අරුණි ශපීරෝ‍ වෙතින්

18 වැනි ශත වර්ෂයේ දී ප්‍රංශ ඔම්ලට් නොහැදුන හැටි

Posted in Uncategorized by arunishapiro on ජූනි 29, 2012

18 වැනි ශත වර්ෂය අග දී ප්‍රංශයේ වූයේ වැඩවසම් ක්‍රමයයි. උප්පත්තියෙන් ධන වස්තු හිමිවන රටක් වූවත් තම වස්තුව කා බී විනාස කල රදළයා ධනවතෙක් වූයේ නැත. එහෙත් රදළයන් බදු වලින් නිදහස් වූහ. රදළ පවුල් වල වැඩිමලා ලෙසින් පවුලේ වස්තුව උරුම නොවූ පුත්තු පල්ලි වල බිෂොප් තනතුරු වලට පත් වූ අතර යුධ හමුදාවෙහි හා නාවුක හමුදාවෙහි උසස් තනතුරු දැරූහ. රජය, රට හා හමුදාව රකින බදු ගෙවීමත් සහ පල්ලිය රක්ෂණයත් බාර ව තිබුණේ රදළ නොවූවන්ට ය. උපත්තියෙන් හිමි වූ උරුමයක් නොමැති ඔවුන් ශ්‍රමය විකිණීමෙන් ජීවිකාව සොයා ගත්හ. රදළයෙකු ලැජ්ජා වූයේ ශ්‍රමය විකිණීමෙන් ජීවිකාව උපයා ගැනීමටයි.

මහා බ්‍රිතාන්‍ය්‍ය, ඉතාලිය සහ ස්පාඤ්ඤය මෙන් ලොව භූමිය අල්ලා ගන්නට සටන් වැදි ප්‍රංශය එකළ ලෝකයේ නව මෝස්තර නිර්මාණයේ කේන්ද්‍රස්ථානය විය. ඒ අධිරාජ්‍ය්‍යන් සියල්ල ම පාලනය වූයේ ඔටුන්න පැළඳි අයෙකු යටතේ ය. යටත් විජිත වලින් කොල්ලා කා ගත් ධන සම්පත් සහ බදු ගෙවන්නට සිද්ධ නොවූයෙන් රදළ ප්‍රංශ පවුල් සුපිරි ජීවිත ගෙවූහ. දශක දෙකක් පුරා ධාන්‍ය අස්වැන්න දුර්වල වූයේ ඉඩෝරය සහ හරකුන්ට හැදි ලෙඩ රෝග නිසාය. පාන් මිල අධික විය!!!!

18 වැනි ශත වර්ෂයේ ඇමෙරිකාවේ වැසියන් වෙතින් බදු අය කළේ යටත් විජිත අධිරාජ්‍ය්‍යා වූ මහා බ්‍රිතාන්‍ය්‍යි. තමන්ව නියෝජනය කරන්නෙක් මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ නැති නිසා, මහා බ්‍රිතාන්‍ය්‍යට බදු ගෙවන්නට ඇමෙරිකානුවන් විරුද්ධ වූහ. බදු නිසා හටගත් ඇමෙරිකන් අරගලය නිදහස් විප්ලවයක් බවට හැරෙද්දී ප්‍රංශය කුහුලින් ඇමෙරිකාව දිහා බලා සිටියේ ය.

ප්‍රංශ හමුදාවන් රජයේ රැකවරණය හා ප්‍රතිසාදන යටතේ වූ හමුදාවන් ය. ඉහළ තනතුරු හෙබුවේ රදළ පවුල් වල අයයි. මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් පටන් ගත් ඇමෙරිකන් නිදහස් අරගලයේ වූයේ සාමාන්‍ය ජනතාවයි. සන්නාලියන්, යකඩ තලන්නන්, වඩුකාර්මිකයන් හා ගොවියන් ය. ඔවුන් සටන් වැදුනේ එවක පැවති මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව ය. ඔවුන්ට යුද පුහුණුවක් නොතිබිණ. ආණ්ඩුවක රැකවරණයක් හෝ හමුදා නඩත්තුවට මුදල් නොතිබිණ. ඔවුනට වූයේ එකම අරමුණකි. ඒ බ්‍රිතාන්‍ය්‍ය පනවන බදු බරින්, බ්‍රිතාන්‍ය පනවන නීති රෙගුලාසි වලින් ඉවත් වීමට ය.

ජෝර්ජ් වොෂිංටන් නම් ඇමෙරිකන් යුද හමුදාවට එක් වූ, තනිවම ඉගෙන ගෙන මිනින්දෝරුවෙක් වූ මිනිසාගේ නායකත්වය යටතේ සාමාන්‍ය රටවැසියන් වෙතින් හැදි ඇමෙරිකන් විප්ලවීය හමුදාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාට එරෙහිව සටන් ඇරඹූහ. Horatio Gates නැමති විශ්‍රාම ලත් බ්‍රිතාන්‍ය සොල්දාදුවා ඇමෙරිකන් අරගලය ගැන අසා වොෂිංටන් හමු වී ඇමෙරිකන් අරගලයට එකතු වූයේය. ඔහු ඇමෙරිකන් යුද හමුදාවේ ප්‍රථම Adjutant General බවට පත් කර ගැනිණ.

අවි ආයුධත් නැති, සල්ලිත් නැති, පුහුණුවත් නැති රටවැසියන් වෙතින් හැදි යුද හමුදාවක් එහෙන් මෙහෙන් අවි ආයුධ එකතු කරගෙන, එහෙන් මෙහෙන් සෙබලුන් එකතු කරගෙන, එහෙන් මෙහෙන් සල්ලි එකතු කරගෙන ලෝකයේ බලවත් අධිරාජ්‍යයක් හා සටන් කරන්නට යන්නේ කෙසේදැයි, තවත් අධිරාජ්‍යවාදියෙක් වූ ප්‍රංශය කුහුලින් බලා සිටියේ බ්‍රිතාන්‍ය පරාජය කරන්නට හැකියාව ඇත්නම් ඇමෙරිකාවට ආධාර එවන්නට ය. ප්‍රංශ සහ ස්වදේශී ඉන්දියානු යුද්ධ නොහොත් French and Indian War වල වසර හතක් පුරා උතුරු ඇමෙරිකාව තුල සටන් වැදියේ මහා බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය හා ප්‍රංශ අධිරාජ්‍ය්‍යයි. එහි ජයග්‍රහණය මහා බ්‍රිතාන්‍යයට ලැබුණි. ඒ අප්‍රසාදය ප්‍රංශයට තිබිණ.

ප්‍රංශ හා ස්වදේශී ඉන්දියානු යුද්ධ වල දී හිස් වන්නට පටන් ගත් මහා බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය්‍යේ භාණ්ඩාගාරය, ඔවුන් විසින් පැනවූ බදු ගෙවන්නට අකමැත්තෙන් ඇමෙරිකානු යටත් විජිත වැසියන් ඇරඹූ ඇමෙරිකන් අරගලයේ දී, තවත් අඩු වන්නට විය. අඩුවන භාණ්ඩාගාර පුරවන්නට වැඩි කරන බදු නිසා යටත් විජිත ඇමෙරිකානුවන් පමණක් නොව මහා බ්‍රිතාන්‍යයේ ජනතාව ද ඔටුන්න හා උරණ වන්නට පටන් ගත්හ. නියං, ලෙඩ හරක්, ඉහළ යන ජීවන වියදමෙන් හා බදු බරින් පීඩිත ව සිටි ප්‍රංශ ජාතිකයන් ද, භාණ්ඩාගාරය පුරවන විසඳුමක් හැටියට තවත් බදු බර වැඩි කරන ඔටුන්න හා රදළයන් වෙත විරෝධය දැක්වූයේ කැරලි කෝලාහල, මංකොල්ලා කෑම් හා වර්ජනයන් වලිනි.

යටත් විජිත ඇමෙරිකානුවන් තමන් වැඩියෙන් පානයට කැමති තේ ගෙන්වන ඒකාධිකරය අයිති වූ මහා බ්‍රිතාන්‍ය තේ බද්දක් පැනවීම නිසා තේ පෙට්ටි බොස්ටන් වරායේ දී මුහුදට හෙලූහ. තේ බීම වර්ජනය කරමින් ඇමෙරිකාවේ කෝපි බොන්නට පටන් ගැනුණි.

එකල ඔටුනු පැළඳි ලෝකයට එරෙහිව පැති දෙකක් සටන් කළහ.

ඔටුන්නෙන් පාලනය වන බහුතරයා ගැන “ඔටුන්නට” තොරතුරු ලබාගත නොහැකියාව ලෝක ස්වභාවයක් බව දැකි, එසේම සතුට සොයා යෑම තමන් විසින් කළ යුත්තක් මිස වෙනත් අයෙකු විසින් තමන්ට නිර්දේශ කළ යුත්තක් නොවන මිනිස් ස්වභාවය බව වටහා ගත්තේ එක පැත්තකි.

අනිත් පැත්ත හිතුවේ ඔටුන්න ඉවත් කිරීමෙන් ජනතාවගේ සුව සෙත සැලසෙනවා කියාය. ඒ කෙසේදැයි ඔවුන් සොයා බැලුවේ නැත. රදළයන් හා ධනපතියන් සතු බලය ආවේ කොහෙන් ද, දූෂිත ආණ්ඩු සහ දූෂිත ධනපතියන් යනු කවුරුන් දැයි ඔවුන් සොයා බැලුවේ නැත. කැති මුගුරු හා ගිලටිනයෙන් රදළයන් වත්, ඔවුන්ට වාසි ප්‍රදානය කරන ඔටුන්නත් ඉවත් කිරීමෙන් විසඳුම ළඟා වෙනු ඇතැයි පමණක් සිතූහ. ඒ අනිත් පැත්තයි.

කැරලි කෝලාහල, මංකොල්ලා කෑම් හා වර්ජනයන් වලින් නොව ඇමෙරිකාවේ විප්ලවීය අරගලය සිද්ධ වූයේ තමන්ගේ සතුට සොයා යන අයිතිය හා නිදහස උදෙසා, තමන් නියෝජනය නොකර තමන්ට නීති රෙගුලාසි හා බදු පැනවූ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය්‍යා නැමති සතුරා ඉවත් කරන අරමුණින්, ඒ බ්‍රිතාන්‍ය හමුදාව හා සටන් වැදි ඇමෙරිකන් විප්ලවීය හමුදාව විසිනි.

ඒ ඇමරිකන් උත්සාහයට මහා බ්‍රිතාන්‍යයෙන් සහ ප්‍රංශයෙන් නිදහස කුමක් දැයි වටහා ගත්තෝ එකතු වූහ. ඔවුන් රදළයෝ වූහ. ඔවුන් වැඩ කරන ජනතාව වූහ. ඔවුන් ධනවතුන් වූහ. ඔවුන් දුප්පතුන් වූහ. ඔවුන් සිය කැමැත්තෙන් විප්ලවයට එකතු වූ අයයි. විප්ලවයට එකතු නොවූ අයගේ හිස් ගසා දමන්නට තර්ජනයක් නොවීය. ඔවුන් හා සබඳතාවයන් හා ගණුදෙනු පමණක් නවතා දැමිණ.

ඇමෙරිකන් විප්ලවීය හමුදාව සටන් වැදුනේ එවක පැවති යුද නීති අනුව ය. භීෂණයෙන් නොවේ. මැසචූසෙට්ස්හි විරුද්ධවාදීන් අවි ගබඩා කර ඇත්දැයි බලන්න පැමිණ බොන්න නැවතිච්ච තැබැරූම අදටත් එලෙසින් පවතී.

ඒ ඇමෙරිකන් උත්සාහයේ මහා බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහිව සටන් එක පැත්තකින් යද්දී අනිත් පැත්තෙන් විවිධ මත දැරූ මහා ප්‍රාඥයන් ස්වල්පයක් සිය ඒකීය මොළයන් වෙහෙසුවේ රටවැසියන් සියල්ලන්ට ම බාරගත හැකි පාලන ක්‍රමයකට විසඳුමක් තමන් නිදහස් කරගන්නා රට වෙනුවෙන් ගෙනෙන්නට ය.

ජෙනරාල් හොරේෂියෝ ගේට්ස් විසින් සරටෝගා සටන ජයගත් සැනින් කුඩාරම්, ඇඳුම්, තුවක්කු හා ලොව අනගි වෙඩි බෙහෙත් තොග පිටින් රැගත් ප්‍රංශ නැව් ඇමෙරිකාවෙහි නිව් හැම්ප්ශර් වෙත ළඟා වූහ.

පින්තූර: මේරිලැන්ඩ් හි බර්ලින් නගරයේ පිහිටන Tea by the Sea අවන්හලේ දී.

About these ads

14 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූනි 29, 2012 at 8:48 පෙ.ව.

    තේ බොන දියණිය ගේ හිස් වැස්ම අපූරුයි.

    අදාල නැති වුනත් මෙයත් ලියන්න හිතුණා.
    ඔබාමා ගේ මෙඩිකෙයා පනත නීතිබාධක ජයගැනීම ගැන මගේ සතුට!

    • arunishapiro said, on ජූනි 29, 2012 at 4:01 ප.ව.

      kathandarakaraya,

      ඇට්ලස් දෙවුර හැකිළීය
      විකෘතිය
      උන්මාදය
      මුලාව
      වෛරය
      නූගත්කම
      තමන් තුල බව නොදකින්නට
      අනුන් අත යැයි මුරගාන්නට
      අන්තිම හුස්ම හෙළනා
      විසාද හදවතින්
      තමන් වැටෙන අගාධයට
      තනිවම යන්න බියෙන්
      තවකෙක් ද අල්ලා ගන්නට
      වෙර දරනා
      බරින් පිරුණු පොදි
      හිස තබාගත්
      අතින් කටින් එල්ලා ගත්
      නොමියෙන මිනිස්සු
      අත් හරින්නට
      මට අවසර ඇතැයි කියමින්
      ඇට්ලස් දෙවුර හැකිළීය.

  2. SukiTha Fernando said, on ජූනි 29, 2012 at 11:52 පෙ.ව.

    “ඔවුන්ට යුද පුහුණුවක් නොතිබිණ” “ජෝර්ජ් වොෂිංටන් නම් ඇමෙරිකන් යුද හමුදාවට එක් වූ, තනිවම ඉගෙන ගෙන මිනින්දෝරුවෙක් වූ මිනිසාගේ ” sure the mewa?

    • arunishapiro said, on ජූනි 29, 2012 at 4:17 ප.ව.

      SukiTha,

      ඔව් මේවා ෂුවර්. 1747 දී මහා බ්‍රිතාන්‍යයේ රදළයෙක් වූ ලෝර්ඩ් තෝමස් ෆෙයාර්ෆැක්ස්ගේ අක්කර මිලියන පහකට වඩා වැඩි ඉඩම් ප්‍රමාණය මනින්න තමයි ජෝර්ජ් වොෂිංටන් පොත් වලින් කියවා මිනින්දෝරු වැඩේ ඉගෙන ගන්නෙ. ඒ වගේ ම ඔහුට සතුන් දඩයම් කරන්න හා අශ්වාරෝහකයෙක් විදියට දස්කම් තිබ්බට යුද පුහුණුවක් තිබ්බෙ නැහැ. ඔහු සහ වෙනත් රැකියාවල යෙදි අය විසින් රතු කෝට් කාරයින්ට එරෙහි මිලීෂීයා කණ්ඩයාම් හැදුවාට පස්සෙයි ඔවුන් යුද පුහුණු පටන් ගත්තේ.

      වැඩිදුර සිංහලෙන් කියැවීම සඳහා: ජෝර්ජ් වොෂිංටන් (2006), නයනි මැලැගොඩ; බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් (2004), නයනි මැලැගොඩ සහ අරුණි ශපීරෝ; ඇමෙරිකානු සිවිල් යුද්ධය 1861-1865 (2004), නයනි මැලැගොඩ; [මහාචාර්ය නයනි මැලැගොඩ කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශාධිපතිනියයි]

  3. SukiTha Fernando said, on ජූලි 1, 2012 at 1:02 ප.ව.

    http://en.wikipedia.org/wiki/French_and_Indian_War
    http://en.wikipedia.org/wiki/George_Washington

    so mewa boruda? oya kiyana widihata americanu wiplawayata kalin George Washington ta yuda puhunuwak thibbe naha?

    • arunishapiro said, on ජූලි 1, 2012 at 1:38 ප.ව.

      SukiTha Fernando,

      so, ඒවා කියෙව්වා ද?!!!

      ඒවයේ කොහෙද තියෙන්නෙ ජෝර්ජ් වොෂිංටන්ට ඇමෙරිකානු නිදහස් අරගලයට කළින් යුද පුහුණුවක් තිබ්බා කියලා?

      • SukiTha Fernando said, on ජූලි 1, 2012 at 1:54 ප.ව.

        මාත් අහන්නම්,
        so, ඒවා කියෙව්වා ද?!!!

        French and Indian War
        http://en.wikipedia.org/wiki/French_and_Indian_War

        The war was fought primarily along the frontiers separating New France from the British colonies from Virginia to Nova Scotia, and began with a dispute over the confluence of the Allegheny and Monongahela rivers, the site of present-day Pittsburgh, Pennsylvania. The dispute erupted into violence in the Battle of Jumonville Glen in May 1754, during which Virginia militiamen under the command of George Washington ambushed a French patrol.

        “The dispute erupted into violence in the Battle of Jumonville Glen in May 1754, during which Virginia militiamen under the command of George Washington ambushed a French patrol.”

        http://en.wikipedia.org/wiki/George_Washington

        “Washington quickly became a senior officer in the colonial forces during the first stages of the French and Indian War.”

        මම දන්නා පරිදි හමුදා නිලධාරියෙක් වීමට යම්කිසි යුධ පුහුණුවක් තියෙන්න ඕනනේ. එහෙම නැතිව හමුදා භටයන්ට අණ දෙන්න පුලුවන්ද දන්නේ නැහැ ඔයා කියන විදිහට.

        http://www.biography.com/people/george-washington-9524786?page=2

        “Pre-Revolutionary Military Career

        In the early 1750s, France and Britain were at peace. However, the French military had begun occupying much of the Ohio Valley, protecting the King’s land interests and fur trappers and French settlers. But the border lands of this area were unclear and prone to dispute between the two countries. Washington showed early signs of natural leadership and shortly after Lawrence’s death, Virginia’s Lieutenant Governor, Robert Dinwiddie, appointed Washington adjutant with a rank of major in the Virginia militia. On October 31, 1753, Dinwiddie sent Washington to Fort LeBoeuf, at what is now Waterford, Pennsylvania, to warn the French to remove themselves from land claimed by Britain. The French politely refused and Washington made a hasty ride back to Williamsburg, Virginia’s colonial capitol. Dinwiddie sent Washington back with troops and they set up a post at Great Meadows. Washington’s small force attacked a French post at Fort Duquesne killing the commander, Coulon de Jumonville, and nine others and taking the rest prisoners. The French and Indian War had begun. The French counter attacked and drove Washington and his men back to his post at Great Meadows (later named “Fort Necessity.”) After a full day siege, Washington surrendered and was soon released and returned to Williamsburg, promising not to build another fort on the Ohio River. Though a little embarrassed at being captured, he was grateful to receive the thanks from the House of Burgesses and see his name mentioned in the London gazettes.

        Washington was given the honorary rank of colonel and joined British General Edward Braddock’s army in Virginia in 1755. The British had devised a plan for a three-prong assault on French forces attacking Fort Duquesne, Fort Niagara and Crown Point. During the encounter, the French and their Indian allies ambushed Braddock, who was mortally wounded. Washington escaped injury with four bullet holes in his cloak and two horses shot out from under him. …..”

        http://www.ushistory.org/valleyforge/washington/george1.html

        • arunishapiro said, on ජූලි 2, 2012 at 8:17 පෙ.ව.

          SukiTha,

          මිලීෂියාවක් සහ යුද හමුදාවක් යනු එකක් නොවේ.

          වොෂිංටන් තරුණ සමයේ කඩු හරඹ, බාල් නැටුම්, නරි දඩයම යන තුනම එක හා සමාන කැමැත්තකින් ඉගෙන ගන්නවා. ඒක ඒ කාලේ ලතින් ඉගෙන ගන්න, චිත්‍ර අඳින්න හෝ සංගීත භාණ්ඩයක් වාදනය ඉගෙන ගන්නවා වගේ දේවල් මිසක් යුද පුහුණුවක් නෙමෙයි. යුද පුහුණු ලබන්න නම් බැඳෙන්න ඕනා ප්‍රංශ හෝ බ්‍රිතාන්‍ය යුද හෝ නාවුක හමුදාවන්ට. වොෂිංටන්ට යුද හමුදාවට බැඳෙන්න දැඩි උවමනාවක් තිබ්බා. ඒත් රදළයෙක් නොවූ නිසාත්, හමුදා තනතුරක් මිල දී ගන්නට මුදල් නොතිබි නිසාත් ඔහුට හමුදාවට බැඳෙන්න ලැබුනේ නැහැ.

          උතුරු ඇමෙරිකාව මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් වෙන්නට වසර 8 කට පෙර උතුරු ඇමෙරිකාවේ (අද කැනඩාව) පැත්තේ සිට පහළට (ටෙනසි දක්වා) ප්‍රංශ ජාතිකයන් පදිංචි වී සිටියා. ඒ නිසා ප්‍රංශ භූමිය වැඩි කරගන්නට ප්‍රංශ අයත් සහ බ්‍රිතාන්‍ය භූමිය වැඩි කරගන්නට බ්‍රිතාන්‍ය හමුදාවත් අතර සටන් වැදි යුද්ධය තමයි ‘ප්‍රංශ හා ස්වදේශී ඉන්දියානු යුද්ධය’ කියලා නම වැටෙන්නෙ. ඒක බ්‍රිතාන්‍ය හමුදාව හා ප්‍රංශ ජාතිකයන් අතර යුද්ධයක්. ස්වදේශී ඉන්දියානුවන් දෙපැත්තටම සහාය දුන්නා.

          වර්ජිනියා ප්‍රාන්තයේ යටත්විජිත ආණ්ඩුකාරයා යටතේ පළාතේ වැසියන් අතරින් මහජන චන්දයෙන් තේරී පත්වන House of Burgesses නිල මඩුල්ලකින් තමයි ප්‍රාන්තය පාලනය වෙන්නෙ.

          වොෂිංටන්ගේ පියා ඔහු කුඩා කල මිය ගියා. සහෝදරයා ලෝරන්ස් මැරෙන්නෙ වොෂිංටන්ට වයස විස්සේ දී විතර. ලෝර්න්සේගේ මරණයෙන් හිස්වෙච්ච වර්ජිනියා සහකාර ජනරාල් තනතුර (මේක යුද හමුදා තනතුරක් නොව පරිපාලන තනතුරක්) ආණ්ඩුකාර රොබට් ඩින්විඩී විසින් දිස්ත්‍රික්ක හතරකට බෙදනවා. ඒ සහකාර වර්ජිනියා දිස්ත්‍රික්ක නිලධාරීන් මේජර්වරයන් ලෙස හැඳින්වෙනවා. නැවතත්, එය යුද හමුදාවක මේජර් තනතුරක් නොවේ. පරිපාලන තනතුරක්. ඔවුන්ට වසරක වේතන ලැබෙන්නෙ බ්‍රිතාන්‍ය පවුම් 100 ක්.

          වොෂිංටන්ට බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳෙන්න දැඩි ඕනෑකමක් තියෙනවා. මොකද නිල ඇඳුම්, නිල නිවාස, ආහාර, බෙහෙත්, මාසික වැටුපක් සහ ආබාධිත හා විශ්‍රාම යන හමුදා සෙබළුන්ට පඩියෙන් හරි බාගයක් දිවි තිබෙන තුරා ලැබෙන නිසා. ඒත් පියා සහ සහෝදරයා මිය ගිය, වත්කමක් නැති, මිනින්දෝරු රස්සාවෙන් ඉඩම් ගත්තට ඒවායේ වගා කරන්න සල්ලි නොතිබිච්ච ඔහුට රදළයන්ට හිමි හමුදා තනතුරු ලබන්න විශේෂ අවසරයත්, සල්ලි දීලා ගන්න පුළුවන් හමුදා තනතුරු ලබන්නවත් අවස්ථාවක් උදා වෙන්නෙ නැහැ. ලුතිනන් පදවියක් ගන්න පවුම් 500 ක්, කර්නල් පදවියක් ගන්නට 3500 ක් ගියා. තිබිච්ච අය ඒවා ලාභ තියාගෙන විකුණුවා. ඒත් වොෂිංටන්ට සල්ලි තිබ්බෙ නැහැ පට්ටමක් ගන්න.

          යටත් විජිතය බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුනාට එංගලන්තයෙන් එවා තිබ්බ යුද හමුදාව සුළුයි. උපනිවේෂ වැසියන් මිලීෂියා නම් සිය කැමැත්තෙන් ඉදිරිපත් වන අයගෙන් යුතු සිවිල් කණ්ඩායම් රට පුරා හදා ගන්නෙ ප්‍රාන්ත ආරක්ෂාවට, නැත්නම් ස්වදේශී ඉන්දියානුවන් ගෙන් මැරුම් කන්න වෙන නිසා. ඔවුන්ට යුද පුහුණුවක් තිබ්බෙ නැහැ, කඩු හරඹ හා තුවක්කු පාවිච්චිය දැන සිටි අයගෙන් හැදුනු කණ්ඩායම්. නව ලෝකයේ හැම පිරිමියෙක් ම වගේ ඒ කඩු, තුවක්කු හරඹ දැන සිටියා. හදිසියකට බ්‍රිතාන්‍ය හමුදාවේ සහායට කැඳෙව්වෙ මේ අයව. මිලීෂියා අය වෙනත් රැකියාවන් කරපු අය. වොෂිංටන් වෘත්තියෙන් මිනින්දෝරුවෙක්. සම්පූර්ණ මිලීෂියාවේ අණ දෙන නිලධාරියා කර්නල් කෙනෙක් කිව්වට එයා වෘත්තියෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්.

          හමුදාවට බැඳෙන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි තමන්ගෙ දස්කම් පෙන්වීමෙන්. ඉතින් වොෂිංටන් උත්සාහ කළේ මිලීෂියාවට බැඳිලා දස්කම් පාලා, ඔහු කඩු හරඹයට, තුවක්කු හසුරුවන්නට වගේ ම මිනින්දෝරුවෙක් ලෙසින් ඉඩම් මනින්න ගිහින් හොඳ අශ්වාරෝහකයෙක් ද වූ නිසා, ඒ මඟින් යුද හමුදාවට බැඳෙන්න. එහෙම ලැබෙන පදවි ඉතා දුර්ලභ වුවත් වොෂිංටන් ඒකකට උත්සාහ කළා.

          ප්‍රංශ ජාතිකයන්ට යුද හමුදා බලකොටු කිහිපයක් තිබ්බා. කැනඩාව පැත්තෙ හිටපු ප්‍රංශ ආණ්ඩුකාරයා හිමිහිට ඔහායෝ ගඟ දිගේ පහළට ආවා ඉඩම් අල්ලා ගෙන. ඒක ආරංචි වෙලා තමන්ගේ භූමිය ආක්‍රමණිකයන්ට යටත් වේවි යන බයට වර්ජිනියාවේ ආණ්ඩුකාරයා ප්‍රංශ හමුදාවල ඔත්තු සොයන්න යවන්න කෙනෙක් හෙව්වා. කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ නොදන්න කැලෑවල ගමන් කරන්න. මේ පැත්තෙ ඇවිත් තියන කෙනෙක්ට තාම දකින්න පුළුවන් කොච්චර ගහණ කැලෑවල් තියෙනවා ද තියල ජනාකීර්ණ නැති පෙදෙස්වල. මහාමාර්ග හා ගංගා කොහේදැයි නොදැන යන්න කවුරුත් ඉදිරිපත් නොවුන නිසා වොෂිංටන් ඉදිරිපත් වෙනවා. වයස 21 වොෂිංටන්ට. මාස එකහමාරකට පස්සෙ ඔත්තු බලාගෙන ආවට වොෂිංටන්ට ලැබෙන්නෙ පවුම් 50 ක්. තමන්ගෙ වැය පියවන්න ලැබුනේ වත් නැහැ කියා ඔහු දිනපොතේ සටහන් තබනවා.

          1754 මාර්තු 20 දා ජෝර්ජ්ට ලැබෙන්නෙ බ්‍රිතාන්‍ය හමුදාවේ පදවියක් නෙමෙයි, වර්ජිනියා ප්‍රාන්තයේ පදවිය. ඒකට මාසික වේතනය පවුම් 15 යි.

          ප්‍රංශය හා සටන් වැදෙන්නට බ්‍රිතාන්‍ය හමුදාව මේ මිලීෂියාව යවන එක ගැන වොෂිංටන් තම දිනපොතේ සටහන් කරන්නෙ හරි හැටියට පුහුණුවක් නොලත්, නිසියාකාර අවි ආයුධ හා උපකරණ නැතිව, වැඩකට නැති නිකමුන් එක්ක යන්න සිද්ධ වෙනවා කියල. ඔහුගේ මිලීෂියා කණ්ඩායමේ පිරිස 134 ක් වෙද්දි ප්‍රංශ යුද හමුදාව දහසකට අධික වෙනවා. ඒ අස්සෙ මිලීෂියා අය කන්කෙඳිරි ගාන්නටත් පටන් ගන්නවා. යුද හමුදාවට වඩා අමාරු වැඩ කරාට ලැබෙන පඩි අඩුයි කියලත්!!!

          වොෂිංටන් මඟ දී ස්වදේශී ඉන්දියානුවන් ද තම කණ්ඩායමට එකතු කරගන්නවා. ඒ ප්‍රංශ හමුදා අතින් බැට කෑ අය. මඟ දිගට ඒ ඒ දිස්ත්‍රික්ක වලින් ආහාර, නවතින්න තැන්, අශ්වයෝ දෙන්න පොරොන්දු වෙච්ච අයත් හොයාගන්න නැහැ. ඔවුන් ගමන් කළේ කැළය කපාගෙන දිනකට සැතපුම් 11 ක් පමණයි. මහ රූ පිරිමි 40 ක් එක්ක ගිහින් ප්‍රංශ කූඩාරම් වලට පහර දෙන්නෙ යුද පුහුණුවක් තිබිච්ච නිසා නෙමෙයි. පුහුණුවක් නැති, බඩගින්නේ සිටින අයගේ ජීවිත බේරාගන්නට හැකි එකම ක්‍රමය හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පමණක් නිසා. ඒක තමයි බ්‍රිතාන්‍ය මහා ගත්කරු හොරේස් වෝල්පොල් විසින් “තරුණ වොෂිංටන් ඇමෙරිකානු ගම්බද කැලෑවේ තැබූ වෙඩි හඬ ලොව ගිනි ගන්වන්නට සමත් වූයේ” යැයි ලියන්නෙ.

          වොෂිංටන් අණ දුන්නේ යුද හමුදා භටයන්ට නොවේ. ස්ව කැමැත්තෙන් ප්‍රාන්ත ආරක්ෂාවට එකතුවෙන යුද පුහුණුවක් නොතිබි, යුද හමුදාවක විනයක් නුහුරු, මිලීෂියා අයට.

          මේ අත්දැකීම් නිසා තමයි ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයේ දී තමා යටතේ හදන යුද හමුදාවට යුද පුහුණු ලබාදෙන්න ප්‍රංශ හමුදාවේ අයටත්, බ්‍රිතාන්‍ය හමුදාවේ අයටත් තනතුරු දීලා පත්කරගන්නෙ. ඔවුන් කරපු ඒ යුද පුහුණු වල දී තුවක්කු අල්ලන හැටි පවා නොදන්නා අය සොල්දාදුවෝ වී සිටීම ගැන වොෂිංටන් වගේ ම තවත් අයත් සෑහෙන විස්තර ලියා ඉතිහාසයට එකතු කරලා තියෙනවා. මේ මිලීෂීයා අත්දැකීම් නිසාම තමයි ඔහු තම භටයන්ගේ සුවසෙත වෙනුවෙන් ඇමෙරිකන් කොංග්‍රසයට ලියුම් පිට ලියුම් ලියා ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබාදෙන්නට දැඩි උත්සාහයක් ගන්නෙ.

  4. SukiTha Fernando said, on ජූලි 2, 2012 at 8:31 පෙ.ව.

    මිලීෂියාවක් සහ හමුදාවක් ඒ කාලේ සටන් කරන විදිහේ වෙනසක් තිබ්බද? ඔයාගේ මුල් ලිපියෙන් අගවල තිබ්බේ ඔහුට යුද්ධය සම්බන්ධයෙන් කිසිම පෙරහුරුවක්‌ තිබ්බේ නැහැ වගේ.

    • arunishapiro said, on ජූලි 2, 2012 at 8:44 පෙ.ව.

      SukiTha,

      ඔව් SukiTha, මිලීෂියාවක් සහ යුද හමුදාවක් සටන් කරන විදිහේ වෙනසක් එදත් තිබ්බා. අදත් තියෙනවා. මිලීෂීයාවකට යුද හමුදාවක ඇති විනය, ශික්ෂණය, අණ පිළිපැදීම් අවශ්‍ය මන්දැයි ගැන දැක්මක් සහ යුද නීති ගැන දැනුමක් ද නැහැ. ත්‍රස්තවාදීන් සේ යම් අදහසකට උරණ වූ නිසා හෝ තමන්ගේ වාසස්ථානය ආරක්ෂා කරගන්න අවි අතට ගෙන මිනිසුන් මරන්න යෑම යුද්ධයක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ ම, පෙර අපර දෙදිග ම හමුදා අතර යුද්ධ කරන නීති ක්‍රමවේදයක් තියනවා. ඒවාට පිටස්තරයෙන් සටන් වැදීම යුද්ධ නෙමෙයි, ත්‍රස්තවාදය, කෝලාහල, කැරලි හා විප්ලව. ඒකයි ඇමෙරිකන් නිදහස් අරගලය කියා හැඳින්වෙන්න. තාමත් මම කියන්නෙ වොෂිංටන්ට යුද්ධය සම්බන්ධයෙන් කිසිම පෙරහුරුවක් තිබ්බෙ නැහැ කියල. ස්වේච්ඡාවෙන් එකතුවෙන වෙනත් වෘත්තියන්හි යෙදිච්ච අයගෙන් හැදෙන ඇමෙරිකන් නිදහස් අරගල හමුදාව මහා බ්‍රිතාන්‍ය යුද හමුදාවට එරෙහිව යුද්ධයක නිරත වෙලා තමයි යුද අත්දැකීම ලබන්නෙ. වොෂිංටන් මුළු හමුදාවේ ම ජනරාල්වරයා වෙන්නේ ද යුද ක්‍රමවේදයන් දැන සිටීම නිසා නොවේ, කවුරුත් නොදැන සිටි භූමිය ගැන තිබි දැනුම සහ රටට ආදරය කරපු අවංක වූ පුද්ගලයෙක් වීම නිසා.

  5. SukiTha Fernando said, on ජූලි 2, 2012 at 8:55 පෙ.ව.

    “කවුරුත් නොදැන සිටි භූමිය ගැන තිබි දැනුම සහ රටට ආදරය කරපු අවංක වූ පුද්ගලයෙක් වීම නිසා.” මෙච්චරමයි හමුදාවකට නායකත්වය දෙන්න ඔහුට තිබ්බ සුදුසුකම්?
    මට සියල්ල දන්න කෙනෙක් වගේ පෙන්නන්න ඕනේ නැහැ, එත් මැඩම් ඔයාට 18 වන ශතවර්ෂයේ යුද්ධ කරපු හැටි, මිලිශියා ඇතුළුව පොඩ්ඩක් අධ්‍යනය කරන්න. සහ George Washington ගේ biography එකක් හොයාගන්න.
    Peace out.

    • arunishapiro said, on ජූලි 2, 2012 at 9:21 පෙ.ව.

      SukiTha,

      මම කියෙව්ව පොත් අතරින් කිහිපයක් මේ:

      George Washington: A Biography, John R. Alden (1984)
      The American Revolution 1775-1783, John R. Alden (1962)
      Founding Father: Rediscovering George Washington, Richard Brookhiser (1966)
      George Washington’s War: The Forging of a Revolutionary Leader and the American President, Bruce Chadwick (2004)
      His Excellency: George Washington, Joseph J. Ellis (2004)
      George Washington, biography by Douglas Southall Freeman, John Alexander Carroll and Mary Wells Ashworth (1957)
      The First of Men: A Life of George Washington, John E. Ferling (1988)
      George Washington: The Forge of Experience (1732-1775), James Thomas Flexner (1965)
      Washington: The Indispensable Man, James Thomas Flexner (1974)
      Young George Washington and the French and Indian War 1753-1758, Robert M. McClung (2002)
      The American Revolutionaries: A History in their Own Words 1750-1800, Milton Meltzer, (1993)
      George Washington, Willard Sterne Randall (1997)
      George Washington: A Profile, James Morton Smith, (1996)
      The Presidents Fact Book, Roger Matuz (2004)
      Patriarch George Washington and the New American Nation, Richard Norton Smith, (1993)

      ලංකාවේ බහුතරය විභාග පාස් කරන්න පොත් කියවන විදියට නෙමෙයි මම පොත් කියවන්නෙ. මගේ උවමනාවට යමක් දැනගන්න.

      අද ඇමෙරිකාව ගැන වැරදි අදහස් අනුන් ප්‍රචාරය කරන ප්‍රොපගැන්ඩා වලින් පමණක් ඉගෙන ගත්තු අය අදත් ගොඩක් ඉන්නවා වගේ ම 18 වැනි ශත වර්ෂයේ ඇමෙරිකාව ගැනත් හරි අවබෝධයක් නැති අය වෙන රටවල් වල විතරක් නෙමෙයි මෙහෙත් ඉන්නවා.

      ඉතිහාසය ගැන කැමති කෙනෙක්ට කැමති විදියකින් කියා ගත්තෑකි. ඒත් ඉතිහාසය වෙනස් වෙන්නෙ නැහැ. හැබැයි ඉතිහාසයෙන් ඉගෙන ගන්න බැරි අය යළි යළි ඒ වැරදි සිදු කරාවි. කියවන්න පහත අදහස් ඇත්තේ තවත් ජෝර්ජ් කෙනෙක් ලියන George Santayana ලියන The Life of Reason හි.

      Those who cannot learn from history are doomed to repeat it.
      Those who do not remember their past are condemned to repeat their mistakes.
      Those who do not read history are doomed to repeat it.
      Those who fail to learn from the mistakes of their predecessors are destined to repeat them.
      Those who do not know history’s mistakes are doomed to repeat them.

      //Peace out.// ? Term used to encourage military members to become conscienous objectors “peace” and get “out” of the military. Started during the Viet Nam War by “Peaceniks” and hippies.

      මම හිතුවේ සටහන කියවා වැරදි නිවැරදි කරගන්න කරපු සංවාදයක අපි නිරත වූයේ කියා … මම මිලිටරියේ අයෙක් නෙවේ. මිලිටරියට විරුද්ධ අයෙකුත් නෙවේ. :D

  6. SukiTha Fernando said, on ජූලි 2, 2012 at 9:36 පෙ.ව.

    මමනම් මොකුත්ම දන්නේ නැහැ. ඔයානම් පොත් ගොඩක් කියෝලා තියෙන බව පේනවා. සියල්ල දත් ඔබට වටිනා බ්ලොග් ලිපි ලිවීමට මින් ඉදිරියටත් සුබ පැතුම්! :D

    • arunishapiro said, on ජූලි 2, 2012 at 9:38 පෙ.ව.

      SukiTha,

      මා දන්න දේවල් තියෙනවා ඉතා අල්පයක්. ඒවා ගැන තමයි ලියන්නෙ. නොදන්න දේවල් මහා ගොඩක්. ඒවා ගැන ලියන්න යන්නෙ නැහැ.

      සුබ පැතුම් වලට ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 226 other followers

%d bloggers like this: