මාළු ගිලී මැරේ යැයි කියා බේරාගන්නට යෑම
ඒමි ටැන් යනු “ජෝයි ලක් ක්ලබ්” නම් සුප්‍රසිද්ධ නවකතාව ලියූ චීන සංක්‍රමණික පවුලකට දාව මෙහි ඉපදුන වර්තමානයේ අති ජනප්‍රිය ඇමෙරිකන් කතුවරියකි.
ඇය ලියූ “මාළු ගිලී මැරේ යැයි කියා බේරාගන්නට යෑම,” -Saving Fish from Drowning (2005) නම් නවකතාවේ පෙර වදනක් සේ පළ කරන ලද උපුටා ගත් පාඨයන් දෙකකි. සදාචාරය ගැන ලියන මේ සටහන් වලට එකතු කරන්නට ඒ පාඨයන් දෙක ඉතා සුදුසු යැයි සිතුවෙමි.
“ලෝකයේ පවතින දුෂ්ටත්වය සෑම සියළු අවස්ථාවක දී ම ඇතිවන්නේ නොදන්නාකම පෙරදැරි කරගෙන ය. අවබෝධයක් නැත්තේ නම්, කුරිරු බැවින් කෙරෙන තරම් විනාශයක් හොඳ පරමාර්ථ පෙරදැරි කරගෙන ද සිද්ධ වේ.” -ඇල්බෙයර්ට් කැමූ
ශ්‍රද්ධාවන්ත මිනිසෙක් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැහැදිලි කළේය: “ප්‍රාණය ඝාතය පාපයකි. ප්‍රාණීන් බේරා ගැනීම උදාර ය. ප්‍රාණීන් සියයක් බේරා ගන්නෙමි යැයි මම හැම දවසකම ප්‍රතිඥා දෙමි. මම මගේ දැල පොකුණට දමා මාළුන් සියයක් එළියට ගන්නෙමි. ඒ මාළුන්ව ඉවුර මත තබද්දී ඔවුන් දඟලති සහ කරකැවෙති. “බිය වෙන්න එපා,” මම ඒ මාළුවන්ට කියමි. “මම උඹලාව ගිලී මැරෙන්න නොදී බේරා ගන්නම්.” ඒත්, කියන්න දුකයි, මම හැමදාම පොඩ්ඩක් පරක්කුයි. මාළු ජීවිතක්ෂයට පත්වෙනවා. ඉතින් කිසිවක් නාස්තිය දුෂ්ටකමක් නිසා, මම ඒ මියගිය මාළු වෙළඳපොලට ගෙනිහින් හොඳ මිලකට විකුණනවා. මට තව මාළු බේරාගන්න පුලුවන් නිසා ඒ ලැබෙන මුදල් වලින් මම තව දැල් මිල දී ගන්නවා. -නිර්නාමික
සදාචාර නීති හදන්නේ කවුද?
“මේ රට හදන්න බැහැ,” යැයි අදහස් මේ දිනවල ඇහෙන්නේ ලංකාවෙන් විතරක් නෙමෙයි. අයෙක් එසේ කියද්දී එය රටක භූමිය හෝ පිහිටීම ගැන කතාබහක් නොවේ. එය රටේ වාසය කරන මිනිසුන් ගැන කතාබහකි. සමාජය ගැන අදහසකි.
සමාජයක් සහ එහි වාසය කරන පුරවැසියෙක් යන්න දෙකක් නොව එකක් යැයි මාග්‍රට් තැචර් පෙන්වා දුන්න ද ඇයට සිනහා වූ පිරිස බොහොමයකි. එය අවබෝධ කරගත් අය අල්පයකි. සමාජයක් සහ එහි වාසය කරන ඒකීය පුද්ගලයෙක් යනු විරුද්ධ පැති දෙකක් නොවේ.
ඉතින් ආචාර ධර්ම යනු ‘සමාජයක්’ විසින් ‘පුද්ගලයෙක්’ වෙත ස්ථාපිත කරන්නට හදන නීති යැයි සිතන පටලැවිල්ල නිසා අයෙක් “මේ රට හදන්න බැහැ,” යන අදහසට එළඹෙති.
ආචාර ධර්ම යනු එකිනෙකා විසින් එකිනෙකා වෙත ස්ථාපිත කරගන්නට හදනා නීති වෙති.
හැම ඒකීය පුද්ගලයෙක්ම තවත් ඒකීය පුද්ගලයන් වෙත ආරෝපණය කරන්නට උත්සාහ ගන්නා නීති වෙති.
කිසිම ඒකීය පුද්ගලයෙක් තවත් අයෙක් වෙතින් තමනට ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ධ වෙනවාට කැමති නැත. ඒ නිසා ඒකීය පුද්ගලයා සොයා යන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර හැසිරීම් නීතිමය හා සදාචාරමය ලෙසින් පිහිටුවා ගන්නට ය. එසේ නීතියක් පවත්වා ගෙන යන්නට කැමති නිසා තමන් ද ඒ නීතියට නතු වෙන්නට එකඟ වෙයි.
සදාචාර නීති හැදෙන්නේ සහ වෙනසට භාජනය වෙන්නේ එලෙසය. වෙනතක ඉන්නා පිරිසක් විසින් “සමාජයට” සුදුසු මේවා යැයි කියා ඒවා හදා යම් ආකාරයකින් සමාජයෙන් පිටතක ඉන්නා “ඒකීය පුද්ගලයෙකුට” ඒවා ආරෝපණය කළේ නැත.
සදාචාර නීති හදාගත්තේ ද, වෙනසට භාජනය කළේ ද සමාජයේ වාසය කරන ලද ඒකීය පුද්ගලයන් විසින් ඒවා ගැන එකිනෙකා සමඟ කරන ලද ප්‍රශංසාවෙන්, දෝශාරෝපණයෙන්, මනාපයෙන් සහ අමනාපයෙන්, පොරොන්දු වීම් තුලින් සහ අනතුරු අවදානම් කීමෙන් සේ ම ඒවාට යම් ආකාරයක පාරිතෝෂයන් හා දඬුවම් දීමෙනි.
බහුතර දෙනෙක් මෙසේ හැදෙන සදාචාර නීති හටගත්තේ කෙසේදැයි දැන හෝ නොදැන ඒවා අනුගමනය කරන්නෝ බවට පත්වෙති. අනුගමනයෙන් ඒවායේ පැවැත්මට හෝ අහෝසියට දායක වෙති.
සමාජයක වාසය කරන්නා සදාචාර අගැයුම් ගැන කතාබහේ දී භුමිකාවන් තුනක නියැළෙන්නකි. අයෙක් ඒ පිළිබඳව යමක් කරන්නෙක් වෙන්නා සේ ම අන් අය කරන යමකින් ඵල විපාක ලබන්නා ද වෙයි. එසේම අපි සැවොම යම් යම් අවස්ථාවල දී සමහර සදාචාරමය වෙනස්කම් ගැන එතරම් උනන්දුවක් නැති, පැත්තක් නොගෙන බලාගෙන සිටින අය කියන කොටසට ද අයත් වෙමු. සදාචාර නීති වෙනස් කිරීමේ දී ඒ නිසා මේ තුන් භූමිකාවන් තුලින් ද හැම සදාචාර වෙනසක් ගැනම විමසන්නට අමතක නොකළ යුතුයි. එක් භූමිකාවක පමණක් හිඳගෙන සදාචාරමය ගැටළුවක් දිහා බලන්නේ නම් ගැටුම් හා කෝලාහල ඇති වේ. එසේම පවතින ගැටුම් හා කෝලාහල වැඩිවේ.
මහමඟ යද්දී දියේ ගිලෙන අයෙක්ව දැකීම නිසා බේරාගන්නට යා යුතු ද?
එහෙනම් ඒ කුමන අවස්ථා වල දී ද?
තමනට මුහුණ පාන්නට සිද්ධ වෙන කොතරම් අවදානමක් යටතේ ද?
මේ ප්‍රශ්න අහද්දී 1) තමන් මහමඟ යන්නා ලෙසින් කොයි තරම් අපහසුතාවයකට තමන් පත්වේදැයි, කොතරම් අවදානමක් ගන්නට සූදානම් දැයි, සිතා බැලිය යුතුයි. 2) දියේ ගිලෙන්නට යන අය ලෙසින් මහමඟ යන්නා වෙතින් කොපමණ අවදානමක් ගැනීම ඔබ ඉල්ලා සිටින්නේ දැයි, සිතා බැලිය යුතුයි. 3) පැත්තක සිට බලාගෙන සිටින්නෙක් ලෙසින් දියේ ගිලෙන්නට යන්නා හා ඔහු අසලින් මහමඟ යන්නා යන දෙදෙනා වෙතින් ඔවුන් කරනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනුයේ කුමක් දැයි සිතා බැලිය යුතුයි.
“අනිත් අය ඔබට සහාය දෙන ලෙසින් ඔබ ද අනිත් අයට සහාය දිය යුතුයි,” යන අපේක්ෂාවේ දී අනිත් අය විසින් කරනවා යැයි බලාපොරොත්තු වෙන සියල්ල ඔබ අනිත් අයට පෙරලා කරන්නට ඉදිරිපත් වෙනවා ද? එහෙම නැත්නම් ඔබ අනුන්ට නොදෙන සහාය ඔබ අනුන් වෙතින් ද බලාපොරොත්තු නොවෙනවා ද? නැත්නම් අනුන් ඔබට දෙන තරමට පමණින් යැයි සිතන ප්‍රමාණයක් පමණක් ඔබත් අනුන්ට සහාය දෙනවා ද?
“මිනිසා සුරදූතයෙක් නොවනවා සේ ම මෘගයෙක් ද නොවන්නේ ය. එහෙත් සුරදූතයෙක් ලෙසින් කටයුතු කරන්නට හැකියාව ඇත්තා මෘගයෙක් ලෙසින් කටයුතු කිරීම තමයි අවාසනාව.” -Man is neither angel nor brute, and the unfortunate thing is that he who would act the angel acts the brute.” -Blaise Pascal
තෘප්තිමත් බෙල්ලෙකුගේ ජීවිතයක් ප්‍රමාණවත් ද?
“තෘප්තිමත් බෙල්ලෙකුගේ” ජීවිතයේ අගයක් ඇත්දැයි කියා ප්ලේටෝ විසින් Philebus හි සංවාදයට ලක් කරයි. සොක්‍රටීස් ගේ මුවින් පිටවන වදන් වලින් සංවාදය ගෙනෙන ප්ලේටෝ හිතන්නට හැකියාවක් නොමැති, මතකයක් නොමැති, දැනුමක් නොමැති, තමන්ගේ කියා සත්‍යය මතයක් නොමැති අයෙකු තුල බුද්ධියක් ඇත්දැයි විමසයි. බුද්ධියක් නැති පුද්ගලයාගේ සතුට බෙල්ලෙකු තුල ඇති සතුටට සමාන කරන සංවාදය විමසන්නේ සරල සංවේදන වලින් ලැබෙන සතුටින් සිටීම ප්‍රමාණවත් දැයි කියාය.
“තෘප්තිමත් වූ ඌරෙක් වෙනවාට වඩා අතෘප්තිමත් මිනිසෙක් වීම වඩා හොඳ ද; තෘප්තිමත් වූ මෝඩයෙක් වෙනවාට වඩා අතෘප්තිමත් සොක්‍රටීස් කෙනෙක් වීම වඩා හොඳය; මෝඩයා නැත්නම් ඌරා වෙනත් අදහසක් දරන්නේ නම් ඒ ඔවුන් දන්නේ ඔවුන්ගේ පැත්ත පමණකි. අනෙක් පැත්තයි දෙපැත්තම සසඳන්න දන්නේ,” යැයි ජෝන් ස්ටුවර්ට් මිල් විසින් උපයෝගීතාවාදය (1863) යන ඔහුගේ පොතේ ලියන ලදි.
මෙහි දී ප්ලේටෝ මෙන් ම මිල් ද මිනිසා තුල ඇති අහංකාර ආඩම්බර ගතියට තර්කය යොමු කර ඇත. මිනිසා යනු අනෙකුත් සත්වයන්ට නැති ගති ගුණාංග වලින් යුතු නිසාම දර්ශනයක් ගැන කතාබහට හැකියාව ඇතැයි සිතන්නේ ද එවැන්නා තුල සාමාන්‍ය මිනිසෙකුට වඩා බුද්ධිමත් මිනිසෙක් වීමට කැමැත්තක් ඇත. ඌරෙක් යැයි කියනවාට බොහෝ මිනිසුන් අමනාප වෙති!!! බෙල්ලෙක් සේ සතුටින් දිවි ගෙවීමේ වරදක් නැතැයි කීම මිනිස් බවට නිගාවක් යැයි බහුතරයක් එකඟ වනු ඇත.
එහෙත් බුද්ධිමත් මිනිසෙක් තියා කිසිම මිනිසෙක් බෙල්ලෙක් ලෙස කෙසේ වූව ද ඌරෙක් ලෙසින් වත් ජීවත් වී නැති බව අපි අමතක කරමු. කතාවට ඌරෙක් වගේ ජීවත්වෙනවා යැයි කිව්ව ද සත්‍යයෙන්ම ඌරෙක් සේ සිතන්නේ පතන්නේ කෙසේදැයි මිනිසාට කිසිදු අත්දැකීමක් නැත.
නිවරද ප්‍රශ්නය නම් අතෘප්තිමත් සොක්‍රටීස් කෙනෙක් වෙනවාට වඩා තෘප්තිමත් සොක්‍රටීස් කෙනෙකු වීම හොඳ ද? යන්නයි. අතෘප්තිමත් මිනිසෙක් වීමට වඩා තෘප්තිමත් මිනිසෙක් වීම හොඳ ද? අතෘප්තිමත් මෝඩයෙක් වීමට වඩා තෘප්තිමත් මෝඩයෙක් වීම හොඳ ද? ඌරෙක් ගත්ත ද අතෘප්තිමත් ඌරෙකුට වඩා තෘප්තිමත් ඌරෙක් හොඳ ද? යනාදියයි.
තෘප්තිමත් බව ලැබෙන සංවේදනයන් අතර ආහාර, සංගීතය, පියකරු දර්ශන මෙන්ම සමහර අය, සොක්‍රටීස් වැනි අය
ඥානය හඹා යෑමෙන් ද තෘප්තිමත් වෙති. එහෙත් අයෙකුට සොක්‍රටීස් කියැවීමෙන් සතුටක් ලැබේවි යැයි අනුමානයෙන්, එහෙම සතුටක් ලැබීම පමණක් උසස් යැයි සලකන නිසා, රූපවාහිනියේ ටෙලි නාට්‍ය බලමින් සතුටු වෙන අය ලවා බලහත්කාරයෙන් සොක්‍රටීස් සංවාද කියැවීමෙන් ඔවුනට තෘප්තියක් ගෙන දෙන්නට පුළුවන් ද?
සදාචාර ජීවිතය යනු බුද්ධිමත් ජීවිතයක් යැයි පටලවා ගැනීමක් එහි දී දකින්නට හැකිය. බුද්ධිමත් බව නම් තමන් විශ්වාස කරන බුද්ධිමත් බව යැයි පටලවා ගැනීමක් ද එහි දී දකින්නට හැකිය.
සදාචාර ජීවිතයක් ගෙවන්නා යනු අනෙක් අයට කරදරයක් නොවන ලෙසින් තමන්ට වැඩියෙන්ම තෘප්තියක් ලබාදෙන කටයුතු වල නිරත වෙන්නෙකි. අනුන්ට කරදරයක් නොකර සිය මහන්සියෙන් සිය තෘප්තිමත් බව සාක්ෂාත් කරගන්නා අයෙකු තුල බුද්ධියක් නැතැයි කිව හැකි ද?!!!! මනස්තාපයෙන් කල් ගෙවන අය වෙනුවට තෘප්තිමත් ජීවිතයක් ගෙවන අය වෙතින් සමාජයේ වාසය කරන අනෙකුත් සෑම දෙනාටම ලැබෙන්නේ ද වැඩි ඵලදායක තත්වයක් නොවන්නේ ද?!!!!!
යම් අයෙක් තෘප්තිමත් ජීවිතයක් තමනට ලැබෙන්නේ බුද්ධිමත් බවෙන් යැයි කියා දැනුම ඉල්ලා සිටිනවා නම් එවිට කුමක් කළ යුතු ද?
කියවන්නට ලියන්නට ලොව බහුතරයක් නොදත් ලෝකයක ඒවා දැන සිටි අය උගතුන් වූහ. අද කියවන්නට හා ලියන්නට හැකි පමණින් අයෙක් උගතෙක් යැයි සැලකෙන්නේ නැත.
පුරාතනයේ ලොව පැවතියේ වේදාන්ත හැදැරීම බමුණන්ට පමණක් සීමා වූ අනෙක් අයට තහනම් වූ සමාජයකි. ජර්මන් ජාතික මාටින් ලූතර් යතිවරයා ලතින් බසින් වූ බයිබලය සාමාන්‍ය මිනිසුන්ට කියවන්නට හැකි පරිදි ලියා එදා කතෝලික පල්ලියේ උදහසට ලක් වූවෙකි. පාකිස්තානයේ වැනි තලිබාන් අදහස් දරන අය හැරෙන්නට අද ලෝකයේ බහුතරයක් අධ්‍යාපනය සෑම සියළු දෙනාටම ලැබිය යුතු බව පිළිගනිති. එහෙත් බලහත්කාරකම් කරමින් ඒ ඔබේ යහපත පිණිස කියා බිය කරන ප්‍රතිපත්ති යම් සමාජයක වැඩි වෙද්දී ලෝකය ආපසු බුද්ධිය ඉල්ලා සිටින අයට නොව යම් තෝරාගත් පිරිසකට පමණක් යැයි කියන මතවාදය සමාජයේ බහුතරයක් පිළිගන්නා තැනකට යන හැකියාවෙන් යුතුය.
තෘප්තිමත් ජීවිතය හා බුද්ධිමත් ජීවිතය පටලවා ගැනීම හා සමානව අනුන්ගේ නුවණ මනින මිමි තමන් දන්නවා යැයි සිතන අයත් ලොව බහුල ය. කටපාඩම් කර ගැනීමට නොහැකියාව, කියා දෙන විදියට වටහා ගැනීමට නොහැකියාව, විභාග කරන විදියට උත්තර සැපයීමට නොහැකියාව යනාදිය සමහර අයට ජීවිතය පුරාම මහත් බාධක වෙති. එහෙත් එසේ හැකියාව තිබෙන පිරිසක් ඒ හැකියාව නොහැකි පිරිස අභිබවා ඉන්නට ඒ උපක්‍රම පාවිච්චියට ගනිති. මාරියා මොන්ටිසෝරිලා වැනි ඒ අභියෝග වලට පිළිතුරු සෙවූ අය ද ලොව සිටිති.
සහෝදරයා පවා තමාට නොහැකි යැයි සිතද්දී චුල්ලපන්ථක තෙරණුවන්ට ධර්මය අවබෝධ වෙන විදියට ක්‍රමයක් සකසා දුන්නේ බුදුන්. ඇල්බට් අයන්ස්ටයින් පවා ඉගෙන ගන්න බැරි මෝඩයෙක් යැයි හිතුව ගුරුවරු හිටිය. මරියා මොන්ටිසෝරි විසින් ආබාධිත දරුවන් වෙනුවෙන් හැදූ ළදරු අධ්‍යාපන ක්‍රමය අද වැඩියෙන් ජනප්‍රිය ආබාධිත නැති දරුවන් අතර.
ඒත් තවමත් අධ්‍යාපනය බෙදන්න සහ දැනුම ඇත්දැයි විභාග කරන්න තමන් දන්නවා කියන අය බොහොමයක් ලොව ඉන්න නිසා, ඒ අය අනුන්ගේ සුවසෙත සලසන නාමයෙන් ඔවුනට බලහත්කාරකම් කරන්නට ආණ්ඩුවේ බලය යොදවා ගනිද්දී, ඊට ඉඩ දී අපි ඒ සියල්ල අපේ යහපත වෙනුවෙන් කරනවා යැයි බලාගෙන සිටින නිසා, කැමැත්තෙන් දැනුම එකතු කරන පුද්ගලික තෝරා ගැනීම් වලට ඉඩ කෙමෙන් කෙමෙන් අඩු වී යයි. නිදහස කප්පාදු වෙද්දී ඊට එරෙහිව හඬ නඟන්නා අරාජිකයෙක් හෝ රාජ්‍ය විරෝධියෙක් හෝ දේශද්‍රෝහියෙක් සේ හංවඩු ගැසේ.
ලංකාවේ නොමිලේ අධ්‍යාපනය රැක ගනිමු යැයි හඬ නඟන්නේ තමන් කියන පිළිවෙලකට බුද්ධිමතුන් කවුදැයි තීරණය තමන් අත තිබෙනවාට කැමති ආත්මාර්ථකාමී පිරිසකි. ලංකාවේ රජය මිල දී ගන්නා අධ්‍යාපනය බෙදීම රජයේ ප්‍රසාදය දිනාගන්නා වරප්‍රසාදය ලත් අයට පමණක් පවරති. රජයක් විසින් නොව අධ්‍යාපනය සොයන අය විසින් ඉගෙන ගන්නේ මොනවා දැයි ඉගෙන ගන්නේ මොන ආයතන වලින් දැයි තීරණය කරන දවසක් උදා වූ විට බුද්ධිය සොයා යන නිදහස ජනතාවට ලැබේ.
දුකින් නිදහස් වීමට අවශ්‍ය බුද්ධිය සැවොම තුල ඇතැයි කිව්වොත්?
දුකින් නිදහස් වීමෙන් සොයන්නේ සැනසුමක් යැයි කිව්වොත්?
එය සොයා යන මාර්ගය කෙසේ දැයි තීරණය කරන්නට අවසරය තමනට දිය යුතුයි යැයි කිව්වොත්?
එවැනි සමාජයක වාසයට කී දෙනෙක් කැමති වෙනු ඇත් ද?
නුවණ නැති අය ගැන කුමක් කරමු ද?
ධර්මය ගැන අවබෝධයක් පහළ වෙන්නේ කල්පනා ශක්තියෙනි.
සහයෝගයෙන් එකිනෙකා හා කටයුතු කළ යුතු යැයි පිරිසක් කියද්දී එසේ කළ යුත්තේ මන්දැයි වටහා නොගන්නා එහෙත් වටහා ගැනීමට හැකියාව ලැබෙන කල්පනා ශක්තිය ද සතු වූ පිරිස ගැන කුමක් කරමු ද?
යම් ධර්මයක් නුවණැතියන්ට නම් නුවණ නැති අය ගැන කුමක් කරමු ද?
ආචාර ධර්මානුකූල අවබෝධයෙන් ශක්තිමත් පෞරුෂයන් ගොඩනැඟී තිබෙන අධිෂ්ඨාන ශක්තියෙන් පිරිපුන් අය සහයෝගයෙන් එකිනෙකාගේ දියුණුවට කටයුතු කිරීමට ක්‍රම සහ විධි සොයති. තවත් පිරිසක් තම අයිඩියලොජියෙන් යුතු ක්‍රමය සැවොම විසින් පිළිගත යුත්තක් යැයි කියමින් ඉහළ බල අධිකාරියක් යටතේ සියළු දෙනාගේ ම යහපත වෙනුවෙන් සැලසුම් හැදීම කළ යුතු යැයි කියති. එවැනි අය තම මතය නිවැරදි යැයි පිළිනොගන්නා අයව නිහඬ කරන්නට සහ ඔවුන්ව බිය ගන්වා තම මතයට නතු කරගන්නට ක්‍රම සෙවීමට පමණක් වෙහෙසෙති.
වහලා යන සංකල්පය ලොවෙන් තුරන් වී ගියේ වහලෙක් වූ මිනිසා ගැන හටගත් මානව දයාව නිසා නොවේ. වහලෙක් වෙතින් බලහත්කාරයෙන් වැඩ ගන්නවාට වඩා කැමැත්තෙන් වැඩ කරන මිනිසෙක් වෙතින් හොඳ සේවයක් පහසුවෙන් සහ ලාබයෙන් ලබාගත හැකිබව අත්දැකීමෙන් සහ අවබෝධයෙන් වටහා ගත් නිසයි.
සියල්ලන්ටම සුදුසු පරම යහපත කුමක් දැයි නොදැන එය මෙසේ වේ යැයි තමන් තීරණය කරනවාට වඩා ඔවුනොවුන් කැමති පරම යහපත වෙනුවෙන් කටයුතු කරන්නට ඉඩ දීමෙන් වැඩියෙන් සාමකාමී හා වැඩියෙන් ඵලදායී සමාජයක් සාක්ෂාත් වෙනවා යැයි ලොවට පෙන්වා දුන්නේ ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදී පර්යේෂණය නොහොත් ජනතාව විසින් ජනතාව පාලනයයි.
ආචාර ධර්මයන් නිර්දේශයේ දී ඇති ප්‍රධානතම ගැටළුව නම් එකම විදියකින් හැසිරීමට දෙදෙනෙක් අදිටන් නොකිරීමයි. එක් විදියකට යමක් කිරීමට තවත් අයෙක් හා කැමති වන අයෙක් ඒ අය සමඟම වුවත් තවත් යමක් කිරීමට අකමැති වෙයි. සෑම පුද්ගලයෙක්ම ඒ ඒ අයට සුවිශේෂී වූ ආශාවන්, ඒ ඒ අයට පමණක් වූ අගැයුම්, ඒ ඒ අය විසින් සොයා යන දේවල් සමඟින් ජීවත්වෙන අය වෙති.
ඒ අතර සුළු පිරිසක්, අනෙක් අයට රිසි දේ කරමින් ජීවත්වෙති. තමන්ගේ ආශාවන් මොනවා ද කියා, තම අගැයුම් මොනවා ද කියා සහ තමන් සොයා යන්නට කැමති දේවල් මොනවා දැයි කියා දැනගන්නට උත්සාහයක් නොකරති. මේ අයගේ දැනුම කොතරම් පටු ද යැයි කිව්වොත් ඔවුනට සමාජ සබඳතාවයන් තුලින් සාක්ෂාත් කරගත හැකි ඵලයන් ගැන වැටහීමක් ඇති කරගත නොහැකියි. ඒ අය අනිකුත් අය විසින් පාරට්ටු බාන උදාර චේතනා තම අභිප්‍රායන් ලෙසින් පිළිගෙන ඒවා නැවත ප්‍රතිචාරය කරමින් ජීවිත ගෙවා මිය යති.
ඉතින් ඒ අය ගැන අපි කුමක් කරමු ද?
තවත් සමහර අය කළ යුත්ත කුමක් දැයි දනිති. ක්‍රියාවකින් ලැබෙන ඵල විපාකය දනිති. හෙට හැදෙන පෙනහළු ආබාධ ගැන දත්ත ද අද බොන සිගරට් එක ඔවුනට මහත් සහනයකි. හෙට උදේට හැදෙන හිස රදය කොතරම් දරුණු වුවත් සවසට බොන මත්පැන් වීදුරැව හෙන ආතල් එකකි.
කළ යුත්තේ සහ නොයුත්තේ කුමක් දැයි දැන සිටින මිනිසා ලවා පවා කළ යුත්ත කරවා ගන්නේ කෙසේ ද?
සියළු දෙනාගේ ම පරම යහපත සැලසීමට තමන් දන්නවා යැයි සිතන පිරිසේ අය (ප්ලේටෝ පටන් පැවතෙන සියළුම සමාජ සැලසුම්කාරයන්) තවත් කුමන හෝ සැලසුමක් ඉදිරිපත් කරමින් මිනිසුන් ලවා කළ යුත්ත කරවා ගන්නට මෙසේ හැකි යැයි කියමින් ඊට වෙර දරයි. අධ්‍යාපනය මෙසේ ලබා දීමෙන් මිනිසා මෙසේ කටයුතු කරාවි යැයි සිතති. සිගරට් පැකට් ඇසුරුම් මෙසේ මුද්‍රණය කිරීමෙන් ඔවුන් සිගරට් නොබී සිටිනු ඇතැයි සිතති.
අනුන් කියන හැටියට ජීවත් වෙන පටු චින්තනයේ හිර වී ඉන්නා අයත්, තතු දැනගෙන තමන්ට අහිතකර වූව කරන්නට තෝරා ගත් අයත් යන දෙගොල්ලන් ම අනුන්ට විපත් නොකරන අයයි. තම ජීවිතය පමණක් අඥාන බවින් ගෙවා දමන අයයි.
දෙන අධ්‍යාපනය කුමක් දැයි තීරණය කිරීම මඟින් සමාජය තමනට රිසි සේ හැඩගස්සවන්නට වෙර දරනා සමාජ සැලසුම්කාරයන් සේ ම, ආරාජකවාදීන් (anarchists) ද විශ්වාස කරන්නේ සත්‍ය වූ නිදහස් අධ්‍යාපනයක් තුලින් සියළු මිනිසුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට ඉගෙන ගනීවි යැයි කියාය. දැනුම වැඩි වීමත් සමඟ ඔවුන් සමාජයේ යහපත පිණිස කටයුතු කරාවි කියාය. ආණ්ඩුවක් හෝ රජයක් නැති සමාජයක, කිසිම කෙනෙකු වරප්‍රසාද නොලබන සමාජයක, කිසිම කෙනෙකුට බලහත්කාරකම් නොමැති සමාජයක පොලිස් බලයක්, අනිවාර්ය නීති සමුදායක් නොමැතිව මිනිසා යහපත් ලෙසින් කටයුතු කරාවි කියාය.
නුවණ නැති අයත්, ඇති නුවණ සලකා බලන්නේ නැති අයත් සමාජයේ සිටින බව ආරාජකවාදියා අමතක කරයි.
නුවණ නැති අය සේ ම දරුවන්, වයසට ගිය අය, මන්ද බුද්ධිකයන් හා උමතු රෝගීන් ද සමාජයේ සිටින බව ආරාජිකවාදියා අමතක කරයි.
සමාජයක වාසය කරන සියල්ලන්ගේ ම ආරක්ෂාව පිණිස කොතරම් සැලසුම් හැදුවත් ඵලක් නැති බවත්, එසේම සමාජයක වාසය කරන සියල්ලන්ටම කොතරම් නිදහසක් දුන්නත් බුද්ධිය පෑදෙන්නේ නැති බවත් වටහා ගන්නේ බුද්ධිමතා පමණයි.
නුවණ නැති අය ඔවුන්ගෙන්ම ආරක්ෂා කරගැනීමටත්, නුවණ නැති අයගෙන් නුවණ ඇති අයට වන හානිය වළක්වා ලීමටත් ඒ නිසා ආරාජිකත්වයකින් නුපුළුවන. ඒ බලය පමණක් පැවරෙන්නේ සමාජයක ආරක්ෂාව පිණිස හදාගන්නා ආණ්ඩුව වෙතටයි. ආණ්ඩුවක් යනු සියල්ලන්ගේ ම යහපත පිණිස සමාජයේ එකඟ වූ නීති කඩන අයට පමණක් බලහත්කාරකමක් කිරීමට වරම් ලැබූ රකුසෙකි. මේ රකුසාට පැවරෙන එකම කාර්ය භාරය මිනිස් සබඳතා සාමකාමීව පවත්වා ගෙන යෑම සමාජයේ සිද්ධ වෙන්නේ දැයි තහවුරු කිරීමයි.
පැරණි ලිබරල් සමාජ ධර්මය, වැඩිදෙනෙකුට යහපත සැලසෙන සදාචාර ධර්මයන් සහ ආර්ථික ප්‍රතිපත්ති පදනම් කරගෙන ඒවා රකින්නට පත් වූ එහි පාලකයන්ව සැලකිල්ලට ගන්නේ සුළු කොට්ඨාශයක් හැටියටයි. බහුතර ජනතාවගේ කැමැත්ත නොමැති නම් ඔවුන්ට වැඩි කාලයක් බලයේ සිටින්නට හැකියාවක් නැත. ආණ්ඩු ක්‍රමය කුමක් වුවත් ආණ්ඩුවක් පිහිටුවා ගත් බහුතරයේ උවමනාව නම් බහුතරයේ කැමැත්ත ආණ්ඩුව සිද්ධ කරවා ගැනීමයි. බහුතරයක් විසින් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය නම් ලේ හැලීමකින්, සිවිල් යුද්ධයකින් තොරව ආණ්ඩුව තම අදහස් වලට කැමති කරවා ගන්නට හැකි වූවකි.
බහුතරය කැමති කරවා ගැනීම බලහත්කාරකමෙන් තොරව අදහස් හුවමාරුවෙන්, සංවාදයෙන්, ඒත්තු යන ආකාරයකින් ඔප්පු කිරීමට හැකියාව බුද්ධිමතුන් පමණක්ම සතු වූවකි. ඒ අභියෝගය බුද්ධිමතුන් පැහැර හරින අවස්ථාවල දී ගමක්, රටක් හා ලෝකය පරිහානියට පත්වේ.
නිදහස් මිනිසුන්ට ඔවුනොවුන්ගේ අභිප්‍රායයන් අනුව ජීවත්වෙන්නට ඉඩ සැලසීම වෙනුවෙන් බහුතරය කැමති කරවා ගැනීම බුද්ධිමතුන්ගේ වගකීමකි. නුවණ නැති වැඩක් ලෝකයා ඉදිරියේ කරන්නට පෙර නුවණ නැති අයෙක් කවුදැයි සොයාගන්නට නොහැකියි. අපරාධයක් කරන්නට පෙර අපරාධකාරයෙක් යැයි හංවඩු ගසන්නට නොහැකියි. ඒ නිසා සියළු වැසියන් ගේ නිදහස කප්පාදුවෙන් බහුතරය හිතන්නට බැරි රූකඩයන් බවට පත්කරන නීති ගෙන ඒමෙන් නිදහස් මිනිසුන් වෙනුවට රූකඩ සමාජයක් ලැබේ.
නුවණ ඇති අයව සේ ම නුවණ නැති අයගේ ආරක්ෂාව සැලසීම ද බුද්ධිමතුන්ගේ වගකීමකි. මින් කියන්නේ නුවණ නැති අයගේ අභිප්‍රායයන් කුමක් විය යුතු දැයි කියා නුවණ ඇති අය තීරණය කරන්නට යෑම නොවේ. වෙන කෙනෙකුට විපතක් නොකරද්දී ඔවුන් කැමති අඥාන ලෙසින් ඔවුනට ජීවත්වන්නට ඉඩ දීමයි. වැඩිහිටියන් සිගරට් බීම වැනි තමන් තමන්ට විපතක් සිද්ධ කරගන්නට ඉඩ දුන්න ද වෙනත් අපරාධකරුවන් වෙතින් අඥානයන්ට විපත් සිදුවීම, කුඩා දරුවන්ට සිගරට් බෙදා දීම වැනි පිළිවෙත් වළක්වා ලීමයි.
මිනිසුන් සියල්ලන් බුද්ධිමත් බවට පත් කළ නොහැකියි.
මිනිසුන් සියල්ලන් කරුණාවන්ත අය බවට පත් කළ නොහැකියි.
අපරාධකාරයන් ලොවෙන් තුරන් කළ නොහැකියි.
පාලයකයන් සියල්ලන්ම පාලනයට සුදුසු අය බවට පත් කළ නොහැකියි.
මෙහි දී අප නොකළ යුත්තක් වන්නේ අපරාධකාරයන් සියල්ලන්වම පාලකයන් බවට පත් නොකිරීමයි!!!!!!!
දැනුම තුලින් බහුතරයා වෙත අදහස් ඉදිරිපත් කර ඔවුන්ගේ කැමැත්තෙන් ලැබෙන සහයෝගයෙන් මිසෙක වෙනත් කිසිම ක්‍රමයකින් සුළු පිරිසකට දීර්ඝ කාලීන සාර්ථකත්වයක් තියා සුළු දියුණුවක් හෝ අත්පත් කරගන්නට නොහැකියි.
බුද්ධිමතුන් ලොව සුළු පිරිසක් වූ කළ ඔවුන් මත පැටවෙන බර කොතරම් මහත් ද?!!!!!!!!!!!
සදාචාරය අද්භූතයක් ද?
අප හැදී වැඩුනේ සදාචාර විනිශ්චයන් පැවති ලෝකයකයි. අනික් අය කරන කියන කටයුතු දිහා බලා ඒවායේ හරි වැරදි බව ගැන ඇහෙන්නට ලැබෙන වාතාවරණයකයි. අපි ඒ ඇහෙන දේවල් සමඟ වරෙක එකඟ වීමු. තවත් වරෙක එරෙහි වීමු. සමහර අවස්ථාවල දී අපි අයෙක් කළ ක්‍රියාව ගැන නොව, යම් ක්‍රියාවක් කළ තැනැත්තාගේ හැඟීම් ගැන නොව, ප්‍රතිචාරයක් දැක්වූයේ ඊට මුල් වූ මූල ධර්මය හෝ සිද්ධාන්තය ගැනයි.
අනුන්ගේ ක්‍රියා කලාපය ගැන පමණක් නොව අපි අපේ වැඩ ගැනත් විනිශ්චයන් අප වෙතම දී ගන්නෙමු. කාට නොකිව්වත් අපි කළ දෙයක් ගැන අපේ මිනුම් දඬු වලින් මැන බලා අපේ හිතට වද දෙන්නේ අපි පිළිගත් විශ්වාසයන්. යම් සදාචාරමය පද්ධතියකට අනුව කටයුත්තක් කළ නොහැකි වූ විට අපිට “ගිල්ටි” බවක් දැනෙයි. අපි පිළිගත් විශ්වාසයක් අනුව කටයුතු කළ හැකි වූ විට අපේ සිත සතුටින් පිරී ගොස් උතුම් වූ හැසිරීමක් අපි අතින් සිද්ධ වූවා යැයි ආඩම්බරයට පත් කරයි.
එහෙත් කල්පනා කරන්නට සිතක් ඇති මිනිසා පොඩ්ඩක් නැවතී වටපිට බැලුවොත්, තමන් අනුගමනය කරන සදාචාර පද්ධතිය එහි සෑම සියළු අංගයන් වලින් ම සර්වප්‍රකාරයෙන් ම තම හිත මිතුරන්, අසල්වැසියන් සහ රටවැසියන් ද පිළිපදින්න නොවෙන බව දකියි.
අපිට ඊටත් වැඩියෙන් දුෂ්කර එක රටක ජාතික මට්ටමෙන් අගයන සදාචාර පද්ධතියක් තවත් රටක එවැනිම ජාතික මට්ටමෙන් සලකන්නක් හා සසඳා බැලීමයි.
එසේම පුරාතනයේ පැවති සදාචාර පද්ධතියන් එලෙසින් පිළිගැනීමට ද නොහැකි බවක් ඒ ගැන තතු විමසා කල්පනා කරන අයෙකුට වැටහේ.
මෙසේ වැඩි වැඩියෙන් වෙනස්කම් ලොව ඇති බව දකිද්දී වුව ද සියළු සදාචාර පද්ධතියන් තුල දිවෙනා යම් හරයක් ඇති බවත් එය අපිට ප්‍රතික්ෂේප කරනු නොහැකි බවත් පෙනේ. යම් හැසිරීමකට හේතු වූ කාරණය කුමක් දැයි සොයා නොගත හැකි වුවත් අපි කුරිරිබව සලකන්නේ නොමනා ගති ලක්ෂණයක් හැටියට ය. එසේම අයෙක් විශ්වාසය කැඩෙන සේ කටයුතු කිරීම, බොරු කීම, හොරකම හෝ මිනීමැරීම යනාදිය හොඳ යැයි පිළිගන්නේ නැත.
හමුරාබියේ සඳහන් වන්නට පෙර, මනු දහමේ ලියැවෙන්නට පෙර ඒ ආචාර ධර්ම අදහස් ඒ ඒ සමාජයන් තුලින් දකින්නට ලැබුණු ඒවා විය. වාචික සහ ලිඛිත මාධ්‍යයන් වලින් ඒවා සමාජයක කතාබහට ලක්වෙද්දී නීති, විධාන, උපමා කතා යනාදියෙන් ඒවා ගැන දැන ගන්නට ලැබෙද්දී මිනිසා ද ඒ ගැන පහදා දීමක් ඉල්ලන්නට උත්සුක විය.
හැදියාව මෙසේ වීම හරි, මෙසේ වීම වැරදි යැයි තීරණය වූයේ කුමන කාරණා අරබයා දැයි විමසන්නට මිනිසා ඉදිරිපත් විය. ඒ ඒවාට අකමැති වූ නිසාම නොවේ. යමක් අනුගමනය කරන්නේ මන්දැයි යන්න දැනගැනීමට මිනිසා තුල කුතුහලයක් ඇත. ජානුගතව ලැබී ඇති තෝරාගැනීමක් නොමැති හැදියාවක නියැළීම සත්වයන් තුලින් දකින්නට හැකි වුව ද එය මිනිසා තුල අඩු ලක්ෂණයකි.
ඉතින් මිනිසා විමසන්නට වූයේ ඇයි යම් හැසිරීමක් වැරදි? තවත් හැසිරීමක් හරි? කියාය.
කවුද මෙහෙම තෝරා බේරා දුන්නේ? කියාය.
එය පැහැදිලි කරන ලොව මුල් ම න්‍යාය වූයේ දෙවියන් (දෙවිවරු) විසින් එසේ නියම කර ඇති නිසා බවයි. මිනිසාගේ සමහර ක්‍රියාවන් දෙවියන් සතුටු කරන බවත් සමහර ක්‍රියාවන් දෙවියන් අසතුටු කරන නිසත් පැහැදිලි කරන්නට මුල් වූ පිරිස දෙවියන්ගේ ආශීර්වාදය දිනාගන්නට සමත් වෙන අයට දෙවියන්ගෙන් තෑගි ලැබෙන බවක් කියා සිටියහ. අප්‍රසාදයට හේතු වන අයට දඬුවම් ලැබෙන බව කියා සිටියහ.
දේව භක්තිය මත පදනම් වෙන මෙම න්‍යාය තවමත් ලෝකයේ ප්‍රබල ලෙසින් පැවතෙන්නකි.
එහෙත් මුල් ක්‍රිස්තියානි දාර්ශනිකයන් විසින් ද මුහුණ පෑ ගැටළු දෙකක් මෙහි අන්තර්ගතයි.
පළමුවැන්න: මේ සදාචාර පද්ධතිය හිතුමතයේ හැදුනා වූවක් ද? දෙවියන්ගේ කැමැත්ත නිසා පමණක් වූයේ දෙවියන් එසේ නියම කළ නිසා ද? එහෙමත් නැත්නම් දෙවියන් යනු ස්වභාවයෙන් ම හොඳ නිසා දුෂ්ටත්වය නියම කරන්නට නොහැකි වූ නිසා මෙසේ හොඳ පමණක් නියම කළා ද? එහෙත් මෙසේ විචාරයට ගිය දාර්ශනිකයන් මුහුණ පෑවේ තවත් ගැටළුවකට: එහෙම නම් දෙවියන්ට පෙර හොඳ නරක, හරි වැරදි බව පැවතියා යැයි ද, එය දෙවියන්ට පරිබාහිරව එනම් දෙවියන් පවතින්නට පෙර සිට පැවතියක් ද?
දෙවැන්න: මේ සදාචාර පද්ධතිය දෙවියන්ගේ කැමැත්ත අනුව සැකසුනා වූවක් නම්, එහෙනම් අපි කොහොම ද දෙවියන්ගේ කැමැත්ත කුමක් දැයි හරියටම දැනගත්තේ?
දෙවියන්ගේ කැමැත්ත ගැන සාමාන්‍ය මිනිසාට කියාදෙන්නට ඉදිරිපත් වූවන් වෙතින් පව්කාර වැඩ ගැන ප්‍රමාණාත්මක ලෙසින් ලැබෙන පව් ගැන පැහැදිලි බවක් දැනගන්නට නොහැකියි. ඔවුන් විවිධ ආගම් වලට බෙදී, විවිධ නිකායන් වලට බෙදී ඒ ගැන තවමත් වාද කරමින් සිටිති.
මෙහි දී සමහරු සදාචාර හැසිරීම යනු “සිතට දැනෙන” දෙයක් යැයි ද කෙළින් ම ප්‍රතිභා ඥානයෙන් ලබා ගත හැකි වූවක් යැයි ද කියති. එක් මිනිසෙකුගේ සදාචාර හැඟීම තවත් මිනිසෙකුගේ සදාචාර හැඟීමට වඩා වෙනස් විදියකින් සිද්ධ වෙන්නේ කෙසේදැයි එයින් පැහැදිලි නොවේ. බොහෝ අවස්ථා වල දී හරි දේ කරන්නට යැයි හදන තෝරාගැනීමක් ඉදිරියේ දී “හිත කියන්නේ” කුමක් දැයි තෝරා බේරා ගැනීම තමන්ටම වුව ද ඉතා දුෂ්කරය.
තවත් පිරිසක් කියා සිටින්නේ සදාචාර අගැයුම් යනු සංශයවාදයක් හා නාස්තිකවාදයක් කියාය. සියල්ල ගොඩනැඟී ඇත්තේ පදනම් රහිත මිථ්‍යාමත තුලින් බවයි. එහෙත් මේ සංශයවාදියෙක් හෝ නාස්තිකවාදියෙක් හා පොඩ්ඩක් එරෙහි වීම ඔවුන්ගේ මතය සත්‍යයෙන්ම එය නොවන්න බව පැහැදිලි කරන්නකි!!!! ඔවුන් අචපල නොවෙති. එවැන්නක් කියන්නෙක්ව තදින් කෙනිත්තුවොත් ඔහු ඒ ගැන අවලාද කියන්නේ සදාචාර අගැයුම් වලට ඉතා සමාන වූ වදන් වලිනි!!! ඒවා ගැන සිංහලෙන් කතා කරන සමහරු නම් කිසිත් නොකළත් බලෙන්ම කොනක් අල්ලා ගෙන හැප්පෙන්නට ද එන්නේ තමන්ගේ වාදය ද කුමක් දැයි හරිහැටියකට නොදන්නා බව ඔප්පු කරමිනි!!!!!
ඉතින් අපේ සදාචාර පද්ධතිය යනු සමාජ පරිනාමයක දී භාෂාව මෙන්, ලෝකයේ නීති මෙන් කෙමෙන් කෙමෙන් වෙනස් වීම් වලට භාජනය වූවක් යැයි ද, ලෝක සමාජයක් තුල සාමය සහ සහයෝගීතාව වෙනුවෙන් පරිනාමය වෙමින් පවතින්නක් යැයි ද තවත් අදහසකි.
ඔබ ඉදිරියේ ඔබට රිසි වූ යම් දෙයක් ඇතැයි සිතන්න. අයෙකුට එය අඹ ගෙඩියක් විය හැකියි. තවත් අයෙකුට එය කීර්ති නාමයක් විය හැකියි. තවත් අයෙකුට එය ඊට රිසි බව දමනය කොට “යනකොට ගෙනියන්න හැකි” දෙයක් විය හැකියි.
යම් දෙයක් ගැන ආශාවක් උපන්නේ ඔබ තුලයි. ඒ ආශාව එම දැයෙහි අන්තර්ගත වූ වැරද්දක් නොවේ. එසේ ආශාවක් ඇතිවීම මිනිස් ස්වභාවය නිසා එවැන්නක් ඇතිවීම ඔබේ වැරැද්දක් ද නොවේ.
මෙහි දී අපි අවධානය යොමු කළ යුත්තේ කුමකට ද?
රිසි වූ දේවල් හඹා යෑමට කැමති අයට අනික් අයට පාඩුවක් නොවන පරිදි ඒ සඳහා ඉඩ දීම ද?
ආශාවන් කුමන දේවල් සඳහා පමණක් විය යුතු දැයි සහ ඒවා ලබාගත හැක්කේ කුමන ආකාරයෙන් පමණක් දැයි තීරණය කරන පිරිසකට බලය පැවරීම ද?
බුද්ධිමත් ලෙසින් ජීවත්වීමේ කලාව
මිනිසා වෙහෙසෙන්නේ තම අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නට. අනෙකුත් සත්වයන්ට නැති මිනිසාට ඇති හැකියාව අතීත වැරදීම් සලකා බැලීමෙන් අනාගත සැලසුම් හැදීම සහ නොහැදීම තෝරාගැනීමේ හැකියාවයි. මිනිසුන් බොහොමයක් එසේ කටයුතු කරන තැන සමාජයයි. සමාජයක උන්නතියක් ගැන කතා කරද්දී එවිට අපි කතා කරන්නේ එහි වාසය කරන සියළු මිනිසුන්ට තම අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නට කොතරම් ඉඩ ප්‍රස්ථා සැලසී ඇත්දැයි කියාය.
ආචාර ධර්ම නොහොත් ethics යනු පුද්ගලයෙකුගේ සහ කල්ලියකගේ හැසිරීම තීරණය කරන සදාචාරමය සිද්ධාන්ත වෙති. සදාචාරය නොහොත් morality යනු හොඳ සහ නරක සහ හරි සහ වැරදි හැසිරීම අතර වෙනස පුද්ගලයාට පැහැදිලි කරන සිද්ධාන්ත වෙති.
මිනිස් ඉතිහාසයේ මිනිස්සු මුලින් ම ක්‍රියාවන් හි යෙදිලා ඊට පස්සෙ තමයි ඒවා ගැන කල්පනා කරලා බලන්න කාලයක් මිඩංගු කළේ. නීල් ගේමන් කිව්වා වගේ අපි අනුන් අනුකරණය කරමින් කතා කරන්න ඉගෙන ගෙන ඊට පස්සෙ තමයි අපේ හඬ හොයාගන්නෙ. අපිට ඕනෑ දේවල් කියන්නෙ.
මිනිසා භාෂාවන් හදාගෙන එකිනෙකා සමඟ කතාබහ කළේ ව්‍යාකරණ හෝ වාග්විද්‍යාව ගැන උවමනාවක් වර්ධනයට බොහෝ කලකට පෙර.
මිනිසා වෙහෙස වුනේ, ඉතිරි කළේ, වගා කළේ, උපකරණ හදාගත්තෙ, ගෙවල් හැදුවේ, යම් යම් දේවල් වලට අයිතිය කියන්නට පටන් ගත්තේ හා තමන්ට අයිති වූ දේවල් වලින් ගණුදෙනු කළේ, මිල දී ගැනීම හා විකිණීම කළේ, මුදල් බිහිවුනේ, අර්ථ ශාස්ත්‍රය ගැන පැහැදිලි න්‍යායයන් හදා ගන්න ඉතා දීර්ඝ කාලයකට පෙර.
මිනිසා ආණ්ඩු හදාගත්තෙ, නීතීන් හදාගත්තෙ, විනිසුරුවන් හා උසාවි පිහිටුවා ගත්තෙ, දේශපාලන න්‍යායන් හෝ නීතිමිමංසාවන් හදාගන්න බොහෝ කලකට පෙර.
මිනිසා හැමදාම යම් ආකාරයක සදාචාරමය ධර්මයක් අනුව කටයුතු කළා. තමන් හා ජීවත්වෙන සෙසු ජනතාවගේ ක්‍රියාවන් අනුමත කළා. ප්‍රතික්ෂේප කළා. හොඳ යැයි සැලකූ දේවල් වලට තෑගි දුන්නා. වැරදි යැයි සැලකූ දේවල් වලට දඬුවම් කළා. ඒ ඔක්කොම කළේ ද එහෙම මෙහෙම කරන්න යම් තර්කාන්විත යුක්ති සහගත වූ පිළිවෙතක් තිබිය යුතු යැයි කල්පනා කරන්නට බොහොම කාලයකට කළින්.
යම් ආචාර ධර්ම සම්ප්‍රදායක් කියන්නෙ ධර්මයක් නැත්නම් code නොහොත් මූල ධර්ම සෙට් එකක්. එයින් ඉදිරිපත් වෙන්නෙ වෙනස් නොවෙන (consistent), පැහැදිලි (coherent), ඊට අඩංගු නීති රීති සියල්ල එකතු කරන පද්ධතියක්.
අපිට අමතකයි මුලින් ම අපි ආචාර ධාර්මික අගැයුමක් ඉදිරිපත් කරපු දවස. බහ තෝරන වියේ දී අපි “හොඳ බල්ලා,” “නරක පූසා,” නැත්නම් සමහරු දොර අගුලක බබාගේ ඔළුව හැප්පුනාම “නෝටි දොර” කියලා බබාට අප්‍රසාදය දක්වන්න කියලා දීලා තියෙනවා. ඒත් පසු කාලයක දී තමයි අපි ඉගෙන ගන්නෙ අපේ ප්‍රසාදය සහ අප්‍රසාදය ඒ වෙලාවට හිතට දැනෙන ආවේගය අනුව නොව යම් ආචාර ධාර්මික වූ පද්ධතියක් අනුව තීරණය කළ යුත්තක් යැයි කියා. වැඩිහිටියන් වූ පසුවත් ආවේග වලට හසුවී ප්‍රතිචාර දක්වන, එතැනින් එහාට හිතන්නට නුහුරු අය ලොව බොහෝයි.
ජෝන් ස්ටුවර්ට් මිල් ආචාර ධර්ම හැඳින්වූයේ සදාචාර විද්‍යාවක් හැටියට. එය ඒ කාලයේ පටන් වර්ධනය වූයේ ක්‍රමානුකූල අධ්‍යයන විෂයයක් ලෙසින්. විචාරමය නීති වලට අනුකූලව, විද්‍යාත්මක නීති වලට පටහැනිව නොයා, පැහැදිලි වූ ද, නිශ්චිත වූ ද ලෙසින් ගොඩ නඟන ලද පිළිවෙලකින් යුතු නිගමන වලින් විසඳුමකට එළඹීම යනු ආචාර ධර්මයේ කාර්ය භාරයයි. ඉතින්, යමක් ආචාර ධාර්මිකව හරි යැයි හෝ වැරදි යැයි කීම ඒ නිසා යම් අයෙකුට ඒ ඒ වෙලාවට හිතෙන හැටියට තීරණය කරන්න බැරි දෙයක්.
ආචාර ධර්ම යනු මේ විෂයට ගෝත්‍ර වන දේවල් වල හැටි මෙහෙමයි කියා දෙන විෂයයක් නොවෙයි. මෙහෙම කළාම මෙහෙම වෙනවා යැයි පෙන්වා දෙන විෂයයක් ද නොවෙයි. ආචාර ධර්ම යනු අයෙක් කළ යුත්තේ කුමක් දැයි කියන්නක් වීම නිසා තමනට නුහුරු ලෙසකින් ගොඩනඟා ඇති ආචාර ධර්ම පද්ධතියක් පිළිගන්නට මිනිසා පසුබටයි. ඒ පසුබෑම නිසා සෑම දෙනාටම පිළිගත හැකි ආචාර ධර්ම පද්ධතියක් හදා ගත්තාම පමණක් ම ඒකීය මිනිසාගේ ආරක්ෂාවට හා දියුණුවට පාර හැදෙනවා යන්න ද කල්පනා කර බලන්නට පසුබෑමක් මිනිසා තුල තියෙනවා.
නමුත් මිනිසාගේ උන්නතියට, මිනිසා සමාජයක් තුල වාසය කරන නිසාම, අද මිනිසා ගෝලීය සමාජයක් තුල වාසය කරන නිසාම, සියළු දෙනාගේ ම ආරක්ෂාවට සහ දියුණුවට සෑම දෙනාටම පිළිගත හැකි ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයයි.
පාසැල් අධ්‍යාපනයේ දී හදාරන්නට නොලැබෙන ආචාර ධර්ම විෂයය උසස් අධ්‍යාපනයේ දී ද දර්ශනය, වෛද්‍යවිද්‍යාව සහ නීතිය වැනි විෂයයන් හදාරන සුලුතරයකට සීමා වී තිබීම දැඩි අඩුපාඩුවක්. විශේෂයෙන් ම ආගමික සංස්ථා වලින් මිනිසා දුරස් වෙමින් පවතින ලෝකයක ආචාර ධර්ම ගැන සංවාදයක් නොවන්නේ ද පින් පව් කෙසේ වෙතත්, හරි වැරදි කෙසේ වෙතත්, හොඳ නරක කෙසේ වෙතත් සමාජයේ සෑම සාමාජිකයෙක් තුලින් ම පළා යන්නේ ශීලාචාරකමයි.
යනකොට ගෙනියන පින්
යනකොට ගෙනියන්න දෙයක් තියනව ද? සිරස්තලයෙන් සටහනක් ලියා ඇත්තේ sugv අඩවියේය. “යනකොට” යැයි අදහස් කරන්නේ “මිය යන විට” බවත්, “මිය යන විට ගෙනියන්න යමක් තිබිය යුතු” බවක් “සමාජ දේහයේ කිඳා බැස ගොස් තිබෙන දහමක්” යැයි කියමින් sugv සටහන පටන් ගනියි. ලංකා ඉතිහාසය ගැන අන්තර්ජාලයට සටහන් එකතු කරන sugv උඩරට ගම් පළාත් හි රසවත් තොරතුරු බොහොමයක් එම අඩවියට එකතු කරමින් සිටියි.
යනකොට ගෙනියන්න හැකියි සිතා මිසරයේ ෆේරෝ ලා ගේ පිරමිඩ් වල වටිනා මුතු මැණික්, ගෙදර අඹුව, අන්තර්පුරයේ කාන්තාවන් සහ සුරතල් පූසා පවා නිදන් කරන ලදි. ඒ සිරිත නතර වෙන්නට ඇත්තේ මරණය පත්වූවාට පසු බලයක් නැති බව වැටහෙද්දී වෙන්නට ඇත.
පින් සම්බන්ධයෙන් සංවාදය කළින් කලට ඇතිවෙන්නකි. අමතක වී යන කල්හි එය නැවත මතක් කරගැනීම, නොදන්නා අයට කියා දීම සහ අදහස් හුවමාරු කරගැනීම කාටත් එකසේ වැදගත් වෙයි. නැත්නම් රටේ නීති රීති පැනවී යම් බලවත් පිරිසකට රිසි පරිදි පින් මොනවා දැයි කියා තීරණය වී පව් කරන අයට දඬුවම් ලැබීම සිද්ධ වේ.
පුරාතනයේ වැරදි කරවුන්ට දඬුකඳේ ගැසීම, හංවඩු ගැසීම, අඟ පසඟ කපා දැමීම, උල තැබීම, අලි ඇතුන් ලවා පෑගවීම, පුළුස්සා මරා දැමීම යනාදීය ලංකාවේ නියම කර ඇත. වර්තමානයේ දී වැරදි කරවුන් දැයි තීරණයට පෙර එවැනි ගැහැට අත් විඳින්නට සිද්ධ වෙන හැටි ලංකාවෙන් අහන්නට ලැබේ.
මෙහෙ ඩ්‍රෝන් ප්‍රහාර වලින් වරදකරුවන් දැයි නොසායා මිනිසුන් ඝාතනය කළා නම් බුෂ් පුතාව ගෙදර යවන්නට පාරට බහින වම්මු එය පමණක් නොව ජනතාවගේ කතාබහට සවන් දෙන ඔබාමා ගැන අද නිහඬ පිළිවෙතක සිටිති. තම ආරක්ෂාවට තුවක්කුවක් තබා ගැනීමට එරෙහි වන ඔබාමා ආණ්ඩුව ප්ලෑන් බී පෙත්ත ඕනෑම වයසක කාන්තාවකට සුදුසු යැයි නිර්දේශ කර ඇත.
පිනක් හෝ පවක් හැටියට යම් ක්‍රියාවක් සැලකෙන්නේ නිර්දේශ කරන අයගේ ආගමික හෝ දේශපාලන නැඹුරුව අනුව ද?
මහාවංසයට අනුව ක්‍රි. පූ. දෙවැනි සියවසේ දී එළාර රජු විසින් ස්වකීය පුත්‍රයාට මරණ දණ්ඩනය නියම කරන ලදි. ඒ පුතා විසින් වසු පැටියෙකු මරණයට පත් කිරීම නිසාය. භාතිකාභය තිස්ස රජු විසින් ගව ඝාතනය තහනම් කර අතර ගව මස් අනුභවය දඩ ගෙවිය යුතු වරදක් ලෙස හඳුන්වා ඇත. තුන්වැනි කාශ්‍යප රජු සිව්පාවුන් විනාශය තහනම් කළ බව කියැවේ. හතරවැනි මහින්ද රජු ගවයින්, මී ගවයින්, හා එළු ගවයින් ඝාතනය කරන්නවුන් හට මරණීය දණ්ඩනය නියම කළේය. මාහුවාන් නමැති චීන සංචාරකයාගේ වාර්තාවේ ද ගව ඝාතනය සඳහා මරණීය දණ්ඩනය පනවා තිබූ බවක් කියැවේ.*
එසේම මරණ දණ්ඩනය තහනම් කළ රජවරු ද සිටියහ. ආමණ්ඩගාමණී රජ, තුන්වැනි කාශ්‍යප, වෝහාරික තිස්ස යනාදීන් ඔවුන් වෙති.
සතුන් මැරීම තහනම් වූවා සේ ම එය තහනම් නොකළ අවස්ථා ද ලංකා ඉතිහාසයෙන් දැකිය හැකියි. එබේ සෙල් ලිපිය දක්වන හෑලෝගම පෙන්වා දෙන්නේ කොක් එබේ ගමේ මායිමේ පිහිටි කැලයෙහි සියලු ම ආදායම් වූ මොණර හා මුව මස් වල කොටසත්, කුඹුරු වලින් ලැබුණු කොටසත් ගමේ පවුල් වලට අයත්වන ආකාරයට නීති පැනවී තිබි බවයි.
රාජද්‍රෝහය ද මරණ දඬුවම ලබන්නට හැකි වූ වරදකි. කැළණිතිස්ස රජතුමා උණුවෙන තෙල් කටාරමකට භික්ෂුවක් දමා මරණයට පත් කරන ලදැයි රාජාවලියේ සඳහන් අතර ඒ භික්ෂුව තම බිසව සමඟ අනියම් සබඳතාවයක් පැවැත් වූ බවට සැක කළ නිසාවෙන් යැයි ද සඳහන් වෙයි.
හතරවැනි උදය රජුගේ බදුලු ටැම් ලිපියෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියාවන්ට දඬුවම් නියම කළ ආකාරය දැකගත හැකියි. බදු අයකරගන්නට ගමට පැමිණි රාජ්‍ය නිලධාරීන් රා, මස්, කිරි හා තෙල් ආදිය ලබා නොගත යුතුය යැයි එහි සඳහනක් ඇත.
පන්සිල් පද පහෙන් පව් මොනවා දැයි, වරද යනු කුමක් දැයි අදහසක් බෞද්ධයාට කියා දෙන්නේ ද?
එයින් බෞද්ධයාට පින් ගැන අදහසක් සොයා ගත හැකි ද?
ප්‍රාණ ඝාතයෙන් වැළකෙමි යැයි කියද්දී ප්‍රාණය යන්න කුමක් දැයි වර්තමාන අවබෝධයෙන් සලකා බලන්නේ කවුරුන් ද? ප්‍රාණය යනු සියළු සත්වයන් ද? සියළු ප්‍රාණීන් ද? ගස් කොළන් වැඩෙන්නේ ජීවයක් ඇති බැවින් ඒවා ද ප්‍රාණීන් වෙත් ද? පිළිකා රෝගයේ ද වර්ධනයක් සිද්ධ වෙන නිසා එයත් ප්‍රාණියෙක් නම් එවිට පිළිකා රෝගය සුව කිරීම ප්‍රාණ ඝාතයක් ද?
ගව පැටියා මරන ලද නිසා පුතාව මරණයට නියම කිරීම ප්‍රාණ ඝාතයක් නොවන්නේ ද?
පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසිදු අදහසක් නොවන බවත්, නිවන් ප්‍රාර්ථනා කිරීම ද බෞද්ධ අදහසක් නොවන බව කියා ඇත්තේ වල්පොළ රාහුල හිමියන් විසිනි.* මිනිසාට තම උවමනාවන් පිරිමසා ගැනීමට එකිනෙකා හා ගණුදෙනු කිරීමට සිද්ධ වූයේ යම් ලෙසකින් ශිෂ්ඨාචාරයක් පටන් ගත් දා සිට ය. මහජනතාවට උවමනා බඩු භාණ්ඩ ජාති භේද කිසිවක් නොසලකා වෙළඳාම් කරන අය කරන්නේ ‘පින්කමක්’ යැයි කිසිවෙක් නොකියති. ඒ එය ලාබයක් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නිසයි.
වෙළඳාම පින්කමක් නොවේ යැයි පිළිගන්නා අය, වෙළඳාමෙන් නොව අන් අයුරකින් මෙලොව දී ලාබයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් අසරණයෙකුට උදව්වක් කරන්නේ නම් එය පිරිසිදු අදහසක් යැයි පිළිගන්නේ ද නැත.
ඉතින් පරලොව සැප බලාපොරොත්තුවෙන් අසරණයෙකුට උදව්වක් කරන අයෙක් තුල ඇත්තේ ද පිරිසිදු අදහසක් නොවන බව රාහුල හිමි පෙන්වා දෙයි. මෙලොව වුවත් පරලොව වුවත් එවැනි බලාපොරොත්තුවක් තිබීම යනු ආත්මාශාවයි. මෙලොව දී යමක් කර පරලොවට ගෙන යන්නට දෙයක් හදා ගැනීම යනු ලබාගන්නට අදහස් කරන දේ කල්දැමීමකි. එය රාහුල හිමියන් සමාන කරන්නේ බැංකුවේ මුදල් තැන්පත් කොට පොලී සමඟ විශාල මුදලක් බලාපොරොත්තු වීම හා සමානව ය. (වර්තමානයේ බැංකු වලින් එහෙම බලාපොරොත්තු වෙන අය නැතිවීම වෙනත් කතාවකි!!!!)
ශික්ෂාපද රැකීම පිළිබඳව අදහස් දක්වන රාහුල හිමි යමෙක් සතුන් නොමරන්නේ සතුන් කෙරෙහි ඇති කරුණාව නිසා නොව තමාට සිදුවන පවට භයින් නම්, එහි උතුම් අදහසක් නැතැයි පෙන්වා දෙයි.
පව් මොනවා ද සහ පින් මොනවා ද යන්න තීරණය පුද්ගලයාට බාර කරන බුදුන් තමා කරන ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ යහපතක් නම්, යුතුකමක් නම් එවිට අපාය හෝ දිව්‍ය ලෝකය දැයි, නිවන් දැයි යන එම ක්‍රියාවේ ඵලය කුමක් දැයි නොසලකා කිරීම උත්තම ගතියක් යැයි පෙන්වා දී ඇත. තමාට කිසිත් පිනක් බලාපොරොත්තු නැතිව, අන්‍යයා කෙරෙහි කරුණාවෙන්, පිරිසිදු අදහසින් කරන ක්‍රියාවම ශ්‍රේෂ්ඨ පින්කම වෙයි.
තම ක්‍රියාව නිසා අනුන්ට යහපතක් වේ දැයි අයහපතක් වේ දැයි තීරණය බුද්ධාගමට අනුව තමන් සතු වූවකි. රටේ නීති අනුව අනුන්ට අයහපතක් වේ නම් එවැනි ක්‍රියාවට දඬුවම් ලැබීම ඒ ඒ කාලයට රටේ පැනවෙන නීති අනුව වෙයි.
රට වැසියන් සියළු දෙනා අතර සාමය ගැන සිතා මිසෙක පරලොව ගෙනියන පින් යැයි යම් පිරිසක් සලකන්නක් ගැන සිතා රටේ නීති හැදීමක් සිද්ධ විය යුතු ද?
මිනිසාව ශීලාචාර කරන්නේ දැනුම ද? නැත්නම් දඬුවම් ද? තමන් වැරදි යැයි තීරණය කරන ක්‍රියාවන් කළ වරදකරුවන්ට අනුන් ලවා දඬුවම් දීම තීරණය කරන්නේ ශීලාචාර අය ද?!!!!!!!
සාමාන්‍ය අයට තේරුම් ගැනීමට පහසුවන පරිදි සත්‍යය වෙනස් කළ නොහැකි යැයි පෙන්වා දෙන රාහුල හිමි සාමාන්‍ය මිනිසා විශේෂ තත්වයකට පැමිණි දාට සත්‍යය වැටහෙනවා ඇතැයි කියයි. කාටත් වැටහෙන පරිදි සත්‍යය කියන්නට යෑමෙන් බොහෝ අය අසත්‍යයක් ප්‍රකාශ කරති. සත්‍යය පවත්නා උසස් තත්වයට මිනිසා නැඟ ඒම දකිනු මිස, මිනිසා සිටින පහත් මට්ටමට සත්‍යය ගෙන ගියොත් එවිට ධර්මය නොව අධර්මයක් පැතිර යයි.
පඤ්ඤාවන්තස්සායං ධම්මෝ, නායං ධම්මො දුප්පඤ්ඤස්ස -මේ ධර්මය නුවණ ඇති අයට මිස නුවණ නැති අයට නොවේය යැයි බුදුන් වදාළ සේක.
*සියළු විස්තර විමලසේන හෑලෝගම ලියූ “පුරාතන ශ්‍රී ලංකාවේ අපරාධ, විනිශ්චය හා දඬුවම්” (2011) පොතෙනි.
*සත්‍යෝදය, වල්පොළ රාහුල (1996)
හොඳ කලා නිර්මාණය කරන්න -නීල් ගේමන්
ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ 2012 කලා උපාධි ප්‍රදානෝත්ස්වයේ දී ආරාධිත කතාව පැවැත්වූයේ නීල් ගේමන් නම් ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛකයා විසිනි. මෑතක දී අසන්නට ලැබුණු විශිෂ්ඨ දේශනයක් නිසා මෙහි ගොඩවදින පාඨකයන් සමඟ එය මෙසේ බෙදා ගන්නට සිතුවෙමි. ලොකු කුඩා කාහටත් රසවිඳින්නට හැකි අනගි ප්‍රබන්ධ රාශියක් ඔහු අතින් නිර්මාණය වී ඇත. මේ දේශනයේ කියන ආකාරයෙන් ම “හොඳ කලාව” ලොවට පිරිනමා ඇති ඔහුගේ කතන්දර පාඨකයාව අමුතුම ලෝකයකට කැඳවාගෙන යයි. පින්තූරයේ ලින්ක් එකට කෙටුවාම එය ඔහු ඉංග්‍රීසියෙන් කියූ අන්දමෙන් ම ඇසිය හැකියි.
*******
මැයි 17, 2012
“මම කවදාවත් ඇත්තටම හිතුවෙ නැහැ උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධි ලබන අයට මම අවවාද දෙන්න එන කෙනෙක් වේවි කියල. මම එහෙම ආයතනයකින් උපාධියක් ලබා නැහැ. මම එහෙම ආයතනයක ඉගෙනීමක් පටන් ගෙන ද නැහැ. මම පුලුවන් තරම් ඉක්මණට ඉස්කෝලෙන් පැනගත්තු කෙනෙක්. මට උවමනා පරිදි ලේඛකයෙක් වීමට කළින් බලහත්කාරයෙන් තවත් වසර හතරක් උගන්වන දේවල් ඉගෙන ගන්නට සිද්ධ වුනොත් ඒක පීඩනයක් විදියටයි මම දැක්කෙ.
මම ලෝකයට පිවිසුනා. මම ලිව්වා. වැඩියෙන් ලියද්දී මම වැඩියෙන් හොඳ ලේඛකයෙක් වුනා. ඉතින් මම තවත් ලිව්වා. කිසිවෙක් අමනාප වුනේ නැහැ මම මවා ලියන කතන්දර ගොතමින් එහෙම යන ගමනට. ඔවුන් මා ලියන දේ කියවලා මට ගෙව්වා. සමහර විට ගෙව්වෙ නැහැ. නිතර පාහේ ඔවුන් වෙනුවෙන් වෙනත් දෙයක් ලියන්න යැයි කියා ද මට ගෙව්වා.
ඒ නිසා මගේ යහළු මිත්‍රාදීන් සහ පවුලේ අයට, විශ්ව විද්‍යාලයට ගිය අයට, ඒ උසස් අධ්‍යාපන ආයතන ගැන තිබිච්ච ගෞරවය හා ළැදියාව නැති වී ගිහින් තිබුණට මට ඒ ගැන තවම එම අදහස් තවමත් ඉතිරි වෙලා තියෙනව.
ආපසු හැරී බලද්දී, මට සෑහෙන්න අපූර්ව ගමනක් එන්න ලැබිලා. මම ඒකට වෘත්තීයක් යැයි කියන්නෙ නැහැ. මොකද වෘත්තීයක් කිව්වොත් එයින් ගම්‍ය වෙන්නෙ මට යම් විදියක වෘත්තීමය මාර්ගයක් තිබුණ කියලයි. මට එහෙම එකක් තිබුනෙ නැහැ. ඒ ළඟින් යන දෙයක් හැටියට මට තිබ්බෙ මම වයස 15 දී හදපු ලැයිස්තුවක්. ඒකෙ තිබ්බෙ මට කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම: වැඩිහිටියන්ට නවකතාවක් ලියන එක, ළමයින් වෙනුවෙන් කතාවක් ලියන එක, කොමික් එකක්, චිත්‍රපටියක්, ශ්‍රව්‍ය පොතක් නිර්මාණය, ඩොක්ටර් හූ වැඩ සටහනකට තිර රචනය .. ඒ විදියේ දේවල්. මට වෘත්තීයක් තිබ්බෙ නැහැ. මම ලැයිස්තුවේ තිබුණ ඊ ළඟට කළ යුත්ත කළා.
ඉතින් මම හිතුව මම එහෙම පටන් ගනිද්දි දැනගෙන හිටියා නම් හොඳයි කියල හිතුණ දේවල් ඔක්කොම ගැන ඔබට කියන්න. ආපහු හැරිලා බලද්දී ඒවායෙන් ටිකක් මම දැනගෙන හිටියා කියල මට හිතෙනවා. ඒ වගේම මම මට ලැබිච්ච හොඳම උපදේශය, එනම් ඒ මම අනුගමනය කිරීම සම්පූර්ණයෙන්ම නොකළා වූව ගැනත් කියන්නම්.
මුලින් ම: කලා අංශයෙන් ඔබ වෘත්තියක් පටන් ගනිද්දී ඔබට කිසිත් අදහසක් නැහැ ඔබ කරන්නේ කුමක් දැයි කියා.
මේක ශ්‍රේෂ්ඨයි. තමන් කරන්නෙ මොකක්දැයි කියලා දන්න අය රීති දන්නවා. කරන්න පුලුවන් මොනවා ද කරන්න බැරි මොනවා ද කියල දන්නවා. ඔබ එය දන්නේ නැහැ. ඔබ එය දැන සිටිය යුතු ද නැහැ. කලා අංශයේ දී කරන්න පුලුවන් සහ කරන්න බැරි මොනවා ද යන්න ගැන රීති හදලා තියෙන්නෙ සීමාවන් ගැන සොයාලා බලලා නැති ඒවාට ඔබ්බෙන් ගිහින් නැති අය විසින්. ඉතින් ඔබට පුලුවන් සීමාවන් ඉක්මවා යන්න.
කරන්න කොහෙත්ම බැහැයි කියලා ඔබ දන්නෙ නැත්නම් එය ඔබට කරන්න පහසුයි. මීට කළින් කිසිම කෙනෙක් කරලා නැත්නම්, ඒ කියන්නෙ එය කිරීම නතර කරන්නට කිසිවෙක් තවම රීති හදලා ද නැහැ.
දෙවැනියට: ඔබට හදන්න අවශ්‍ය දෙයක් ගැන යම් අදහසක් තියෙනවා නම්, ලෝකෙට ඔබ ඇවිත් තියෙන්නෙ එය කරන්න නම්, එහෙනම් ගිහින් එය කරන්න.
කියනවාට වඩා යමක් කරන එක ඉතා දුෂ්කර කාර්යයක්. සමහර විට අවසානයේ දී ඔබ හිතුවාට වඩා ඉතා පහසු වූවක්. මන්ද සාමාන්‍යයෙන් ඔබ යන්න හිතන තැනට යා ගන්න කළින් ඔබ විසින් කළ යුතු දේවල් තියෙනවා. මට ඕනෑ වුනා කොමික් ලියන්න, නවකතා ලියන්න, කතන්දර සහ චිත්‍රපටි ලියන්න. ඉතින් මම පුවත්පත් කලාවේදියෙක් වූවා. පුවත්පත් කලාවේදීන්ට ඉඩක් ලැබෙනවා ප්‍රශ්න අහන්න, ලෝකය වැඩ කරන්නෙ කොහොම දැයි ගිහින් බලලා දැනගන්න. අනික මම කැමති දේවල් කරන්න නම් මම ලියන්න ඕනෑ, හොඳට ලියන්න ඕනෑ. සකසුරුවම් ලෙසින්, පැහැදිලිව, සමහර විට අයහපත් කොන්දේසි යටතේ හා කාලයට සීමා වෙලා මම ලියන්න ඉගෙන ගත්ත කාලයේ දී මට පඩි ලැබුනේ එහෙමයි.
සමහර අවස්ථාවල දී ඔබේ අදහස අනුව කරන හැටි කෙසේදැයි පැහැදිලිව පෙනෙනවා. ඒත් සමහර අවස්ථා වල දී නිවැරදි දේ කරනවා ද නැද්ද යන්න කිසිම ලෙසකින් තීරණය කර ගන්න නොහැකියි. තමන්ගෙ අභිමතාර්ථයන් හා ඉලක්කයන් එක්ක තමන්ගෙ ආහාරපාන පිරිමසා ගන්න, ණය ගෙවන්න, වැඩ හොයාගන්න, යනාදියත් අනුව ඔට්ටු අල්ලලා ලැබෙන දේවල් ගන්න සිද්ධ වෙනවා.
මට සමහර අවස්ථා වල දී උපකාර වුනේ මම ඉන්න ඕනෙ කොතැන ද යන්න හිතින් මවාගැනීමයි. ලේඛකයෙක්, මූලික වශයෙන් ප්‍රබන්ධ ලියන අයෙක්, හොඳ පොත් ලියන කෙනෙක්, හොඳ කොමික් හදන කෙනෙක්, මගේ වචන වලින් මගේ ජීවිකාව උපයන අයෙක් – ඒක කන්දක්. ඈතක තියෙන කන්දක්. මගේ අභිප්‍රාය.
මම දැනගෙන හිටියා ඒ කන්ද වෙත මම ගමන් කරන තාක් කල් මට වරදින්නෙ නැහැයි කියල. කරන්න ඕනෑ මොකක් ද කියලා කිසිම ලෙසකින් හිතාගන්න බැරි අවස්ථා වල දී මට නවතින්න පුලුවන්. මාව ගෙනියන්නෙ කන්ද දිහාට ද නැත්නම් කන්දෙන් වෙනත් පැත්තකට ද කියල කල්පනා කරන්න මට පුලුවන්. සඟරා වල සංස්කාරක රස්සාවල් වලට මම බැහැයි කිව්ව. සුදුසු පඩි ගෙවන සුදුසු රස්සා වලට එපා කිව්වෙ, ඒවා කොච්චර ආකර්ශණීය වූවත් මට ඒවායෙන් සිද්ධ වෙන්නෙ මගේ කන්ද වෙතින් වෙනතකට යාම බව මම දැනගෙන හිටිය නිසයි. ඒ රස්සාවල් ඊට කළින් ආවා නම් මම ඒවා බාරගන්න ඉඩ තිබුණ. කලින් ලැබුණා නම් ඒවා මම බාර ගන්න ඉඩ තිබුණ, මොකද ඒවා කලින් ලැබුණ නම් ඒවා මා යන්න අදහස් කරන කන්දට කිට්ටු වෙච්ච නිසා.
මම ලියන්න ඉගෙන ගත්තෙ ලියලා. රසවත් නුහුරු ගමනක් (adventure) යැයි දැනෙනවා නම් මම එහෙම දෙයක් බාරගත්ත. වැඩ කරනවා යැයි දැනෙද්දී මා එය නැවත්තුවා. ඒ නිසා ජීවිතයේ දී වැඩ කරනවා කියල මට දැනුනෙ නැහැ.
තුන්වැනියට: පටන් ගැනීමේ දී අසාර්ථකත්වයේ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. හැම උත්සාහයක් ම හරියන්නෙ නැහැයි කියල ඉගෙන ගන්න නම් නින්දා අපහාස වලින් කලබල නොවන සිතක් තියෙන්න ඕනෑ. කලා ජීවිතය, ස්වාධීන රස්සාවල් කරන ජීවිතය, හරියට හුදකලා දූපතක සිට බෝතල් වලට පණිවුඩ ඇතුල් කර යවනවා වගෙයි. කාට හරි ඔයාගෙ බෝතලේ හමුවෙලා, ඒක ඇරලා කියවලා බලලා බෝතලේට මොනවා හරි දාලා ආපහු ගහාගෙන ඔබ වෙත ඒවි කියන අපේක්ෂාවෙන් ඉන්නවා වගේ. ඒ ආපහු ලැබෙන දේ අගය කිරීමක් වෙන්න පුලුවන්, යමක් නිර්මාණයට කරන ගෙවීමක් වෙන්න පුලුවන්, මුදල් වෙන්න පුලුවන් නැත්නම් ආදරය වෙන්න පුලුවන්. ආපහු එන හැම බෝතලයක් වෙනුවෙන් සියයක් දේවල් පා කරලා යවන්න ඕනෑ කියන එක ඔබට පිළිගන්න සිද්ධ වෙනවා.
අසාර්ථකත්වයේ ගැටළු යනු අධෛර්යය, බලාපොරොත්තු සුන්වීම, බඩගින්න යනාදියේ ගැටළු. ඔබට ඕනෑ ඔක්කොම මේ දැන් ඉටුකර ගැනීමයි. ඒත් වැරදෙන අවස්ථා තියෙනවා. මගේ පළමු පොත -මුදල් වලට ලියපු එකක්, මට ඇඩ්වාන්ස් එකක් හැටියට ලැබිච්ච සල්ලි වලින් ඉලෙක්ට්‍රොනික් ටයිප් රයිටරයක් ගන්න ලැබිච්ච අවස්ථාව- ඒක වැඩියෙන්ම අලෙවි වූව විය යුතු වුනා. ඒකෙන් මට ගොඩක් සල්ලි ලැබිය යුතු වුනා. ඒත් ප්‍රකාශකයා පළමු මුද්‍රණය අලෙවි වූ සැණින් දෙවැනි මුද්‍රණයට පෙර ඔහුගේ උවමනාවට නොව සමාගම විසුරුවා හැරියා. ඒ මට කිසිම පුරස්කාර (royalties) ගෙවන්න කළින්. එහෙම සිද්ධ වුනේ නැත්නම් එය වැඩියෙන් ම අලෙවි වූ මගේ උත්සාහය වෙනවා.
මම දෙවුර හකුළල, මගේ ඉලෙක්ට්‍රොනික් ටයිප් රයිටරේ සමඟ, මාස කිහිපයකට ගෙවන්න හැකි කුලී අතැතිව, තීරණය කළා අනාගතයේ දී මුදල් වලට පමණක් පොත් ලියන්නෙ නැහැ කියල. මොකද එවිට මුදල් ලැබුනේ නැත්නම් කිසිත් ලැබෙන්නෙ නැති නිසා. මට ආඩම්බර වෙන්න පුලුවන් දේවල් ලිව්වොත්, එතකොට මට සල්ලි ලැබුනෙ නැත්නම් එතකොට අඩු ගානේ මට ඒ නිර්මාණ වත් ඉතිරි වේවි.
ඉඳ හිටලා මට මේ රීතිය අමතක වෙනවා. එහෙම අමතක වෙනකොට විශ්වය මට හොඳ පාරක් ගහලා ඒක මට මතක් කරනවා. මේක අනෙක් අයට ද බලපාන දෙයක් දැයි මම දන්නෙ නැහැ. ඒත් මට නම් මුදල් වෙනුවෙන් පමණක් කළ කිසිම කටයුත්තකින් ලැබුණු ඵලයක් නැහැ. ලැබුනෙ කටුක අත්දැකීමක් විතරයි. බොහෝ දුරට මට ලැබෙන්න තිබිච්ච මුදල් පවා ලැබුනේ ද නැහැ. මා තුල හටගත් උද්‍යෝගය නිසා සත්‍ය ලෝකයේ ඒ නිර්මාණ දකින්නට මා හට උවමනා වූ නිසා මම කළ කාර්යයන් වලින් කිසිදාක මම ඊට යොදවපු කාලය ගැන පසුතැවිලි වූයේ නැහැ.
අසාර්ථකත්වයේ ගැටළු ඉතා දරුණුයි.
ඒත් සාර්ථකත්වයේ ගැටළු ඊටත් වඩා දරුණු වෙන්න පුලුවන්, මොකද කිසිවෙක් ඔබට ඒ ගැන අනතුරු දක්වන්නේ නැති නිසා.
යාන්තමින් හෝ සාර්ථකත්වයක් අත්වීමේ ගැටළු අතර පළමු වැන්න තමයි යම් දෙයක් කරලා ගැලවෙන්න ලැබුණා යැයි තමන් සිතීම. ඒක කුමන මොහොතක හෝ හෙළිවේවි යැයි සිතීම. අන්‍යයෙකු ලෙසින් පෙනී සිටින (වාට්ටාඩියා) සින්ඩ්‍රොම් එක, ඒකට මගේ බිරිඳ දාලා තියෙන නම තමයි වංචා පොලීසිය.
මම විශ්වාස කළා දොරට තට්ටු කරන හඬක් මට ඇහේවි කියලා, ක්ලිප් බෝඩ් එකක් අතින් ගත්තු (මම දන්නෑ මගේ ඔළුවේ එහෙම පින්තුරයක් ඇඳුනේ ඇයි කියලා, ඒත් එයාගේ අතේ ක්ලිප් බෝඩ් එකක් තිබ්බ) මිනිහෙක් ඇවිත් මට කියාවි කියලා ඔක්කොම ඉවරයි, එයාල මාව හොයාගත්ත, දැන් ගිහින් මට ඇත්ත රස්සාවක් හොයාගන්න වෙනවා, හිතෙන් හදන නිර්මාණ ලියන රස්සාව අත්හරින්න වෙනවා කියල. මට කැමති පොත් කියවන්න මට ලැබෙන රස්සාව අත්හරින්න වෙනවා කියල. එතකොට මට නිහඬව ගිහින් මවා ලියන නිර්මාණ නොකරන රස්සාවක් කරන්න වෙයි කියල.
සාර්ථකත්වයේ ගැටළු සත්‍යයක්. වාසනාව ඇත්නම් ඔබටත් එය අත්දකින්න ලැබේවි. හැම දෙයකටම හා කියල කියන එක නවත්වන අවස්ථාව පැමිණීම. මොකද දැන් ඔබ විසි කරන බෝතල් ඔක්කොමට පිළිතුරු ආපහු එන්න පටන් ගෙන. ඉතින් බැහැයි කියන්න ඉගෙන ගන්න වෙනවා.
මා හා සමාන අය, මගේ හිතවතුන්, මට වඩා වයසින් වැඩි අය දිහා මම බලද්දී මම දකිනවා ඔවුන් අතර සමහර අය කොතරම් දොම්නසින් ඉන්නවා ද කියල. හැමදාම කරන්න උවමනාවක් තිබිච්ච දේවල් තව දුරටත් කරමින් ඉන්න ලෝකයක් ගැන ඔවුන්ට හිතාගන්න බැහැයි කියල ඔවුන් කියනවා. මොකද දැන් හැම මාසයකටම ඔවුන්ට යම් මුදලක් හොයාගන්න සිද්ධ වෙලා ඒ ඔවුන් ඉන්නා තත්වයේ සිටින්නට. ඔවුන්ට අවශ්‍ය දේවල්, වැඩියෙන්ම සිතට සතුටක් ලැබෙන දේවල් කරන්නට යන්නට ඔවුනට දැන් වේලාවක් නැතිව ගිහින්. මේක දැනෙන්නෙ ඕනෑම අසාර්ථකත්වයේ ගැටළුවක ඛේදවාචකයක් හා සමානව.
ඊ ළඟට ඇති සාර්ථකත්වයේ ලොකුව ගැටළුව තමයි, ඔබ සාර්ථකත්වය අත් කරගත් නිසා දැන් ලෝකය ඔබ කරන දෙය නවත්වන්නට ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම. දවසක් මම බලද්දී මට වැටහුනා මම වෙනස් වෙලා කියල. මම වෘත්තීමය වශයෙන් ඊමේල් වලට උත්තර ලියන කෙනෙක් වෙලා, මම විනෝදාංශයක් ලෙසින් රචනා ලියන්නෙක් වෙලා. ඉතින් මම අඩුවෙන් ඊමේල් වලට උත්තර දෙන්න පටන් ගත්ත. එතකොට රචනය වැඩියෙන් කරනවා යැයි දැකීමෙන් මට සහනයක් ලැබුණ.
හතරවැනියට, මම බලාපොරොත්තු වෙනවා ඔබ වැරදි කරාවි කියල. ඔබ වැරදි කරනවා නම් ඒ කියන්නේ ඔයා ලෝකයට ගිහින් කුමක් හෝ කරනවා කියලයි. වැරදීම් තුල ප්‍රයෝජනවත් බවක් තියෙනවා. වරක් මම ලිපියක කැරොලින් ලිව්වෙ අකුරු වැරදියට. ඒ සහ ඕ අකුරු දෙක වැරදියට දාලා. ඊට පස්සෙ මම හිතුවා, ”කොරලින් හරියට සත්‍ය නමක් වගේ කියල.”
මතක තියාගන්න ඔබ කුමන ක්ෂේත්‍රයක සිටියත්, ඔබ සංගීතඥයෙක්, ඡායාරූප ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක් හෝ කාටූන් ශිල්පියෙක්, රචකයෙක්, නැටුම් ශිල්පියෙක්, මෝස්තර ශිල්පියෙක්, යනාදී කුමක් කළත්, ඔබ කරන්න ඕනෑ සුවිශේෂී වූවක්. ඔබට හැකියාව තියෙනවා හොඳ කලාව නිර්මාණයට.
ඉතින් මට, සහ මම හඳුනන බොහෝ අයට, මේක ජීවිතය බේරාගැනීමට හැකි වූවක්. අවසාන වශයෙන් ජීවිතය බේරාගන්නට හැකිවූවක්. එය ඔබව හොඳ කාලයන් හි දී ගෙන යන්නට සමත් වෙනවා වගේ ම අනිත් කාලයන් තුලින් ගෙන යන්නට ද සමත් වෙනවා.
ජීවිතය කියන්නෙ සමහර අවස්ථාවල දී දුෂ්කර වූවක්. නොහිතන දේවල් සිද්ධ වෙනවා. ජීවිතයේ, ආදරයේ, ව්‍යාපාරයේ සහ මිත්‍රත්වයේ සහ සෞඛ්‍යයේ සහ තවත් අනේක ලෙසකින් ජීවිතයට බලපාන ලෙසින් වැරදෙන අවස්ථා තියෙවෙනවා. ජීවිතය ගෙන යාම දුෂ්කර වෙද්දී මේකයි ඔබ කරන්න අවශ්‍ය.
හොඳ කලා නිර්මාණය කරන්න.
මම සිරීයස්ලි මෙහෙම කියන්නෙ. මහත්තයා දේශපාලනඥයෙක් එක්ක පැනලා ගියා? හොඳ කලා නිර්මාණය කරන්න. වෙනසට භාජනය කරන ලද පිඹුරෙක් කකුල කුඩු කරලා කෑවා? හොඳ කලා නිර්මාණය කරන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබ හඹා එනවා? හොඳ කලා නිර්මාණය කරන්න. පූසා පුපුරා ගියා? හොඳ කලා නිර්මාණය කරන්න. අන්තර්ජාලයේ කවුරු හරි කෙනෙක් හිතනවා ඔබ කරන දේ මෝඩයි, පාපකාරීයි, ඒවා කළින් කරලා තියෙනවා? හොඳ කලා නිර්මාණය කරන්න. කොහොම හරි ඔක්කොම නිසි ලෙස සිද්ධ වේවි. කාලයාගේ ඇවෑමෙන් රිදිල්ල අඩුවේවි, ඒත් ඒක ගාණක් නැහැ. මොකද ඔබට පමණක් කළ හැකි හොඳම දේ කරන්නෙ. හොඳ කලා නිර්මාණය කරන්න.
වැඩ හොඳට සිද්ධ වේගන යන දවස් වල දී ද හොඳ කලා නිර්මාණය කරන්න.
පස්වැනියට, එහෙම කරගෙන යද්දී, ඔබේ කලා නිර්මාණය කරන්න. ඔබට පමණක් කළ හැකි වූව කරන්න.
පටන් ගනිද්දී පෙළඹෙන්නෙ කොපි කරන්න. ඒක නරක දෙයක් නෙමෙයි. අපි බොහෝ දෙනෙකුට අපේ හඬ කුමක් දැයි සොයාගන්නට ලැබෙන්නෙ බොහෝ දුරට අනුන් විදියට හඬ නැඟීමෙන් පසුවයි. ඒත් අනිත් අයට නැති ඔබට පමණක් ඇති එකම දේ තමයි ඔබ. ඔබේ හඬ, ඔබේ මනස, ඔබේ කතාව, ඔබේ දෘශ්ටිය. ඉතින් ලියන්න, අඳින්න, ගොඩනඟන්න, සෙල්ලම් කරන්න, නටන්න, ඔබට පමණක් පුලුවන් විදියට ජීවත්වන්න.
වීදිය දිගේ නිරුවතින් ඇවිදගෙන යනවා යැයි ඔබට දැනෙන අවස්ථාව, ඔබේ හෘදයේ සහ ඔබේ මනසේ අඩංගු දේවල් වලට වඩා වැඩියෙන් පිටතට පෙන්නනවා යැයි දැනෙන අවස්ථාව, ඔබ ගැන වැඩියෙන් පිටතට පෙන්වනවා යැයි දැනෙන අවස්ථාව, අන්න ඒ මොහොත තමයි ඔබේ වෑයම හරි යන්නට පටන් ගත්තු අවස්ථාව.
මා කළ කටයුතු වලින් මට වැඩියෙන්ම සාර්ථකත්වය අත්වුන කටයුතු මම අඩුවෙන් ම විශ්වාසයක් තැබු ඒවා. සිතූ පරිදි හරියාවි යැයි අපේක්ෂාවෙන් කළ මගේ නිර්මාණ, කාලයේ අවසානය දක්වා මිනිස්සු එකතු වෙලා කතාකරන මට ලැජ්ජා වෙන්න හිතෙන අසාර්ථකත්වයන් යැයි මම සැලකූ ඒවා වැඩියෙන්ම සාර්ථක වූ දේවල්. ඒ සියල්ල තුලින් දිව ගිය එක දෙය තමයි ඒ, ආපහු හැරිලා බලද්දී, මිනිස්සු පහදනවා ඇයි ඒවා අනිවාර්යෙන්ම සාර්ථක වූයේ කියල. මම ඒවා කරද්දී මට කිසිම අදහසක් තිබුනෙ නැහැ.
මට එය තාමත් ලැබිලා නැහැ. නිශ්චිතවම හරියනවා යැයි සිතන දෙයක නිරත වීමෙන් ලැබෙන සතුටක් තියෙනවා ද?
සමහර අවස්ථාවල දී මම කරපු දේවල් හරිගියේ නැහැ. නැවතත් පළ නොවෙච්ච මම ලියපු කතන්දර තියෙනවා. සමහර ඒවා ගෙදරින් පිටතට ගියෙ නැහැ. ඒත් හරිගිය දේවල් වගේම වැරදිච්ච දේවල් වලින් ද මම එක හා සමානව ඉගෙන ගත්තා.
හයවැනියට, ස්වාධීන අයෙක් ලෙසින් මට ඇති රහසිගත දැනුමක් මම බෙදාගන්නම්. රහස් දැනුම හැම විටම හොඳයි. අනිත් අය වෙනුවෙන් කලා නිර්මාණ හදන්න හිතන ඕනෑම කෙනෙකුට එය ප්‍රයෝජනවත් වේවි. ස්වාධීන ලෙසින් ඕනෑම ක්ෂේත්‍රයකට පිවිසෙන්නට අදහස් කරන අයට. මම ඒක ඉගෙන ගත්තෙ කොමික් නිර්මාණයේ දී. ඒත් ඒක අනෙක් ක්ෂේත්‍ර වලටත් අනුචිත වූවක්. එනම්:
ජනතාවට රස්සාවක් ලැබෙන්නෙ, කොහොම හරි විදියකින්, ඔවුන්ට රස්සාවක් ලැබෙන නිසා. එදා මම කළේ අද මේ කාලයේ දී නම් පහසුවෙන් සොයාගෙන මාව අමාරුවේ වැටෙන්න පුලුවන් වෙච්ච වැඩක්. මම පටන් ගනිද්දී, අන්තර්ජාලයට පෙර කාලයේ දී, ඒක හොඳ සිහියෙන් කරන වෘත්තීමය උපායක් ලෙසට පෙනුන. කර්තෘවරුන් මගෙන් අහද්දී මා කළින් කරලා තියෙන වැඩ ගැන, මම බොරු කිව්වා. විශ්වාසයෙන් පිරුණු හඬකින් මම සඟරා ලැයිස්තුවක් නම් කළා. මට රස්සාවල් ලැබුණ. ඊට පස්සෙ මගෙ නම්බුව තියාගන්න මම ඒ පළමු රස්සාව ගන්න කියපු සඟරා ලැයිස්තුවේ හැම එකක් වෙනුවෙන් ම කුමක් හෝ ලියන්න අදිටන් කරගෙන එය ඉටු කළා. ඉතින් මම ඇත්තටම බොරු කියලා නැහැ, මම කාල පිළිවෙල ගැන අමතක කරලා විතරයි… ඔබ රස්සාවක් හොයාගන්නෙ ඔබ රස්සාවක් හොයාගන්න කෙසේ හෝ විදියකින්.
මිනිස්සු රස්සාවල් කරනවා, ස්වාධීන රස්සාවල් ඇති ලෝකයක, අද එන්න එන්නම ලෝකයේ බොහෝ පිරිසක් ස්වාධීන රස්සාවල් කරන අය. මොකද එයාලගේ වැඩ හොඳයි. මොකද ඒ අය එක්ක වැඩ කරන්න පහසුයි. මොකද ඒ අය වේලාවට වැඩේ ඉවර කරන අය. ඒත් ඔබට ඒ තුනම අවශ්‍ය නැහැ. තුනෙන් දෙකක් ප්‍රමාණවත්. ඔබේ වැඩ හොඳ නම්, ඔබ වේලාවට ඉවර කරලා දෙනවා නම් එවිට ඔබ කොපමණ අප්‍රසන්න අයෙක් වුවත් ඒක ඔවුන් ඉවසා දරාගනීවි. ඔබට කැමති නම්, වැඩ හොඳ නම් ඔබ ප්‍රමාද වුනාට ඒකට සමාව දේවි. ඔබ හා කටයුතු කිරීම ප්‍රසන්න නම් සහ ඔබ නියම වේලාවට වැඩේ ඉවර කරලා දෙනවා නම් ඔබේ වැඩ අනෙක් අය තරම්ම හොඳ නොවුනට කමක් නැහැ.
මේ දේශනය පවත්වන්න යැයි මට ආරාධනය ලැබුනම, මම කල්පනා කරලා බැලුවා මට ලැබිලා තියෙන හොඳම උපදේශය කුමක් ද කියා.
වසර විස්සකට පෙර ස්ටීවන් කින්ග් වෙතින් තමයි මට ඒ උපදේශය ලැබුනෙ. මගේ සෑන්ඩ්මෑන් කෘතියේ සාර්ථකත්වයේ ඉහළම මුදුනක ඉන්න අවස්ථාවේ. මිනිස්සු ආසා වෙච්ච දැඩි සේ පිළිගත්ත කොමික් එකක් මම ලියමින් සිටියෙ. මගේ සෑන්ඩ්මෑන් සහ මම ටෙරී ප්‍රැචට් එක්ක ලියපු “හොඳ පෙරනිමිති” (Good Omens) පොත කියවලා කින්ග් ඒවාට කැමති වෙලා හිටියෙ. ඒවාට ලැබිච්ච ප්‍රතිචාරය, පිස්සු හැදිලා වගේ මිනිස්සු පොරකන හැටි, පොත් අත්සන් කරන්න තිබිච්ච දිග පෝලිම් එහෙම දැක්ක කින්ග් මට අවවාදයක් දුන්න.
“මේක අති විශිෂ්ඨයි. ඔබ එය රසවිඳිය යුතුයි.”
ඒත් මම ඒක කළේ නැහැ. මට ලැබිච්ච අනගිතම උපදේසය මම නොසලකා හැරියා. ඒ වෙනුවට මගේ සාර්ථකත්වය ගැන මම සිත් කරදර ඇති කරගත්ත. ඊ ළඟ නිර්මාණය බාර දිය යුතු නියමිත කාලය, ඊ ළඟ අදහස, ඊ ළඟ කතාව. ඒ කාලේ පටන් වසර 14 ක් 15 ක් යනතුරා මගේ ඔළුවේ යමක් ලියන එක, ලියන්න යමක් ගැන හිතන එක මම නැවැත්තුවේ නැහැ. මම නැවතිලා වටපිට බලලා කිව්වෙ නැහැ, මේක හරි සතුටක් කියලා. ඒ දවස්වල සාර්ථකත්වය රසවින්ඳා නම් හොඳැයි කියලා දැන් මට හිතෙනවා. ඒක අපූර්ව සහගත කාලයක්. ඒත් එහි සමහර දේවල් මට අතපසු වුනා. මොකද මගේ සිත වැඩියෙන් යොමු වුනේ වැරදෙන්න පුලුවන් කොතැන ද, ඊ ළඟට කළ යුත්ත කුමක් ද කියන එකට මිසක් මට ලැබිලා තිබිච්ච සාර්ථකත්වයට නෙමෙයි.
ඒක තමයි මට ඉගෙන ගන්න සිද්ධ වෙච්ච අපහසුතම පාඩම. ලැබිලා තියෙන සාර්ථකත්වය රසවිඳින්න, එවිට ඒ සාර්ථකත්වය ඔබව අරුම පුදුම සහ අනපේක්ෂිත තැන් වලට ගෙන යාවි.
ඉතින් මෙතැන, මේ වේදිකාව, අද, අන්න එහෙම තැනක්. (මම ඉතා දැඩි ලෙසින් මෙය රසවිඳිනවා.) මම ඒක වරහන් ඇතුලේ ලියාගෙනයි ආවේ එහෙම නැත්නම් නොකියා ඉන්න.
අද උපාධිය ලබන සියළු දෙනා වෙත මම වාසනාව පතනවා. වාසනාව ඉතා ප්‍රයෝජනවත් වූවක්. නිරන්තරයෙන් ඔබ සොයා ගනීවි වැඩියෙන් මහන්සි වුනාම, බුද්ධිමත් ලෙසින් වැඩ කලාම, ඔබේ වාසනාවත් වැඩිවෙන බව. වාසනාව කියා දෙයක් තියෙනවා. එය උදව්වට එනවා.
අපි දැන් ඉන්නෙ වෙනස් වෙන ලෝකයක. ඔබ ඉන්නෙ කුමන කලා ක්ෂේත්‍රයක වුවත්, අද බෙදාහැරීමේ ස්වභාවය වෙනස් වෙමින් පවතින්නක්. නිර්මාණකරුවන් තම කෘති ලෝකයට පිරිනැමූ ආකාරය සහ එයින් හිසට වහලක් සහ සැන්විචස් මිල දී ගන්න හැකියාව ලැබිච්ච ආකාරය වෙනස් වෙන කාලයක්. පොත් ප්‍රකාශන, අලෙවි යන සියලු අංශ වල ඉහළම ඉන්න අය එක්ක මම කතාබහ කරලා තියෙනවා. ඒ කිසිවෙක් දන්නේ නැහැ දශකයක් කෙසේ වෙතත්, තව වසර දෙකකින් කොහොම වේවි ද කියල. මුද්‍රිත, දෘශ්‍ය කලාකරුවන්ට සහ සංගීතඥයන්ට, සියලුම නිර්මාණශීලී ජනතාවට ඔවුන් පසුගිය ශතකයේ ඉදි කරන ලද බෙදාහැරීමේ මාර්ග අද වෙනස් වෙමින් පවතින්නක්.
එක අතකින් ඒක බිය උපදවන සුළුයි, අනෙක් අතින් ඒක ඉතා ප්‍රබල ලෙසින් නිදහසක් ලබා දෙනවා. රීති, අභ්‍යූපගමනයන්, ඔබේ නිර්මාණය අනුන්ට පිළිගැන්වීමට අද අපි කළ යුත්ත, ඊට පසුව කළ යුත්ත, යනාදිය කඩාවැටෙමින් තිබෙන යුගයක්. ගේට්ටු පාලකයන් ගේට්ටු අත්හැර දමා යන කාලයක්. ඔබේ නිර්මාණ ලෝකයාට පිරිනමන්නට ඔබට හැකි තරමකින් නිර්මාණශීලී වෙන්නට අවස්ථාවක් ලැබෙන කාලයක්. යූටියුබ් සහ අන්තර්ජාලය (සහ යූටියුබ් සහ අන්තර්ජාලයට පසුව එන කුමක් හෝ වෙත් ද) යනාදිය කිසිම වෙනත් කාලයක දී රූපවාහිනියට නොහැකි වූ ලෙසකින් මිනිස්සු නරඹන්නට ඔබට අවස්ථාව දීලා තියෙනවා. පරණ රීති කඩා වැටෙමින් පවතින කාලයේ කවුරුත් දන්නෙ නැහැ අලුත් රීති මොනවා ද කියල.
ඉතින් ඔබේ රීති හදා ගන්න.
කෙනෙක් ඇහුවා මගෙන් ඇයට අපහසු යැයි වූ කාර්යයක් කරන්නෙ කොහොම ද කියල. ඇයට අපහසු වූව තමයි ශ්‍රව්‍ය පොතක් කියැවීම. මම යෝජනා කළා ඇයට එය කළ හැකි අයෙක් ලෙසින් අඟවන්න කියලා. එය කරනවා කියල ඇඟවීම නෙමෙයි. එය කරන්නට හැකි අයෙක් ලෙසින් ඇඟවීම. ඇය එහෙම ලියපු නිවේදනයක් ස්ටුඩියෝ එකේ බිත්තියේ දැම්මට පස්සෙ ඇය කීවේ ඒක උදව් වුනා කියල.
ඉතින් බුද්ධිමත් වෙන්න. මොකද ලෝකයට තවත් බුද්ධිමත් බව අවශ්‍යයයි. ඉතින් ඔබට බුද්ධිමත් වෙන්න බැරි නම්, බුද්ධිමත් අයෙක් හැටියට අඟවන්න. ඊට පස්සෙ ඒ බුද්ධිමත් අය ලෙසින් ඔබත් හැසිරෙන්න.
ඉතින් දැන් යන්න, ප්‍රයෝජනවත් වැරදි කරන්න, අපූර්ව වැරදි කරන්න, සම්මානනීය සහ අරුම පුදුම සහගත වැරදි කරන්න. රීති කඩන්න. ඔබ මෙහි සිටිය නිසා ලෝකය වෙනුවෙන් සිත්ගන්නා දේවල් ඉතිරි කරලා යන්න. හොඳ කලා නිර්මාණය කරන්න.
චීන ඇමෙරිකන් ජනාධිපති හමුව නිමිත්තෙන් චීන මුතු ඇට මාලය ගැන සටහනක්
“පෙරදිග මුතු ඇටයයි මේ ..
ලෝකේ ..
සිරි බර ශ්‍රී ලංකා …” යැයි ගයන්නේ ලතා වල්පොල විසිනි.
චීන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වරායන් ලෝකය පුරා ඉදිකිරීම “මුතු ඇට මාලය” යැයි දැක්වීම භූගෝලීය දේශපාලනමය සංකල්පයක් ලෙසින් ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගෙනෙන ලද්දකි. ඇමෙරිකාව ගහන ලද මේ ලේබලය ගැන කිසිම විටෙක චීනයේ නිල වශයෙන් සඳහනක් කිසිවෙකුත් හෝ නොකළ ද ඉන්දියාවේ ජන මාධ්‍යයන් විසින් “මුතු ඇට මාලය” ගැන අදහස් දක්වා ඇත.
“මුතු ඇට මාලයක්” චීනය හදන්නේ හමුදාමය මෙහෙයුමකින් ලෝකයේ ආධිපත්‍යය අල්ලා ගන්නට යැයි අදහස පිළිගන්නට බොහෝ දෙනෙක් අකමැති වූහ. චීන ඉතිහාසය දැඩි වශයෙන් ආක්‍රමණශීලී නොවීම ඊට ප්‍රධාන හේතුවකි. අනෙක බිලියනයක් ඉක්මවන චීන ජනතාවගේ උවමනාවන් නොසලකා හැරීමෙන් ඇතුලත ගිනි ඇවිලී ආණ්ඩුවේ බලයට තර්ජනයක් ඇතිවීම සමාජ හා ආර්ථික ක්‍රමය වෙනස් කරගෙන යන කාලයේ දී ඔවුන් මුහුණ පාන දැඩි අවදානමකි. ඒ නිසා මෙය ලෝක ආධිපත්‍යයක් සොයනවා වෙනුවට ඔවුන්ට තමන්ගේ රටේ සාමය වඩා වැදගත් යුගයකි.
ගෝලීය ආර්ථික අවපාතය වැඩි වශයෙන් බලපෑම් කර ඇත්තේ කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයෙන් ඉවත් වී නැඟිටින්නට හදන චීනයටයි. චීන නිමි භාණ්ඩ වලින් බොහොමයක් පරිභෝජනය කළ ඇමෙරිකාව එන්න එන්නම සමස්ත බඩු මිල දී ගැනීම අඩුකරන බවක් පෙන්වයි. එක පැත්තකින් ඇමෙරිකාවේ රස්සාවල් චීනයට ගිය නිසා බඩු මිල දී ගත හැකියාව ද අඩු වී ගියා යැයි කියනු හැකියි. අනෙක් පැත්තෙන් රටේ ඉතිරි වුන නිෂ්පාදකයන්ගේ බදු ඉහළ ගිය නිසා සහ සෞඛ්‍ය පනත ගෙන ඒම නිසා අලුත් රස්සාවල් බිහිවීම ද අඩුවීමයි. ඒ තත්වයන් වෙනස් වෙන තුරු ඇමෙරිකාව විසින් 90 ගණන් මුල දී කළ පරිභෝජන මට්ටම් වලට යළි ඉක්මණින් පිවිසෙන්නට හැකියාවක් නැත.
බදු පහළ දැමීම සහ සෞඛ්‍ය පනත අහෝසිය ඇමෙරිකන් ආණ්ඩුව ලවා කරගත යුතු කාර්ය භාරයකි. නිමි භාණ්ඩ නිපැදවීම වෙනුවට නව ක්ෂේත්‍රයන්හි රස්සාවල් බිහි කිරීම ඇමෙරිකන් ව්‍යවසායකයන් සතු කාර්ය භාරයකි. ඇපල් කොම්පැණිය වැනි නවෝත්පාදනයේ පුරෝගාමීන් ඊට පිවිසීම දැනටමත් සිද්ධ වෙයි. එහෙත් ඇමෙරිකන් පාරිභෝගිකයා නම් තවත් දශයකයක් පමණ වත් ගෙවෙන තුරා 90 ගණන් මුල දී ලෙසින් අත දිග හැර පරිභෝජනයේ යෙදෙන්නට පටන් ගන්නා බවක් රටේ දකින්නට නොහැකියි.
සියෑටල් නගරයේ ද කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් හි ද චීන ආයෝජන වලින් ඉදි වූ වරායන් වලින් චීන මුතු ඇට මාලය සකස් වෙද්දී ඒ වරායන් වලින් ප්‍රවාහනය වන භාණ්ඩ ප්‍රමාණයන් අඩුවීම නිසා ඔවුනට තරඟකාරී ලෙසින් ආදායම් උපයත හැකියාව ද අඩු වී යයි.
ආසියාවේ ආර්ථිකයන් නංවා ලීමේ වෑයම ආසියානු රටවල් ඇතුලත වානිජ්‍යය තුලින් සිද්ධ වෙන්නට නම් ආසියාවේ ආණ්ඩු ක්‍රමයන් ඉතා ඉක්මණින් සම්භව්‍ය ලිබරල්වාදී විය යුතුයි. එහෙත් එහෙම උත්සාහයක් යාන්තමෙන් හෝ සිද්ධ වෙන්නට පටන් ගෙන ඇත්තේ ඉන්දියාවේ පමණකි.
රටක ආර්ථිකයක් නැඟිටින තුරු ලෝකය නැවතී නොසිටියි.
පුද්ගලික අංශයක් යැයි නම් වූවක් ස්ථාපිතයට වෙරක් දරන චීනයේ පුද්ගලික ව්‍යවසායකයන්ට චීන ආණ්ඩුව විසින් කරන ‘හැකින්’ නිසා සිද්ධ වන්නේ සෙසු ලෝක ව්‍යවසායකයන්ගේ දැඩි අප්‍රසාදයට මුහුණ දෙන්නටයි.
උතුරුකරයේ මුහුදු මාර්ගය යනු ආක්ටික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා රුසියාව පැත්තෙන් බැරෙන්ට්ස් මුහුද සහ සයිබීරියාව පැත්තෙන් ගමන් කරන මුහුදු මාර්ගයකි. ගෝලීය උණුසුම සමඟින් දියවෙන අයිස් කුට්ටි නිසාත්, නව තාක්ෂණික සහාය ලැබීම නිසාත් මාස දෙකක් පමණක් ගමනාගමනයට හැකි වූ මෙම මාර්ගය අනාගතයේ දී ඊට වඩා කාලයක් තුල දී පාවිච්චියට ගත හැකි යැයි හඳුනා ගෙන තිබේ.
චීන මුතු ඇට මාලය මුහුදු කොල්ලකරුවන් ඉන්නා රටවල් ළඟින් නිමැවෙද්දී අයිස් කුට්ටි මැදින් තරණයට 1728 ගණන් සිට සමත් වූවන් වඩා ඉක්මණින් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරයට යන්නට කෙටි මාර්ගයක් පිහිටුවා ගැනීම වෙනස්වන තත්වයකි. එසේම මැද පෙරදිග තෙල් මිල දී නොගෙන ඇමෙරිකාවට තමන්ගේ ම ෂේල් නිධි වලින් තෙල් අඩු මිලට සපයා ගැනීමට හැකිවීම ද නුදුරු අනාගතයක දී වෙනස්වන තත්වයකි. ඇමෙරිකාවෙන් සහ රුසියාවෙන් ඛනිජ සම්පත් ඉහළින් යන ආක්ටික් කෙටි මාර්ගයෙන් අප්‍රිකාව මඟහැර ජපානය වැනි රටවල් වලට පටවන්නට හැකි වීමත් වෙනස් වන තත්වයකි.
යම් ව්‍යාපාර කටයුත්තක සාර්ථකත්වය රඳන්නේ අනාගතයේ වෙනස්විය හැකි කරුණු කාරණා බොහොමයක් මතයි. ස්ටීව් ජොබ්ස් ඇතුළු සගයන් ටික දෙනෙක් පටන් ගත්තු NeXT පරිගණක කොම්පැණියේ ඔවුන්ගේ ඉලක්කයන් වූයේ නුදුරු අනාගතය මත පදනම් වූ ඒවා පමණයි. ඉතා සාර්ථක ලෙසින් වෙළඳපොලට බලපෑමක් කරන්නට එම ව්‍යවසායකත්ව හැකියාව ලද්දේ ඔවුන් පාරිභෝගිකයා අපේක්ෂා කළ මුදලට සරිලන ලෙසින්, පවතිනවාට වඩා ඉතා විශාල කටයුතු සම්භාරයක් ඉටු කළ හැකි පරිගණක පද්ධති රාශියක්, ඉලක්ක කරගත් අය විසින් මිල දී ගන්නා කාලයට අනුව ඉදිරිපත් කරන්නට සමත් වීමෙන්.
පුද්ගලික ව්‍යවසායකත්වය අත්දැකීමෙන් දන්නා කරුණු බොහොමයක් ආණ්ඩුවක් නොදකියි. පුද්ගලික ව්‍යවසායකයා පරදුවට තබන්නේ තමන්ගේ ධනය හා තමන්ගේ දැනුම. ආණ්ඩුවකට දැනුමක් නැහැ. ආණ්ඩුවේ බලය පවත්වා ගැනීමට ආණ්ඩුවේ ගැත්තන් දැනුම සපයති. රටේ සංවර්ධනය නොව ඔවුන්ගේ ඉලක්කය බලයේ සිටීම පමණකි. ආණ්ඩුවක් විසින් කරන ආයෝජන රටේ සල්ලි නිසා තමන්ගෙ සල්ලි වලට වගේ සැලකිල්ලක් දක්වන්නට ආණ්ඩුවේ සේවය කරන හැම අයෙක් ම කැපවෙන්නේ ද නැහැ. ඒ වගේ ම තම නිලය ආරක්ෂා කරගන්නට ඉහළින් එන නියෝග පිළිපදින්න සිද්ධ වීම නිසාත් පුද්ගලික ව්‍යවසායකත්වයට වඩා ඉතා හිමින් ආණ්ඩුවක් පිවිසෙන ව්‍යවසායක උත්සාහයක් සිද්ධ වෙන්නෙ.
අලුතින් ඇතිවන සියළු වෙනස්කම් වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට නොහැකියාව නිසා ආණ්ඩුවක් මැදිහත්වන ව්‍යවසායකත්වය හැම විටම පසුගාමීයි. චීන ව්‍යවසායක උත්සාහයන් වල දී චීන ආණ්ඩුවේ මැදිහත්වීම් මහත් බව ලොව දැන සිටියත් විනිවිදතාවයෙන් තොර වූ ආණ්ඩු ක්‍රමයක දී ඔවුන් කොතරම් පාඩු විඳිනවා ද හෝ ලාබ උපයනවා ද යන්නත් සොයා ගැනීමට අසීරුයි. අනුන්ගේ දැනුම සහ නව අදහස් සොරාගත්ත ද එය ද දීර්ඝ කාලීන දියුණුවක් කරා යන්න හැකි මාර්ගයක් නොවේ.
මැදිහත්වීම් දැඩි සේ අගය කරන ඔබාමා නිසා ඇමෙරිකන් ආර්ථිකයේ නැඟිටීමක් නුදුරු දිනයක දී දැකිය නොහැකියි. කුමන ජනාධිපතිවරයෙක් මුලසුන ගත්ත ද කාලාන්තරයක් තිස්සේ පවතින ක්‍රමයෙන් ගැලවීම චීනයට අති දුෂ්කර ය. එහෙයින් අද පැවැත්වෙන චීන ඇමෙරිකන් ජනාධිපති හමුව නිසා රටවල් දෙකෙන් එකකට වත් මෑත කාලයක දී ලැබෙන යහපතක් නැත.
යම් රටක දියුණුවක් ඇතිවෙන්නේ එහි ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නොව එහි ආයෝජන කරන්නට කැමති විවිධ ව්‍යවසායකයන්ට රිසි සේ අවදානම් ගන්නට ඉඩ දීමෙනි. එය නොකරන්නේ ද, ඇමෙරිකාව වේවා, චීනය වේවා, හෝ පෙරදිග මුතු ඇටය වේවා, ලස්සන මුතු ඇට මාලයක මුතු ඇට වෙන්නට ලැබුණත් අවසානයේ දී එහි ලස්සන නරඹමින් එයට වැය කළ මුදල් වලට පොලී ගෙවමින් ආර්ථික බංකොළොත් බවින් ඉන්නට සිද්ධ වේ.





6 comments