අරුණි ශපීරෝ‍ වෙතින්

කටාරයේ විලාසිතා ගැන විවාදයක්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 1, 2010

ජනවාරි 30 වැනි දා “ද ඉකොනොමිස්ට්” සඟරාවේ පළ වුනු ලිපියක හෙඩ් ලයින් ඒ.  කටාරි තරුණ පරපුර දැන් බටහිර පන්නයට අඳින්න කැමැත්ත වැඩියිලු. බොයාට් (boyat) කියන නමෙන් තමන් හඳුන්වා ගන්න තරුණ කාන්තාවෝ පිරිමි අඳින ඇඳුම්, ‍බැගී කලිසම්, කොට කොණ්ඩය, මහ ගැඹුරු කටහඬින් කතා කිරීම විලාසිතාවක් කරගෙන. බොයාට් කියන වචනය ඇවිත් තියෙන්නෙ බෝයි කියන ඉංග්‍රීසි වචනයෙන්. ඒකෙ කටාරි අර්ථය ටොම්බෝයි සහ සම්මත නීති ඉක්මවා යන ලිංගිකත්වයෙන් යුත් අය යන්න ගැබ් වූවක්. මේ බොයාට් තරුණියෝ පාසැල්, විශ්ව විද්‍යාල වල දකින්නට ඇති අතර ඔවුන් සම්ප්‍රදායික හැසිරීම ඇති තරුණියන්ට වදේ ගහනවාලු.

මේක ගෝලීයකරණයේ විපාකයක් ලෙස කියන කටාරි මාධ්‍යවේදියෝ සහ ඇකඩමියාවේ දැන උගතුන් ඒකට වරදකරුවෝ ලෙස පෙන්වන්නේ විදේශීය ගුරුවරුන්, අන්තර්ජාලය, සැටලයිට් රූපවාහිනිය සහ මැද පෙරදිගට ආ ගෘහ සේවිකාවෝ.

ඉතින් මෙහෙම අඳින අයට මරණ දඬුවම දෙන්න කියලා කොටසක් කියනවා. තවත් කොටසක් ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර දිය යුතු බව කියනවා. ඔවුන් ප්‍රතිසංවිධානය කරන්න මධ්‍යස්ථානයක් අරඹා තිබුනත් ඒ ආකාරයට අඳින අය සියයට 70 ක් තමන්ගේ “අස්වාභාවික චර්යාව” අත හරින්න කැමති නැහැයි කියල.

මේ ප්‍රශ්නය එක්සත් අරාබි එමයිරේට්ස් වලත් තියෙනවා. මෙවැනි “පිරිමි කාන්තාවන්” වෙනුවෙන් ඔවුන් දියත් කරපු ව්‍යාපෘතියක දේශන, වැඩමුළු, රූපවාහිනී වැඩ සටහන් යනාදියෙන් කාන්තා සද්භාවය ගැන දැනුම වැඩි කරන්න දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පසුගිය වසරේ ආරම්භ වුනාලු.

මෙවැනි සමාජ සම්ප්‍රදායන්ට වෙනස් ව යන චර්යාව ඇති බොයාට් අය කටාර් සමාජයට තර්ජනයක් කියල එක නිලධාරියෙක් පෙන්වා දෙනවා. ඉතින් මේ ඇවිලෙන ගින්නට තවත් පිදුරු දාන එහි වසනා ඇමෙරිකන් කථිකාචාර්යවරයෙක් කොට කොණ්ඩ ඇති, ජිම් සපත්තු දා ගත්ත තරුණ කාන්තාවෝ ඇමෙරිකාවේ නම් සාමාන්‍යයෙන් දැකිය හැකි පිරිසක් යයි කියා ඇත. කතාව ඇත්ත වුනාට සාම්ප්‍රදායිකයන් නොසන්සුන් කරවන්න ඒ ඇති.

ඉතින් මේ ගැන කතිකාව මෙතනින් පටන් ගනිමු. පළමුවෙන්ම කාට ද ඕනා ඇමෙරිකාවේ කාන්තාවෝ වගේ වෙන්න? මෙතන විවාදය බොයාට් පිරිස ඒ ආකාරයට හැසිරීම වැරැද්දක් විම ද? නැතහොත් එය බටහිර ආභාෂයක් නිසා වැරදි වීමද? හැම කෙනෙක්ම ඇමෙරිකන් වෙන්න කැමති නෑ. ඇමෙරිකාවෙත් ඉන්නවා ඇමෙරිකන් වෙන්න කැමති නැති පිරිස්. බොයාට්ල එහෙම හැසිරෙන එකේ වැරැද්ද ඔවුන් අනිත් අයට හිරිහැර කිරීම ද නැතහොත් ඔවුන් තමන්ගේ විලාසිතාවක් උලුප්පා පෙන්වන්නට යෑම ද? අනිත් අයට හිංසා කරනවා නම් ඒක වැරදියි කියල ඕනෑම කෙනෙක් ‍එකඟ වෙයි. සම්මත නීති ඉක්මවා යන ලිංගිකත්වය ගැන මෙතැන දී කතා නොකර පසු දිනයකට කල් දමමු. මොකද මෙතන විවාදය ඇඳුමේ විලාසිතාව නිසා.

ඇමෙරිකන් කාන්තාව අඳින පළඳින ආකාරය ගැන හොයලා බලමු. වැඩි ලෝක ජනගහණයක් ඇමෙරිකන් කාන්තාවගේ ඇඳුම් විලාසිතා දකින්නේ හොලිවුඩ් චිත්‍රපටි වලින් සහ මැඩෝනා, බ්‍රිට්නි ස්පියර්ස්, හැනා මොන්ටැනා වැනි මියුසික් විඩියෝ  වල දකින විලාසිතා වලින්. හැමදාම රැකියාවට යන හෙදියන්, ගුරුවරියන්, බැංකු සේවිකාවන් දිනපතා අඳින පළඳින ආකාරය දකින්නෙ ඇමෙරිකාවට පය ගහපු පිරිස පමණයි. ඒ අය පමණයි දකින්නෙ හොලිවුඩ් සහ සංගීත ලෝකයේ අය සමාජය නිරූපනය කරන්නෙ නැති බව.

ඊ ළඟට සාම්ප්‍රදායික වස්ත්‍රයක් කියා දෙයක් ඇමෙරිකාවට නැහැ. මන්ද, මෑතක උපන් රටක් නිසා රටට එක්වුනේ ලෝකයේ හැම තැනින්ම ආපු අය නිසා මෙහෙ ඉන්න මිශ්‍රණය තමන්ට පහසු ඇඳුමට හුරු වුනා. ඒත් ගොඩාක් අය තම තමන්ගෙ රටවල් වලින් අරන් ආපු සාම්ප්‍රදායික වස්ත්‍ර අඳින එකත් නතර කරල නැහැ. නේරු සූට් ඇඳින් යන ඉන්දියානු‍ ජාතිකයෝ වගේම නේරු සූට් ඇඳන් එන සුදු ජාතිකයෝ ද මෙහෙ ඉන්නවා. ග්‍රීක උත්සව ඇඳුම් ඇඳගෙන ග්‍රීක උත්සව වලට සහභාගි වන ගෑණු, පිරිමි සහ ළමයි එමටයි. සාරි ඇඳන් බඩු ගන්න කඩේට යන අයයි, මූදේ රැල්ල පාගන්න එන අයයි ඉන්නවා. කිමෝනෝ වගේ දේවල් දකින්න අඩු ඒ වගේ ඇඳුම් වලට ඇති අකැමත්ත ද අපහසුව ද කියා නොදනිමි.

කාන්තාවගේ වස්ත්‍ර වලට සම්ප්‍රදායෙන් හා ආගමික නිති රීති ආවේ අද ඊයේ නෙමෙයි. මහත් කාලයක් කාන්තාවට සම තැනක් ලැබී නොතිබීමට හේතු රාශියකි. එකක් පුරුෂයන් සිය ආධිපත්‍යයට හානියක් සිදුවේ කියා ඉඩ නොදුන්නා විය හැකිය. එසේම කාන්තාවට ශාරීරිකව පිරිමියාට හා සමාන ශක්තියක්, නිදහසක් නොමැති වීම ද හේතු වන්නට හැකිය. උප්පත්ති පාලන ක්‍රම සමඟ එතෙක් කාන්තාවට ‍ලෝකයේ නොවි විරූ නිදහසක් ලැබුණි. කාන්තාවගේ ඉදිරි ගමන ඇරඹුනේ එතැන් සිටය.

වික්ටෝරියානු සම්ප්‍රදායික අගැයුම් ගැන දන්නා අයෙක් කාන්තාවගේ වස්ත්‍ර ගැන එවැනිම අගැයුම් අදත් දෙන්නට යන්නේ ඇයි දැයි මවිත වන්නට වුවමනාය. කාන්තාවගේ රූ සපුව දැක පිරිමින්ට තම සිත්වල පැන‍ නඟිනා ලිංගික සිතුවිලි පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා කාන්තාව සිය රුව සදාකල්හිම වසාගත යුතු ද?

කාන්තා අයිතිවාසිකම් ඉල්ලා සටන් කළ අය, අර හැමදාම කියන දෙපැත්තක සිට සටන් කරන පිල් දෙකක් සේ සටන් වැදුනේ කාන්තාවගේ තත්වය නඟාලන්නට නොවීම කණගාටුවට කරුණකි. සම අයිතීන් යයි කියා ඔවුන් සටන් වැදි බොහොමයක් වැඩි කාන්තාවන් ඉල්ලා සිටි ඒවා නොවුණි. අන්තවාදයක් සොයා යෑම නිසා ඔවුන් ලබා ගත්තේ ලැබිය යුතු දේ නොව නරක නාමයකි.

කටාරි බොයාට් ලා ද නිරත වන්නේ එවැනිම වූ කර්තව්‍යයක බව පෙනේ. හැදියාවක් වෙනස් කරන්නට අන්තවාදයකට කිසිදාක හැකිවී නැති බව ඉතිහාසය නොදන්නා අයට වටහා දීම අපහසුය. කාලයකට පමණක් පෙරළෙන රැලි කාලයකට පමණක් සීමා වේ.

මා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වූයේ 80/81 අධ්‍යයන කාලයේ. පළමු වසරේ ජීන්ස් ඇඳගෙන දිනපතා කැම්පස් ආ එකම එක්කෙනා මම විය හැකිය. මුල් සති දෙකේ සායක් ඇඳගෙන ගිය මම එයින් මහත් හිරිහැරයක් වින්දෙමි. හරියට වාඩිගත නොහැකිය. දහඩියට සාය කකුල්වල එතෙනවාය. සති දෙකෙන් සාය විසි කර දැමුවෙමි. මට එදා ගවුම් තිබුනේ නැත. ගවුම් අඳින්නට මා කැමති වූයේ ද නැත. ඒ වෙන කිසිම බොයාට් චර්යාවක් නිසා නොව විලාසිතා කරන්නට අකැමති වීමයි. ටී ෂර්ට් සහ කලිසම් කිහිපයකින් මගේ මුළු විලාසිතා සියල්ල සපිරුණි. මගේ කොණ්ඩය ද කොටට කපා තිබුණි. එදා මට කැම්පස් එකේ දී සමහරු හිතවත් බවට මල්ලී කියා ඇමතූහ. සමහරු සරදමට එසේ කිව්ව ද මම ඊට එරෙහි වූයේ නැත. ඒ මට පිරිමියෙක් වන්න උවමනාවක් තිබූ නිසා නොවේ. මගේ අනන්‍යාතාවය නැති කරගන්නට අකමැති නිසාය. 2008 දී කැළණියට ගිය මට ජීන්ස් ඇඳි කොණ්ඩය කොටට කැපූ ශිෂ්‍යාවන් බොහොමයක් දකින්නට ලැබුණි.

ගවුම, රෙද්ද, සාරිය හා කලිසම ගැන ගුණ අගුණ ඒ දෙකම ඇඳ ඇති අය ද දන්නේ නැතහොත් එයින් කලිසම් පමණක් ඇඳ ඇති අය පමණි ද වඩා දන්නේ?

පිරිමින්ට මේ මේ ආකාරයෙන් වස්ත්‍රයෙන් සැරසෙන්න හොඳයි හෝ එපා යයි කියන කාන්තා සංවිධාන නැත්තේ ඇයි? කාන්තාවට පිරිමියා කුමන ඇඳුමින් සිටියාත් හෝ ඇඳුම් නොමැතිව සිටියාත් ලිංගික ආශාවෙන් සිත පාලනය කර ගන්නට බැරිව යන්නේ නැති නිසා ද?

කලිසම් අඳින්න ඉඩක් තිබූ පලියට හැම කාන්තාවක්ම කලිසමින් සැරසෙන්නේ ද නැත. එසේම කලිසමට ඉඩක් දුන් නිසා ඇය ඊ ළඟට බිකිනියට යොමු වෙන්නේ ද නැත. එහෙම කරනා අය කවුරු හා කිව්වත් කවුරු එපා කිව්වත් එසේ කරනු ද ඇත.

ඇමෙරිකාවේ මෝර්මන් කියා ආගමික සංවිධානයක් ඇත. එය යූටාහ් ප්‍රාන්තයේ වඩා ප්‍රචලිත ආගමකි. මෝර්මන් කාන්තාවන් දෙවුර වැහෙන සේ ඇඳුම් අඳිති. එසේම පෙන්සිල්වේනියාවේ වැඩිපුර සිටිනා ආමිශ් කාන්තාවන් සියල්ලෝම අඳින්නේ ලංකාවේ ක්‍රිස්තියානි සහෝදරියන් අඳිනා ආකාරයේ එකම විලාසිතාවෙන් මසාගත් දිගු නිල් ගවුමක් සහ හිස වසා ගන්නා ලේන්සුවකි. ආමිශ් ජනතාව ඉතා පැරණි සම්ප්‍රදායන් රාශියක් අනුගමනය කරන්නෝය.

කටාරය සහ එක්සත් අරාබි එමයිරේට්ස් බටහිර බලපෑම කියා විරෝධය පාන කල, ඉහත සඳහන් පිරිස් දෙකම ඇමෙරිකාවේ ම වාසය කරමින් තම සම්ප්‍රාදය පවත්වා ගෙන යෑම කරන්නේ කෙසේද කියා විමසිය යුතුය. ඔවුනට මෝර්මන් හෝ ආමිශ් නොව වෙනත් වස්ත්‍ර ඇඳීමෙන් රටේ නීති වලින් දඬුවම් නොලැබේ. ඔවුන්ගේ පල්ලි වලින් ද මරණ දඬුවම හෝ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති හෝ මානසික රෝහල් වලින් ප්‍රතිකාර නියම කෙරෙන්නේ නැත. ඔවුන් ඒ පිළිවෙත් රකින්නේ තමන් විසින් තෝරා ගත් තීරණයක් නිසාය.

ෂා රජු බලයෙන් ඉවත් කළ දා පටන් ඉරානයේ අයටොල්ලා කුමෙයිනි ප්‍රමුඛ අරගලයක කොටසක් වූයේ කාන්තා ඇඳුම පිළිබඳවය. එහෙත් අද වනතෙක් ඔවුනට ආගමික නීති මඟින් හෝ රටේ නීති මඟින් කාන්තාවගේ සිත වෙනස් කරගන්නට හැකි වී නැත. එළිපිට අඳින්නේ නැති වස්ත්‍ර හොරෙන් ඇඳීම හෝ හැංගි හැංගි ඇඳීම, දඬුවම් විඳ විඳ තවමත් සිදු වන්නේ ඇයි කියා ද යන්න වටහා ගන්නට නොහැකි මිනිස් ස්වභාවය තේරුම් ගත නොහැකි අයටය.

වැරැද්දක් වැරදි ඇයි යයි කියන කල ඊට පදනමක් තිබිය යුතුය. මා කැමති නැති නිසා හෝ ඔබ කැමති නැති නිසා යන්න ඒ පදනම නොවේ. ආගමික පදනමක් මත එය තීරණය වූ කල ආග‍‍ම හැර දමා යන්නෝ ඇති වෙයි. රටේ නිති මඟින් ස්ථාපිත කරන කල රට හැර දමා යන්නෝ වෙති. නමුත් පිළිගත හැකි ආචාර ධර්ම පදනමක් මත හරි වැරදි පෙන්නා දෙන කල එය වටහා ගන්නට මිනිසාට හැකි නිසා පිළිගන්නේ සිතා බැලීමෙනි. පෙන්සිල්වේනියාවේ ආමිෂ් ආගමික කාන්තාවන් හා යූටාහ් හි මොර්මන් ආගමික කාන්තාවන් තම ආගමේ අනුමත ආකාරයට ඇඳුම් අඳින පිළිවෙත පවත්වා ගෙන යන්නේ ඔවුනට ආගමික පසුබිමෙන් ඇති පදනම නිසාය. එසේම ඒ ආගම් වල ඉපදුන කාන්තාවන් ඊට විරුද්ධ වූ නිසා ආගම හැර දමා යෑම නවතනු නොහැකිය.

සම්ප්‍රදාය හෝ වැඩි කැමැත්ත ආචාර ධර්මයක පදනමක් නොවේ. කාගේ සම්ප්‍රදාය ද කාගේ වැඩි කැමැත්ත ද කියා පදනමක් තෝරා ගත නොහැකිය.

මෙසේ කල්පනා කරද්දී ගෝලීයකරණයේ විපාකයක් යයි තමා එකඟ නොවන ඕනෑම දෙයක‍ට බනින පුරුද්ද නිසා සත්‍ය ලෙසින් සමාජයේ පවතින හැදියාව නොසැලකීමට අප හුරු වී ඇත. ඒ ගැන සොයා දැනගන්නට ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇත. එහෙත් විමසා බලන හුරුවක් නැති නිසා, තමාගේ හුරුවට, තමා එකඟ දේට නිතරම අවනත වීමත්, එකඟ වීමත් අන් අයගේ හුරුව හෝ කැමැත්ත සොයා බැලීම පවා තරයේ ප්‍රතික්ෂේප කිරීම අපි අපගේ ප්‍රතිපත්තිය කරගෙන ඇත්තෙමු.

පහත ඇති පින්තූරය අන්තර්ජාලයේ ගූගල් කරලා ලැබුණුක්. හෙට අනිද්දා පිටවෙන හිටපු මිස් ශ්‍රී ලංකා රඟපාන ඇලඩින් චිත්‍රපටිය ගැන හොයද්දි එකේ මූලික කාන්තා චරිතය රඟපාන ජැකලීන් ෆර්නැන්ඩ්ස්ගේ ජායාරූපයකි මේ. ජැකලීන් ශ්‍රී ලාංකිකයි කිව්වාට හැදිලා වැඩිලා තියෙන්නෙ බහරේන් වල. තමන්ගේ කැමත්තට මෙසේ ඡායාරූපයකට පෙනී සිටීමට ඉඩ ඇති නිසා හැම කාන්තාවක්ම බොයාට්ලා වෙයි ද? මේ ඡයාරූපය දුටු පමණකින් අපි ජැකලීන්ගේ අගැයුම් ගැන ද විනිශ්චයන් දෙන්නට ඉක්මන් වන්නේ ද? ඉතින් මේ ඡායාරූපය සමස්ත ලාංකික කාන්තාව හෝ සමස්ත බහරේන් කාන්තාව නිරූපනය නොකරනවා සේම, කටාර් හි බොයාට්ලා ද සමස්ත බටහිර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ නිරූපනය නොකරනවා යන්න ඔබට වටහා ගත හැකි යයි සිතමි.

(photo from Google images)

21 Responses

Subscribe to comments with RSS.

  1. uditha said, on පෙබරවාරි 1, 2010 at 11:30 ප.ව.

    හොද ලිපියක්

  2. Sarath Gunatunga said, on පෙබරවාරි 2, 2010 at 4:56 පෙ.ව.

    ඕනෑම කෙනෙකුට තමාට කැමති ඇඳුමක් ඇඳීමට නිදහසක් සහ අයිතියක් ඇත. සමහර රටවල් සිය සංස්කෘතිය සභ්‍යත්වය ආදී ගුණධර්ම රැකගැනීම උදෙසා නොයෙක් නීති රීති පනවා ඇත. ලිංගිකත්වය උදෙසාම ජීවත්වන ඇමෙරිකාව වැනි බටහිර රටවලට වී ඇති නස්පැත්තිය දෙස බලන විට ඊට පිලිතුරද ඒ සමීපයේම ඇති බව පැහැදිලිය. අසීමිත අශාවන් පසුපස දුවන බටහිර තරුණ තරුණියෝ ඒ නිසාම මානසික රෝගයන්ට ගොදුරු වෙති. ඔවුන්ට ඔවුන්ගේ සිතිවිලි පාලනය කරගත නොහැකිව නොයෙක් අපරාධ කරති. මිනී මැරුම්, කාමුක අපරාධ මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. සිත පාලනය කර ගත හැකි තැනැත්තා යම්කිසි රූපයක් දෙස බලන්නේ සිහියෙන් යුතුවය. එවිට පෙනෙන්නේ ඒ අඩ නිරුවත් රුවෙහි ඇති පිලිකුල් බව පමනය. ඔබේ සටහනෙහි ඇති රුව හරියට සිහියෙන් බැලූ විට පෙනෙන්නේ දොර නමයකින් අපවිත්‍ර දෑ පිටකරන කුණුප තිස් දෙකකින් යුතු පැය 12ක් වත් සෝදා පිරිසිදු නොකල හොත් දුගඳ හමන මහා දුක් ගොඩක් ලෙසටය. සමකින් වැසී ගිය මුහුනෙහි සම නැතිනම් ඇත්තේ පිලිකුල් සිතෙන හිස්කබල පමණකි. වෙන අන්දමකින් කෙනෙක් මේ සිරුර දෙස බලන්නේද ඒ තැනැත්තාට මහඟු වස්තුවක් සේ පෙනෙන්නට පුලුවන. තවද ලබු ගෙඩියක් සේ පෙනෙන උදර ප්‍රදේශයේ වම් පසින් අඟල් තුනක් වන් දුරක් ඇතුලට ගිය විට අසූචි නිසැකවම හමුවනු ඇත. මේ කාන්තාව සමච්චලයකට ලක් කිරීමට මට අවශ්‍යතාවයක් නැත. මා අදහස් කරන්නේ ඇති සැටි නියම ආකාරයෙන් බලන අන්දමය.

    තවමත් රැයේ හෝ දවාලයේ කාන්තාවකට තනිවම ගමන් කිරීමේ හැකියාව ඇත්තේ මැද පෙරදිග පමණය. පෙර කල අතේ මැණිකක් තබා ගෙන කාන්තාවකට තනිවම මහමග යා හැකි බව අපේ ඉතිහාසය පවසයි. බටහිර ආක්‍රමණිකයන්ගේ ආක්‍රමණයන්ගෙන් පසු අපේ සාර ගුණදහම් වියැලී ගොස් ඇත. අච්චාරු සංස්කෘතියක්ද බිහි වී ඇත!!!

    • arunishapiro said, on පෙබරවාරි 2, 2010 at 9:03 පෙ.ව.

      ඔබ ඕනෑම කෙනෙකුට තමාට කැමති ඇඳුමක් ඇඳීමට නිදහසක් හා අයිතියක් ඇත යන මූලික ප්‍රස්තුතය ගෙන එන්නේ මොන පදනමක් මත යන්න විස්තර නොකරයි. එය එසේ කියූ පමණින්ම සැවොම ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්නා එකක් නොවන බව පෙනී යන්නේ රට රටවල් තම තම දේශ සීමා වල අඳින පළඳින ඇඳුම් වලට සීමා හා නීති පනවා ඇති හෙයිනි. සංස්කෘතිය, සභ්‍යත්වය හා ගුණ ධර්ම කාලයෙන් කාලයට වෙනස්වන ඒවාය. ෂා රජු සිටි ඉරානයේ සංස්කෘතිය නොව අද ඇත්තේ වෙනත් සංස්කෘතියකි. පර්සියාවේ තිබුනු සංස්කෘතිය නොව අද මැදපෙරදිග ඇත්තේ වෙනස් වූවකි. ජර්මනියේ වූ ගුණ ධර්ම හිට්ලර් සිටි කාලයෙන් වෙනස් ව ඇත. ජේම්ස් රජ කාලයේ එංගලන්තයේ වූ සභ්‍යත්වය අද වෙනස් වි ඇත. වහල්ලු අයත් කරගෙන සිටි මුල් ඇමෙරිකානු සංස්කෘතිය අද කළු ජනාධිපතිවරයෙක් පත්කරගෙන සිටි. ඉතින් වෙනස් වන දෙයක් පදනමක් කරගත නොහැකිය. මෙය මාගේ තනි පුද්ගලික මතයක් නොව ඇරිස්ටොට්ල් සිට නූතන ආචාර ධර්ම දාර්ශනිකයන් දරන මතයයි.

      ඊ ළඟට “ඇමෙරිකාව වැනි ලිංගිකත්වය සඳහාම ජීවත්වන බටහිර රටවල්” ගැන විමසා බලමු. ඇමෙරිකාව තවමත් එක් පුරුෂයෙක් හා එක් කාන්තාවක් හා විවාහය නීතියෙන් අනුමතයට සටන් වදින රටකි. ලංකාව වගේ එකගෙයි කෑම මෙහි සම්මත නීතියෙන් සිදු වී නැත. ඇමෙරිකාවේ කිසිම ජනාධිපතිවරයෙක් ශ්‍රී වික්‍රම රාජසිංහ හෝ සීගිරි කාශ්‍යප මෙන් නීත්‍යානුකූලව අන්තඃපුරයක් පවත්වා ගෙන ගියේ නැත. නමුත් අනෙක් රටවල් වල සේම එක් එක් පුද්ගලයන් අනාචාරයේ හා අසීමිත ආශාවන් පස්සේ දුවන බව සත්‍යයකි. ඒ සමස්තය නොව අල්පය බව වටහා ගත යුතුය. එය සමස්තය නම් වහාම නිති මඟින් සියල්ලෝම එය සම්මතය කරනු ගනු ඇත.

      ලෝකයේ කාමුක අපරාධ වඩාත්ම සිදු වන්නේ සබ් සහාරන් අප්‍රිකාවේය. (වාර්තා අනුව) ඒ නිසාම සබ් සහාරන් අප්‍රිකාවේ (සහාරා කාන්තාරයට පහළින් ඇති) මිලියන 800 ක් වාසය කරනා ජනතාවක මිලියන 22.4 කට HIV වැළඳී ඇත. වැඩියෙන්ම මින් මරණයට පත්වන්නේ තරුණ පිරිසයි. ඒ පැතිවල දෙදෙනෙක් හෝ ඊට වැඩි පුමාණයක් හා ලිංගික කටයුතු වල යෙදීම සම්මතයකි. එසේම කණ්ඩායම් පිටින් ගොස් ‍අනෙක් ගෝත්‍රික නගර පිටින් විනාශ කර දමා එහි කාන්තාවන් දූෂණය කිරිම සාමාන්‍ය සිදුවීම්ය. එවැනි ලිංගික අපරාධ ඇමෙරිකාවේ සිද්ධ නොවේ. මිලියන 529 වසනා ඇමෙරිකාවේ HIV වැළඳී ඇත්තේ මිලියන 1.4 කටය. ඒ සම්මත නීති වලට පිටතින් කටයුතු කරනා අය යයි සැලකුව හොත් එසේ “ලිංගිකත්වය සඳහාම” කටයුතු කරන සංඛ්‍යාව අල්පයක් බව දැනගත හැකිය. දත්ත සොයා ගන්නේ විකිපීඩියා, වර්ල්ඩ් බෑන්ක් සහ අන්තර්ජාතික සංවිධානයක් වන Avert.org වෙතිනි.

      කුණු දකින අයට පෙනෙන්නේ ද කුණු පමණි. කුණු ගැන අවබෝධය නිසා ලස්සන වඩාත් හොඳින් රස විඳිය හැකිය. සිරුර මහඟු වස්තුවක් වත් දෙතිස් කුණුපය වත් නොව ජීවත් වන්නට අවශ්‍ය නිවසකි. ඒ නිවස පිරිසිදු කර දැකීමට ප්‍රිය ආකාරයෙන් තබා ගැනීම එහි වාසය කරන්නාටත් අවට ඉන්නා අයටත් සහනය ගෙන දෙයි.

      ඔබ කාන්තාවක් නොවන නිසා මැද පෙරදිග කාන්තාවන් තනියම ගමන් කරනා බව මෙසේ කියා ඇති බව පැහැදිලිය. මන්ද විලාසිතා පොලීසිය හඹා අවුත් ගාල් කරගෙන හිර කූඩුවට ගොස් දාන හැටි ඔබ නොදන්නා බව පෙනේ. මැද පෙරදිග ගෘහ සේවයට ගිය කාන්තාවන් හා කතා බහ කර දැනුවත් වන්න. ඔබ ඇමෙරිකාවට පය ගසා නැති බවත් ඒ කියමනෙන්ම පෙනේ. මහ රෑ කාන්තාවක් වන මා තනිවම කිසි කරදරයක් නැතිව ඇමෙරිකාවේ අවශ්‍යතාවයක් වූ කල ගමන් කරමි. මැණිකක් ඇත්නම් එයත් අතේ තබා ගෙන ගමන් කර පෙන්වන්නෙමි.

      ඉතින් මෙසේ බලනා කල, ඉහතින් සඳහන් සියල්ල ඔබ ඔබට කැමති ආකාරයෙන් පමණක් හිතන නිසා ඔබ ලියූ අවසන් වාක්‍යයන් දෙක ද ඔබ ඔබට කැමති ආකාරයෙන් අනුමාන කරගෙන වැරැද්ද තවත් කෙනෙකු පිට පටවා ඇත.

    • A said, on පෙබරවාරි 2, 2010 at 11:09 පෙ.ව.

      “තවද ලබු ගෙඩියක් සේ පෙනෙන උදර ප්‍රදේශයේ වම් පසින් අඟල් තුනක් වන් දුරක් ඇතුලට ගිය විට අසූචි නිසැකවම හමුවනු ඇත.”

      ඔබ විවාහකද යැයි මම නොදනිමි. නමුත් බිරිදකගේ යෝනියට අගල් කීපයක් දුරින් අසූචි ඇතයි කියා ඔබ ලිංගික ක්‍රියාවලින් වැලකී සිටිනවාද? සාමානය අපි වගේ පෘතග්ජන මිනිස්සු පිලිකුල් භාවනාව වෙනුවට ගැහැණියකගේ සුන්දරත්වය රසවින්දිනවා

    • Sam said, on පෙබරවාරි 2, 2010 at 3:52 ප.ව.

      සරත් මහත්තයා තමාගේම හැගීම් එක්ක බයානක සටනක යෙදිලා වාගේ. මනසින් කාන්තාව නිරුවත් කර, දොරවල් එකින් එක සොයා, උදරයට රූපකද, මනසින් ශරීර සෝදනයෙන්ද නොනැවතී, සරත් මහත්තයා මනසින් ශරීරාන්ග අතුලට අගලින් අගල ගනිමින් ගමන් කරයී. සරත් මහත්තයාට මෙලෙස “ඇති සැටියෙන්” බලන්න සිදුවන්නේ රූමත් කාන්තාවන් දෙස පමනද? තමන්ගේ ලාබාල දරු සිගිත්තන් දෙස බලා, මේ අසූචිය, පිලිකුල් හිස් කබල්යැයී, දුගඳ හමන මහා දුක් ගොඩක් කියාත් සිතන්න සිතනවාද?

      මිනිසා ජීවත් වන්නේ කුමකටද යන පුරශ්නෙට බොහෝ පඩිවරු කාලාන්තරයක් පුරා උත්තර සොයන්න දැගලුවේය. පලමු වතාවට සරත් මහතා බටහිර මිනිසුන් ජීවත් වන්නේ කුමක් උදෙසාදැයී යන පුරශ්නයට උත්තරය සොයාගෙන ඇත. වෙලාවක් ලැබුනු කල ලංකාවේ මානසික රෝග, සිය දිවි නසා ගැනීම්, අපරාද, ස්ත්‍රී දූශන, මිනී මැරීම්, යුද්ද කෝලහාල වාගේ නස්පැත්ති දෙසත් බලා පෙරදිග උදවිය ජීවත් වන්නේ කුමකටදැයී යන්න ප්‍රකාශ කරන ලෙස ඉල්ල සිටිමි.

      කාන්තාවන්ට තනියම රාත්‍රියේ වීදි සංචාරක කරීමට ඉඩ දී ඇති මැද පෙරදිග රට කියන්න පුලුවන්ද?

      මැනිකක් අත තබාගේන ගිය කාන්තාව කවුද? ඉතිහාසයයැයී කී පලියෙන් සියලු දේ සබා සම්මත වන්නේ නැත. හදෙන් සහල් ගෙනෙන බවත් වැඩි දුර නොවේ, බොහෝම ලග පහත ඉතිහාසයේ කියා ඇත. කියන්නම් වාලේ කියන උපමා මිසක සැබෑ කතා නොවෙයී.

      නුවර යුගයේ කතාවක , ගැබිනි මවක් දරකැඩීමට බැද්දට ගිය විට අපූරු පලතුරු ගොඩක් එකතු කර ගන්නට ලැබෙයී. පලතුරු ටිකත් අඩලාගෙන ගෙදර එන අතරදී උන්දෑට විලි බර ඇතිවී ගැහැනු දරුවෙකූ ප්‍රසූත කරයී. පලතුරුත් සමග දරුවාත් අරගෙන ගෙදර එන්න බැරි නිසා, ගැනු දරුවා කැලයේ දමා පලතුරු ගෙදර ගෙනෙයී. එකගෙයී කෑමට අඩු කාන්තාවන් ප්‍රතිශතයකුත්, වැඩි පිරිමි ප්‍රතිශතයකුත් තබා ගත්තේ ගැහැනු දරු සිගිත්තන් ගලේ ගසා හෝ ගගේ ගිල්ලවා මරා දැමීමෙනි. අපි කාන්තාවට සැලකුවේ ඔය ආකාරයටය. මා මේ කියන්නේ ආවාට ගියාට අහුලගත් ඉතිහාසයේ කවි නොවෙයී, නඩු තීන්දුය. සුද්දත් සමග එකතු වී අච්චාරු දැමු මද්දුම බන්ඩාරගේ අප්පා පලවෙනි පාරට දරුවන් මැරීම තහනම් කීරීමේ නීතී ගෙන ආවේය. එක ගෙයී කෑම වැලලී ගියේ එලෙසය. දරුවන් මැරීම නැවතුනේ එලෙසය.

  3. kasunmathota said, on පෙබරවාරි 2, 2010 at 9:01 පෙ.ව.

    කාම සිතුවිලි නැති මානවයන් ඉතා සුළු පිරිසක් ඇතිබව වැටහිනි. ගැහැනියට කැමති දෙයක් කිරිමට ඉඩ තවම බොහො තැනක නැත. සොබාදහම ලස්සන කරන්නෙ ගැහැනියයි. පින්තුරය රස වින්දෙමි.

  4. A said, on පෙබරවාරි 2, 2010 at 11:14 පෙ.ව.

    “මුල් සති දෙකේ සායක් ඇඳගෙන ගිය මම එයින් මහත් හිරිහැරයක් වින්දෙමි. හරියට වාඩිගත නොහැකිය. දහඩියට සාය කකුල්වල එතෙනවාය. ”

    ලගදි නලින් ද සිල්වා ගෑණු ලමයිට ලමා සාරි ඇදන් එන්න කියපු කතාව මතක ඇති නේ? නමුත් බස්වල සිටින රෝගීන් බඩ අතගාන කොට මොකද කරන්නේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන කතා නෑ.
    ගෑණු ලමයෙක් කලිසමක් ඇදගෙන බස් එකේ යන්නෙත් බොහොම අමාරුවෙන්

  5. dilee said, on පෙබරවාරි 2, 2010 at 12:37 ප.ව.

    nice post ,
    but Srilankans will believe you in about 2050 (after this royal family)

  6. nadeera said, on පෙබරවාරි 2, 2010 at 2:15 ප.ව.

    හොද ලිපියක් මම ඉන්නෙ සෞදි වල මෙහි බොහෝම නිති තදයි සියළුම ස්ත්‍රින් කය වසා ගැනිම අනිවාර්ය අංගයක්(කළු දිග ගවුම) නමුත් මෙහි ඈදුම් පැලුදුම් සාප්පු වල ගිය විට දැක ගත හැක්කෙ ඉතා කොට විවෘත වු ඈදුම්ය.ලොකයේ අලුතින් සියළුම වර්ගයේ මොස්තර මෙහි දැක ගත හැකිය.ඔබට පුළුවන් you tube වලින්සොයා ගන්න පුළුවන් සෞදි කාන්තාවක් තම සංස්කෘතිය හා ආගමික නිති ඈදුමි පිලිබදව විදේශ කාන්තාවක් සමග කරන විවෘත සාකචඡාවක්.තව ලියන්න දේ තිබුනත් වේලාවක් නැත.
    දිගටම ලියන්න…………………

    • arunishapiro said, on පෙබරවාරි 2, 2010 at 2:51 ප.ව.

      අ‍ගේ වැඩියි නදීර ඔයා සෞදියේ සිටම ප්‍රතිචාරය එව්වට. එහෙම පුතිචාර නොදකින නිසා නොදන්න දේවල් දන්නවා වගේ කියන අය ඇත්ත ද කියන්නේ කියා සැක කරන අයට උදව්වක් වෙනවා තව දුරට හිතලා බලන්නට. මම සයිප්‍රසයේ පළ කරන “සොඳුරුසර” සඟරාවට විටින් විට ලිපි යවන නිසා ලාංකික ගෘහ සේවිකාවන් ලෙස රැකියා කරන අයගේ තොරතුරු ඒ අයගෙන්ම දැන ගනිමි. එසේම කලකට පෙර ඇසුර රේඩියෝවේ ප්‍රචාරය වූ “කතරට කෙම් බිම” වැඩ සටහන ද අන්තර්ජාලයෙන් ඇසුවෙමි. ස්තූතියි.

  7. ewabalawa said, on පෙබරවාරි 2, 2010 at 9:30 ප.ව.

    පුද්ගල චින්තනය වූ කලී අචින්ත්‍ය විෂයයක්ම බැවින් විලාසිතා ගැන හෝ වේවා ලිංගිකත්වය ගැන හෝ වේවා අරුණි තුල හෝ සරත් කෙබදු කල්පිතයක් තිබුනද වැදගත් වන්නේ ඒ පිලිබදව උපේක්ෂාවෙන් බලා හිදීමය.

    සරත් මහතාගේ අදහසට අනූව සිහියෙන් යුතුව රූපයක් දෙස බැලීමෙන් මට නම් කිසිදු පිලිකුලක් ඇති නොවේ. මන්ද යත් සැබෑ සිහිය පවතින්නේ විදර්ශනා සමාධිය තුල බවත් එයට අනූව නාම රූප ඇතුලු සියල්ල ක්ෂණිකව ඇතිව නැතිවී යන දෙයක් බැවින් පිලිකුලක් උපදවාගැනීමට තරම් කාරණයක් එහි ඇත්දැයි මම නොදනිමි.

    ඔබ අසූචි දුගඳ හමන මහා දුක් ගොඩක් ලෙස දකින්නේ කුඩා කල සිටම ඔබගේ මම නැමැති විඤ්ඤාණය මෙහෙයවීමෙන් එය ඒ ආකාරයෙන් දකින නිසාය. පාරේ යන බල්ලකු ගතහොත් ඌ ඔය කියන අසූචි හෝ කුණු ඉවකරන්නේ කොතරම් ආශාවකින්ද, එය ඌගේ චිත්තය හෙවත් විඤ්ඤාණය වන හෙයිනි. (මා ඔබට ඔබේ බිරිදගේ අසූචි ඉව කරන මෙන් මෙමගින් කියන්නේ නැත. සම්මත ධර්ම කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා පරමාර්ථ ධර්ම කෙරෙහි සිත යොමු කරන මෙන් කෙරෙන ඉල්ලීමක් වන අතරම, ඒ පිලිබද ධර්ම කාරණා මෙහි සටහන් කරන්නට ගොස් විශ්වයේ යථාර්තය නොදත් අද-බාලයින්ගේ හාස්‍යයට ලක් නොවැන්නැයි කෙරෙන කාරුණික ඉල්ලීමකි.)

    විලාසිතවක් කවර ආකාරයකින් කරද, එහි මූලික අභිමතාර්ථය ඇස ‍රැවටීමයි. එලෙසින්ම තම මමත්වය(තම අවයව,රූපය, ධනය හා බලය) අනෙකාට උලුප්පා පෙන්වීමේ සම්බන්ධයෙන් යටි හිතේ පවතින කැත ආශාවයි. එය පහසුව සදහා භාවිතය වෙනම කාරණයකි. කාලයත් සමග වෙනස්වන මෙම විලාසිතා නැමැති සංකල්පය ඒ දෙස බලන පුද්ගලයාගේ චින්තනය සමගද අනුරූප වෙයි.

    එය ගැන දොස්දකින්නට හෝ හෙලාදැක්මට නොයා උපේක්ෂාවෙන් බලා හිදීම වඩා වටී යැයි මට සිතේ. සුදු සරම් නැති හෙයින් කොට කලිසමක් හැද(එකල මට වයස අවූ 19 විනි) පලමු වතාවට භාවනා මධ්‍යස්ථානයකට ගිය මා දෙස එහි අන් අය අවභ්ගාවෙන් මෙන් බලා සිටියේ ඇයිදැයි මම අදටත් නොදනිමි.

  8. Sarath Gunatunga said, on පෙබරවාරි 3, 2010 at 1:30 පෙ.ව.

    http://sgunatunga.blogspot.com/2008/12/blog-post_23.html?zx=fbf967429d931fb7

    ශපීරෝ මහත්මියනි, ඉහත් සඳහන් පුරුක ඔස්සේ ගොස් මා විසින් රචිත ආපෝ, තේජෝ, වායෝ, පථවි නම් වූ සටහනක් ඇත. ඔබේ සටහනට මම ප්‍රතිචාරයක් තබා ඇත්තේද ඒ තේමාව යටතේය. ඒ බව නොදන්නා අය ඇති බව අනෙක් ප්‍රතිචාරයන් කියැවූ විට පෙනී යයි. ඇමෙරිකානුවන්ගේ ලිංගිකත්වය පිලිබඳව මා පවසා ඇත්තේ සුප්‍රසිද්ධ මනෝ වෛද්‍ය විශේෂඥයෙක් වන බ්‍රයන් වෛයිස් මහතාගේ මතයක් අනුගමනය කිරීමෙනි. නීතිය කෙසේ වුවත් දික්කසාද අධික, බුදු දහමට අනුව “කාමයෙහි වරදවා හැසිරෙන” ඒ නිසාම නොයෙකුත් රසායනික බෙහෙත් ද්‍රව්‍ය භාවිතා කරන රටක් වශයෙන් අමෙරිකාව ප්‍රසිද්ධියක් උසුලයි.

    බුදු රජානන් වහන්සේ ලොව සියලු ධර්මතාවයන් වෙනස් වන බව දෙසූ සේක. උන්වහන්සේ ඒ සියල්ලම ‘සංඛත’ ධර්මයන් වශයෙන් හැඳින් වූ සේක. ඔබ පෙන්වා ඇති වෙනස් වන දේවල් ඒ ගනයට අයිති දේවල්ය. අවම වශයෙන් ‘අසංඛත’ වන ධර්මතා කිහිපයක් ඇති බව ද උන්වහන්සේ වදාලහ. එනම් ආර්ර්‍‍ය සත්‍ය සතරය. ප්‍රථම ආර්ය සත්‍යය වන ‘දුක’ ඇත්තේ මේ පංචස්කන්ධයේම බවත් උන්වහන්සේ වදාලහ. රූපස්කන්ධය පලමුවැන්නයි. රූපයෙහි ආස්වාදයක් ඇති බවත්, ඊට වඩා ඇත්තේ ආදීනව බවත් උන්වහන්සේ පැවසූ සේක. එයින් නිදහස් වීමට නම් රූපයට ඇති බැඳීම නැති කර ගත යුතු බවත් ඒ නැති කිරීමට ඇති මගත් පැහැදිලිවම වදාල සේක. මම ඔබ සැමට කියා දෙන්නට තැත් කලේද උන්වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය බවත් මතක තබා ගන්න. වාදයෙන් ඔබ දිනුම්!

  9. kasunmathota said, on පෙබරවාරි 3, 2010 at 4:38 පෙ.ව.

    http://sgunatunga.blogspot.com/2008/12/blog-post_23.html?zx=fbf967429d931fb7

    This blog is open to invited readers only.

    Play your game in open environment please.

  10. dilee said, on පෙබරවාරි 3, 2010 at 5:15 පෙ.ව.

    @Sarath Gunatunga
    බුදු දහමට අනුව “කාමයෙහි වරදවා හැසිරෙන”.

    අත්තටම කාමය වරදවා හසිරීම යන්නෙන් අදහස් වන්නෙ කුමක්ද?
    නිවැරදි කාමයෙ සීමා මොනවාද ?

  11. Sarath Gunatunga said, on පෙබරවාරි 3, 2010 at 5:48 පෙ.ව.

    @dilee, Please refer a Buddhist text, as these things are Buddhist basics

  12. xBoylk said, on මැයි 23, 2010 at 2:01 ප.ව.

    “පිරිමින්ට මේ මේ ආකාරයෙන් වස්ත්‍රයෙන් සැරසෙන්න හොඳයි හෝ එපා යයි කියන කාන්තා සංවිධාන නැත්තේ ඇයි?”
    මොකද නැත්තේ !
    පිරිමි ගැහැණු ඇඳුම් අඳින්නේ නැති නිසා එහෙම කියන්ට අවස්තාවක් ලැබෙන්නේ නෑ. පිරිමි ගැහැණු ඇඳුම් අඳින්න පටන් ගත්තොත් “එපා” කියල කියයි. කෙලින්ම නොකිවුවත් වක්‍රාකාර ලෙස හෝ කියයි.

    ගැහැණුන්ට කලිසම් අඳින්න හොඳනම් පිරිමි ගවුම් ඇන්ද කියල මම නම් එහි වැරැද්දක් දකින්නේ නෑ. මෙතන තියන එකම ප්‍රශ්නය කාන්තාවන්ට ඔය ලැබිය යුතුයි කියන තැන ලබා දීමට පිරිමි ගැහැණු ඇඳුම් ඇඳීමෙන් වැලකීසිටිය යුතුද? නැද්ද? කියන එක විතරයි

    • arunishapiro said, on මැයි 24, 2010 at 7:13 පෙ.ව.

      xBoylk, මොකද නැත්තෙ කියලා පිළිතුර වශයෙන් ඔබ පෙන්වන්නේ //පිරිමි ගැහැණු ඇඳුම් අඳින්නේ නැති නිසා එහෙම කියන්ට අවස්තාවක් ලැබෙන්නේ නෑ// යන්නයි. ලෝකයේ ප්‍රසිද්ධතම කාන්තා ඇඳුම් අඳින පුරුෂයා වන්නේ RuPaul Andre Charles නැමැත්තාය. ඔහු ගැන මෙතැනින්. http://en.wikipedia.org/wiki/RuPaul ඔහු නළුවෙකි, නිරූපික‍යෙකි, සිංදු ලියන්නෙකි. එසේම drag queen නොහොත් ගැහැණු වස්ත්‍ර අඳින පිරිමියෙකි. අද ගැහැණු ඇඳුම් ඇඳ පිරිමි විසින් තරඟ කරන රූපවාහිනී රියැලිටි ෂෝ වැඩසටනක් ද ඇමෙරිකාවේ ඇත. මෙවැනි පුද්ගලයෝ තායිලන්තයේ ද වාසය කරති. ලෝකයේ වෙනත් තැන්වල ද අප්‍රසිද්ධියේ ගැහැණු ඇඳුම් පිරිමි ඇඳුම් වලට යටින් ඇඳගෙන උසස් රැකියාවල වැඩට යන අය පවා සිටිති. සම්ප්‍රදායික වස්ත්‍රයක් ලෙසින් ස්කොට්ලන්ත පුරුෂයෝ (චාල්ස් කුමාරයා පවා) ජංගියක් නැතිව සායක් අඳිති. නමුත් කිසිම කාන්තා සංවිධානයකින් ඔවුනට ගැහැණු වස්ත්‍ර පැළඳීම ගැන දෝෂාරෝපණයක් එල්ල වී නැත. ප්‍රශ්නය කවුරු කුමක් ඇඳීම ද යන්න නොව කවුරු කුමක් ඇන්ඳත් තවත් අයෙක් ඒක ප්‍රශ්නයක් කරගන්නේ ඇයිදැයි කියාය. “කාන්තාවන්ට ලැබිය යුතුයි කියන තැන” ගැන කතාබහක් නොවෙයි.

      • xBoylk said, on මැයි 25, 2010 at 8:07 පෙ.ව.

        පිරිමි ගැහැණු ඇඳුම් ඇඳීම ගැන කාන්තා සංවිධාන හා කාන්තාවන්ගේ විරුද්ධතාවයක් නෑ කියන එක පිලිගන්න බෑ. සමහර විට RuPaul Andre Charles වැනි අයට ජානමය වශයෙන් ප්‍රශ්නයක් තියනව ඇති. එම නිසා කාන්තා සංවිධාන එසේ කිරීමට විරුද්ධත්වයක් නැතුව ඇති. නමුත් ජානමය ගැටලුවක් නැති බහුතර පිරිමි පිරිස ගැහැනු ඇඳුම් අඳින්න ගත්තොත් කාන්තා සංවිධාන එයට විරුද්ධ වීමට ඉඩ ඇත.ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ පිරිමින්ට ගවුමක් හෝ සායක් ඇඳගෙන පාරේ බැහැලා යන්න පුලුවන් නිදහසක් තියනවද? එසේ කලහොත් ඔවුන්ට උසුලු විසුලු කිරීම, හින්ට් ගැසීම, සිනාසීම වැනි දේවල් කරනු ඇත. එමගින් නිරූපනය වන්නේ කාන්තාවන්ගේ විරුද්ධතාවය නොවේද?

        සමහරු කියයි එසේ උසුලු විසුලු කරන්නේ කාන්තාවන් පමනක් නොව පිරිමිත් ගැහැනු ඇඳුම් අඳින පිරිමින්ට එසේ උසුලු විසුලු කරනවා කියලා. පුරුෂ ආධිපත්‍යය තිබෙන කාලෙත් කාන්තාවන්ට විවිධ දේ කිරීමට තහන්චි දැම්මේ පිරිමින් පමනක් නොවේ. ඒකාලේ හිටපු ආච්චිලත් ගැහැණු ලමයිට විවිධ තහංචි පනවල තියනවා.
        උදා:- ගැහැනු ලමයෙක් උනාම හයියෙන් කතාකරන්න / හිනාවෙන්න හොඳ නෑ, රෑ තනියෙන් ගමන් යන්න හොඳ නෑ
        එසේ තහංචි දැමීමට එක් හේතුවක් තමයි පිරිමි විසින් ආච්චිලාට එසේ සිතීමට පුරුදු කර තිබීම. එම නිසා පිරිමි විසින් පිරිමින්ටම විරුද්ධ වීම පුදුමයක් නොවේ.
        එසේ වීමට එක් හේතුවක් තමයි කාන්තාවන් විසින් මෝඩ පිරිමින්ට එසේ සිතීමට පුරුදු කර තීබීමයි.
        පිරිමින් විසින් පිරිමින්ටම විරෝධයක් තිබෙන නිසා කාන්තාවන්ගේ විරෝධය පෙන්වීමට අවශතාවක් නෑ. එම පිරිමින්ට එරෙහි පිරිමින්ගේ විරෝධය නතර වූ විට කාන්තාවන්ගේ විරෝධය ඉස්මතු වෙනු දැක ගත හැක.

        “කවුරු කුමක් ඇන්ඳත් තවත් අයෙක් ඒක ප්‍රශ්නයක් කරගන්නේ ඇයි ”
        ඉරිසියාව ,ආධිපත්‍යය නැතීවීම ,තම පක්ෂයේ අනන්‍යයතාව නැතිවීම, ගැහැණු ඇඳුම් හා පිරිමි ඇඳුම් එකිනෙකින් වෙන්කර හඳුනා ගැනීමට නොහැකිවීම වගේ දේවල් නිසා වෙන්ට ඇති.(මෙයට හේතුව හරියටම පැහැදිලි කරන්න අපහසුයි, නමුත් කුමක් හෝ හේතුවක් නිසා එය එසේ සිදු වෙනවා.)

  13. […] පාප්වහන්සේ හා මහ මළුවේ සඟ සමුළුව; කටාරයේ විලාසිතා ගැන විවාදයක්; දෙබරයකට ගලක්; භාවනාව; උද්‍යෝගීගේ […]

  14. ෂර්ලි said, on සැප්තැම්බර් 14, 2011 at 2:45 ප.ව.

    මමත් ඉන්නෙ කටාර්වල.මෙහෙ දෑන් තනිකරම බටහිර පන්නයට තමා ගෑනු අදින්නෙ.කලුපාට ලෝගුවට යටින් ඩෙනිම් කලිසම ඇදලා තමා යන්නෙ ගෑනු.මෙහෙ දෑන් හෑම තෑනම බියුටි සලෝන් තියෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: