රොක්වෙල්ගේ තෙල් සායම්
පෙබරාවාරි 3 වැනිදා නොර්මන් පර්සිවල් රොක්වෙල් (Norman Rockwell, 1894-1978) නැමති ඇමෙරිකානු ජන ජීවිතය තෙල් සායම් වලින් ඉතිහාසයට එකතු කල චිත්‍ර ශිල්පියාගේ උපන් දිනයයි. ඔහු අද ජිවතුන් අතර නැති වුවත් ඉතිරි කළ ගිය පින්තූර නිසා ඔහු කිසි දිනෙක මතකයෙන් ඈත්ව යන්නේ නැත.
“ඔබ අමතකව නොයන්නට නම්, මරණයට පත් වහාම ශරීරිය කුණු වූ කළ, එක්කෝ කියවන්නට වටිනා දැයක් ලියන්න, නැත්නම් ලියන්නට වටිනා දැයක් කරන්න.” -බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්
නෝර්මන් රොක්වෙල් ලියන්නට වටිනා දැයක් කළේය.
චිත්‍ර ශිල්පියෙකු ලෙසින් ඔහු ජීවිතය පටන් ගන්නේ ඉතා කුඩා කාලයේ සිටදීය. ඇමෙරිකන් බාලදක්ෂ සංගමයේ සඟරාවකට ඔහු මුලින්ම කවර පින්තූර ඇඳ නම ප්‍රසිද්ධ කර ගති.
ඔහුගේ ප්‍රසිද්ධ කෘති අතරට එකතු වන පින්තූර හතරක් 2 වන ලෝක යුද්ධය සමයේ (1943) ඔහු පින්තාරු කළේය. ඒවා තෙල් සායම් කරන්නට ඔහුට මාස හතක් ගතවුනු අතර ඔහුගේ බර රාත්තල් 15 ක් අඩු වුනු බවත් කියැවේ. මේ පින්තූර හතර ඔහු ඇන්ඳේ එකල ජනාධිපතිවරයා වූ ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් කළ කතාවකින් ඇති වූ ප්‍රබෝධය නිසයි. මේ අදහස් ඇමෙරිකානු උත්කෘෂ්ටයන් (තමන් ලබාගත හෝ ලබා ගන්නට යත්න දැරිය යුතු) ලෙස පිළිබිඹු කරයි. නැතිකමෙන් නිදහස (Freedom from Want), අදහස් ප්‍රකාශයට නිදහස (Freedom of Speech), ආගම අදහන්නට නිදහස (Freedom to Worship), හා භීතිය නැතිකමෙන් නිදහස (Freedom from Fear) යනු ඒ හතරයි. මේ තෙල් සායම් වලින් රොක්වෙල් වඩාත් කැමැති වූයේ අදහස් ප්‍රකාශයට නිදහස නැමති චිත්‍රයටයි.
ඔහු නිම කල චිත්‍ර සංඛ්‍යාව හාරදහසකට අධිකය. පොත් කවර 40 ක් වෙයි. රොක්වෙල්ගේ චිත්‍ර හාස්‍යයට හා සරදමට ලක් කළ අය බොහෝ වූහ. ඔහු චිත්‍ර ශිල්පියෙක් නොව සමාජයේ පැවැත්ම වාර්තා ගත කරන්නෙක් පමණකැයි කියා ද විහිළු කල අය සිටියහ. එහෙත් ඔහු ජන ජීවිතය තමා දකිනා ආකාරයෙන් වාර්තා ගත කිරිමත් චිත්‍ර ශිල්පියාගේ කාර්යයක් යයි සිතුවෙකි.
සිවිල් අයිතීන් වෙනුවෙන් නැඟුනු අරගල වලදී රොක්වෙල් තෙල් සායම් කල “අප හැමෝම ජිවත්වන ප්‍රශ්නය සමඟ” (Problem We All Live With) හි දැක්වෙන්නේ රූබි බ්‍ර්ජස් නැමති කුඩා කළු දැරිය ෆෙඩරල් මාෂල්වරුන් සමඟ කළු අයට විවෘත කල එතෙක් සුදු අය පමණක් ගිය පාසැල වෙත යන ආකාරයයි.
රොක්වෙල් බාල දක්ෂ සංගමය හා රැකියාව පටන් ගත් නිසාම සමහර අය ඔහු ආගමට බර අයෙක් යයි සලකයි. ඇමෙරිකානු බාල දක්ෂ සංගමය ක්‍රිස්තියානි ආගමට හා දකුණේ දේශපාලනයට බරය. රොක්වෙල් ක්‍රිස්තියානි ආගමට දාව උපන්නනත් ඔහු දැඩි ආගම් භක්තියෙක් නොවුනි. ඔහු නිව් යෝර්ක් නගරයේ ඉපිද පසුව නගරයෙන් ඉවත්ව ගම්බද පැත්තකට ගියේය. ඒ නිසාම ඔහුගේ සිතුවම් බොහොමයක් මැද පංතියේ ගම්බද ජන ජිවිතය පෙන්වයි.
නැතිකමෙන් නිදහස නැමති පින්තූරය මෙහි අවසානයේ මා යොදා ගන්නේ රොක්වෙල් පින්තාරු කල ඇමෙරිකන් උත්කෘෂ්ටය අද ඇමෙරිකාවේ සනාථ වී ඇති බව සටහන් කිරීමටය. අද ඇති කෘෂිකාර්මික තාක්ෂණයේ දියුණුවට ඇමෙරිකාවට මුළු ලෝකයට කන්න දෙන්න හැකියාව ඇත. නිදහස් වෙළඳපොලක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැති නිසා, පාලන නීති හා පාලන බලපෑම් නිරතුරුව කෙරෙනා කළ බඩගින්නේ ඉන්නා ජනතාව මෙහි ද සිටිති.
ලොකු නගරවල සුප් පෝලිම් ඇත. බඩගින්නේ ඉන්න කිසිම උවමනාවක් නැති රටක එසේ ආහාර නොමිලේ ලබා ගන්නට පෝලිමේ ඉන්නා ජනතාව ගැන ද යමක් පැවසිය යුතුය. පාරට බැස ජීවත්වන වැඩි කොටසක් මානසික රෝග වලින් පෙළෙති. දුප්පත් මානසික රෝගින් තනි වූ කල මේ රටේ ජීවත් වන්නේ ඉතා දුක්ඛිත ලෙසිනි. තවත් කොටසක් දැනුම මඳ බැවින් මංමුලා වී සිටිති. මේ නිවැරදි කරගත හැකි තත්වයන්ය. එහෙත් ඊට යාචක බවින් ජීවත් වන්නට ලැජ්ජා නොමැත්තෝ ද එක් වෙති. ඒ නිවැරදි කරගත නොහැකි හැදියාවෙන් යුත් අයය.
තවමත් ඇමෙරිකාවේ ස්ව-උත්සාහයෙන් දියුණුව ලබන්නට මාර්ග ඇත. ඒ නිසා සුප් පෝලිම් වලට එකතු වීම සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පිළිබිඹු නොකරයි. ඇමෙරිකන් අධිකරණ අමාත්‍යාංශයේ නවතම රැකියා දැන්වීමට අනුව අඳ, ගොළු, බිහිරි හා වෙනත් විශේෂ පහසුකම් අවශ්‍ය අයට, ඕනෑම මානසික හෝ ශාරීරික දුබලතාවයකින් පෙළෙන අයට රැකියාවට ඉල්ලීමේ දී වැඩි සැලකිල්ලක් ලැබේ. එක අතකින් අද සුදු, ශාරිරික අඩුපාඩුකමක් නැති පිරිමි අයෙකුට රැකියාවක් සඳහා තරඟය බෙහෙවින් අසීරුය. කළු, හිස්පැනික් (දකුණු ඇමෙරිකා ජනයා), කාන්තාවන් හා අබල දුබලතා ඇති අයට රැකියා දී අනතුරුව සුදු පිරිමියාට රැකියාවක් ඉතිරි වී ඇත්නම් ලැබේ. විශ්ව විද්‍යාලයට ඇතුල් වීම ද එසේමය. මෙයත් වර්ගවාදයකි.
ක්‍රිස්තියානි ආගම අදහන දකුණේ දේශපාලනයට බර වූ අය තමන් රටේ සුබ සිද්ධිය සඳහා යයි කියා කරනා ක්‍රියාවන් සේම වමේ දේශපාලනයට බර, ආගම ගැන කතා නොකරන අය ද සැලසුම් දියත් කර ඇත්තේ රටේ සුබ සිද්ධියට වඩා තමන්ගේ මතය පැතිරවීමටය.
හයිතියට ගිය බැප්ටිස්ට් මිෂනාරිවරුන් ළමයි පැහැර ගෙන එන්නට තැත් දැරීම නිසා ඇමෙරිකාවේ සැවොම ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නට තැත් කරනවා යයි ද සිතීම වැරදිය. මා වසනා ගමේ කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හයිතියේ මේ දිනවල නොමිලේ වෛද්‍ය සේවා පහසුකම් සපයන්නේ කිසිවෙක් ආගමකට හරවා ගන්නට නොවේ. සුපර් බොල් දැන්වීමේ ජීවිතයට අයිතිය ගැන කියන්නට ඉඩ දුන් ෆුට්බෝල් සංවිධානයම සමරිසි සංවිධානයක දැන්වීම එදින පෙන්වීම ප්‍රතික්ෂේප කළේය. දෙපැත්තම මෙසේ තමන් හරි යයි පෙන්වා ගැනීමට කරන තරඟයේ දී අපි පැත්තක සිට දෙපැත්තේම වැරදි ප්‍රතික්ෂේප කළ යුතුය. හරි ප්‍රතිපත්ති පැසසිය යුතුය. ඉන් රට හදා ගන්නට හැකි වන්නේ රටේ පුරවැසියන්ටමය. තවමත් එවැනි වාතාවරණයක් මේ රටේ ඇති බව පැහැදිලි වන්නේ ජෝ බයිඩන් උප ජනාධිපතිවරයාගේ පුතා බෝ බයිඩන් තාත්තාගේ කර උඩින් දේශපාලනයට එන්න තැත් කර ජනතාවගේ අකැමත්ත දැනගත් නිසා දැන් චන්දය ඉල්ලන්නේ නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිම නිසාය. මා නියෝජනය කරන සෙනෙට් සභිකයාට, කොන්ග්‍රස්වරයාට, ආණ්ඩුකාරයාට හා ජනාධිපතිවරයාට ද මගේ අදහස් දන්වා ලිපි ලියමි. බඩගෝස්තරය පිණිස දේශපාලනයේ යෙදී ඉන්නවුන් තම චන්දදායකයාගෙන් ලැබෙන ලිපි නොසැලකුවාට ඉඳහිට ඔවුන් විසින් ලියූ පිළිතුරු හෝ ඔවුන්ගේ ලේකම්වරු ලියූ ෆෝම් ලිපි ද ලැබේ. පිළිතුරට වඩා මගේ වෑයම මා නියෝජනය කරන්නට වරම් චන්දය මඟින් ඔවුනට දෙන නිසා මගේ අදහස් ඔවුන් සලකා බැලීමයි.
එසේ නොකළ හොත් සිද්ධ වන්නේ බඩගෝස්තරය ගැන පමණක් හිතන දේශපාලනඥයෝ රටේ පාලනය වැඩි වැඩියෙන් සියතට ගෙන වචන සැලඩ් ගහද්දී අර පාකිස්තානයේ ක්‍රිකට් කැප්ටන් ෂාහිඩ් ඇෆ්‍රීඩි (බුම් බුම් ෆ්‍රීඩි) ඔස්ට්‍රේලියාවට එරෙහිව තරඟ වදිද්දී ඉච්ඡාභංගත්වයෙන් කර කියා ගත නොහැකිව ක්‍රිකට් බෝලය හපා කෑවා සේ අපිටත් දත් කූරූ කන්නටය.
දකුණේ දේශපාලනයත් ක්‍රිස්තියානි සංවිධානත් තමන් දරණ “මිනිසා ස්වභාවයෙන්ම නරකය” යන විශ්වාසය නිසා නිරන්තරයෙන්ම අන්‍යයන් පව් වලින් බේරා ගන්නට උත්සාහ කරති. ක්‍රිස්තියානි ආගමට බර වීම ක්‍රිස්තියානි අය වැඩිය වාසය කරන රටේ පවතින ස්වභාවයයි. ඒත් රටේ නිතිය නම් තමන්ගේ ආගම තමන්ට නිදහසේ ඇදහීමට ඇති නිතියයි. රොක්වෙල් සිය පින්තාරුවෙන් මතක් කරන්නේ ද එයයි. ක්‍රිස්තියානි ආගම අදහන්නට ඇති නිදහස නොව තමා කැමති ආගමක් අදහන්නට ඇති නිදහසයි. මේ ගැන මතකයේ තබාගෙන නිතර එය දකුණේ දේශපාලනඥයන්ට හා ක්‍රිස්තියානි සංවිධාන වලට මතක් කර දෙන්නට ජනතාව උත්සාහ ගත යුතුය.
රටක පවතින සත්‍යය තත්වය දැන ගැනීමට, ඔබත් මමත් දන්නා පරිදි පැත්තකට බර වූ අයගෙන් පමණක් බැරිය. ස්වාධීන වාර්තා කවුරු කරන්නේ ද කියා අද සොයාගත නොහැකි වුවත්, වර්තමානයේ අප එය පිළි නොගත්ත ද අනාගතයේ එය සත්‍යයක් ද නැද්ද යන්න ප්‍රත්‍යක්ෂ වනු ඇත. සත්‍යය යටපත් කරනු නොහැකිය. සත්‍යය කවදා හෝ එළි දැක නෝර්මන් රොක්වෙල්ගේ පින්තූර මෙන් ඉතිහාසයේ නොමැකී පවතිනු ඇත.
leave a comment