අරුණි ශපීරෝ‍ වෙතින්

ස්මාට් පිල්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 23, 2010

smart pill යනුවෙන් හඳුන්වන දේ වලට අළුතින් එකතු වන්නක් ගැන මේ. පසුගිය දශකයේ ඇති වූ කොම්පියුටර් තාක්ෂණ දියුණුව නිසා අද ජීව වෛද්‍ය තාක්ෂණය වේගයෙන් දියුණුවට යයි. ඒ ගැන කතා නොකර බැරිය. 

ස්මාට් පිල් යයි ඇමරිකාවේ කුඩා දරුවෝ කියන්නේ උදෑසන ගෙවත්තේ දකින එකතැන ගොඩක් වැටී ඇති හාවාගේ රවුම් වූ කුඩා බෙටි වලටයි. පාසැලේ දී ස්මාට් පිල් එකක් යයි කියන්නේ ප්‍රශ්නයක් අහන්නත් පෙර අත උස්සාගෙන දඟලන පංතියේ දැනුම පෙන්වන ළමයාටයි. ඒ උපහාසයෙනි.

ස්මාටි පිල් කියා බෙහෙත් පෙති ඇරඹුනේ මෑතක දීය. ඒවා අද පරිහණය කරනා රෝගීන් ඇත. බුද්ධිය, සවිඥානය, මතකය, අවධානය වැඩි කරවන, මනස හසුරුවන මෙවැනි පෙති Nootropic නමෙන් ලොවට හඳුන්වා දෙයි. ඒ අතරට සාමාන්‍ය බෙහෙත් පෙති ද බුද්ධිමත් බවකින් ලබා දෙන්නට කරන වෑයමකි මේ.

ස්විස් ඖෂධ ‍ෙකාම්පැණියක් වන Norvatis අද දවසේ ඇමෙරිකානු දෘශ්‍ය කොමිපැණියක් වන Alcon අයත් කරගන්නට වෑයම් කරමින් සිටියි. නොවාර්ටිස් මේ මාසයේ දීම කැලිෆෝනියාවේ Proteus Biomedical ඖෂධ තාක්ෂණ දියුණුව සඳහා බලපත්‍ර ලබා ගත්තේය. ඒ තාක්ෂණය සමඟ ඇල්කොන් කොමිපැණිය හා එක් වුවහොත් නොවාර්ටිස් ලෝකයේ විශාලතම ස්මාට් පිල් තාක්ෂණය ඇති කොම්පැණිය බවට පත්වේ.

ඕලන්ද ඉලෙක්ට්‍රොනික්ස් කොම්පැණියක් වන Philips මෑතක දී “බුද්ධිමත් පෙති” දැන්වීමකින් කියා සිට්න්නේ ආහාර දිරවන පද්ධතියේ නියමිත ස්ථානයට බෙහෙත් දිය හැකියාව ඊට ඇති බවය. මේ දැවැන්තයන් හා ස්මාට් පිල් තරඟයේ යෙදෙන ඇමෙරිකාවේ Microchips කොම්පැණිය කියන්නේ ඔවුනට බෙහෙත් රඳවා ඇති පෙති, සහ ඒවා හසුරුවන තාක්ෂණය ඇති මයික්‍රොචිප්ස් තාක්ෂණය ඇති බවයි. ඉදිරි වසර 3-5 ඇතුලත මෙය වෙළඳපලට ඉදිරිපත් කරනු හැකි යයි මයික්‍රොචිප්ස් කොම්පැණිය කියයි.

අද දිනයේ ස්මාට් පිල් වලට වයර්ලස් ෆෝන් භාවිතයෙන් පෙත්ත ගන්නා රෝගියාගේ දත්ත වෛද්‍යවරයාට දන්වා යැවිය හැකිය. ඇමෙරිකානු කොම්පැණියක් වන Vitality බෙහෙත් පෙති බෝතල් වහන මූඩියට මෙවැන්නක් යොදා නියමිත බෙහෙත් ගැනීමට අමතක වුවහොත් ඇමෙරිකන් වයර්ලස් සේවාවක් සපයන Vodafone සමාගම මඟින් රෝගියාට බෙහෙත් ගන්න යැයි මතක් කරයි. මෙය බ්‍රිතාන්‍යයේ ද ලබා ගත හැකිය. ඔරේන්ජ් නැමති ප්‍රංශ තරඟකරුවා පුද්ගලයාගේ හාට් මොනිටර් ඉම්පලාන්ට් දත්ත පටිගත කර අන්තර්ජාලයෙන් එය වෛද්‍යවරයාට යවන හැකියාව ලබා දී ඇත. ටෙල් සෙල් නැමති මෙක්සිකෝවේ ලොකුම වයර්ලස් ෆෝන් කොම්පැණිය තමාගේ වයර්ලස් එකෙන් තමාට තුන් දා උණ හෝ රට හෙම්බිරිස්සාව යයි සැලකෙන ෆ්ලූ ඇත්දැයි දැන ගන්නට ඉඩ සලසයි. 

මෙවැනි තාක්ෂණ ගැන පර්යේෂණ කරන කලොරාමා පර්යේෂණ සංසදය කියන්නේ මෙවැනි සේවා සපයන ආයතන වලට ලැබෙන මුදල් පසුගිය වසරේ වූ ඇමෙරිකානු ‍ඩොලර් බිලියන 4.3  2012 වෙන විට 9.6 දක්වා වැඩි වනු ඇතැයි කියාය.

අද ලෝකයේ තනිවම ජීවත් වන පිරිස ‍‍බොහොමයකි. අධ්‍යාපනය හෝ රැකියාවන් සොයා ඈතක ගිය තරුණ පිරිස් මෙන්ම වඩාත් කාලයක් ජීවත් වෙන වයෝවෘද්ධයන් ද සිටිති. තනිවම ජීවත්වන්න වුන්ට මෙවැන්නක් ජීවිතය පහසු කරවයි.

හෘදයාබාධ නිසා මරණයට පත්වන සංඛ්‍යාව ගැන සිතා බලද්දී, මෙවැනි පෙත්තක් ශරීරයට දමා එය හැදෙන ලකුණු පහළ වෙද්දී පෙත්ත දියත් කර, වෛද්‍යවරයා වෙත යන තෙක් ජීවත් කරවන්නට හැකියාව ඇත. එසේම දියවැඩියාව ඇති අයට ඉන්සියුලින් අවශ්‍ය වෙලාවට දී ගන්නට මතක් කරන ශරීරයේම අලවා ඇති උපකරණ අද ඇත.

මානසික රෝග වලින් පෙළෙන බොහෝ දෙනාට ඇති ලක්ෂණයක් නම් ඊට අවශ්‍ය බෙහෙත් ගැනීම අමතක වීමයි. මා හඳුනන ඇමෙරිකන් සුදු තරුණයෙක්, වයස 30 ට අඩු, කෙන්ටකි ප්‍රාන්තයේ දර්ශනය උගන්වන කථිකාචාර්ය වරයෙකි. ඔහු චෙස් මාස්ටර් කෙනෙකි. බුද්ධිය ජීනියස් මට්ටමෙන් ඇත. ඔහුට ඇත්තේ බයිපෝලර් නොහොත් උන්මාද-විෂාදයයි. ඉතා පරස්පර වූ ආවේගයෙන් පිරුණු උන්මාද අන්ත දෙකකට යාමට ඇති හැකියාවයි. අති මහත් ප්‍රමෝදයකින් උද්දාම වන මෙම රෝගියාට ජවය හා කිසිවකුට තමා නතර කළ නොහැකි යයි දැනෙන ශක්තියක් ලැබේ. එහෙත් පාලනය කර නොගැනීම නිසා මෙම ශක්තිය වැය කෙරෙන්නේ මොළයේ සැලසුමක් නැතිව කෙරෙන වැඩ සඳහාය. මුදල් ගැන වැටහීමක් නැත. හොර සබඳතා ගැන හරි වැරැද්දක් නොතේරේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය පරිහරණය ද සිදු කරයි. විකෘති ප්‍රීතියකින් ගත කරන මෙවන් රෝගියා හිටිවනම ඉතා දුබල වන ගිලන් විෂාදයට පත් වෙයි. මෙතෙක් විනෝදයෙන් සාදයේ බැබළෙන, තියුණු මනසකින් යුත් එවැන්නා ක්ෂණයකින් දිවි තොර කර ගැනීමට හිතන ව්‍යාධි මානසිකත්වයට ප්‍රාප්ත වෙයි. ප්‍රීති උන්මාදයත් ගිලන් විෂාදයත් අතර කාලය ගෙවන මේ බයිපෝලර් රෝගීන් අතර සියදිවිනසා ගැනීම් අධිකය. අද ඇමෙරිකාවේ දී මිල දී ගත හැකි, වෙනත් රටවල තවමත් තහනම් බෙහෙත් නිසා මේ තරුණයා සිය බුද්ධිය පාව්ච්චියට ගන්නත් රෝගය මර්ධනය කරගෙන ඉන්නත් හැකියාව ලබා ඇත. ඔහු ග්‍රීක දර්ශනය ගැන නොදන්නා දෙයක් නැත. ග්‍රීසියට යාමට ඔහුට දැඩි ආශාවක් තිබුණ ද එහි යා නොහැක්කේ ඔහු දිනපතා ගන්නා බෙහෙත් ග්‍රීසියේ හිරගෙදරට යාමට තරම් තහනම් ඖෂධ නිසාය.

ස්මාට් පිල් තාක්ෂණයට පෙර ඔහුගේ මවට මේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයාට දිනපතා කතා කොට බෙහෙත් ගත්තා දැයි අසන්නට සිද්ධ වුනි. තාක්ෂණය නිසා අද ඔහු සාමාන්‍ය අයෙක් ලෙස තනිවම තම කටයුතු කරගෙන සිටියි. ව්‍යාධිය වැඩි විමෙන් බෙහෙත් ගැනීම අමතක වූ කල ස්මාට් මූඩියෙන් දුන් දැනුම් දීම නිසා මානසික රෝහලකට තනියම ඇතුල් වී ඔහු තම ජීවිතය බේරා ගත් අවස්ථා ද තිබුණි.

මේ එක් අයෙක් කියා ඔබ තර්ක කරනු ඇත. එහෙත් අපි නොදන්නා මෙවැනි බේරාගත හැකි ජීවිත කොපමණක් ලෝකයෙන් දැනටමත් තුරන් වී ඇත්දැයි සිතා බලන්න.

මෙවැනි තාක්ෂණයක ඇති අඩුපාඩු ගැන කතා කිරීමට ද අවශ්‍යයය. ඒ ගැන කතා කරන්නට  රෝගීන්ව බලාගන්නට රිමෝට් තාක්ෂණය උපයෝගී කරගන්නා Medtronic කොම්පැණිය සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. Animal Farm වැනි පොත් වල එන ඕර්වේලියන් අදහස් දරනා අයෙකුට මෙසේ රෝගියාගේ සියළු විස්තර ඕනෑම කෙනෙකුට, දොස්තරට, දෙමාපියන්ට, රක්ෂණ සේවයට, රෝහල් සේවකයන්ට, විශ්ව විද්‍යාල පාලකයෝට හා අවසානයේ ආණ්ඩුවට ලබා ගත ඇති හැකියාව ඉන් එකකි. එය නිදහස සීමා කරන, අනන්‍යතාවය නැති කරන මාර්ගයක් බවට පත්වේ ද?

දියුණු ලෝකයට පමණක් මිල දී ගන්නට අද ඇති හැකියාව නිසා දුප්පත් ‍ලෝක ජනතාවට අහිමි වන්නේ නිරෝගී බවට තමනටත් ඇති මූලික අයිතිවාසිකමක් යැයි චෝදනා ඇති වේ ද?

රෝගී භාවයෙන් තමා කැමති නම් ඊට බෙහෙත් නොකර මරණයට පත්වන්නට ඇති නිදහසට පාලකයෝ බලයෙන් ප්‍රතිකාර නියම කරන්නට පටන් ගනී ද?

13 Responses

Subscribe to comments with RSS.

  1. සුස්ති ගුනේ said, on ජනවාරි 23, 2010 at 12:03 ප.ව.

    1990 කාලෙ ලංකාවෙ තිබුනා මෙමරි-ප්ලස් කියල ජාතියක්. හදන්නෙ ලුනුවිල Bacopa monniera වලින් හරි ගොටුකොල වලින් හරි. ඒ දවස්වල අපේ අයිය කෙනෙක් මේ පෙති ගත්තා මෙමරි වැඩි කරං ඒ ලෙවල් පාස් වෙන්න.
    http://www.barakaoil.com/memo_pluscapsules.php

    • arunishapiro said, on ජනවාරි 23, 2010 at 2:58 ප.ව.

      ගොටුකොළ 250 mg 100 caplets US$ 5.99 20% off sale at Vitamin World, USA. රතුළුනුයි උම්බලකඩයි දාලා අමු ගොටුකොළ සම්‍බල් මතක් වෙලා කටට කෙළත් උනනවා!

  2. Madhuka said, on ජනවාරි 23, 2010 at 12:08 ප.ව.

    It is gr8 post that i see in sinhala, i like to know about writter… It is gr8 wrk, keep it up

  3. Hello said, on ජනවාරි 23, 2010 at 6:35 ප.ව.

    Thanks for sharing such a informative article.

  4. indik said, on ජනවාරි 24, 2010 at 4:08 පෙ.ව.

    read this post as usual. no need to repeat again and again. all ur posts are great. keep it up.

  5. Siribiris said, on ජනවාරි 24, 2010 at 10:41 ප.ව.

    ගොටුකොල සහ කංකුන් වලට කියන ඉංග්‍රීසි නම් මොනවාද? ඒවා නැති බටහිර රටවල ඒවාට සමාන වෙන ආදේශක් මොනවාද?

  6. Siribiris said, on ජනවාරි 24, 2010 at 11:00 ප.ව.

    ආ තව, පොල් මැල්ලුං හදන්න ගන්න පුලුවන් වෙන කොල ජාති මොනවාදයි දන්න කෙනෙක් කියනවා නම් ලොකු උදව්වක්. සාගතෙන් ( කොල ජාතී) පෙලෙන කෙනෙකුට කෑම වේලක් කන්න මග පාදන් එක ලොකු පිනක්නෙ.

    අපොයි, මේතරම් වටිනා ලිපි තියන බ්ලොග් එකක් කෑම වට්ටෝරුවක් විදිහට පෙරලුවාට බනින්න එපා. මේකත් එක්තරා දෑණුම බෙදා ගැනීමක්නෙ.

    • indik said, on ජනවාරි 25, 2010 at 2:22 පෙ.ව.

      we have some thing called PARSLEY…. try that.

    • arunishapiro said, on ජනවාරි 25, 2010 at 10:25 පෙ.ව.

      Kale කියන එක තමයි පොල් මැල්ලුමකට රසම. හැබැයි පුළුවන් තරම් හීනියට ලියා ගත්තම තමයි රස වැඩිවෙන්නෙ. පොල් දාලා කොළ මැලවෙන්න මිනිත්තුවක් දෙකක් රත් කර ගන්න ඕනා. අමුවෙන් කනවට වඩා රත් කරාම රසයි. ඊට අමතරව ඒ පවුලේම ඒවා Collard Greens සහ Mustard Greens සහ Turnip Greens. ඒ හැමකෙකම රස චුට්ටක් එකින් එකට වෙනස්. ඉන්දික කියලා තියන Parsley ත් හීනියට ලියා ගත්තම හරි රසයි. ඒක කොත්තමල්ලි පවුලට අයිතියි. ලුණු ඇඹුල් සහ රතු ළුණු ටිකක් වැඩියෙන් දාන්න ඕනා. උයන්න ඕන නෑ. තව Broccoli, Brussels Sprouts උයන්නෙ නැතුව කන අයත් ඉන්නවා. ඒක‍ත් පොල් මැල්ලුම් දාන්න පුළුවන්. පොඩ්ඩක් කොළ තද පාට වෙන්න මිනිත්තුවක් විතර වතුර ඩිංගක් දාලා රත් කරල ගත්තම පොල් මැල්ලුම තවත් රහයි. කොළ ජාති එකක්වත් වැඩිය උයන්න නරකයි. රස වගේම ගුණත් නැති වෙන නිසා. Cilantro සහ Watercress කියන ඒවගෙනුත් අමු සම්බල් හදන්න පුළුවන්. පොල් නොදා ළුනු, ලුණු ඇඹුල් විතරක් දාලා ගත්තම රසයි. කංකු තියෙනවා පොඩි චීන ග්‍රොසරි වල. Ong Choi චීන නම. කංකු වලට මෙහෙ Water spinach කියන අයත් ඉන්නවා. ඒකේ species: Ipomoea aquatica. සමහර පැති වල වෝල්මාට් සුපර් ස්ටෝර්ස් ග්‍රොසරි වලත් කංකු දැකල තියෙනවා. හැබැයි ලංකාවේ වගේ හීන් ඒවා නෙමෙයි. කැලිෆෝර්නියාවේ වවන තද පත කංකුන්. ඉතින් රහ අඩුයි. ගොටුකොළ වලට මෙහෙ කියන්නෙත් ගොටුකොළ කියලා තමයි species: centella asiatica. ලංකාවේ කඩවල (ලොකු නගර ආශ්‍රිත) ඉඳහිට අමු ‍ෙගාටුකොළ ගන්න තියෙනවා. කැරට් කොළ සම්බෝලත් උයන්නෙ නැතිව කන්න හදාගන්න පුළුවන්. පොල් නොදා.

  7. Siribiris said, on ජනවාරි 25, 2010 at 10:51 පෙ.ව.

    Thanks Aruni. You are the best.

  8. […] අතීතයේ චර්යා වැරදි ලෙසින් ගැනුනු බයිපෝලර් වැනි ආසාදනයන් අද හඳුනාගෙන ඇත. එයින් දරුවන් කුඩා […]

  9. ෴ සොඳුරු සිත ෴ said, on අප්‍රේල් 17, 2011 at 4:55 පෙ.ව.

    Bipolar කියෙවුවා..ස්තූතියි අරුණි අක්කා.බයිපෝලර් තියන දරුවකු ඉන්න මවකගෙන් ඒ පවුලට වෙන කරදර බාධක වලට කරන්න පුලුවන් දෙයක් තියෙනම්.. ( ශ්‍රී ලංකාවේ)

    • arunishapiro said, on අප්‍රේල් 17, 2011 at 12:47 ප.ව.

      ෴ සොඳුරු සිත ෴,
      //බයිපෝලර් තියන දරුවකු ඉන්න මවකගෙන් ඒ පවුලට වෙන කරදර බාධක//

      බයිපෝලර් ව්‍යාධියෙන් පෙළෙනේනේ දරුවා යැයි සිතමි. දරුවාගේ මවගෙන් ඒ පවුලට වෙන කරදර බාධක යනුවෙන් අදහස් කරන්නේ දරුවා රෝගී නිසා පවුලට මව විසින් කරන කරදර හා බාධා ද? එසේ නම් ඒවා මොන වගේ දේවල් ද?

      ජානුගතව දායාද ‍වන මානසික රෝගයක් නිසා අම්මාටත් බයිපෝලර් ව්‍යාධිය තියෙනවා ද යන්න සොයා බලා ඇත් ද?

      දැන් ඕකේ තත්වයන් 3 ක් තියෙනවා. යාන්තමින් තියන අය වැඩි කරදර නැතිව තමන් පමණක් සිතින් දුක් විඳිමින් සමාජයේ ජීවත්වෙන අය. ඊ ළඟට වැඩියෙන් තියන අය තමන් දුක් විඳිමින්, වටපිටාවේ ඉන්න අයවත් දුකට පත් කරමින්, කළින් කලට සුව වෙමින් හා රෝගී වෙමින් ජීවත් වෙනවා. දරුණුවට තියෙන අයෙකුට වැඩි කාලයක් තනිවම ජීවත්වන්නට බැහැ. ඉහළ හා පහළ යන මානසික ආවේග නිසා තමාට අනතුරක් කරගන්න, අනුන්ට අනතුරක් කරන්න (අඩුයි ප්‍රවණතාවය -ඒත් හිතා මතා නොවන්නක් සිද්ධ විය හැකියි) වැඩියි.

      වෛද්‍යවරුන්ටත් රෝගියා බලා කියා ගන්නා අයටත් ඉතා දුෂ්කර වූ සටනක්. බෙහෙත් නොබීවොත් ලෙඩා හොඳ වෙන්නෙ නැහැ. රෝග ලක්ෂණයක් තමයි බෙහෙත් බීම පැහැර හැරීම. අද තියන බෙහෙත් බීවාම හොඳ තත්වයක් ඇති කරනවා හා සමානව බෙහෙත් නිසාම තමන්ට අනතුරුදායක තත්වයක් වැඩි වෙන්නත් ඉඩ තියනවා. ඒක තමයි මනසට දෙන බෙහෙත් වල වැඩි අවදානම. පාලනය හා අවදානම නිශ්චිතවම කරන්න අද තියන කිසිම ‘ස්මාට් පිල්’ එකකට බැහැ. සමහර රටවල ඔය බෙහෙත් තහනම් ඒ නිසා.

      මම සටහනේ සඳහන් කරපු පවුලේ පියාට සහ දරුවන් පස්දෙනාටම රෝගී තත්වය එක එක අවස්ථා වලින් තියනවා. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයාට තමයි දරුණුම. ඔහු අති බුද්ධිමත් තරුණයෙක්. තාමත් තිස් හැවිරිදි නැහැ. ඒත් හැමදාම අම්මා කතා කරලා ‘අද බෙහෙත් බිව්වා ද?’ අහන්න ඕනා. අනිත් දරුවො එච්චරම රෝගී තත්වයන්වල නොහිටියාට ඔවුන් ද දිනපතා බෙහෙත් වලින් ජීවත් වෙන අය. ඔවුන් සියල්ලම සමාජයේ හැසිරෙන්නෙ, රැකියාවල යෙදෙන්නෙ, පස්දෙනාගෙන් දෙදෙනෙක් පවුල් ජීවිත ගත කරන්නෙ, රෝගය නැති අම්මා විසින් කැප වීමෙන් වූ නිති වෙහෙසක් ගන්න නිසා.

      මානසික රෝගියෙක්ව බෙහෙත් වලින් පමණක් සුව කරන්න, ඉස්පිරිතාලයකට දාලා හිර කරලා පමණක් තියන්න වගේ තෝරා ගැනීම් වලට වඩා ඒ අය වෙනුවෙන් කැප වෙන්න අයෙක් සිටී නම් ඔවුන්ට සතුටු ජීවිතයක් ලැබෙනවා. ඔතන දී රෝගියා වෙනුවෙන් කැපවීමක් කරන්නේ යන්න කවුද සලකා බැලීම තවත් පැත්තක්. කැප වෙන අයගෙ ජීවිතය සතුටුදායක ද නැත් ද යන්න විමසන්නෙ කවුද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: