අරුණි ශපීරෝ‍ වෙතින්

සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහිකරයි ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 26, 2010

“All power tends to corrupt; absolute power corrupts absolutely.”  – Lord Acton (1834-1902), British historian

බලය ඇති අයෙක් බලවතා ලෙසින් හැඳින්වේ. කියුබාවේ ජනාධිපති වූ ෆිඩෙල් කැස්ත්‍රෝ වසර 50 කට ආසන්න කාලයක් බලවතෙක් විය. රුසියාවේ ව්ලැඩමියර් පූටින් ද බලවතෙක් වෙයි. ඒ ඔහුට ජනාධිපති තනතුරේ සිටි කාලයේ මෙන්ම අද දිනයේ ද රටේ ආණ්ඩුවට බලපෑම් කරන්නට හැකියාව ඇති නිසාය. උතුරු කොරියාවේ සුප්‍රීම් ලීඩර් සේ නම් දරන කිම් යොන්ග් ඉල් ටද බටහිර පරමාණු අවි ඇති රටවල් පවා භය ගැන්විය හැකි බලය ඇත. මැසචූසෙට්ස්හි ටෙඩ් කෙනඩ් ද වසර 50 කට ආසන්න කාලයක් (මිය යනතුරුම) සීමිත බලයකින් වූවෙකි. ජෝර්ජ් බුෂ්ට වසර අටක් බලය තිබුණි. සෑම ඇමෙරිකන් ජනාධිපතිවරයෙකුටම ඇත්තේ සීමිත වූ බලයකි. ඔබාමාට වසර හතරකට තිබූ බලය වසරකින් අහිමි වී ඇත. පාප් වහන්සේට මුළු ලෝකයේම වාසය කරන කතෝලික ආගමිකයෝ සඳහා වූ සීමිත බලයක් තිබේ.

එංගලන්තයේ මහරැජින වන දෙවන එලිසබෙත්ට ධනයත් බලයත් (රටේ පාලනය සඳහා) තිබූ කාලයක් විය. එහෙත් අද ඇයට වඩා හැරී පොටර් ලියූ ජේ.කේ.රෝලින්ස්ට ධනයත් බලයත් (තරුණ කැළට බලපෑම් කරත හැකි) ඇත.

මයික්‍රොසොෆ්ට් හි බිල් ගේට්ස් ට සිය ජීවිතයේ දී වියදම් කර නිම කල නොහැකි තරම් ධනයක් ඇත. එහෙත් ඔහුගේ බලය පරිගණක ක්ෂේත්‍රයට පමණක් හා එක කාලයකටත් පමණක් සීමා වුනි.

ධනවතා යනු ධනය අනෙක් අයට වඩා යහමින් ඇත්තෙකි. එහෙත් ධනය පමණක් තිබීමෙන් ධනවතෙකු‍ට පාලකයෙකුට ඇති හා සමාන බලයක් නැත. මන්ද පාලකයාට නීති ගෙනැවිත් ධනවතාගේ ධනය ප්‍රජා සතු කර හැකි බලය නිසාය. නැතහොත් නීති පනවා තව තවත් ධනය උපයා ගන්නා මාර්ග අහුරන්නට හැකියාව ඇති නිසාය. ධනවත් වූ පමණින් අයෙකුට පාලකයාට හා සමාන බලයක් තිබේද?

පාලකයාගේ බලය ද සීමිතය. වෙන කිසිත් නිසා නොව ටෙඩි කෙනඩි මෙන් කවදා හෝ පාලකයා මිය යන නිසාය.

ලෝඩ් ඇක්ටන්ගේ ප්‍රකාශය දේශපාලන පාලකයෝ, නැතිනම් ජනතාව විසින් පත්කර ගන්නා ලද්දෝ, හෝ අරගලයකින් ආණ්ඩුව පෙරලා පාලනය අත්පත් කරගෙන ජනතාවගේ නාමයෙන් ජනතාවට බලය පෙන්වන අයට පමණක් සීමා වෙනවා ද? නැත‍ෙහාත් සම්පූර්ණ බලයක් ලැබීම නිසා සෑම අයෙක්ම දූෂිතයෙක් බවට පෙර‍ෙල් ද?

කළින් සඳහන් කර පරිදි වමේ මූලික සංකල්පයක් නම් මිනිසා ස්වභාවයෙන්ම ගුණවත් බවයි. ඔහු නරක් වන්නේ සමාජයේ ඵල විපාක නිසාය. දකුණේ මූලික සංකල්පයක් නම් මිනිසා ස්වභාවයෙන්ම නරක් වූ අයෙකි. ඔහු පාලකයෝ (දෙවියන්වහන්සේ, ආගමික නායකයෝ, වැඩිහිටියෝ, ගුරුවරුන්ගෙන්) පෙන්වන හරි මඟ නිසා වැරදි කිරීමෙන් තොර වෙති.

ධනවතුන්ට ඊර්ෂ්‍යයා කරන, ද්වේශ කරන පිරිස මෙම බලවත් හා ධනවත් අය දෙකම එක ගොඩට දමා ඇති බවක් පෙනෙයි. එසේම තම පැත්තේ මූලික සංකල්පය අමතක කර දමා ඇත. සියළු ධනවතුන්ට අකැමැත්ත බය නැතුව පළ කරන්නෝ බලවතාට වැඳ පුදාගෙන වඩාත් කාලයක් මුරුංගා අත්තේ තියා ගන්නේ කවර හේතුවක් නිසාද? ජනතාවට සෙත සලසන නාමයෙන් (එසේ කළාත් නැතත්) බලවත්කම පෙන්වීම සද්භාවයක් ද? ධනවත් වූ නිසාම එය අසත්පුරුෂ භාවයක් ද?

ධනවතුන්ට ද්වේශ කරන්නට අප හුරු වී ඇත්තේ ඇයි? අපට වඩා ඇති අයෙකු ගැන යාන්තමින් හෝ ඊර්ෂ්‍යාවක් නැතැයි කියත හැකිද? තවත් කෙනෙකු දියුණු වනවා දැක ප්‍රීති වනවාට වඩා අපට වඩා දුප්පත් අය දැක අප එසේ දුප්පත් නොවීම ගැන කාටවත් නොකියා සතුටු වනවාද? පරාර්ථකාමීත්වය හොඳ යයි හැමෝම පිළිගන්නා නමුත් ආත්මාර්ථකාමීත්වය හොඳ යයි කියන්නට කිසිවෙක් නැත්තේ සැබැවින්ම අපි ආත්මාර්ථකාමී මනුෂ්‍යයෝ නිසාද? නැතහොත් අප උපතින්ම සද්භාවයෙන් තොර වූවන් නිසා සද්භාවය නැමැත්ත ළඟාවිය නොහැකි සංකල්පයක් යයි සලකා එය කරා යන්නට අප නිති වෑයම් ගන්නෝද?

ඇති අයට ඊර්ෂ්‍යා කිරීම පටන් ගත්තේ කොහොමද? වලව්වේ හාමු වලව්වේ උපන් නිසා, උජාරුවෙන් යන එන, අනිත් අයට වඩා කැපී පෙනෙන සේ අඳින පළඳින හා වැඩි දෙනෙකුට නැති කෑම කන බොන නිසා ද? රටේ රජ්ජුරුවෝ ආමන්ත්‍රණයේ දී පස්වාන් දහසකට බුදු වන්න කියා පටන් ගෙන අවසානයේ දී බලුගැත්තාට සමාවන්න කියාගත යුතු නිසා ද? කකුලෙන් අදිද්දී ඉහළට බඩ ගා ගත් ගමේ කොල්ලා දැන් ටයිකෝට් ඇඳගෙන ගමේ කාටවත් කතා නොකර නගරයට වී ඉන්නා නිසා ද? අපිට නැති දේ යහමින් තියාගෙන කිසිත් නොකළ අපිට බෙදා නොදෙන නිසා ද?

ඈත අතීතයේ දී ධනවත් වන්නට එක්කෝ පාරම්පරික දායාද ලැබිය යුතු විය. එක්කෝ තෑගි වශයෙන් රජුගේ සිත් දිනා ගත්තකු විය යුතුය. නැතහොත් හොර මැරකමින් කොල්ලා කා ලබා ගත්තකු විය යුතුය. තම ශ්‍රමයෙන්, තම උත්සාහයෙන්, තම කැපවීමෙන් හෝ තම බුද්ධියෙන් ධනවත් වන්නට මාර්ග ඈත අතීතයක නොතිබුණි. එකළ ධනවතා හා බලවතා එකම විය. ධනවත් වූ බලවතාට ද්වේශ කළ අය එසේ ද්වේශ කළේ තම තත්වය දියුණු කරගන්නට ධනවත් වූ බලවතා පාර වසා තිබීම නිසා යැයි කිව හැකිය.

එහෙත් අද දිනයේ ධනවතාට ද්වේශ කරන්නෝ එසේ ද්වේශ කරන්නේ ඇයි? අදත් එසේ තමාටත් ධනවත් වන්නට හැකි මං මාවත් වසා ඇතැයි සිතන්නෝ ඉන්නා රටවල නැති අය ඇති අයට අකැමැත්ත වැඩි ද? ඇති අයට බැන වැදී නැති අයට ලබා දෙනවා යයි කී පමණින් (එසේ කළාත් නැතත්) එවන් අයට කැමැත්ත වැඩි ද?

අද ලෝකයේ ධනවතුන් වඩාත්ම ඉන්නා රට ඇමෙරිකාවයි. සමහර බිලියනපතියන් දැලි රැවුල හරියට කපන්න තරමටවත් නොවැඩුණු තරුණ පිරිසකි. ඔවුන් හා කතාබහෙන් සොයා ගන්නට හැකි වන්නේ ඔවුන් සිය ධනය සොයා ගත්තේ රටට ලෝකයට සේවය කිරීමේ අරමුණින් නොව, මුදල් උපයා ගැනීමේ ද අරමුණින් නොව නව නිර්මාණ බිහි කිරීමට සිත නළියන නිසා දිවා රෑ ඊට වෙහෙස වීමෙනි. ඔවුන්ගේ නව නිර්මාණ මීට කලින් බොහෝ ජනතාව තමාට අවශ්‍ය යැයි දැන‍ෙගන ද නොසිටි ඒවා වෙති. ඒ නිර්මාණ ඔවුන් ඉදිරිපත් කිරීම නිසා විවිධාකාරයෙන් (ඔවුන් ද සිතූ නොපරිදි) ලෝක ජනතාවට එකිනෙකා හා පණිවුඩ හුවමාරුවට, තම රැකියාවන් වඩාත් කාර්යමශීලීව ඉටු කිරීමට, ඒ තාක්ෂණය වෙනත් පැති වලට යොදා ගැනීමට මෙන්ම ලෝකයේ සාමය තහවුරු කරන මාර්ග ද පෑදී ඇත. 

ධනවත් වූ එවැනි තරුණ බිලියනපතියෝ අද ඇඟලා ගන්නේ ටයි කෝට් නොව අනෙක් අය අඳිනා ආකාරයේ ඇඳුම්ම වෙති. ඔවුන් සමහරු තවම කාර්යාලයට යන්නේ බයිසිකලයෙනි. කන්නේ සිය කොම්පැණියේ අනෙකුත් සේවකයන් කන කෑම බීමමය.

නමින් කී පමණින් ඔබ දන්නා ධනපතියෙක් උදාහරණයට ගන්නෙමි. ඇපල් මැකින්ටොෂ් කොම්පැණියේ ස්ටීව් ජෝබ්ස් එවැන්නෙකි. ඔහු අද තරුණයෙක් නොවේ. අද ඔහු පිළිකා රෝගයෙන් පෙළෙයි. ඔහුගේ වසරක වේතනය ඩොලරයක්ය. ඔහු ඩොලරයකින් ජීවත් වන්නේ කෙසේද?

ඇපල් කොම්පැණිය ඇමෙරිකාවේ කොටස් වෙළඳපලට එකතු වූයේ 1980 දීය. 1985 දී ඔහුව එයින් නෙරපා දමන ලදි. එතෙක් ඔහු සැලකිය යුතු මුදලක් හම්බ කරගෙන සිටියේය. 1985 ග්‍රීෂ්ම ඍතුවේ දී ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක ඇපල් මැක් කොටස් විකිණුවේය. ඔහු සිය මුදල් ඇමෙරිකානු කොටස් වෙළඳපොලේ ආයෝජනය කළා නම් 1985 ත් අදත් සසඳන විට S&P 500 කොටස් වෙළඳපොලේ පස් ගුණයකින් වැඩි වී ඇත. Nasdaq හත් ගුණයකින් වැඩි වී ඇත. අනුමානයෙන් මෙසේ සලකන්නේ වැටුණු කොටස් වෙළඳපොලේ ඕනෑම කෙනෙකු අවම වශයෙන් හම්බ කරගත් මුදල්ය.

1997 දී ජොබ්ස් නැවතත් ඇපල් කොම්පැණියට පැමිණියේය. 1998 සිට අද දක්වා ඔහුගේ වේතනය වසරකට ඩොලරයකි. අද බිලියන 1.2 මැක් ‍කොටස් ඔහු සතු වුවත් 98 න් පසු ඔහු ඒ එකක්වත් විකුණා නැත. 2006 දී පික්සාර් ඇනිමේෂන්ස් ස්ටුඩියෝ වෝල්ට් ඩිස්නි සමාගමට විකිණීමෙන් ඔහුට බිලියන 4.4 ක කොටස් ලැබුණි. ඩිස්නි කොම්පැණිය තම ආයෝජකයන්ට එක කොටසකට සත 35 ගණනේ ශුද්ධ ලාභයෙන් පංගු කාරයන්ට ලැබෙන මුදල ගෙවති. අද ජොබ්ස් ගේ කොටස් 138 කට එසේ ලැබෙන ඩිවිඩන්ට් කොටස වසරකට මිලියන 48 ක් වෙයි.

ධනවතෙකු නිසා කෑදරයෙකු හෝ ධන‍වතෙකු නිසා නිතැතයෙන්ම නොහොබිනා පුද්ගලයෙකු වේ නම් ජොබ්ස් 98 සිට අද දක්වා වසර 11 ක කාලයක් ඩොලරයට වැඩ කරන්නේ තමාට තව තවත් මල්ල පුරවා ගන්නට නීතියෙන්, සමාජ චාරිත්‍ර වාර්ත්‍ර වලින්, හැකියාවෙන් අවස්ථාව තිබිය දීය. පිළිකා රෝගයෙන් පෙළෙද්දී වැඩට යාමට වෙනුවට තමන්ට ඕනෑ අකාරයේ සුඛෝපභෝගී ලෙසින් අවසන් කාලය ගත කිරීමට ඉඩ තිබිය දීය. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමාගේ මඟ පෙන්වීම යටතේ තවත් නව නිර්මාණ ලෝකයට දීමට බව පෙනේ.

හෙට (27) නිකුත් කරන නව මැක් නිර්මාණය (සමහරු ඊට අයි‍ටැබ්ලට් කියති) ගැන ඇති කසුකුසුව නිසා මෙය ද සටහනට එක් කරමි. මෙතෙක් අප කොම්පියුටරයේ අකුරු ගහන්නට යොදා ගත්තේ ඈත අතීතයක දී (මෙය කියවන සමහර දරුවෝ උපදින්නත් පෙර) පැවති උඩ පැන පැන ගහනා යතුරු ලියනයේ නොහොත් ටයිප් රයිටරයේ අකෘතියකි. එහෙත් නව මැක් නිර්මාණය කී බොර්ඩ් එක වෙනුවට මොනිටර් එකම පාවිච්චි කිරීමට යන බවට ආරංචි ඇත. අළුත් අංග ලෙස කොමිපියුටරය හසුරුවන පුද්ගලයාගේ ඇස්වල ඉරියව් අනුව මොනිටර් එකේ පහළට ඇස් දිව යද්දී ඉතිරිය උඩට ඉබේටම එන්නත්, ප්‍රශ්නයක් අවුත් නළල රැලි ගන්වන විට උදව්කාරයා ඉබේම එන්නත් වැනි කී බෝර්ඩ් එකේ ටයිප් කරනවා වෙනුවට, කර්සර් පොයින්ට් කර කර ෆයිල් අරින්න හදනවා වෙනුවට ඇස් වලින්, වදනින් වැඩ ගත හැකි පාවිච්චි කරන්නාට පහසු පුවරුවක් ඉදිරිපත් කරන්නට යන බව ආරංචි මාර්ග වලින් කියැවෙයි. කොටින්ම කියතොත් අයිෆෝනය වැනි ඇඟිල්ලෙන් තල්ලු කර, තට්ටුවක් දී, ෆයිල් කොපි කරන්නත්, මාරු කරන්නත් හැකියාව ඇති වනු ඇත. එතකොට කී බෝර්ඩ් එකටත්, මීයාටත් විශ්‍රාම දිය හැකි වන්නේය. සුළු ඉඩක් ගැනීමත්, තැන තැන ගෙන යාමටත් පහසුය. මට මැක් කොම්පැණියෙන් ගෙවීමක් නැති බව නැවත මතක් කරමි. මේ අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරුය.

මා මැක් කොම්පැණිය ගැන වැඩිය කියන එක් හේතුවක් නම් එය කවුරුත් දන්නා කොම්පැණියක් වීමය. අනෙක මයික්‍රොසොෆ්ට් පාව්ච්චි කළ අයෙකු එහි ඇති කරදර ගැන දන්නා නිසා මැක් ගැන කතා කිරීම ගැන තරහ නොවනු ඇතැයි සිතාය. තවද දෙකම පරිහරණය කර ඇති නිසා වඩා හොඳ මැක් යයි අත්දැකීම ඇති නිසාත්ය.

තාක්ෂණයට වමත් දකුණත් දෙපැත්තම විරුද්ධය. තාක්ෂණය නිසා තමාට ජනතාව සම්පූර්ණයෙන්ම පාලනය කර ‍ගැනීමට නොහැකියාව දෙපැත්තේම විශ්වාසයයි. වම තාක්ෂණය නිසා මනුෂ්‍යයා වැරදි කරන්නට පෙළඹෙනවා යයි සිතද්දී, දකුණ තාක්ෂණය නිසා පාලකයෝ අනුමත සද්භාවය නැතිව යයි සිතති. නමුත් තාක්ෂණය නිසා ධනවත් වන අය ගැනත්, සම්පූර්ණ බලය නිසා බලවත් වන අය ගැනත් සලකා බලන්න. ඒ දෙදෙනාගෙන් වඩා දූෂිතයෙක් අප බිහිකර ගන්නේ කොයි පැත්තෙන් ද?  

නෙදර්ලන්තයේ හා ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල මනෝවිද්‍යා ආචාර්යවරු කණ්ඩායමක් මෑතක දී පර්යේෂණ පවත්වා සොයා ගත්තේ බලය ලැබීම නිසා කෙනෙක් දූෂණයට යොමු වෙයි කියාය. බලය නිසා දූෂණයට යොමු වන්නා අනෙක් අයට කෛරාටික ලෙසින් තමා පිළි නොපදින එහෙත් අනිත් අය පිළිපැදිය යුතු ඉහළ සද්භාවයකට යා යුතු යැයි කියා සිටියි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඔව්හු  Psychological Science  සඟරාවේ පළ කළහ. මෙහිදී ඔවුන්ගේ පර්යේෂණයට භාජනය වූවෝ ගැන යමක් කිය යුතුය. ඔවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වූහ. ඔවුන් තවම තමන්ගේ මහන්සියෙන් හෝ දැනුමෙන් ධනය සොයා නොගත්තවුන් වීම ගැන පර්යේෂණයේ සැලකිල්ලක් නොදක්වා තිබීම ම‍ෙග් කණගාටුවට හේතු වෙයි. මන්ද ඉතා ධනවත් එහෙත් බලය අනිසි ලෙස පාවිච්චි කරන කිසිවෙක් ඔවුන් සිය පර්යේෂණයට යොදා නොගැනීම පර්යේෂණයේ ප්‍රතිඵල වල නිවැරදි භාවයට පාඩුවක් සිදු කරයි.

තම දියුණුව සලසා ගත හැකි මාර්ග තිබියදී, පාලකයෝ මාරු කරත හැකි මං මාවත් තිබියදී, නීති රීති වෙනස් කරගත හැකි ක්‍රම සහ විධි තිබියදී, ඒ හැමෙකක් ගැනම විරෝධය පළ කරන්නා කුසීතයෙකි. තමා වෙහෙසක් ගන්නට අකැමති නිසා, තමාට යන මාර්ගයක් තෝරා ගැනීමට උවමනාවක් නැති නිසා, අනුන් අනුකරණයෙන් සියල්ලේම වැරදි පෙන්වා දීම ලෙහෙසි පහසු කාර්යයකි. ගැටළු විසඳීම අපහසුය. ගැටළු පෙන්වා දීම ඉතා පහසුය.

සිහි බුද්ධියෙන් යුතු පුද්ගලයෙකුට අද පැතිරෙන විකාර ලෝකයේ යථාර්ථවාදීව ජීවත් වන්නට හැකිද? පිළිවනි. එහෙත් ඒ තමා ආත්මාර්ථකාමී වුවහොත් පමණි. නැතහොත් පරාර්ථකාමී වන්නට ආත්මාර්ථකාමී විය යුතුය යයි කිවහොත් නිවැරදි වෙයි.

ආත්මාර්ථකාමී යනු බාහිර බඩු භාණ්ඩ ගොඩ ගසා එකතු කර ගැනීමක් නොවේ. සිය අධ්‍යාත්මය දිහා බැලීමකි. මෙහිදී මා අදහස් කරන ආත්මාර්ථකාමීත්වය නමි හොඳ නරක ගැන අගැයුමක් දීමට පසුබට නොවන අයෙකු වීම යන්නයි.

එසේ කරන්නට තමා හොඳ අයෙකු වන්නට වුවමනාය. තමාගේ ප්‍රතිපත්ති තමා පිළිපදිනා කෙනෙකු විය යුතුය. ‍එසේ නොවී දෙන අගැයුම කෛරාටික විකාරයකි.

තමා හොඳ අයෙකු වන්නට අවශ්‍ය යන ප්‍රස්තුතය නිසාම බොහෝ අයෙක් සද්භාවය ගැන අගැයුමක් කියන්නට පසුබට වෙති. අනිත් අයව විනිශ්චය කරන්න නම් තමාව විනිශ්චය කිරීමට අන් අයට ද අයිතියක් ඇතැයි පිළිගැනීමට සිදුවන නිසාවෙනි. ඒ නිසා අත්සන් ගසා ගාන නොලියපු චෙක් පතක් අනිත් අයට දෙන්නේ තමාට ද එසේම අත්සන් ගැසූ නමුත් ගණන ලියා නැති චෙක්පතක් ලැබේ යයි අපේක්ෂාවෙනි.

පරිසරයේ ඇති විකාර දැක දැක ඒවා ගැන කිසිත් නොකියන ලෝකයකට අද අප පිවිස ඇත්තෙමු. අප ඊට ගොඩ වී ඇත්තේ අපේ උවමනාවකට නොවූවත් එහි ලැග සිටින්නේ අපේ කැමැත්තෙන් ද කියා තමා විසින් තමාගෙන් ප්‍රශ්න කළ යුතුය.

විකාරයන් පැතිරීමට ඉඩ දෙන ක්‍රම බොහෝය. වඩාත්ම ඉක්මණින් විකාර පැතිරෙන්නේ ඊට කිසිත් ප්‍රතිචාර නොදක්වා නිහඬ වන ජනතාවක් සිටිනා සමාජයේය. මේ නිසා විකාරයේ ‍නියැළෙන වාග් සටනින් ජය ගන්නා (අනිත් අය නිහඬ බැවින්) සුළු පිරිස තමා හරි යයි සිතති. කිසිත් තනිවම නිශ්චය කරගත නොහැකි රැල්ලට පෙරළෙන්නෝ අර සුළු පිරිස කියන්න අනුගමනය කරති.

ඒ හැරෙන්නට විකාර පැතිරෙන තවත් ක්‍රමයකි. විකාරය මෙයයි පෙන්නා දෙන්නෝ එය තේරුම් ගත හැකි ආකාරයට පෙන්වා දීම වෙනුවට කැඳ හැලියේ කළතා ගත් කාටවත් වටහා ගත නොහැකි කරුණු පෙන්වීමය. එසේම යමක් වැරදි බව පුන පුනා කියන්නෝ එය වැරදි ඇයි දැයි කියා නැතිකමය. ඉතින් අනුගමනය කරන්නාට පෙනෙන්නේ වැරදි පෙන්වන අයගේ අඩුපාඩු මිස වැරැද්දේ ඇති අඩුපාඩුව නොවේ.

උදාහරණයක් ගත් කළ, ලාංකික රූපවාහිනියේ වැඩ සටහන් වල දුර්වලතා, වැරදි ගැන පත්තර වලට ලියන්නෝ මහත් රාශියකි. එහෙත් ඒ අය දුර්වලතාවයේ අඩුපාඩුව කුමක්දැයි ‍නොකියයි. වැඩ සටහන් හි විකාශනය වන දේ ප්‍රමිතියෙන් තොර යයි කීම පහසුය. එහෙත් එය ප්‍රත්‍යක්ෂ සත්‍යයක් නොවේ. ප්‍රමිතියෙන් තොර වීමේ ඇති වැරැද්ද කුමක්දැයි පෙන්වා දිය යුතුය. එසේ කරන්නට දැනුම නැති නිසා සංකර වීම වැරදි යයි සියල්ලෝ පිළිගන්නා සත්‍යයක් ලෙසින් කතා කරද්දී, එය නොදන්නා අය (විශේෂයෙන්ම තරුණ කැළ) ඊට සවන් නොදෙති.

හොඳ නරක ගැන තවෙකෙකුට විග්‍රහ කරන්නට ඉඩ නොතබා තමා ඒ ගැන තම බුද්ධියෙන් සොයා බැලිය යුතුය. ලොව වැඩියෙන් සිටින්නේ බුද්ධිමත් පුද්ගලයෝය. නැතිනම් මේ වනවිට මනුෂ්‍යයා ලෝකයෙන් වඳ වී ගොස්ය. එකෙක් ඔසාමා බින් ලාඩන් වූ පමණින් සියල්ලෝම බින් ලාඩන්ලා නොවෙති. නමුත් ‍බින් ලාඩන් හඳුනාගත් කළ නිහඬව සිටීම බුද්ධිමත් පැවැත්මක් නොවේ.

විකාර දකිනා කළ පෙළපාලි යන්නට හෝ පෝස්ටර් ගහන්නට අවශ්‍ය නැත. එහෙත් තම අකැමත්ත ප්‍රකාශ කළ හැකි මාර්ග ඉදිරියේ නිහඬතාවය දැක්වීම ද සුදුසු නැත. වැරදි පෙන්වා දීමෙන් මොළයේ වැඩීමට බාධා ඇතිවේ යන නූතන පිළිගැනීම නිසා කිසිම හරි වැරැද්දක් නොදන්නා පරම්පරාවක් ඇති වී ඇත. ඔව්හු දෙවියන්වහන්සේ හෝ ආගමික සංස්ථා නිර්දේශ කර ඇති ගුණ ධර්ම (ඒවායෙහි හරි වැරදි වෙනම කතාවකි) පිළිගන්නේ  නැත. එසේම සිය කල්පනා ශක්තිය මෙහෙයවීමට ද ඉගෙන ගෙන නැත. හිතට දැනෙන ආවේග මත හරි වැරදි අගැයුම් දීම අද පවතින ආචාර ධර්ම මිම්ම වී ඇත. ඒ නිසාම එක දිනෙක වැරැද්ද තව දිනෙක නිවැරදි යයි කියා ගන්නට ඔවුනට හැකියාව ලැබී ඇත. අනේ මං දැනගෙන හිටියේ නෑ යයි කීම නිදහසට හේතු ලෙසින් ඉදිරිපත් කිරීමට හුරු පුරුදු වී ඇත.

‍දැන කළත් නොදැන කළත් වරැද්ද වැරැද්දම වෙයි. නොදැන කළ නිසා සමාව දිය හැකිය. එහෙත් එය වැරැද්දක් කළා වීමෙන් ගැලවීමක් නොවන්නේය.

ආචාර ධර්ම යනු අභූත වූ ෆැන්ටසියක් නොවේ. එය සමාජ සම්ප්‍රදායක් ද නොවේ. එය අත්හැර දැමිය හැක්කක්ද නොවේ. එය පරාධීන වූ සුඛෝපභෝගීත්වයක් ද නොවේ. ආචර ධර්ම වනාහි මනුෂ්‍යයාගේ පැවැත්මට විෂයමූලික වශයෙන් අතිශයින් අවශ්‍ය වූවකි.

සටහන අද දිග එකක් වුනාට කමක් නැතැයි සිතමි. අන්තර්ජාලයේ ලංකාවේ චන්ද ප්‍රතිඵල වැටෙන තෙක් කියවන්නට දේත් තියෙන්න ඕනනෙ!

18 Responses

Subscribe to comments with RSS.

  1. Grey said, on ජනවාරි 26, 2010 at 10:47 පෙ.ව.

    First I’m sorry about typing a reply in English. But it’s easier and save lof of time for me.
    You are doing a really great job and I have to say this is the best sinhala blog I ever come across.
    Keep up the great work!!! I’m sure we all can learn a lot from you.

    Cheers,
    /G

  2. Pasindu said, on ජනවාරි 26, 2010 at 11:05 පෙ.ව.

    වෙනස් මගක් ගත් මේවන් බ්ලොග් අඩවි සිංහල බ්ලොග් අවකාශය තුල එතරම් සුලභ නොවේ. දිගටම මෙවනි ලිපි පලකරන්න ඔබට ජය….

  3. තරිඳු said, on ජනවාරි 26, 2010 at 1:08 ප.ව.

    සිංහල බ්ලොග් අවකාශයේ සාරවත්ම අඩවිය මේකයි. මම අගය කරන ලක්ෂණය නම් ඔබ තම මතවාද අනුන්ට විකිණීමට උත්සාහ කිරීම නොව, කියවන්නා සිතීමට පෙලඹවීමයි. මගේ ප්‍රාර්ථනය මටත් කවදා හෝ ඔබ වගේම නිවහල් සිතුවිලි ඇතිකරගැනීමට ලැබේවා යන්නයි.

  4. Anarkali said, on ජනවාරි 26, 2010 at 2:47 ප.ව.

    දිගටම මෙවනි ලිපි පලකරන්න ඔබට ජය….

  5. Mee said, on ජනවාරි 26, 2010 at 3:27 ප.ව.

    පැරනි x කන්ඩායම ගැන ඔබගෙ මතය ලියන්න පුඔව්න්නම්

    • arunishapiro said, on ජනවාරි 26, 2010 at 3:39 ප.ව.

      කවුද මේ අය? දන්නේ නැති දේවල් ගැන ලියන්න බෑනේ. ඒ කවුද කියලාත් ඒ ගැන ඔබගේ මතයත් ලිව්වා නම් අපිටත් දැනගන්න. ස්තූතියි.

  6. ~බිன்ku~ said, on ජනවාරි 26, 2010 at 8:08 ප.ව.

    වාමාශිකව මෙන්ම දක්ෂිණාක දේශපාලනයෙන් උදාහරණය ගැනීම ගැන අගයමි.

    බලයට දෙපැත්තක් තිබෙයි. ඒ දෙපැත්ත ගැන ඔබ පෙන්වා ඇති කාරණාද තවත් දුරට සිතන්නට පොළඹවයි.

    හිතන්නට තිබෙන නිසා මොකක් අසන්නදැයි විරුද්ධ කුමක්දැයි හිතා ගන්න බෑ.

    • arunishapiro said, on ජනවාරි 27, 2010 at 8:09 පෙ.ව.

      වතාවක මුළු පින්තූරය දිහාත් වතාවක ඒක් අංහයක් දිහාත් බලන්න. සුළු සුළු අඩුපාඩු දකින්නට හැකිය. ඒ අඩුපාඩු සකස් කර ගැනීම සමූහයක් කළ යුතුය. තනිවම කිරීමට බැරිය. මන්ද තනි පුද්ගලයාට සමූහයක සතු දැනුම නැති බැවිනි. මා ගහන සටහන් සම්පූර්ණ නැහැයි කියන කාරණය ඒයයි. ඔන්න ඒක අඩුපාඩුවක් මවිසින්ම දක්වමි!

      • ~බිன்ku~ said, on ජනවාරි 27, 2010 at 7:52 ප.ව.

        😀 ස්තුතියි!

        iPad හි එළි දැක්වීම එක්ක ඒහි හොඳ ගැන පුන පුනා කියන කතාවල් අස්සේ මට දකින්නට ලැබුණේ මෙය හුදෙක් තවත් iPod කාණ්ඩයේ මෙවලමක් විතරක් බවයි.

        1. Adobe Flash සඳහා සහයෝගය නොදක්වයි. (කොටින්ම දැන් Nokia Symbian/Mameo හා Google Andriod 2.* සදහා Flash Lite/ Flash සහයෝගය දක්වයි).

        2. යතුරු පුවරුවක් නැත. (Handwriting ක්‍රමය වුවද අඩු පාඩු ඇතැයි කියැවේ).

        3. කැමරාවක්ද නැත.

        4. HDMI/HD Video out එකක් නැත.

        5. බහුකාර්්‍ය සදහා සහයෝගය නොදක්වයි.

        6. iPod හි නමට අකුරක් පමණක් වෙනස් iPad ඒක හුදෙක් iPodහි ලක්ෂණ බොහොවිට පෙන්වයි.

        iPhone මෙන්ම iPad ඒකට විරුද්ධ විම නිසා මා සමඟින් අමනාප නොවෙතැයි හිතමි. iPodහි පටන් දිගම ඒකම දෙය විවිධ වෙස් මුහුණු දෙනවා හැරෙන්නට Apple ආයතනය මේ කරන්නේ ඒකම වටයන් යෑමදැයි මට නොතෙරෙයි.

        iMac/ Mac book/ mini Mac/ power Mac යනාදියට මා පෞද්ගලිකවම කැමැති අතර ඉදිරි කාලයකදී mini Mac එකක්ද පසුව Mac book හෝ iMac ගැනීමට සිතා සිටිමි.

        මයික්‍රොසොෆ්ට් පාව්ච්චි කළ අයෙකු එහි ඇති කරදර ගැන දන්නා නිසා මැක් ගැන කතා කිරීම ගැන තරහ නොවනු ඇතැයි සිතාය. තවද දෙකම පරිහරණය කර ඇති නිසා වඩා හොඳ මැක් යයි අත්දැකීම ඇති නිසාත්ය.
        ඔබ මේ කියන්නේ වින්ඩොස් ගැන විය හැකිය. පරිගණක මෙහෙයුම් පද්ධති හා මේවා අතර වෙනස්කම් ඇත. මැක් ඒකටත් වඩා ලිනක්ස් හොඳය (ආරක්ෂාම හා කාර්්‍යක්ෂමතාවය). මෘදුකෘශය අතින් වින්ඩොස් හොඳය. මෘදුකෘශ කාර්්‍යක්ෂමතාව හා ග්‍රැෆික් ක්‍රේෂත්‍රයට මැක් හොඳය. නමුත් ඒ සියල්ලට වඩා මෙවැනි ජංගම භාණ්ඩ වල තත්වය වෙනස් බව මගේ දැක්මයි.

        ඇපල් ආයතනය මීට වඩා නිර්මාණශිලි වෙතැයි පතමි.

        • arunishapiro said, on ජනවාරි 27, 2010 at 8:45 ප.ව.

          දීපු හයිප් එකේ හැටියට එළියට දාලා තියෙන්නෙ විශේෂ දෙයක් නෙමෙයි නේන්නම්. විස්තර බැලුවම ටිකක් ලොකුවට අයිෆෝන් එකම දීලා වගේ. බලමු ඉස්සරහට මේක දියුණු කරයි ද කියලා. ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න ඉක්මන් වෙලා වගේ. අයියෝ මොනවට ඔයා එක්ක තරහ වෙන්න ද? පෙන්නපු අඩුපාඩු ඇත්තනෙ.

          ඇපල් කොම්පැණිය නම තීරණය කරන කොට කාන්තාවක් ටීම් එකේ හිටියා නම් මේක වෙන්නෑ!

  7. Siribiris said, on ජනවාරි 27, 2010 at 12:08 පෙ.ව.

    Technology: Where are we Heading?
    I’m not against Technology. While agreeing that Technology has become an inseparable part of our lives, I’m worried about the excessive dependency on Technology. Technology, just like fire,is a fine tool only when you are the master. Besides, some of the predictions such as paperless-office –Technological Adventurism ( if there is such a word), didn’t materialized at all.

    One of question just crossed my mind is, are we heading for a Consumer Society? Think about the average life span of a mobile phone or a TV set in North America. Yeah, sure we do recycle them, but that does not stop us being having the lion’s share of our limited world resources.

    Politics & Economy:
    It is something I heard ( and I believe it) that a strong healthy middle class makes a good country. While being equally advanced in technology and wealthy; US and Japan has one big difference: in Japan the middle class has more money, comparatively. Some thing called “Gini Coefficient” is used to measure the income inequality in the society, but that is all “Greek” for me.

    Different socio- political ideologies were used to achieve that, and Clinton’s Trickle-Down Economy is a famous one. I’m not qualified enough to talk about it, so I’ll leave it for someone who does.

  8. dilee said, on ජනවාරි 27, 2010 at 2:01 පෙ.ව.

    niyama post eka

  9. […] වීම නිසාම පාලකයෝ සුදනන් නොවෙති. එසේම සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහි කරන්නට ඇති ඉඩකඩ ද අමතක නොකළ […]

  10. අමිල said, on ජූලි 30, 2010 at 10:12 ප.ව.

    ලිපියට මගෙන් මල්… 🙂

  11. charuniyasodara said, on ජූලි 12, 2013 at 2:34 ප.ව.

    ඔබගේ අදහස් දැනුම විශිෂ්ඨයි අරුණි. හැමදාමත් කියෝනව ඔබගේ ලිපි. නැත්නම් අන්තර්ජාලයට පිවිසීම සම්පුර්ණ නෑ වගේ දැනෙනවා. කියන්න සතුටුයි ඔබ ලියන දේවලින් ලැබෙන ලැබුන දැනුම කොයිතරම්ද කියලා කියන්න මිනුමක් නැහැ. ඔබට සුභ පතනවා. තව තවත් අප සමග රැදී ඉන්න වාසනාව ශක්තිය ධෛර්යය දැනුම ලැබේවා කියලා.
    ස්තුතිය්.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න