අරුණි ශපීරෝ‍ වෙතින්

ඔලමොට්ටල අවදානම් තීරණ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 29, 2010

ඉස්සරහින් දිනුම් කනුව පෙනෙනා කළ අයෙක් ඔලමොට්ටල අවදානම් තීරණයක් ගෙන තම පරාජයට පාර තමා විසින්ම කපා ගන්නා බව දැක ති‍බේද?

මේ ගෙවෙන සති අන්තයට පසුව එන සති අන්තය ඇමෙරිකන් සුපර් බෝල් සති අන්තයයි. අද ඇමෙරිකාවේ මිලියන 90 ක් ජනයා නරඹන රූපවාහිනී වැඩ සටහන මෙයයි. මේ සති අන්තයේ සිටම ඊ‍ට සූදානම් වන්නෝ බොහොමයකි.

සුපර් බෝල් නරඹන සංඛ්‍යාව නිසාම එහි දී ප්‍රචාරය වන දැන්වීම් ද විශේෂත්වයෙන් යුතු වෙයි. වඩාත්ම නිර්මාණශීලී දැන්වීම, හාස්‍යජනක හෝ සිනහ උපද්දවන්න, නළු නිළියන් බිහි කරන, තාක්ෂණය පෙන්වන යනාදී නරඹන්නා සොයා බලන පැති බොහොමයකි. තත්පර තිහක ප්‍රචාරයට ඇමෙරිකන් ඩොලර් මිලියන 3 ක් වැය කෙරෙන දැන්වීම් හදන්න‍ට තවත් විශාල මුදලක් වැය වෙයි.

ඇමෙරිකාවේ ක්‍රිස්තියානි සංවිධානයක් සුපර් බෝල් කාලය තුල දී දැන්වීමක් පළ කරන බව අද ආන්දෝලනයට ලක්වී ඇති මාතෘකාවකි. පිලිපීනයේ වාසය කරනා අවදියේ ඇමෙරිකන් මිෂනාරී මවකට සිය දරු ගැබ තම ජීවිතය බේරා ගැනීමට විනාශ කරන්න යයි වෛද්‍යවරයෝ කියා ඇත. එහෙත් ඇය ඊට සවන් නොදුනි. අද ඒ විනාශ නොකළ දරු ගැබෙන් උපන් දරුවා ෆ්ලෝරීඩා විශ්ව විද්‍යාලයෙන් ෆුට් බෝල් කීර්තිය අත්පත් කරගත් ටිම් ටීබෝ නැමැති කඩවසම් තරුණයෙකි. ඔහු හා මව එකතුව ජීවිතයට අයිතිය වෙනුවෙන් සටන් වදිනා සංවිධානයක් වෙනුවෙන් දැන්වීමක පෙනී සිටින්නට යති.

එහි ගුණ අගුණ පිළිබඳව කතා කිරීම මෙම සටහනේ අරමුණ නොවේ. මෙහි අරමුණ මෙවැනි දැන්වීමක්, සියළු ආගමිකයන්, සියළු මතධාරීන් හා වමත් දකුණත් එක්ව බලන වැඩ සටහනක දී පුචාරය කරන්නට මූලික වූ තීරණය සැලකිල්ලට ගැනීමයි.

මීට මූලික වී ඇති පසුබිම එන්නේ ඉතා සරු වන්ද ජය කිහිපයක් පිට පිටම දිනා ගන්නට දකුණේ පිලට ලැබී ඇති නිසාවෙන් යයි සිතේ. එය ඔවුන්ගේ මත වලට ඇති කැමැත්ත හා පැහැදීම යයි සිතුව ද, ඒ ජය වමේ නොහැකියාවට විරුද්ධ ප්‍රකාශයක් ලෙස නොදකින ආකාරය ඔවුන් නොදැකීම පුදුමය.

ඉස්සරහින් දිනුම් කනුව පෙනෙනා කල (දකුණට වැඩි කැමැත්ත පෙන්වන කාලයක් යළි ඇති වෙමින් පවතිද්දී) මෙවැනි ජනතාව කුපිත කරන ඔලමොට්ටලකමක් කරන්නට ඔවුන් පෙ‍ළඹෙන්නේ ඇයි ද? ෆුට් බෝල් සංවිධානයත් මෙහි පවතින බෙ‍ා‍හෝ ක්‍රිස්තියානි සංවිධානත් දකුණට බර බව නොදන්නා අයට දැන ගැනීමට සඳහන් කරමි. ජෝර්ජ් බුෂ් ඉරාක යුද්ධයට ගියේ ඉරාකයෙන් ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් නිසා නොව ඉරාකයෙන් ක්‍රිස්තියානි දහමට පැවති බලපෑම යයි සමහරු තර්ක කරති. අද ටෝනි බ්ලෙයාර්ව එංගලන්තය විභාග කරන්නේ ද මේ තත්වය පැහැදිලි කර ගන්නටය. ඇමෙරිකාවේ ආදී පීතෘවරුන් රටේ නීති සම්පාදනයේ දී ආණ්ඩුවත් ආගමත් එකිනෙකාගෙන් ඈත් වී සිටිය යුතු යයි ලියා ඇත්තේ මෙවැනි අනාගත ජනාධිපතිවරු ඇති වෙන්නට ඉඩක් තිබුණු බව ඔවුන් අනුමාන කළ නිසාවෙනි.

ඔලමොට්ටල අවදානම් තීරණ ගැන අවබෝධයට මනෝවිද්‍යාවෙන් උපකාරයක් හා ඇමෙරිකන් ක්‍රීඩා ලෝකයෙන්ම උදාහරණ මෙහිදී මම පෙන්වන්නෙමි. 

දිනය 2006 වසරේ පෙබරවාරි 17 වැනිදාය. ස්ථානය ඉතාලියේ ටූරින් නගරයයි. ඔලිම්පික් තරඟාවලියේ හිමලෑල්ල තරණය (Snowboard Cross) තරඟයේ අවසන් වටය පටන් ගෙන ඇත. හිම කඳු බෑවුම දිගේ හිම ලෑල්ල මත නැඟ වේගයෙන් ලිස්සා එන ඇමෙරිකානු ජාතික ලින්ඩ්සි ජැකොබේලිස් සිය තරඟවාදියා වන ස්ව්ට්සර්ලන්තයේ ටානියා ෆ්‍රීඩන් අභිබවා මීටර් 43 ක් හා තත්පර තුනක් ඉදිරියෙන් ගමන් කරයි. අවසන් පැනුමට පෙර ඇති කන්ද ඇය පැන්නේ රත්තරන් පදක්කම ඇයට හිමි වන්නට සුදුසුකම් ලබා තිබියදීය.

එහෙත් සිය අධිෂ්ඨානය වූ තරඟ ජය මොහොතකට අමතකර කර දමා ඇය සිය ඔලමොට්ටලකම ලොවට ප්‍රකාශ කළේ පහසුවෙන් පැනිය හැකි කන්ද පනින්න පොඩි පහේ විච්චූර්ණයක් දමන්න ගොසිනි. ලින්ඩ්සි ජැකොබේලිස් කන්ද පනිද්දී හිම ලෑල්ලේ පිටුපස පැත්ත අල්ලා කෙරුමක් දැම්මේය. එවිට ලෑල්ල අගිස්සේ ඇයගේ පය වැදී ඇය ඇද වැටුනාය.

රත්තරන් පදක්කම ලබන්නට අවශ්‍ය වේගය අනිත් අයට ඉදිරියෙන් සිට සටහන් කර ඇති ඇයට තිබුනේ නොවැටී තරඟය හමාර කිරීම පමණි. එහෙත් තමා ඉදිරියෙන් ඉන්නා නිසා මෙසේ මෝස්තර දාන්න ගොස් ඇය පිටුපසින් ආ ටානියා ෆ්‍රීඩන් ඇයව පසුකර ගොස් රත්තරන් පදක්කම දිනා ගත්තාය.

1993 ජනවාරි මාසයේ ඇමෙරිකන් ෆ්‍රට්බෝල් සුපර් බෝල් තරඟයේ දී ද මෙවැනි ඔලමොට්ටල කමක් වාර්තා වේ. තරඟයේ අවසාන මිනිත්තු කිහිපය ළඟා වී ඇත. ලියොන් ලෙට්ට් නැමැත්තා අනික් පිළෙන් අතහැරුණු ෆුට් බෝලය වහා ඩැහැ ගත්තේය. ඔහු ඉදිරියෙන් කිසිවකු නොසිටියි. ලෙට්ට් කළ යුතුව තිබුණේ ෆුට් බෝලයත් රැගෙන දිනුම් කෙළවරට යාම පමණි. එහෙත් ඔහු සිය ජය කළින් සමරන්නට පටන් ගති. බෝලය කිහිල්ලේ ස්ථාවරව තබා ගන්නවා වෙනුවට ඔහු එය අත් දෙකෙන් ඉදිරියෙන් අල්ලා ගෙන දිනුම් කෙළවරට ගියේ මෝස්තර පෙන්වන්නටයි. ඔහු පිටුපසින් හඹා ආ ඩොන් බිබී ඔහුව පෙරළා දමා බෝලයට ගසා එය ඉවතට විසි කර දිනුම් ලකුණ අහිමි කළේය.

මෙයාකාරයක අත්දැකීමක් නිසා තරඟයේ ජය පරාජයට ‍මුහුණ දුන් ක්‍රීඩකයෙකු එයින් පාඩමක් ඉගෙන ගනු ඇතැයි ඔබ සිතනු ඇත.

නැත. ලින්ඩ්සි ජැකොබෙලිස් මීට කළින් ද මෙවැනි විච්චූර්ණ දාන්න ගොස් දිනුම් අහිමි කර ගත්තියකි. ලියොන් ලෙට්ට් ද එයින් පාඩමක් ඉගෙන ගත්තේ නැත. ඔහු මුහුණ පෑවේ ඊටත් වඩා ඛේදජනක සිද්ධියකටයි. නැවතත් සුපර් බෝල් තරඟාවලියේ යෙදි ලෙට්ට්ගේ ඩලාස් කව්බෝයි කණ්ඩායම තරඟයේ අවසාන මිනිත්තු කිහිපයේ මයාමි ඩොල්ෆින්ස් පිලට ඉදිරියෙන් එක ලකුණකින් (14-13) සිටිති. අපහසු ලකුණක් ලබා ගන්න‍ට තැත් කළ මයාමි ඩොල්ෆින් පිල අතින් ෆුට් බෝලය ගිලිහුණි. එය අයත් කරගන්නට උත්සාහ කළ ලෙට්ට් බිම පතිත හිම මත ලිස්සා ඇද වැටුණි. තරඟ නීති අනුව බෝලය නිදැල්ලේ අත නොගසා හැරියා නම් මයාමි පිලේ පාස් කිරීම අසම්පූර්ණ නිසා ලෙට්ට්ගේ පිලට ‍බෝලය ඉබේම ලැබේ. එහෙත් එය අල්ලන්නට අත ගැසූ නිසාත්, එය අල්ලා ගන්නට බැරි වූ නිසාත් අනිත් පිලට බෝලය උදුරා ගෙන දිනුම් කෙළවරේ කනු අතරින් බෝලය යවා ලකුණු තුනක් ලබා (16-14) තරඟය දිනාගත හැකිවිය.

ඔලමොට්ටලකම් කරන්නට ක්‍රීඩකයෙක් පෙළඹෙන්නේ ඇයි? ජීවිතයේ ද මෙවැනි ඔලමොට්ටලකම් අපි කරමු. සිද්ධියෙන් පසුව කල්පනා කරන කල ‍එසේ කළේ ඇයි දැයි කිසිවෙක් ඇහුවොත් ඊට හේතුව අප නොදිනිමු. එසේ කළ ක්‍රීඩකයන් ද ඊට හේතුව නොදන්නා බව කීහ.

මෙය තරඟය අමතක වීමක් නොවේ. බොහෝ ක්‍රීඩකයන් පවසන්නේ තමාට තරඟය ගැන කිසිම අවස්ථාවක අමතක නොවුනු බවය. කැපී පෙනෙන්නට ගන්නා උත්සාහයක් ද? නැත. මන්ද සෑම ක්‍රීඩකයෙකුම තම දක්ෂතාවය කැපී පෙනෙන සේ දක්වන්නට කැමැත්තෙකි. දිනුම හා එකට ඉටුවෙන අනිත් අභිප්‍රාය තම හැකියාව අනිත් අය දැක අගය කළා යන්නයි. එසේම ඔළුව උදුම්මවා ගත් නිසා හෝ මහන්තත්වයෙන් සිටි නිසාද මෙවැනි වැරදි ද සිදු නොවේ.

එවැන්නක් සිද්ධ වන්නේ දිනුම කරා යන ග‍මනේ ඉලක්කය නොහොත් අරමුණ වූ දිනුම ලබාගත යුතු බව අමතක වීමෙනි. තරඟය අමතක නැත. දිනුම ලබාගත යුතු බව අමතකය. මේ දෙක එකක් නොව දෙකකි.

තවත් අයෙක් එසේ කරන්නේ තම ජයග්‍රහණය ගැන තමාට හරියාකාර විශ්වාසයක් නැති කමෙනි. යටි සිත එය කියන නමුත් ඊට සවන් නොදෙන ක්‍රීඩකයා යටි සිතේ ඇති චකිතය විමසා බලා නැත. ඒ නිසා හරියාකාර විශ්වාසයක් තමාට නැති බව ද ඔහු නොදනී.

පිළියම් විවිධාකාරය. එක් එක් පුද්ගලයාගේ හැදියාව අනුව මෙය නිවැරදි කරගත හැකිය. යමක් හරියාකාරව ඉතා දක්ෂ ලෙස කරගෙන ගොස් අවසන් මොහොතේ මුළු වෑයමේම ඵල රහිත වන සේ පුංචි වැරැද්දක් තමන් අතින් සිදුවෙන අයට මෙම පිළියම් සොයා ගැනීමෙන් ඒ අත්වැරදි වීමෙන් තමාව වළකා ගත හැකි වෙයි.

තමා වෘත්තීයමය වශයෙන් නියැළෙන තරඟයක හෝ රැකියාවේ ව්‍යාපෘතියක් නොව ඊට කිසිම සම්බන්ධයක් නැති වෙනත් අවස්ථාවක් මෙවැනි අත්හදා බැලීමක් සඳහා තෝරා ගන්න. මුල සිට අග දක්වා කටයුත්ත නිම කරනා ආකාරය සවිස්තර ලෙසින් සැලසුම් කරන්න. පියවරෙන් පියවරට කටයුත්තේ නිමාව දක්වා ප්ලෑනයක් ගසා එය පටන් ගන්න. පහසු වූ කාර්යයක් තෝරා ගන්න. එයට අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරන්නට හැකි කාල සීමාවක් ද වෙන් කර ගැනීම වැදගත්.

පටන් ගත් කාර්යයේ පියවරෙන් පියවර ඉටු කරන ඔබට අන්තිමට ඇති ජය නැතහොත් කටයුත්තේ සාර්ථක නිමාව දකිනු හැකිය. මෙයින් පුහුණු කරන්නේ ඔබේ මනස ඉලක්කයේ රඳවා ගැනීමයි.

කොතරම් හිත වෙනතක යන්නේ නැතැයි කියන්නෙකුගේ වුව ද හිත වෙනතක දුවයි. හිත එකඟ කර එල්ලයක තබා ගැනීම තරම් අසීරු කර්තව්‍යයක් අපට නැති බව අවබෝධ වන්නේ එයට උත්සාහයක් ගන්නා අයට පමණයි.

මෙසේ එකින් එක ජීවිතයේ සුළු සුළු දේවල් වලට මෙම පිළිවෙත යොදා පටන් ගන්නා ඔබට කෙමෙන් කෙමෙන් ජීවිතයේ දුෂ්කර වූ දේ සඳහා ද එම ක්‍රියා මාර්ගය අනුගමනය කර දිනුමි ලබන්නට පුළුවන. මෙම ක්‍රියාදාමය ලෝක ක්‍රීඩා පිටියේ ඔලමොට්ටලකම් කරනා අයව එයින් ‍‍බේරා ගැනීමට අනුගමනය කරන්නකි. එවැනි පුහුණුවන් ලෝක ක්‍රීඩා පිටියේ එමට දකින්නට ඇත.

මහා හයියෙන් කෑ ගසා බෙරිහන් දෙන සමහර ක්‍රීඩකයන් එසේ කරන්නේ හිත සී සී කඩ යා නොදී තම අරමුණ කෙරෙහි හිත රඳවා ගන්නටය. සමහර ක්‍රීඩකයෝ තමාට ධෛර්යය ගෙනෙන සිංදු මුමුණ බව කියති. තවත් අයෙක් ගාථා මතුරන බව ද කියති. ඒ හැමෙකින්ම උදව් වන්නේ මනස ඉලක්කයේ තබා ගෙන පුහුණු කරගත් සැලැස්මට අනුව මාර්ගයෙන් පිට නොයා, නැතහොත් සිත විසිරී යෑම වැළක්වීමයි.

දකුණේ අයට දිනුම් කනුව පෙනී තිබිය දී, වැඩි ජනතාවක් කුපිත නොකර තරඟය ජය ගත හැකිය. එහෙත් දිනුම් කනුව පෙනි පෙනී, මෙසේ තමා‍ෙග් මතවාදය අනිත් අයගේ මතවාදයට වඩා නිවැරදි යයි පෙන්වන්නට දරන උත්සාහය නිසා ඉදිරියේ දී මෙය ඔවුන් ගත් ඔලමොට්ටල අවදානම් තීරණයක් බව පැහැදිලි වෙයි ද? නැතහොත් දිනාගත් ජය අමතක නොකර ජය ලබා ගත් මාර්ගයට යළි අවතීර්ණ වී යා යුතු මඟට පිවිසෙන්නට කවුරුන් හෝ ඔවුනට හොඳ පොල් ටොක්කක් ඇනිය යුතු ද? නැත්නම් අනාගතයේ දී යළි පැරදීමෙන් පසුවත් ඔවුන් මෙය අවබෝධ කර නොගෙන තවත් ඔලමොට්ටල අවදානම් තීරණ ගැනීමේම නිරත වෙමින් සිටියි ද?

5 Responses

Subscribe to comments with RSS.

  1. sittingnut said, on ජනවාරි 29, 2010 at 2:15 ප.ව.

    ppl who stand by their principles and try to propagate them are foolish?
    aim is to be least objectionable and most crowd pleasing?

    bland empty spineless mediocrity is the best huh?

    one might win that way ( though that is never a certainty ) , but for what purpose ?
    winning for the sake of empty victory? power for the sake of power?


    btw that superbowl ad is celebrating a person making a choice . it is not advocating that choice should be taken away. what is so wrong with that ?

    • arunishapiro said, on ජනවාරි 29, 2010 at 6:17 ප.ව.

      Dear Sittingnut, I am not smart enough to answer your questions. However, if you still like to read my posts please come by often and write your ‍facts, opinions, and any other smart thoughts. Thank you. Best always, Aruni

      • kasunmathota said, on ජනවාරි 31, 2010 at 7:23 පෙ.ව.

        ඔබගෙ ලේඛන කලාව අගයමි. සමහරුන්ට ඔබ කියන්නෙ කුමක්දෑයි නොතෙරේ. ඔබ ඔබ අවට සමාජය තුලින් ඔබගෙ අදහස් සරලව ඉදිරිපත් කරයි. මම සුපර් බොල් ගැනද නොදත්තෙමි නමුත් එහි සුන්දර බව ඔබ නිසා ලදි

  2. පොඩ්ඩා2 said, on ජනවාරි 29, 2010 at 3:45 ප.ව.

    දිනන්න ගිහින් පණ්ඩිත කම දාලා ඇන ගන්න මිනිස්සු ගැන අපි දැකලා තියනවා. නමුත් මම හිතන විදියට එක තමයි එ මිනිස්සුන්ගෙ ලස්සනම දෙ. එ මිනිස්සු ලොකය තවත් රසවත් , ලස්සන දෙයක් කරන්න දායකත් වය දෙන්නෙ එහෙමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: