මාස්ටර් සර්, මට හිමිතැන මට දෙනවාදෝ
ඇමෙරිකන් විප්ලවීය හමුදාවට බැඳෙන්නට ප්‍රංශයෙන් විශේෂ පුද්ගලයෙක් ද ආවේ ය. ඒ ලාෆායෙට් ය. ප්‍රංශයේ ධනවත් වංශවත් පවුලක ඉපිදුන ඔහුගේ වයස එවක අවුරුදු 19 කි. ඒ ඔහුගේ 14 හැවිරිදි භාර්යාවට කුළුඳුල් දරුවා ලැබෙන්නට සිටි සමයයි. ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයට එක් වන්නට සැරසෙනවා යැයි ඇසී ඔහුගේ පවුලේ අය කලබල වී ඔහුව රටේ තබාගන්නට සිරබාරයට ගන්න යැයි ප්‍රංශ රජුගෙන් ඉල්ලා සිටියහ. එහෙත් ලාෆායෙට් ප්‍රංශයෙන් රහසින් පිට වී කුලී නැවකින් ඇමෙරිකාවට ආවේය. ඔහුට ඇමෙරිකන් හමුදාවේ මේජර් තනතුරක් ලැබුණි.
ඔටුනු පැළඳි අයගෙන් නොව, තමන් විසින් පත් කරගන්නා අය අතින් රට පාලනයට හැකියාව ඇතැයි කියා දෙන්නට බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ප්‍රංශයට ගියේය. ලොවෙන් එකෙක් එක දෙයකට සමත් වෙද්දී බෙන්ජමින් විවිධ දස්කම් (polymath) සමතෙකි.
බෙන්ජමින් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඉටිපන්දම් හදන්නෙකුගේ පුතෙකි. එවැන්නෙකුට රටේ නායකයෙක් වෙන්නට හැකියාව ඇති මේ ඇමෙරිකන් නිදහස යනු කුමක් දැයි සොයන්නට ප්‍රංශයේ රදළ පිරිසකුත්, බුර්ජුවාසි පිරිසකුත් වෙහෙසුනහ. තවත් බුර්ජුවාසි පිරිසක් වෙහෙසුනේ දුප්පතුන්ගේ නාමයෙන් බලය අල්ලා ගන්නට ය. නූගත් අහිංසක පිටිසරබද වැසියන් දැනමුත්තන් කුමක් කරනවා දැයි බලා සිටියහ.
ඒ වකවානුව වැඩවසම් ක්‍රමයෙන් ගැල වී උප්පත්තිය අනුව පාලනය හිමිවන රජුන් වෙතින් නොව තමන් විසින් පත්කරගන්නා අය අතින් රට පාලනයට හැකියාව ඇත්තේ කෙසේදැයි ලොව කිසිවෙක් නොදැන සිටි කාලයයි. වහලුන් ද මිනිසුන් නිසා ඔවුන්ගේ අයිතීන් සුරකින්නට පියවරක් ලොව මුල් වරට පටන් ගත් සමයයි.
ඇමෙරිකාවේ ජෝර්ජ් මේසන් වර්ජිනියා ප්‍රාන්තයට ලොව ප්‍රථම “අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම්පත” ඉදිරිපත් කරයි. එය පසුකාලයේ දී ඇමෙරිකාවේ “අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම්පත” වෙයි.
1774 දී ප්‍රංශය යුරෝපයේ ජනගහණයෙන් වඩාත් ම අධික වූ (මිලියන 25 ක්) සහ වඩාත්ම සමෘද්ධිමත් වූ රට වූයේය. පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. එහි ජනගහණය 650,000 කි. මුළු ප්‍රංශයේ ජනතාව පංති 3 කට අයත් වූහ. පූජක පක්ෂය 130,000 ක් පමණ සහ රදළයන් 400,000 ක් පමණ වෙද්දී Tier État පංතියේ පිරිසක් ආර්ථික අතින් නැඟ ආවත් ඊට සරිලන දේශපාලන බලයෙන් හා සමාජයීය වැදගත්කමෙන් යුතු වූයේ නැත. එදා ප්‍රංශයේ දුප්පතා යුරෝපයේ ධනවතෙක් වූයේය!!!! මහත් ධනවස්තු රුස් කරගන්නට හැකියාව ලැබි, එහෙත් පාලන බලය හා සමාජ තත්වයෙන් සමතැන නොවූයේ බුර්ජුවාසි පංතියටයි.
බුර්ජුවාසී Manon Roland ට රදළ කාන්තාවගේ නිවසට ලැබි ආරාධනයෙන් ගියාම එහි දී සේවකයන් හා කන්න සිද්ධ වූ කතන්දරය රදළයන්ට එරෙහිව ජනතාව උසි ගන්වන්නට යොදවා ගැනුණි.
1764 දී මැඩාම් රෝලන්ඩ් වැනි අය ගැවසුන සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් පැරිසියේ ගහණ විය.
රදළ නොවූ ධනවත් බුර්ජුවාසිය “නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය” ඉල්ලුවේ තමන්ට ඉහළින් වූ අය එක්ක සමාන වෙන්නට මිසක තමන්ට හා පහළින් වූ අයට තමන් හා සමාන වෙන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.
රදළ වූ ධනවත් පංතියට කාඩිනල්, අග රාජගුරු ප්‍රසාදී, රාජගුරු ප්‍රසාදී, ආශ්‍රමාධිපති වැනි ඉහළ තනතුරු දරනා පූජ්‍ය පක්ෂය ද අයත් වූහ. ආගම් සංස්ථාවේ දුප්පතුන් වූයේ ඉහළ තනතුරු නැති බහුතර පූජකවරයන් හා පල්ලි බාරකරුවන් ය. විප්ලවයේ දී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවකාරීන් හා එකතු වූහ.
1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ වලින් යුරෝපීයයන් බංකොළොත් වී සිටියහ. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යාගේ භාණ්ඩාගාරයේ මුදල් එක පැත්තකින් හිස් වෙද්දී ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් එහි රජ හා ප්‍රභූන් අතින් ද, ඇමෙරිකාවේ යුද ආධාර වලට ද වැය වී හිස් වෙන්නට පටන් ගති.
ඒ වියදම් කළ ප්‍රංශ රදළයන් අතරින් නැඟී ආ කල්ලිය -noblesse de robe- පවුල් හාරදහසක් පමණ විය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට රදළයන්ට අධිකරණ සහ පරිපාලන තනතුරු මුදල් වලට විකිණුවේය. අල්ලස් හා දූෂණ ගහණ විය.
රටේ සදාචාර වර්ධනයට පල්ලි වල සහාය නිතරම අපේක්ෂා කළ ඔටුනු පැළඳි ලෝකය පල්ලිය නඩත්තු කළේ ජනතාවගේ බදු වලිනි. එහෙත් පල්ලියේ ඉහළ තනතුරු හා ආර්ථික වාසි රදළයන්ටත්, පල්ලි නඩත්තු කරන බදු ගෙවීම ගම්බදවැසියන්ටත් පැවරෙද්දී සහ කතෝලික පල්ලියේ බැහීමත්, පොතෙස්ත්‍රන්ත්‍ර පල්ලියේ නැඟීමත් අතර ගැටුම් ඇති වෙද්දී, ප්‍රංශයේ Huguenot 200,000 ක් රට අත්හැර ගිහින් තිබුණි. ඒ ප්‍රංශය හැරදමා ගිය මුල් සංක්‍රමණික රැල්ලකි. ජාතික පල්ලිය කුමක් දැයි වික්ශිප්තයෙන් විසූ ප්‍රංශ ජනතාව පල්ලි අත්හැර මිථ්‍යා විශ්වාස වන්දනාවන්ට නැවත බැස්හ.
යුද්ධයක් පැවතෙන කල රටක භාණ්ඩාගාරය හිස් වෙනවා මිස පිරෙන්නේ නැති බව තවමත් විශ්වාස නොකරන අය ලොව සිටිති. ආරවුල් වැඩි යුද්ධයක දී යැයි සිතන අයත් සිටිති. එහෙත් ආරවුල් වැඩි වෙන්නේ භාණ්ඩාගාරයක් හිස් වෙද්දී ය. මුදල් උපයන්නාට කුසගිනි දැනෙනා විට ය.
බෙදා ගන්නට වැඩි විරෝධයක් නැතිව එකඟ වෙන්නේ තමන් කැමති අන්දමින් ජීවත්වෙන්නට ඉඩක් නිදහසක් තිබිය දී ය. ඒත් තම උත්සාහයට ඉඩක් නැති කල, රටක් හැර දමා යන්නට බැරි අය කලකෝලාහල කරති. රදළයන්ටත් ජූජක පක්ෂයටත් එරෙහිව නැඟී සිටියේ ආර්ථිකව නැඟී ආ ඒත් ඒ නිසාම බදු බරින් පීඩනයට ලක් වූ නීතිඥයන්, බැංකුකරුවන්, කාර්මිකයන්, වෙළෙන්ඳන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් .. යනාදී ලක්ෂයක පමණ පවුල් වලින් යුතු බුර්ජුවාසිය හා කම්කරු ජනතාවයි. බුර්ජුවාසිය රදළයන් හා සමානව පාලන බලය හා සමාජ තත්වය ඉල්ලද්දී දුප්පත් ජනතාව ඉල්ලුවේ බදු බරින් නිදහස ය.
වැරැද්ද කොතැනක දැයි සොයාගනු නොහැකිව ඉන්නා ජනතාව උසිගන්වනු පිණිස බලය අල්ලා ගන්නට හදන්නා, ඇඟිලි දිගු කරන්නට දේශ ද්‍රෝහියෙක්, පීඩකයෙක් සොයන්නේ මේ කාලයටයි. බලය අල්ලා ගන්නට වෙර දරන්නා විසින් සොයාගන්නා රදළයන්, අධිරාජ්‍ය්‍යවාදීන්, ආගම් ධර්මයන්, දේශපාලන දර්ශනයන් යනාදියෙන් වැරදිකරුවා යැයි කොටසක් වෙත ඇඟිලි දිගු වෙන්නේ ද මේ කාලයටයි. වෑයම බලය අල්ලා ගැනීම මිස රට හැදීම නොවන නිසා භාණ්ඩාගාරය හිස් වූයේ ඇයි කියා සොයන්නට කිසිවෙක් වෙහෙස නොවෙති. මෙතැනට පිවිසි ඒ අයහපත් මඟේ වූ වැරදි හදා ගන්නට කිසිවෙකුට උවමනා නැත.
ඩිකන්ස්ගේ දෙනුවර කතාවේ මුලාවෙන් රැවටී ඉන්නා මැඩාම් ඩිෆාජ් කුසගින්න අමතක කරන්නට වූල් ගොතමින් ‘ඉවසන්න, පුරවැසියන්ට යහපතක් සිද්ධ වෙන විප්ලවය ළඟ එනවා’ යැයි තමා මෙන්ම නූගත් සැමියාට කියන්නී ය.
1789 ජූලි මාසයේ දී ප්‍රංශයේ ඇවිදින්නට යන ආතර් යන්ග් ට ගම්බද කාන්තාවක් හමුවෙයි. වැඩවසම් ක්‍රමයේ බදු ගෙවීම් නිසා බංකොළොත්බවේ කට ළඟ සැමදාම සිටින්න වීම ගැන ඇය පැමිණිලි කරයි. මේ බදු ව්‍යසනයෙන් ගැලවෙන්නට කවුරු හරි දැනුමැති පිරිසක් විසින් කුමන හෝ යහපත් තීරණයක් ගනු ඇතැයි අහිංසක ඇය විශ්වාසය ද පළ කරන බව ඔහු සටහන් කරයි.
දහසය වැනි ලුවී රජ රටක් පාලනය කරන්න අපේක්ෂාවෙන් සිටියේ නැත. ඔහුගේ පියාගේ (1765) ඉක්මන් අභාවයත්, ඔහුගේ සීයාගේ (1774) යල්පැන ගිය අභාවයත් නිසා වයස 20 දී ඔහු ප්‍රංශයේ මාස්ටර් වෙයි. කරුණාරත්න අබේසේකරයන් අතින් ලියැවුනු පද අනුව “මාස්ටර් සර්, මට හිමිතැන මට දෙනවාදෝ” යැයි එදා ප්‍රංශයේ අහිංසක ජනතාව ඉල්ලා සිටියේ කුමක් දැයි ඔවුන් වත් ඔහුවත් දැන සිටියේ නැත.
අද මෙන් ම එදත් හිමිතැන යනු කුමක් දැයි කිසිවෙක් විමසුවේ නැත. හිමිතැන යනු tout නොහොත් සියල්ලම යැයි කියා ඉල්ලුවේ රටේ වැඩිපුර ඉන්නේ Tier État නොහොත් රදළ/පූජක නොවන ඉතිරි සියල්ලම බැවින් රටේ සම්පත් සියල්ලම ඒ සියළු අයට ලැබිය යුතු බවයි. එසේ ලැබිය හැකි එකම මඟ කුමක් දැයි කියූ laissez faire ක්‍රමයට පැරිසියේ වැසියන් බිය වූහ. රජය තමන්ගේ එකම ගැලවුම්කාරයා යැයි එදා මෙන් ම අදත් සිතන ප්‍රංශ ජාතිකයන් 1774-76 දක්වා ඒ උත්සාහයන්ට විරෝධය පෑහ. පාලන බලය හා සම සමාජ තත්වය සොයන බුර්ජුවාසියේ සටන් පාඨ වූ කෑදර ධනපතියන් වෙළඳපොල හසුරනවා යන්න විශ්වාස කළහ. ඒ සටන් පාඨ කියන්නේ ද වෙළඳපොල හසුරුවන කෑදර ධනපතියන් වූ බුර්ජුවාසිය බව නොදුටූහ.
පින්තූර: වර්ජිනියා ප්‍රාන්තයේ ෆෙයාර්ෆැක්ස් නගරයෙන්. ලෝක ස්වභාවය තමා කවුදැයි මතක් කරන්නට පෙරේදා ගෙනා කුණාටුවෙන් තවමත් විදුලි බලය නැති අය එහි බොහොමයකි. ගංවතුර බහින්නට හදා ඇති කාණු වල කිසිවෙක් පදිංචි වී ඇතැයි නොදැක්කෙමි. ඒවායේ දිවෙන වතුර නම් අපවිත්‍ර ද්‍රවයෙන් නොයුතු යැයි සිතෙන්නේ නීතිගරුක සමාජයක් හොඳ අවවාද වලට සවන් දෙන නිසා ය. මිනිස් ස්වභාවය හඳුනාගත් ජෝර්ජ් මේසන් පිළිරුව ඇත්තේ වොෂිංටනයේ.







http://www.divaina.com/2012/07/02/forign02.html
වොෂින්ටන් නුවර උෂ්ණත්වය සෙල්සියස් 38 දක්‌වා ඉහළ ගොස් ඇති අතර මෙය 1934 න් පසු වාර්තා වූ ඉහළම අගයයිග වොෂින්ටන් නුවර විදුලි සැපයීමද අත්හිටුවා ඇත.
මේ ඇත්තද අක්කේ?
ඊයෙ දවසෙ මහදවල් තුං හතරපාරක් අපට විදුලිය විසන්දි උනා. ඒක පත්තරේ වැටිල නැහැනෙ.
Sujatha,
සුළි සුළං නිසා පෙරලිච්ච ලොකු ගස් සහ ලයිට් කණු නිසයි වොෂිංටන් වල විදුලි බලය ඇණ හිටියෙ. ඩෙලවෙයාර් වලත් ඊයේ සෙල්සියස් 38 ක් විතර උෂ්ණත්වය. ගිම්හානය පටන් ගනිද්දී නෙමෙයි සාමාන්‍යයෙන් අගෝස්තු වෙද්දි තමයි ඒ තරම් උෂ්ණත්වය ඉහළ යන්නෙ. හැබැයි මේ පාර වසන්තය වෙනදාට වඩා ඉතා සෞම්‍ය වූ බව දැන් හැමෝටම අමතක වෙලා!!!! කාලගුණය පාලනය කරන්න පුළුවන් ජගතෙක් ලොව නැහැ. ඒක ලෝක ස්වභාවය බව අමතක වෙච්ච ගොඩක් අය තාමත් සැලසුම් ගහනවා ඒත්!!!!
පුද්ගලික අංශය වැඩට යද්දි අද වොෂිංටනයේ ආණ්ඩු සේවකයන්ට කැමැති නම් විතරක් වැඩට යන්න පුළුවන් දවසක්!!!!
පිළිරුව අසල අරුණී සිටින ඡායාරුපය දැක මට අමරදේවගේ ගීතයක කොටසක් සිහිවිය.
….. මගේ කුදු බව පසක් කර ඇත……
(ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන)
මේ ටිකේ විස්තර ගොඩාක් කියෙව්වා නංගි. කමෙන්ටුවක් නොදැම්මාට සමාවෙන්න. ලස්සනයි පින්තූරය.
චාන්දි අක්කා,
ලිවීම මගේ සතුටයි. කමෙන්ටු නොදැම්මාට සමාව ඉල්ලන්න එපා අක්කෙ. ඇවිත් කියවලා ගියා ම හොඳටම ඇති.