අරුණි ශපීරෝ‍ වෙතින්

ආතතියට පිළියම්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 31, 2010

එක දිගටම බ්ලොග් ලියාගෙන යනකොට මටත් ආතතිය (stress) වැඩිවෙයි ද කියා සිතුණි. ඒ නිසා ඊට කළින් ලියන එක පොඩ්ඩක් නතර කර වෙන වෙන දේ වල යෙදුනෙමි. බල්ටිමෝර් ගිහින් රුවල් බෝට්ටුවක් බලා ආවෙමු. ඒක ගන්නව ද නැද්ද කියා තාම මහත්තය තීරණය කර නැත. ගරාජ් එකේ බෝ‍ට්ටුව දාන්න නම් දිග පළළ හරියටම. හැබැයි එතකොට වෙන දේවල් රඳවන්න ඉඩ නැතිවේ. ජීවිතේ වගේ තමයි එක දෙයක යෙදෙන කොට තව දෙයකට ඇති ඉඩ නැති වී යයි.

ආතතිය ගැන ඇහැව්වෙ කමෙන්ට් එකකින් ඉන්දික. තරඟයක දී ඇතිවෙන ආතතිය සහ ජීවි‍තයේ පැන නඟින ආතතිය අතර ලොකු වෙනසක් නැත. ඒත් තරඟයක දී අප මුහුණ පාන ආතතියේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් පෙනේ. එසේම ආතතියත් ඇඟට දැනෙන බව අපට වැටහේ. එදිනෙදා ජීවිතයේ ආතතියක් ඇතැයි ඇඟට හා හිතට දැනුනත් ඒ නිසා ඇති වන ඵලවිපාක පේන්න, දැනෙන්න ටිකක් කාලයක් ගතවේ.

ආතතිය කියන්නෙ ඍන තත්වයක් නොවේ. ආතතිය කුඩා දරුවාගේ පටන් හිතන්න ඇති හැකියාව ඇති සෑම පුද්ගලයෙකුටම ඇත. ශාරීරික විඩාව හෝ මහන්සිය නොව මේ එකිනෙකාට ඇතිවන ආතතිය විවිධ පුද්ගලයා අනුව විවිධාකාරයෙන් ඉහළ නඟිනා ආකාරයටම විවිධ ක්‍රම සහ විධි අනුව අඩු වී යයි.

වැඩි දෙනෙක් තමනුත් නොදැනුවත්වම ආතතිය පාලනය කර ගනිති. ඒ නිසාම එක් අංශයකින් ආතතිය පාලනය කරගන්නා අයෙක් තවත් අංශයකින් ඇතිවන ආතතිය පාලනය කර ගන්න නොහැකි වූ කල පුදුම වෙති. උදාහරණයක් ලෙස තමන්ගේ ඉගෙනීමේ කටයුතු වලින් කිසිදු ආතතියක් නැති අයෙක් සමාජ සබඳතා වල දී ආතතියෙන් පීඩා විඳිය හැකිය.

සමහර පුද්ගලයෝ උපතින්ම නොඉවසිලි ගති වලින් යුතුය. ඔවුනට ඇති ආතතිය අන්‍යයනට වඩා ඉහළ මට්ටමක පවතී. හැම දෙයකට දුක් වන අය, හැම දෙයකම වැරදි පමණක් දකින අය, හැම ප්‍රශ්නයක දී ම විසඳුමක් නැතැයි සිතනා අය අප අතර සිටිනා ලෙසයි. එවැන්නකු තුල ඉහළ මට්ටමකින් ආතතිය ඇත්තේ නොඉවසිලිගතිය නිසා යයි කෙනෙක් සිතුව ද එසේ ආතතිය පවත්නේ එවැනි පුද්ගලයා ආතතිය ඇති කරන පරිසරයෙන් ඉවත් නොවීම නිසාය. නොඉවසිලි ගති ස්වභාවය ඇති අය තමන්ට මතක් කර ගන්නට කැලැන්ඩරයක ලියා තබා ගෙන ආතතිය ඇති කරන තත්වයෙන් මඳක් ඉවත් වී කාලය ගෙවන්නට නිතිපතා වෑයමක යෙදෙන්නට අවශ්‍ය වේ.

ආතතිය යනු කුමන මානසික තත්වයක් ද?

ඔබට කරනා කටයුත්ත බරක් සේ දැනෙනවා නම්, එයින් තව දුරටත් සතුටක් නොලැබෙනවා නම් ඒ ඇති වන්නේ ආතතියයි.

ඉතින්, ආතතිය යනු ජිවිතය පුරාම අපි අත්විඳන මානසික තත්වයක් බව පෙනෙන්නේ කිසිම දෙයකින් චිරාත් කාලයක් සතුට ලබන්නට මිනිසාට ඇති නොහැකියාව නිසයි. නමුත් අපි හිතා සිටින්නේ අප සතුට නොලබන්නේ පැන නැඟ ඇති එක් අවස්ථාවකින්, උදාහරණයයක් ලෙස වාර අවසාන විභාගය සමීපයේ අපට ආතතිය ඇති වී ඇතැයි කියාය. වාර අවසාන විභාගයේ අපට ආතතිය දැනෙන්නේ එතෙක් කාලයක් එයට මුහුණ දීම බරක් ලෙසින් අපේ සිතේ තිබුණු නිසාය. ඊට මුහුණ දීමට කාලය ළං වෙන විට සිතුවිල්ල ඉස්මතු වී සිතේ ආතතිය වැඩි කරයි. එනම් ආතතිය දිගටම තිබුණු නමුත් එයට අපි අවධානය දෙන්න පටන් ගන්නේ විභාග දිනය නොහොත් තරඟයේ අවසානය පැහැදිලිව පෙනෙන්නට ගන්නා කළය.

තරඟයක දී එහි උච්ඡ අවස්ථාව පැන නැඟ ඇති විට ආතතිය නිසා වැරදි සිදු වන්නේ මෙතෙක් ආතතිය පාලනය කර ගත්තේ ස්වභාවික දැනුම පමණකින් නිසාය.

ආතති තත්වයක් පැන නැඟුනු විගස ශරීරය ඉක්මණින් ඊට පිළියම් සොයන්නේ ඔබට හට ගත් අනතුරක් යයි සිතාය. ආතතිය කෙනෙකුගේ හෘද ස්පන්දනය වේගවත් කරයි. චෙස් ක්‍රීඩා තරඟයේ දී වුව ද පුටුවල නළියන ක්‍රීඩකයන් සිටිති. ඔවුන්ගේ අත්වල දහඩිය දමයි. කමිස තෙත්වෙයි. හෘදය වේගවත් ලෙසින් ස්පන්දනය වෙයි. ආශ්වාස ප්‍රාශ්වාසය ඉක්මන් කරයි. එයින් කෙරෙන්නේ ශරීරයට උද්‍යෝගීමත් තල්ලුවක් දිමයි. මෙම තත්වය මනෝවිද්‍යාවේ සඳහන් වන්නේ සටන් වදිත හැකි නැතහොත් අතහැර දුවත   හැකි තත්වයක් ලෙසටයි.

ආතතිය නරක යයි කියා බැහැර කළ නොහැක. එය අපට අවශ්‍ය අවස්ථා ඇත. හදිසි කර්තව්‍යයක නිමාව දකින්න යුහුසුළු වන්නා එයින් ඇතිවන ආතතියෙන් එය ඉක්මණින් ඉටු කර ගනියි. ධාවන තරඟයක නිමාව දකින ආතතිය ඇතිවන ධාවන ශූරයා එයින් ලබන උත්තේජනයෙන් තරඟය දිනන්නට සමත් වෙයි. එය හරියට පාඩම් කරන්න කල් දම දමා ඉන්නා අයෙක් විභාගයට ළං වූ දින කිහිපය ඉතා මහන්සියෙන් පාඩම් කරන්නට පෙළඹෙනවා වැනිය. ක්‍රෑම් කර විභාග පාස් වන්නෝ ආතතියෙන් වැඩ ගන්න දන්නෝ වෙති.

ආතතිය කෙනෙකුට හානියක් කරන්නේ ඊට පැළපදියම් වන්නට ඉඩ දුනහොත්ය. තරඟයක් ඉදිරියේ හෝ විභාගය ඉදිරියේ ඇති වන ආතතියට වඩා වෙනස් වූ කාලයක් පවතින ආතතියකට අයෙක් ඉඩ දී ඇත්නම් ඔවුනට බඩේ රුජාව, කොන්දේ අමාරු, රාත්‍රී නිදි වර්ජනය, කොණ්ඩේ තැනක් සුදු වීම හෝ හිස කෙස් අකාලයේ හැලී යාම වැනි ශාරීරික වෙනස්කම් ඇති කරයි. කාලයක් පවතින ආතතිය ශරීරයේ ඇති ස්වභාවික ප්‍රතිශක්තිකරණයට බලපෑම් ද ඇති කරයි. තවත් විදියකින් කියත හොත් බෝවෙන ලෙඩ රෝගවලට ඉක්මණින් ගොදුරු වෙන ස්වභාවයක් වඩවයි.

විභාග කාල වලට ලෙඩ රෝග වලින් පීඩා විඳින්නේ මෙසේ කාලයක් තිස්සේ විභාගය ගැන ආතතියෙන් පෙළෙන අයෙකි. කැස්ස, හෙම්බිරිස්සාව හා උණ වැනි දේ විභාග දවස් වලටම හැදෙයි.

ආතතිය නිසා පීඩා ඇති කරන කරුණ හඳුනා ගන්නට සුපරීක්ෂාකාරී බව අවශ්‍යයයි. තමා තුල පවතින ආතතිය පීඩාවක් වන්නේ තමා දිනුම් කනුව කරා ළං වෙන්නට ඉන්නා අවස්ථාවේ ද? එය වඩාත් කරදර කරන්නේ දිනුම උවමනා නිසා ද නැතහොත් පැරදෙන්නට අකමැති නිසා ද? මේ දෙක එකක් නොව දෙකකි. කෙනෙක් දිනන්නට තරඟ වැදිය ද පැ‍රදෙන්නට මැළි නොවේ. තව අයෙක් දිනන්නට තරඟ වැදුන ද පරාජයට ඉතා අකමැතිය, දිනුමෙන් ලබන සතුටට වඩා වැඩි බරක් පරා‍ජයෙන් ලබනවා නම් ඒ මානසිකත්වය වහා වෙනස් කරගත යුතුය. දිනුම හා පැරදීම දෙකම සටනක තරඟයක පැති දෙකකි. එයින් එකක් ලබන්නා අනිකට මුහුණ දෙන්නට ද සූදානම් අයෙකු විය යුතුය.

වැඩ ගොඩක් පටවා ගන්නා අයෙකුට ඇතිවන ආතතිය වැඩ කන්දරාව සැහැල්ලු කර ගැනීමෙන් අඩු කරගත හැකිය. මෙය බැලූ බැල්මට ස්ව-ප්‍රත්‍යක්ෂයක් (self-evident) ලෙස පෙනේ. එහෙත් නිමාව නොදකින වැඩ ගොඩ ගැසි ඇති අය අප අතර බොහෝය. දිනපතා වැඩ කන්දරාව දිහා බලා සුසුම් හැලීමෙන් ඵලක් නැත. වැඩ ගොඩෙන් එකක් අඩු කරගන්නා නිමාවට ළං වන්නෙකි.

තරඟයක දී ද එසේමය. දිනුම් කනුව ‍බො‍හෝ ඈත යයි සිතුනත් ඈත නොබලා පියවරෙන් පියවර ජය ලබා ගන්නා අය අවසාන පියවර ද ජය ලබයි. දිගු ගමනක් යන්නට ශක්තිය නිසියාකාරව ‍ෙවන් කර ගන්නා (allocate) අයෙක් සේ තරඟයක දී ද තම ශක්තිය මෙන්ම අවධානය ද පාලනය කරගත යුතුය. පාලනය පුහුණු කරගන්නට වෙනත් අවස්ථාවල දී පියවරෙන් පියවර කරනා කටයුතු ගැන සිහි කල්පනාව වැඩිය යුතුය. වැඩ අධික දිනවල කෙනෙක් තමා නිවසෙන් පිට වී බස් රථයකට නැඟී කාර්යාලයට ආවේ කෙසේදැයි නොදනී. දිනපතා කරන වැඩ කටයුතු රොබෝ ලෙසින් කරන්නට අප හුරු ව ඇත. එහෙත් අවධානයක් යොදා කළ යුතු වැඩත් එසේ කිරීම නිසා වැරදීම් හට ගනී. සුළු සුළු දේට අවධානය යොමු කරන්නට තමාව හුරු පුරුදු කරගත් පසු ආතතිය වැඩිවන අවස්ථාවල අවධානය පාලනයෙන් හොඳ ප්‍රතිඵල ලැබිය හැකි වන්නේය.

ජවය (energy) වේගයෙන් පහ වන්නේ සිත කරදරයෙන් (worry) පෙළෙන විටය. තම අවධානය යොමු කළ යුත්ත වෙනුවට ජවය පහවන්නා‍ෙග් අවධානය යොමු වී ඇත්තේ විහින් හෝ පුරුද්දෙන් ඇති කරගත් කරදර සිතුවිලි වෙතය. අවධානය යළි ඉලක්කය වෙතට යොදවන්න සමහර ක්‍රීඩකයෝ මඳ විරාමයක් ලබා ගනිති. වැසිකිළියට යන්න, වතුර උගුරක් බොන්න වැනි දෙයකට යති. තණ පිල්ලේ පහර දෙන්නට පෙර ගොල්ෆ් ක්‍රීඩකයෝ ඇස් පියාගෙන සිටින්නේ සිතින් ආතතිය පැන නඟිනා විට එය ඉලක්කයට යළි හරවා ගැනීමටය. ඇස් පියා ගන්නා ක්‍රීඩකයා සිතින් බෝලය නියමිත වලට වැටෙනා ආකාරය මවා ගනියි. ඒ ගැන සිතීමක් කරන්නේ නැත. යා යුතු ඉලක්කයට වැටෙනා ආකාරය මවා ගන්නවා පමණි. එයින් කරදර සිත වෙනුවට යළි ඉලක්කයට සිත යොමුවේ.

මැරතන් ක්‍රීඩා වලින් පැන නැඟි වදනක් වුව ද සෑම ක්‍රීඩාවකම යෙදෙන්නා තාප්පයේ හැප්පීම (hitting the wall) අත්විඳ ඇත. දිනුම කරා හොඳින් තරඟ වදින ක්‍රීඩකයා හිටිහැටියේම ශාරීරිකව අඩපණ තත්වයකින් පෙළෙයි. දිව යන්නට හෝ තවත් කාලයක් තරඟයේ රැඳී සිටින්නට කිසිදු හයියක්, ශක්තියක් නැතැයි ඔහුට දැනේ. මෙය තාප්පයේ හැප්පීමයි.

තාප්පයක් පුද්ගලයෙකුට වඩා ශක්තිමත්ය. එය දිනුම කරා යන ගමන ඇණ හිටුවන බාධකයකි. ශාරීරික වශයෙන් ඇති ශක්තිය තරඟය විසින් සහමුලින්ම උකහා ගෙන හමාරය. ක්‍රීඩකයාගේ ඇඟ කියන්නේ සටනෙන් ඉවත් වන්න කියාය.

මෙවැනි තත්වයක දී අඩපණ වූ ශරීරයට කළ නොහැකි වැඩ කොටසක් ඉලක්කයේ රැඳුන මනසට කළ හැකිය. උත්සාහය සඵල වන්නේ මනස දිනුම අයත් කර ගන්නට හැකි යයි සැබැවින්ම විශ්වාස කරනවා නම් පමණි. එයින් ශරීරයට උත්තේජනයක් ලබා දීමට ශක්තිමත් මනසක් වඩවා ගත්තෙකුට හැකියාව ඇත.

තාප්පය පෙරළා ගෙන ජය කණුවට වරක් පා තැබුවොත් ඉන්පසු එවන් අයෙක් පරාජය පහසු නැත. 2010 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරඟාවලියේ පිරිම් අවසන් තරඟය දිනාගත් රොජර් ෆෙඩරර් එවැනි අයෙකි. ඔහු පරාජයට හැකියාව පමණක් මදිය.

ජිවිතය ද තරඟයකි. එය එසේ නැතැයි කියන්නෝ ජිවත් වන්නෝ නොව උපන්නාට වසන්නෝය. තරඟය යනු තමා හැම විටම දිනුම ලබා ගැනීමට වෑයමක යෙදීමයි. එහෙත් ඒ “කටින් ගහලා දිනන” පිළිවෙත අනුගමනය කරන අය මෙන් නොව මුහුණ දෙන හැම අවස්ථාවකම ඒ ගැන විමසිලිමත් වී සොයා බලා කටයුතු කිරීමෙනි. ජීවිතයේ හැම දෙයක්ම උසස් ලෙසින් නිම කරන්නට උත්සාහයක් ගන්නා අය තමාගේ මනස ද තමාගේ ජීවිතය ද දියුණු කර ගනිති. උත්සාහයෙන් තරඟය ජය ගැනීම වගේම පැරදුන අවස්ථාවලින් පාඩම් ඉගෙන ගන්න හැකිවන්නේ ද එවිටයි.

රුවල් බෝට්ටු පැදීම ආතතිය පාලනයට පුහුණුවකි. රුවල් බෝට්ටු මෝටර් බෝට්ටු මෙන් ඇන්ජිමක් ස්ටාට් කර යන පැත්තට හරවා ගෙන යා හැක්කක් නොවේ. රුවල හරවන්නට හා සුළං හමන දිසාව ගැන නිරන්තර අවධානයෙන් සුළු සුළු වෙනස් කිරීම් කළ යුතුය. තමා යන ඉලක්කය කරා කෙළින් යා නොහැකි අවස්ථාවල පැති පැති වලට හරව හරවා ගොස් ඉලක්කයට ළං විය හැකිය. නැතහොත් පියවරෙන් පියවර සිතාමතා කළ යුත්තකි.

මේ කියවන කවුරුන් හෝ ලංකාවේ ශ්‍රී ලංකා පාපැදි සවාරිය පැවතෙන දින හා ඊට ඇතුල්වන ආකාරය දන්නවා නම් මා වෙත ප්‍රතිචාරයක් එවන්න යයි ඉල්ලමි. ඇමෙරිකාවෙන් තරුණ පා පැදි කණ්ඩායමක් ඊට සහභාගී වන්නට කැමැත්ත කියා ඇත. ඔවුන් මේ දිනවල ආසියාවේ තරඟයේ යෙදෙති. මගේ ඥාති පුතෙකු ද ඊට අයත්ය. ඔවුන්ට තරඟ වදිනු හැකිනම් ලංකාවට යන්න මටත් එය කදිම අවස්ථාවක් කරගත හැකිය. පහත පින්තූරයේ වමේ ඉන්නේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ය. දකුණේ ඉන්නේ 22 වියැති මගේ ඥාති පුත්‍රයා ගයි ඊස්ට්ය.

2 Responses

Subscribe to comments with RSS.

  1. kasunmathota said, on පෙබරවාරි 1, 2010 at 6:09 පෙ.ව.

    අක්කට ලාන්ස් ආම්ස්ට්‍රොන් හම්බවෙලා තියෙනවද? මම කැමතිම ක්‍රිඩකයෙක්. ඔහු ගැන කියවලා විතරයි තියෙන්නෙ. ඔහු ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන් විදිහට. ලංකා සවාරිය ගැන විස්තර හොයන්නම්.

    • arunishapiro said, on පෙබරවාරි 1, 2010 at 9:04 පෙ.ව.

      මට ලාන්ස් මුණ ගැහිලා නැහැ. It’s Not About the Bike පොතෙන් ලාන්ස් තම මොළයේ තිබුන පිළිකාව පරදවා නිරෝගී බව ජයගත් හැටි විස්තර කරනවා. ලාන්ස් ගැන දැන ගන්න හොඳම පොත ඒක. මගේ ඥාති පුත්‍රයා, ගයි, පිළිකා රෝගය සඳහා රට දැනුවත් කරන්නට සයිකල් සවාරියට ලාන්ස් හා එකතු වූ තරුණ ක්‍රීඩකයන් හා ලාන්ස් සමඟ ග්‍රීෂ්ම ඍතුවක ලාන්ස්ගෙ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති නිවසේ කාලය ගත කළා. ලාන්ස් කන බොන දේවල් ගැන දැඩි අවධානයකින් යුතුව ඉන්න කෙනෙක්. ඒ වගේම පුහුණුව නොවරදවාම කරන කෙනෙක්. එයාගෙ ගෙදර ව්‍යායාම් කරන්න නවතම පහසුකම් සේරම තියෙනවාලු. ශාරීරික ව්‍යයාම් සහ සයිකලය ද සමඟ වැඩි කාලයක් ගත කරන අයෙක්. ඒ වගේම විනෝද වෙන්නත් කැමැති කෙනෙ‍ක්. ලාන්ස්ට පුතෙක් ඉන්නවා. එයා විවාහ වෙලා හිටියත් දැන් දික්කසාදයි. ෂෙරිල් ක්‍රෝ කියන ගායිකාව කාලයක් ළඟින් ඇසුරු කළාත් දැන් ඒ සම්බන්ධය නැහැ. යන යන තැන් වල ලාන්ස්ව හමුවෙන්න එන රූමත් තරුණියෝ මහත් සංඛ්‍යාවක් ඉන්නවාලු. තමා ඉහළින් ජය ගත් අයෙක් වූවාට තරුණ සයිකල් ක්‍රීඩකයන්ට අත දීලා සුහද ලෙස සලකන බවත් ගයි කිව්වා. ගොඩාක් සල්ලි තිබුනට, ගොඩක් ජනප්‍රිය වුනාට ඒකෙන් ඔළුව උදුම්මවා ගත් කෙනෙක් නොවන බවයි වැඩි මතය. මේ ජූනි මාසයේ ප්‍රංශ සයිකල් සවාරියේත් ලාන්ස් තරඟ වදින්න හිතාගෙන ඉන්නවාලු. ලාන්ස්ට ප්‍රංශ හා ඉතාලි භාෂා කතා කරන්න දැනුමත් තියෙනවා. ලාන්ස් ට්විටර් වලින් රසිකයෝ හා එක්වෙනවා. ඒ වගේම ලාන්ස්ගෙ කහ අත්පටි විකුණලා පිළිකා රෝග මර්ධනයට සෑහෙන මුදල් එකතු කරන සංවිධානයකුත් තියෙනවා. ලාන්ස්ගේ නිවසට නිතර වෙනත් ක්ෂේත්‍ර වල ඉන්න ජනප්‍රිය ක්‍රීඩකයෝ ද ඇවිත් මුණ ගැහෙනවාලු. ගයි එහෙ හිටපු දවස් ටිකේ තවත් අයව එහෙම දැනගෙන.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: