අරුණි ශපීරෝ‍ වෙතින්

දෙබරයකට ගලක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 26, 2009

දෙබරයකට ගලක් ගහන්නයි මේ සූදානම. කාටවත් හෝ කිසිවකටත් ගරහන එක අරමුණ නොවෙයි. හැබැයි ඒක තේරුම් ගන්න හෝ පිළිගන්න ඇහැකි වෙන්නෙ ස්වාධීන චින්තනයට හුරු අයට පමණයි.

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර කතෝලික බිෂොප්වරු හතරදෙනක් ළමා අපචාර චෝදනා වලට පාත්‍ර වුනු බව බී.බී.සී නිවේදනයකින් අහන්න ඇති. පස්වැන්නෙකුත් ඉන්නවාලු. අයර්ලන්තය කියන්නේ කතෝලික ආගම වැඩියෙන් අදහන අය ඉන්න රටක්.

මෙච්චර කාලයක් කතෝලික පල්ලිය තමන්ගේ පාදිලිවරුන් කරන ළමා අපචාර ක්‍රියාවන් වහගෙන හිටියෙ ආගමට තියෙන බය නිසා කවුරුත් ඒ ගැන හොයා බලන එකක් නැහැයි කියන විශ්වාසය උඩ. අනික එක වෛද්‍යවරයෙකුට විරුද්ධව තවත් වෛද්‍යවරයෙක් සාක්කි දෙන්න යන්නේ නැහැ වගේම පල්ලියේ වැරදි වහගන්න හැකියාව තිබුණ.

කතෝලික පල්‍ලියේ ළමා අපචාර වලට නීතිමය වශයෙන් පියවර අරගෙන ඇමෙරිකාව තුල වූ අන්දෝලනය නිසා සමහර කතෝලික පල්ලි වහන්න සිද්ධ වෙලා. ළමා අපචාර වලට ලක්වූවන් වෙතට වන්දි ගෙවන්න මුදල් පල්ලියට දෙන ආධාර වලින් ලැබෙන එක නතර වෙන්න පටන් ගෙන.

මෙච්චර කාලයක් යනතුරු කොලේ වහගන හිටියේ ඇයි කියන එකට වඩා ‍විමසන්න ඕන ප්‍රෝටීන් පදාර්ථ බහුල මස් කන, වයින් බොන පිරිමි කාණ්ඩයකට කාමයේ හැසිරීම තහනම් කරල තිබීම ගැන. කායික අවශ්‍යතාවයක් සපුරා ගන්නට ඉඩක් නොතබා නීති පැනවීම නිසා ඊට භාජනය වූ මනුෂ්‍යයා එයට හොරෙන් යොමුවීම ආගමට ඇති බයත් යටකරන්න සමත් වුනාද?

අවසානයේ දී වැරදි නීති නිසා පහත් තැනින් වතුර ගලන නියාමය අනුව ඒ වැරදි වලට අහුවුනේ අහිංසක දරුවෝ.

කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් වල පූජකවරුන්ට විවාහය හා කාමයේ හැසිරීමට ඉඩකඩ ඇත. ඒ අය අතර ද තම බලය හා තත්වය නිසා ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා අය නැතැයි නොකියම්. එහෙත් එසේ හැසිරෙන අය අඩුය. එසේම කතෝලික පල්ලිය ලෝකයේ සිටිනා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් බලවත් සංවිධානයක්. ඒකට වගේ යටපත් කරගෙන සගවාගෙන ඉන්න අනිකුත් සංස්ථා වලට අසීරුයි.

අර කළින් සදහන් කරපු දෙබරයට ගහන ගල මේක. ආගමක නාමයෙන් ලිංගික කටයුතු වලින් අයින් වෙලා ඉන්න තවත් පුරුෂ කොට්ඨාශයක් තමයි සංඝ පරපුර. ඒ අය අතර පැවතෙන ලිංගික අපචාර ගැන සමාජයට දැන ගන්න නොලැබෙන්නෙ ආගමට ඇති බය නිසා, මහණකමට ඉතා ළදරු වයසෙන් දරුවෝ දන් දෙන නිසා, සංඝ සංස්ථාවත් ඉතා රහසිගතව පවත්වාගෙන යන නිසා වැනි හේතු රාශියක් මුල් කරගෙන. අහිංසක ළමා වයසෙන් මහණකමට හිරවෙන මනුෂ්‍යයෝ කියන්න කරන්න දෙයක් නැතිව ලිංගික අපචාර වලට ගොදුරු වෙන එක කවදා හෝ එළි දකින්න ලැබෙයි.

මස් කෑවේ නැති වුනාට, වයින් බිව්වෙ නැති වුණාට අද අපි දකින්නේ බොහොම පෘථුල ශරීර ඇති සාමාන්‍ය මහජනයාට වඩා උස් මහත් වැඩුණු සිරුරු වලින් යුතු සංඝ පරපුරක්. ඒ අයට කෑම බීමෙන් අඩුවක් නැති බව පේනවා. සංඝයා අතර ළමා අපචාර සිද්ධ වන බව ඔප්පු කරන්න හැකි වුවත් ඊට සාක්කි දෙන්න ඉදිරියට එන්න ස්වාමීන්වහන්සේ කෙනෙක් එඩිතර වෙයිද කියන එක සැකයක්. ඒත් සිවුරු අත්හැර දමපු අය ඉදිරිපත් වෙයි නීතිමය පියවර ගන්න මාර්ග ඇති වුවහොත්.

ඊට කළින් සංඝ පරපුර සමහර බෞද්ධ රටවල සිදු කරන ආකාරයට විවාහ ජීවිතයට පා තබා පසුව මහණ වෙන්න අවස්ථාව ලබා දෙනවා නම්? බුදු හාමුදුරුවෝත් කම් සැප වින්දා නේද?

17 Responses

Subscribe to comments with RSS.

  1. පිටස්තරයා said, on දෙසැම්බර් 26, 2009 at 11:55 පෙ.ව.

    හප්පා.. දැන් නාන්න යන්නේ.. ඔන්න පටන් ගනී තව ටිකකින්. එත‍කොට එන්නම්කො ආයේ මේ පැත්ත බලලා යන්න :p

    සියළු කරුණු වලට එකඟ වෙනවා. මේ සම්බන්ධව අපි කියන්න හදපු දෙක තුනකුත් තියෙනවා. කමක් නැත්තන් මේ ලින්ක් පල කරන්න.

    http://www.theopen.chamiladealwis.com/2009/07/before-we-hang-the-teachers/

    http://www.theopen.chamiladealwis.com/2009/04/%E0%B6%9A%E0%B7%8F%E0%B7%85%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA/

    මේ ලිපි වල තියෙන සමහර පොඩි අදහස් මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. නමුත් ප්‍රධාන අදහස එහෙමමයි.

  2. ත' ර්ඩ් මෑන් said, on දෙසැම්බර් 26, 2009 at 12:18 ප.ව.

    ළමා වියේදී දෙමාපියන්ගේ අනුබලය යටතේ දරුවන් මහණ කරවීමට මා පුද්ගලිකව අකමැති වුවද, නිසි වියට පැමිණි පසු ශාසනයේ රැදී සිටින්නේද නැත්ද යන්න තමන්ට තීරණය කළ හැකියි.

    සම්බුද්ධා ශාසනයේ හා අනෙකුත් දහම් අතර ඇති වෙනස නම්, බුද්ධ පුත්‍රයකු වන පැවිදි උතුමන්, සියළු ලෞකික සැපයන් අත්හැර නිර්වානය ඒකායන අරමුණ කොට ජීවත් වීමයි. යමෙකුට පැවිදිවූ පසු ලෞකික සැප සම්පත් කෙරෙහි අරමුණු කරන්නේනම්, ඔහු පැවිදි බවින් සමුගත යුතුබවයි මගේ අදහස.

    නමුත්, බුද්ධ වචනය අනුව, අනාගතයේදී ගිහියකු හා පැවිද්දෙකු අතර වෙනස , අතේ පැළදි කහ නූලක් බවට පත්වනවා.

    • -බිன்ku- said, on දෙසැම්බර් 28, 2009 at 9:03 ප.ව.

      ළමා වියේදී දෙමාපියන්ගේ අනුබලය යටතේ දරුවන් මහණ කරවීමට මා පුද්ගලිකව අකමැති වුවද, නිසි වියට පැමිණි පසු ශාසනයේ රැදී සිටින්නේද නැත්ද යන්න තමන්ට තීරණය කළ හැකියි.

      මෙම ලිපියේ මාතෘකාව අනුව ඔබේ පිළිතුර සැලකුවොත්. ලිංගිකව අපයෝජන වුණු ළමා පැවිද්දෙක් වැඩිහිටි වුණත් පැවිදි බිමේම සිටින්නට පෙළපෙන්න පුළුවන්. අනික් කාරණාව එසේ ගිහි හැර යෑම ලංකාව තුළ ප්‍රායෝගිකව ලේසි නෑ.

  3. No Frames said, on දෙසැම්බර් 26, 2009 at 1:22 ප.ව.

    Completely agree with this. This is due to sick bastards entering the monkhood for personal gains. And some of these sick bastards are paedophiles. One option that Snagha can take is to increase the minimum age of ordination up to 14-16. That will allow better monks to come out of the system and to reduce sexual exploitations.

  4. තරිඳු said, on දෙසැම්බර් 26, 2009 at 2:38 ප.ව.

    එකඟයි සම්පූර්ණයෙන්ම. මට මේ ගැන පෞද්ගලිකවම කරුණු දක්වන්න පුලුවන්. මොකද කියනවනම් මමත් හීරලුවෙක්නෙ. මේ ගැන පෝස්ට් එකක් මගේ බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නවා. බලමුකො.

  5. KHAP Dayaratne said, on දෙසැම්බර් 27, 2009 at 4:42 පෙ.ව.

    පැවිදි ජීවිතය ව්‍යාජයකි. එය කය සහ මනස අතර තිබිය යුතු සහසම්බන්දය ඛන්ඩනය කරයි. පැවිද්දන් තවදුරටත් එම ජීවිතය ගත කරන්නේ මන්ද යන්න සමාජීය කාරණයකට වඩා පුද්ගල බද්ධ කාරණයකි. නැවත ඕනෑම අවස්ථාවක ඔවුන්ට පැවිදි බවින් මිදී සමාජගත විය හැක. එසේ නොකිරීමට හේතු ලෙස දක්වන කාරනා අතිශය සරලය. සමාජගත ජීවිතයකට වඩා යැපීම් ශ්‍රම‍යෙන් මිදී වගකීම් වලින් තොර අනුගාමිකයන්ගේ නමස්කාරය ලබා ගත කරන ජීවිතය වඩා සුවදායකය.
    පැවිදි සමාජයේ ලිංගික කරුනු අපචාරයකට වඩා එම සංස්ථාවල පවතින සංස්කෟතික ලක්ෂණයකි. මේ කාරනා සමාජයට අඩුවෙන් ආවරනය වන්නේ ඒ නිසාය. අපයෝජනයට ලක් වූවන් මැසිවිලි නොනගනනේත් නැවත ඔවුන් අපයෝජනය කරන්නන් බවට පත්වන්නේත් ඒ නිසාය. අනෙක් අතට ආගමික සංස්ථා ඇතුලේ මෙම චර්යාවන් අපයෝජනයන් ලෙස සලකන්නේද නැත.
    විවිධ ප්‍රාථමික ගෝත්‍රවල පවතින අසාමාන්ය ලිංගික චර්යා නූතන නීතිමය දෟෂ්ඨියෙන් නොබලා සුවිශේෂ මානව ලක්ෂණයක් ලෙස සලකන අප ආගමික සංස්ථා නැමති ගෝත්‍රය තුල පවතින ලිංගික චර්යා මානව ලක්ෂණයක් ලෙස සැලකිය යුතු නොවන්නේ මන්ද.

  6. -බිன்ku- said, on දෙසැම්බර් 28, 2009 at 9:00 ප.ව.

    සම්පුර්ණයෙන්ම එකඟයි. මේ ගැන ටැබූ විසින් මීට කාලෙකට පෙර ලියා තිබුණා.
    http://taboosubjects.wordpress.com/2009/03/23/188/
    මෙවැනි වෙනස්කම් වලට පාත්‍ර වී බුද්ධ පැවිදි කොට්ඨාශය ගිහියන්ට සමාන වන බව කියනවා. ඒ වැන්නක් මහයාන බුදු දහමේ සිදු වෙලා අවසානයි.

  7. gayan said, on ජනවාරි 31, 2010 at 3:29 ප.ව.

    ළමා වියේදි ළමයාට ලැබිය යුතු ළමා ජිවිතය අහිමිකර ,ඔහුව ආරාම වල “සිරකිරිමට”
    පුද්ගලිකව මම විරුද්ධය. ළමයින් පුජක ජිවිතයට ඇතුල් කල යුතු වයස අවුරුදු 15 ක් වත් විය යුතුය , යන්න මා විශ්වාස කරයි .මෙවැනි නිතියකින් ‍රටේ දරු පරපුර හොර පුජකයින් ගේ ග්‍රහනයට නතුවීම වැලැක්විය හැක. ආගමේ නාමයෙන් , ආගමට මුවාවී කෙ‍රෙන මෙම
    අපරාධ වලදි නිතිය අකුරටම ක්‍රියාත්මක කිරිමට, අදාල අංශ අප විසින් උත්තේජනය කලයුතුය..

    • arunishapiro said, on ජනවාරි 31, 2010 at 4:01 ප.ව.

      වසය 15 දීත් දරුවාගේ මනස ජිවිත කාලයකටම ගන්නා තීරණයකට සූදානම් දැයි කීමට පුළුවන් ද? මිනිස් මොළයේ දුර දිග බලා ගන්නා තීරණ ගැනීමේ හැකියාව ඇති කොටස (dorsal lateral prefrontal cortex) මේ කාලයේ දී වැඩී සම්පූර්ණ නැත. එය සම්පූර්ණයෙන් වැඩී අවසන් වන්නේ වයස 21 දී පමණය.

  8. […] ව යති. ඒ ළමා අපචාර චෝදනා මුල්කර ගෙනය. ඇමෙරිකාවේ සමහර පල්ලි වසා දමන්නට සිද්ධ වී ඇත්තේ ළමා අපචාර චෝදනා වලට […]

  9. […] සමුළුව; කටාරයේ විලාසිතා ගැන විවාදයක්; දෙබරයකට ගලක්; භාවනාව; උද්‍යෝගීගේ මෝඩකම; මානසික […]

  10. සාධාරණ සත්‍යය said, on අප්‍රේල් 30, 2012 at 12:17 ප.ව.

    අරුණි මහත්මියට නැවත් වරක් කියන්න තියන්නෙ ඔබතුමිය මෙවරත් අනාගෙන ඇති බවයි.
    වචන භාවිතයේදී සැලකිලිමත් වෙන්න,
    මම ඔබේ ආගම දන්නෙ නෑ,
    ඒත් මට පේන දේ නම් ඔබ හැම එකක්ම විද්‍යාව (යැයි කියාගන්නා සුද්දන්ගේ අවිද්‍යාවෙන්) කියනවා නම් පිළිගන්න,
    එයම හුවා දක්වන, එයම උසස් යැයි සලකන,
    කිසි වැඩක් නැති කියවන්ට එපා වෙන මහා තර්ක විතර්ක දාන,
    බුදු දහමට නොව අනික් ඒවාට සාධාරණය ඉටුකරන්න
    වෙහෙසෙන කෙනෙක් ලෙසයි.
    “සංඝ පරපුර” යන වචනය ඉතාම මෝඩ විදිහට යොදාගෙන ඇති බවයි පෙනී යන්නේ,
    එය කිසි සේත්ම හරි නැහැ,
    ඔබට මේ ගැන ලිවීමට ඔච්චර්ම කැක්කුමක් තිබේ නම් එයට
    “සමහර පවිටු චීවරදාරීන්”
    ලෙස කියන්න තිබුනා.
    මක් නිසාද යත් “සංඝ පරපුර” යන්නෙන් අතීතයේ පටන් මේ දක්වා වැඩ සිටි සිල්වත් ගුණවත් උතුම් සංඝයා වහන්සේත් අයිති වෙනවා.
    මේවා ඔබ වැනි කෙනෙක්ට නොතේරෙන නිසා උදාහරණයක් ගමි,
    ඔබ කරන වැරදි වැඩකට ඔබේ පරපුරටම බැන වැදීම හරි ද?
    මට ඔබැ ගැන කණගාටුයි,
    මේවා ඔබ හිතා මතාම ලියනවද මං දන්නෙ නෑ,
    කොහොම ලීවත් විපාක බයානකයි.
    කෙසේ වෙතත් මට පේන්නේ ඔබ ඔනෑකමින්ම මෙය ඇදගත් බවයි,
    මක් නිසාද ඔබ එක් ආගමකින් ඇරඹූ කතාව වසා අන්තිමට දාගෙන ඇත්තේ බුදු සසුනයි.
    ඔබට නුවනැස පෑදේවා!

    ඔබේ අනික් මෝඩ තර්කය නම් බුදු හාමුදුරුවොත් කම් සැප වින්දා නේද කියල,
    ඒක ඔබ වැනි සයන්ටොලොජි කාරියෙකුට තේරෙයිද මංදා,
    කම් සැප කියල ඔබ අදහස් කරේ මොනවද?
    උන්වහන්සේ සැප වින්දා තමා,
    ඒ උන්වහන්සේගේ පිනට පහල වූ සැප,
    ඒත් වෙනස නම් උන්වහන්සේ ඒ කිසිවකට නොඇලීමයි,
    උන්වහන්සේට දුගියෙකු පුදන පිළුණු වූ බත් ටිකත්,
    රජෙකුගේ සුවඳවත් වූ මිහිරි වූ බොජුනත් අතර වෙනසක් නෑ,
    (කොත්තුවක් ගැන වර්ණනා කරමින් ඔසෙට් ලියන ඔබට මේවා තේරෙයිද?)

    “මස් කෑවේ නැති වුනාට, වයින් බිව්වෙ නැති වුණාට අද අපි දකින්නේ බොහොම පෘථුල ශරීර ඇති සාමාන්‍ය මහජනයාට වඩා උස් මහත් වැඩුණු සිරුරු වලින් යුතු සංඝ පරපුරක්. ඒ අයට කෑම බීමෙන් අඩුවක් නැති බව පේනවා.”
    මෙහෙම කියන්නෙ ඇයි?
    අනික් ස්වාමීන් වහන්සේලා නොකා නොබී ඉන්ට ඕනද?
    මේ වගේ මෝඩ අදහස් ලියන ඔබ දැනගන්න,
    ඔබ ඔය රටේ නොදුටුවට,
    මේ රටේ තවමත් එක වේලෙන් යැපෙන කෘෂ වූ ස්වාමීන් වහන්සේත් වැඩ සිටින වග.
    මහත වූ ස්වාමීන් වහන්සේ පවා දානය සිහියෙන් වළඳයි නම් එහි වරද කුමක් ද?

    ඔබට මේ ලිවීමෙන් සිත රිදුනා නම් කණගාටුයි.
    මට අවශ්‍ය වුනේ ඔබේ පුහු වැඩ නැවැත්වීමටයි,
    සයන්ස් ගැන නීරස වැඩක් නැති ලිපි ලියන්න,
    එක්කො වෙන මොනව හරි ලියන්න අපට ප්‍රශ්නයක් නෑ,

    මේක පල කරත් එකයි නැතත් එකයි,
    මේ පණිවිඩය ඔබටයි.

  11. Gayan Madhawa said, on මැයි 12, 2012 at 8:27 පෙ.ව.

    දෙබරෙට ගල් ගහල ඔලුව හංගගෙන ඉන්නේ නිවට කමටද කපටිකමටද? දෙකෙන් කොයි එක උනත් ඔය නෝනගේ ලිපිය ගැන පල කරලා තියන අදහස් වලට පිළිතුරු දෙනවනම් හොදයි .

    • arunishapiro said, on මැයි 12, 2012 at 8:33 පෙ.ව.

      Gayan Madhawa,

      මේ සටහනෙන් පස්සෙ ලියා ඇති සටහන් වලින් උත්තර දීලා තියෙනවා. ඒවා කියවන්න කම්මැලි අයයි, ඒවා කියැවීම නොසලකා හරින අයයි ගැන මට කරන්න දෙයක් නැහැ.

  12. Gayan Madhawa said, on මැයි 12, 2012 at 3:53 ප.ව.

    උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න අහන තැන මිසක් වෙන වෙන තැන වල දාල හරියන්නේ නෑ කියන එකයි මගේ නම් අදහස.

    • arunishapiro said, on මැයි 13, 2012 at 6:48 පෙ.ව.

      Gayan Madhawa,

      ඒ කියන්නෙ මේ අඩවියේ හැම සටහනක ම ප්‍රශ්නයක් බැගින් දාලා යන සියයක් දෙසියයක් හිටියොත් මම අනිවාර්යෙන් ම ඒවා ඔක්කොටම උත්තර ලියන්න ඕනා කියල ද?!!!!

      මගේ දැනුමෙන් ප්‍රශ්නයක් අහලා දැනගන්න ඕන උත්තරයට මුදල් ගෙවනවා නම් ගෙදෙට්ටම උත්තර එවන්නම්. ලේසි ප්‍රශ්නයකට පැයකට ඩොලර් තුන්සියයක් තමයි වර්තමාන අය කිරීම. මට අමාරු ප්‍රශ්නයක් නම් ඩොලර් පන්සියයක්. ඒ ඇමෙරිකන් ඩොලර් වලින්. අමාරු ද ලේසි ද කියන එකත්, උත්තරයක් ලියන්න කොච්චර වේලාව යනවා ද කියලත් තීරණය කරන්නෙ මම. මෙහෙ වෘත්තීයවේදීන්ගේ අය කිරීම් හා කොන්දේසි සාමාන්‍යයෙන් ඔය විදියට වෙන්නෙ. ලංකාවේ ඉන්න සිංහලෙන් කියවන අය විතරයි ලෝකෙ තවම නිකම් දෙන ඒවටත් දෙන අයට රෙගුලාසි දාන්න හදන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: