අරුණි ශපීරෝ‍ වෙතින්

රොබට් නෝසික්ගේ ලිබටේරියන් උතෝපියාව

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 21, 2010

‍ලංකාවෙන් කැනඩාවට අවුත් බ්‍රිටිශ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ඊට නුදුරින් වූ සයිමන් ෆ්‍රේසර් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු රොබට් නෝසික්ගේ පොත භාවිතා කර දර්ශන පංතියක් පවත්වන බවට අපේ දර්ශන අංශයේ ආරංචියක් පැතිර ගියේය. පොත විප්ලවකාරී බව සැවොම කතා වූහ. පොත ගැන අසා හෝ කියවා නැති මම ඕනෑම විප්ලවයක් ගැන නිතර සොයා බලන්නට කැමැති නිසා පංතියට රෙජිස්ටර් වුනෙමි. ඒ පංති පැවැත්වූයේ රාත්‍රී කාලයේ වැන්කුවර් නගරයේය. බස් රථයකින් අප විශ්ව විද්‍යාලයේ සිට පැයක පමණ ගමනක් විය. මට මලකඩ කෑ කාර් කටුවක් තිබුණ ද එය පංති සියල්ලටම යෑමට නගරයේ ගාල් කරන්නට යන වියදම වාහනයේ වටිනාකමට වඩා වැඩිය.  එනිසා සීතල රාත්‍රියේ බස් රථයෙන්ම ගමන් කෙරුවෙමි.

පොත මිලට ගත් දවසේ රෑ පහන් වෙනතුරු කියෙව්වද කියවන්නේ මොන අපභ්‍රංෂයක් දැයි වැටහුනේ නැත. ඒ මගේ ඉංග්‍රීසි දැනුමේ මදි බව නොව මෙම සංකල්ප කිසිදා අසා නැති නිසා යයි මට කියා ගනිමින් එදා මම හිත හදා ගත්තෙමි. ඒ පංතිය ලකුණු නොමැතිව ඔඩිට් කරන්න මාරු කරගත්තේ අසමත් වෙයි බියෙනි. ඒ පංතිය ගැන මතක් වුනේ මට ඇනකිස්ට් ගහපු කමෙන්ට් එක නිසාය.

පොත ලියූ Robert Nozick ඒ පොතට මූලික වූ තම ප්‍රස්තූත පසු කාලයේ දී ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් වසර විස්සක් ඇමෙරිකාවේ පදිංචිය නිසා අද මට රොබටි නෝසික් සිය කෘතියෙන් කියා ඇත්තේ කුමක්ද කියා වැටහෙන්නේය. අද පංතියට ගියොත් නම් A එකක් ෂුවර්.

දේශපාලන දර්ශනයට අළුත්ම එකතුව ලිබටේරියන්වාදයයි (Libertarianism). එහෙත් එය ඉදිරිපත් කල රොබට් නෝසික් එය ඉල්ලා අස්කර ගත් නිසා එය මොට ගෑ මුහුණුවරකින් අද කළඑළි බැස ඇත. මෙම අදහස් වලින් බිහි වී ඇති ලිබටේරියන් පක්ෂය අද ඇමෙරිකාවේ තෙවන දේශපාලන පක්ෂය ලෙස සමහර අය සලකති.

අවම ආණ්ඩුව ගැන සංකල්පයක් ගෙන එන නෝසික් එය රෑ මුරකරුවෙක් හා සමාන කරයි.  ආණ්ඩුවේ කාර්ය භාරය එකිනෙකාගෙන් සමාජය ආරක්ෂා කිරීමත්, පිටෙන් එන උවදුරු වලින් රට ආරක්ෂා කිරීමටත් සීමා වෙයි. ඍණ අයිතීන් කියා ඔහු හඳුන්වන්නේ තමාගේ ආරක්ෂාව පිණිස යමක් කල හැකියාවය. ආයුධයක් භාවිතා කිරීම වැනි. එසේම වරද කරවුන්ට හිර දඬුවම් ද ඍණ අයිතියක් සේ ඔහු පෙන්වයි. සහනාධාර බල‍ෙපාරොත්තු වීම වැනි ධන අයිතියක් නොසිකියන් සමාජයක නැතැයි ඔහු කියයි. ලිබටේරියානුවාදියාට ඇත්තේ ජීවිතයට හා නිදහසට ඇති අයිතිය පමණි. පුද්ගල දේපළ අයිතිය ඔහු අනුමත කරයි. එහෙත් නිදහස හා දේපළ අයිතිය ගැටෙනා විට එය විසඳන ආකාරය ඔහු කියා නොදේ.

දේපළ අයිතිය නිදහස් ඇමෙරිකාවේ මහත් විවාදයට භාජනය වන්නකි. ඒ ලෝකයේ මුලින්ම ඕනෑම පුද්ගලයෙකුට පාරම්පරික නොවන, තෑගි වශයෙන් නොලැබුන, තමන් විසින් මුදල් ගෙවා දේපළ අයිතියට ඉඩ කඩක් ලැබී ඇත්තේ ඇමෙරිකාවේ නිසාය.

මහජනතාවට සපයන සෑම සේවයක්ම, පාසැල්, බැංකු, මහා මාර්ග යනාදී සියල්ල නොසිකියන් සමාජයේ පුද්ගලික අයිතියෙන් ලාභය අරමුණු කරගන සපයන ඒවාය. සමාජ සේවා සංවිධාන මඟින් පරාර්ථකාමී සේවයන් නොමිලේ සපයනු ඇතැයි ඔහු පැවසීය. නමුත් ඒවා ආණ්ඩුවක් යටතේ නොකළ යුතුය. මෙවැනි සමාජයක මිනිසාට තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නිදහසක් ලැබෙන්නේය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදහස් වන පරිදි නිදහස් වෙළඳපොලකි. මෙවැනි පසුබිමක් මිනිසා උද්දාමයට පත් කරන උතෝපියාවක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. (මෙවැනි කාලයක් ඇමෙරිකාවේ ආරම්භයේ දි පැවතුණි.)

ඇමෙරිකාවේ වැඩි දෙනා මහන්සි වී වැඩ කිරීමට කැමත්තෝය. ලෝකයේ දියුණු රටවල් අතර අඩුම නිවාඩු ඇති, වැඩියෙන්ම කාල වේලා වැඩ කරන සේවකයෝ ඉන්නේ ඇමෙරිකාවේය. ජපනුන් ඊට කිටිටුය. එහෙත් ඔවුන් අතර සියදිවිනසා ගැනීම් ද ඉහළය. ඇමෙරිකානුවන් වැඩට යන්නේ සිය කැමැත්තෙන්මය. එය ඔවුන්ගේ ආඩම්බරයයි. මම මෙය වටහා ගත් දිනයේ නෝසික් පවසන දර්ශනය වටහා ගත්තෙමි.

නෝසික්ගේ වැදගත්ම තර්කය නම් එක දෘශ්ටියක් හැම වෙත බලපෑම වෙනුවට අපි එක් එක්කෙනාට තම තමන්‍ට වි‍‍ෙශ්ෂ වූ දෘශ්ටියක් සාර්ථක කරගන්නට හැකියාව ලිබටේරියානු උතෝපියාවෙන් පහසුවෙන් ලැබෙනු ඇත කියාය. “විට්ගන්ස්ටයින්, එලිසබෙත් ටේලර්, බටුන්ඩ් රසල්…පිකාසෝ…අයන්ස්ටයින්…සොක්‍රටීස්..ඔබට සහ ඔබේ දෙමාපියන්ට” සියල්ලටම එක නිෂ්ඨටාවක් ගැලපෙන්නේ නැහැ නේද කියා ඔහු අසයි. (පිටු 310) ඒකාධිපති පාලකයෝ මහා විශාල ජනතාවකට එක පිළිවෙතක් අනුගමනය කරන්නට බලපෑම් කරද්දී මෙසේ තම තමන්ට කැමති අරමුණක් කරා ගමන් ගන්නට නිදහසක් දෙන දර්ශනයක් වඩා ප්‍රචලිත වෙනු ඇතැයි කෙනෙකු සිතන්නට හැකිය. එහෙත් සිද්ධ වූයේ අනිකකි.

තමන්ට කැමැත්තක් කරන්නට ඉඩක් දෙන කල බොහෝ කෙනෙකු කුමක් කරන්නේ ද කියා නොදනිති. මෙහිදී නෝසික්ගේ පොතේ නැති පර්යේෂණයක් කරන්නට මම ඔබට ආරාධනා කරමි. දන්නා හඳුනන කෙනෙකුගෙන් (ලංකාවේ අය විශේෂයෙන්) කන්න ඕනා මොනවාදැයි කෑම වේලක දී අහන්න. බොහෝ අය ඔය කන බොන දෙයක් කමු යයි පිළිතුරු දෙන ආකාරය බලන්න. අනුන් අප වෙනුවෙන් තීරණ ගන්නා තෙක් බලා ඉන්නට ලංකාවේ පමණක් නොව ලෝකයේ ද ජනයා පුරුදුව සිටිති. එහෙත් ඒ හැදියාව මිස ස්වභාවය නොවේ. අනුකරණය කරන්නට අපව හුරු පුරුදු කර ඇත්තේ පාලකයෝය (දෙමාපියන්, වැඩිහිටියන්, ආගමික නායකයින්). ඒ නිසා අපට තනිවම සිතිය නොහැක.

නෝසික්ගේ දර්ශනයට පහර වැදුනේ දුප්පතුන් නිදහස් වෙළඳපොල පවතින සමාජයක බඩගින්නේ සිටිනු ඇතැයි කියාය. මන්ද ඔවුනට නොමිලේ සේවා සපයන්නට ආණ්ඩුවක් නැති නිසාය.

දුප්පතුන් ඇති වන්නේ කෙසේද කියා වෙනම සාකච්ඡාවකට බැසිය යුතුය. අද ලෝකයේ අනේක විධ සමාජ පාලන රටාවන් පැවතෙන රටවල දුප්පතුන් උපන් දුප්පත් තත්වයේම සිටිනු දැකිය හැකිය. විශේෂයෙන්ම රජය දුප්පතුන්ගේ දුප්පත් බව නංවා ලීමට කටයුතු කරනවා යයි කියන ආණ්ඩු ඇති රටවල් වල දුප්පතුන්, ආණ්ඩුව කරන තෙක් බලා නොසිටින රටවල දුප්පත් අයට වඩා දුගී බවෙන් සිටිති. රජය සැම විටම දුප්පතුන්ට සහනය සැලසිය යුතු ද? හෝ සහන මාර්ග ඇති කර දීමෙන් දුප්පතුන් නැතිභංග කර දැමිය නොහැක්කේ ඇයි දැයි වෙනම විභාගයට ගත යුතු ප්‍රශ්නයකි. නොසික් ඒ ප්‍රශ්නය ගෙන එන්නේ නැත.

මුහුදු වෙරළේ (සීතල නැති දවස්වල) ඇවිදීමත්, පොත් කියවීමත් හා දුටු නොදුටු තැන් බලන්නට යෑම මෙන්ම බුද්ධ්මත් සැමියා හා අප දෙදෙනාටම වඩා බුද්ධිමත් වූ නිවාඩු කාලයට ගෙදර එන දියණිය ද, මගේ වයස වසර 14 ක බැල්ලිය ද සමඟ කාලය ගෙවීමෙන් මා මගේ උතෝපියාවේ අද ජීවත් වෙන්නෙමි!

මට කියවන්න පහසු පොතක් නොවූවාට ඔබට පහසු වන්නට ඉඩ ඇති නිසා මෙසේ පොතේ නම සඳහන් කරන්නම්. Robert Nozick, Anarchy, State and Utopia (1974)

තාක්ෂණයේ දියුණුවට පින් සිද්ද වෙන්න මේ අමතර එකතුව. වෙන ගමනක් යනින් ගමන් සතයක් වත් ගෙවන්නෙ නැතුව සතුටු වෙන්න ඇහැකි මුහුදු වෙරළ ළඟ මේ පින්තූරේ අරන් මහජන පුස්තකාලයේ සතයක් වත් නොගෙවා අන්තර්ජාලයට එක්වෙලා සටහනට ඇතුල් කරනවා. ඇයි මේ ‘සතයක් වත්’ කතාව මොකක්ද දැන ගන්න කමෙන්ට් කියවන්න වෙයි!

21 Responses

Subscribe to comments with RSS.

  1. Ravin Caldera said, on ජනවාරි 21, 2010 at 9:46 පෙ.ව.

    රොබට් නෝසික්ගේ (1938-2002) මූලීක ප්‍රස්තුතය “සීමිත හෝ අවම රාජ්‍යයක්” පිළිබඳ සංකල්පයක් බව මගේ වැටහීම යි. ඇමරිකන් ජනතාව බොහෝ විට, තමුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ලත් කළ රාජ්‍යයේ මැදිහත් වීම පිළිබඳ දැඩි සැක සංකා පහළ කරන තත්ත්වයකට පත්ව ඇති බව මගේ කෙටි කාලයක් ඇමරිකන් ජීවිතයෙන් මා තේරුම් ගතිමි. එයට හේතු විමසූ විට, ඔවුන්ගේ ප්‍රතිචාරය බොහෝ විට, රජ්‍ය සෑම විටම මහජන අයිතින් කප්පාදු කරන, බලයට ගිජු ආයතනයක් ලෙස ය. මෙවැනි ඍණාත්මක දර්ශනයක් රාජ්‍ය කෙරෙහි පළ කිරීමට හේතු සාධකය ලෙස මට පෙනි ගියේ, ඇමරිකන් ජනතාවගේ වූ ධනවාදී පාරිබෝගී ජිවින දෘෂ්ටිය යි. ඇමරිකන් ජීවිතය බොහෝ විට මා හට පෙනුනේ දැලක පැටලී සිටින සත්ත්වයකුගේ ස්වරෑපයෙන් ය. එහි ජීවත් වීමට ප්‍රමාණවත් මුදල් නොමැති ව කළ නොහැක. විවිධ වර්ගයේ වියදම් ඉබෙ ම වාගේ එක් වේ. අවසානයේ ජීවත් වීම යනු බිල් ගෙවා ගැනීමට මුදල් ඉපයීමත්, ඒ ඉපයූ මුදල් ඉක්මනින් අවසන් කොට, ඊළඟ මාසය සඳහා වැඩ කිරීමත් ය. මා හමු වූ බොහෝ ඇමරිකානුවන් ණය බරින් මිරිකී ඇති අතර, සමහරු මා සිටි කාලයේ දී කළ විනෝද ගමන් යෑමවත් කර තිබුණේ නැත (සමහරුන්ට වෛද්‍ය පහසුකම් සඳහා ආරක්ෂන ආවරණය ගෙවා ගැනීමට ද නොහැකි විණ). ඒ හෙයින් මා හට පෙනුනේ මුදල් නැමති රැහැණෙන් බැඳි, මවාගත් උතෝපිය මාකුර (Utopian matrix) ජීවත්වන්නන් ලෙස ය. එවැන් සමාජ පසුබිමක රොබට් නොක්සිගේ දර්ශන ආකෘතිය ජීවමාන ලෙස මාංශමත්ව ඇති බව මගේ හැඟීම ය.

    • arunishapiro said, on ජනවාරි 21, 2010 at 10:41 පෙ.ව.

      පාරිභෝගික ජීවිත රටාව නිසා සුළු පිරිසක් එහි ඍන විපාකයන්ට ලක් වී ඇත. ඒ අල්ලපු ගෙදර ජෝන්ස් ලා කරන හැම දේම කරන්නට යන්නෝය. මෙය ඇමෙරිකානුවන් පමණක් නොව ලොව බොහෝ ජනතාව අනුකරණ‍යෙන් හෝ රැල්ලට පෙරළීම නිසා තමන් සිතා නොබැලීමේ ඍන විපාකයයි. එසේම පාරිභෝගික ජීවිත රටාව නිසාම අද ඇමෙරිකාවෙන් ලෝකයට දායාද කර ඇති මහත් විශාල නව නිපැයුම් ගැන හිතා බලන්න. ඒවා මනා ලෙසින් පරිහණය කරන්නා, ඊට වහලෙක් නොවී එයින් වැඩ ගන්නට දන්නා අයට තම තත්වය උසස් කරගත හැකිය. පා‍රිභෝගික රටාවක් නැති රටක එවන් නිෂ්පාදනයන් වෙළඳ පොලට එන්නේ කලාතුරකිනි.

      එසේම ඇමෙරිකාවේ මහත් ජනතාවක් තමනට රිසි සේ ඉතා සුව පහසුවෙන් ජීවත් වෙති. ඔවුන් ජෝන්ස් ලා අනුගමනය නොකරන බුද්ධිමත් පිරිසය. ඔවුන් වියදම් කරන්නේ තමනට ඇති පමණනි. එසේ වියදම් කර, නිවාඩුවට තම ගමේ පොකුණෙන් නා, ගමේ කැලෑවේ ඇවිද, ගමේ උත්සව වලට සහභාගී වී, ඈත රටක සුනාමියෙන් හෝ භූමි කම්පාවකින් අවතැන් වූවන්ටත් ආධාර යවන්නට ඒ අයට හැකිය. විනෝද ගමන් යෑමට මුදල් නැත්තේ යන තැන් නොදන්නා අයටයි. ඇමෙරිකාවේ සතයක් ‍වැය නොකර විනෝද වන්නට හැකි ස්ථාන රාශියකි. වෛද්‍ය පහසුකම් රක්ෂණයෙන් ආවරණය නොකෙරුන ද ඕනෑම රෝහලකට ගිය කල නොමිලේ ජීවිතය බේරා ගත හැකිය. හයියෙන් කෑ ගහන සුළු පිරිස විශ්වාස කර, ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට නොහැකි වීම අද රට පාලනය කරන ඔබාමාගේ පරාජයට ද හේතු වුනි. ඔහුත් ඇමෙරිකාවට බනින අයට සවන් දී රටේ මහන්සියෙන් වැඩ කර, සතුටින් ජීවත් වන්නෝ ගැන දැන‍ නොසිටීම අභාග්‍යයකි.

  2. Madhuka said, on ජනවාරි 21, 2010 at 11:49 පෙ.ව.

    මම blog වල කැර කෙනකො set වුන මාර blog post එක මේක? මේ මොක්කද කියන්නේ?

    • arunishapiro said, on ජනවාරි 21, 2010 at 12:00 ප.ව.

      අර පිකාසෝගේ චිත්‍රයක් වගේ එක් එක්කෙනාට පේන හැටි එක එක විදියයි. ඉතින් කියවල බලල, ප්‍රශ්න අහල අවබෝධයක් ලබන්න.

  3. උදිත said, on ජනවාරි 21, 2010 at 12:15 ප.ව.

    අරුණි පළමු වරට අද ඔයා‍ගෙ බ්ලොග් එක දුටුවා..ඔයාගෙ නෝසික්ගේ පොතේ නැති පර්යේෂණය
    දන්නා හඳුනන කෙනෙකුගෙන් (ලංකාවේ අය විශේෂයෙන්) කන්න ඕනා මොනවාදැයි කෑම වේලක දී අහන්න. බොහෝ අය ඔය කන බොන දෙයක් කමු යයි පිළිතුරු දෙන ආකාරය බලන්න යන්න Generalize කිරීම වැරදියි. ඔයා‍ යාන්තමින් නිවැරිදිව වරහන් තුල හඳුනාගෙන තියෙන පරිදි මෙය පොදු මිනිස් ගුනාංගයක් නොවෙයි ලංකාවේ සුවිශේෂයක්. මනෝ විෂ්ලේශණයට අනුව කිව්වොත් ලංකාවේ මිනිස්සුන්ගෙ රෝග ලක්‍ෂණයක්. Symptom ඵකක් පොදු මිනිස් ගුනාංගයක් සේ Generalize කිරීම වැරදියි නේ. මනෝ විෂ්ලේශණය හැදෑරුවොත් තේරෙයි ලංකාවේ බහුතරය හිස්ටරිකයි. hysteric subject ඵක අනෙකාගෙන් ඉල්ලන්නෙ Tell me … who I am? — > I am who you say යන්නයි. අනිත් ඵක තමයි මට හිතෙන විදියට ඔයා‍ගෙ බ්ලොග් එක too academic වගේ..http://www.lacan.com/hysteric.htm

    • arunishapiro said, on ජනවාරි 21, 2010 at 1:53 ප.ව.

      බලන්න, කියවන්න ආවට තුති. අනුන් අනුකරණය යනු හැදියාවක් මිස මානසික රෝගයක් නොවේ. තීරණ ගැනීමට පසුබට වන මේ හැදියාව ලංකාවට පමණක් සීමා වූවක් ද නොවේ. මෙය මා අත්දැකීමෙන් ලොව වටා රටවල් කිහිපයක දැක ඇති නිසා කියන්නකි. ලංකාව තුල වැඩියෙන් දකින්න පුළුවන් කියන එක හරි අපි වැඩියෙන් දකින්නෙ ලංකාවෙ අයනෙ. සරලව සටහන් ගහන්න නිතරම වෑයම් කරනවා. මතක් කළාට ස්තූතියි. ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නොක්ස්විල් නගරයේ ලේක්ෂෝර් මානසික රෝහලේ මා ග්‍රීෂ්ම ඍතුවක් උ‍පදේශකවරියක් වශයෙන් සේවය කළෙමි. මනෝවිද්‍යාවත් මානසික රෝග ගැනත් මා පශ්චාත් උපාධි මට්ටමින් ඇමෙරිකාවේ දී හදාරා ඇති නිසා මානසික රෝග හැටියට මා සලකන්නේ DSM -IV (Diagnostic and Statistical Manual of Mental Disorders, 4th edition, American Psychiatric Association සඳහන් මානසික රෝගය. මගේ පිළිතුරෙන් අමනාප නොවී නැවතත් සටහන් බලන්න එන්න.

      • උදිත said, on ජනවාරි 21, 2010 at 9:43 ප.ව.

        ඔබ හදාරා ඇති මනෝවිද්‍යාව(Psychology) සහ මා කතා කළ මනෝවිෂ්ලේශණය(psychoanalysis) ඵකක් නොව දෙකකි. ඔබ හදාරා ඇති මනෝවිද්‍යාව (Psychology/Psychiatry) රෝග ලක්‍ෂණ අනුව රෝග වර්ගීකරණය කර ‍‍‍උපදේශණය ‍හා බෙහෙත් දී මානසික රෝග යටපත් කරන විද්‍යාවකි. මීට පරස්පරව මනෝවිෂ්ලේශණය උපදේශණය ‍හා බෙහෙත් සමග හා DSM -IV බයිබලය සමග කිසිම සම්බන්ධයක් නොදක්වයි. Slavoj Žižek වැනි ලෝ ප්‍රකට බුද්ධිමතුන් නිදහස් වෙළඳපොල, ඇමරිකන් ජිවින දෘෂ්ටිය විග්‍රහ කිරීම සඳහා මනෝවිෂ්ලේශණය භාවිතා කරනු ලබයි. Slavoj Zizek නොකියවූ කෙනෙකුට මා දැක්වූ අදහස තේරුම් ගැනීම අපහසුය. ඇමෙරිකාවේ New York City ඵකේ මහ පාරේ ඇමරිකානු සාමාන්‍ය මිනිසුන් අතර මා ලබන Maxim Gorky අධ්‍යාපණය හා ජීවන අත්දැකීම ඇමරිකාව වටහා ගන්නේ ඔබගේ Academic Education ඵක සහ ඔබ දැන් ගතකරන bourgeoisie ජීවන රටාව ඇමරිකාව ව‍ටහා ගන්න විදි‍යට නොවෙයි. Robert Nozick ට වඩාTexas Republican Congressman Ron Paul ගෙ අදහස් you tube ඵකෙන් බැලීම මේ යුග‍‍යේ භෞතිකය.

        • arunishapiro said, on ජනවාරි 21, 2010 at 9:54 ප.ව.

          මුලින් ඔයා ලියපු සේරම අවලංගු වෙලා යනවා අන්තිමට දාපු වාක්‍යයෙන්. ටෙක්සාස් රොන් පෝල් කියන්නෙත් රොබට් නෝසික්ගේ කියා ඇති දේම තමයි පොඩ්ඩක් සැර බාල කරලා. මොකද එයාට දෙවියන්වහන්සේ සංකල්පය අතහරින්න බැරි නිසා. මුලින් කියා ඇති දේ තර්කානුකූලව ඔයාගෙ මතය තහවුරු කරන්න යොදාගෙන ඇති ආකාරයේ ඇති එකම අඩුපාඩුව අන්තිමේ දී මට පුද්ගලික පහරක් ගහපු එක. ඒක කරන්න ගියාමත් තර්කයේ වැදගත්කමට හානියක් වෙනවා. තර්කය ඒ ඩිංග නැතිව ලිව්වාම එහි තියෙන වැදගත්කම ඇති හොඳටම.

  4. ~බිன்ku~ said, on ජනවාරි 21, 2010 at 10:23 ප.ව.

    ” ලංකාවෙන් කැනඩාවට අවුත් බ්‍රිටිශ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ” o.0
    අහන්නත් සතුටුයි!
    *****

    අහෝ මේ ගැන මම දැන සිටියෙත් නැති හැටි!
    ඔබේ මේ ලිපිය මගේ දේශපාලන හා සමාජ විද්‍යාව ගැන උනන්දුව වැඩි කරනවා.
    හැකි නම් මෙම පොත් දෙකට අමතරව දේශපාලන හා දර්ශණවාද විද්‍යාවට සම්බන්ධ පොත්වල හා වෙබ් අඩවි ලබා දිය හැකිද?

    ලොකු උදව්වක්.

    • arunishapiro said, on ජනවාරි 22, 2010 at 10:15 පෙ.ව.

      Karl Marx, The Communist Manifesto; Adams Smith, The Wealth of Nations; Friedrich Nietzche, The Birth of Tragedy from the Spirit of Music, Dante Alighieri, The Inferno (book not the video game!); Ayn Rand, Atllas Shrugged; Avatar (film); Dinesh D’Souza, Illiberal Education; C. Vann Woodward, Freedom & the Universities (the New York Review of Books Vol 38. No 13. July 18, 1991); BBC World Service; National Public Radio (NPR); CNN; Fox; New York Times; The Washington Post; Rush Limbaugh Radio (can’t find equally provocative left radio!); Reuters News Agency; Associated Press (AP); this is for the start, if you check them all you’ll know where to go from here. Best!

  5. indik said, on ජනවාරි 22, 2010 at 12:04 පෙ.ව.

    අදත් ඔබතුමියගෙ ලිපිය කියෙව්ව. අවුරුදු 20 ඇමෙරිකාවෙ ජීවත්වුනා… සතුටුයි ඒ ගැන.
    මටත් මෙහෙ සමහර දේවල් ගැන ආසාව ඇතිවෙලා තියෙන්නෙ. මෙහෙ ජීවිතේ බොහොම පහසුයි. තමන්ගෙ පාඩුවෙ ඉන්න පුළුවන්…
    ඒත් මම තාම ඇවිත් ටික කාලයයිනෙ. ඉස්සරහට මොනව වෙයිද දන්නෙනැහැ.

    මගේ යහළුවො කිහිප දෙනෙක් ඉන්දියානා විශ්ව විද්‍යාලයයෙ ඉගෙන ගන්නව.
    මම ඉන්න එල් පාසෝ නගරයෙනම් ලංකාවෙ කෙනෙක් හොයාගන්නවත් නැහැ වගේ… 😦

  6. Siribiris said, on ජනවාරි 22, 2010 at 12:34 පෙ.ව.

    බුදු අම්මෝ, මේක නං දරුණු වැඩියි. හුදී ජනයාගේ පහන් සුව පිනිස,සරල භාශාවෙන් දේශණා කරන සේක්වා.

    Libertarianism ගැන හරියට තේරුනේ දැනුයි.ෂෙහ්.. පහුගිය semester එකේ හම්බවුනා නං ගෙඩි පිටිං assignment එකක් ලියා ගන්න තිබුනා.

    හ්ම්…Utopia හොයන අයට කැනඩාවත් නරක් නෑ වගේ, පටං ගන්න. මාත් ඔය කෙහෙම්මල තාම හොයනවා.

  7. උදිත said, on ජනවාරි 22, 2010 at 1:05 පෙ.ව.

    ටෙක්සාස් රොන් පෝල් කියන්නෙත් රොබට් නෝසික්ගේ කියා ඇති දේම තමයි පොඩ්ඩක් සැර බාල කරලා…ඇත්ත ඒක නිසා තමයි මම කිව්වෙ aruni හුදී ජනයාට Harvard University Robert Nozick ට වඩාTexas Republican Congressman Ron Paul ගෙ අදහස් you tube ඵකෙන් බැලීම Libertarianism තේරැම් ගන්න භෞතික උදව්වක්. අනේ අන්තිමේ පුද්ගලික පහරක් ගැහුවා නෙවෙයි politically උත්තර දීමක් විතරයි. සිංහල blog අතර ඔයාගෙ එක විශිෂ්ඨයි.

  8. kasunmathota said, on ජනවාරි 22, 2010 at 6:44 පෙ.ව.

    මටනම් තෙරුනා. එත් මම ගොඩක් දෙවල් ගැන දන්නෙ නැහැ. අමතර දැනුම හොයන්න වේලාව අඩුහින්දා මෙ වගෙ බ්ලොග් තවත් තියෙනවනම් කියලා හිතෙනවා. සිංහලෙන් කියවද්දි ඇගට වදිනවා. බොහොම ස්තුතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: