසෙල් වවන්න පුළුවන් රටේ ඇපල් හදන්න බැරි නම් ඇපල් කන්න එපා කියන එක නෙමෙයි සිද්ධ විය යුත්තේ. කෙසෙල් විකුණලා ඇපල් මිලට ගත හැකි ක්‍රමය හදා ගන්න එක. කෙසෙල් ද කන්නෙ ඇපල් ද කන්නෙ කියන එක මිල නිසා නොව එවිට කැමැත්ත නිසා තීරණය වෙන්නෙ.
උඩ පින්තූරය ගත්තෙ ඊයේ කඩේ ගිය වෙලාවේ. ඇමෙරිකාවේ පැයකට ගෙවන අවම පඩිය $7.25 ක් වෙද්දී කුකුල් මස් රාත්තලක් ඩොලරයකට ගන්න පුළුවන්. ඩෙලවෙයාර් වල අලෙවි බදු නැහැ.
ඇමෙරිකාව ලෝකයේ නන් දෙසින් එන භාණ්ඩ වැඩියෙන් ම මිල දී ගන්නා රට වෙන නිසාම ඔවුන්ට නිදහස, කාලය හා මුදල් වැය කරන්න හැකියාව තියනවා ලෝකයට ම විකුණන ඇපල් (කන ඒවා නෙමෙයි!!) බඩු අළුතින් බිහි කරන්නට. කුකුල් මස් රට පටවන්නට. බඩ ඉරිඟු වවන්න. ඒත් පිටරටින් මෙහෙට ගෙන්වන හැම දෙයක් ම මෙහෙ ඊට වැඩි මිලකට හදන්න නීති ඇවිත් ඒවාට හිරවුනාම තමන්ට වැඩියෙන් ලාභ උපයත හැකි දේවල් නිපදවන හැකියාව නැති වී යනවා.
මෙතැන කියන්නෙ කැමැති කෙනෙකුට වත්තෙ එළවළුවක් පළතුරක් එක්ක බිත්තර ගන්න කුකුලෙක් තියාගැනීමට ඉඩ නොදෙන නීති ගේන්න කියා නෙමෙයි!!! එයට ඇති නිදහස සමඟින් කර්මාන්ත ගොවිපල වලින් අඩු මිලට ලැබෙන ප්‍රමිතියෙන් යුතු ආහාර වල අගය අවතක්සේරු නොකරන්න යැයි කීම.
ලෝක ජනගහණයට ආහාර සැපයුම සඳහා ඒ ඒ රටවල් තමන්ගේ පසට, දේශගුණයට, දක්ෂතාවයට අනුව නිෂ්පාදන කළ යුතුයි. යම් දැයකට ජගතෙක් වීමෙන් තමයි තමන්ට අවශ්‍ය අනිත් දේවල් සියල්ල මිල දී ගත හැකියාව ලැබෙන්නෙ.
ඒත් මොන දෙයින් ද ජගතෙක් විය යුත්තෙ යන්න තීරණය කිරීම මහා සැලසුම් ගහන ආණ්ඩුවට දෙන්න බැහැ. ඒක කාටවත් අනාවැකි කියන්න බැරි වූවක්. කවුද අනාවැකියක් කිව්වෙ 2012 දී ස්ටීව් ජොබ්ස්ගෙ ඇපල් අයිෆෝන් ගන්න චීනයේ මිනිස්සු කෝලාහල කරයි කියල?!!!!
ඉතින්, මේ ලෝක ජනගහණයට ආහාර සපයන්න ඇති ප්‍රධාන ගැටළුව: කර්මාන්ත ගොවිපල නිෂ්පාදන ගැන අපේ ආකල්ප නැවත විමසා බැලීමක් අවශ්‍ය වීම.
අද හැඳින්වීම: මිශ්‍ර ආර්ථිකය (mixed economy)
රෙගුලාසි ඇති හා නැති ආර්ථිකයක් මිශ්‍ර ආර්ථිකයක් වෙයි. බොහෝ දියුණු රටවල් නිදහස් වෙළඳපොලක් ඉලක්ක කරගත්ත ද අද බොහෝ දුරට ආණ්ඩුවේ මැදිහත්වීම් වලට යටත් වී ඇත. දුම්රිය හා ගුවන් ප්‍රවාහන වලට දෙන සහනාධාර මෙන් ම ජනතාවට දෙන සුබසාධන ද එහි ලක්ෂණ ය.
***
“මෝඩයෝ, එයාලගේ එකම අරමුණ ඔවුන්ටත් වඩා ලොකු මෝඩයෝ රැළක් අතින් තනතුරු වලට තෝරා පත්වෙන්නටයි,” (Fools, who’s singular objective is to be elected by an even bigger bunch of fools.) ආණ්ඩුව ගැන එසේ කියන්නේ Luke Goss විසින් රඟපාන Silver Hawk (2004) නැමති හොංකොං චිත්‍රපටියේ ය.

ඇමරිකාවේ වෙජිමයිට් තිබේද?
මම ටික කලකට් කලින් දැක්කා ඔස්ට්‍රේලියන් අගමැති ට වෙජිමයිට් නිසා ඇමරිකාවේ ගුවන් තොටුපලක පොඩි ඇබැද්දියක් උනා කියලා?
dawkinssdodo,
වෙජිමයිට් ඇමෙරිකාවේ ගෙදරට ම ගෙන්න ගන්න පුළුවන්, ග්‍රෑම් 400 ක් ඇමෙරිකන් $16.95 ක්. ඒ ප්‍රවාහන හා ඇසුරුම් ගාස්තු නැතිව. ඒ නිසා වෙන්නැති ඕසී අගමැති තමන්ගෙ එක අරන් ආවේ!!!
http://www.amazon.com/Kraft-Vegemite-400g-Jar/dp/B002O10K6C
සමාවෙන්න මේක වෙලා තියෙන්නෙ ඔසී විදේශ ඇමතිට. ඒත් මේක බී.බි.සිය සහ අනෙක් මාධ්‍ය වාර්තා කලේ නැහැ මේක ඇමරිකාවේ ගන්න පුලුවන් කියල.
“Only problem travelling to NY is that they tried to confiscate our Vegemite at the airport. Needed Foreign Ministerial intervention,” Mr Rudd tweeted.
“Airport staff were surprised when I said it is good for you and I ate it for breakfast. They then waved me through,” he said.
http://www.bbc.co.uk/news/world-asia-pacific-14968326
dawkinssdodo,
“මෝඩයෝ, එයාලගේ එකම අරමුණ ඔවුන්ටත් වඩා ලොකු මෝඩයෝ රැළක් අතින් තනතුරු වලට තෝරා පත්වෙන්නටයි” !!!!
ආහාර අර්බුදය ගැන කියද්දි මතක්වුනේ..දැන් ගොඩක් වගා කරන්න පුළුවන් ඉඩම් වල වගා කෙරෙන්නේ අහාර බෝග නෙවෙයි..ඉන්ධන බෝග..මේ නිසා අහාර බෝග වගාව ප්‍රචලිත කරන්න සෑහෙන උත්සාහයක් දරන්න ඕන..
රූ,
ඔව් කළින් සටහනෙන් කියාගෙන ආවේ ඒක තමයි. එදා ප්‍රවාහනයට හිටපු අශ්වයන්ගෙ ආහාර සඳහා කෑම වවන්න ගිය ඉඩම් මිනිස් ආහාර සඳහා වවන ඉඩම් වලට වඩා වැඩියෙන් පැතිරෙන්න සිද්ධ වුනා. අද නැවතත් අපි ප්‍රවාහනයට වවන්න ඉඩම් වෙන් කරනවා මිනිසාගේ කෑමට වවන්න ඉඩම් යොදාගන්න එක වෙනුවට. ඒ ඉන්ධන විකල්පයක් ක්ෂණිකව අවශ්‍ය නොවන යුගයක … මේ ගැන ඉදිරියේ දී තව ලියන්නම්.
බඩගින්න දැනෙන්න පටන් ගත් දාට ආහාර බෝග ඉබේම ප්‍රචලිත වෙනවා. ඒත් අනිත් හැම දෙයක්ම වගේ, ප්‍රපාතයට ඇද වැටෙන කන් චූන් එකේ ගමන යන අය ඉන්න නිසා ප්‍රපාතය දැක දැකත් පාර වෙනස් නොකරන අය ඉන්න නිසා, ඇද වැටුනාම තමයි ගොඩ එන්න බහුතර මිනිස් සූදානම. නමුත් ඉතිහාසයේ මෙන් ම අදත් ලෝකයේ හිතන්නට පුළුවන් අතලොස්සක් ප්‍රපාතයට ඇද නොවැටී බේරෙන්නේ කෙසේ දැයි සොයනවා. ඒ ලෝකයේ කිසිම ආණ්ඩුවකට ගෑවිලා ඉන්නා අය නම් නොවේ!!!
මේ දිනවල මට යාලුවෙක් කතා කරල කිව්ව ඉඩමක් හොයල දෙන්න චීන ඇපල් වගාවකට කියල..එයාල පැල දෙනවලු උපදෙස් දෙනවලු පෝර දෙනවලු..අපි ශ්‍රමය දාල වැඩ කරගන්න ඕනි..අපි වගාව පටන ්ගන්න කොට චීන කොම්පැනියට ගෙවන්න ඕනි.. පස්සෙ එයාල අස්වැන්න මිලදී ගන්නවා…ගර්කින්,මිදි, දුම්කොල වගේ කිහිපයක් මෙහෙ ඒ විදියට පිටරටින් ඇවිත් වගා කරනවා…
මෙහෙ සාමාන්‍යන් දේශිය ගොවියාට කර්මාන්ත කාරයාට වඩා ලොකු තැනක් විදෙස් වලින් එන අයට තියෙනවා. දේශීය කර්මාන්ත කාරයාට නොලැබෙන බදු සහන,ඉඩම් සහන වගේ ඒව විදෙස් කොම්පැනි කාරයිනට ලැබෙනවා.
අපේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් තමුන්ගෙ තාත්ත ගොවියෙක් කියන්නත් ලැජ්ජයි…සමහර තැන්වලලොකුවට නිකම් ආඩම්බරේට අපි වෙල් එලියෙ දුවපු මිනිස්සු කිව්වට..එතනින් එහාට තමුන්ගෙ පියා අමුඩ කාරයෙක් කියල පිලිගන්න ආස නෑ..
indika27,
ඔව් මේ කාලේ මෙහෙත් එහෙමයි … විසල් ආණ්ඩු හිතන්නෙ එයාල විසින් ගහන සැලසුම් අනුව රටක් සංවර්ධනයෙන් රටේ ජනතාවගේ කුසගිනි නිවාලන්න පුළුවන් කියලා. ඉතින් කාලයෙන් කාලයට “මෝඩයෝ විසින් තෝරා පත් කර යවන තවත් මෝඩයෝ” විසින් බංකොළොත් වෙන ව්‍යාපාරයන්ට රටේ නීති වෙනස් කරමින් තැන ලබා දෙනවා. බුෂ් පුතා ආපු කාලේ මෙහෙ ලොකු වාහන වලට තැන. ඔබාමා ඉන්න කාලේ දෙමුහුන් වාහන වලට තැන.
රටේ අයට වෙනසක් නැතිව, පිටරට ආයෝජන වලට වෙනසක් නැතිව, කාටවත් කිසිම සහනාධාරයක් නැතිව තමන් කැමති නිෂ්පාදනයක් හදන්නත්, තමන් කැමති නිෂ්පාදනයක් ගන්නත් නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් ඉඩ නොදී විසල් ආණ්ඩු වෙළඳපොල මෙහෙයවන්න හදනවා. ඉතිහාසය පුරා හැම රටකින් ම පෙන්වන්නේ එහෙම වෑයම් කිසිවක් සාර්ථක වූයේ නැති බවයි. ඒ ඒ ආණ්ඩුව පාලනයේ සිටිය දී ඒ ඒ වාසි ලබන ඒ ඒ පාක්ෂිකයන්ට මල්ල පුරවගන්න ඉඩ ලැබෙන එක විතරයි වෙන්නෙ. මෙහෙ නම් අඩුගානේ ඒ සල්ලි රටේ ම ආයෝජනය වෙනවා. අනිත් රටවලින් වැඩියෙන් වෙන්නෙ ඒ වාසි ලබන පාක්ෂිකයන්ගෙ සල්ලි මෙහෙ ආයෝජනය වෙන එකයි!
මගෙ සීයා තුනේ පංතියෙන් කට්ටි පැනලා සාර්ථක ගොවියෙක් වූවෙක්. ඒ පුංචි ගමේ ට්‍රැක්ටරයක් ගෙනාපු මුල් තැනැත්තා. අම්මාගේ උප්පැන්න සහතිකයට පියාගේ රැකියාව දාන්න වෙද්දී ‘ගොවියා’ යන්න කපලා ‘ඩ්‍රැයිවර්’ කියලා දැම්මා කියලා අම්මා මට මතක කාලේ ඉඳන් සීයත් එක්ක වලි!!!
ලැජ්ජාවටත් වඩා ස්වභාව ධර්මය හා හැප්පෙන, ශාරීරික වෙහෙස මහන්සියෙන් යුතු ගොවිතැන ලෙහෙසි පහසු රැකියාවක් නොවේ. පොහොර හා බීජ ලබා ගැනීම කරදරයි. වගාව විකුණා ගැනීම ඊටත් අපහසුයි. ගොවිතැන කරන්නේ ඊට කැමැත්තක් ඇති සුළු පිරිසක් විසින්. ඇමෙරිකාවට කන්න දෙන්න ගොවිතැනේ යෙදෙන කෘෂිකර්මය රටේ නිෂ්පාදනයෙන් 1.2% ක්. ඉතින් එහෙම සුළු කොටසක ආයෝජන හා උත්සාහයෙන් රටේ විතරක් නෙමෙයි පිටරවල් වල ද මහත් සංඛ්‍යාවකට කන්න දෙන්න පුළුවන් කොහොමදැයි විමසන අය ඉතා අඩුයි.
අපිත් ඉතින් ගොවි පවුල් වල අය තමයි. ඒ උනාට දැන් ඒවා විනාශවෙලා ගිහින් , කවුරුත් ඒවා කරන්නෙ නෑ. ඉඩම් ටික බලය ඇත්තෝ අයිති කරගෙන වෙන වෙන කරුමාන්ත කරනවානෙ. ඉතින් ආහාර අර්බුදයට විසඳුම් කොහෙන්ද? අප්පේ.
chandi,
ඔව් චාන්දි අක්කා, එක කාලයකට ඉඩම් කෑලි කෑලි වෙන් කරාම හොඳයි කියනවා, තවත් කාලෙකට ඉඩම් එකතු කරාම හොඳයි කියනවා … වගකීම කාගේ ද යන්න අවසානයේ කවුරුත් අහන ප්‍රශ්නය නෙමෙයි. රටවල් තම ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අවසානයේ ලෝකෙටම ණය දෙනවා වගේ ම ලෝකෙට ම කන්න දෙන්න වෙන්නෙත් ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවට!!!!