අරුණි ශපීරෝ‍ වෙතින්

අපූරු බිස්නස් මොඩල් එකක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 26, 2014

IMG_2201

ඔන්න එකමත් එක කාලෙක රටේ සිරි නරඹන්න කියලා කැරවෑන් එකක නැඟලා ගිය පවුලක් හිටිය. රට ඇමෙරිකාව. කැරවෑන් කියන්නෙ එංගලන්තෙ (ඒ නිසා ලංකාවේ) අය වුනාට මෙහෙ අය කියන්නෙ විනෝද ක්‍රියාවන් කරන වාහන (recreational vehicle =RV) හෙවත් “ආර්වී” කියලයි. දැන් මේ පවුල මේ මහා විශාල රටේ සිරි නරඹමින් යද්දී අපි ඉන්න පැත්තෙ දී එයාලගෙ වාහනය කැඩුණ.

ගමන යන වාහනයයි, නැවතෙන හෝටල් කාමරයයි විදියට පාවිච්චි කරන ආර්වී එකක් දීර්ඝ කාලයක් නවත්තලා තියන්න නම් ඒවාට වෙන් වූ විශේෂ තැනක් හොයාගන්න ඕන. ඒවායේ ඇතුලත වැසිකිළි පහසුකම් තිබුනට ඒවාට එකතු වෙන දේවල් අයින් කරන පහසුකම් සපයන්නෙ ඒ විශේෂ ස්ථාන වල දී පමණයි.

එයාල වාහනේ හදාගෙන ගමන යනවා වෙනුවට පළාතේ ලස්සන දැකලා තීරණයක් ගත්තලු මෙහෙ පදිංචියට.

පවුලෙ තාත්තා රසට උයන්න දන්න අරක්කැමියෙක්. වාහනය රැඳ වූ ආර්වී නැවතුම්පොළ අසල පුංචි කඩයක් මේ අය අවන්හලක් දාන්න තෝරාගන්නවා. ඔය තොරතුරු ටික පළාතේ ජනප්‍රවාදයයි.

මෙයාලගෙ අපූරු බිස්නස් මොඩල් එක හැදෙන්නෙ එතැන දී. අවන්හල කුඩායි. ආසන ඇත්තේ තිහක් පමණයි. අවන්හලේ පුටුවක් ඒ සතියේ මුල දී දුරකතනයෙන් අමතලා වෙන් කරගන්න ඕන. ඔක්කොම පුටු ඉවරයි නම් කවුරු හරි කැන්සල් කළොත් ඒ අය දැනුම් දෙන ලැයිස්තුවේ නම ලියනවා.

දැන් මේ අය තමයි ඔවුන්ගෙ කුඩා රාජධානියේ රජ පවුල. ඒ කියන්නෙ පුටුවක් වෙන් කරගන්න කතා කරන්නෙ කවුද කියන එකට කිසිම වැදගත්කමක් ඔවුන් දෙන්නෙ නැහැ. එතැන්ට එක්ක ගෙන යන්න සමත් වුනා කියල කියන්න හැකියාවක් වෙන කාටවත් දෙන්නෙ නැති නිසා අවන්හලයි වැදගත්. මෙහෙ ඉතින් මල් මාලා දාලා දෙකට තුනට නැවිලා පිළිගත්තෙ නැහැයි කියල ගුටි අනින්න හැකියාව තියෙන හෝ බිස්නස් බංකොළොත් කරන හැකියාව ඇති දේශපාලනඥයන් නැහැනෙ.

ඉතින් The Grove Market and Smokehouse කියන මේ අවන්හලේ කාලා තියෙනවා කියන පිරිසට එකතු වෙන්න පළාතේ අයට විතරක් නෙමෙයි මේ පැත්තෙ සංචාරයට එන බොහෝ දෙනෙකුට තිබෙන ආශාවක්. අර ටික දෙනෙක් විතරක් යන තැනකට තමන්ට ද යන්න පුළුවන් වුනා කියලා කියන ආඩම්බරය තමයි ඔවුන් අලෙවි කරන්නෙ!!!!

අපි දෙන්නටයි අපේ යාළුවෝ දෙන්නටයි පුටු ලැබුනෙ කවුද කැන්සල් කරපු නිසා. වෙන වැඩ පැත්තකට දාලා අපි ගියෙ ඒ අවස්ථාව කලාතුරකින් ලැබෙන්නක් බව දන්න නිසා. රාත්‍රී ආහාරය පමණක් සපයන, සවස 5 ට සහ සවස 8 ට පමණක් ආහාර පිරිනමන මේ බිස්නස් ක්‍රමය නිසා ඔවුන් සෑම දවසකම අවන්හලේ සෑම පුටුවක්ම පුරවන්න සමත් වෙනවා.

ඊ ළඟ විශේෂය, ඔවුන් පිළිගන්වන ආහාර මොනවාදැයි කියා හෝ ඒවායේ මිල ගණන් දක්වන මෙනූ එකක් නැතිකම. තාත්තා කෑම උයද්දී අම්මා ඇවිත් ඒ ඒ ආහාරය පිළියෙල වෙන හැටි විස්තර එකින් එක කටට කෙළ උනන විදියට කියනවා. මිල ගණන් අහන්න කිසිම අවසරයක් නැහැ. ඒක ඔවුන් කිසි ආරවුලක් නැතිව පවත්වාගෙන යන්නෙ අවන්හලේ හැදියාව නොදන්නා අයට පුටුවක් නොදී සිටීමෙන් වෙන්නැති!!!

ඇය පිළිගන්වන ආහාර මතකයෙන් කියනවා සේ ම, කන්න ආපු අය ඇණවුම් කරන දේවල් ද මතකයේ තබා ගන්නවා පමණයි. ඕඩර් වැරැද්දුවේ නැහැ. කතාබහ කරමින් කන මැද්දට පැනලා කෑම රසයි ද කියලා අහන නරක සිරිත අනුගමනය කළෙත් නැහැ. තමන් හදන කෑම තරම් රස කෑම පළාතෙ වෙන කොතැනකවත් නැහැයි කියලා හිතන අය ඉතින් කෑම රසයි ද කියලා අහන්න ඕන නැහැනෙ.

IMG_2194 IMG_2195

ප්‍රධාන ආහාරයට කළින් කන ඇපිටයිසර් (=කටගැස්ම?), ප්‍රධාන ආහරය, අතුරුපස යනාදී හැම අංගයකින්ම දහයක් තරම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. කඩේ පිටිපස්සෙ පුංචි හට් එකක ඔවුන්ම දුම් ගසා හදන මස් සහ මාළු තමයි ඇපිටයිසර් සඳහා වැඩියෙන් ඉදිරිපත් වුනේ. ප්‍රධාන ආහාරයට මම ගත්තෙ තිරිඟු ඇබිත්තක් ද දාලා දුරු සහිත කිරි හොද්දක උයපු මුහුදු බෙල්ලො (sea scallops). හරක් මස්, කුකුළු මස්, තාරා මස්, ඌරු මස්, මාළු වර්ග දෙකක් සහ කකුළු මස් ද ප්‍රධාන ආහාර අතර තිබුණ.

කෑම ඉතා රසවත් ලෙසට පිළියෙල කර තිබුණ. බොන්න සෝඩා වර්ග දෙක තුනක්, කෝපි, වයින් සහ බියර් වර්ග ස්වල්පයක් අතර පමණයි තෝරාගැනීම් කරන්න පුළුවන්.

අතුරුපසට දක්ෂ යැයි පළාතේ නම් දරාපු අයෙක් හදන පයි, පුඩිං යනාදිය තමයි ඔවුන් දෙන්නෙ. එයාගෙ තැනේ දී ඒවා කාලා තියෙන නිසා මෙතැන දී අතුරුපස ගත්තෙ නැහැ.

මේක සාමාන්‍යයෙන් ඩයිව් එකක්, ජොයින්ට් එකක් වැනි නමකින් හැඳින්විය හැකි තැනක්. ලෑලි කඩේ ඇතුලෙ ප්ලාස්ටික් පුටු, බාල හැඳි ගෑරැප්පු සහ ප්ලාස්ටික් කෝප්ප තමයි තියෙන්නෙ. පිඟන් එකකට එකක් නොගැලපෙන ඒවා. ඒත් ආහාර සුපිරි අවන්හලක සේ හදන එසේම ඉතා ඉහළ මිලකින් යුතුයි. අපි හතරදෙනාට, මගෙ සුද්දගෙ පෙරියෙර් වතුර බෝතලේයි, මගේ ජින්ජර් ඒල් සෝඩා කෑන් එකයි, අපේ යාළුවෝ දෙන්නට වයින් බෝතලයයි, ඇපිටයිසර් තුනයි, ප්‍රධාන ආහාර හතරයි ඔක්කොටම ඩොලර් දෙසීය ඉක්මවා ගියා.

අපි කතාබහෙන් කන බොන අතරේ හැම පුටුවක්ම පිරිලා තියෙන කුඩා කඩ කාමරේ දිහා බලල අපේ යාළුවා අපිට කියනවා මේ කඩේ තව පොඩ්ඩක් ලොකු කළා නම් නේද කියල. ඒත් මම කිව්වෙ මෙයාලගෙ බිස්නස් මොඩල් එක සාර්ථක ඒක අසුනක් ලබාගන්න දුෂ්කර පුංචි තැනක් නිසාමයි කියල. අනික ආදායම වැඩි කරගන්න ඔවුන්ට හැකියාව ලැබෙන්නෙ කෑම බීම වල ගාණ සඳහන් කරපු මෙනූ එකක් නැතිකමෙන්. ඊයේ හදපු කෑම වේල එයාලට අද ඊට වඩා වැඩි මිලකට විකුණන්න පුළුවන්. එක වේලකට තිස් දෙනෙකුට කෑම හදන්න පුළුවන් එක අරක්කැමියෙක් ඉන්න නිසා තවත් සහායට අය සේවයට බඳවා ගන්නත් අවශ්‍ය නැහැ. අඩු වැයකින් වැඩි ආදායමක් ලබාගත හැකි අපූරු බිස්නස් මොඩල් එකක්.

IMG_2197

IMG_2196

IMG_2199

11 Responses

Subscribe to comments with RSS.

  1. Yasith Gamage said, on ඔක්තෝබර් 26, 2014 at 9:55 පෙ.ව.

    අම්මෝ ඩොලර් 200 ක් එක කෑම වේලකට, අනික පොඩි තැනක.. සාමාන්‍ය පුටු මේස. ලංකාවේ සයිබර් කඩයක් වගේනේ :p

  2. Sumith Kalanasiri said, on ඔක්තෝබර් 26, 2014 at 10:16 පෙ.ව.

    අරුණි.. මා කියවන ඔබේ මුල්ම පෝස්ට් එක.. දාල තිබ්බ ලින්ක් එකේ ගිහින් FB එකෙත් විස්තර ගොඩක් බලුව. ඔවුන්ගේ අදහස, එය ක්‍රියාත්මක කල ආකාරය මෙන්ම ඔබේ විස්තර කිරීමද හරිම අපූරුයි.. ස්තූතියි දැනුවත් කිරීම සම්භන්දව.. විවේක ඇත්නම් ඉඳහිට මගේ කලාහිතටත් ගොඩ වෙන්න. ජය ශ්‍රී!

  3. marayagehorawa said, on ඔක්තෝබර් 26, 2014 at 12:00 ප.ව.

    මගෙත් ආසාව තියෙන්නේ ඔහොම තැනක් ගැන.. හැබැයි ඒක ලෝකේ කොහේ හදන්න වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ.. 😀

  4. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on ඔක්තෝබර් 26, 2014 at 10:51 ප.ව.

    මේ ගැන පැමිණිලි කරන්න ඕන පාරිභෝගික සේවා අධිකාරියට. මොකද මිල සඳහන් නොකිරීම නීති විරෝධියි.

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2014 at 7:02 පෙ.ව.

      රාජ්, -රාජ්ගෙ නවාතැන,

      මිල සඳහන් නොකිරීම නීති විරෝධී නැහැ එය පිහිටා තිබෙන මේරිලැන්ඩ් ප්‍රාන්තයේ වානිජ නීති වලට අනුව. යුනිට් එකක මිල සඳහන් කළ යුතු නීතියෙන් ගැලවෙන කොන්දේසි අතරින් දෙකක් ඔවුන්ට තියෙනවා යැයි මම හිතනවා: එකක්, පසුගිය වසරේ පාරිභෝගිකයන් වෙතින් ලැබූ මුළු ආදායම $750,000 කට වඩා අඩු නම්, අනෙක, එය පවුලේ අයගේ අයිතිය හා පවත්වාගෙන යෑම යටතේ සිද්ධ වෙන ව්‍යාපාරයක් නම්. මේ අය ගිම්හානයේ දී දිනපතා, සිසිරයේ දී සහ වසන්තයේ දී සති අන්ත පමණක් විවෘත කරන, හේමන්තයේ දී කඩේ වහලා වෙන ගමන් බිමන් යන අය.

  5. mppgunasinghe said, on ඔක්තෝබර් 27, 2014 at 3:05 පෙ.ව.

    සරළ සුන්දර විස්තරයක් හා බ්ලාග් වියමනක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න