අරුණි ශපීරෝ‍ වෙතින්

ඇකඩමියාවේ දායාදය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 22, 2010

California State University, Fresno වල මට මුලින්ම ඇමෙරිකාවේ රස්සාවක් ලැබුනෙ. පත්වීම ලැබෙන කොට දුව උපදින්නත් ළඟයි. ඉතින් ලොකු බඩකුත් උස්සගෙන තමයි උගන්නන්න ගියේ. එක පංතියක් ජීව විද්‍යා ආචාර ධර්ම (1990 කාලේ නැවුම් විෂයයක්) අනික බුද්ධාගම. දෙකටම මොනවා උගන්වනවාද සහ භාවිතා කරන පොත් මොනවාද, ලකුණු දෙන්නෙ කොහොමද යන්නත් තනියම තීරණය කරන්නෙ මම. වල්පොල රාහුල හිමියන්ගේ පොත තමයි බුද්ධාගමට ගත්තෙ.  පංතියක හිටියා ළමයි 30 ක් 40 ක්. දුව ලැබිලා සති දෙකෙන් ප්‍රෑම් එකේ තියාගෙන එයාවත් තල්ලු කරගෙන දේශන ශාලාවට යන්නෙ. මගේ මනෝවිද්‍යාවට අනුව දරුවා හදපු නිසා කිසි සද්දයක් නැතුව ඉන්නවා පැයක හමාරක දේශන ඉවර වෙනකන්. ඊට පස්සෙ මගේ ඔෆිස් එකට දුවලා ගිහින් කිරි පොවනවා. දුව වයස 6 -7 වෙනකම් දර්ශන දේශන අහගෙන ඉඳලා තමයි හැදුනෙ වැඩුනේ!

මම උගන්වපු පංති වල ළමයි මුලින් කාලයේ මේ මොනවද කියන්නෙ කියල තක්බීරී වෙලා බලන් ඉන්නවා. මොකද මම ඉගැන්වූයේ මට ආවේණික වූ විදියකට. සමහරු පංතිය අතෑරලා වෙන ඒවාට යනවා. ඉතුරු වෙන අය මාත් එක්ක සෙමෙස්ටර් අවසානය දක්වා ලොකු ගමනක් යනවා. එයාල අන්තිමට පංතිය පටන් ගන්න කළින් තැන් තැන් වල වාද කරනවා දකින්න පුළුවන්. දවස අවසානයේ එක එක අයගෙ කාමර වල හමුවෙලා රෑ කතා කරපු දේවල් ගැන පංතියේ දී ප්‍රශ්න අහනවා. එහෙම සාකච්ඡා වලට, භාවනා පංති වලට මමත් එයාලගේ ගෙවල් වලට ගිහින් සහභාගී වෙලා තියෙනවා. සිලබස් ‍එකෙන් පිට දේවල් ගැන කතා කරන්නයි ඒ. වාර අවසානයේ ළමයි බොහොමය දුක් වෙනවා පංතිය ඉවරයිනෙ කියල. එහෙම ගුරුවරයෙක් ඉන්න කොට පංතියට බැ‍ෙඳන්න බලාගෙන ඉන්න අයත් වැඩි වෙනවා. එක වතාවක දී මට ජීවිතයේ දී මා උගන්නපු බුද්ධිමත්ම ළමයි පිරිසක් ඉන්න පංතියක් ලැබුණා. මටත් වඩා දැනුම තිබුණ සමහර අයට. ඒ වගේම ඒ අය සිටි නිසා අනිත් අයත් මහන්සි වෙලා ඉගෙන ගත්තා. පංති වලට එන එක අතපසු කරපු කෙනෙක් දෙන්නෙක්ට හැරෙන්න අනිත් සේරටම A දුන්නා වාර අවසානයේ. ඉතින් මට අංශාධිපති කතා කළා. එහෙම බෑ. B සහ C ටිකක් දාන්න ඕනා කියනවා. මං කිව්වා මේ ළමයි ටික හරි බුද්ධිමත් එහෙම කරන්න බැහැ කියල. මං ඒ අයගේ උත්තර පත්තර පෙන්නුවා. පැනල් එකකටත් ගියා සිද්ධිය. කතාව හරි කියල පිළිගත්තත් එහෙම ලකුණු දුන්නොත් මේක නැවත අනිත් අයත් කරන්න ඉඩ තියනවා, හැමෝම එහෙම A ගන්න තරම් හොඳ වෙන්නෙ කොහොමද?, මම තවම තරුණයි, පළපුරුදුකම් අඩුයි, ඒ ආපු දොස්. මං කිව්වා මට බැහැ වෙනස් කරන්න එයාල කැමති නම් තව විභාගයක් තියල බලන්න කියල. දුර දිග ගිහින් ආන්දෝලනයක් කරගන්න කැමැති නැති නිසා ඒ පංතියට ලකුණු තියාගන්න ලැබුණ.

ඒ සිද්ධියට පස්සෙ කාලයක් ගිහින් මං ආවා ටෙනසි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආචාර ධර්ම හා ජීව විද්‍යා ආචාර ධර්ම උගන්වන්න. ජීව විද්‍යා ආචාර ධර්ම පංතියෙ ළමයි පළමු වසරෙ. ඒ අයත් අර තක්බීරී යුගය පාස් කරගෙන ගිහින් වැටහෙන යුගයට ගියා. නමුත් ව්‍යාපාර ආචාර ධර්ම පංතියෙ වැඩිපුර හිටියෙ බිස්නස් එම්.බී.ඒ වලට හදාරන ළමයි. නිර්දේශ පොත කියවන්නෙ නැතුව එන අයයි, පංති එන්න අමතක කරන අයයි වැඩියි. සමහරු මට ලයින් පාරවල් දානවා ලකුණු වැඩියෙන් ගන්න. ඉතින් ඒ පංතියෙ ළමයිගේ ලකුණු දුර්වලයි. මේ පංතිය උපාධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය අනිවාර්ය විෂයයක්. අංශාධිපති හම්බ වෙන්න ආයේ යන්න වුනා. මේ අයගෙ ලකුණු වැඩි කරන්න කිව්වා. මං කිව්වා මැටි මොල්ලු ටිකක් එහෙම කරන්නෙ කොහොමද කියලා. එහෙනම් අඩු ගානේ කාවවත් අසමත් නොකර ඉන්න පුළුවන් ද කියලා ඇහැව්ව!

මේ පුද්ගලික විස්තර ලිව්වෙ ඊ ළඟට ලියන ටික තේරුම් ගන්න උදව් වේවි කියල හිතාගෙන.

ලතින් භාෂාවෙන් කොලීජීය යන්නෙන් හඳුන්වන්නේ එකට එකතු වී හැදෑරීම. අද උසස් අධ්‍යාපන ආයතන වල පමණක් නොව එකට එකතු වී ඉගෙන ගැනීම ප්‍රාථමික පංති වල ද සිදු වෙනව. ලොව වටා කුඩා දරුවෝ අන්තර්ජාලයෙන් එකතු වී තම රට රටවල් ගැන ස්කයිප් මඟින් කතා බහ කර නොදන්නා රටේ චාරිත්‍ර වාරිත්‍ර ගැන එකිනෙකාගෙන් දැක අසා ඉගෙන ගන්නව. ඇකඩමියේ දායාදය වූ දැනුම අද අපට සොයා ගැනීමට නව මාර්ග ඇත. ඒවා ‍බොහොමයක් පාවිච්චියට ගන්නේ තරුණ පිරිස් වීම භාග්‍යයකි.

නුදුරු අනාගතෙය් දී අධ්‍යාපන ආයතන වල ඉන්නා ආචාර්යවරුන්ට තම නොදන්නා කම වසාගෙන හැංගී ඉන්නට නොහැකි වනු ඇත. ඉගෙන ගන්නට එන දරුවෝ තමන් විසින් සොයා ගත් තොරතුරු ගොන්නකින් ගුරුවරයාගේ දැනුම ද විමසා බලනු ඇත.

ඇකඩමියාව නොහොත් අද සිටිනා ගුරු පරම්පරාව වේගයෙන් ඉදිරියට යන ලෝකය එසේ යයි පිළිගන්නට පසුබෑම නිසා තම මත පමණක් උගන්වා සිසු මනස මොට කරන්නට තවමත් උත්සාහ දරති. ඒ ඔවුන් ඉගෙන ගත්තේ ද එවන් හැදියාවකින් වූ පරම්පරාවකින් නිසාය. බොහෝ දෙනෙක් දන්නා හෝ නොදන්නා කමෙන් මෙම තත්වය පවත්වා ගෙන ගිය ද සෑම ගුරුවරයෙක්ම එසේ නැතැයි ද මතක් කරමි.

60 ගණන්වල ආරම්භ වී 70 ගණන් වල දැඩිව පැවතුණු ලෝක විශ්ව විද්‍යාල වලට රිංගා ගත් පක්ෂ දේශපාලනය මඟින් පැතිරී ගියේ මෙම මනස මොට කිරීමේ රටාව බව පෙනේ. ගුරුවරුන් විසින් දරුවන් උසි ගන්වා පක්ෂ දේශපාලනයට, වෙන රටවල ඇති දේශපාලන මත වලට විරුද්ධව පෙළපාලි යෑමට හා තම මතයට එකඟව පිළිතුරු සපයන අයව පාස් කරන, තම මතයට විරුද්ධ අය අසමත් කරන හැදියාවක් හුරු කරන ලදි.

සමාජ ඉංජිනේරුවෝ යයි කියන පිරිසකගේ බිහිවීම නිසා සමාජය නීති රීති මඟින්, මොළ මොට කිරීම මඟින්, හා රැල්ලට පෙරළෙන්නට හුරු කිරීම මඟින් සමාජ ඉංජිනේරුවෝ තමන් සමාජය ගැන වඩාත් හොඳින් දන්නා අය යයි කියාගත් නිසා හුදී ජනයාව තමාගේ අදහස් අනුව ජීවත් කරවන්නට උත්සාහ ගන්නා යුගයක අද අපි ඉන්නේ. ඒ නිසයි පැති දෙකක් පෙන්වා තමාට කැමති පැත්ත තෝරා ගන්න, තමාට කැමති පැත්තට වඩා හොඳින් තර්ක කරන්න හැක්කේ මෙහෙමයි කියා කියාදෙන අය නැතිව ගොස් ඇත්තේ. මොකද අද ඉන්නා හැම දෙනාම වාගේ පැත්තක් තෝරා ගත්තවුන්ය. දේශපාලනය පමණක් නොව හැම දෙයක් ගැනම පැත්තක සිටිති. ඒ නිසාම අපි ඉන්නේ මුල කොහේදැයි ‍නොදන්නා, තමන්ගෙ පැත්තේ ප්‍රතිපත්ති හා සංකල්ප නොදන්නා කැඳ හැලිවලය.

ගිරා නාදය පතුරුවන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මහාචාර්යවරු 8 දෙනෙක් හා කළ විමසීමක දී ඉන් හය දෙනෙක්ම ආදාල මූලාශ්‍ර නොකියවා ඇති බව ද, දෙදෙනෙකු කියවා තිබුණු අතර ඉන් එක් අයෙකුට පමණක් මතක් කළ විට දී සිහිපත් වුනු බව ආචාර්ය සූර්ය ගුණසේකර “හෙළි නොකරන රජයේ දේශපාලන විසඳුම” මැයෙන් ලිපියක් අන්තර්ජාලයේ කියවත හැකි 2010 ජනවාරි 22 දිවයින පත්‍රයේ ලියා ඇත. ඒ ලිපිය වැදගත් තොරතුරු රාශියකින් මනාව ලියා ඇත.

ලංකාවේ මෙවැනි මොළ මොට කරන හැදියාව ගැන ඔබ හැමට පහසුවෙන් සොයා ගත හැකි නිසා මම ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වලින් තව උදාහරණ පෙන්වන්නෙමි. මේ උදාහරණ එයට මුහුණ පෑ අය විසින් පොත්පත් වල ලියූ ඒවා සහ ඒ ඒ විද්‍යාලයේ පුවත්පත් වල වූ සටහන් වලිනි.

1980 කාලයේ ඩා‍ට්මත් විද්‍යාලය ස්වදේශී ඉන්දියානු රූපයක් සිය ක්‍රීඩා කණ්ඩායම් වල ලාංඡනය ලෙස යොදා ගත්හ. දේශපාලන නිවැරදි භාෂාවේ උන්නතියත් සමඟ එසේ ඩාට්මත් ඉන්දියන් යැයි පැවසීම ඉන්දියානුවන්ට කරන අපහාසයක් යයි විරුද්ධාතවයක් පටන් ගැනුනි. ඒ විරුද්ධාතවය ආවේ ස්වදේශී ඉන්දියානුවන් ගෙන් නොවේ. ඩාට්මත් සිසුන් කණ්ඩායමක් රටේ ස්වදේශී ඉන්දියානු ගෝත්‍රික කණ්ඩායම් 100 කට ලිපි ලියා ඔවුන්ගේ අදහස් විමසූහ. පිළිතුරු එවූ ස්වදේශී ඉන්දියානුවන් කියා සිටියේ ඊට ඔවුන්ගේ කිසිම අකැමැත්තක් නැති බවය. එහෙත් වාමාංශික පොලිටිකල් මාෆියාව එය පිළිගත්තේ නැත. ඉන්දියානුවන් නොව ඊට විරුද්ධතාවය දැක්වූයේ ඔවුන් වෙනුවෙන් යයි කියාගත් වෙන පිරිසක්ය. ඔබ වෙනුවෙන් කියා වෙන අයෙක් ඔහුට උවමනා ආකාරයක විරෝධතාවයක් ඔබගේ නම භාවිතා කොට දැක්වුව හොත් ඔබ හිතන්නේ මොනවාද? නමුත් එසේ කරන්නේ විශ්ව විද්‍යාල ගුරුවරුන් හා උගත් වැඩිහිටියන් නම් ඔබ ඊට එකඟ නොවුවත් කට පියා ගෙන සිටිනවාද?

ඩාට්මත් විද්‍යාලයේ ආචාර්යවරියක් වූ සාරා සලි ප්‍රංශ භාෂාව ඉගැන්වීය. ඩාට්මත් රිවිව් නැමති විද්‍යාලයේ දකුණේ පුවත්පත ඇයගේ සැමියා වූ ආචාර්ය විලියම් කෝල් ගැන හාස්‍ය ලිපි රාශියක් පළ කිරීම නිසා ඔහු ඉල්ලා අස් ව ගිය අවධියක මෙම සිද්ධිය වුනි.  පුංශ භාෂාව උගන්වන පංතියේ ළමුන්ට එම පත්‍රය ගැන ඇස්තමේන්තුවක් කරන ලෙස ඇය පැවරීය. ළමුන් කතාව දන්නා හෙයින් පත්‍රයට විරුද්ධව තම පිළිතුරු ලිවූහ. සිද්ධිය නොදත් අළුත් සිසුවෙක් මනා පිළිතුරක් ලිව්වේ පත්‍රයේ ගුණ කියාය. ඔහුට C එකක් එම ආචාර්යවරිය දුන්නේ ඔහු ඇයගේ මතයට එකඟව පිළිතුරු නොලියූ නිසාය. පසුව අංශාධිපති වෙත ගොස් එය පෙන්වා තවත් ආචාර්යවරුන් තිදෙනෙකුගේ කමිටුවකට එය ඉදිරිපත් කර ඒකමතිකව එම සිසුවාට A එකක් ලැබුණි. ලකුණු වෙනස් කරන්නට අකැමති වූ ආචාර්යවරිය සිය තනතුරෙන් අස් වූවාය.

බර්ක්ලේ ශිෂ්‍ය අරගලය (1964) ඇමෙරිකාවේ මුලින්ම විශ්ව විද්‍යාලය තුලට ශිෂ්‍ය විරෝධතා ගෙන ආ සිද්ධියයි. විශ්ව විද්‍යාලය තුල පක්ෂ දේශපාලනය සඳහා ඉඩකඩ නොදීම නිසා ඔවුන්ගේ අයිතීන් කප්පාදු වන බව කියා විරෝධතාවය පටන් ගැනුනි. සුළු පිරිසක් විසින් මහත් ගාල ගෝට්ටියක් පටන් ගත්හ. යුනිවසිටියේ සභාපතිවරයා ක්ලාක් කර්, ඉල්ලීම් බොහොමයකට එකඟ වී එය දැනුම් දෙන්නට රැස්වීමක් කැඳවීය. රැස්වීමේ දී සිසුන්ට කතා කරන්නට අවස්ථාවක් නැති බව කළින් දැනුම් දී තිබිණ. එහෙත් රැස්වීම අවසානයේ දී මා‍රියො සැවියෝ මයික්‍රෆෝනය උදුරා ගත්තේය. ඒ ඉල්ලීම් වලට එකඟ වූ බව ප්‍රකාශ කර තිබියදීය. යුනිවසිටි පොලිස් නිලධාරියෝ ඔහුව බලෙන් වේදිකාවෙන් ඉවත් කළහ. පසුව “නිදහස් ප්‍රකාශ ව්‍යාපාරයේ’   සටන් වැදි නායකයෝ කියා සිටියේ සිය අරගලය කබාසීනියා වන්නට ඔන්න මෙන්න තිබියදී පාලකයෝව ප්‍රචණ්ඩත්වයෙන් කුලප්පු කළ නිසා තමනට ශිෂ්‍ය මර්ධන සටන දිනා ගන්නට හැකි වුන බවයි. මෙයින් පෙනී යන්නේ ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අයිතීන් ලබා ගැනීම නොව පාලකයෝ කුලප්පු කිරීමය.

1989 දී මා මේන් ප්‍රාන්තයේ වොටර්විල් නගරයට පදිංචියට ගියෙමි. ඒ සීතල කාලය පටන් ගත් කාලයේය. හවස හතර වනවිට හතර වටින් කළුවර වැටෙයි. කිසිවෙක් නොදන්නා පළාතක නිසා යහළු යෙහෙළියන් සිටියේ ද නැත.  ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක ලංකාවේ කෙනෙක් කවදා හෝ කාලයක ඉගෙනීම ලබා ඇතැයි අප රටෙන් ලෝක විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා ලාංකිකයෝ දැකීමේ දී සිතේ. මා මේන් විශ්ව විද්‍යාලයේ ලංකාවේ අය ඉන්නවා දැයි සොයා බැලුවෙමි. රසායන විද්‍යා අංශයේ පශ්චාත් උපාධිය ලබන කාණ්ඩයමක් සිටියහ. ඔවුන් අප නිවසට ආරාධනා කොට ලංකාවේ කෑම කා ප්‍රීති වන්නට එහි වාසය කළ සුළු කාලයේ දී හැකිවුනි. මෙය ලියද්දි නිකමට (මා දැන් ඉන්නේ ඒ පැත්තේ නොවේ.) මේන් විශ්ව විද්‍යාලයේ තවමත් ලංකාවේ අය ඉන්නවා දැයි සොයා බැලූ කළ රසායන විද්‍යා අංශයේ පස් දෙනෙක්ම ඉන්නා බව සොයා ගතිමි. 

මෙය ලිව්වේ අප රටෙන් පිටරට යන බොහෝ දෙනා නතර වන්නේ සීමිත වූ රාමුවක බව කියා පෑමටය. විශ්ව විද්‍යාල තුල ඇති පරිසරය සිසුවාගේ මොළය සීමා කරන පරිසරයකි. ඉංජිනේරුවන්, වෛද්‍යවරයන්, ගුරුවරුන් යාන්ත්‍රික රූකඩ මෙන් තමන් ඉගෙන ගත් දෑ එලෙසින්ම පිට කරන රටාවට හුරු වී සිටිති. අද ලෝකයේ නව සොයා ගැනීම් විශ්ව විද්‍යාලයන් තුලින් බිහිවීම කොතරම් සෙමෙන් සිදුවන්නක් ද යන්න සිතන්නට පවා සමහරු අකැමතිය.

ලංකාවේ බොහෝ අය බොහෝ මාතෘකා වලදී එක් පැත්තක් ගැන පමණක් වැඩියෙන් කතා කරන්නේ හා අනිත් පැති ගැන කිසිත් නොදන්නේ ඔවුන්ගේ පුහුණුව ලැබී ඇත්තේ ඇකඩමියාවෙන් නිසා යයි කියත හැකිය. ඒ ඔවුනට ඉගැන්වූ ලංක‍ාවේ ගුරුවරු හා පිටරට ගුරුවරු ද (ඇම‍රිකාව වැනි කැපිටලිස්ටික් රටක වුවද) දක්වන නැඹුරුව නිසාය. විප්ලවවාදීන් නීත්‍යානුකූල විචාරයට ලක් කළ යුතු මාතෘකාවන් තෝරා ගත්ත ද ඒවා ඔවුනට ආධාර දෙන, වාසි ලබා දෙන පක්ෂ හෝ රටවලට අනුව තර්ක කරන්නට යෑම නිසා විභාගයට ලක්වන්නේ කුමන කරුණක් ද යන්න කිසිවෙක් නොදනී. විචාරය පුද්ගලික පහර ගැනීම් බවට අද සංවාද පෙරළී ඇත්තේ මූලාශ්‍ර පිළිබඳ ඇති දැනුමට කම්මැලිකම නිසාවෙනි. එසේම අපව ඊට හුරු කර ඇති නිසාය.  අන්තිමට සිදු වන්නේ කිසිත් නොදන්නා ටික පිරිසක් වෙනත් අයගේ වුවමනාවට කොණක් අල්ලා ගෙන ඉන් මහත් පිරිසක් අඳුරට දැමීමය.

ආචාර්ය සූර්ය ගුණසේකරගේ ලිපිය කියවන ඔබටත්, ඔහු සේම මහාචාර්යවරුන් කියා දෙන තෙක් නොසිට අද ඇති තාක්ෂණය භාවිතා කර කවුරුත් කියන්න පිළි නොගෙන තමා විසින්ම කරුණු සොයා, වටහා, ඇත්ත නැත්ත අවබෝධ කරගත හැකිය. එවිට ඔබටත් ඔහු සේම තමා සොයා ගත්ත බ්ලොග් එකකින් හෝ පත්තරේට ලියා අනිත් අය හා බෙදා හදා ගත හැකිය. ඇකඩමියේ දායාදය පුස්සක් වී යන යුගයක, බුද්ධිමත් ලෝකයක් කරා අපේ පාලකයෝ (වැඩිහිටියෝ, ගුරුවරු, ආගමික නායකයෝ) නොයන කළ අපිවත් එය සොයා යා යුතු නේද?

මෙය සටහනට පසුව එකතු කරන ලද්දේ ලැබුණු ප්‍රතිචාර දැක මේ පොත කියවීමට කැමැත්තෝ සිටිතැයි අනුමාන කරන නිසාය. මම මෙහි විවේචනය පමණි කියවා ඇත්තේ. පොත මා ද කියවන්නට බලාපොරොත්තු වෙමි. Jonathan R. Cole, The Great American University: Its Rise to Pre-eminence, Its Indispensable National Role, Why It Must Be Protected, Public Affairs, 2009

8 Responses

Subscribe to comments with RSS.

  1. Kulendra said, on ජනවාරි 22, 2010 at 12:21 ප.ව.

    ‘සමහරු මට ලයින් පාරවල් දානවා ලකුණු වැඩියෙන් ගන්න’ – What happened to those then?

  2. Isuru said, on ජනවාරි 22, 2010 at 1:55 ප.ව.

    Your experiance is good for us to think

  3. ඉන්දරේ said, on ජනවාරි 22, 2010 at 1:56 ප.ව.

    වත්මන් ලාංකික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස මම ඔබගේ මෙම අදහස් වලට එකඟයි.

  4. kasunmathota said, on ජනවාරි 22, 2010 at 3:46 ප.ව.

    මමත් පිටරටකට ඇවිත් තාම අවුරුද්දයි. ඔබ තුමියගේ ලිපි කියවද්දි මටත් කරන්න දෙවල් ගොඩක් හිතෙනවා ඔහොම යමු.

  5. Sam said, on ජනවාරි 22, 2010 at 5:23 ප.ව.

    අධ්‍යාපනය සැපයීමේ වි‍යාපාරය සෙමින් සෙමින් යල් පැන ගිය ව්‍යාපාරයක් බවට පත්වෙනවායැයී මට සිතේ. ඒ වෙනුවාට අලසයන් සදහා පහසුව සපයන ව්‍යාපාරයක් බවට බොහෝමයක් අධ්‍යාපන වි‍යාපරය පත්වෙනවද? වෙදකම හෙදකම වාගේ ප්‍රායෝගික විශයන් හැරුනු කොට, පන්ති කාමරය තුල උගන්වන දැනුම දැන් බහුලය. ඕනෑම පුද්ගලයෙකුට විනාඩියකට දෙකකට අඩු කාලයකදී ඕනෑම කරුනක් පිලිබද විස්තාරත්මක අදහසක් ලබා ගත් හැක. පුස්තකාල දහස් ගනනක දැනුම තප්පරයකට වඩා අඩු කාලයකදී පීරා අවශ්‍ය කාරනය සොයා ගත හැක. මේ හැකියාව වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැත. ඉගන ගන්නේ කෙසේදැයී ඉගනගෙන ඇති උදවියට, උදාහරනයක් විදිහට බුද්දාගම විශය ගමු, අද්‍යාපන වියාපාරික ආයතනයක සහය නොලබාම බුද්දාගම ඉගන ගැනීමේ හැකියාව ඇත. අනෙකුත් උදවිය සමග එක්වීමේ අවස්තාව ඇත. ඕනෑ කරන්නේ උවමනාව පමනි. මාගේ විශය වන පරිගනක විශයේ මේ කාර්නය වඩාත් පැහැදිලිය. වැස්සටවත් පරිගනක පන්තියකට ගොඩ නොවූ උන්දෙලා යෝදයන් බවට පත්වෙයී. උවමනා වන්නේ විඤානය පමනි. විඤානය ඉගැන්විය හැකිද?

  6. මකුළුවා said, on ජනවාරි 22, 2010 at 5:48 ප.ව.

    great!

  7. indik said, on ජනවාරි 22, 2010 at 11:03 ප.ව.

    මම තාම ඉගෙන ගන්නෙ ඇමෙරිකාවෙ එක විශ්ව විද්‍යාලයක නිසා මට ඔබතුමියට වගේ ලොකු අත්දැකීම් නැහැ. ඒත් ලංකාවෙ සහ මෙහෙ දේශකවරුන්ගෙ ඉගැන්වීමේ ලොකු වෙනසක් මම දැක්ක. ලංකාවෙදි ගොඩක් දෙනෙක් එකම විශය රාමුවකට කොටු වෙලා ඉන්නෙ. මෙහෙ එහෙම නැහැ. හැම විශයයක් ගැනම ගොඩක් දෙනෙකුට හොඳ දැනුමක් තියෙනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: