අරුණි ශපීරෝ‍ වෙතින්

පැරදුනත් දිනන්නෝ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 25, 2010

ඉන්දියානාපලිස් අශ්ව පැටවුන් ඊයේ ජය ගත්හ. ඔවුන් සුපර් බෝල් හෙවත් අවසන් තරඟයට සති දෙකකින් යති. මේ දිනවල ඇමෙරිකාවේ කුකුල් තටු හිඟයක් පවතී. ඒ ෆුට්බෝල් නරඹන්නෝ බියර් බිබී කන්නේ කුකුල් තටු නිසාය. වසර 25 කට පමණ පෙර ඇමෙරිකාවේ කුකුලන්ගේ පපු අනෙක් රටවල කුකුලන්ගේ මෙන් ස්වභාවයෙන්ම කුඩාය. ඇමෙරිකන් ජනතාව කුකුල් පපු මස් කන්නට වඩා කැමති නිසා විද්‍යාවේ පිහිටෙන් තඩි පපු ඇති කුකුලන් අද බිහිවෙයි. දැන් පවතින තටු හිඟය නිසා තටු දෙකකින් නොව කිහිපයකින් යුතු කුකුලන් බිහි කිරීමට කවුරු හෝ පර්යේෂණ කරනවා දැයි නොදනිමි!

ෆුට්බෝල් නොබලන විට මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන විවෘත ‍ටෙනිස් ශූරතාවලිය ද නරඹන්නෙමි. මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇඟට කඩා පැන හපා කන මිනීමරු මකුළුවෙක් පැතිර ඉන්නා බව ද ආරංචියකි. තත්වය බරපතල වන්නට පෙර එය සමනය කරන්නට හැකි වේවා යයි පතමි.

2007 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා අවසන් තරඟය සිහියට නැ‍ෙඟ්. එහි දැඩි ආත්ම විශ්වාසයකින් යුතු සෙරීනා විලියම්ස් හා මරියා ශරපෝවා දෙදෙනා කාලයක් මතකයේ තබාගත හැකි තරඟයක යෙදුනහ. සෙරීනා විලියම්ස් තරඟය දිනූ ලකුණු දිහා බලන කල ඉතා පහසුවෙන් දිනා ඇති බවක් පෙනුනත් මරියා ශරපෝවා පැරදුන හැම ලකුණක්ම සඳහා තරඟ වැදුනේ තමා දිනනවාය යන විශ්වාසයෙනි.

සෙරීනා හා මරියා දෙදෙනාම දුප්පත් පසුබිමක හැදී වැඩුන අය වෙති. සෙරීනා කැලිෆෝර්නියාවේ මහජන ටෙනිස් පිටියේ පුරුදු වූ අතර මරියා රුසියාවෙන් ඇමෙරිකාවට ටෙනිස් ඉගෙන ගන්නට ආවෙකි. ඇයගේ පියා නික් බොලිටෙරි ටෙනිස් ඇකඩමියේ සේවා සපයන රැකියා කරමින් ඇයගේ ටෙනිස් දියුණුවට මුදල් උපයා ගත්තෙකි. ඉහළට යන්න නම් අවස්ථා ඔඩොක්කුවට වැටෙන තෙක් බලා නොසිට ඒවා සොයා යා යුතු බව මෙයින් පෙනේ.

ක්‍රීඩකයෙකුට ඉතාම මිහිරි ජය අත්පත් කරගත හැක්කේ තියුණු තරඟකාරීත්වයෙන් යුතු සටනකිනි. ඉඳහිට ලෙහෙසියෙන් දිනත හැකි තරඟයෙන් සතුටු වුන ද අර තදින් සටන් වැදී දිනා ගත් ජය අනිකුත් සියළු දිනුම් අභිබවා මතකයේ සදාතන සටහනක් තබයි. ලොව ඔබ සතු සියල්ල නැතිව ගියත් ඒ දිනුම ගැන මතක් කර ඔබට සතුටු වන්නට හැකියාව ඇත.

දැඩි තරඟයකින් ලද පරාජයක් ද පහසුවෙන් දිනාගත් තරඟයකට වඩා අගනේය. පහසුවෙන් දිනාගත් තරඟය දිනුවේ විරුද්ධවාදියාගේ දුර්වලතාවය නිසා විය හැකිය. නමුත් තීරණාත්මක තරඟයකට තමන් මුළු වෑයම යෙදුවා යන්න දිනුමට ළං කරන මානසික සහනයක් ගෙන දෙයි. ඒ නිසා තරඟයේ අවසාන මොහොත දක්වා පරාජය පිළිනොගෙන තම උත්සාහය මුළු මනින්ම ඊට යොදන්නාට පමණි එයින් ආශ්වාදයක් ලැබෙන්නේ.

සටනක් මැද දී සිතේ ඇතිවන චකිතය ස්වභාවිකය. ඊට වර්ධනය වන්නට ඉඩ දීම අමාරුවේ වැටෙන්නට ඉඩ පාදා දීමකි. චකිතය පහළ වූ වහාම වෙනත් සිතුවිල්ලක් කරා සිත මෙහෙයවිය යුතුය. කැළඹෙන සිත වෙනුවට තමාගේ පුහුණුව, දැනුම ගැන සිහිකර එයින් සිත පුරවා ගන්නට අවශ්‍යයය. එසේ කරන්නට නම් තමාට පුහුණුවක්, දැනුමක් තිබිය යුතුය. පුහුණුවක් දැනුමක් නැතිව තරඟයට යෑම පරාදය කැඳවන්නකි.

චකිතය තුරන් කරමින් දිනුම නිසැකයෙන් ලබන බව සක් සුදක් සේ සිත කියන අවස්ථාවක් ඇත. ඒ ගැන බොහෝ දෙනා අවධානයක් නොදක්වන නිසා හඳුනා ගැනීම මඟ හැරී යයි. විමසිල්ලෙන් සිටින්නාට ඒ ක්ෂණික මොහොත හඳුනා ගන්නට හැකිය. එතැන් පටන් තරඟයේ නිමාව දැක ජය ලබන තෙක් තරඟයේ සම්පූර්ණ ආශ්වාදය රස විඳින්නට හැකියාව ලැබේ.

තම සිත තමාට කරදර කරන හැටි ගැන ඔබ අවධානයක් දක්වා ඇද්ද? හරි යයි ද? හරි නොයයි ද? හරි යයි ද? හරි නොයයි ද? දවස පුරා මෙසේ සිතමින් ඉන්නා අය අප අතර සිටිති. නොසන්සුන් සිතක් උත්තර ගෙන නොඑයි. එහෙත් ඵලක් නැති චකිතයෙන් සිටීම වෙනුවට හරි යනවා යයි සිතට චකිතය ඇති වන හැම විටම කියා ගත් කළ සිත සංසුන් වන්නේය. එවිට කටයුත්ත හරියන්නට කළ යුතු දේවල් ද මතක් වන්නට පටන් ගනී.

මා ටෙනසි ප්‍රාන්තයේ ටෙනිස් තරඟ වැදුනෙමි. 2002 වසර මා සටන් වැදි සෑම තරඟයක්ම දිනූ වසර විය. සමහර දිනවල ටෙනිස් රැකට් එක රැගෙන පිටියට ඇතුල් වෙන විටම මා තරඟය දිනා හමාරය. මා දුටු විගස හමේ පාට නිසා කවුදැයි හඳුනා ගන්නා සුදු කාන්තාවෝ තමන් පැරදෙනවා යයි සිතින් පිළිගෙන තරඟ කළ නිසා මට තරඟ පහසුවෙන් දිනිය හැකි විය. වසර අවසානයේ ක්‍රීඩා සමාජයේ තරඟාවලියේ පළමු ස්ථානය තියුණු සටනකින් දිනා ඡායාරූපයක් ද එහි බිත්තියේ එල්ලා තබන්නට හැකිවුනි. මොනවා නැතිව ගියත් එදා දිනයේ ජය මගේ සිතෙන් සොරා ගැනීමට සමත් කිසිවෙකු ලොව නැත.

ලංකාවේ අයට ක්‍රීඩා තරඟ වදින ආකාරය ගැන මනෝවිද්‍යාත්මක පොතක් ලියුවේ ඉන් අනතුරුවය. 2007 දී තරඟ ජය නමින් එය ප්‍රකාශ කළෙමි. එය දුටු ක්‍රීඩා පුහුණු කරන රජයේ ආයතනයක ආචාර්ය පුහුණුකරුවෙකු “මමයි මේක ලියන්න සුදුස්සා. කවුද මේ අරුණි ශපීරෝ කියන්නේ?” යයි විමසා ඇත. යමක් කරන්න පුළුවන් යයි සිත සිතා ඉන්නා අය බොහෝය. එහෙත් එය කරන්නට ඉදිරිපත් වන්නේ ටික දෙනෙකුය. ඒ ටික දෙනා ස්ව උත්සාහයෙන් යමක් සිදු කළ විට, එහි වැරදි කියා පෑමට නම් බොහෝ දෙනෙකු ආරාධනා නැතිවම ඉදිරිපත් වෙති. අද වනතුරු ද තව ක්‍රීඩා මනෝවිද්‍යා පොතක් සිංහලෙන් කෙනෙකු ලියා ඇත්දැයි සැක සහිතය.

පැරදුනත් දිනන්නට නම් තරඟයකට මුහුණ දෙන්නට ඕනෑය. පරාජයට බියෙන් පැත්තක් අල්ලා ගෙන ඉන්නා අය තමාට හැකි යයි උදම් කියුවාට තරඟයට ඉදිරිපත් නොවන්නේ පරදිනවාට බියෙනි. නැතහොත් යටි සිතෙන් තමාට හැකි දැයි නිශ්චිතවම විශ්වාසයක් නැති බැවිනි. එහෙත් තරඟයට මුහුණ දී පැරදුනත් දිනන්න ඉගෙන ගන්නා අයට කාලයක් යද්දී පැරදෙනවාට වඩා දිනන්නට හැකියාව පහළ වන්නේය.

ලොව සෑම අයෙකුම වෘත්තීය නොවන තරඟකාරී ශාරීරික ක්‍රීඩාවක නියැළිය යුතු බව මගේ මතයයි. ඒ ජීවිතයේ තරඟ වලට වඩා එපිටින් ඇති, දිනුමෙන් පැරදුමෙන් ජීවිතයට වැඩි වෙනසක් නොවන නිසාය. නමුත් එයින් ලබන ජයෙන්  හෝ පැරදුමෙන් තමන්ට ජීවිතය දිනන්නට පුහුණුවක් ද ලැබේ. තම පුහුණුව හා දැනුම වඩවා ගෙන, අවසානය දක්වා පසු බාන්නේ නැතිව සටන් වදින්නා පැරදුනත් දිනන අයෙකි.

12 Responses

Subscribe to comments with RSS.

  1. ඉෂාන් තිළිණ said, on ජනවාරි 25, 2010 at 12:13 ප.ව.

    ඔබගේ අදහස් ඉතාම අගනේයි.

    සෙරීනා ගැන කතාව නම් මම දැනගෙන හිටියේ නෑ. උත්සාහවන්තයා ජය ගනී. 😉

    • arunishapiro said, on ජනවාරි 25, 2010 at 8:03 ප.ව.

      සෙරීනා හා වීනස් දෙදෙනාට කුඩා කාලයේ දී ටෙනිස් උගන්වන්නට ඔවුන්ගේ පියා වූ රිචඩ් විලියම්ස් ටෙනිස් කියා දෙන ෆිල්ම් ටේප් වලින් ටෙනිස් ක්‍රීඩාව ගැන ඉගෙන ගත්තේය. ඉන්පසු කැලිෆෝර්නියාවේ දුප්පතුන් වාසය කරන පෙදෙසක මහජන ටෙනිස් පිටියක දී ඔහු සිය දූලා දෙදෙනාට ටේප් පටි වලින් තමා තනිවම ඉගෙන ගත් ටෙනිස් කියා දුන්නේය. අද දිනයේ ද බොහෝ ටෙනිස් ක්‍රීඩා සමාජ වල තරඟයේ යෙදෙන වැඩි කොටස සුදු අයයි. කළු අයට තැනක් නොතිබුනු නිසා ඔවුන් තම වෑයම අත් හැරියේ නැත. ඒ අක්ක නගෝ දෙදෙනාට පෙර කාන්තා ටෙනිස් අද පවතින තරඟකාරී තත්වයෙන් ද නොතිබුණි.

  2. kasunmathota said, on ජනවාරි 25, 2010 at 1:23 ප.ව.

    මමත් ක්‍රිඩා වලට සංවෙදි මිනිසෙක්මි. මට අවුරුදු 11දි උස සහ දුර පැනිමට දක්ෂයෙක් වුනෙමි නමුත් සිදුවු අනතුරක් නිසා ගොඩක් දේවල් මගඇරුනා එත් අතැරියෙම නැහැ. මමත් විශ්වාශ කරනවා සැම කෙනෙක්ම තරගකාරි ක්‍රිඩාවක් කලයුතු බවට. මම ක්‍රිකට් ක්‍රිඩාවට කැමතියි එත් ටෙනිස් වැනි ක්‍රිඩවකින් ලැබෙන ජවය ලබෙන්නෙ නැහැ කියලා හිතෙනවා. ලංකාවෙ ගොඩක් ළමයි ගැන දුකයි අධ්‍යාපනය විතරයි ක්‍රිඩා මුකුත් නැහැ.

    • kasunmathota said, on ජනවාරි 25, 2010 at 2:11 ප.ව.

      I read for the 2nd time ..I like this …

      ක්‍රීඩකයෙකුට ඉතාම මිහිරි ජය අත්පත් කරගත හැක්කේ තියුණු තරඟකාරීත්වයෙන් යුතු සටනකිනි. ඉඳහිට ලෙහෙසියෙන් දිනත හැකි තරඟයෙන් සතුටු වුන ද අර තදින් සටන් වැදී දිනා ගත් ජය අනිකුත් සියළු දිනුම් අභිබවා මතකයේ සදාතන සටහනක් තබයි. ලොව ඔබ සතු සියල්ල නැතිව ගියත් ඒ දිනුම ගැන මතක් කර ඔබට සතුටු වන්නට හැකියාව ඇත.

      I still remember the Elle match against Peradeniya university in Peradeniya grounds in front of huge crowd. But we, Colombo uni won it ..Nice memories ..

  3. indik said, on ජනවාරි 26, 2010 at 1:06 පෙ.ව.

    හැමදාම වගේ හොඳ ලිපියක්…

    තරඟකාරීත්වය ගැන ඔබ කියනදේ මටත් අත්දැකීමෙන්ම තේරෙනව මොකද මමත් ගොඩක් ක්‍රීඩා කරල තියෙන නිසා…එතනදි අපේ ඇතිවන සිතුවිලි වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒක අත්දැකීමෙන්ම ලබාගන්න ඕනෙ.
    හැබැයි මගෙ එක දුර්වල කමක් තියෙනව. හැමවෙලේම මම මගේ උපරිම ශක්තියෙන් ක්‍රීඩා කරන්න උත්සහ කරනව. ඒනිසා නිකම් යාළුවො එක්ක සෙල්ලම් කලත් මම හැමදාම මොකක් හරි තුවාලයක් කරගන්නව. අනිත් එක තරඟයෙ අවසාන හරියෙදි මගෙ අතින් අත්වැරදීම් වෙනව stress එක නිසා.
    විශේෂයෙන් කැරම් තරඟ වලදි මම කොච්චර හොඳට සෙල්ලම් කලත් මට අන්තිම ඉත්ත දාන්න අමාරුයි. ගොඩක් වෙලාවට ප්‍රතිවාදී ක්‍රීඩකයත් අවසානයට ලංවෙලානම් ඉන්නෙ ඒක හරිම අමාරුයි. මම කැමතිනෑ කිසිම risk එකක් ගන්න.

    • arunishapiro said, on ජනවාරි 26, 2010 at 7:37 පෙ.ව.

      ක්‍රීඩා මනෝවිද්‍යාවෙන් මේ තත්වයට සෑහෙන්න අවධානය යොමු කරනවා. අද එය හදාරන, ඊට උපදේශ දිය හැකි අයට ඉතා සැලකිය යුතු ආදායමක් ද උපයා ගත හැකි රැකියාවල් වෘත්තීය ක්‍රීඩා සමාජ වල පවතී. ඒ ගැන ලියන්න බ්ලොග් එකක් වෙන් කරන්න වෙයිද? දැනගන්න අවශ්‍ය අය සිටී ද?

  4. Rasika said, on ජනවාරි 26, 2010 at 2:21 පෙ.ව.

    අමුතු මකුළු වර්ගයක් මෙහි බිහිවී නැත. සිටිය උන් ම පමණි. ඔබ මේ කියන්නේ අර බොරු ඊ-මේල් එක ගැනද? නැතිනම් පුවත් සේවාවක සටහනක් දුටුවාද?

    මූලාශ්‍රය සඳහන් කරන්න. ස්තුතියි.

    -රසික

    ප/ලිඃ කිම් ක්ලයිස්ටර්ස් පැරදුනු හැටි දුටුවා නේද?

    • arunishapiro said, on ජනවාරි 26, 2010 at 7:28 පෙ.ව.

      Killer spiders invade Sydney, Kathy Marks reports in New Zealand Herald, Jan 21.
      http://www.nzherald.co.nz/world/news/article.cfm?c_id=2&objectid=10621465

      මවක් වන කිම් ක්ලයිස්ටර්ස් අද තරඟබිමේ සිටීමත් කාන්තාවන්ට ධෛර්යයකි. දරුවා ලැබූ පමණින් ජීවිතය එතැන නතර නොවන බව කියා පෑමකි. ඇයගේ තරඟ මා ඉතා ආශාවෙන් නරඹන්නෙමි. මන්ද ඇයත් අන්තිම ලකුණ දක්වාම පරාජය බාර නොගෙන සටන් වදින ක්‍රීඩිකාවක් නිසාය. ඇය පැරදුන තරඟය මා නොදැක්කෙම්. ඔබ ඇයගේ තරඟය බැලුවාද යයි ඇසුවේ මේ හේතුව නිසා යයි සිතමි.

  5. Anewasika said, on ජනවාරි 26, 2010 at 2:24 පෙ.ව.

    ඕනෑම මාතෘකාවක් ගැණ මෙසේ සරල බසින් සාරවත් ලිපියක් ලිවිය හැකි වන්නේ බොහෝ ඈසූ පිරූ තැණ් ඇති අයෙකුට පමණි.

    මගේ ආචාරය.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

  6. […] අයට නැති තරම්. පහුගිය සටහනකින් ඇමෙරිකාවේ කුකුල් තටු හිඟයක් ගැන සටහන් කළා මතක ඇතිනෙ. දැන් ඒකට මෙහෙ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: