අරුණි ශපීරෝ‍ වෙතින්

අශ්ව පැටවුන්ට ජය වේවා!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 7, 2010

උදාවන සති අන්තයේ ඇමෙරිකන් ෆුට්බෝල් වල තීරණාත්මක තරඟ කාලය ඇර‍ඹෙයි. මගේ පිල ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්දියානා‍පලිස් නගරයේ කොල්ට්ස් හෙවත් අශ්ව පැටව් කණ්ඩායමයි. එහි වර්තමාන කුවාටර්බැක් නොහොත් ෆුට්බෝලය මෙහෙයවන පිලේ නායකයා වන්නේ පේටන් මැනින්ය. ඔහු උගත්තේ ද මා උගත් හා ඉගැන්වූ ටෙනසි ව්ශ්ව විද්‍යාලයේමය. එසේම ඉන්දියානාපලිස් නගරය මගේ සැමියා උපන්, හැදුණු වැඩුණු නගරයයි.

ලංකාවෙන් ආ හිත මිතුරන් හා ඥාතීන් කැටුව මා ටෙනසි ෆුට්බෝල් නරඹන්නට ගොස් ඇත්තෙමි. ලක්ෂයක් ඉක්ම වූ ජිරිසක් පැය භාගයක් ඇතුලත සංසුන්ව පැමිණ පැය තුන හතරක් තරඟයේ යෙදෙන තම පිල වෙනුවෙන් ජය ඝෝෂා නාද කර ඉන්පසුව පැය භාගයක් ඇතුලත සංසුන්ව පිටව යන ආකාරය දැක එවැන්නක් අත්දැක නැති අය මවිත වූහ. විශේෂයෙන්ම රග්බි බලන්නට ගියවුන් හා ක්‍රිකට් මැච් දැක ඇත්තෝ. එංගලන්තයෙන් ආ හිතවතියක් එහි පාපන්දු මැච් රඟ කීවේ මෙහි වූ අසංවර බව සාමාන්‍ය පැවැත්ම බව පිළිගන්නට අදිමදි කරමිනි.

ලංකාවට ගිය පසු ද එහි දී ද ඇමෙරිකන් ෆු‍ට්බෝල් බලන්නට ලැබෙන බව තව කෙනෙක් කීය. ඔබටත් එසේ හැකියාව ඇත්නම් එම තරඟ නරඹද්දී සැලකිය යුතු කාරණා කිහිපයක් සටහන් කරන්නම්.

අප වෙත ආපදාවක්, කරදරයක් හෝ අකරතැබ්බයක් වූ කළ ඒ ගැන තැවෙමින් මහත් කාලයක් ගෙවන්නට අපි අපේ සිත් පුහුණු කරගෙන ඇත්තෙමු. ඒ දුක්බර සිද්ධිය ගැන අපගේ සිතේ පැහැදිලි මතකයක් ඇත.

අප අත්විඳි ප්‍රීතිමත්, ජයග්‍රාහික හෝ වාසනාවන්ත සිද්ධියක් ගැන අපගේ මතකයේ පැහැදිලිතාවයක් නැත. අනුන්ගේ අත්පොළසන්, ප්‍රශංසා කතා මිසක තමන් ජයගත් මොහොතේ සිත ප්‍රීතියෙන් උතුරා ගිය ආකාරය මතක් කරගත හැකිද?

මෙයට හේතුව අප පුරුදු පුහුණු වී ඇත්තේ දිනුමක්, ජයක් ඉති සිතින් පිළිගෙන සතුටු වනවාට වඩා ඇස්වහ කටවහ වැදෙයි බයට, අප නිහතමානී නැතැයි කෙනෙක් කියනු ඇතැයි බයට ලැබුවා වූ ජය හෑල්ලු කර, අවතක්සේරු කර තවෙකෙක් නිසා හෝ වේලාව නිසා ලැබුණා වූ එකක් යයි කීමටය.

ඔබට ෆුට්බෝල් බලන්නට අවස්ථාවක් ලැබුණි නමි ඔවුන් තම ජයග්‍රහණය ලත් සැණින් දණ ගසා දෙවියන්ට ස්තූති කරන ආකාරය බලන්න. පඬුරක් ගැටගසා කලකට පසු ප්‍රාර්ථනය ඉටු වූ කළ තවත් කලකට පසු පිරිසක් හා එක්ව ඊට තුති පුදන්නට යද්දී අර ඉෂ්ඨ වූ ප්‍රාර්ථනයේ උද්දාමය හිතේ සටහන් ද?

ෆුට්බෝල් ක්‍රීඩකයා පොඩි නැටුමක් පා සතුටු වන ආකාරයත්, ජයක් ලබාගෙන තම පිළ වෙත දිව යන ක්‍රීඩකයාට පිලේ පුහුණුකරුවෙක් කරවට අත දමා දිරි වදනක් කණට කොඳුරන ආකාරයත් නරඹන්න. පිළ එකමුතුව එකිනෙකා දිරි ගන්වන ආකාරයත් එසේම හැම සුළු ජයකින්ම තම තමාව දිරි ගන්වා ගැනීමට උත්සාහයක යෙදෙන ආකාරයත් දකින්න.

ජීවිතයේ කණගාටුදායක අවස්ථාවක දී මතක් කරගන්නට ප්‍රීතිමත් වූ අවස්ථාවක් අප සැමට තිබිය යුතුය. මුල්ම හාදුව, බැච් ටොපා වූ බව දැනගත් මොහොත, මුල්ම රැකියාව පටන් ගත් මොහොත, කුළුදුල් දරුවා බිහි කළ අවස්ථාව, තීරණාත්මක වූ ක්‍රීඩා ජයක් අත්පත් කරගත් මොහොතේ සතුට යනාදියෙන් තමාට වඩාත්ම ප්‍රීතියක් ගෙන දුන් අවස්ථා සිහි කරනා කල දුක පොඩ්ඩක් අඩු වෙයි. එසේ සිහි කරන්නට නම් ඈත අතීතයේ ජයක් පමණක් නොව අද දිනයේ හෙට දිනයේ ඇති සුළු සන්තෝෂයකින් වුවද පටන් ගත හැකිය.

මොහොතක් තමා වෙනුවෙන් එවන් ප්‍රීතියක් මතකයේ රඳවා ගන්නට හිත හදා ගන්න. ඒ ජය ඔබගේය. එය තමන් රස විඳීම හා එයට තම අයිතිය කීම නිසා නිහතමානීත්වයට හානියක් නොවෙයි. ජය අත්පත් කර ගැනීම ගැන අනුන්ට ස්තූති කරනවා සේම මෙසේ තමන්ටත් ස්තූති කරගන්න. ජයෙන් සතුටු වීම නිසා ඇස්වහ කටවහ වැදීමක් නැත්තේ එවැන්නක් සත්‍යය නම් ලෝකයේ අන් රටවල ඉන්නා අයටත් ඇස්වහ කටවහ වැදිය යුතු නිසාය.

මෙසේ සතුටු වන්න සිත පුරුදු කර ගන්නා ඔබට තව තවත් ජය රස විඳින්න අවස්ථා උදාවන ආකාරය දැක ගත හැකි වන්නේය.

පේටන් මැනින් ඇතුළු අශ්ව පැටවුන්ට ජය වේවා!

පසුව ලියම්. මගේ කෙටිකතා පිටුවෙන් ප්‍රබන්ධ කියවීමට කැමති අයට තවත් කතාවක් කරා යෑමට හැකිය.

9 Responses

Subscribe to comments with RSS.

  1. rava said, on ජනවාරි 7, 2010 at 3:20 ප.ව.

    මෙ කිසිම දෙයක් නැති කෙනෙක් මොකද්ද මතක් කරගන්නෙ…
    එහෙම අයත් ලොකෙ ඉන්නවා…
    ධනාත්මක චින්තනය හොදයි යමක් කරන්න. නමුත් හැමතිස්සෙම ප්‍රායොගික නැහැ….
    මම හිතන විදිය එ… සමහර තැන් වලදි අපි ටිකක් පස්සට යන්නත් පුරුදු වෙන්න ඔනා…
    හරිද ම්ං

    • arunishapiro said, on ජනවාරි 7, 2010 at 4:27 ප.ව.

      කුඩා දරුවෙක් පවා තමන් දණගගා ගිහින් නැඟිට්ට දවසට එයින් ලොකු සතුටක් ලබනවා. ලොකු දෙයක් වෙන්න ඕන නැහැ. පොඩි පොඩි දේවල් වලින් අපි ලබපු ජය මහත් සංඛ්‍යාවක් තියෙන නමුත් ඒ ගැන සැලකීමක් දැක්වූයේ නැති නිසයි අපට ඒවා අමතක. ධනාත්මක චින්තනය හැම මොහොතකම ජිවිතයේ කොටසක් කරගන්න එක තමයි ඒ අනුව ජීවත්වන කෙනෙක් කරන්නෙ. යමක් උවමනා වූ අවස්ථාවට පමණක් උදවි කරගන්න බැරි වෙන්නෙ එයට හුරුවක් නැතුව පස්සට යන එක කමක් නැහැ කියල හිතන නිසයි. ධනාත්මක චින්තනය ගැන තවත් ලියන්න අදහස් කරනවා. මොකද ලංකාවේ සමහරු ඒ ගැන පොත්වල හිටන් ලියලා තියෙන ඒවා වැරදි නිසා. ඇවිත් කියවන්නකෝ ඉඳ හිටලා. තමන්ම පර්යේෂණ කරලත් බලන්න. අත්දැකීමක් වගේ දෙයක් කියවලා විතරක් තේරුම් ගන්න අපහසුයි.

  2. ~බිன்ku~ said, on ජනවාරි 7, 2010 at 10:11 ප.ව.

    ඇමෙරිකාවට ෆුට් බෝල් වන්නාක්සේම කැනඩාවේ හොකී බලන්නත් කියාපු එකක්!

    (හැබැයි වේලාවකට ක්‍රීඩකයෝ වලි දා ගන්න ඒක තමා අවුලේ, එකත් පුදුමයක්යැ පොඩ්ඩ වැරදුණත් සුන් වෙන ලෙල්ලමක් කර කර ඉන්න එකේ? 😉 )

    අනේ මන්දා මට අමුතුවෙන් ධනාත්මක චිත්නයක් නෑ, ඒත් එදිනෙදා ජිවිතේ දේවල්වලටත් ප්‍රශ්නවලටත් කෙසේ හෝ මුහුණ දෙනවා (ප්‍රේමය සම්බන්ධ කරණාවක් නිසා කාලයක් පසු බැහැලා හිටියා තමා).

    • arunishapiro said, on ජනවාරි 8, 2010 at 9:44 පෙ.ව.

      බ්න්කු මල්ලි,
      මෙහෙම කියමනක් තියෙනවා.
      “ආදරය මිහිතලයේ ඇති වඩාත්ම නිර්මාණශීලී බලවේගයයි. ආදරයේ වේදනාව මිහිතලයේ ඇති වඩාත්ම විනාශකාරී බලයයි.”
      ගොඩ එන්න ජය!

  3. මෙල්බා said, on ජනවාරි 9, 2010 at 4:16 පෙ.ව.

    රටකින් රටකට, ජාතියකින් ජාතියකට වෙනස් වූ සංස්කෘතියක්, ජීවන පැවැත්මත්, සාමාජීය වටිනාකම් ඇති බව තමයි මට හිතෙන්නෙ. ධනාත්මක චින්තනය වගේ අපරදිග සංස්කෘතිය පාදක කරගෙන ගොඩ නැගුනු සංකල්පයක් තුලින් අපේ ජනතාවගේ පැවැත්ම විග්‍රහ කරන්න ගියාම, අරුණිට එතන පරහක් දකින්න ලැබීම අරුමයක් නෙමයි.

    අරුණිගේ බ්ලොග් සටහනේ අපේ මිනිස්සුන්ගෙ වැරැද්දක් කියල නැහැ තමයි. හැබැයි, අරුණි යෝජනා කරන්නෙ ලංකාවෙ මිනිස්සුත් ඇමරිකන් ෆුට්බෝල් බලන මිනිස්සු වගේ වෙන්න ඕනෙ කියල වගෙයි මට වැටහුනෙ.

    උදාහරණයක් හැටියට ජයක් ලද විටක අතිශය උද්වේගකර විදියට හැසිරෙන්න ලාංකීය මිනිස්සු පුරුදුවෙලා නැත්තෙ, එතන පරාජයෙන් දුක්වෙන පිරිසකුත් ඉන්න හින්දා ඒ විදියට හැසිරෙන එක අනුචිත විදියට හිතන නිසා. ඕක ඇමරිකන්කාරයෙක්ට හරි ඕස්ට්‍රේලියන්කාරයෙක්ට හරි පැහැදිළි කරන්න අමාරුයි. මොකද ඒ අයගෙ සංස්කෘතියට අනුව එහෙම දෙයක් වැටහෙන්නෙ නැති හින්දා.

    • arunishapiro said, on ජනවාරි 9, 2010 at 1:50 ප.ව.

      ඇමෙරිකන්කාරයයි ඔස්ට්‍රෙලියන්කාරයයි එක බෝට්ටුවක දාන්න එපා. ඔස්ට්‍රෙලියන්කාරයො වගෙ අපි පිටරට ශිෂ්‍යයොන්ට පහර දෙන්නෙ නැහැ. චීනයෙන් එන අයට අවුරුදු 5 ක් බදු නොගෙවන්නත් (ඇමෙරිකාව එක්ක ආර්ථිකව තරඟයේ හිටියට) ඉන්දියාවෙන් එන අයට වසර දහයක් බදු නොගෙවන්නත් අපි සහන දීලා තියෙනවා. අපේ ජය සමරන ගමන් අපි අනිත් අය ගැන දුක්වෙනව වෙනුවට ඒ අයටත් දියුණුවෙන්න අත දෙනවා.

      • මෙල්බා said, on ජනවාරි 9, 2010 at 10:38 ප.ව.

        අපි?…..

        මම කියන්නෙත් ඒකම තමයි. වෙනස් ජාතීන් එක බෝට්ටුවකට දැමීම වැරදියි කියල. ඒ ඒ ජාතීන්ට විශේෂිත වටිනාකම්, නොවටිනාකම්, හැදියාවන්, නොහැදියාවන් තියෙනවා. ඒවා ඔක්කොම එකක් වෙලා, ඔක්කොම ඇමරිකන් වෙනව දකින්න කැමති අය තමයි හුදකලා සිදුවීම් කිහිපයක් අරගෙන එවයින් ජාතියක් නිරූපණය කරන්න හදන්නෙ. අරුණිවගේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයත් එහෙම කරන එක තමයි පුදුම.

        චීනෙන් එන අයටයි ඉන්දියාවෙන් එන අයටයි ඇමරිකාව බදු සහන දෙන්නෙ ඒ අයගෙ දියුණුව උදෙසා කියල ඔබ හිතන එක මට පුදුම නැහැ. මොකද ඔබ කියල තියෙන පරිදි ඔබ දේශපානලනයට උනන්දුවක්, නැඹුරුවක් නැනෙ. හැබැයි ඇරිස්ටෝටල් කියල තියෙන විදියට “මිනිසා දේශපාලන සත්වයෙක්”. ඒක නිසා ඔය ගොඩක දේවල් පිටිපස්සෙ තියෙන දේශපාලනයත් සැලකිල්ලට ගත්තොත් ඔබේ දැක්ම වෙනස් වෙන්න පුලුවන්.

        දැනගැනීම සඳහා අහන්නෙ, ලංකාවෙන් එන අයට කොච්චර බදු සහනයක් හම්බ වෙනවද?

  4. Sam said, on ජනවාරි 9, 2010 at 12:45 ප.ව.

    //උදාහරණයක් හැටියට ජයක් ලද විටක අතිශය උද්වේගකර විදියට හැසිරෙන්න ලාංකීය මිනිස්සු පුරුදුවෙලා නැත්තෙ, එතන පරාජයෙන් දුක්වෙන පිරිසකුත් ඉන්න හින්දා ඒ විදියට හැසිරෙන එක අනුචිත විදියට හිතන නිසා//

    ඇත්ත නේන්නම්. ප්‍රේමදාස මලා, රතිඤයක් කියලා දෙයක් වැරදිලාවත් පත්තු කොලාද. කොබ්බෑකඩුව මලා. නුවර එලිය හ්ම් කියලා සද්දයක් දැම්මද. ප්‍රබාකරන් මලා, අපි කිසිම සදදයක් දැම්මාද. ලෝක කුසලානය දිනුවා. ඕස්ට්‍රිලියාවෙ පරාජය ගැන කනගාටු වෙලා අනුචිත විදියට හැසිරුනා. බලන්න එපායැ කිරිකට් තරගයක් ඉවර වෙලා දිනාපු පිල ගෙදර යන අපූරුව. ඔන්න බලන්න මේ මුරෙ චන්දෙ ඉවර උන්හහම දිනාපු පිල හැසිරෙන අපූරුව. කොහොදෙ, ඔය බටහිර හැත්තට ඕවා තේරෙනෙවයැයී.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: