අරුණි ශපීරෝ‍ වෙතින්

ක්ලෝඩීන්ගේ පාසැල් ජීවිතය, ඔස්කා වයිල්ඩ් හා ඇලන් ටුරින්

Posted in Uncategorized by arunishapiro on ජූලි 7, 2012

Claudine à l’école නොහොත් ක්ලෝඩීන්ගේ පාසැල් ජීවිතේ කතන්දරය Colette විසින් මුද්‍රණය කරන්නේ 1900 වසරේ දී ය. Colette කාන්තාවකි. ඇය සිය පළමු පොත ප්‍රකාශයට පත් කරන්නේ සැමියාගේ ලේඛන නාමයෙනි. මෙය ලෙස්බියන් කතාවකි. එය ඇයගේ චරිතාපදානය ලෙස සැලකෙන අතර කොලෙට් ඉපදුන ප්‍රංශයේ බර්ගන්ඩියන් ගම්බද පැත්ත ගැන විස්තර වලින් පිරුණක් යැයි කියැවේ.

1900 වසරේ ජෝසෆ් කොන්රඩ් Lord Jim ප්‍රකාශනය ද මැක්සිම් ගෝර්කි විසින් Three of Them සහ ලියෝ තොල්ස්තෝයි විසින් The Living Corpse ද ලියන ලදි. සමරිසියෙක් ලෙසින් බරපතල සිරදඬුවම් සඳහා වසර දෙකකට හිරගෙදර ගිය ඔස්කා වයිල්ඩ් මිය යන්නේ 1900 දී ය. ඔහු සිරගෙදර දී ලියන De Profundis ප්‍රකාශයට පත්වෙන්නේ 1905 දී ය.

1900 වසරේ දී කැනේඩියානුවෙක් වූ R. A. Fessenden රේඩියෝ තරංග වලින් මිනිස් වදන් හුවමාරුවට සමත් වෙයි. මෝර්මන් ආගමිකයෙක් අතින් බිහිවෙන 38 කැලිබර් සෙමි-ඔටෝමැටික් Browning රිවොල්වරය වෙළඳපොලට ලැබෙයි. පාබ්ලෝ පිකාසෝ විසින් Le Moulin de la Galette සිත්තම නිම කරයි. D. F. Davis නම් දේශපාලනඥයෙකුට වඩා ටෙනිස් ලෝලියෙකු සේ ජනප්‍රියත්වය ලබන ඇමෙරිකානුවා ජාත්‍යන්තර ඩේවිස් කුසලාන ටෙනිස් තරඟය අරඹයි. W. G. Grace නම් වූ ක්‍රිකට් ක්‍රීකඩයා සිය ක්‍රීඩා ජීවිතයේ දී ලකුණු 54,896 ක් එකතු කරගෙන ඊට ආයුබෝවන් කියයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිහින පරිවර්තනයට උත්සාහයක් ගෙන තිබුණි!!!

1900 දී පිකාසෝ පැරිසියේ නැවතී සිටි කාමරය රචකයෙකු, විචාරකයෙකු, කිවිඳෙකු හා සිත්තරෙකු වූ Max Jacob හා බෙදා ගත්තේ ය. මැක්ස් කාමරයේ රෑට නිදා ගනිද්දී පිකාසෝ රෑට චිත්‍ර ඇඳ දවල් ට නිදා ගත්තේ ය. ඔවුන් කොතරම් දුප්පත් වූයේ ද කියතොත් කුඩා කාමරය උණුසුම් කරන්නට ඔහුගේ නිර්මාණ පුළුස්සන ලදැයි කියැවේ. තම ජීවිත කාලයේ දී ම ධනවතෙක් වෙන්නට පිකාසෝ සමත් විය. 2004 වෙද්දී පිකාසෝ පින්තාරු කරන ලද Garçon à la Pipe නොහොත් ‘දුම්බොන පයිප්පයක් අතැති කොළුවා’ මිලියන $104.2 කට වෙන්දේසි වෙයි. ලොව මිල අධිකම සිත්තම් ලැයිස්තුවේ පිකාසෝගේ සිත්තම් බොහොමයකි.

ඒකීය පුද්ගලයන් ලෝකයට විවිධ දේවල් දායාද කිරීම නැවතී නැත. එසේම අනුන් සඳහා නීති රෙගුලාසි ගෙනෙන්නට වෙහෙසුන අය ද වූහ. සමහර රට වල ඒ උත්සාහයන්, කාලයක දී පැත්තකට වී කාලයක දී ඉස්මතු වී නැවතත් පැත්තකට යද්දී තවත් රටවල මහා පරිමාණ සැලසුම් වැඩි කාලයක් පැවතිණ.

1793 දී Eli Whitney ගේ කපු පුළුන් වෙන් කරන යන්ත්‍රය නිසා කපු කර්මාන්තයට ලැබි වාසිය නිසා, ඊට අවශ්‍ය වහල් සේවකයන් වැඩි වී … පසු කාලයක එය ඇමෙරිකන් සිවිල් යුද්ධයට පාදක වූ සාධකයක් සේ සැලකෙයි. රට දෙකඩ කරන්නට උත්සාහ ගත් බල තණ්හාධිකයන්ට ඉඩක් නොදී මිනිස් නිදහසට තවත් පියවරක් ගන්නේ ඉලිනොයි මිලීෂියාවේ සේවය කළ වෘත්තියෙන් නීතිඥවරයෙක් වූ, වසර පහක් බලයේ සිට වෙඩි කා මිය ගිය ඒබ්‍රහම් ලින්කන් විසිනි.

විවිධ පුද්ගලයන් විවිධ දේවල් වලට තම කාලය හා මහන්සිය කැප කරනා නිසා එයින් පොදු ජනතාවගේ යහපත ද එසේම අභාග්‍ය ද උදා වේ. එය ලෝක ස්වභාවයයි. එහෙත් ලෝකයේ වැඩිදෙනා රැවටෙන්නේ, යහපත සලසන්නේ සහ අභාග්‍යට ඉඩක් නොතබන්නේ, මහා සැලසුම් ගෙනෙනා මහා ආණ්ඩුවකින් හෝ බලවත් රජ කෙනෙකු වෙතින් කියා ය. මහා සැලසුම් ගෙනෙනා අය ඒවා ගෙන එන්නේ පොදු ජනතාව වෙනුවෙන් නොව බලය අල්ලා ගන්නට හෝ අල්ලා ගත් බලයේ ඉන්නට බව දකින්නට හැකියාව ඇත්තේ ලොව ස්වල්පයකට ය.

1945 දී චීන කොමියුනිස්ට් විප්ලවීය අරගලයෙන් බලය අල්ලා ගෙන වසර 31 ක්, මිය යන තුරු බලයේ සිටි මා ඕ සේතුං ජාතික වශයෙන් මහා පරිමාණ සැලසුම් දෙකක් දියත් කළේය. Great Leap Forward නම් වූ ආර්ථික හා සමාජීය උත්සාහයේ ප්‍රතිඵලය වූයේ මිලියන 18-42 අතර මිනිසුන් කුසගින්නේ මිය යෑමයි. සංස්කෘතික විප්ලවය මඟින් රතු හමුදාවට බලය දී පැරණි සම්ප්‍රදායන්, පැරණි සංස්කෘතිය, පැරණි හැදියාව සහ පැරණි අදහස් තහනම් කරන ලදි. රතු හමුදාව පරණ පොත්පත් ගිනි තැබූහ. කෞතුකාගාර කොල්ල කෑහ. පංසල්, වන්දනා ස්ථාන සහ අනෙකුත් සංස්කෘති ස්ථාන කඩා බිඳ දැමූහ. අනතුරුව ඔවුන් රටේ බුද්ධිමතුන්ව ද පරණ අදහස් ඇති අය යැයි කියා ඔවුන්ට ද පහර දී වෙඩි තබා මරා දැමූහ.

ආර්ථිකව හෝ සංස්කෘතිකව දියුණුවක් ඇති නොවී චීනය තිබුණාටත් වඩා අන්ත දුගී බවකින් ලෝකයේ අන්තිම පහළ මට්ටමකට බැස්සේ ය. කොල්ල කෑම හා විනාශය, නිෂ්පාදනය හා නිර්මාණය නොදන්නා මිනිස් ස්වභාවය බව ජනතාව නොදුටූහ. එවැනි පාලකයාට බලය තිබීමෙන් කිසිවෙකුටත් වාසියක් නැතිබව දකිද්දී රට අන්ත දුගී භාවයට පත් වී හමාරය.

ඇලන් ටුරින් බ්‍රිතාන්‍ය ගණිත ශාස්ත්‍රඥයෙකි, තර්ක ශාස්ත්‍රඥයෙකි, විකේතකයෙක් නොහොත් රහස් පණිවුඩ අවුල් ලිහන්නෙකි, (cryptanalyst) පරිගණක විද්‍යාඥයෙකි. දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මන් රහස් පණිවුඩ මොනවා දැයි සොයන්නට පිහිට වූ බ්‍රිතාන්‍ය උත්සාහයේ වැදගත් සේවයක් ඉටු වූයේ ඔහු අතිනි.

1952 දී ටුරින්ගේ සමලිංගිකත්වය හෙළිවීම නිසා ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් ගොනු විය. එවක බ්‍රිතාන්‍යේ සමලිංගික හැදියාව නීතිවිරෝධි වුවකි. යම් ක්‍රියාවක් සමාජයේ නීතිවිරෝධි වූවක් පමණින් එය ඊට පෙර හෝ ඊට පසුදාක ලෝකයේ වෙන කොහේවත් සිදු වූයේ/වන්නේ නැතැයි සිතන අයත් සිටිති!!!!

සමලිංගිකත්වය යනු පුද්ගලයෙකුගේ ලිංගික කැමැත්ත ය. ඒකීය පුද්ගල අයිතීන් ආරක්ෂා කරන නීති කඩන්නේ නැත්නම් පුද්ගලයාගේ ලිංගික හැසිරීම ආණ්ඩුවේ කාර්යයක් නොවේ. ඇලන් ටුරින් යම් අවස්ථාවක දී බලහත්කාරයෙන් අයෙක්ව සමලිංගිකත්වයට පොළඹවා ගත්තා යැයි ඔප්පු කරත හැකි වූයේ නම් ඊට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීම රටේ නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක කිරීමකි.

1957 දී අයින් රෑන්ඩ් “ඇට්ලස් දෙවුර හැකිළීය” පළ කරයි. 1958 දී යුරෝපයේ පොදු වෙළඳපොල බිහිවිය. Nikita Khrushchev සෝවියට් දේශයේ සභාපති වෙයි. බතීස්තා රජයට එරෙහිව විප්ලවයක් ෆිඩෙල් දියත් කරයි. Boris Pasternak විසින් Dr. Zhivago පළ කරයි. පාකිස්තානයේ ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකාවේ සවාරියකට එති. පස්වන වතාවටත් බොක්සිං තරඟයක් ජයගන්නේ Sugar Ray Robinson ය. Althea Gibson ඇමෙරිකන් ටෙනිස් තරඟය ජය ගනියි. ප්‍රංශ ජනරාල්වරයෙක් වන Charles De Gaulle ප්‍රංශ ජනරජයේ ජනාධිපතිවරයා සහ ඇන්ඩෝරාවේ Co-Prince වෙයි.

1959 දී ඇමෙරිකාවේ මැද ප්‍රාන්ත වලට (Midwest) ගොඩ වැදෙන Nikita Khrushchev එකල සෝවියට් දේශයේ පාලකයාය. සෝවියට් දේශය කාලයක් තිස්සේ දැඩි ආහාර හිඟයකින් සිටියහ. ඊට හේතුව අකාර්යක්ෂම කොමියුනිස්ට් කෘෂිකාර්මික පිළිවෙත් යැයි පිළිනොගත් ඔහු ඇමෙරිකාවේ මෙන් තිරිඟු වවා ආහාර හිඟය නැති කරන්නට හැකි යැයි විශ්වාස කළේය. තිරිඟු වවා එයින් මස් ගවයන් හා කිරි ගවයන් දෙකම වැඩි කරගන්නටත් හැකි යැයි සිතුවේය. සයිබීරියාවේ විශාල ඉඩම් ප්‍රමාණයන් ඒ වෙනුවෙන් සැලසුම් කළේය. තිරිඟු වවන ලදි. එය සම්පූර්ණයෙන් බංකොළොත් වූ සැලසුමක් විය.

1967 දී බ්‍රිතාන්‍ය පනතක් මඟින් පිරිමින් දෙදෙනෙක් අතර පුද්ගලික වූ ලිංගික හැසිරීමට නීතියෙන් අවසර ලැබුණි. මේ පනත එංගලන්තයටත් වේල්ස් වලටත් පමණක් සීමා වී (වෙළඳ නැව් හා හමුදා වල තහනම් වී) ස්කොට්ලන්තයේ 1980 දී හා උතුරු අයර්ලන්තයේ 1982 දී සම්මත විය. 1967 දී වයස 21 කට වඩා වැඩි අයට ලැබි නීත්‍යානුකූල අවසරය 1994 දී වයස 18 න් ඉහළ අයට ප්‍රදානය විය. 2000 දී සමලිංගිකයන් හා බහුලිංගිකයන් සියල්ලට ම ලිංගික හැසිරීමකට දඬුවම් නොලැබෙන වයස (age of consent) අවුරුදු 16 ට මහා බ්‍රිතාන්‍ය පුරා අඩුකරන ලදි. 2003 දී තවත් නීති ලිහිල් වී ඔස්කා වයිල්ඩ් සිරගත වූ ‘දැඩි අශීලාචාර හැසිරීම’ යන්නත් සිරගත විය හැකි දඬුවමක් ලෙසින් ඉවත් වී පිරිමින් දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් අතර ලිංගික හැසිරීමට ද දඬුවම් නැවතිණ.

ස්වභාවික සත්‍ය්‍යන් නොහොත් ප්‍රත්‍යක්ෂ සත්‍ය්‍යන් (self-evident truths) නම් වාසිදායකව තිරිඟු වවන්නට හැකියාව ඇත්තේ ඊට සුදුසු පරිසරයක වීමයි. මිනිසාගේ ස්වභාවික හැසිරීම පාලනයට නීති රෙගුලාසි ගෙනාවාට එය වෙනස් කළ නොහැකි වීමයි.

අයෙකුට උවමනා වූවාට වෙනස් කරන්නට බැරි තවෙකෙකුගේ මිනිස් ස්වභාවයක් ඇත. අයෙකුට හෝ ආණ්ඩුවකට උවමනා වූවාට වෙනස් කරන්නට බැරි ලෝක ස්වභාවයන් හෝ මිනිස් ස්වභාවයන් ඇත. ඒ ස්වභාවික වූ නීති (natural laws) වලට හැම විටෙක ම කොතරම් බලවත් වූ පුද්ගලයෙකුට වුවත්, කොතරම් බලවත් වූ ආණ්ඩුවකට වුවත් යටත් වෙන්නට සිද්ධ වෙයි. මිනිසාට ගෙනෙන්නට හැකි හැම රෙගුලාසියක් ම, හැම නීතියක් ම මේ ස්වභාවික වූ නීති වලට අනුකූල වෙන්නට නොහැකි නම් ඒවා ඵලදායක නොවේ.

පින්තූර: උඩ ඇත්තේ නිව් යෝර්ක් නගරයේ ගූගන්හයිම් කෞතුකාගාරයේ ඇති පිකාසෝගේ Le Moulin de la Galette සිත්තමයි. පහත ඇත්තේ වොෂිංටනයේ ඇති ඒබ්‍රහරම් ලින්කන් ස්මාරකයි. ලින්කන් අසුන් ගන්නට හදනවා ද නැත්නම් නැඟිටින්නට හදනවා ද?!!!

About these ads

13 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූලි 7, 2012 at 9:16 පෙ.ව.

    ඔන්න ඔහේ මේ ප්‍රශ්නය ඇසුව නිසයි මේ කියන්නේ, හිතෙන්වත් බනින්න එපා හරිද?

    මේ සමහර විට ලින්කන් අධෝ වාතයක් යවන්නට සිය පශ්චාත් බාගය මදක් උස්සන මොහොත වෙන්නත් පුළුවනි.

    • arunishapiro said, on ජූලි 7, 2012 at 4:04 ප.ව.

      kathandarakaraya,

      A rhetorical question is a figure of speech in the form of a question that is asked in order to make a point and without the expectation of a reply. The question is used as a rhetorical device, posed for the sake of encouraging its listener to consider a message or viewpoint.

      පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 1957-58 දී Abdul Hafeez Kardar යටතේ බටහිර කොදවේ දූපත් වල සවාරියක යෙදෙනවා. ඒ සමඟින් ඔවුන් බර්මියුඩාවේ, ඇමෙරිකාවේ සහ කැනඩාවේ ද ක්‍රිකට් මැච් ගහනවා. 1958 දී A. H. Kardar විසින් පළ කරන ලද Green Shadows පොතෙන් තව විස්තර හොයාගන්න පුළුවන් වෙයි.

      සමරිසි සම්බන්ධතා පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න ඕන ඒකෙ නියැළෙන අය විතරයි. අනිත් අයට අනුන්ගේ සතුට සොයා යන විදිය ගැන හොයන කැක්කුම වෙනුවට තමන්ගේ සතුට සොයන විදිය ගැන කැක්කුමක් ඇති කරගන්නයි ඕන. ආණ්ඩුවක් විසින් ඔවුන්ට දෙන දඬුවම් ඉවත් කළාම ඇති, වෙන නීති රෙගුලාසි අවශ්‍යත් නැහැ.

  2. kathandarakaraya said, on ජූලි 7, 2012 at 9:21 පෙ.ව.

    මේ ලිපියේ එන සමලිංගික ක්‍රියාකාරම් සම්බන්ධ නීතීවල වෙනස්කම් වලට වක්‍රාකාරව ඈඳුණු දෙයක් තමයි තල්මසුන් මරණ එක ගැන ඇති විරෝධයත්.

    ඒ දවස්වල මරලා විනාස කළා, දැන් දිවි පරදුවට තියලා බේරා ගන්ණ යනවා.

    ඇයි වනාන්තය කපන එක, ඒකත් එහෙමයි.

  3. kathandarakaraya said, on ජූලි 7, 2012 at 9:24 පෙ.ව.

    /* පාකිස්තානයේ ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකාවේ සවාරියකට එති. */

    Any links for this, please?

  4. kathandarakaraya said, on ජූලි 7, 2012 at 9:30 පෙ.ව.

    අරුණී කලකට පෙර කියූ ලෙස 1982 දී පවා ලෙස්බියන් කපල්ස් කැලණීය විශ්ව විද්‍යාල භූමියේ හාදු දෙමින් නිදහසේ හැසිරුණා.
    සරසවි කොල්ලෝ – සැප්තැම්බර් 23, 2010

    දැන් වසර තිහක් ගිහින්. ලංකාවේ කවදා සමරිසි සම්බන්ධතා පිළිගන්න නීති එයිද?

  5. buddie-බුඩී said, on ජූලි 7, 2012 at 10:16 පෙ.ව.

    නීති කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනේ අලුත් දේවල් එක්ක. :)
    //හැම නීතියක් ම මේ ස්වභාවික වූ නීති වලට අනුකූල වෙන්නට නොහැකි නම් ඒවා ඵලදායක නොවේ.//
    බූඩිත් එකගය !

    • arunishapiro said, on ජූලි 7, 2012 at 7:02 ප.ව.

      buddie-බුඩී,

      නීති කාලෙන් කාලට වෙනස් වෙන්න ඕනේ ස්වභාවික නීති වලට අනුකූලවයි. මොකද ස්වභාවික නීති කිසිදා වෙනස් නොවන නිසා.

  6. Mourya Raj said, on ජූලි 8, 2012 at 1:56 පෙ.ව.

    මේක අවුරුදු 2500ක් පැරණි ඉතිහාසයක් තියන මෙව්ව එකක් හරිය! මෙහේ ඕව බෑ. :-)

    • arunishapiro said, on ජූලි 8, 2012 at 8:46 පෙ.ව.

      Mourya Raj,

      වසර 2500 ක් පැරණි තමන්ගෙ ඉතිහාසය නොදකින්න ඇස් පියාගෙන සිංහලෙන් ලියන අය ඇමෙරිකාවේ ණය වලින් බඩ පුරවාගෙන ඇමෙරිකාවට බනින සතුටින් සිත පුරවාගෙන ඉන්නවා. :)

  7. gold account said, on ජූලි 21, 2012 at 6:12 පෙ.ව.

    මහාධිකරණ විනිශ්චයකාර, සාහිත්‍ය විචාරක සමන් වික්‍රමාරච්චි කියවන පොත විශ්ව කීර්තිධර සාහිත්‍ය වේදී මිලාන් කුන්දේරා, නවකතාව අළලා නිමැවූ විචාර ග්‍රන්ථයක්.

    • arunishapiro said, on ජූලි 21, 2012 at 8:10 පෙ.ව.

      gold account,

      ප්‍රබන්ධ සත්‍යය යැයි හිතාගෙන ඉන්න අය කොච්චර ද? ඇමෙරිකන් සිහිනය ගැන ලියපු සිංහල වෙබ් සටහනක ස්වදේශී ඉන්දියානුවන් ගෙන් ‘ඇමෙරිකානුවා’ රට උදුරා ගත්තා යැයි සිතන සමහරු ක්ලෝවිස් පාරම්පරික ඉන්දියානුවන්ටත් පෙර තවත් ස්වදේශි ආදීවාසීන් ඇමෙරිකා වල හිටියා කියල නොදැන සතුටින් උඩ පැන පැන ඇමෙරිකාවට ඔලොක්කු කරන්න පෙල ගැහිලා සිටි බව දැක්කා :D

      කාල් මාක්ස් ධනවාදයට එරෙහිව දාස් කැපිටාල් ලිව්වෙ ඔනරේ බල්සැක්ගේ නවකතා වල එන දුප්පතුන් ගැන කියවලාලු!!! වෝල්ටෙයාර් ගේ ප්‍රබන්ධ වලින් ප්‍රබෝධමත් වෙච්ච එදා නායකයෝ වගේ ම, මැකියාවෙලි නිසා ප්‍රබෝධමත් වෙච්ච නායකයන් වගේ ම, අයින් රෑන්ඩ් කියවපු මාගරට් තැචර් එහෙමත් මෑත කාලයක හිටියා.

      ඒත් අද නායකයෝ තමන්ගෙ චරිතපදාන ලියන්න දඟලනවා මිසක් අනුන් ලියන ප්‍රබන්ධ වත් කියවනවා දැයි සැකයි!!!!!

      ඒ එක්කම මිනිස්සුත් අර කෙවින් කිව්වා වගේ රාවණා විශ්වාස කරන්නත් පටන් ගෙන!!!!

  8. Panama said, on ජූලි 25, 2012 at 9:25 පෙ.ව.

    සමහර විට ලොව දක්ෂතමයෙක් වුවත්, අවාසනාවන්ත සිද්ධියක් නිසා තරඟයට ආරාධනාවක් තිබුණත් සහභාගී වන්නට නොහැකි වේ. ලක්සම්බර්ග් හි ඇන්ඩි හා ෆ්‍රෑන්ක් ශ්ලෙක් සහෝදරයන් දෙදෙනා ගෙන් ඇන්ඩිට මෙවර ප්‍රංශ සයිකල් සවාරියට පෙර තරඟයක දී සිදු වූ අනතුරක් නිසා සවාරියේ තරඟය නොහැකි වී ඇත. ඉතින් කොතරම් දක්ෂයෙක් වුවත් ජීවිතයේ දී නොවැළැක්විය හැකි බාධක ඉදිරියේ අසරණ වෙන්නට සිදුවේ.

    • arunishapiro said, on ජූලි 25, 2012 at 9:42 පෙ.ව.

      Panama,

      ඇත්ත. ඒත් ලෝක ස්වභාවය එහෙමයි කියලා අසරණයෙක් විදියට සිටීම මිනිස් ස්වභාවය නෙවෙයි. ඇන්ඩි ශ්ලෙක් බයිසිකල් තරඟ වලට යෑම නවතා දමා ආණ්ඩුවේ සහනාධාර වලින් ජීවත් වෙන්නෙක් වෙයි ද? නැත්නම් ඊ ළඟ ප්‍රංශ සවාරියට යන්නට නිරෝගී වී සහ පුහුණු වී නැවතත් වෑයමේ යෙදේවි ද? ජීවිතය ජයගන්නේ නොසිතූ නොවැළැක්විය හැකි බාධක ඉදිරියේ අසරණ වුවත් යළි නැඟිට වෙහෙස වෙන අයයි, ඒ ව්‍යාපාර, ඒ අය ඉන්නා රටවල්. පිළිකා රෝගය හැදිච්ච ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්; මැක්ඩොනල්ඩ්ස් බර්ගර් ව්‍යාපාරය; ජපානය සහ ජර්මනිය රටවල් හැටියට උදාහරණ.

      ආධාර දී අසරණ බවින් මිනිසා තබාගෙන ඔවුන්ගේ පාලකයන් වීම එක මිනිස් ස්වභාවයක්. අසරණ බවින් මිදී ඒකීය පුද්ගලයන් වන්නට තමන් වෑයම් ගැනීම හා අනුන්ට ද මඟ සලසා දීම තවත් මිනිස් ස්වභාවයක්. ඔබ තෝරා ගන්නේ කුමක් ද?!!!

      දිවෙන් ලොව දකින මිනිසා

      අක්‍රීය පාද වලට මොළයෙන් අණදෙන තොප්පියක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 236 other followers

%d bloggers like this: