අරුණි ශපීරෝ‍ වෙතින්

ඒකභාර්යා ජානුව

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 12, 2010

මෙම සාකච්ඡාවේ දී බහුභාර්යා හා ඒකභාර්යා වචන භාවිතය ගැන පුරුෂ පක්ෂයේ සමාව ඉල්ලමි. මන්ද ඒකපුරුෂ යන්නෙන් දැක්වෙන්නේ භාෂාව ගැන වූ අර්ථයක් නිසා එය යොදා ගත නොහැකිය. යමක් වැඩියෙන් කොටසක් අතර පැවතෙන්නක් වුවද අල්පයක් ඒ සමාන නැති හෙයින් සියල්ලෝම සමස්තයක් ලෙසින් සලකන්නට ඇති අකමැත්ත සැලකිල්ල‍ට ගන්න. එසේම monogamous යන්නට යෙදෙන සිංහල වචනයක් ඇත්නම් එය මා හට අමතකය.

බහුභාර්යා සහ ඒකභාර්යා චර්යාව අතර වෙනසට හේතුව ජානුවක් යයි හඳුනාගෙන ඇත. වැසෝප්‍රෙසින් vasopressin නැමති හොර්මෝනයත් එයට මුහුණ දෙන ප්‍රෝටීන මොලෙක්‍යුලයත් ඊට මූලික වෙයි.

මධ්‍යතන උතුරු ඇමෙරිකාවේ තණ කොළින් වැසි ඇති ගස් නැති තලාවේ ගැවසෙන ප්‍රෙයර්රි වෝල්ස් prairie voles නැමති මී වර්ගයක් ඇසුරෙන් කරන ලද පර්යේෂණ පුතිඵල 2009 දෙසැම්බර්  Biology o‍f Reproduction සඟරාවේ පළ කරන ලදි. ඒ ‍එමරි විශ්ව විද්‍යාලයේ ආචාර්ය සෝයි ඩොනල්ඩ්සන් සහ ඇයගේ පර්යේෂණ කණ්ඩයාම විසින්  පවත්වන ලද සොයා ගැනීමක් අනුවය. මෙම තොරතුරු “ද ඉකොනොමිස්ට්’ සඟරාවේ 2010 ජනවාරි 2-8 කලාපයේ විද්‍යාව හා තාක්ෂණය තීරයේ සඳහන් කෙරුණි.

ප්‍රෙයර්රි වොල්ස් නැමති මීයෝ ස්වභාවික වශයෙන්ම ඒකභාර්යා සේවනයේ යෙදෙති. ඔවුන්ට වෙනස්වන මෙඩෝ වෝල්ස් නැමති මීයෝ බහුභාර්යා සේවනයේ යෙදෙති. මේ දෙකොටස භාජනය කර පවත්වන ලද පර්යේෂණ වලින් ජානු එක් වර්ගයක ‍ෙමාළයේ සෛල ඒකභාර්යා‍ සේවනයෙන් තෘප්තිමත් වන්නටත් තවත් වර්ගයක මොළයේ සෛල බහුභාර්යා සේවනයෙන් තෘප්තිය ලබන්නටත් සැකසී ඇත.

මේ සොයා ගැනීමත් සමඟ ඇතිවන සාමාජයීය සාකච්ඡාව මෙයයි. ජානුව හඳුනා ගැනීමෙන් ඒකභාර්යා සේවනය ප්‍රිය කරන්නෝ බහුභාර්යා සේවනයට කැමැත්ත ඇති කිරීමට විකෘති කරගත හැකි අවස්ථාවක් විද්‍යාඥයන්ට ලැබීමය.

මනුෂ්‍යයන් ගත් කල මෙම දැනුම පාවිච්චි කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවෙයි යයි කෙනෙකු කියනු ඇත. මන්ද මනුෂ්‍යයාගේ පිරිමි සතා ස්වභාවයෙන්ම කැමැත්ත දක්වන්නේ බහුභාර්යා සේවනයට යයි කෙනෙක් කියනු ඇත. පිරිමි සත්වයා ඒකභාර්ය සේවනය තෝරා ගන්නේ සමාජයීය වූත්, ආගමානුකූල වූත්, කඩඉම් නිසාවෙන් යයි කෙනෙක් කියනු ඇත. එසේම මනුෂ්‍ය පිරිමි සත්වයන් අතර ඒකභාර්යා සේවනයෙන් පමණක් සතුට ලබන්නට මොළය වයර් වී ඇති අය අල්පයක් අප සමඟ ඇත.

මනුෂ්‍යයාට තම සහකාරයා අනාචාරයේ යෑමෙන් වළක්වා ගැනීමට විවාහ ජීවිතයට එළඹෙන දිනයේ ‍දෙදෙනාගේම කැමැත්ත ඇතිව පිරිමි සත්වයාගේ, ගැහැණු සත්වයාගේ හෝ දෙදෙනාගේම මොළයේ සෛල ඒකභාර්ය හෝ “ඒකපුරුෂ” සේවනයෙන් ප්‍රීතිය ලබන්නට පමණක් සහතික කරගනු හැකියාව ඉදිරියේ දී ඇති වුවහොත් කොපමණ දෙනෙක් එය උදව් කර ගනීද?

එසේම ලිංගික ප්‍රචණ්ඩතා චෝදනාවන් ඉදිරියේ දඬුවමක් වශයෙන් ලිංගිකත්වය විකෘති කිරීමට සමාජය අනුමැතිය දෙයි ද? මේ ගැන කතිකාවක් පටන් ගත්තේ අද ඊයේ නොවේ. බ්‍රිතාන්‍ය සුළු අපරාධකරුවකු මූලික කරගත් චිත්‍රපටියක් වූ A Clockwork Orange(1971)  මෙම මාතෘකාව විභාගයට ගත්තකි.

වැසොප්‍රෙසින් රිසෙප්ටර් වෙතට වයිරල් වෙක්ටර් ඉන්ජෙක්ෂන් එකක් මඟින් මා වෙනුවෙන් පමණක් සදා කැප වූ ස්වාමියෙකු මට අනාගතයේ හදාගත හැකි වූවත්, ඊට වඩා මා අගයන්නේ අනේක වූ තෝරා ගැනීම් ඉදිරියේ, අනේක වූ ගත පොළඹවන අවස්ථාවන් වල දී, මගේ සහකාරයා මා වෙනුවෙන් සිය කැමැත්තෙන්ම තම  ආශාවන් විනයකින් යුතුව මර්ධනය කරගෙන සිටීම නොවේද?

පරම්පරාගත ජානුවක ප්‍රවණතාවය ඉදිරියේ මනුෂ්‍යයා ඊට අවනත විය යුතුද? නැතිනම් පුවණතාවයට ඉඩ නොදී එය මනසින් මැඬගත් මනුෂ්‍යයෙකු විය යුතුද? මීයන්ට නැති මනස හැසිරවීමේ හැකියාව අපට ඇත්තේ මෙවැනි හේතුව සහ ආචාර ධර්ම පිළිබඳ වූ පුශ්නයකට දාර්ශනිකව මුහුණ දීමට ද?

11 Responses

Subscribe to comments with RSS.

  1. indik said, on ජනවාරි 12, 2010 at 2:10 ප.ව.

    මිනිසුන් සහ සතුන් අතර වෙනසක් තිබිය යුතුයි. සතුන්මෙන්, කිසි හික්මීමක් නැති සමහර පුද්ගලයින් සිටියත් එය නොවිය යුත්තක්. විවිධ ආගම් දර්ශන මඟින්ද මිනිසුන් මෙහෙයවන්නෙ ස්වයං පාලනයක් සඳහා….

    හොඳ ලිපියක්…

  2. LostINRomance said, on ජනවාරි 12, 2010 at 2:41 ප.ව.

    මීයන්ට අදාල වුනාට මේක මනුස්සයන්ට නම් අදාල කරගන්න අමාරුයි මම හිතන්නේ. කොහොම වුනත් හොඳ උපකල්පනයක්. 🙂

  3. පිටස්තරයා said, on ජනවාරි 12, 2010 at 2:53 ප.ව.

    ස්වාභාව ධර්මය අහඹු ලෙස පතිත වුන සමබරතාවයක පවතිනවා කියලා බොහෝ අය විශ්වාස කරනවා. මේ සමබරතාවයට මොකක් හරි එකතු කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කලොත් නැවතත් සමබර තත්වයකට පත් නොවෙන්නත් පුලුවන්.

    අප දියුණු විය යුතුයි. තාක්ෂණය යොදා ගත යුතුයි. හැබැයි සීමා පනවා ගැනීමට සත්ව වර්ගයක් ලෙස විනීත විය යුතුයි.

    මෙයයි මම විශ්වාස කරන්නේ

  4. Sam said, on ජනවාරි 12, 2010 at 3:27 ප.ව.

    පිරිමින්ගේ බහුභාර්යා සේවනය කාන්තාවන්ට බොහෝම වාසිදායක දෙයක්. කාලයකට උඩදී අත්‍යාවශ්‍යව තිබුනු දෙයක්. බහුභාර්යා සේවනය වෙනුවාට තනි භාර්යාවක් තබා ගැනීම පිරිමින් ලැබූ ලොකුම සමාජීය ජයග්‍රහනයක්. වාසනාවක්. ඕකට අමුතුවෙන් හෝමෝන පෙති දෙන්න ඕනෑ නැහැ.

  5. රවා said, on ජනවාරි 12, 2010 at 8:34 ප.ව.

    මෙම අවස්ථාව මිනිසුන්ගෙ දියුනුව සංකෙතවත් කරන තැනකි. මනසෙ හැකියාවන්, කල්පනා කිරිමෙ ශක්තිය, හික්මිම, ස්වං පාලනය…. මෙ ආදි බොහො කරුනු කාරනා මනස තුල සමබරව තිබෙ නම් මිනිසෙකුට තමුන්ගෙ සදාචරයට අනුව ජිවත් වියහැක. හොර්මොන මගින් මෙ ආකරයෙ ගතිපැවතුම් මනුස්ස සන්තානය තුල පහල වෙද..නැතිනම් එම ගතිපැවතුම් නිසා හොර්මොන ස්‍රවය විම සිදුවෙද යන්නත් එ අනුව ජාන හැඩගැසිම සිදුවෙද යන්නත් සොයා බැලිය යුතුය.

  6. Aruna chaminda said, on ජනවාරි 12, 2010 at 8:50 ප.ව.

    සම්ප්‍රදාය උපදින්නේ මිනිසාට කලින්.ස්වභාව ධර්මය විසින් තීරනය කරඇති ජානමය ක්‍රියා පාලනය කල නොහැකියි.පාලනය කලොත්,(කෘතිමව හෝ) ගැටලු ගණනාවක් එතැනින් ආරම්බභ වෙන බව සිතමි.අපි උසස් යැයි කෙදිනක හෝ අප හැර වෙනත් සතුන් කියා තිබේද?සෑම සතකුගේම ජෛව විද්‍යාත්මක කාර්ය සරු ජනිතයන් බිහි කිරීමයි.ලිපියේ දැක්වෙන සත්ව උදාහරණ මගින් මෙය පැහැදිලි කල හැකියි.
    මිනිසාගේ රුධිරගත හෝමෝන මට්ටම වසර පුරා ඒකාකාරීයි.එම නිසා ලිංගික හැසිරීම් වලට විශේෂ වූ හෝමෝන රුධිරයේ සෑමදාම පවතී.මෙය සෝභා දහම විසින් ගන්නාලද තීරණයක් බව ලිපිය මග හරියි.ලිපිය කීමට උත්සාහ ගන්නේ එක් ගැහැණියක් කෙරේ උපන් සිතින් සිටීමද,ජානමය හැසීරීම් පාලනයද? යන්න පැහැදිලියි.
    මගේ මතය නම් යම් ප්‍රතිශතයක් ගැහැණුන් හා පිරිමි ඉහත හැසිරීම් දරයි.එවැන්නකින් තොර වූ සමාජයක් කවදාවත් ඇති නොවේ.සියල්ලම සොභාදහම තීරනය කරණා බැවිනි.

    • arunishapiro said, on ජනවාරි 15, 2010 at 6:23 ප.ව.

      මිනිසාගේ රුධිරගත ලිංගික හෝර්මෝන මට්ටම වසර පුරා ඒකාකාරී නැත. රටක සාගත කාලය, කෙනෙකුට රැකියාව නැති වූ කල, බර අඩු කරගන්නට වෙහෙසන කළ ආදී කරුණු සමූහයක් ඉදිරියේ එය වෙනස්වීම් වලට බලපානු ලබයි. ඒ ගැන තවත් දවසක බ්ලොග් එකක ලියන්නම්. මිනිසා අතින් වෙනසකට භාජනය නොවන සැමෙකක්ම සොබාදහම විසින් පවත්වාගෙන යන්නක් ලෙස පෙනෙන සත්‍යයක් නිසා සොබාදහම ගැන සඳහන් නොකළෙමි. සොබාදහම විසින් තීරණය කර ඇති ජානමය ක්‍රියා අද පාලනය කෙරෙයි. නොයෙකුත් ජානමය ලෙඩ රෝග කළින් හඳුනාගෙන ඒවා වැළඳීම වළක්වා ගැනීමට අද ඉඩ ඇත. එහෙත් පාලනය කළ හැකි සුදුසු දේවල් හා නුසුදුසු දේවල් තීරණයටයි මිනිසාට මනසක් ඇත්තේ යන්න මගේ සටහනේ අරමුණ වුනි.

  7. අදිකාරම් said, on ජනවාරි 13, 2010 at 2:03 පෙ.ව.

    “වැසොප්‍රෙසින් රිසෙප්ටර් වෙතට වයිරල් වෙක්ටර් ඉන්ජෙක්ෂන් එකක් මඟින් මා වෙනුවෙන් පමණක් සදා කැප වූ ස්වාමියෙකු මට අනාගතයේ හදාගත හැකි වූවත්, ඊට වඩා මා අගයන්නේ අනේක වූ තෝරා ගැනීම් ඉදිරියේ, අනේක වූ ගත පොළඹවන අවස්ථාවන් වල දී, මගේ සහකාරයා මා වෙනුවෙන් සිය කැමැත්තෙන්ම තම ආශාවන් විනයකින් යුතුව මර්ධනය කරගෙන සිටීම නොවේද?”

    ඔබ ගේ මෙම දැක්ම මම ඉතා අගය කරමි. තම ලිංගික උවමනාව තම සොදුරිය මඟින් පමණක් සපුරා ගනිමි යි සිතා සිටින්නන් ලිංගික බෙලහීනයන් යැයි සිතා සිටින රටක, වෙනත් රටවල ලිංගික උවමනාව අවැසි පරිදි සපුරා ගන්නා බැවින් ඔවුන් ලිංගික පීඩනයෙන් නොසිටින බවත්, අපේ රටේ සිටින්නන් එසේ යැයි කියන මිනිසුන් අතර ඔබ සිටින තැන ගැන මම ආඩම්බර වෙමි.

  8. KHAP Dayaratne said, on ජනවාරි 13, 2010 at 2:16 පෙ.ව.

    ඒංගල්ස් ගේ Origin of Family, Private Property and State කෘතියේ සිංහල පරිවර්තනයේදී Monogamous වචනයට “ ඒක පුද්ගල භාර්ය සේවනය “ යන්න යොදා ඇත.

  9. දුකා said, on ජනවාරි 13, 2010 at 3:18 පෙ.ව.

    Good post . . .!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: