අරුණි ශපීරෝ‍ වෙතින්

හැමදාම පිහිනුවේ උඩු ගං බලා මිස ගලන අතට නොවෙයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 18, 2012

ලංකාවේ නීතියේ රීතියක් (rule of law) අද නැතැයි බලලෝභී ‘බුර්ජුවාසියක්’ කෑ ගසති. හරියට අතීතයක එවැන්නක් තිබ්බා වගේ!!!

නීතියේ රීතිය කුමක් දැයි දන්නා අය කී දෙනෙක් හොයා ගන්න හැකිද?

ලංකාවේ නීතියේ රීතියක් නැතැයි හදිසියේ ම උලුප්ප උලුප්පා පෙන්වන්නේ කවුද? ඒ මන්ද?

පිරිසක් ළමා අපරාධකරුවන්ට සහ ස්ත්‍රී දූෂකයන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කියති. ඒ අය අතර අංගුලිමාලටත් කමාව දුන් ගෞතම බුදුන් අදහන අයත් වීම මවිතයකි.

දේශප්‍රේමීන් දේශද්‍රෝහීන් වෙන්නට වැඩි කාලයක් නොයන රටක, නීති රීති මොනවා දැයි නොදන්නා බහුතරයක් ඉන්නා රටක (පාරට බැස්සම දකින්න පුළුවන්), පුද්ගලික අයිතීන් මොනවා දැයි නොදන්නා රටක (අන්තර්ජාලයේ සැරිසැරුවාම දකින්න පුළුවන්), මිනිහෙක් මරලා වෙන කෙනෙක්ට ගාණක් දීලා එයාව හිරේ යවන්න පුළුවන් රටක (අහලා බලන්න හොයා ගන්න පුළුවන් එහෙම අය), කොටසකට පමණක් නීති ක්‍රියාත්මක වෙන රටක, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට පටන් ගැනීමේ යෝජනාව තැතිගත යුතු කාරණයකි.

ඔව්, ලංකාවේ වගේ ම ඇමෙරිකාවේ ද මරණ දඬුවම තියෙනවා, ඒත් ඇමෙරිකාවේ නීතියේ රීතිය ද තියෙනවා, සුපිරි උසාවිය එය කඩ කළත් ඒකටත් පියවර තියෙනවා!!!, ඒ වගේ ම ඇමෙරිකාව තුල කැමති ප්‍රාන්තයක ජීවත්වෙන්න අවසරය ඇති පුරවැසියාට මරණ දඬුවම නැති ප්‍රාන්තයක පදිංචියට ද යා හැකියි.

කිසිදා නීතියේ රීතිය හරි හැටියකට ක්‍රියාත්මක නොවුනු ලංකාවේ නොකළ වරදකට හසුවන අහිංසක මිනිසෙක් යන්නේ කොහෙද?!!!!!

40 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on ජූලි 18, 2012 at 11:44 පෙ.ව.

    යන තැනක් හිතා ගන්ට බැහැ අක්කෙ.බහුතරයක් මිනිස්සු ගැහැණු තැතිගැන්මෙන් ඉන්නෙ ඊ ළඟට මොකක් වෙයිද කියල

    • arunishapiro said, on ජූලි 18, 2012 at 11:47 පෙ.ව.

      සුජාතා නංගි,

      තැතිගෙන සොයා නොබලා යෝජනා සම්මත කරගත්තාට, වැරැද්දක් කරපු අයෙක්ව මරණයට ලක් කළත් ප්‍රශ්න විසඳන්නෙ නැහැ.

  2. Gold fish said, on ජූලි 18, 2012 at 11:46 පෙ.ව.

    මේක ලංකාවේ පත්තරේක ලිව්වනම් එහෙම, හෙට උදේට ගෙවල් වල මිනිස්සුට පොස්ටර් ගහන්න වෙනවා…. “නැතීවී ඇත සොයා දෙන්න” කියලා….

  3. vishvanatha said, on ජූලි 18, 2012 at 12:00 ප.ව.

    මේ ලිපිය පළ කිරීම ගැන අරුණි ට මම ස්තූතුවන්ත වෙනවා.ඇත්තටම 1976ට පෙර ලංකාවේ මරණ දඩුවම තිබුණා.අහිංසක මිනිස්සු රැසක්ම දරුණු බිහිසුණු මරණයන්ට මුහුණ දුන්නා.අනියම් මිනීමැරීමට වරදකරු කල හැකි අය පවා එල්ලුම් ගස් ගියා.ඒ කාලෙ ජිනීවා මානව හිමිකම් මාධ්‍ය බලවේග මොකුත් නෑ.පර පීඩක පිස්කල් වරි ජේලර් වරුන් අත තමයි සියල්ල තීරනය වුනේ.ආත්මාරක්ෂාවට මිනී මැරූ අය අධිකරනයේ වැරදි තීන්දු වලට එකටෙක කරන්න ගොස් මිනීමැරූ අය විතරක් නොවෙයි
    පොලීසිය විසින් සම්පූර්නයෙන්ම බොරුවට ගොතපු නඩු නිසා එල්ලුම් ගස් ගිය අයසමාජය විශේෂයෙන් දූෂිත පොලීසිය විසින් අපරාධවලට මෙහෙයවපු අහිංසකයො එල්ලුම් ගස් ගියා
    එදා මේ අසරනයන්ට කරන්න කිසිම දෙයක් තිබුණේ ණෑ.කෲර යමපල්ලන් අතර තිබූ එකම මානුෂික දෙය වන ඩෙත් රෝ එකේ බිත්තියේ කවි ලිව්වා.වැරදි තීන්දු දුන් ගාම්භීර නඩුකාරවරුන්ට දඩුවම් නෑ.
    ඇමරිකාවෙ මරණ දඩුවමටත් මම විරුද්ධයි.හැබැයි ඇමරිකාවෙ අහිංසකයෙක් එල්ලා මැරුවොත් ඒ ගැන පසු විපරමක් තියනවා.ඒ ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා.ලංකාවෙනම් කෙනෙක් එල්ලුම්ගහට නිර්දේශකරන්නෙ මාධ්‍ය විසින්.එතනින් එහාට කතා නෑ.අලුගෝසුවන්ගේ පර පීඩා කාමුකත්වයට බිලිවූ බහුතරයක් අහිංසකයන්.එල්ලා මැරීමට පෙර සිරකරුවාට කරන වධ හිංසා ගැන එක් පිස්කල් වරයෙක් ආඩම්බරයෙන් පත්තරේකට කියල තිබුණා.එයා ඒක කියද්දි මූන පිම්බුනාලු ජම්බු ගෙඩියක් වගේ.”සාමාන්‍යයෙන් එල්ලන්න ඉස්සර සිරකාරයව බාගෙට මරනවා” මේ එයාගෙ වචන
    අපරාධ වැඩිවීමට බලපාන හේතු විද්‍යාත්මකව සොයා බලන්න ඕන.නැතිව වැඩවසම් භීතියකින් සමාජය ත්‍රස්ත කරන රාජාන්ඩුවාදයක් නෙවෙයි අවශ්‍ය.අපි ජීවත් වෙන්නෙ 21 වැනි සියවසේ.ඉදිරියෙදි මොළයේ මොස්තරයන් කලින් හදුනගෙන ප්‍රතිකාර කරන තාක්ෂනයන් පවා එයි.එල්ලුම් ගහ කියන්නෙ සියලු ප්‍රශ්න විසදන කප් රුකක් නොවෙයි.ම්ලේච්ඡත්වයේ සංකේතය මිසක්

  4. Mourya Raj said, on ජූලි 18, 2012 at 12:37 ප.ව.

    අතීතයට වඩා වර්තමානය නරකයි කියලත් අනාගතය ඊටත් නරක්වේය කියලත් මට හිතෙන්නෙ ඇයි?

    • arunishapiro said, on ජූලි 18, 2012 at 12:50 ප.ව.

      රාජ්,

      ලෝකය පුරා ම දත්ත පෙන්වන්නෙ නම් රාජ්ට හිතෙන දේට පටහැනි දෙයක්. එනම් අතීතයට වඩා වර්තමානය හොඳයි කියල අනාගතය ඊටත් වඩා හොඳ වේවි කියල.

      රාජ් ගෙ නවාතැනට ඇවිත් දාපු ප්‍රතිචාරයේ වගේ එදා ප්‍රේමවතී මනම්පේරීගේ ඇඳුම් ගලවලා ඇයව පාරේ දක්කන් ගිය බව එදා ලංකාවේ කී දෙනෙක් දැන සිටියා ද? ඒ සිද්ධිය ගැන සත්‍ය දැනගන්න හැකියාව ලැබුනේ කොයි කාලයක් ගියාට පස්සෙ ද? අද උවමනාවක් ඇති ඕනෑ කෙනෙක්ට ඒ ගැන විස්තර හොයා ගන්න පුළුවන්.

      ඉස්සර කාලේ ආණ්ඩු කරපු අය අකමැති දෙයක් ලිව්වම පත්තර කන්තෝරු සීල් තිබ්බා. අද කවුරු කොච්චර කෑ ගැහැව්වත් උවමනාවක් තියන අය අතර තොරතුරු බෙදා හැරෙන එක නවත්වන්න ක්‍රමයක් චීනයටත් උතුරු කොරියාවටත් නැති කල ලංකාව කරන්නෙ කොහොම ද?

      දැන් අපි මෙහෙම හොයා ගන්න තොරතුරු වලින් මොනවා ද කරන්නෙ කියන එකයි වැදගත්. වැරදි දකින්නෙ නැතිව ඒවා හදාගන්න බැහැ. ඒවා හදාගන්නෙ නැතිව තියන ආණ්ඩුව පෙරළලා අළුත් ආණ්ඩුවක් පත් කරගත්තාට ඵලක් ද නැහැ.

  5. Kevin Perera said, on ජූලි 18, 2012 at 1:18 ප.ව.

    අශෝක හඳගමගේ සින්තටික් සිහින කියන ටෙලි ඩ්‍රාමා එකේ ලංකාව ගැන රුවන් වැකියක් තියනව. ඒක තමයි “රවුමට යනකොට පහුවුන දෙවල් ආපසු හමුවෙනව” කියන එක. අරුණි හඳයා ඉතා නිවැරිදිව කියා ඇති පරිදි ලාංකිකයා උඩුගං බලා නොවෙයි රවුමට යන්නේ. ඉතින් පහුවුන දේවල් නැවත හමුවෙනවා. රජවරු..රාවණා..දැනටමත් ආපසු ඇවිත්. උල තියල මැරීම වංගෙඩියේ දා කෙටීම ලඟදීම ඒවිද කියල හිතෙනව. ඒ මදිවට මුල්ලා වරුන්ට විරුද්ධව පෙරමුන අරන් ඉන්නේ මුල්ලා වරුන්ටත් වඩා මූලධර්ම වාදී අදහස් තියන අය. අනේ අපේ රටට රාවණගෙම පිහිටයි
    ෴ ශ්‍රී රාවණා සිද්ධම් ‌‍෴

    • arunishapiro said, on ජූලි 18, 2012 at 1:25 ප.ව.

      Kevin,

      හඳයා කියන රවුමට යන එක ඉතිහාසය නොදන්නා නිසා ඉන් පාඩමක් ඉගෙන නොගත් නිසා ඒ වැරදි හැමදාම කරනවා කියන ජෝර්ජ් සන්තානයනගේ කියමන එක්ක ගැලපෙන්නක්.

      උඩු ගං බලා පීනනවා යැයි කිව්වෙ ඔය උඩ පින්තූරේ ඉන්න මම ගැන 🙂 … එදත් එහෙමයි, අදත් එහෙමයි. එහෙදීත් එහෙමයි, මෙහෙදීත් එහෙමයි.

  6. Subhash Gunawardhane said, on ජූලි 18, 2012 at 2:59 ප.ව.

    ඇත්ත තමයි අක්කේ සල්ලි වලට බලයට නීතිය අවනීතිය කරන්න පුලුවන් කාලේ සල්ලි සහ බලය තියෙන මිනිහෙක් කරන වරදකට අහිංසකයෙක් බිල්ලක් නොවේ කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද? (දැනටත් අපි එහෙම ඒවා නිතර අහනවා දකිනවානේ) එහෙව් එකේ මරණ දන්ඩණය නම් ඕනම නැද්ද මන්දා . . .

    • arunishapiro said, on ජූලි 18, 2012 at 3:28 ප.ව.

      සුභාෂ් මල්ලි,

      ඔව් සෑහෙන්න හිතන්න ඕන දෙයක්. ළමා අපරාධකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට ඇති දැඩි අකැමැත්ත හා පිළිකුල නිසා අමතක නොකළ යුතු අනිත් පැත්ත මඟහරින්න නරකයි.

      වේවැල්කැටිය ශිලා ලිපියකට අනුව ‘දසගම’ අධිකරණයට ‘මීවුන්, ගෙරිගොන්, එළුවන් මැරූ” සත්ව ඝාතකයන්ට මරණීය දණ්ඩය ලබා දීමට බලය තිබුනාලු. අද ළමා අපරාධ හා ස්ත්‍රී දූෂකයන්ට මරණ දණ්ඩනය … හෙට කා වෙනුවෙන් වේවි ද?

      ඒ වගේ ම සද්ධර්මරත්නාවලියේ “දෙස් කීවවුන්ට දෙන අත්ලසක් සේ” යැයි කියා තියෙනවාලු. සාක්කිකරුවන්ට අල්ලස් දීම ඒ කාලයේ ද තිබ්බ මිනිස් ස්වභාවයක්. ඒ මිනිස් ස්වභාවයන් සැලකිල්ලට ගෙන හැදෙන නීති නැත්නම් මොන නීති ගෙනාවත් ඒ නීති වලින් කිසිත් ඵලක් නැහැ.

  7. Chandani said, on ජූලි 18, 2012 at 10:02 ප.ව.

    ස්තූතියි අරුණි මේ පොස්ට් එකට. අපේ මහත්තයා නිතරම කියනවා දැන් අධර්මයම තමයි රජයන්නෙ කියලා. එන්න එන්නම අපේ අයුශත් අඩුවෙලා යන්නෙ මේ හේතුව නිසා කියල. මරණ දඬුවමට නම් අපි දෙන්නාම විරුද්ධයි. කෙනෙක්ව හදා ගන්න පුලුවන්නම් ඒක තමයි හොඳ. ඒ උනාට ලංකාවේ අපරධ කරන අයට මහ උළු ගෙදර තියෙන සැප බලන්න එපායැ. කුඩු රජාල ඒකෙනෙ වැජබෙන්නෙ. ඉතින් නීතියක් කොහෙද? අපේ දරුවන්ගෙ කාලෙ එනකොට මොනතත්වයක් වේවිද දන්නෙ නෑ. හිතන්නටත් බැහැ අද තත්වෙ අනුව. නීතිය ක්‍රියාතමක කරන අයම ඒවා කඩනවා. මාර්ග නීතියක් වත් අනුගමනය නොකරන එකම රට.

    • arunishapiro said, on ජූලි 19, 2012 at 7:36 පෙ.ව.

      Chandani,

      ලංකාවේ අපරාධ කරන හැම කෙනෙක්ට ම මහ උළු ගෙදර තියෙන සැප බලන්න ලැබෙනවා නම් … එහෙනම් චාන්දි අක්කා මිනිස්සු අපරාධයක් කරන්න කළින් දෙපාරක් වත් හිතාවි.

      අධර්මය හැමදාම ධර්මය සමඟින් යන්නෙ. කාලෙන් කාලෙට එකක් වැඩියෙන් ඉස්මතු වෙනවා. වහාම හැමගේ ආරක්ෂාවට ධර්මයට ඉස්මතු වෙන්නට ඉඩ නොදුන්නොත් අධර්මය රජ වුනොත් තමයි විනාශය. ඒත් තත්වය ධර්මය කුමක් දැයි දන්නෙ නැත්නම් ඊට ඉස්මතු වෙන්න ඉඩ දෙන්නෙ කොහොම ද කියන එක.

      අනික චාන්දි අක්කා, මාර්ග නීති අනුගමනය නොකරන එකම රට නම් කියන්න බැහැ, ඉන්දියාව ලංකාවට වඩා අන්තයි, වාහනයට යන්න පාරේ ඉඩ ගන්න අයෙක්ව වාහනයට ඉදිරියෙන් පයින් යවන්න ඕනා කියන්නෙ!!! කොච්චර බුද්ධිමත්, වෙහෙසන මිනිස්සු හිටියත්, ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බත්, ඒකෙත් තියන ‘බාබු දේශපාලනය‘ වෙනස් නොවුනොත් ඉන්දියාවත් හැමදාම “දියුණු වෙන රටක්”.

  8. Sudath said, on ජූලි 18, 2012 at 11:34 ප.ව.

    “දේශප්‍රේමීන් දේශද්‍රෝහීන් වෙන්නට වැඩි කාලයක් නොයන රටක, නීති රීති මොනවා දැයි නොදන්නා බහුතරයක් ……………………………………., මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට පටන් ගැනීමේ යෝජනාව තැතිගත යුතු කාරණයකි.“

    සම්පූර්ණ ඇත්ත.

    • arunishapiro said, on ජූලි 19, 2012 at 7:55 පෙ.ව.

      Sudath,

      ඇත්ත යැයි එකඟ වුනාට පස්සෙ ඊ ළඟට මොකක් ද කරන්නෙ?

      මේ දවස්වල ඔබාමා කරන්න හදපු දෙයක් තමයි වාමාංශිකයන් අතර බහුලව දකින්න හැකි වූ හැදියාවක්. තමන් අකමැති අදහස් කියන අයගේ චරිත ඝාතනය කරන්නට කරපු නැති වැරද්දක් කරපු වරදක් සේ හින්ට් කිරීම. හොඳ වෙලාවට හිතන්න පුළුවන් බහුතර ඇමෙරිකානුවන් ඒකට රැවටුනේ නැහැ. ඊ ළඟට ඔබාමා හැදුවේ තවත් වාමාංශිකයන් අතර බහුලව ඇති හැදියාවක්. සහනාධාර වලින් ජීවත්වෙන අයට කිව්වා ධනවත් වූ අය ධනවත් වූයේ ස්ව උත්සාහයෙන් නෙමෙයි කීම. ඒකටත් බහුතරයා රැවටුනේ නැහැ. කටපියා ගෙන හිටියා නම් දිනන්න පුළුවන් වෙච්ච ඔබාමා පැරදුනොත් පරදින්නේ ඒ නිසා.

      මුලාවෙන් මිනිසා අවදි වෙද්දී, සත්‍යය යැයි පිළිගන්නා කරුණු කාරණා ඉදිරියේ දී නොබියව හඬ නඟන්න එකතු නොවුනොත් හැමෝම වැටෙන්නෙ අගාධයට. ඊට පස්සෙ කාලයක් ගියාම තමන් හිස් මුදුනේ තියාගන ඇදහූ නායකයා වැටෙන්නෙත් එතැනට ම. හැමදාම ඇයි අපි දියුණු නැත්තෙ? කියලා ඇහැව්වට වැඩක් නැහැ, විනාශකාරී හැදියාව අත් හැරලා දියුණුවට පා තබන්න තමන් විසින් උත්සාහයක් නොගෙන.

      යෝජනා වී ඇති බරපතල ලෙස හානිකර වූ පියවර අනිසි යැයි මා හා එකඟ වුනාට බෙහෙවින් ස්තූතියි.

      • Sudath said, on ජූලි 19, 2012 at 10:25 පෙ.ව.

        එකඟ වෙලා නිකං හිටියට හරියන්නෙ නෑ තමා. ඔබගේ උත්සාහය ප්‍රශංසනීයයි.

        • arunishapiro said, on ජූලි 19, 2012 at 10:35 පෙ.ව.

          Sudath,

          නැවතත් ස්තූතියි. ළමා අපචාරකයන්ට හා ස්ත්‍රී දූෂකයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට යැයි මෙහෙයුමක් දියත් කරන්න ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍ය්‍යේ මහත් ප්‍රසිද්ධියක් දරනා මා හා එකට කැළණියේ ඉගෙන ගත් ඉහත පින්තූරයේ නැති, වසර 30 ක් තිස්සේ දන්නා හොඳ මිතුරෙක් තමයි ඉදිරිපත් වී සිටින්නේ. ඔහු සැබැවින් ම පිරිසිදු චේතනාවකින් ඉදිරිපත් වෙලා ඉන්නෙ අපිරිසිදු කර්තව්‍ය්‍යකට.

          ඒත් එකඟ වෙලා නිකං ඉන්න එපා කියනවා වගේ ම විරුද්ධ වෙලා නිකං සිටීමත් ඒ වගේ ම ඵල රහිත නිසයි විරුද්ධත්වය මෙසේ සටහන් තැබුවේ. අපේ මිත්‍රත්වය ගැන පැහැදිලි ව හොයා ගන්න ලැබෙන හොඳ ම අවස්ථාවක් මේක!!!!

  9. kathandarakaraya said, on ජූලි 19, 2012 at 12:01 පෙ.ව.

    කවුද අර ෆොටෝ එකේ ඉන්න කට්ටිය? එක්කෙනයි අඳුනා ගන්න පුළුවන්.
    අවුරුදු 30 ක් ගිහින් නේද? මේ සෙකන්ඩ් ඉයරයේ වෙන්න ඇති?

    • arunishapiro said, on ජූලි 19, 2012 at 8:48 පෙ.ව.

      kathandarakaraya,

      කතන්දරකාරයා ජයන්ත සෙනෙවිරත්න සර්ව දන්නවා කියලා නේද කිව්වෙ? එයයි මායි, එතකොට දෙන්නෙක්ව අඳුනාගන්න බැරි ද? ඔව් ඒ සෙකන්ඩ් ඉයර් තමයි, දර්ශන විශේෂවේදී සිසුන් අනිත් අය සියල්ල ම. එදා දර්ශන විශේෂවේදී කරපු කෙල්ලෙකුට හිටියෙ මම විතරයි. ඔය පින්තූරයේ අද (එයා රට වෙනුවෙන් කරන මහත් සේවයට නොව) මහත් ප්‍රසිද්ධියක් ලබා ඇති අයෙකුත් ඉන්නවා … දැන් බලමු කතන්දරකාරයාට එයාව හොයා ගන්න පුළුවන් වේවි ද කියලා!!!!

      • kathandarakaraya said, on ජූලි 19, 2012 at 9:08 පෙ.ව.

        මං ජයන්ත සෙනෙවිරත්නව දන්නේ අනූ ගනංවල නේ. මං හිතන්නේ හාමුදූරුවන්ට මෙහා පැත්තේ ඉන්නේ පොර වෙන්න ඕනෑ.

        අයිනේම ඉන්නේ අශෝක හඳගමද? මං කවදාවත්වත් හැබැහින් දැක නෑ. අනික පොර මොකක්ද මේ දර්ශන විද්‍යා කාරයෝ අස්සේ අළුක්කාල් ගහන්න යන්නේ? මං හිතාගෙන ඉන්නේ පොර මැත්ස්කාරයෙක් කියලා නේ! වෙන්න බෑ!

        • arunishapiro said, on ජූලි 19, 2012 at 9:14 පෙ.ව.

          kathandarakaraya,

          ජයන්ත සර් අදත් වැඩි වෙනසක් නැහැ. හාමුදුරුවන්ට මෙහා පැත්තෙ ඉන්නෙ ජයන්ත සර්. එහා පැත්තෙ ඉන්නෙ මම ඒත් ‘පොරක්’ නෙමෙයිනෙ. අනික මට ඇති ප්‍රසිද්ධිය මොකක් ද මේ සිංහලෙන් ලියන බ්ලොග් එකකින්?!!! හරි, හඳයා ඔතන නැහැ. එයා ගණිත විශේෂවේදී තමයි.

          • kathandarakaraya said, on ජූලි 19, 2012 at 9:33 පෙ.ව.

            ප්‍රසිද්ධ ඇති, නමුත් මං දන්නේ නං නෑ. නිකං කරුණා වගේ නමක් ද? නැත්තං මෙන්න මෙයාද?

            https://arunishapiro.files.wordpress.com/2010/09/12122.jpg

            ?

            • arunishapiro said, on ජූලි 19, 2012 at 9:37 පෙ.ව.

              kathandarakaraya,

              සෑහෙන්න ප්‍රසිද්ධයි, දේශීය විදේශීය පත්තර පිටු පුරා පැතිර ගිය නමක්. නිතර පාහේ රූපවාහිනියෙන් දැකිය හැකි මුහුණක් මම හිතන්නෙ, ඒ අන්තර්ජාලයෙන් දකින හරිය මිසක් මම ලංකාවේ රූපවාහිනි දැකලා නැහැනෙ. නැහැ කරුණා වගේ නමක් ද නෙමෙයි. නැහැ මෙයාත් නෙමෙයි, මෙයා රටට කරපු කිසි සේවයකුත්, ලබපු වැඩි ප්‍රසිද්ධියකුත් නැති සරසවියක පුටුවක් රත් කරන කෙනෙක්නෙ.

  10. ineshwickramaraja said, on ජූලි 19, 2012 at 12:14 පෙ.ව.

    ඉස්සරත් මෙ ප්‍රමානෙම ළමා අපචාර උනලු.දෑන් වර්තවෙනව වෑඩියිලු.එක තමයි අලුත්ම කතාව.මටනම් හිතෙන්නෙ පණ බෙරගෙන රටින් පෑනපන්.පස්සෙ නිදහස තියන රටක ඉදන් බෑනර් අල්ලගෙන ඉන්නවා ලකාව බෙරා දෙන්න.නෑත්නම් ල0කවෙ මනුශික අයිතීන් වෙනුවෙන් සටන් වදින ස0විධානයක් හදගන්න පුලුවන්

    • arunishapiro said, on ජූලි 19, 2012 at 8:09 පෙ.ව.

      ineshwickramaraja,

      ‘එදා හෙළදිව’ කියවන්න. එතකොට ළමා අපචාර ගැන දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් රොබට් නොක්ස්ට බොරු ලියන්න ඕනෑකමක් තිබ්බා කියලා හිතනවා නම් ඒත් ඕනැ නැහැ කියවන්න.

      රටක් හැදෙන්නෙ රටින් පැන අය අතින් නෙමෙයි. එතකොට හැදෙන්නේ ඒ පැන යන අය විතරයි, ඒත් ඔවුන්ට හැදෙන්න උවමනාවක් තිබ්බොත් ද විතරයි. නැත්නම් නිදහස තියන රටක තමන්ගේ තත්වය දියුණු කරගන්නෙ නැතිව පැනලා ආපු රට දෙකට බෙදන්න තමන්ගෙයි තමන්ගෙ ළමයින්ගෙයි ජීවිත නාස්ති කරනවානෙ. ඒ අයගෙන් උන් දාලා ආපු රටටත් වැඩක් නැහැ උන් පැනලා ආපු රටටත් වැඩක් නැහැ.

      බැනර් අල්ලලා රටක් හැදෙන්නේ ද නැහැ. මානුෂික අයිතීන් වෙනුවෙන් සටන් වදින සංවිධාන වලටත් ඒක බැහැ. තමන් ඉන්න සමාජය හදා ගන්න එක සම්පූර්ණයෙන් ඇත්තේ ඒ සමාජයේ ජීවත්වන පුද්ගලයාටයි. ළමා අපචාර නම් මොනවා දැයි සොයා බලන්න තමන් දැනුවත් වෙන්න ඕනා. සමාජ විද්‍යාඥයන්ගේ නිර්වචන නෙමෙයි, ළමයින්ව ඒකීය පුද්ගලයන් සේ වැඩිහිටියන් සලකනවා ද සොයන්න. ඔවුන්ගේ අභිප්‍රායන්, ඔවුන්ගේ කැමැත්තන් සහ ඔවුන්ගේ ඒකීයත්වයට ගරු කරන වැඩිහිටියන් ඉන්නේ කීයෙන් කී දෙනා ද? සමහරු පුදුම වේවි තමන් ද ළමා අපචාරයේ යෙදෙන බව දැක්කම!!!!

      ඊ ළඟට දරුවෙක් ඇවිත් ‘අර මාමාට/ අර නැන්දට/ අර අක්කට/ අර අයියට මම කැමති නැහැ’ කිව්වම ‘පිස්සු නැතිව පලයන් ඒ ගොල්ල එක්ක, මට වෙලාවක් නැහැ ඔය කෙඳිරිය අහන්න,” කියන වැඩිහිටියෝ කොච්චරක් දැයි හිතා බලන්න. අපි අපේ දරුවන්ට සවන් දෙන්නට පටන් ගන්නේ කවදා ද? ඒ අයගේ මනස හානිකර බෙදුම්වාදී අදහස් වලින් නොව තම ආරක්ෂාව හා තම ස්ව උත්සාහය ගැන වූ අදහස් වලින් පුරවන්නේ කවදා ද? එදාට හෙළදිව වෙනස් වේවි!!!

      • ineshwickramaraja said, on ජූලි 19, 2012 at 11:18 ප.ව.

        ඔය කියන විදිහට ඔබතුමිය කියන්නෙ චින්තන විප්ලවයක් ගෑන,පටන් ගන්න විදිහ ගෑන පෑහදිලිකිරිමක් කරන්න පුලුවන්ද? blog ලියලා ප්‍රාමණවත් වෙවිද?

        • arunishapiro said, on ජූලි 20, 2012 at 7:43 පෙ.ව.

          ineshwickramaraja,

          චින්තන විප්ලවයක් පටන් ගත්තේ මිනිසා ගින්නක් ගහන්න හිතපු දවසේ ද?

          මිනිස් මොළය සියල්ලට ම පෙරතුව එන්නේ යයි කියා දුන්නේ මොන සියවසේ දී ද?

          අසීමිත මොළයේ කාර්ය භාරය 1776 දී තොමස් ජෙෆර්සන් පෙන්නා දී ඒ අනුව පිරිසක් ආණ්ඩු වියවස්තාවක් ලිව්වා.

          චින්තන විප්ලවය අද ත් යනවා. එදාටත් වඩා වේගයකින්. හිතන අයට අවහිර කරන අයත් ඒ එක්කම සදා තියේවි.

          ඔව්, බ්ලොග් ලිවීම විතරක් මදි. ලියන දේවල් අනුගමනය කිරීම ලියන අය ම නොකරනවා නම්!!!!!

  11. chaminda said, on ජූලි 19, 2012 at 1:55 පෙ.ව.

    “Jesus Lived in India ”
    me gana wistara dannawada.

  12. Kevin Perera said, on ජූලි 20, 2012 at 8:44 පෙ.ව.

    //පුද්ගලික අයිතීන් මොනවා දැයි නොදන්නා රටක (අන්තර්ජාලයේ සැරිසැරුවාම දකින්න පුළුවන්), //
    මේක බලන්න අරුනි ඔයා කියපු දේ කොයිතරම් ඇත්තද
    http://www.gossip9.com/2012/07/matara-lesbian-love.html

    • arunishapiro said, on ජූලි 20, 2012 at 10:21 පෙ.ව.

      Kevin,

      ඔව්, අවුල් මහ ගොඩයි!!!! ඒත් ගොසිප් වලින් නිව්ස් කියවන එකත් කිරලා පෙරලා …. මිසක් කියන විදියට ම බාර ගන්නත් බෑ.

  13. ravisandu said, on ජූලි 20, 2012 at 11:40 පෙ.ව.

    මරණීය දණ්ඩනයට මම නම් පක්ෂයි….සාහසික අපරාධවලට මරණීය දණ්ඩනය දියයුතුයි කියලයි මම හිතන්නෙ….එතනදි බයිබලයේ සඳහන්වන ඇහැට ඇහැක් දතට දතක් සංකල්පය එක්ක මම එකඟයි…

    උඩුගං බලා පිහිනීම…..හෙහ්, හෙහ්, මමත් හැමදාම එහෙම තමයි…මෙතන උනත් කිසි කෙනෙක් මරණීය දණ්ඩනයට පක්ෂව අදහස් දක්වලා නැහැ…උඩුගං බලා පීනන්නෙ මම විතරයි

    • arunishapiro said, on ජූලි 20, 2012 at 12:33 ප.ව.

      ravisandu,

      ඔව් ඔව්, මෙතන උඩුගං බලා පීනන රවි එක්ක මෙතන නැති වෙන ගොඩක් අය එකඟයි. 🙂

    • kevin perera said, on ජූලි 21, 2012 at 1:16 පෙ.ව.

      ඔන්න රවි ඔය ඉල්ලපු හින්දම ඔය නීතිය දුන්න කියමුකෝ ඔයා දවසක පාරේ යන කොට සිල්ව ඇම්තිගෙ ගෝලයෙක්ගෙ වැරදිල කකුල පෑගුනා කියල ඔයාට ගහනව ඔයත් ඌට ගහනව කොක්ක දුරදිග ගිහින් ඔයාට ඇමතියට කියල බොරු මිනී මැරුම් චෝදනාවක් දාල හිරේ යවනව…ඕග් ඔයා ඉල්ලන් දාගත්තු නීතිය අනුව එල්ලුම් ගස් යනවා. ..මොකද සනීපද? අපරාධ කරුවන් සීයක් නිදහසේ සිටීමට වඩා එක නිවැරිදි කරුවෙක් නිකරුනේ හිරේ යෑම වලක්වන්නයි ශිෂ්ඨ මිනිසුන් උත්සාහ කරන්නේ.අහිංසකයෙකුට මරණ දඬුවම දුන්නොත් වෙන අගතිය මොනවගේ දෙයක්ද කියල වටහ ගන්න බැරි තරම් ගෝත්‍රික අදහස් තිබීම උඩුගං බලා පිහිනීම යැයි සිතන ඔබට රාවනා සරණයි.

      • ravisandu said, on ජූලි 21, 2012 at 4:00 ප.ව.

        @ kevin perera,

        / ඔන්න රවි ඔය ඉල්ලපු හින්දම ඔය නීතිය දුන්න කියමුකෝ ඔයා දවසක පාරේ යන කොට සිල්ව ඇම්තිගෙ ගෝලයෙක්ගෙ වැරදිල කකුල පෑගුනා කියල ඔයාට ගහනව ඔයත් ඌට ගහනව කොක්ක දුරදිග ගිහින් ඔයාට ඇමතියට කියල බොරු මිනී මැරුම් චෝදනාවක් දාල හිරේ යවනව…ඕග් ඔයා ඉල්ලන් දාගත්තු නීතිය අනුව එල්ලුම් ගස් යනවා. ..මොකද සනීපද? /

        හරි එහෙම වෙන්න පුළුවන් …එහෙම වෙන්නෙ නීතියේ පාලනය නැති නිසයි…එහෙමනම් කරන්න තියෙන්නෙ නීතියේ පාලනය ඇති කරගන්න එක මිස මිනීමරුවන්ට සුදුසු දඬුවම් දීම නවත්වල දාන එක නෙවෙයි.ඔය ඔයා කියන විදිහට බොරු සාක්ෂි මත ඕනෑම අහිංසකයෙක් හිරේට යවන්නත් පුළුවන් නේද?….එහෙම කියල හිර දඬුවම් දීමත් නවත්වල දානවද?….හිරේට යැවීමයි මරණ දඬුවමයි කියන්නෙ දෙකක්.ඒක මම පිළිගන්නවා. ඒත් නිරපරාදෙ අවුරුදු දහයකට විතර හිරේට නියම වුණු කෙනෙකුට ඒක මරණ දඬුවමටත් වඩා බරපතල වෙන්න පුළුවන්.

        / අපරාධ කරුවන් සීයක් නිදහසේ සිටීමට වඩා එක නිවැරිදි කරුවෙක් නිකරුනේ හිරේ යෑම වලක්වන්නයි ශිෂ්ඨ මිනිසුන් උත්සාහ කරන්නේ./

        මෙතන මම හිතන්නෙ කෙවින් අදහස් කලේ හිරේ යෑම නෙවෙයි එල්ලුම් ගහට යෑම වෙන්න ඕනෙ…

        ඔය අපරාධ කරුවන් සීය නිදහසේ සිටීම නිසා තවත් තුන්හාරසීයක් නිරපරාදෙ මරණයට පත්වෙන්න පුළුවන් නේද කියල හිතෙන්නෙ නැද්ද?

        / අහිංසකයෙකුට මරණ දඬුවම දුන්නොත් වෙන අගතිය මොනවගේ දෙයක්ද කියල වටහ ගන්න බැරි තරම් ගෝත්‍රික අදහස් තිබීම උඩුගං බලා පිහිනීම යැයි සිතන ඔබට රාවනා සරණයි. /

        ගෝත්‍රික අදහස් කියල මම තේරුම් අරගෙන තියෙන්නෙ පසුගාමී අදහස් කියන එකයි. එතකොට ඇමති තුමෙක් අරම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන්ය කියල හිතල ඒ පදනම මත තීරණගන්න එක ගෝත්‍රික අදහසක් නෙවෙයි නම් වෙන අහවල් දෙයක්ද?

        උඩුගං බලා යාම කියල කියන්නෙ කෙවින් බහුතරයේ මතයට විපක්ෂ වීම , එකඟ නොවීම..එච්චරයි…උඩු ගං බලා යාම කියල මම අදහස් කලේ මෙතන අරුණිගෙ වියුණුවෙ අදහස් දක්වපු හැමෝම මරණ දඬුවමට විරුද්ධව අදහස් දක්වද්දි මම විතරයි ඊට පක්ෂව අදහස් දක්වන්නෙ කියන එක…ඊට එහා ගිය වෙන කිසිම දෙයක් එතන නෑ.

        මම කියන්නෙ යමෙක් යම් අපරාධයක් කලා නම් ඊට සුදුසු දඬුවම අනිවාර්යයෙන් විඳින්නම ඕන.තමන් කරන දේ වගකීම තමන් ගන්න ඕන. එච්චරයි.

        • arunishapiro said, on ජූලි 21, 2012 at 11:56 ප.ව.

          රවී,
          කෙවින්,

          මරණ දණ්ඩනය ලංකාවේ තියෙන දඬුවමක්. එය ක්‍රියාත්මක කිරීම තමයි දැනට නැවතිලා තියෙන්නෙ.

          ස්ත්‍රී දූෂකයන්ට යැයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීම ජනතාවගේ සිත් දිනාගන්න, ළමා අපරාධ වලට එරෙහි සෑම දෙමව්පියෙක් ගේ ම හදවත සතුටු කරන්නට හැකියාව ඇත්තක්.

          මම කියන්නෙ දූෂකයන් හා අපරාධකරුවන්ට දඬුවම් නොකර සිටින්න යැයි කියා නොවෙයි. කෙවින් දන්නවා ඇමෙරිකාවේ තෝමස් සාස් ගැන. එයා නිවැරදිව පෙන්නලා දුන්නා එකමත් එක කාලයක දී ඇමෙරිකාවේ මානසික ලෙඩෙක් යැයි වෛද්‍ය නිර්දේශ මත දඬුවම් විඳිය යුතු අය සිරගෙවල් වලට නොයා ඉස්පිරිතාල වලට ගිය හැටි. ඒත් පාලනයට කෑදර අය අතින් තත්වය හරිගස්සන්න ගත් වෑයමින් වූයේ වෙනකක්. ඔවුන් ඉස්පිරිතාල වල ඉන්න මානසික ලෙඩ්ඩු බොහොමයක් අයින් කළා. සත්‍ය මානසික ලෙඩ්ඩුන්ට යන්න තැනක් තිබ්බෙ නැහැ. තෝමස් සාස් කිව්වෙ මානසික ලෙඩ කියන්නෙ වරදක් කිරීමෙන් ගැලවීමේ නිදහස ලැබිය යුතු හේතුවක් නොව මානසික ලෙඩක් නම් ප්‍රතිකාර ලැබිය යුතු තත්වයක් කියලයි!!!!

          ස්ත්‍රී දූෂකයන් හා ළමා අපරාධ කරන්නන් රටේ අඩු කරගන්නට නම් ස්ත්‍රී දූෂණ හා ළමා අපරාධ මොනවා දැයි වැටහීමක් ද, රටේ නීති මොනවා දැයි වැටහීමක් ද තියෙන්න ඕන. එසේම නීතිය රැකීමෙන් වේතන ලබන එය එයට නොපැකිළ ඉදිරිපත් වීමත් (අර ගොසිප් නිව්ස් වල නීතිය රකින අය ම අයිතීන් කඩන අය වීම වගේ නෙමෙයි) පටන් ගන්න ඕන. මානසික ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කිරීම ගැන කතා කරන්නවත් සුදුසු වාතාවරණයක් තාම ලංකාවේ නම් නැහැ. සමරිසි කියන එක මිනිස් ස්වභාවයක් බව තවමත් නොදකින රටක, සමරිසි බව වෙනස්, සමරිසියෙක් අපරාධයක් කිරීම වෙනස්, මානසික රෝගියෙක් වෙනස්, මානසික රෝගියෙක් අපරාධකරුවෙක් වීම වෙනස් යනාදිය ගැන කතා කරන්න පටන් ගන්න ඉඩක් තියෙනවා ද?

          ඒත් ලංකාවේ නීති පද්ධතිය ගැන කතා කරන්න ගියාමත් ආණ්ඩුවේ ඇමතිලාටත් හිරබත් කන්න වෙනවා කියල අමතක කරන්න නරකයි!!! ඒ වගේම රජය පෙරලලා වෙන රජයක් ගෙනාවට, හිරේ ගිය ඇමති ආයි ඇමති වුනත්, නීති පද්ධතිය වෙනස් වෙලා නැහැ කියලත් අමතක කරන්න නරකයි!!!

          මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කරන්නට යෑමෙන් සිද්ධ වෙන්නෙ අද ස්ත්‍රී දූෂකයන්ට සහ ළමා අපරාධකරුවන්ට. හෙට සමරිසියන්ට කිව්වොත් ඒකටත් රටේ බොහෝ දෙනෙක් කැමති වේවි. වැඩි දෙනෙක් කැමති වූ පමණින් නීති වෙනස් වීම ප්‍රජාතන්ත්‍රවාදය වූවාට (හිට්ලර් මුලින් ගෙනාපු බොහෝ නීති වලට ජර්මානුවෝ චන්දය දීමෙන් කැමති වූවා) ඒත් ඒක යුක්තිය ඉටු කරලීමක් නොවේ. රටේ සියළු පුරවැසියන් ආරක්ෂා කිරීමටයි නීතිය සැමට ඉහළින් ඇත්තේ. රටේ තවමත් තියන, එහෙම සැමගේ පුද්ගලික අයිතීන් නොරකින නීති නිසා, ඒවාට හසු වී වරදකරුවන් වී මරණ දණ්ඩනය ලබන අහිංසකයන්ට කුමක් වේවි ද?

          රජයට අවමන් කළා යැයි වරදට ලක්වෙන්නාට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පටන් ගැනීම හෙට අනිද්දා ‘ජනතාව විසින් තෝරා පත් කරගත්’ පූටින් රුසියාවෙන් නැවත දකින්නට ලැබේවි ද? සෝවියට් රුසියාවෙන් පාඩම් ඉගෙන නොගත්තු පූටින් රුසියාව යළි මිනිස් ස්වභාවයට පටහැනි නීති ගෙනැවිත් ඵෛතිහාසික වැරදි ම ආයෙත් කරන්න යාවි ද?

          පුද්ගල අයිතීන් මොනවා දැයි පැහැදිලි කර නොගත් රටක, හැමෝම පිළිගත් වැරැද්දක් කරපු අයෙකුට මරණ දණ්ඩනය පටන් ගැනීමෙන් වෙන්නෙ අපි slippery slope තර්ක වලින් ඕනෑම ආණ්ඩුවක් ගෙනෙන ඕනෑම නීතියකට අනුව අයෙක් වැරදිකරුවෙකු වීම නිසා ඊට දෙන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට හැකි බියකරු trap door එක විවෘත කිරීමයි.

          මම නීති පද්ධතිය විවේචන කළා කියලා, රවි අර කෙවින් කියන විදියට කාගෙ ද කකුල පෑගුවා කියලා!!!, කෙවින් අර ගොසිප් නිව්ස් වල කියන සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය නිසා කියල …. අපිත් නියම වෙයි මරණ දණ්ඩනයට. ලෝක ඉතිහාසය පුරා වැරදි කරවුන් යැයි කියා හංවඩු ගසා ‘නීත්‍යානුකූලව’ මරණයට පත් කළ අහිංසකයන් ගිය මඟේ යාවි සිරි ලංකාවත්, කිසිවෙක් කිසිවක් නොකියා නිහඬ වූවොත්.

          • ravisandu said, on ජූලි 22, 2012 at 11:14 පෙ.ව.

            ස්තූතියි අරුණි…..ඔබ කියන සියල්ල ගැඹුරින් සලකා බැලිය යුතු කාරණා බවට එකහෙලාම එකඟ වෙමි. මිනිස්සු යුක්තිය සාධාරණත්වය කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුම් නොගන්නා තාක් ඔබ කියන අනතුර පැහැදිලිවම පේන්න තියනව, ඩැමොක්ලස්ගෙ කඩුව වාගෙ…

            seeing the bigger picture is not so easy it seems 😦 😦

            • arunishapiro said, on ජූලි 22, 2012 at 12:21 ප.ව.

              ravisandu,

              මේ ඩැමොක්ලීස්ගේ කඩුව කුමක් දැයි නොදන්නා අයට ලියන්නෙ:

              දෙවැනි දියොනීසියස් ග්‍රීසියේ මැග්නා ග්‍රේෂියා හි සිරකියුස් නගරයේ හිටි 4 වැනි සියවසේ ටිරැනිකල් පාලකයෙකි. හැමෝටම පෙනෙන්නේ දියොනීසියස් ඉතා ධනවත්, මුදල් වලට ගත හැකි සියළු සුඛෝපභෝගී බඩු භාණ්ඩ, එනම් ලස්සන ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ, රසැති ආහාර යනාදියෙන් පිරිච්ච සුව පහසු ජීවිතයක් ගෙවනා අයෙක් ලෙසට ය. ඔහුගේ ගුණ ගායනා කරන්නට රජගෙදර වන්දිභට්ටයන් ද සිටියහ. ඔවුන් අතරින් එක් අයෙක් වූයේ ඩැමොක්ලීස් ය. නිතර රජුගේ සැප සම්පත් ගැන නොයෙක් දේ කියන ඩැමොක්ලීස් වරක් රජුගේ ධනය හා සුඛෝපභෝගී ජීවිතය ගැන කියද්දී දියොනීසියස් ඩැමොක්ලීස් වෙත හැරී “මම මේ තරම් වාසනාවන්ත යැයි ඔබ සිතනවා නම්, එහෙනම් කැමති ද මගේ ජීවිතය ගෙවා බලන්න?” යැයි විමසීය.

              ඩැමොක්ලීස් වහාම එකඟ විය. දියොනීසියස්ගේ ජීවිතය එලෙසින් ම රස විඳින්නට ඩැමොක්ලීස්ට ඉඩ කඩ පාදා දුනි. ඉතා ආනන්දනීය වූ කාලයක් ගත කරන ඩැමොක්ලීස් දිනක් තම හිසට උඩින් හිස මතට හරවා අශ්ව මයිල් ගහකින් එල්ලෙන තියුණු අසිපතක් දුටුවේ ය. ඒ කුමක් දැයි විමසද්දී දැන ගන්නට ලැබුනේ ‘ඒ තමයි පාලකයාගේ ජීවිතය’ කියාය. තැතිගත් ඩැමොක්ලීස් සතුටු ජීවිතය නම් කුමක් දැයි තමන් දැරෑ මතය වහාම වෙනස් කරගෙන තනතුරෙන් ඉවත් වෙන්නට අවසර ඉල්ලීය.

              ****

              දැන් ඒක වැඩවසම් යුගයේ කතාවක්. ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී ලෝකයක දී අදාල වෙන්නෙ මෙහෙමයි: හැමෝගේ ම අයිතීන් රකින්න ගියොත් එක කල්ලියක අයිතීන් අනිත් කල්ලියටත් හිතකරව ආරක්ෂා කරන්න පොරොන්දු වෙන්න බැරි නිසා, බෙදුම්වාදී සමාජයක කිසිම කල්ලියක් එයාට චන්දෙ නොදීමයි. එතකොට ඒ සමාජයේ බලයේ සිටින්නට ද නොහැකියි. ඉතින් බෙදුම්වාදී සමාජයක කල්ලියකගේ කැමැත්තෙන් බලයට පත් වූ පාලකයාගේ හිස උඩින් ඔය ‘ඩැමොක්ලීස්ගේ අසිපත’ අශ්ව මයිල් ගහකින් එල්ලෙනවා. යාන්තමින් හරි තමන්ගෙ කල්ලියේ වරප්‍රසාද අඩුවුනොත්, ඒ කල්ලියේ චන්ද අඩුවෙලා වෙනත් කල්ලියක චන්ද වැඩිවුනොත්, කල්ලි දෙකක හෝ වැඩි ගණනක එකිනෙකට විරුද්ධ දේවල් වලට වරප්‍රසාද සඳහා ගැටුම් ඇතිවුනාම ‘අසිපත’ වැටෙන්නෙ පාලනයේ ඉන්නා අයගේ හිසමත.

              ඩැමොක්ලීස්ගේ අසිපත ඉවත් කරන්නට හැකියාව ඇත්තේ රටේ පුරවැසියන්ට, ඒ සමාජයේ ඉන්නා සියල්ලන්ට ම සියළු අයිතීන් ප්‍රදානය කිරීමෙන්. හැමෝටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ‘ඩැමොක්ලීස්’ කවුරු වුවත් කමක් නැති නිසා ‘ඩැමොක්ලීස්’ අයින් කර වෙනත් ‘ඩැමොක්ලීස්’ කෙනෙක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය ද නැති වී ගිහින් අර අශ්ව මයිල් ගහෙන් එල්ලෙන අසිපත ද ඉවත් කරගන්න පුලුවන්. එතකොට පත්වෙන ඕනෑම ‘ඩැමොක්ලීස්’ කෙනෙක් පාලනය කරන්නෙ බලයේ ඉන්නට හදන පැත්තකට වාසි වූ අහිතකර සැලසුම් වලින් නොව රටේ සෑම පුරවැසියෙකුගේ ම ආරක්ෂාව, පැවැත්ම හා උන්නතිය වෙනුවෙන් වූ අවම ආණ්ඩු පිළිවෙතකින්.

  14. vishvanatha said, on ජූලි 22, 2012 at 12:48 පෙ.ව.

    මම මෙතන්දි අරුණිත් එක්ක එකඟයි.චීනයේ දේශපාලන විරුද්ධවාදීන් අධිකරන විහිලුවකින් පසු මරා දමන්නේ ඔවුන්ට ස්ත්‍රී දූෂන චෝදනා එල්ල කරලා කියලා මම අහලා තියනවා.ස්ත්‍රීදූෂනය යනු මිනීමැරීම වගෙ එකක් නොවෙයි.ඇත්තටම එම සංසර්ගයට ස්ත්‍රියගේ කැමැත්ත නොතිබුනාද යන්න සෙවීම වැදගත්.නැත්නම් කැමැත්තෙන් අනාචාරයේ යෙදිලා පස්සෙ මිනිහව බ්ලැක් මේල් කරන්න පුලුවන්.අපි පත්තරවල දකිනවා ඒ වාගෙ දේවල්.ඒවාගෙ ස්ත්‍රීන්ට අධිකරන තදින් අවවාද කරනවා හැබැයි චෝදනාව ඔප්පු වුනානම් අරූ එල්ලුම් ගස්.වෛවාහික ස්ත්‍රීදූෂන චෝදනාවලදී විවාහක සැමියන්ටත් එල්ලුම්ගස් යාමේ චාන්ස් එක ඉස්සරහට එයි.
    අපි ජීවත් වෙන්නෙ 21 වැනි සියවසේ.ළමා දූෂකයන් මුලින්ම හදුනා ගැනීමේ හැකියාව පවා තිබිය යුතුයි මම කියන්නෙ ළැමයි බේරගන්නයි.බොහෝ ළැමා දූෂකයන් ගැන පර්යේශනයක් කළොත් ඒ අය අසාමාන්‍ය හැසිරීම් තිබූ අය බව පේනවා.අපේ ගම් පළාත්වල මේ චෝදනා ලැබූ අය දිහා බලපුවම ඔවුන් මුලින්ම හඩුනාගැනීමේ හැකියාව හකියාව තිබුනා .එහෙම හදුනා ගත්තානම් අර දූෂනයට ලක්වූ දැරිවියන් බේරාගන්න තිබුණා.බහුතරයේ හිත් සතුටු කරන්න නීති හදනවානම් සමරිසියන් නොවෙයි විරුද්ධ දේශපාලන පක්ෂ වල අයත් එල්ලාවි.ස්ටාලින් කළා වගේ පාපොච්චාරනයකුත් කරවගෙනම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න