කෙටිකතා
තවත් සිංහල කතා කියවන්න පහළින් ඇති තැනින් පුලුවන. “බ්‍යාමප්‍රභාව” මවිසින් ලියන ලද දිගු නවකතාවකි. “අපි ජීවත්වන්නෝ” අනුවාදයකි. “කෙටිකතා” පුවත්පත්වල පළ වූ/නොවූ මගේ නිර්මාණය. ඉඳහිට පැමිණ කොටස් වශයෙන් කියවන්න ආරාධනා කරමි. පිවිසීමට පිටුවේ දකුණත ඉහළින් ඇති පටුන වෙත යන්න. ස්තූතියි.
http://sinhalastory.wordpress.com/
අණ්ඩර අන්දරය
කැශ්මීර් ආපනශාලාවේ වෙනදා වගේ සෙනඟ හිටියේ නැහැ. චමන්ති ඇතුල් වුන තැනම දොර ළඟ පොඩ්ඩක් හිටගෙන බැලුවා වටපිට කවුරු හරි කෑම මේසය වෙත කැන්දා ගෙන යයි ද කියල.
“යන්න ගිහින් කැමති තැනකින් වාඩි වෙන්න.”
ඇතුලේ දොරකින් ඔළුව ඔබලා වේටර් කෙනෙක් කිව්වෙ මේසය තියන පැත්තට අත දිගු කරලා පෙන්වලා. එයාගේ නළල මැදින් රැම්බෝ ලෙසින් සිල්වෙස්ටර් ස්ටැලෝන් රගපාද්දි බැඳ ගත්ත වගේ රතු පටියක් දිස් වෙනවා.
චීන යුවතියෝ දෙන්නෙක් ගහ ගන්න වගේ කතාව. ඒත් එයාල ඔළු ලං කරගෙන කරන කිචිබිචි හිනාවක් නිසා ඒ එයාලග භාෂාව උච්චාරණයේ හැටි මිසක් දෙන්න තරහෙන් කරන කතාවක් නොවන බව චමන්ති තේරුම් ගත්ත.
“මිස් මොනවද බොන්න කැමති? අද බුෙෆ් එක ගන්න කැමති ද?”
එක ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න කළින් වේටර් තවත් ප්‍රශ්නයක් අහනව.
“ඩයටි කෝකා කෝලා එකක්. අහපු දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්.”
“දෙවැනි ප්‍රශ්නය?”
මේ දැන් අහපු ප්‍රශ්නෙ ඒ ඩිංගට අමතක වෙලා ද මේ මනුස්සයට. ඔහු අතේ කිළිටි අත් පිස්නයකි. එයින් ඔහු හැඳි කිහිපයක් ඔප දමයි. ආසියාතික හුරුවෙන් ඇති ආපනශාලා වල අත් පිස්නයන් බොහොම කිළිටි. ඒකට බලන්න ඕන ජර්මන් හරි ප්‍රංශ හරි කෑම කඩේකට ගොඩවෙලා. එයාල පාවිච්ච් කරන අත් පිස්නයන් සුදුම සුදු පාටයි.
“මිස් බුෙෆ් එක ගන්නව ද?”
“ඒක තමයි දෙවැනි ප්‍රශ්නෙ. ඔව්. බුෆේ එක ගන්නම්.”
“කෝක් එකට අයිස් ඕනා ද?”
“දාන්න.”
ඔහු ඔළුව වනා සිනා සී ඇතුල් කාමරයට වැදිණ.
කෙනෙක් තනිවම ආපනශාලාවක ආහාර ගැනීම හරි දුකක් ඇති කරන සීන් එකක්. එහෙම කියන්නේ චමන්තිගෙ හොඳම යෙහෙළිය අනුරාධා. එයා කිසිදාක තනිවම කෑම කන්න යන්නෙ නැහැ. ඒත් ඉඳහිටල දවසක වැඩ ගොඩ ගැහුණම දවල් ආහාරයට කඩේකට ගොඩවෙන එක චමන්තිගෙ සිරිත. පාරේ යන එන අය දිහා බල බලා කතාබහක් නැතිව නිස්කලංකෙ කෑම කන්න චමන්ති ආසයි. තමන් උයල පිහල පිඟානට බෙදා ගන්නවාට වඩා කෙනෙක් බොන්න බීම වීදුරුව පවා ළඟට ගෙනැත් දෙනවනෙ.
“මිස් ඉන්දියාවෙන් ද?”
තේ කහට පැහැති කොකා කෝලා පානය වීදුරුවේ අයිස් කැට අතරින් සිහින් පෙන බුබුළු දමයි.
“නෑ මං ලංකාවෙන්.”
“සිංහල කතා කරනවද?”
මෙවර ඔහු අහන්නේ සිංහලෙන්.
“ඔව්. පුළුවන්.”
ඔහු ප්‍රීතියෙන් ඔළුව වන වනා සිනා වෙයි. චමන්ති ගෑරුප්පුවක් අරන් පිඟාන දිහාට නෙත් යොමු කළා. පලක් පනීර් එක දියාරු වගේ. ඒත අළු ගෝබි මසාල එක නම් රස බව පෙනුමෙන්ම කියන්න පුළුවන්. තන්දූරී නාන් කෑල්ලකුයි කීමා නාන් කෑල්ලකුයි චමන්ති පිඟානට බෙදා ගත්තෙ හැමදාම බාස්මතී බත් කාලා එපා වෙලා හිටිය නිසා. ලංකාවේ වී වගා කෙරුණත් බත් කන්න හැමෝටම සල්ලි නැහැ. වී වගාව නැති දියුණු රටවල බාස්මතී හාල් තුන් වේලටම කන්න අවම පඩියක් ලබන කෙනාටත් හැකියාවක් ඇත.
“මෙහෙ ඇවිත් කොච්චර කල් ද?”
වේටර් තැන තමා අසල තවමත් රැඳී සිටින බව චමන්ති දැක්කෙ ඔහු කටහඬ අවදි කළ නිසා.
“අවුරුදු දහයක් පහළොවක්.”
“යුනිවසිටි යනවා ද? වැඩ කරනවා ද?”
“නෑ දෙකම නෑ.”
“මොකද කරන්නෙ?”
චමන්ති ඔහු දෙස බලා උන්නා මිසක් උත්තර දුන්නෙ නැහැ. කවදාවත් කතාබහ කරල නැති මේ මනුස්සය පුද්ගලික ප්‍රශ්න අහන්නෙ ඇයි? ඒත් ඔහුගේ මුහුණේ ඇත්තේ අවංක කුතුහලයකි. තමා අහන්නේ නොමනා විස්තර යයි ඔහු නොදනී.
“නිකම් ඉන්නවා.”
චමන්ති නැවතත් කෑම පිඟානට නෙත් යොමු කළේ ඔහු වෙනතක යාවී යන බලාපොරොත්තුවෙන්. මදැයි ආවා කන්න නිස්කලංකෙ ඉන්න බලාගෙන.
චීන යුවතියන් දෙදෙනා කෑම ගෙන අවසන්. අත් වැසුම් හා හිස් වැසුම් දාගෙන තවමත් ගහ ගන්න වගේ කතා කර කර ඒ එක්කම අතින් කටවල් වහගෙන හිනා තද කරගෙන කෑම කඩෙන් යන්න සූදානම්. ලාංකික තරුණයා ඔවුන්ගෙන් මුදල් අරගෙන ඔවුන්ට එතැන කවුන්ටරයේ තබා ඇති රස මුසු එනසාල්, සුවඳ දැමූ අසමෝදගම් ආදිය ගැන විස්තරයක් කරයි. තරුණියන් දෙදෙනා පිත්තල භාජනයේ රැඳි කුඩා හැන්දෙන් සිය අත්ල වලට ඉන් ටික ටික බෙදා ගනිති. තවත් මඳ දඟ හිනා පා ඔවුන් ආපනශාලාවෙන් පිටව යති.
“මිස්ට ඩෙසර්ට් වලට මොනවද ගේන්නෙ?”
හිස්ව ඇති කොකා කෝලා වීදුරුව පුරවමින් වේටර් තැන යළි අසයි.
“බුෆේ එකට තියලා ඇති එකක් කන්නම්.”
“මම ඇතුලෙන් ගෙනත් දෙන්නම්. කියන්න මොනවද ඕනා කියල. පිස්ටාෂියෝ පුඩ්න් තියෙනවා. මැන්ගෝ පුඩින් තියෙනවා. එතකොට ගුලාබ් ජමුන් පැනි දාලා හරිම රහයි. මෙෙතන්ට දාලා තියෙන්නෙ රයිස් කුල්ෆි විතරයි.”
” නෑ නැතුවාට කමක් නෑ.”
“කියන්න කියන්න මං ගානේ ගේන්න. සල්ලි ඕන නැහැ. ලංකාවේ කෙනෙක්නෙ.”
චමන්ති කැමති වුනේ නැහැ බුෆේ මේසයේ නැති යමක් ගෙන්වා ගන්න. මෙයා ආපනශාලාව අයිතිකාරයා නෙමෙයි. මඳක් පෘථුල දේහයක් ඇති ඔහුගේ බඩ පොඩ්ඩක් ඉදිරියට නෙරා ඇත. රතු පටියෙන් මෙල්ල වී ඇති කැරලි කොණ්ඩය ළඟක දී සෝදා නැති තරමට තෙල් ගතියෙන් දිලිසෙයි.
“එපා බඩ පිරිලා. බොහොම ස්තූතියි.”
චමන්ති නැඟිට ගත්තෙ පිටත් වෙන්න.
“දෙමව්පියො එක්ක ද ඉන්නෙ? නැත්නම් මහත්තය එක්ක ද?”
මෙයාට එක ප්‍රශ්නයක් එක වතාවක අහන්න දන්නෙම නෑ වගෙයි. ඇයි අහන්නෙ කියල පවසන්න වචන දිව අගට ආවත් එතකොටම චමන්තිගෙ හිතට ආවා ඒකට උත්තරය දැන ගන්න එයාට අවශ්‍ය නැති බව.
“අතේ මුද්දක් නැති නිසා ඇහැව්වෙ.” ඔහු නෝංජල් හිනාවකින් කියයි. “ෆ්‍රී ටයිමි තියෙනවා නම් ආයෙත් දකින්න ආසයි. බැඳලා නෑ නේද?” ඔහු මුදල් නෝට්ටු ගණන් කර ඉතිරිය චමන්ති අත තැබුවේය.
“ඔයාට වයස 25 ක් 30 ක්?” පුද්ගලිකත්වයට ඔහු පා පහරක් දී ඇත. කිසිත් නොකියූ චමන්ති ඉතිරි මුදල ජීන්ස් සාක්කුවට ඔබා ගෙන ආපනශාලාවෙන් පිටතට පැන ගත්තාය.
“මං මෙතන හැම තිස්සෙම ඉන්නවා. මෙතන්ට කෝල් එකක් දෙන්න ඉඩක් ලැබුනොත්.”
කඩයෙන් ඉවත්ව යන ඇයට ඔහු දොර හැර ඔළුව එළියට දමා සිංහලෙන්ම කියයි. නළල මත ඇති රතුපටිය හිරු එළියෙන් දිළිසෙයි.
හරි අහිංසක කෙල්ලෙක්. ලංකාවේ නිසා බඳින්න කෙනෙක් හොයා ගන්න බැරි වෙන්නැති තවම. කතා කළෙත් නෑ ලැජ්ජාවෙන් ද කොහෙද. චහ්..දෙමාපියෝ එක්ක කන්න එන්න කියන්න අමතක වුනානෙ මට. වේටර් තැන අමුතු උද්‍යෝගයෙන් කිළිටි අත් පිස්නයෙන් හැඳි මදින්නට පටන් ගෙන ඇත. ළඟක දී නුහුරු රටක රැකියාවක් සොයා ආ ඔහු නැවතුනේ මෙම ඉන්දීය ආපනශාලාවේ. ලංකාවෙන් පැන ආ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක ලැගුම් ගත්ත ද ඔවුනට ලාංකික කාන්තාවන්ගේ ඇසුර සඳහා මෙතෙක් අවස්ථාවක් උදා වී නැත.
චමන්ති ගමන් කළේ මඳ තරහකින්. ආයෙ වහෙන් ඔරෝ නැතුව කෙළින්ම බැස්සනෙ මිනිහ කතාවට. යයි කෙනෙක් එයා එක්ක ඒ වගෙ කතා කළොත්. කෙනෙක්ගෙ පුද්ගලික දේවල් ඔහොම අහන කොට යයි ද කෙනෙක් ආයෙ කතාබහට. මීට පස්සෙ කැශ්මීර් එකට නමි ආයෙ කන්න නොයන්න මතක තියා ගන්න ඕන.
ඒත් දවසේ ඉතිරි වැඩ කඩිනමින් ඉවර කරන චමන්තිට කැශ්මීර් ආපනශාලාවෙන් පිටවුනු මොහොතේ තිබුණු තරහ කෙමෙන් කෙමෙන් පහවෙලා ගියා. පව්. පාළු ඇති තනියම ඉන්න කොට. කියල දෙන්න තිබුණෙ එහෙම මුණ ගැහුණු ගමන් පුද්ගලික ප්‍රශ්න අහන්න හොඳ නැහැ කියල. නොදන්නකමනෙ. කොණ්ඩෙ එහෙම සෝදල නළලේ පටිය ගලවල දැම්මොත් කෙල්ලොත් කතා කරන්න අදිමදි කරන එකක් නෑ කියලත් කියා දුන්න නම් හොඳයි.
ඔහු හා ඒවා කියා දෙන හැටි මැවී පෙනුෙනන් චමන්තිගේ මුහුණේ සීන් සිනාවක් ඇඳී ගියා. චමන්තිගෙ වයස තිස්පහකි. උසස් අධ්‍යාපනයෙන් මඳ විරාමයක් ගෙන ඇති ඇය ඉතා දක්ෂ පරිගණක විශේෂඥවරයකි. රස්සාවල් බොහොමයකට ඇරයුම් තිබුන ද ඇය බලා ඉන්නේ පාඨමාලාව අවසන් කළ සැණින් තමන්ගේම කියා ව්‍යාපාරයක් අරඹන්නයි. ඇය තවමත් විවාහ වී නැත. ඊට හේතු බොහොමයකි. දෙමාපියන්ගේ කැමැත්ත ඇය ලාංකිකයෙකු හා විවාහ ගැනීමයි. එහෙත් ඔහු එසේ මෙසේ ලාංකිකයකු වන්නට ද බැරිය.
අපි බුලන්කුලම පරම්පරාවේ නම කාබාසීනියා කරල දාන්න නරකයි. පිටරට පදිංචියට ආවා කියල කුලය, ජාතිය, ආගම අමතක කරන්න බැහැ. අපේ තත්වෙට ගැලපෙන උගත් කෙනෙක් දූ බඳින්න ඕනා. එහෙම නිතර කියන්නෙ චමන්තිගෙ මවයි. චමන්තිගෙ හඳහනේ ග්‍රහ අපල දෝශයක් ඇති යයි ලංකාවේ ඉන්නා පවුලේ ජ්‍යෝතිශ්ශාසත්‍රඥයා පවසා ඇත. ඒ නිසා තත්වෙට ගැලපුන ද, පොරොන්දම් ගැලපෙන කෙනෙක් ද තවම සොයා ගන්නට පවුලට හැකි වී නැත.
ලංකාවෙන් ගලා එන විවාහ යෝජනා නමි අඩුවක් නැත. එහෙත් ඒ බොහොමය කැමති තමාට ද නැතිනම් පිටරට පුරවැසිබව ලබා ගන්නට දැයි චමන්ති සිතයි. ලාංකිකයන් අඩු රටක රටෙන් ආ කෙනෙක් සමඟ ආදර සබඳතාවයක් ඇති කරගන්නට ද ඉඩකඩ අඩුයි. පවි අර කොල්ලට මේ අණ්ඩර අන්දරය කිවිවා නමි එයා ආයෙත් කවදාවත් කෙනෙක් ගෙන් එහෙම පුද්ගලික ප්‍රශ්න අහන එකක් නෑ. දවසේ කටයුතු නිමා කර සිය නවාතැනට ඇතුල් වූ චමන්ති සිතුවාය. ඇය ඉන්නා වාසස්ථානයේ ලැගුම් ගෙන ඇත්තේ රැකියාවේ යෙදෙන හා ඉගෙනුමේ යෙදෙන තරුණ විදේශික කාන්තාවන් තිදෙනෙකි.
ඇලඩින්ගේ කුමාරිය
“මචං, මෙයා කැත ගහෙන් වැටෙන කොට තිබිච්ච හැම අත්තකම හැප්පිලා වගේ නේද?”
සාප්පු සංකීර්ණයේ එකදු කඩයකින් වත් යමක් මිල දී ගැනීමට වත්කමක් නැති කොල්ලො රැලක් නර්මදා අසලින් කියාගෙන ගියහ.
“වැනියන් කළු වැනීයන්, කැත නාඹර වැනීයන්” වැනි පද කුඩා කළ පටන් තමන් වෙත එල්ල වූ බව දන්නා නර්මදා මෙවැනි නොහොබිනා කතා වලින් කුපිත වූයේ නැත.
කාර්යාලයේ තම මේසය සෑමදාම මල් සැරසුමකින් ලස්සන කිරීමට ඇය පුරුදුව සිටියාය. සමහර විට අහළ පහලින් යන අයගේ නෙත් තමන් කෙරෙන් මෑත් කර මල් දෙස යොමු කිරීමට තමන් ගත් උත්සාහයක් වන්නට ද පුළුවනැයි ඇයට සිතිණ. මල් වලට කවදත් ප්‍රිය කළ ඇය දැන් මේ මල් සාප්පුවට ගොඩනැඟුනේ ද අළුත් මල් කීපයක් රැගෙන යාමටය.
“නර්මදා මිස් ගුඩ් මෝනින්!”
“ගුඩ් මෝනින් ශීලා, මොනවද තියන අළුත් මල්?”
“ඇන්තූරියම්ස් ආවා. ලොකු ඒවා.”
“කාගෙන්ද ගෙනාවේ මේවා? හරිම ලස්සනයි. ගොඩ දවසක් තියාගන්න පුළුවන් වෙයි.”
“නර්මදා මිස් මල් ගන්න හැටියට මල් සාප්පුවක්ම දා ගත්ත නමි හොඳ ගානක් ඉතුරු කර ගන්න තිබුණා.”
“මං මල් සාප්පුවක් දැම්මොත් ශීලාගේ බිස්නස් වලට පාඩුයිනෙ.”
ශීලාගේ මල් සාප්පුවට මල් සපයන අය නර්මදා දැන සිටියාය. නර්මදාගේ යහළු මිත්‍රාන්ගේ තවාන් වලින් එන මල් ඇය මෙතැනට පැමිණ මිල දී ගන්නා බව ශීලාට රහසක් නොවීය. ඒ අය නර්මදාට ඇති තරම් මල් නොමිලේම දෙනු ඇතැයි ශීලාට නිසැකය. එහෙත් කිසි දිනක ඒ ගැන ප්‍රශ්න නොකිරීමට ශීලා වගබලා ගත්තාය.
“සරලාගේ උපන් දිනේ තව දවස් දෙකකින්. එයාට දෙන්න හොඳ ලස්සන මල් කළඹක් ගෙනියන්න පුළුවන් වෙයි මේ ඇන්තූරියම්ස් දාලා.”
“මේවා පලිපානලගේ වත්තෙන්. සරලා එහෙ යන්නෙ නැති නිසා දැකල නැතුව ඇති මේ මල්.”
“එහෙනම් මට මල් විස්සක විතර අරන් තියන්න ශීලා.”
ලෝබ නැතුව තම යෙහෙළියන්‍ට මල් අරන් දෙන නර්මදාට කියා මල් ගැනීමට කවුරුවත් තම කඩයට ගොඩ වැදී නැති බව ශීලා මෙනෙහි කළාය.
කාර්යාල මේසයේ තැබීමට ගත් මල් තුනක් එතූ සව් කඩදාසිය දරුවකු ලෙසින් තුරුළු කරගත් නර්මදා කලබලකාරී සඳුදා උදෑසන තදබදයට එකතු වූවාය.
නර්මදාට පෙළපතක් ගැන උදම් අනන්නට නොහැකිය. වත්කමකට ඇත්තේ උපාධියත්, දේශපාලන බලපෑම් වලින් තොරව ලබාගත් රැකියාවත්ය. විකෘති පෙනුමකට ඔන්න මෙන්න තිබියදී නිර්මිත වූ ඇයගේ මුහුණුවර ස්වභාව ධර්මයා කරන ලද සරදමක් විය. සිහින් ඉඟක් ද, ඊට සරිලන මනා දේහයකට හිමිකම් කිව්වද, ඇගේ මුහුණ බලා කතා කිරීමට අදිමදි නොකළේ එහෙමත් කෙනෙකි.
“ඔයාට පිටරටකට ගිහින් ඔය නළු නිළියෝ කරන ශල්‍ය කර්මයක් කරගෙන එතෑකිනෙ.”
වරක් නර්මදාගේ හිතවතියක් ඇයට අවවාද දුන්නාය.
“මට සල්ලි නෑ අනේ ඕවට වියදම් කරන්න. ඇරත් මගේ මූණ මම දකින්නෙ කණ්ණාඩිය ඉස්සරහට ගියාම විතරයිනෙ.”
“ඒත් නර්මදා හොඳ සැත්කමක් කරගෙන ලස්සන වෙලා ආවම හැන්ඩ්සම් කොල්ලෙක්ව දා ගන්න පුළුවනිනෙ.”
ජීවත්වෙන්නේ කොල්ලෙක් යාළු කර ගන්නම ද යන්න ගැන නර්මදා ඇයගෙන් අසන්නට සිතුවත් සරෝජීනී එසේ උපදෙස් දුන්නේ තමා කෙරෙහි වූ ළැදියාව හෙයින් නර්මදා මඳ සිනහවකින් කතාව නතර කළාය. පැකිළීමකින් තොරව තම හැඩරුව ගැන කතාබහට නර්මදා මුහුණ දුන්නත් අන් අයට එය බෙහෙවින් අසීරු බව නර්මදා දැන සිටියාය.
කිසි දිනක නර්මදා ආත්මානුකම්පාවෙන් තැවුනේ නැත. තම මුහුණුවර බලා අන් අයට දැනුණ වේදනාව තමනට නොදැනුනේ මන්දැයි සමහර විටෙක ඇය තනිවම සිතුවාය. තටිටු නිවාසයක ජීවත් වූ නර්මදා තම නිවස අලංකාරව තබා ගත්තේ ගෙදරට යන එන අය සිටි නිසා නොවේ. ඇයව මුණ ගැසීමට පැමිණියේ කලාතුරකින් කෙනෙකි. ඒ අය ආවේ පණිවිඩයක් දීමට හෝ යමක් ඉල්ලා ගැනීමට මිසක ඇය හා සුහද සාමීචීයේ යෙදී සිටීමට බලාපොරොත්තුවකින් තොරවය.
කාර්යාලයට ගොඩ වූ නර්මදා මේසය මත වූ මල් පෝච්චියත් රැගෙන කැන්ටින් කාමරයට පිය නැඟීය. කැන්ටිමෙන් ගලා ආ දෙබස කන වැදුන ඇය අරින්නට දිගු කළ අත දොර අගුලෙන් ඉවත් කර වටපිට බැලුවාය.
“බෑ අනේ. එයා ආවොත් පාටි එක නිකම්ම හුලං බැස්සා වෙයි. කාටවත් මූණ දීහා බලල කතා කරන්න බැරි වුනාම හරිම අප්සෙට්.”
“හැමෝටම එන්න කියලා එයාට විතරක් නොකියා ඉන්නෙ කොහොමද සරලා?”
“මං දන්නෑ අනේ. ඒත් ගෙන්න ගත්තොත් අනිත් අයට පවි. එයාටත් පවි. කවුරුත්ම කතා නොකර හිටියොත්.”
මල් පෝච්චියත් අළුතින් ගෙනා මල් කීපයත් අතැතිව නර්මදා ආපසු තම මේසය කරා ගියාය.
“ඇයි මිස්, වතුර එන්නැද්ද ටැප් එකේ?”
“ආ සිරිදාස, මට හදිසි වැඩක් මතක් වුණා. මේක අරන් ගිහින් වතුර ටිකක් දාලා ගෙනැත් දෙන්න ප්ලීස්.”
සරලාගේ උපන්දින සාදයට තම පැමිණීම කරදරයක් වනවා නිසැකය. තමා කොන් වී සිටියොත් එය සරලාගේ විනෝදයට බාධාවකි. කාර්යාලයේ හැමෝටම ආරාධනා කරන සරලාට නර්මදා වෙත පමණක් ආරාධනාවක් නොකර සිටීමට ද නොහැකිය.
උපන්දිනේ වැටෙන්නේ බදාදා. ඒත් එයා පාටිය ගන්නවා ඇත්තෙ සිකුරාදා හරි සෙනසුරාදා හරි වෙන්නැති. වෙන ගමනක් යන්න තියනවා කියන්න පුළුවන්. දවස දැන ගන්න ක්‍රමයක් ඇත්තනම් හරි.
“සිරිදාසව මිස්ට වීරසිංහ එක්කන් ගියා මොනවද පෙට්ටි වගයක් උස්සන්න. මේ වතුර ඇති ද මන්දා මල් වලට.”
කට ළඟටම වතුර පිර වූ මල් පෝච්චිය රැගත් සරලා නර්මදාගේ මේසයට ළඟා වුනාය.
“පෝච්චිය පිරෙන්න ම වතුර දාන්නෙ නැහැ. ටිකක් වතුර දාලා හැමදාම වතුර මාරු කරන්න ඕන. එතකොට ගොඩක් කල් මල් තියා ගන්න පුළුවන්.”
“මං මල් වලට ආසයි. ඒත් තියාගන්න හැටි නමි ඔයා තරම් දන්නෙ නැහැ.”
“සමහර මල් කල් තියා ගන්න ලේසියි. ඔයාගෙ උපන්දිනේට දෙන්න ලස්සන මල් ටිකක් දැක්ක. ඒවා ගොඩක් කල් තියාගන්න පුළුවන් ජාතියේ ඒවා.”
සරලාගේ මුහුණ අඳුරුව ගිය බව දුටු නර්මදා යටිතොල හපා ගනිමින් තම වැරැද්ද නිවැරදි කර ගැනීමට යත්න දරුවාය.
“මට නෑඳෑවෙන දුවෙක් ඉන්වයිටි කරල තියෙනවා පාටියකට. ඒකෙන් ගැලවෙන්න අමාරුයි. ඔයාගෙ පාටියට ආවේ නැත්නම් තරහා නෑනෙ සරලා?”
දිනයක් වේලාවක් ගැන සඳහනක් නැතුව නර්මදා සරලාට ගැලවීමට මඟක් පාදා දුන්නාය. සරලාගේ මුහුණට මඳ ආලෝකයක් වැටුණි.
“මොන වගේ පාටියක් ද නර්මදා? මම නමි රෑ කෑම දෙන්නෙ. ඉරිදා. ඊ ළඟ දවසෙ උදේට වැඩට එන්නත් ඕනනෙ. ඩාන්සිං එහෙම තියන්න ගියොත් ගොඩක් රෑ වෙනවා. අහළ පහළ අයත් එක්ක සද්දෙ ගැනත් බලන්න එපායෑ.”
“දුව තියන්නෙ කොස්ටියුම් පාටියක්. එයාට ඇඳුම් මහන්නත් මම කළින් යන්න ඕන. අර අරාබි කතන්දරයේ ඉන්න ඇලඩින්ගේ කුමාරිය විදියට ඇඳගෙන යන්න මම හිතා ගෙන ඉන්නෙ. එතකොට ඇස් විතරනෙ පේන්නෙ. දුව නම් සීගිරි අප්සරාවියක් වෙන්න හදනවා. නැන්දා ඒකට තදින්ම විරුද්ධයි. මාත් එක්ක යන නිසා තමා දූට යන්නත් අවසර දුන්නෙ.”
“අපිට කියන්නකො කොහොමද කියලා ගිහින් අවාම. අයියෝ මම තරහ නැහැ ඔයා මගේ උපන්දිනයට ආවේ නැති වුණාට. ඔෆීස් එකේ කාණ්ඩෙමනෙ ආයෙ එකතු වෙන්නෙ. අපිත් දවසක එහෙම විචිත්‍ර වස්ත්‍ර අඳින වේෂ නිරූපන සාදයක් දාමු නේද?”
සැහැල්ලු හිතකින් සරලා ඇයගේ මේසයට පිය නැඟීය. ස්ථානෝචිත පුඥාවක් පහළ කර දීම ගැන නර්මදා තම මොළයට ස්තූති කර ගත්තීය.
(මෙය 1999 ජූනි 7 වැනිදා නවලිය පත්‍රයේ පළ වූවකි.)
Did u write this abt Nishanthi? I think its abt her, any way its gud,mail me
It is pure fiction. I do not know Nishanthi, however glad to hear there is such a strong character out there!
Really nice.Congratulations for u r Blog.
I have red ur navels(Kyamaprabhawa).Books was really good but unfortunately book covers don’t reflect the inside story.It gives shallow feeling before read the book.
Anyway Im glad to read u r articles.
Thanks for blog.
චමන්තිගෙ කතාවෙ ඊලග කෑල්ලක් නැතුව ඇති මයෙ හිතේ 🙂
එහෙම උනොත් ඉතින් කෙටි කතාවක් වෙන්නෙ නැහෙනෙ
කතා දෙකම අනර්ගයි
මම වඩාත් කැමති චමන්තිගේ කතාවට. මටත් මේ සමාන අත්දැකීමකට මූණ දෙන්න වුන නිසාද මන්දා..
තව ලියන්න. ජය!
අහම්බෙන් දකින්න ලැබුනෙ ඔබේ අඩවිය. මේ ලියවීම් අනර්ඝයි. නිර්මාණ අපූරුයි. සුභ පැතුම්
[…] නවලිය පත්‍රයේ පළ වූවකි. එසේම “අරුණි ශපීරෝ වෙතින්” බ්ලොග් සටහනේ කෙටිකතා යටතේ ද එකතු […]
[…] “අරුණි ශපීරෝ වෙතින්” බ්ලොග් සටහනේ කෙටිකතා යටතේ එකතු කරන […]
Aruni Shaphiro;
I thoroughly enjoyed. Wanted to leave a note. Will update you when I publish my short stories.
nice ty ……………..:)
අරුණි
ඔයාගෙ ලස්සන කතා පත්තරවල ගියත් බලපු නැති අය ඇතිනේ. මමත් අදයි කියෙව්වේ. ඒ නිසා ඔයාට පුලුවනි නම් මේ කෙටි කතා වලින් පොතක් මුද්‍රණය කරන්නකෝ.
ඔයාට කොහොමත් ලස්සනට ලියන්න පුලුවන්. ජය!
neetha,
ස්තූතියි නීතා මේ පැත්තේ ඇවිත් ගියාට සහ සුබ පැතුමට. ආයුබෝවන්! කියා පිළිගන්නම්.
ඒකාධිකරයක් තියන ලාංකික මුද්‍රණ හා අලෙවි මාධ්‍යයට ආයෙත් යන්න අදහසක් නැහැ. රුපියල් වලින් වියදම් පියවා ගන්න බැරිකම. පුද්ගලයා නිර්මාණය කරන්නේ නිර්මාණ කුසලතාවය ඇති නිසාම මිසක ලාභ සොයනු පිණිස නෙවෙයි කිව්වාට පාඩු විඳගෙන නිර්මාණය කරන්නත් බැහැනෙ.
අද ලංකාවේ ඉන්න ජනගහණයට වැඩියෙන් වයර්ලස් ෆෝන් තියනවාලු. දැනටමත් ෆෝන් එකෙන් කියවන අය ගොඩක්. ඉදිරියට ටැබ්ලට් පාවිච්චිය ආවොත් තව වැඩි වේවි.
සිංහල කියවන පිටරටවල් වල ඉන්න අයටත් ලබා ගැනීමට පහසු මඟක්.
අනික, මුද්‍රිත පිටුවක තනිවෙනවා නොව, නිර්මාණය කරන්නා හා සම්බන්ධ වෙන්නත් පුළුවන්නෙ.
ඉදිරි දිනයෙක ඩිජිටල් මාධ්‍යයෙන් (නොමිලේ) සිංහල බසින් කියවන්නා වූ අය වැඩි වැඩියෙන් එද්දී, දැන් ඉඳලාම සංචිතයක් හදලා තියන්න උත්සාහයක් ගන්නෙ.
ගහක් දෙකක් බේරගන්නත් පුළුවනිනෙ.
අරුණි සති මැද හම්බවුන ටොයිල් නිවාඩුව නිසා සෑහෙන්න දුරකට ඔයාගෙ බ්ලොග් එක කියවන්න පුලුවන් වුණා.පටන්ගත්තේ කෙටිකතා , නවකතා කොටස්වලින් . මේකෙ චමන්තිගෙ කතාව වගේ ඒවා මටත් ඕනෙ තරම් වෙලා තියේ . කෙල්ලෙකුට නිවී සැනසිල්ලේ තනියම ගිහින් නම් රෙස්ටුරන්ට් එකක් කෑම කෑව බොරු විශේෂයෙන් ලංකාවේ . දැන් අවුරුදු දෙහෙකට කලින් දෙසැම්බර් වල රාජකාරි වැඩක් නිසා මට බිස්නස් හොටෙල් කියල එකක තාවකාලිකව නැවතෙන්න වුනා .කරුමට අපේ ක්වාර්ටස් අලුත්වැඩියවක් නිසා .රෑ කෑමට රෙස්ටුරන්ට් එකට යන්නෙ නිදහසේ එහාපැත්තේ මුහුද දිහා බලන් කෑම කන්න . ඒත් රෙස්ටුරන්ට් එකේ එක කොල්ලෙක් පුදුම උනන්දුවක් තිවුනෙ මට සර්ව් කරන්න .ඒක මල වාතයක් වුණා අන්තිමට .මනුස්ස කමට ආචාරසීලීවෙන්න අහපු ප්‍රශ්නෙකට උත්තරදුන්නම් මගේ අල ගිය වැලගිය තැන් සේරම හොයන්න තියගත්තා .ඒ මදිවට මාර හිනා යන වැඩක් . රෙස්ටුරන්ට් එකේ වොට් සීයෙ විතර ෆ්ලොරසන්ට් ලයිට් පත්තු වෙන දාක මේ යකා මගේ මේසෙ උඩ ඩිනර් තියලා, කානේෂන් මලුත් තියලා ලස්සන කැඬල් ලයිට් චිමිනි එකකුත් පත්තුකරල තියපි .මොකෝ කියල ඇහුවම ජස්ටු බි රොමැන්ටික් කිව්වා .ඒ රොමැන්ටික් වීම කෙසේ වෙතත් එනපොට හොඳනැති නිසා රෙස්ටුරන්ට් මැනේජර්ට කිව්ව ඉතුරු දවස් පහේ ඩිනර් කාමරේට එවන්න කියලා . හිකිස්
ඛ්‍යාම ප්‍රභාව ඔක්කොම එක හුස්මටම ඊයේ කියවල ඉවරකලා .සෑහෙන්න කාලෙකට පස්සේ රසවත් යමක් සිංහලෙන් කියෙව්වේ කියල හිතුනා.මේ කතාවල යටි පෙල අරුත් වලට මම කැමතියි .විශේෂයෙන් එවයෙ ඒන සමාජ ,දේසපාලන විග්‍රහයට .ඒ වගෙම එකේ ගැහැණු චරිත නිර්මාණය වෙලා තියෙන හැටි මම හරි අගේ කරනවා .ගොඩක් සිංහල නවකතාවල දෙන අදහසක් තියෙනවා විමෙන් ආර් විමෙන්ස් බෙස්ට් එනිමීස් වගේ . ඒත් මගෙ ජීවිතේ තියෙන කෙටි අත්දැකීම් වලින් තේරුණ දෙයක් තමයි ගෑනියෙක්ගේ දුක තේරෙන්නෙ ගෑනියෙකුට. ජීවිතේ ඔක්කොම නැගිටීම් වැටීම් සේරම එක්ක හරි මචං ඕනෙම නරක දේකට වුණත් මූණදෙන්න අපි ලේස්තිවෙමු කියල මට කියල තියෙන්නෙත් මගේ මිතුරියො විතරයි .ඒක නියමෙටම ඔයාගෙ කතාවෙ තියෙනවා.ඒ වගෙම අර ගෑනු අපිටම තියෙන කොයිතරම් වයසට ගියත් අතරින්න අමාරු සමහර පිස්සු ගතිත් ඔයා නියමෙටම ලියල තියෙනවාන් .තෑන්ක්ස් ඒකට .මේ ඛ්‍යාම ප්‍රභා කොහෙන්ද ගන්නේ .කාගේ ප්‍රකාශනයක් ද කියල කියනවද ප්ලීස් ?
TG,
ඔව් ඒ කෙටිකතා හා නවකතාව තුලින් මට ඕනා වුනේ සිංහල සාහිත්‍ය තුල දකින ලංකාවේ කාන්තාව හිර කරලා තිබිච්ච රාමුවෙන් එළියට ගෙන පෙන්වන්න. මම එහෙම රාමුවක හිරවෙලා සිටියෙ නැති නිසා, එහෙම හිටියෙ නැති තවත් අය ගැනත් දත් නිසා, සමහර විට ඒ කතා ලියන්න පහසු වෙන්නැති!!! පොත් කර්තෘ ප්‍රකාශන. දැන් කඩවල් වල නැහැ.
මුහුද දිහා බලන් කෑම කන්න මාත් හරි ම ආසයි. තනියම ඉන්නා කාන්තාව දිහා වපර ඇසකින් බැලීම ලංකාවේ කවදා වෙනස් වේ දැයි මාත් බලාගෙන ඉන්නෙ. ඒ වගේ ම ලංකාවේ ආචාරශීලීත්වය කුමක් දැයි දන්නෙ ඉතා ටික දෙනෙක්. ජීවිත සටන දන්නා, ආචාරශීලීත්වය දන්නා, අනුන් කියන කරන දේවල් වලින් නොසැලී ඉන්නට හැකි කාන්තාවන් හඳුනා ගන්නට ලැබීම මට හැමදාම සතුටක්. එහෙම අය එච්චර වැඩියෙන් නැතත් සෑහෙන්න ඉන්න බව දන්න නිසා අනාගතය සමහර අය හිතන තරම් අඳුරු නැතැයි කියා සිතන්නත් කැමතියි.
හොඳ කතාවක් ඔයාගේ අනිත් පොත් කොහෙද ගන්න තියෙන්නේ? I can’t find any in Amzon.
Ajith Dharmakeerthi,
ඒවා දැන් අවසන්. ආයෙත් මුද්‍රණයට අදහසක් නැහැ. කිහිපයක් නොමිලේ කියවන්න පුළුවන්: http://sinhalastory.wordpress.com/
thanks
එල ද බ්‍රා