අරුණි ශපීරෝ‍ වෙතින්

නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 23, 2014

ලංකාවේ දුම්රිය පොළක දී අහිංසක මගියෙකුට පොලීසිය පහර දුන් විඩියෝ පටය අන්තර්ජාලයෙන් ලෝකය පුරා ඉන්නා ශ්‍රී ලාංකිකයන් අතර පැතිර යද්දී නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටිත් අන්තර්ජාලයෙන් ලොව පුරා පැතිර ගියේය.

නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නොහොත් NYPD විසින් ට්විටර් මාර්ගයෙන් තමන් හා නිව් යෝර්ක් හි පොලිස් නිලධාරීන් සමඟ ගන්නා ලද ඡායාරූප #myNYPD යටතේ බෙදා ගන්නට යැයි ආරාධනා කරන ලදි.

ප්‍රසිද්ධියේ කතන්දර බෙදා ගන්නට යැයි ජනතාවට ආරාධනා කළ ඔවුනට ඔවුන් මහජනතාවට ප්‍රසිද්ධියේ සංග්‍රහ කරපු අවස්ථා අමතක වී තිබිණ.

සමාජ ජාල වෙබ් අඩවි වැඩියෙන්ම භාවිත කරන්නෙ තරුණ පිරිස් වීමත්, ඒ අය වැඩියෙන්ම ඇමෙරිකාවේ පොලීසිය හා ගැටෙන අය වීමත් නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට අමතක වී තිබිණ.

නිව් යෝර්ක් නගරයෙන් පටන් ගත් පොලීසිය හා ගැටෙන පින්තූර බෙදාගන්නා රැල්ල චිකාගෝ වැනි වෙනත් නගරයන් කරා ද පැතිරෙන්නට වැඩි කලක් ගත නොවුණි.

දියුණු වෙන්න කැමති අයට

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 23, 2014

පහුගිය සටහනේ අමල් ප්‍රසන්න අහපු ප්‍රශ්න දෙකකට සටහනකින් ප්‍රතිචාර ලියන්න අවශ්‍ය යැයි සිතුණ.

//ඒත් බයිබලයෙන් පාඨ සිරුරේ ටැටූ ගහගෙන ඉන්න එකයි බුදු හාමුදුරැවන්ගේ රූපෙ ගහන එකයි සමාන නැහැ නේද? ජේසුස් වහන්සේගෙ රූපෙයි ත්‍රිපිටයේ ගාථා සිරුරේ ටැටූ ගහගෙන ඉන්න එකත් සමාන නැහැ නේද?//

ඇයි නැත්තෙ?

අගෞරවයක් කරන්නට නොව සිරුරේ පච්ච කොටා ගන්නා අය එසේ උදේ හවා දකින්නට පච්ච කොටා ගන්නේ තමන් වැඩියෙන් ප්‍රිය කරන දේවල්.

බුද්ධාගම තියෙන්නෙ පුස්කොළ පොතේ නොවේ. පාඨයේ ද නොවේ. අත් බැඳගෙන නිදි කිර කිර මතුරන ගාථාවේ ද නොවේ. ඒවායේ සඳහන් අර්ථයන් තම මොළයෙන් විමසා බලා වටහා ගනිද්දී පමණක් බුද්ධාගම ආරක්ෂා වෙයි.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො

කරණීය මෙත්ත සූත්‍රය අවසන් වෙන්නෙ මිථ්‍යා දෘෂ්ටියට නොපැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්ත වෙන්න කියල.

මිථ්‍යා දෘශ්ටිය වපුරවමින් ධර්මය කියා දෙනවා වෙනුවට පෝලිමක් ගස්වා පිරිත් නූල් බඳින පූජ්‍ය පක්ෂයක සාමාජිකයෙක් තමන් සෝවාන් කියල කිව්වම, වෙන අයෙක් ඇවිත් සූත්‍ර පාඨ වල අර්ථ විමසන්න ඥානය පාවිච්චි කරන්න කිව්වොත් ඒ අයට පිරිත් නූල් බැඳගත්තු අයට කියලා ගල් ගහලා එලවන්න පුළුවන්.

ඉතින් අතේ සුදු පිරිත් නූල් ඔතාගෙන මරණ දණ්ඩනය නැවත ස්ථාපිත කළ යුතු බවට පෙනී සිටින්නා යනු බෞද්ධයෙක් ද නැද්ද යන විමසීමට මොළය ආධාර කරගන්න.

එවැන්නෙක් කියාවි නැහැ නැහැ මරණය නියම කරන්නෙ මම නෙමෙයි, ඒවා තීරණය කරන බලය පවරා ඇති වෙන අය කියා. එවැන්නෙක් කියාවි නැහැ නැහැ මරණයට පමුණවන්නෙ මම නෙමෙයි, එය කරන බලය දුන් අලුගෝසුවා කියල. අන්තිමේ දී හැමෝම කියාවි නැහැ නැහැ අපි පව් කරලා නැහැ අපි කළේ ඕඩර් ක්‍රියාත්මක කළා විතරයි කියල!!!!

ඇයි ඉතින් සමහර අය තමන්ගෙ මොළය පාවිච්චි කරන්න නෙමෙයිනෙ බුද්ධාගමෙන් ඉගෙන ගෙන තියෙන්නෙ. ගෝත්‍රික හැදියාව අනුව ඉහළින් එන ඕඩර් අනුගමනය කරන්න පමණයි.

දැන් කාලයක සිට සුදු පිරිත් නූල් වල බලය අඩුවෙලා නිසා ද මන්දා දැන් පාට පාට පිරිත් නූල් ගොතලා ඔතලා බඳින්නත් පටන් ගෙන.

දැන් කාලයක සිට එක පිරිත් නූල් සෙට් එකකත් බලය අඩුවෙලා නිසා ද මන්දා සමහර අත්වල පිරිත් නූල් සෙට් කිහිපයක් දකින්නත් තියෙනවා.

චාරිත්‍රයක් සම්ප්‍රදායක් නිසා පිරිත් නූල් බඳිනවා නම් සුදු පිරිත් නූල් එහෙම වෙනසකට භාජනය වුනේ ඇයි?

//යුරෝපීය ජාතීන්ගේ මූලිකත්වයෙන් යම් රටකට ඇතුල් වෙලා අදාල රට යටත් කරගෙන//

යුරෝපීයයන්ට බනින්නට හදලා වඩලා තියෙන අයට යුරෝපීය නොවන අය රටවල් වලට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඒවා යටත් කරගන්නවා පෙන්නේම නැහැ!!!!!

//නිවැරදි සහයෝගය// කවුද තීරණය කරන්නෙ සහයෝගය වැරදි ද නිවැරදි ද කියලා. කාලයෙන් කාලයට අධිරාජ්‍යවාදය, බටහිර කුමන්ත්‍රණ, බටහිර බලවේග කියලා ලේබල් වලින් වැරදි අය නිවැරදි අය කවුරුන්දැයි තීරණය කරන පාලකයන් ද?

//ඇමරිකාව (South Koria,Japan) වගේ රටවල් අනෙත් ආසියා, අප්රිrකා
රටවල් වලට වඩා ආරථික දියුනුව, ස්ථාවරය සහ ජීවත් වෙන්න සුදුසු තත්වයක තියනව නේද? මෙය යුරෝපීය ජාතීන්ගේ සුවිශෙෂී දෙයක්ද? නැත්නම් ආසියානුවො ආරථිකයට වඩා අධ්යාත්මික දියුනුව ගැන හිතුව නිසාද?//

ආසියාතිකයන්ගේ අධ්‍යාත්මික දියුණුව යනු

පන්සිල් පද රකින අධ්‍යාත්මික දියුණුව ද?
නැත්නම් ඒවා මතුරන අධ්‍යාත්මික දියුණුව ද?

ලංකාවේ තනියම ගමන් යන ගෑණු උදවිය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 16, 2014

සංචාරකයන් ලෙස එන විදේශීය කාන්තාවන් ලංකාවේ දී කරදර වලට ගොදුරු වීම වළක්වන්නට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉහත විඩියෝ පටිය නිර්මාණය කර ඇත.

ලංකාවට එන විදේශීය කාන්තාවන් අතර කොටසක් සංස්කෘතික සම්ප්‍රදායන් නරඹන්නට හා පරිසරයේ සුන්දරත්වය අත්විඳින්නට එන අයයි. ඔවුන් අතර සමහර අය රාත්‍රී සමයේ මත්පැන් බීමට හා නැටුම් රසාස්වාදය සඳහා ගමන් බිමන් යෑම තම නිවාඩුවේ අනිවාර්ය අංගයක් සේ සලකති. බීමට හා නටන්නට පමණක් ලංකාවට බ්‍රිතාන්‍යයෙන් කාන්තා සංචාරකයන් එනවා යැයි කියත නොහැක. මන්ද ලංකාවට වඩා ඒවාට මනා පහසුකම් තිබෙන බ්‍රිතාන්‍යයට කිට්ටු රටවල් බොහොමයකි.

හමේ පාට කුමක් වුවත්, කාන්තාවන්ට රාත්‍රියේ දී බියක් නැතිව ගමන් බිමන් යන්නට සුදුසු වාතාවරණයක් ලංකාවේ ඇත්තේ තමන් දන්නා හඳුනන වාහනයකින් ගිහින් යන තැනට බහින්න හැකියාව ඇති සුලුතරයකට පමණකි. නොදන්නා ටැක්සියකින් රාත්‍රියේ දී තනියෙන් ගමනක් බිමනක් ගිහින් ඇති කාන්තාවන් කී දෙනෙක්ව මෙය කියවන ඔබ දන්නවා ද?!!!!

සැන් ෆ්‍රැන්සිස්කෝ ඇමෙරිකන් ෆුට්බෝල් කණ්ඩායමේ කොලින් රෑන්ඩ් කැපර්නික් බයිබලයෙන් පාඨ තම සිරුරේ ටැටූ ගසා ගත්තෙකි. ඒත් බයිබලය අදහන්නේ නැති අයත් ඔහුගේ ක්‍රීඩාවට ඇලුම් කරති. ජීසස් ටැටූ එකක් කකුලේ ඇති ජස්ටින් බීබර්ට ඒ පමණින් ජේසු අදහන අය ඉන්නා රටවලට පැමිණීමට තහනමක් නැත. එහෙත් බුදුන්ගෙ ටැටූ එකක් කකුලේ තිබි කාන්තාවක්ව බණ්ඩාරණායක ගුවන් තොටුපලේ දී ආපසු හරවා යැවූ බවට ප්‍රවෘත්තියක් කලකට පෙර ඇසුණි.

කකුලේ බුදු හාමුදුරැවන්ගේ ටැටූ එකක් තිබි පමණින් බුද්ධාගමට අපහාස වෙන්නේ කෙසේදැයි කියා බෞද්ධයෙක් වන මම තවමත් කල්පනා කරමි. ඒත් මේ දවස්වල බෞද්ධ යැයි කියාගන්නා ස්වාමීන්වහන්සේලා “බණ” කියන විදියට වශී වී සිටින සිංහල දේශප්‍රේමීන් බටහිර කුමන්ත්‍රණ වලින් තමන්ගේ ගැලවුම්කරුවන් වී ඉන්නේ ඔවුන් පමණක් යැයි අදහති.

ඒ නිසා බටහිර කුමන්ත්‍රණයක් සේ පෙන්වන්නට ඉංග්‍රීසියෙන් ලියන ලද්දක් සිංහලට පරිවර්තනය වෙන්නේ සිංහලයාගේ සංවේගී මනසට හසු වන්නටයි.

ලංකාව ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ දැනුම් දීම මෙසේයි. එහි women should take particular care නොහොත් කාන්තාවන් විසින් වැඩියෙන් පරෙස්සම් වන්න යන්නට අමුණා ඇති විඩියෝ පටිය ඉහත අමුණා ඇත.

ඒ ගැන සිංහලෙන් ලියැවෙන්නේ මෙසේය: “ලංකාවට යනවා නම් ගෑණු උදවිය තනියම යන්න එපා,” -බ්‍රිතාන්‍ය ජාතිකයන්ට උපදෙස්

දකුණේ සංචාරය කරද්දී යාල අභය භූමියට මහජනතාවට යා හැකි බවත් එහි යන්නේ නම් reputable නොහොත් වගකීමකින් යුතු සංචාරක කොම්පැණියක් භාවිතා කරන්න යැයි කියා තිබෙනවා මිසෙක අනෙක් පළාත් වලට වඩා වැඩියෙන් හැඟෙන “ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සංචාරයේ නිරත වීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස” කියා නැත.

බෙදුම්වාදයෙන් පිරිසක් තව පිරිසක් සමඟ ආරවුල් කරවා තම බලය වැඩි කරගැනීම ගෝත්‍රික මිනිස් හැදියාවකි. පරිනාමයට ලක් වූ ශිෂ්ඨ මිනිස් හැදියාව ඕනෑම ආකාරයකින් පිරිනැමෙන බෙදුම්වාදය ප්‍රතික්ෂේපයයි. වහල් ක්‍රමය නැති වූයේ හෝ යුදෙව්වන්ට හා අහිකුණ්ඨිකයන්ට ඇති අප්‍රසාදය ලොව නැති වූයේ නීති ගෙන ඒම නිසා නොව මිනිසා අවබෝධයක් ලබා ශිෂ්ඨ වූ නිසයි.

වෙනසකට ලක් නොවන මිනිස් ස්වභාවය නම් සත්‍යය සොයා ගැනීමට හැම විටම ඇති කුතුහලයයි. ඉන්පසු හැදියාව කුමක් වුවත් හරි ද වැරදි ද යන්න විමසීමට තම මොළයෙන් පුළුවන.

ස්වෝත්සාහයෙන් උපයන මුදලට වෙනකෙකුට අයිතියක් ඇත, හමේ පාට නිසා වැඩියෙන්/අඩුවෙන් ලැබිය යුතුය, කාන්තාවන්ට වැඩියෙන්/අඩුවෙන් ලැබිය යුතුය, යනාදිය කියන අශිෂ්ඨයන් ලොව හැමදාම සිටිනු ඇත. එහෙත් මොන විදියකට වෙස්වලාගෙන ආවත් බෙදුම්වාදය සමාජයට අහිතකර යැයි අවබෝධයෙන් එය ප්‍රතික්ෂේප කරන ශිෂ්ඨ මිනිසුන් කෙමෙන් කෙමෙන් වැඩිවෙන නිසා ලෝකය දියුණුවට පා තබයි.

හැදියාවට වඩා මිනිස් ස්වභාවය ඉස්මතු වේවා!!!

රනිල්ට ඩෙලවෙයාර් පැත්තටත් එන්න කියන්න

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2014

මේ ආණ්ඩුව බංකොළොත් වෙච්චි දවසක, ඒ විදියටම යන තවත් ආණ්ඩුවක පාලන බලය විපක්ෂයක ඔඩොක්කුවට වැටෙන්න කළින්, තමන් දැනුවත් වෙලා, ඊට පස්සෙ පක්ෂයත්, ඊ ළඟට රටේ ජනතාවත් දැනුවත් කළ යුතු හැටි කෙසේදැයි මම එයාට ලෙක්චර් කරන්නම් කිව්වා කියන්න!!!! මට තියෙන්නෙ පුද්ගලික නිවහනක් මිසෙක මැසචූසෙට්ස් පැත්තෙ තියෙන ආඥාදායකයන් පෙරළන හැටි ගැන කියාදෙන ආයතනයක් නොවන බවත් කියන්න. එයාට ඇමෙරිකාවේ ලෙක්චර් පවත්වන්න අපේ බදු සල්ලි කපාගන්නවාට දැඩි විරෝධයක් දක්වන බවත් කියන්න.

ලංකාවේ අවසන් වූ මැතිවරණය ගැන ලියැවුනු විශ්ලේෂණ කියවද්දී විපක්ෂ සියල්ල වෙතින් ආණ්ඩුවට රතු එළියක් ද තමන්ට කොළ එළියක් ද ජනතාව සංඥා කර ඇතැයි කියවන්නට ලැබේ. නමුත් මම දකින්නේ ඒ ඒ චන්දදායකයා පෙන්නුම් කර ඇත්තේ බෙදා දෙන්නට දන්නවා යැයි කියන පක්ෂ අතර අද බලයේ ඉන්නා ආණ්ඩුව වඩාත්ම සුදුසු වූව බව කියා විශ්වාස කරන බව පමණි.

සාධාරණව බෙදා දෙන්නට දන්නා අය සිටිනවාය කියා විශ්වාස කරන නිසාම තම තමන්ට ලැබෙන පංගුව එන්න එන්නම අඩු වී පසු කාලයක නැති වී යන එක ගැන කියන අයෙක් ලංකාවේ නැතිකම පෙන්නුම් කරන්නේ අසාර්ථක රාජ්‍යයක අභාග්‍යයයි. එහෙත් තවත් කාලයක් තිස්සේ බංකොළොත් බවට ඇදගෙන යන්නට තම රටේ හා පිටරටවලට ගිහින් කඹුරන පුරවැසියන් සිටිනවාය කියා පෙන්නුම් කරන්නේ ලාංකිකයන්ට ශක්ති සම්පන්න (potential) බවක් තිබෙන බවයි.

නමුත් කඹුරන අය අදින බර එන්න එන්නම වැඩිවෙද්දී ලංකාවේ විශ්‍රාමිකයන් වැඩ වර්ජනයකට සූදානම් වෙනවාලු! ඒ ප්‍රවෘත්තිය අවුලක පැටලිලා ඉන්න වර්තමාන ලෝක සමාජය කදිමට පිළිබිඹු කරනව. විශ්‍රාමික පාරිතෝෂිකය වැඩි කරන්න යැයි වැඩ කරන අයත් වර්ජනයකට ගියාම එතකොට කවුද … ආයේ ඕන නැහැ හැමදාම එකම දේ ලියන්න!!!

“අපිව තරබාරු කළ මිනිස්සු” නමින් ප්‍රචාරය වෙන්නෙ බීබීසී රූපවාහිනී වැඩසටහනක්. බ්‍රිතාන්‍ය වැසියන් තරබාරු කරන්න එයාලගෙ කටවල් වලට කෑම බලහත්කාරයෙන් ඔබලා තියෙන්නෙ කවුද මන්දා!!!

බ්‍රිතාන්‍යයේ සුද්දො එහෙම කියද්දි ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකකින් කියෙව්වා ලංකාවේ බර්ගර් කිං අවන්හල “ඉල්ලං කාපු” කතාව. දැන් බර්ගර් වේලාව කියලා දැන්වීම් හදපු අයට ලංකාවේ විකුණන බර්ගර් එකක සයිස් එක අමතක වෙච්චි අවස්ථාවක්. ඒත් ඉතින් බඩ පිරෙන්න ඒ පුංචි බර්ගර් එකක් මදි නම් කැමති ප්‍රමාණයක් මිල දී ගන්න තහනමක් නැහැ නේද අහන ප්‍රතිචාරය දැම්මම ඒකට අයෙක් කිව්වෙ එහෙම කරන්න පුළුවන් අසීමිත මුදල් තියෙනවා නම් විතරයිලු.

වර්තමාන පාරිභෝගිකයා කන්නෙ බඩගින්නටම නෙමෙයි. අඳින්නෙ විළිවසා ගන්නටම නෙමෙයි. බඩු භාණ්ඩ මිල දී ගන්නෙ ඒවා උවමනා (need) නිසාම නෙමෙයි. ජීවිතය පවත්වා ගැනීමට නැතිවම බැරි දේවල් උවමනාව (need) අභිබවා ගිය තමන් කැමති දෙයක් ලබාගන්නට ආශාව (want) පිනවා ගන්නට හැකියාව ලැබී තිබෙන වර්තමාන ලෝකයේ පාරිභෝගිකයා සතුටු කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙමෙයි.

ඒත් තමන්ට අවශ්‍ය ආහාර වසවිෂෙන් පිරි නොවෙන සේ, ගුණයෙන් හා ප්‍රමාණයෙන් ගැලපෙන සේ, දේශීය නිෂ්පාදකයන් දිරිගන්වන සේ, තමනට පිරිනමන්නට ආණ්ඩුවක් දන්නවා යැයි විශ්වාස කරන ජනතාවක් ඒවා තමන් වෙනුවෙන් තෝරාගන්නට දැනුමක් නැති නිසා ඉල්ලා සිටින්නේ තෝරා ගැනීම් අඩු කරන්නට කියායි!!!!

“ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල බොහොමයක් දෙන්නෙ මුදලට නොවටිනා අගයකි. ආණ්ඩුවට පුළුවන් ඒක වෙනස් කරන්න උදව් වෙන්න,” 2014 අප්‍රේල් 5 වැනිදා “ද ඉකොනොමිස්ට්” සඟරාව කියයි. මුදලට නොවටින අගයක් සපයන ලෙසට විශ්ව විද්‍යාල හැඩගස්වා ඇත්තේ ඇමෙරිකන් ආණ්ඩුවල බලපෑම් වලින්ම තමයි. ඉතින් එහෙම කරපු ආණ්ඩුවලටම බාර දෙන්නලු ඒක වෙනස් කරන්නත්!!!!

අපූරු තරඟය, රස්සා නිර්මාණය සහ ධන සම්පත් නිර්මාණය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 31, 2014

The_Amazing_Race_season_24_episode_6

මැලේසියාවේ ග්‍රාන්ඩ් ප්‍රී තරඟය දිනූ ලුවිස් හැමිල්ටන්ට ජයවේවා!

මැලේසියන් ග්‍රාන්ඩ් ප්‍රී තරඟයේ එක්තරා අවස්ථාවක දී රේස් කාර් එකක වේගය අඩු වීමට හේතු වූ යම් අඩුපාඩුවක් ගැන නිවේදකයන් කතාබහ කළහ. කැමරාවට හසුවූයේ තරඟ භූමියේ ඇතුල් කුටියක සිට එය නරඹන ඩේවිඩ් කම්බබැච්. අගනා විස්තරයක් හැමදාම සපයන රේස් නිවේදකයන් වාහනයේ වේගය අඩු වීමට හේතුව සමහර විට ෂර්ලොක් හෝම්ස්ට නම් පහසුවෙන් අවබෝධ කරත හැකි ‘එලිමෙන්ටරි’ වූවක් වෙන්නැති යැයි කීහ.

ක්‍රීඩා තරඟ නරඹන්නට කැමති ලෝලීන් හට අගනා විස්තර ප්‍රචාරයක් ගෙනාවේ බයිසිකල් තරඟයක් වූ ප්‍රංශ සවාරියයි. ප්‍රංශය ගැනත්, 1903 සිට පැවත එන සවාරියේ ඉතිහාසය ගැන මෙන්ම ඒ ඒ රටවල් වලින් තරඟ කරන බයිසිකල් ක්‍රීඩකයන්ගේ විස්තර ඉතා රසවත් ලෙසින් අපට ඒ සති තුන දී දැනගන්නට ලැබුණි. බයිසිකල් තරඟකරුවන් අතර පැතිර ගිය තහනම් උත්තේජක භාවිතයත්, ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට පදක්කම් අහිමියත් සමඟ ප්‍රංශ සවාරිය විසින් එහි ලෝලීන්ව හෑල්ලු කරන ලද්දක් යැයි හැඟීමක් පැතිර යන ලදි. ඇමෙරිකන් බේස්බෝල් ඒ හා සමාන වැටීමකට මුහුණ දී තවම ඉන් ගොඩ ඇවිත් නැත.

‘අන්න ලංකාව පෙන්වනවා Amazing Race වැඩසටහනේ,’ යැයි ඇමෙරිකන් මිතුරන් එවූ කෙටි පණිවිඩ නිසා කියවමින් සිටි පොත පැත්තකට දමා මම එයින් ලංකාවේ දර්ශන නරඹන්නට පටන් ගත්තෙමි.

“අපූරු තරඟය” වැනි කුසලතාවයක් හෝ දක්ෂතාවයක් අනවශ්‍ය වූ රියැලිටි තරඟයක් වර්තමානයේ ජනප්‍රිය ඇයි? ලංකාවේ දර්ශන එම වැඩසටහනෙන් නරඹා ලංකාවට ඇදී එන සංචාරකයන් කොතරම් වැඩිවේවි ද? පහුගිය දා ඇල් ජසීරා ප්‍රවෘත්ති වලින් බ්‍රසීලයේ රියෝ ඩ ජැනයිරෝ නගරයේ යුද්ධ ටැංකි එහා මෙහා යන හැටි දකින්නට ලැබිණ. ලෝක කුසලාන ෆුට්බෝල් ලෝලීන්ට එය දැකීමෙන් බ්‍රසීලයට එද්දී ලැබෙන ආරක්ෂාව ගැන කොතරම් විශ්වාසයක් ගොඩ නැඟුනේ දැයි කියන්නට හැකි ද?!!!!

රස්සාවල් කොපමණක් නිර්මාණය කළ හැකිදැයි අනුව රාජ්‍ය ප්‍රතිපත්ති දියත් වේ. ආණ්ඩුවේ සේවකයන් වැඩි වී පුද්ගලික අංශයේ සේවකයන් අඩු වී යද්දී රටක ආර්ථිකයක් බංකොළොත්වන බව වටහා ගන්නට තරම් අර්ථ ශාස්ත්‍ර දැනුමක් නොමැතිකම නොමිලේ යැයි හැමට බෙදන නිදහස් යැයි කියන අධ්‍යාපනයෙන් දායාද කර තිබෙන්නේ ආණ්ඩුවකට රටවැසියාව දක්කාගෙන යෑම පහසුව පිණිසයි.

රස්සාවල් නිර්මාණයෙන් පමණක් ධන සම්පත් නිර්මාණය වේ යැයි විශ්වාස කරන බහුතරයට ඔබත් අයිති ද?

රස්සාවල් නිර්මාණයේ කිසිත් වරදක් නැත. මිනිසුන් ධන වස්තු නිර්මාණය කරන වැදගත් විදියක් තමයි රස්සාවක නියැළීම. ඒත් වැඩියෙන් වැදගත් රස්සා නිර්මාණය නෙමෙයි. වැඩියෙන් වැදගත් ධන වස්තු නිර්මාණයයි. තවත් විදියකින් කිව්වොත් රස්සාවක නියැළෙන්නෙ එය අන්තය (end) නිසා නොව එය ධන වස්තු නිර්මාණයට අවශ්‍ය මාර්ගය (means) නිසයි. මෙම පහසුවෙන් අවබෝධ කරත හැකි ‘එලිමෙන්ටරි’ වූව අමතක කළොත්, ජනතාවක් රවටන්නට හැකියි ඊයෙට වැඩියෙන් මෙච්චර රස්සාවල් අද තියෙනවා කියලා දත්ත පෙන්වලා.

රස්සාවක නියැළෙන, එනම් ඕනෑම ආර්ථික ක්‍රියාවක නියැළන එකම අරමුණ තමයි හිඟ සම්පත් (මිනිස් වෑයම ද හිඟ සම්පතක්) වලින් වැඩියෙන් අගයක් ලැබෙන නිර්මාණයක් බිහි කිරීම. මිනිස් උවමනාවන් හැමදාම හිඟ සම්පත් වලට වඩා අධික නිසා, හැමදාම ලෝකයේ මිනිසාට කරන්න අවශ්‍ය රස්සාවන් වැඩියෙන් තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ රස්සාවල් නිර්මාණය ගැටළුවක් නෙමෙයි.

අපි ඉදිරියේ එදත් අදත් ඇති ගැටළුව වනුයේ මිනිසාට වඩාත්ම අගයක් (most value) ලැබෙන සේ රස්සාවල් නිර්මාණය කරන්නෙ කොහොම දැයි කියන එකයි.

මේ ‘එලිමෙන්ටරි’ වූව වටහා ගන්නට බැරි අය යනු මහා පිරිසකට රස්සාවල් ලැබෙද්දී ආර්ථිකය නැඟලා යනවා කියල සතුටු වෙන අය. 1840 දී ප්‍රංශ දේශපාලනඥයෙක් පැරිසීයේ සිට ස්පාඤ්ඤය දක්වා යන රේල් මාර්ගයේ පවතින බෝර්ඩෝ (Bordeaux) නගරයේ ඇති රේල් පීලි ඩයිනමයිට් දාලා පුපුරවා හරින්නටත් යෝජනාවක් ගෙනාවා. බඩු වෙන දුම්රියකට පටවලා, මගීන්ට නගරයේ හෝටල් කාමර දෙන්න වුනාම රස්සාවල් වැඩිවෙන හැටි ගැන කතාබහක් සිද්ධ වුනා!!!

ෆෙඩ්රික් බැස්ටියාට් ලියූ Economic Sophisms වලින් ඒ යෝජනාව එදා නිශ්ප්‍රභා කළ හැටි අදත් කියවන්න පුළුවන්. ඒත් රස්සාවක් කියන්නෙ ධන වස්තු උපයන මාර්ගයක් (means) මිසෙක අන්තයක් (end) නොවේ කියන ‘එලිමෙන්ටරි’ වූව වටහා ගන්නට බැරි ජනතාව තවමත් ලොව බහුතරයයි.

තවත් රියැලිටි වැඩසටහනක දී පුංචි කෙල්ලක් උපන් හපන්කම් දක්වන හැටි පහත විඩියෝවෙන් බලන්නට පුළුවන්. ඇත්ත පඹයන් හා බොරු පඹයන් අතර වෙනස හඳුනාගන්නට හැකිවේවි ද? රස්සාවක් කියන්නෙ මාර්ගයක් මිසෙක අන්තයක් නොවන බව ගැන කතාබහක් කවදා පටන් ගනීවි ද?

ක්‍රයිමියාව රුසියාවට හේත්තු වෙද්දී කියුබාව ධනවාදයට ආරාධනය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 27, 2014

මම ඉපදෙන්නටත් පෙර “මම පැහැදිලිව කියනවා මම කොමියුනිස්ට් නෙමෙයි,” කියූ ෆිඩෙල් කැස්ත්‍රෝ විසින් මිනිස් ඝාතනයෙන් ගෙනා කොමියුනිස්ට් කියුබාව මගේ ජීවිත කාලය තුල දී ම වෙළඳපොලට එරෙහිව කටයුතු කරන්නට නොහැකි බව වටහා ගෙන තිබේ.

තවත් විදියකින් කිව්වොත් මිල දී ගන්නා අවන්හල් නැති වී ගියාම නොමිලේ බෙදන දන්සැල් ද නැතිවෙන හැටි අවබෝධ කර නොගත්තත් එය අත්දකින්නට සිද්ධ වී තිබේ.

මාර්තු 29 වැනි අනිද්දා කැස්ත්‍රෝ සහෝදරයන්ට කැමැත්තක් කරගන්නට නීත්‍යානුකූල මුහුණුවරකින් අවසර දෙන කියුබාවේ ජාතික සම්මේලනය විසින් විදේශිකයන්ට 100% ක් තම රටේ ආයෝජනයට ඉඩ දෙන්නට සූදානම් වෙති. කියුබාවෙන් පිටමං වී ඇමෙරිකාවේ පදිංචියට පැමිණි කියුබන් සම්භවයෙන් යුතු අයටත් ආයෝජනයට අරමුදල් රැගෙන නැවත රටට එන්නට කරන දිරි ගැන්වීම් සඳහා ඒ අනුව කියුබාවෙන් අවසර ලැබෙනු ඇතැයි අපේක්ෂා වේ.

එසේ ආයෝජනයට එන අයගේ පුද්ගලික අයිතියට ගරු කරමින් ඒ ව්‍යාපාරයන්හි දේපල මහජනතාවගේ සුබ සාධනය යැයි කියමින් රජයට පවරා නොගන්නා බවට පොරොන්දු වීමක් ද ලොවට දැනගන්නට ලැබෙනු ඇත. රජයට පවරා ගත් කෝකා කෝලා කොම්පැණියේ දේපල ආපහු ඔවුනට ලැබේවි ද? බකාර්ඩි රම් නැවතත් කියුබාවේම නිෂ්පාදනය පටන් ගනීවි ද? ඒවා ආපහු නොදුන්න හොත් ඇමෙරිකන් වෙළඳ සම්බාධක ඉවත් වේවි ද?

තෙල් සම්පත් රටේ තිබුණ පමණින් එයින් සෞභාග්‍ය උදාවෙන්නේ නැති බවත්, ස්වභාවික සම්පත් යනු මිනිස් උත්සාහය එකතු වීමෙන් පමණක් පරිහරණයට ගැනීමට හැකිවෙන්නක් බවත්, ස්වභාවික සම්පත් වලට මිනිස් උත්සාහය එකතු විය යුත්තේ කෙසේදැයි කියා දන්නේ වෙළඳපොල මිසෙක රට වෙනුවෙන් සැලසුම් හදන්නට දන්නා දැනුමැතියන් කියාගත් නායකයන් නොවන බවත් අද වෙනෙසියුලාවේ වැසියන් හරි බාගයක් පමණ තවමත් වටහා ගන්නට අසමත් වූවකි.

දෙමව්පියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අනුගමනය කරන ලද වෙළඳපොලට එරෙහි වැරදි මාර්ගය කුමක්දැයි නොදන්නා අලුත් පරම්පරාවක් ක්‍රයිමියාවේ දී රැසියාවට හේත්තු වෙද්දී ඔවුන් ද සමහර විට තමන්ගේ ජීවිත කාලය තුල දී ම වෙළඳපොලට එරෙහිව කටයුතු කරන්නට නොහැකි බව වටහා ගනු ඇත් දැයි අපට අනාගතයේ දැනගන්නට හැකිවනු ඇත්ද?

රුසියාව විසින් ක්‍රයිමියාව ආක්‍රමණය ගැන දී ඇමෙරිකන් සටන්කාමීත්වය ගැන ලියැවුනා මෙන් වෙනෙසියුලාවේ රාජ්‍ය පීඩනය ගැන හෝ කියුබාව විදේශීය ආයෝජන සඳහා ඉඩකඩ දෙන අපූරු වෙනස ගැන සිංහලෙන් කෙසේ කතාබහක් ඇති වෙයි දැයි බලා සිටිමි. තවත් විදියකින් කිව්වොත් අවධානය කෙසේ වෙනතක යවන (red herring) උත්සාහයට අපේ සමාජවාදී සහෝදරයන් කාලය වැය කරනු ඇත් දැයි බලා සිටිමි.

සෝවියට් සමයේ දී අච්චාරු දැමූ හෙරින් මාළුවා යනු ආහාර වේලකට ඉඳහිටක හෝ ප්‍රෝටීන් ලැබුන එකම මාර්ගය යැයි සැලකේ. නෝර්වේ හි හෙරින් වර්ග 28 කට වඩා පැවතිය ද, එකම රතු හෙරින් මාළුවෙක් එහි හෝ ලොව වෙන කිසිම තැනක නොමැත. හෙරින් මාළුවා රතු වෙන්නේ ලුණු දමා ක්‍රමයෙන් දුම් ගැසීමෙන් තද දුඹුරු පැහැයක් ගැනීම නිසා පමණකි. මේ වහර, එනම් අවධානය වෙනතක යැවීම රෙඩ් හෙරින් යැයි කීම, 15 වැනි සියවස තරම් පැරණි වූවකි. රතු හෙරින් මාළු ලොව නැති වුනාට රතු හෙරින් දුර්මතය මිනිසුන් රවටන්නට යොදා ගැනීම ලොවෙන් තුරන් වී නොයනු ඇත.

දන්සැලක සහ අවන්හලක වෙනස්කම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 25, 2014

නොමිලේ ලැබෙන දේවල් වැඩියෙන් ප්‍රිය කරද්දී, ඒ නිසා තමන්ට මිල දී ගත හැකි දේවල් සීමිත වී අනතුරුව ඒවා සහමුලින් නැති වී යන බව දන්නවා ද?

ඔබෙන් කවුරු හරි ඇහැව්වොත් දන්සැලක සහ අවන්හලක ඇති වෙනස කුමක් දැයි කියා ගත් කටටම ඔබ කියනුයේ එකක් නොමිලේ කෑම දෙනකොට අනෙකට ගියාම කන කෑම වලට මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කියා ද?

ඒත් අයෙක් කිව්වොත් දන්සැලක සහ අවන්හලක දකින්නට ඇති ප්‍රධානතම වෙනස්කම නම් පාරිභෝගික කැමැත්ත ඍජු ලෙසින් දැනගන්නට හැකියාව දන්සැලක නැතිකමත් අවන්හලක ඇතිකමක් කියා, ඔබ එය පිළිගනීවි ද?

නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව ගැන පාරිභෝගිකයාගේ ප්‍රසාදය දැනගැනීමට ව්‍යාපාරිකයාට දැඩි උනන්දුවක් ඇත්තෙ කැමැත්තෙන් මිල දී ගන්න අයට වැඩියෙන් බඩු විකුණුවාම ලාබ ලබන්න හැකි නිසයි. ඒත් සහනාධාර සමිතියකින් බෙදන දන්සැලකින් කන්නට එන අයගේ කැමැත්ත දැනගැනීමට වඩා සංවිධානය කරන අයට උනන්දුවක් ඇත්තේ දන්සැලට ආධාර දෙන්න අය සොයාගැනීමටයි.

කිරිටොපි විකුණන ව්‍යාපාරයක් මට ඇතැයි අපි උදාහරණයකට ගනිමු. ‘ඔයා හදන කිරිටොපි හරිම රසයි,’ කියා මගේ ගෙදර අය, නෑදෑයන් හා හිතවතුන් කියනු ඇත. එහෙත් ඉන් කී දෙනෙක් මුදල් ගෙවා ඒවා මිල දී ගනීවි ද? අන්න ඒ අය වෙළඳපොලක පාරිභෝගිකයන් වෙති. මම හදන කිරිටොපි අනිත් අය හදන කිරිටොපි වලට වඩා රසයෙන් වැඩි යැයි පිළිගන්නේ ද ඒවා මගෙන් මිල දී ගැනීම තමන් හදාගන්නවාට වඩා හෝ වෙන තැනකින් මිල දී ගන්නවාට වඩා අගනා යැයි ඔවුන් පිළිගන්නේ ද, එවිට මට පාරිභෝගික කැමැත්ත ගැන දැනගන්නට ලැබේ. මගේ කිරිටොපි ව්‍යාපාරය වැඩි දියුණු වීමත්, මගේ ගෙදර අය, මගේ හිතවතුන් ඔවුන්ගේ හිතවත් අයටත් කීමත් නිසා ඉල්ලුම වැඩි වී කිරිටොපි වලට අමතරව අල දෝසි හදන්නට පවා මම දිරිමත් වෙන්නට ඉඩ ඇත.

ව්‍යාපාරයක දී තම වෑයම ගැන ගුණ අගුණ දැනගන්නට හැකියාව ඍජුව පමණක් නොව ඒ දැනුම ඉතාමත් ඉක්මණින් දැනගන්නට ව්‍යාපාරිකයාට ලැබේ.

සහනාධාර සමිතියකින් කිරිටොපි දන්සැලක් දැම්මා යයි අපි උදාහරණයකට ගනිමු. එහි දී මම හදන කිරිටොපි නොමිලේ බෙදා දෙනු ලැබේ. මම දැන්සැලට ආධාර දෙන අයට ගොස් කියන්නේ ‘බලන්න දන්සැලට එන අය මේ කිරිටොපි වලට කොච්චරක් කැමැති ද? ඒ අය හරි ආසාවෙන් කන්නෙ. කිරිටොපි දන්සැලට දාහක් ආවා පැයක් ඇතුලත දී. ඒ නිසා දෙන්න තව ආධාර මට මෙහෙම කිරිටොපි හදලා බෙදන්න.’

දැන් මෙතැන දී කිරිටොපි හදන්න දන්සැලට ආධාර දෙන අයට ඒ කිරිටොපි වල රහ බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවේ. ඔවුන් කිරිටොපි පිළිබඳ දැනුමක් ලබාගන්නේ මම ඔවුනට කියන විස්තරයෙන් පමණයි. මට ආධාර ලැබෙන්නේ ඒ විස්තරය කියන්න මම කොතරම් දක්ෂ ද අනුවයි. ඒ විස්තරය මම ගිහින් ආධාර ඉල්ලන කොතරම් පිරිසකට කියනවා ද යනාදිය අනුවයි.

දන්සැල් ක්‍රමයට අවන්හල් පවත්වා ගෙන යාම ගැන සටහනක් ඉහත කලක දී ලිව්වෙමි. සමාජවාදීන් මෙවැනි ක්‍රම ඉතා අගය කරති. එහෙත් එයින් සිද්ධ වෙන්නේ දානමාන කරන අයගේ කැමැත්තට අනුව ඉදිරිපත් කරන ආහාර පාන කන්නට අවස්ථාව ලැබී මිල දී ගන්නට කැමති ආහාර පාන විකුණන තැන් අඩු වී, නැති වී යාමයි.

ඉතින් මෙහි දී “ආණ්ඩුව වගා කරන්න දන්නේ නැතැයි කිව්වාම අපි මිනිස්සු බඩගින්නේ ඉන්නවාට කැමති යැයි කියනවා නොවේ,” යැයි ෆෙඩරික් බැස්ටියාට්ගේ කියමන මතක් කරදෙන්නම්. දන්සැල් දමනවාට හෝ අයෙක් කැමැත්තෙන් කරන පරිත්‍යාගයන්ට එරෙහි වෙනවා යැයි වරදවා වටහා ගන්නට එපා. මෙය ආයෝජන වෑයම් වෙනුවට එවැනි දන්සැල් උත්සාහයන් ප්‍රිය කරද්දී වෙළඳපොලේ තමන්ට ලැබෙන තෝරාගැනීම් සීමිත වී පසුව නොමැති වී යන ආකාරය පහදා ගන්න යැයි කියා දෙන්නට ගන්නා උත්සාහයක් පමණි.

පාරිභෝගිකයෙක් හැටියට ඔබ ඉල්ලා සිටිය යුත්තේ කුමක් ද?

ඔබ පරිභෝජනය කරන භාණ්ඩයක් හෝ සේවාවක් ගැන ප්‍රසාදය භාණ්ඩය මිල දී ගැනීමෙන් සහ මිල දී නොගැනීමෙන් කෙළින්ම නිෂ්පාදකයාට දන්වන්නට හැකි මාර්ගය ද?

නැත්නම්, ආධාර හැටියට බෙදන ක්‍රමයක, දන්සැල් මාර්ගයෙන් ඔවුන් සුදුසු යැයි තීරණය කරන ලද්දක් ඔබට ලැබෙන මාර්ගය ද?

ඔබ තෝරාගන්නේ කුමක් ද ඒ මාර්ගය තව තවත් වැඩියෙන් වෙළඳපොලේ දකින්නට ඔබට අවස්ථාව පෑදෙනු ඇත.

ඇමෙරිකන් ප්‍රෝඩාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2014

හසල් (hustle) යන වචනයෙන් අදහස් වෙන්නේ කඩිමුඩියේ චාරයක් නැතිව යම් පැත්තකට දක්කාගෙන යෑමකි. එසේම බලහත්කාරකමක්, වංචාවක්, ප්‍රෝඩාවක් යන අර්ථයන් ද එයින් කියැවේ.

ඇමෙරිකන් ප්‍රෝඩාව නොහොත් American Hustle (2013) චිත්‍රපටිය වෙනත් සම්මාන දිනාගත්ත ද ඔස්කා උළෙලේ දී නාමපත්‍ර දහයක් හිමි වී ඉන් එකකදු දිනන්නට සමත් නොවීය.

තිරයේ දැක්වෙන “මේවායෙන් සමහර දේවල් ඇත්ත වශයෙන් ම සිද්ධ වූවා,” යන වාක්‍යයෙන් චිත්‍රපටිය දිග හැරෙයි. ප්‍රබන්ධයට පාදක වූ සත්‍ය සිද්ධිය Abscam නමින් 1970 ගණන් අග සහ 80 ගණන් මුල දී සිද්ධ වූ FBI ඒජන්සියේ මෙහෙයුමකි. හොරබඩු ජාවාරමේ යෙදනවුන් අල්ලන්නට දියත් කළ ඒ මෙහෙයුම පසුව දූෂිත දේශපාලනඥයන්ව කඩිමුඩියේ සිරගෙයට දක්කාගෙන ගිය සාර්ථක වෑයමක් විය. කොංග්‍රසයේ එක් සෙනෙට් සභිකයෙක් සහ නියෝජිත සභාවේ හය දෙනෙක් ද, නිව් ජර්සි ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් ද, ෆිලඩෙල්ෆියා නගර සභාවේ සාමාජිකයන් ද, නිව් ජර්සි හි කැම්ඩන් නගරාධිපති ද, ආගමන හා පුරවැසි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ද සිරගත වූ ප්‍රෝඩාකරුවන් අතර වූහ.

ෆ්ලෝරිඩා හි රිචඩ් කෙලි ඒ වැටලීමේ දී අල්ලස් චෝදනාවට ලක් වූ එකම රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයා විය.

ධනවාදයට එරෙහි වූ මතවාදයෙන්, පුද්ගලික ව්‍යාපාරයන් හෑල්ලු කරන විහිළු වලින්, නිශ්ප්‍රභා කරන ලද මාක්ස්වාදී න්‍යායන් ඔප්පු කරන ලද සත්‍යයන් ලෙසින් දක්වමින් ඇමෙරිකන් සාහිත්‍යයෙන් සහ ඇමෙරිකන් සිනමාව තුලින් බහුලව දකින්නට ලැබෙන්නේ 1995 පමණ දී. ගෘහණියන් කියවන ඩොලර් හතයි අනූනමයේ ඇමෙරිකන් රොමැන්තික නවකතා තුලට පවා රිපබ්ලිකන් පක්ෂයේ අයට එල්ල වූ අවඥා සහගත වදන් රිංගා ගැනීම එතැන් පටන් දකින්නට ලැබෙන සාමාන්‍යයක් බවට පත්වුණි.

The Daily Show වැඩසටහන ඒ රැල්ලේ මුදුන් මල්කඩ ලෙස දැක්විය හැකියි. සමාජවාදී අදහස් වලට අකමැති අයවත් විහිළු තහළු වලින් එම වැඩසටහනේ ප්‍රේක්ෂකයන් බවට හරවා ගන්නට ඔවුන් සමත් වූහ.

මූලධනය හිමියන් විසින් ශ්‍රමිකයාව සූරාකනවා යන මාක්ස්වාදී න්‍යාය (ශ්‍රමයේ අතිරික්ත වටිනාකම ගැන විචාරාත්මක කෙටි රචනාවක් දැන් සිංහලෙන් මෙතැනින් කියවන්නට පුළුවනි) වපුරමින් ජනතාව මුලා කරන්නේ කාගේ කුමන අරමුණු සාක්ෂාත් කරගැනීමට දැයි බහුතර ජනතාවක් තවමත් නොදැකීම සහ නොසොයා සිටීම ඕනෑම රටක වාසය කරන සෑම දෙනාගේම අභාග්‍යයකි.

ජිම් ක්‍රෝ නීති ගෙනැවිත් සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද්දේ දකුණු ප්‍රාන්තවල ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනතා නියෝජිතයන් බව නොදන්නා ඇමෙරිකන් වැසියන් සුළු ජාතිකයන්ට විදේශික සංක්‍රමණිකයන්ට අකමැත්තේ රිපබ්ලිකන් පක්ෂයේ ජනතා නියෝජිතයන් යැයි මුලාවී සිටිති.

අර්නෙස්ටෝ ගුවේරා ගැන දන්නේ 1993 දී ප්‍රකාශිත වූ ඔහුගේ මෝටර් සයිකල් දිනපොතෙන් පමණි. චේ සහභාගී වූ කියුබන් විප්ලවයේ දී කැස්ත්‍රෝ-චේ දෙදෙනා නිසා ලක්ෂයකට වඩා කියුබන් ජනතාවක් ඝාතනය වූ බවත්, තවත් 77,883 ක් පලා යද්දී මුහුදේ ගිලී මැරුණ බවත් දත්ත පෙන්වූව ද එය නොසලකා හරිමින් නෙල්සන් මැන්ඩෙලා විශ්වාස කළ විදියටම නිදහස අගයන සෑම මනුෂ්‍යයෙකුටම චේ ගුවේරා ප්‍රබෝධයක් ගෙනෙයි කියමින් සතුටු වෙති.

‘බටහිර කුමන්ත්‍රණ’ ගෝනිබිල්ලා ගැන අසා බියට පත්ව සිටින ලෝක ජනතාව රුසියාවේ ව්ලැඩමියර් පූටින් ක්‍රයිමියාව ආක්‍රමණය කරන ලද්දේ රුසියන් යුද්ධ ටැංකි යවා බව නොසලකා හරිති. ක්‍රයිමියාවේ ජනමත විචාරය අවිගත් අය නොමැති නිදහස් වාතාවරණයක සිද්ධ වූවක් සේ සමාජවාදය ප්‍රිය කරනවුන් පෙන්වති.

වෝල් වීදියේ ලැග්ග උද්ඝෝෂකයන්ගේ Occupy Wall Street ගැන සිංහලෙන් එදා සුලබව කියවන්නට හැකි වුවත් අද වෙනෙසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝගේ පාක්ෂිකයන් මෝටර් සයිකල් වලින් ඇවිත් රජයට විරුද්ධ උද්ඝෝෂණකරුවන් වෙඩිතබා ඝාතනය කරන බව, 450 ක් තුවාල ලැබූ බව, 31 ක් මිය ගිය බව, නිලධාරීන් 15 ක් සිරගත කරන ලදැයි යනාදිය කියවන්න කොතැනින් හැකිද?

යුක්රේනයේ සහ වෙනෙසියුලාවේ වැනි සමාජවාදී රටක හටගන්නා අරගල වල දී මිනිසුන් මිය යද්දී ඒවායේ නියැළෙන්නේ දක්ෂිණාංශයට බර ෆැසිස්ට්වාදීන් යැයි කියා තතු නොවිමසන සමාජවාදීන්ව රවටත හැකියි.

ඇමෙරිකන් ප්‍රෝඩාව චිත්‍රපටියේ ඒ අල්ලාගත් වංචාකාර බහුතරය ඩෙමොක්‍රැටික් පක්ෂයේ නියෝජිතයන් යැයි කිසිම සඳහනක් නොවූයේ ඇයි?

ජිම් ක්‍රෝ නීති ගෙනැවිත් දකුණු ප්‍රාන්තයන්හි කළු ඇමෙරිකන් අයගේ සිවිල් නිදහසට එරෙහි වූයේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ නියෝජිතයන් යැයි සුපතළ නොවන්නේ ඇයි?

මැලේසියන් ගුවන්යානාව අතුරුදහන් වීම ගැන අනේක විස්තර සිංහලෙන් ලියැවෙද්දී වෙනෙසියුලාවේ වර්තමාන තත්වය ගැන කියවන්නට නැත්තේ ඇයි?

ෆැසිස්ට්වාදීන් අද ඉන්නේ රුසියාවේ වුවත් ඒ ගැන කතාබහ කරනවා වෙනුවට වික්ටෝරියා නුලන්ඩ් පුද්ගලික දුරකතන ඇමතුමක දී යුරෝපා සංගමයට #@%*! යැයි කියූ අසභ්‍ය වදන හේතුවෙන් ඇමෙරිකාව මෙහි දී කටයුතු කර තිබෙන්නේ යුරෝපා සංගමයටත් වඩා තරමක් සටන්කාමී ආකාරයකටයි යැයි සිංහලෙන් ලියැවෙන්නේ ඇයි!!!

චිත්‍රපටිය කරළියට ගෙනෙන්නට හඳයා කරළියෙන් අරමුදල් සෙවීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2014

ලංකාවේ අයට නව ආකාරයකට හිතන්න යමක් අශෝක හඳගම ඉදිරිපත් කරන මුල් වතාව මෙය නෙමෙයි.

නිර්මාණයක් බිහිකරන්න කරළියෙන් අරමුදල් සෙවීම ලෝකයේ අලුත් දෙයක් නෙමෙයි. 1884 දී ඇමෙරිකාවට ප්‍රංශයෙන් තෑගි ලැබිච්ච නිදහසේ ප්‍රතිමාව තියන පාදස්තලය හදන කමිටුවට ඒක ඉවරයක් කරගන්න සල්ලි මදිවුණා. නිව් යෝර්ක් නගරයේ පුවත්පත් හිමියා වූ ජෝසෆ් පුලිට්සර් එයාගෙ පත්තරෙන් ඇමෙරිකන් ජනතාවගෙන් ඒ සඳහා සල්ලි ඉල්ලුවාම මාසය හයක දී ඩොලර් ලක්ෂයකට වඩා ගාණක් ඔවුනට එකතු කරගන්නට ලැබුණ. වැඩියෙන් පිරිසක් දුන්නෙ ඩොලරයක් නැත්නම් ඊට අඩුවෙන්.

අන්තර්ජාලය හරහා ලෝකයේ රට රටවල වාසය කරන අය වෙතින් අරමුදල් ලබාගත හැකියාව නම් ලැබුනේ මෑතක දී. ස්ටාර් සිටිසන් නමින් පිටසක්වල යුද වදින විඩියෝ ගේම් එකට සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ 2012 ඔක්තෝබර් 10 වැනිදා මේ බ්ලොග් ලියන වර්ඩ්ප්‍රෙස් වලින් ලැබෙන කරළිය අරමුදල් සොයන ඉග්නිෂන්ඩෙක් කියන ප්ලග් ඉන් එකෙන්. සතියක් යද්දි ඔවුන් කික්ස්ටාටර් නමින් පවතින එවැනි යාන්ත්‍රණය ද සහායට ගත්ත. 2012 නොවැම්බර් 17 වෙද්දී ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ ඉක්මවා යමින් ඉග්නිෂන්ඩෙක් වලින් $4,104,189.00 ක් ද, ඔක්තෝබර් 19 සිට නොවැම්බර් 19 දක්වා සහායට ගත්ත කික්ස්ටාටර් වලින් $2,134,374.00 ක් ද, ඒවා අවසන් වූ පසුවත් ඔවුන්ගේ පළමු අඩවියෙන් $3,044,770.00 ක් ද අරමුදල් හැටියට ලබාගන්නට සමත් වුණා. අද වෙනකොට ඔවුන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 38 ක් අරමුදල් හැටියට ලැබී ඇති බව වාර්තා කරනව.

ලංකාව වගේ නෙමෙයි හැබැයි ඇමෙරිකාව කියන්නෙ නම් ලෝකයේ ලාබ හොයන අය බහුලව සිටින රටක්නෙ. ඒත් ඔවුන් 1884 දී වෙන රටකින් තෑගි ලැබිච්ච ප්‍රතිමාවක් තමන්ගේ රටේ සුප්‍රසිද්ධ අගනුවරක තියන්නට කැමැත්තෙන් මුදල් පරිත්‍යාග යැව්ව. පසුගිය වසර තුන ඇතුලත ඉහත කිව්ව විඩියො ගේම් එක හදන්නට ඇමෙරිකන්කාරයාට ලෝකෙ මිනිස්සු මිලියන 38 ක් මුදල් පරිත්‍යාග කැමැත්තෙන් යැව්ව.

හඳයාගේ මේ උත්සාහය නිසා, ලංකාවේ චිත්‍රපටියක් හදන වෑයමක දී ප්‍රථම වරට කරළියෙන් අරමුදල් සෙවීමට අන්තර්ජාලය භාවිතා කිරීම ගැන දැනගන්නට ලංකාවේ බහුතරයකට ලැබීමත්, ලංකාවේ අයෙකුට කොතරම් දුරකට කරළියෙන් කෙරෙන අරමුදල් පරිත්‍යාගයෙන් නිමැවෙන කලා නිර්මාණයන්ට අතගහන්න අනාගත අවස්ථා ගැන හෝඩුවාවක් දැන ගැනීමටත් සහ අරයාගෙ මෙයාගෙ සල්ලි ආයෝජන විධි ගැන විවේචන කරන අය සිටිය දී කොතරම් දුරකට මෙවැනි වැඩකට අතදී ලාබ නොසොයන පිරිසක් සිය පරිත්‍යාගශීලීත්වය පෙන්වාවි ද කියාත් අපිට දැනගන්නට ලැබේවි.

http://crimso.com/project/film_by_handagama

කැමැත්තෙන් එවන පරිත්‍යාග සොයන හඳයාට ජයෙන් ජය පතමි!

ඉංජිනේරුවන් හා අනුන්ට ප්ලෑන් හදන අය නොදකින දෙයක්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 8, 2014

අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සකස් වෙන්නේ මාක්ස් සිට මෙතෙක් මාක්ස්ගේ අදහස් සාධාරණීය කරන්නට උත්සාහ ගන්නා සියල්ලන්ම තවමත් අල්ලා ගෙන සිටින මතවාදයෙන්. ඔවුන් සියල්ලන්ටම අනගි පරමාර්ථ ගැන පාරට්ටු බාන්නට හැකිය. එහෙත් ඔවුන් කිසිවෙකුට ඒවා ඉෂ්ට කරගත හැකි ආකාරය පහදන්නට තවමත් නොහැකිය.

ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියා හැමදාම අරගලයක ගැටෙනු ඇතැයි කියමින් ශ්‍රමිකයාගේ නොවැළැක්විය හැකි ජයග්‍රහණය උදාවන සමාජවාදී සමාජයක් ගැන සිහින මවන අය ලොව බහුලව සිටිය දී කාර්මික විප්ලවයෙන් ඉඩක් ලැබුණු ධනවාදී ආර්ථික ක්‍රමය ශ්‍රමිකයන්ගේ ජීවිත ලොව එතෙක් නොවි විරූ ලෙසකින් සැප සම්පත් වලින් පුරවන්නට සමත් විය. වැඩවසම් යුගයේ උප්පත්තියෙන් ශ්‍රමිකයා වෙතැයි නීතියෙන් හඳුන්වා දුප්පත් බැවින් හිරකර තබන ලද්දා කාර්මික විප්ලවයේ දී නිදහස් වී ප්‍රාග්ධන හිමියෙක් වන්නට හැකියාව ලැබුවේ මාක්ස් නිසා නොව කිසිවෙක් නායකත්වයක් නොගෙන ඕපපාතිකව ලොව පහළ වූ ධනවාදී ආර්ථික ක්‍රමයේ නිදහස් වෙළඳපොල නිසයි.

සෝවියට් විහිළුවක්: යූරි ගගාරින්ගේ දුව නාද වෙච්ච දුරකතනයට පිළිතුරු දෙනවා. “මමීයි ඩැඩීයි ගෙදර නෑ,” ඇය කියනවා, “ඩැඩී කක්ෂය වටා ගමන් කරනවා, එයා රාත්‍රී හතට ආපසු එනවා. මමී ගිහින් ගෙදරට අවශ්‍ය ආහාර පාන මිල දී ගන්න, ඉතින් එයා කොයි වේලාවට ආපහු ඒවිදැයි කවුද දන්නෙ.”

ඉංජිනේරුවන් හා අනුන්ට ප්ලෑන් හදන අය එදත් අදත් මිනිස් ස්වභාවය කුමක්දැයි විමසීම සහ එයට වැදගත්කමක් දීම අතපසු කරති. ඊට හේතුව ඔවුන්ගේ අධ්‍යාපනය හැඩගැසී තිබෙන ආකාරය නිසා යැයි පෙන්වා දුන්නේ ෆෙඩ්රික් හයෙක් විසින්.

මේ ගැන තව කියවන්න කැමති අයට: ෆෙඩ්රික් හයෙක් විසින් ඉංජිනේරුවන් සහ අනුන්ට ප්ලෑන් හදන අය නොදකින පැත්ත ගැන ලියූ ලිපිය මෙතැනින්.

ඉහත සෝවියට් විහිළුවෙන් කියන්නෙ ගැඹුරු සත්‍යයක්: ගගනගාමියෙක්ව කක්ෂයට යවලා ආපහු පෘතුවියට ගෙන්වා ගැනීම ඉංජිනේරු ගැටළුවක්. ගණිතයෙන් ඒ ගැටළු විසඳලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නැවත නැවතත් ඒ විදියටම ලබාගන්න හැටි ගැන මිනිසා පර්යේෂණ වලින් අත්හදා බලා තියෙනවා. ව්‍යවහාරික භෞතික විද්‍යාව සහ ඉංජිනේරු ශාස්ත්‍රය හැදෙන්නෙ මේ සොයාගැනීම් වලින්. යුරී ගගාරීන්ව අජටාකාශයෙන් ආපහු ගෙන්වා ගන්න 1850 දී නොදත්තාට එය 1961 දී විසඳාගත හැකි වූවක් බවට පත්වෙනවා.

ඒත්, ආර්ථිකයක් මෙහෙයවීම ඉංජිනේරු ගැටළුවක් නෙමෙයි. ආර්ථික ගැටළු විසඳන සරල ගණිත සමීකරණ නැහැ. ඒ නිසයි ගගාරින්ගේ බිරින්ඳෑ ආපහු එන්නෙ කොයිවේලාවේ දැයි අවිනිශ්චිත. මෙයින් කියන්නෙ ගෑණු බඩුගන්න ගියාම කරන කාලේ නාස්තියක් ගැන නෙමෙයි.

සෝවියට් විහිළුව සෝවියට් සැලසුම්කරණය ගැනයි. සෝවියට් අය මාක්ස්ගේ ශ්‍රම සූරාකෑම පිළිගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම රජයට පැවරූ නිසා වෙළඳපොලේ මිල විසින් කරන වැදගත් කාර්ය භාරය නැවතුණා. ඉතින් බඩු හිඟය සහ දිග පෝලිම් පටන් ගත්ත. එවක තමනට අවශ්‍ය නැති බඩුවක් පවා රාක්කයට එනවා නම් මිනිසුන් මිල දී ගත්තේ ඒක පස්සෙ විකුණාගන්න නැත්නම් තමන්ට අවශ්‍ය වෙන බඩුවකට මාරු කරගන්නට හැකියාව ලැබේවි අපේක්ෂාවෙන්.

ඒ වුනත් සැලසුම් නොකරන ලද ආර්ථිකයක දී, බඩුවක් ගන්න කඩේ යෑම හරියට ගගනගාමියෙක්ගේ අජටාකාශ ගමන් වගෙයි. අවශ්‍ය ඇණය ගන්න තියෙන්නෙ මොන කඩයේ ද කියා පාරිභෝගිකය දන්නව. බඩුව ගන්න මොන පාරෙන් මොන කඩයට ද යන්නෙ කියලා සහ කඩේ ඇතුලේ බඩු රාක්කයට යන ඉතාමත් කෙටි පාර මොකක් ද කියන එක ඒත් ඉංජිනේරු ගැටළුවක්.

රාජ්‍ය මැදිහත්වීම් අඩු වෙළඳපොලක දී හැම විටෙකම ගන්න හැකියාව ලැබෙන භාණ්ඩ හා සේවා මිල තීරණය වෙන්නෙ සියළු පාරිභෝගිකයන් විසින් කැමැත්තෙන් කරන ගණුදෙනු වලින්. රාජ්‍ය මැදිහත්වීම් වැඩි වෙද්දී බඩු කඩේ රාක්කයෙන් අතුරුදහන් වෙනවා. රාජ්‍ය මැදිහත්වීම් අඩුවෙද්දී ලෝකෙ ඕනෑ තැනක සිට වෙන ඕනෑ තැනකින් අන්තර්ජාලයෙන් ‘යක්කු ගස් නඟින වේලාවටත්’ බඩු මිල දී ගන්න පුළුවන්!!!

සෝවියට් රුසියාවේ, නැගෙනහිර ජර්මනියේ ජනතාව එදා පාන් නැහැයි කියලා ආණ්ඩුවට බැන වදිනකොට ලංකාවේ මාක්ස්වාදීන් කිව්වෙ අපොයි පාන් කන්නත් හොඳ නෑනේ කියල!!!!!

කැමැත්තෙන් මිල දී ගැනීමෙන් සහ නොගැනීමෙන් දක්වන පාරිභෝගික ප්‍රතිචාරය දැනගන්නට වෙළඳපොලට අවස්ථාවක් ලැබෙන්නේ නැතිකමෙන් අර්ථ ශාස්ත්‍රයේ වැදගත් කාර්ය භාරයක් වු මිල ගණන් දැනගැනීමට හැකියාවක් නැහැ. නොදන්නාකම නිසා ඇතිවෙන්නෙ ඉතා කණගාටුදායක බඩුහිඟය වැඩිවන හා බඩුමිල ඉහළ යන වෙළඳපොල තත්වයක්. ආදායම් අඩුවෙන ජීවන තත්වයක්.

‘අපේ දැක්ම’ මූලික අයිතීන් හැටියට හඳුන්වමින් ජීවිතයේ හැම අදියරක් සඳහා ම ආර්ථික මැදිහත්වීම් ගෙනෙනවා.

සෞඛ්‍ය සම්පන්න ජීවිත ගෙවන අයව දැන් හිරේ දානවා ද?

අධ්‍යාපනයක් ලබාගන්න කුලයක් හෝ ආගමක් නිසා තහනමක් තියෙනවා ද?

රස්සාවක් කරන්න කාගෙන් හරි අවසර ගන්න ඕන ද?

ඔයා කළු නිසා නිවාසයක් විකුණන්න බැහැයි කියලා නිවාස හදන අය කියනවා ද?

මේවා මූලික අයිතීන් හැටියට දක්වලා තියෙන්නෙ ඒවා නොමිලේ හෝ අඩු මිලකට තමන් තෝරන පිරිසකට බෙදන රාජ්‍ය මැදිහත්වීම් පරමාර්ථයෙන්. තවත් විදියකින් කිව්වොත් රටේ කොටසක් සල්ලි ගෙවලා ගන්න දේවල් තවත් කොටසකට නොමිලේ හෝ අඩු වැයකට බෙදලා දෙන්න හදන නිසා.

එහෙම වෙද්දී ඒ බෙදන වැඩ පිළිවෙලේ බරපැණ දරන්නේ කවුද? අද බෙදන මිනිස්සු වංචාකාරයන් නිසා ඒවා බෙදන්න ස්විට්සර්ලන්තයේ අයව අරන් එනවා ද?

රජයකට නීතියක් සම්මත කරගෙන නිවාස නැති අයට නිවාස ලැබීම මූලික අයිතිවාසිකමක් කියන්න පුළුවන්. ඒත් ආර්ථිකය කියන්නෙ නීතියක් ගෙනාවාට වෙනස් කරන්න බැරි තැනක්. ආර්ථිකයක යම් පිරිසකට නොමිලේ දෙන්න නම් තවත් පිරිසක් උපයන ලද්දෙන් කොටසක් බලහත්කාරයෙන් උදුරාගන්න ඕනෑ. නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් සල්ලි ණයට ගන්න ඕනෑ. ඒ ක්‍රම 3 න් ම මිනිසාට ස්වභාවික නීතියෙන් (රජයක් ගෙනෙන නීතිය නොව) ලැබුණ මූලික අයිතිය, තමන්ගේ වෙහෙසේ ඵලදාවේ අයිතිය උල්ලංඝනය වෙනවා. ඉතින් අපේ දැක්ම කියන්නෙ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවල දී රජයට එරෙහිව අධිකරණ ඉදිරියට යාමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කරන බවයි. එහෙම නම් ස්වභාවික නීතියේ මූලික අයිතිය උල්ලංඝනයට ගෙනෙන මේ නීති වලට එරෙහිව අධිකරණයට යා හැකිද?!!!!

සෝවියට් විහිළුව සහ එහි පැහැදිලි කිරීම ගැන මෙතැනින් කියවත හැකියි: Economics vs. Engineering

Follow

Get every new post delivered to your Inbox.

Join 226 other followers