අරුණි ශපීරෝ‍ වෙතින්

සත්ව කරුණාව

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 4, 2010

මේ දිනවල දකුණු කැලිෆෝර්නියාවේ යෝධ දැල්ලෝ නිව් පෝර්ට් මුහුදු වෙරළේ බහුලව ඇති බව ප්‍රවෘත්ති වාර්තාවකින් කියැවින. මසුන් මරන්නෝ (දැල්ලො මරන්නෝ?) මේ දිනවල උන් අල්ලා ගෙන සීත පෙට්ටි වල බහන්නට ඉක්මණින් කටයුතු කරති. මන්ද යෝධ දැල්ලෝ වැඩි කාලයක් ඒ පැත්තේ නොසිට ආපසු පීනා යන නිසාය. මේ යෝධ දැල්ලෙකුගේ බර රාත්තල් 30-60 ත් අතර යයි කියැවුනි. එසේම රේඩියෝ වාර්තාවට සහභාගී වූ දැල්ලෝ අල්ලන තරුණයෙක් උන් තෙලෙන් බැද ගන්නා ආකාරය ද කිව්වේ ප්‍රිතියෙනි. නමුත් රේඩියෝවට කතා කල අසන්නියක් දැල්ලා කන ආකාරය විස්තර කිරීම රේඩියෝ වාර්තාවට ඇතුලත් කළ නිසා තමා නොසන්සුන් වූ බව පැමිණිලි කළාය.

සත්ව කරුණාව විවිධ අය දකිනා ආකාරය විවිධාකාරයි. අයෙක් සතුන්ට සලකන්නේ අනෙක් මනුෂ්‍යයන්ට සලකනාවටත් වඩා ඉහළින්. තවත් අයෙක් සලකන්නෙ සතෙක් විදියට. තව කෙනෙක් සතෙක් කියන්නෙ පහත් ප්‍රාණීයෙක් යයි සලකා තමන් නියම කරගත් තත්වයකින් පහත් ලෙස සලකයි. තව පිරිසක් දක්වන සත්ව කරුණාව තර්කානූකූලව වටහා ගන්න නොහැකියි. ඒ අය සතුන්ට වද දෙන එක, හිංසාවකින් තොරව මරණයට දාන එක අනුමත කරන්නෙ නැත. ඒත් තමන් වාසය කරන පැත්තෙන් සතුන්ට ගල් ගහලා එළවා දමති. උන් ශාරිරික වේදනාවෙන් පෙළෙනවා ද යන්න ගැන තැකීමක් නැත. උන්ට කන්න බොන්න නැතිව සාගතෙන් පෙළෙන බව දැක දැකත් මුකුත් නොකර අහක බලාගෙන සිටිති. ඒත් අර සත්ව කරුණාව නම් තියන බව කියති.

උඩ පින්තූරේ ඉන්නෙ මගේ බැල්ලි. ඇයට දැන් වසර 14 ක්. බල්ලෙකුගේ ජිවිත කාලය බලන කොට සෑහෙන්න වයසයි. මමයි, මහත්තයයි, දුවයි ග්‍රීෂ්ම ඍතුවක පීනන්න ගියා ජාතික වනෝද්‍යානයක් අසල තිබුන ගඟක. මේ බැල්ලි පුංචි පැටියෙක්. හැම තැනම දුව පැන පැන හැමෝම එක්ක සෙල්ලම් කර කර ඉන්නවා අපි දැක්ක. අපේ ළඟට ආවම අපිත් ඔළුව අත ගෑවා. මහත්තයයි දුවයි ආයෙත් වතුරට බහින්න ගියාම මම පොතක් ඇර ගත්තා කියවන්න. මෙන්න මෙයා ඇවිත් සෙල්ලම් කරන්න මාව අදින්න ගිහින් වැලමිට ළඟ පොඩ්ඩක් දත් වලට හැපිලා ලේ බිංදුවක්.

දැන් බලු පැටියා කාගේ ද කියලා හොයා ගන්න ඕන. මොකද ජලභීතිකාවට බැල්ලිට බෙහෙත් දීලා නැත්නම් මම ගිහින් බෙහෙත් අරගන්න වෙනවානෙ. අහන අහන හැමෝම කියන්නෙ බලු පැටියා තමන්ගෙ නොවේ කියලා. අන්තිමට අපි එයාව ගෙදර අරන් ගියා. හැම තැනම කොළ ගැහැව්වා පින්තූරයක් එක්ක නැතිවුන කෙනෙක් ඇවිත් ලබා ගන්න කියල. ඒත් සතිය අන්තිම වෙනකොට අපි කවුරුත් කතා නොකළොත් හොඳයි කියලා හිතුවේ. කවුරුත් හොයා ගෙන ආවේ නැහැ. උද්‍යානයේ හැදිලා නිසා හරිම විසේ. ගෙදරට පුරුදු කරන්න සෑහෙන්න කාලයක් ගියා.

දවසක් මම ගේ ඇතුලේ ඉන්න කොට මෙයා හැම තැනම දුවනවා. බුරනවා. ඉතින් දොර ඇරලා එළියට දැම්මාම බුරනවා අඩු වෙන එකට බුරනවා වැඩියි. වත්ත දිහා බලන කොට ගේට්ටුව පැත්තට දුවනවා ආපසු ගේ ළඟට එනවා. ආපහු ගේට්ටුව පැත්තට දුවනවා. ඉතින් එළියට ගිහින් බලන කොට අල්ලපු ගෙදර වත්තෙ මනුස්සය එයාගෙ ගරාජ් එක ළඟ සිහි නැතිව වැටිලා. මම 911 එන්න කියලා එයා ළඟට ගියා. මිනිත්තු 5 කට අඩු කාලයක දී ඇම්බියුලන්ස් එක ආවා. මිනිහගේ ජිවිතේ එදා බැල්ලී නිසා බේරුනා.

ඒ දවස් වල මම යන යන තැන බැල්ලිවත් කාර් එකේ දාගෙන යන්නෙ. එකක් එයා හැම තැනම යන්න ආසයි. අනික බල්ලෙක් කාර් එකේ ඉන්න කොට ආරක්ෂාවත් වැඩියි. දුව පුංචි නිසා පස්සෙ කාර් සීට් එකේ. බල්ලා ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ. හොඳට වාඩි වෙලා ඉන්නවා ගමන ගිහින් ඉවර වෙනකම්. ලංකාවේ පවුලක දරුවෙක් මෙහෙම අපි යන එන හැටි දැකලා වතාවක් “මට ආන්ටි අරුණිගෙ බල්ලා වෙලා ඉපදුනා නම්” කියලාත් කියලා තියෙනවා. දිනපතා එයාගෙ ලොම් පීරන නිසාත්, ඉඳහිට නාවන නිසාත් ලංකාවේ බල්ලො වගේ බලු ගඳ නැහැයි කියල ලංකාවෙන් ආපු කෙනෙක් කිව්වා. ඒක ඇත්තක් නෙමේ. බලු ගඳ තිබුණා. වැඩිය තිබුනේ නැහැ! වාහනේ යනකොට සීට් කවර දානවා එයා වාඩිවෙන සීට් එකට.

බැල්ලිට සෙල්ලම් කරන්න කියලා බලු පැටියෙක් ගෙනාවා. මේ පින්තූරේ එයා ලොකු මහත් වුනාම ගත්තු එකක්. මෙයාව නොමිලේ පැටියා කාලේ දෙන්න ගෙයක් හොයනවා කියල පත්තරේ දැකලා ගිහින් ගෙනාවේ. ඇල්ෆා ඩෝග් කියන්නෙ බලු රැලක අනිත් බල්ලො සේරටම ලොක්කා වගේ ඉන්න බල්ලා. කාලයක් ගිහින් මෙයා සයිස් එකෙන් ලොකු වුනාට ඇල්ෆා ඩෝග් වුනේ බැල්ලි. ගෙදරට එන අය බල්ලා හපයි ද කියලා අහන්නෙ මෙයාව දැකලා. ඒත් වඩා නපුරු අර පොඩි බැල්ලි කියලා කවුරුත් හිතුවේ නැහැ.

මෙයාට වසර දෙකක් වුනාම පිටිපස්සෙ කකුල් දෙකේම Ruptured Cruciate Ligament ශෛල්‍යකර්ම කරන්න වුනා. එක කකුලකට ඩොලර් දෙදාහක් විතර. ලංකාවට ගිහින් එන්න ටිකට් දෙකක් ගන්න සල්ලි. පින්තූරේ අරන් තියෙන්නෙ ශෛල්‍යකර්මයෙන් කකුල් සුව වෙලා ඊට පස්සේ පුරුදු පරිදි අපිත් එක්ක බෝට්ටුවෙ ගිහින් පොකුණේ නාලා එන ගම‍ෙන් දී. තව වසර 10 ක් එයා හැම තැනම දුව පැන සතුටින් ජිවත් වුනා. කකුල් දෙකේ කිසිම ප්‍රශ්නයක් නැවත ආවේ නැහැ. ගිය වසරේ එයාගෙ මුත්‍රාශයේ පිළිකාවක් හැදිලා අපි තීරණය කලා බේරගන්න බැරි නිසා වේදනාවෙන් නොතියා එයාව අවිහිංසාවාදීව මරණයට පත් කරන්න. ඉන්ජෙක්ෂන් කටුව ඇතුල් කරද්දි මහත්තයයි දුවයි එයාගෙ ඔළුව අත ගගා හිටියා. ක්ෂණයෙන් එයා ඇස් පියා ගත්ත.

ඇමෙරිකාවේ බල්ලන්නට ගිහින් පිනන්න ස්විමිං පූල් හදලා තියෙනවා. බල්ලට බර්ත්ඩේ පාටි දාන්නත් පුළුවන් එතැන. ඩොලර් පහක් දුන්නම ඇති වෙන්න වතුරට පැනල බල්ලාට පීනන්න ඉඩ කඩ. ශෛල්‍යකර්ම වලින් සුව වෙන බල්ලොන්ට ඒක වැදගත්. මොකද පොකුණක පීනන්න ගියාම වගේ වතුර දිය සුළි වලට මුහුණ දෙන්න වෙන්නෙ නෑනේ. බල්ලොන්ට විතරක් කෑම විකුණන බේකරි තියෙනවා. බල්ලො පූසෝ ප්‍රවාහනය කරන්න ටැක්සි සේවාවන් ද, ඒ වගේම උන් මැරුණාම වළ දාන්න සොහොන් බිම් ද තියෙනවා. අද තියෙන තාක්ෂණය අනුව බල්ලාව ක්ලෝන් කරගෙන තව බල්ලෙක් හදා ගන්නත් පුළුවන්. ඩොලර් පන්දාහක් යනවා කියලා මට කෙනෙක් කීවා ඒකට. බල්ලාගෙ ලොම් තැපැල් කරල යැව්වම ඒවයෙන් ජර්සි එකක් හදල එවන තැන් තියෙනවා.

සත්ව කරුණාව අපිට තියෙනවා වගේම බල්ලන්ට තියෙනවා මනුස්ස කරුණාව කියලා එකක්. මේක එක්තරා විදියක බෙදා ගැනීමක්. බල්ලෙක්ගෙ ඔළුව අතගාන හැම අවස්ථාවකම කෙනෙක්ගෙ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙනවා. මෙහෙ රෝහල්ගත වෙලා ඉන්න අය වෙත පුහුණු කරපු බල්ලෝ අරන් යනවා ඒ නිසා. ඒ වගේම තවම හරියාකාරව දියුණු කරලා නැති, පුහුණු කරවපු බල්ලො ලවා මිනිස් ශරීරය තුල පිළිකා තියෙන තැන් අද ඇති වඩාත්ම දියුණු උපකරණයටත් වඩා කළින් හොයා ගන්න පුළුවන් බවටත් අදහසක් තියෙනවා.

සමහර විට මේකට හේතුව බල්ලා සහ මිනිසා වසර 15,000 කට ආසන්න කාලයක් එකට ජීවත් වුනු නිසාදැයි සැකයි. බල්ලෙක් (හපා කන්න හදන බල්ලෝ නොව) හදපු කෙනෙක් පමණයි දන්නේ බල්ලා කිසිම කොන්දේසියක් නැතුව මිනිසාට ළැදි ආකාරය.

අපේ බල්ලො දෙන්නට තිබුනේ වෙනස් ‍පෞරුෂ. පැහැදිලි වෙනසක් දෙදෙනාගේ චර්යාවේ පෙනුන. 

බල්ලාට මනුෂ්‍ය ලක්ෂණ ආරෝපණය කරනවාට විරුද්ධ කොටසක් ඉන්නව. හේතුව බල්ලා‍ට තනිවම සිතීමේ හැකියාවක් නැති වීම. ඔවුන් තීරණ ගන්නා සේ පෙනුනත් ඒවා මිනිසා පුරුදු කරපු ගති සහ ඉතිරිය සහජ බුද්ධියෙන් ඒන ගති නිසා ගන්නා තීරණ.

තවත් කොටසක් කියන්නෙ සත්තුන්ට ඉහතින් සඳහන් කළාට වඩා තීරණ ගත හැකියාවක් තියෙන බව. එක්තරා ප්‍රමාණයකට හිතන්න ඔවුනට හැකියාව තිබුනත් මිනිසාගේ තරම් මොළය ලොකු නැති නිසා මොළයේ වර්ධනය බල්ලෙකුට තියෙන්නෙ සමාන්‍ය මිනිස් දරුවෙකුට වයස 2-3 ත් අතර තියෙන බුද්ධිය. මොළයේ ප්‍රමාණය වැඩි කර ගන්න බැරි නිසා ඊට එහායින් බල්ලාට බුද්ධිය වැඩි කරගන්නත් බැහැ.

උපන් දවසේ සිට බල්ලාට ඇති සහජ බුද්ධිය උපන් දවසේ සිට දරුවාට ඇති සහජ බුද්ධිය හා සමාන කළ නොහැකියි. සහජ බුද්ධියට වඩා මනුෂ්‍යයාට වැඩියෙන් තියෙන්නෙ සමාජයෙන්, පුහුණුවෙන් හා තනිවම හිතා බැලීමෙන් වඩවා ගන්නා බුද්ධියයි. සත්තුන්ට පුහුණුවෙන් හා සමා‍ජයෙන් ලැබෙන බුද්ධිය හා සහජ බුද්ධියක් තිබුණාට තනිවම හිතා බලා වඩවා ගන්නට හැකි බුද්ධියක් නැහැ. අපි සහජ ගති ගැන අධ්‍යයනය කරලා අඩු නිසා (වසර 15,000 ක් එකට ජීවත් වුනත්) අපි බල්ලන්ට මිනිස්සුන්ගේ ලක්ෂණ ආරෝපණය කිරීමෙන් බල්ලාගේ අපි නොදන්නා හැකියාවන් ගැන දැන ගැනීම මඟ හැරෙනවා. අර පිළිකා රෝගය කළින් හොයා ගන්න ඇති හැකියාව වගේ දේවල් දියුණු කරගන්න අපහසු බල්ලා මිනිසෙක් හිතනා අකාරයට හිතනවා යයි අපි හිතනා නිසයි.

බෝම්බ හොයන්න, භූම් කම්පා වලින් නැති වුන අය හොයන, මත්ද්‍රව්‍ය තියෙන තැන් හා හැංඟී ඉන්නා මනුෂ්‍යයන් හොයා ගන්න බල්ලො පුහුණු කරන අයෙක් මම හඳුනා ගත්තා. එයා බල්ලො ගේන්නෙ යුරෝපයෙන්. ඒ බල්ලොන්ට උන්ගෙ පරම්පරාවන් ගැන සහතිකත් තියෙනවා. එක බල්ලෙකුගේ වටිනාකම ඩොලර් අට දාහත් එකොළොස් දාහත් අතර. උන් එක්ක වැඩිය සෙල්ලම් නැහැ. ඒත් නිවාඩු ඉල්ලන්නෙ නැතුව, කන් කෙඳිරි නොගා මිනිහා එක්කන් යන ඕනෑම තැනකට ගිහින් තමන්ව පුරුදු කරපු දේ කරන්න මේ බල්ලෝ පුහුණුව ලබල තියෙන්නෙ. ගෙදරක ඉන්න බල්ලා තම ස්වාමියා හා ජීවත් වීමෙන් ලබන සතුට හා සමානම සතුටක් තම අයිතිකරු හා රැකියාව කරන බල්ලාත් ලබනවා කියන එක නිවැරදියි.

අළුතෙන්ම සත්ව කරුණාව ගැන කියලා තියෙන්නෙ බාර්බරා කින්ග් නැමති ‍මහාචාර්යවරියක් Being with Animals යන පොතේ. මේ පොත මේ මාසේ නිකුත් වෙච්ච එකක්. ඒකෙ එයා කියන්නෙ සතුන්ට අවේගාත්මක ප්‍රතිචාර (emotional responses) දක්වන්න පුළුවන් කියල. මෙහි ඇත්තක් නැත්තෙ නෑ. සත්තු දක්වන ප්‍රතිචාර ඔවුන්ට ආවේනික සහජ බුද්ධිය හා ගති අනුව අවේගාත්මක බවත්, පුහුණුව නිසා වෙනස් කර සකසා ගත් ප්‍රතිචාරත් තියෙන බව සත්‍යයක්. ඒත් ඒ ඇරුනාම මනුෂ්‍යයන්ට වගේ තනිවම හිතා බැලීමේ හැකියාව (reason) නිසා ගන්නා තීරණ, වෙනස් කර ගන්න හැකි නැතහොත් හිතල බලල (thoughts) තමන්ම වෙනස් කර ගන්න හැකි ප්‍රතිචාර තියෙනවා යයි කීම ඇත්තට ටිකක් නැත්ත එකතු වෙලා වගේ. අපි මිනිස්සු මනින මිම්මෙන් සත්තු මනින්න යනවා ද කියල හිතෙනවා ‍ඒ පොත කියවද්දි.

මනුෂ්‍යයෙක් දිහා බැලුවම වැඩිය තියෙන්නෙ සහජ ප්‍රතිචාර ද (පිච්චෙන බව දැනෙන කොට ඉබේම අත ඉවත් කර ගන්නා) නැත්නම් හිතල බලල හෝ අහලා දැකලා දක්වන ප්‍රතිචාර ද? එසේම මිනිසා තුල වඩා පවතින්නේ සහජ බුද්ධිය නිසා ගන්නා තීරණ ද? නැතිනම් බුද්ධිය විචාරා ගන්නා තීරණ ද? අවුරුදු 2-3 අතර දරුවෙක් ගත්තම එයාට සහජ බුද්ධියෙන් ගතහැකි තීරණ නැත. එහෙත් කුඩා කාලයේම සත්වයාට සහජ බුද්ධිය නිසා තම ජීවිතය බේරා ගැනීමේ තීරණ ගත හැකියාවක් තිබේ. සහජ බුද්ධියක් කියා බුද්ධියක් මිනිසාට තිබේද? නැතිනම් ඇත්තේ අතීත අත්දැකීම් වලින් ලද බුද්ධියක් පමණයි ද?

පුහුණු කරන ලද නිසා බල්ලාට මනුෂ්‍යයෙකුට වඩා හොඳින් බිම් බෝම්බ සෙවීම වැනි කාර්යයක නිරත වන්නට හැකියාව ඇති නිසාත්, මිනිසා රෝගී වූ බව දැනගත් සහජ බුද්ධිය නිසා බුරන බල්ලෙකු නිසාත් බල්ලාට මිනිසා මෙන්ම තම තත්වය වැඩි දියුණු කර ගන්නා තීරණ ගත හැකි යයි කීමට පුළුවන් ද?

 වානරයාටත් කුඩා දත් තල්මසාටත් වයස 6-7 මනුෂ්‍ය දරුවෙකුට තියන දැනුම ප්‍රමාණය තිබෙන නිසා එවැනි සතුන්ට මනුෂ්‍ය දරුවාට හා සමාන අයිතිවාසිකම් ලැබිය යුතුද? 

වානරයන්ට සිතන්නට,   හා සැලසුම් ගහන්නට හැකියාව දරුවාට හා සම ප්‍රමාණයකින් තිබුන ද එදා සිට අද වනතෙක් එය තවත් වර්ධනය වී නැත යන්නත් සැලකිල්ලට ගත යුතු ද?

මිනිසා හා සතුන් අතර ඇති ප්‍රාණයට ඇති සම අයිතීන් පෙන්වන්නට සතුන්ගේ අයිතීන් ගැන කතා කරන පිරිස හැම විටම ඇඟිල්ල දික් කරන්නේ සත්ව මොළයේ තිබෙන මිනිසාගේ මොළයේ තිබෙනවාට හා සමාන ඇමිග්ඩලා (amygdala) කොටසයි. එනම් අවේගාත්මක ප්‍රතිචාර දක්වත හැකි සංයුක්තයක් සමහර සත්ව මොළ වලම මෙන්ම මිනිස් මොළයේ ද ඇති බවයි. එහෙනම් වානරයාට ආවේග දැනෙන නිසා ඇති අයිතිය මාළුවාට ආවේග නොදැනෙන නිසා නැති වී යනවා ද?

සතුන්ට දුක හා වේදනාව දැනෙනවා ද? දුක   හා වේදනාව යනු දෙකක් නොව එකක් යයි කියන අය ද එය එකක් නොව දෙකක් යයි කියන අය ද අද ඇත. දුක (suffering) යනු හිතේ ඇති එකකි. වේදනාව (pain) යනු ගත‍ට දැනෙන එකකි යයි දළ වශයෙන් වෙන් කර පෙන්විය හැකිය. අද සමහරු මානසික දුක නිසා මොළයේ පැහැදිලි රටා වෙනසක් ඇති වන බව පෙන්වති. ඒ නිසා ඒ නව රටා මොළයේ සෛල වලට වූ හානියක් නොහොත් ගතේ වේදනාවක් යයි තර්ක කරති. මොළයේ වෙනස්වීම් ගතේ ඇතිවන කැපීමක්, හිරීමක් හා සමාන වෙනසක් ද? එසේනම් චින්තනයේ දී මොළයේ ඇති වන පිබිදීම නිසා නව රටාවන් ඇති වෙද්දී ඒවා සුඛ වේදනා හා දුකට පත් වෙද්දී දුක වේදනා යයි නම් කිරීමට සිදු වන්නේ ද?

සතුන්ට මානසික දුක නැත යයි තර්ක කරන්නෝ පෙන්වා දෙන්නේ ස්මරණ ශක්තිය අඩු සත්වයින් තමන් පුරුදු පුහුණු කළ දේ (පැව්ලෝ ගේ පර්යේෂණ) කරනවා මිසක අළුතින් සිතා කිසිවක් කර නැත කියාය. ඉතිහාසය තේරුම් ගත නොහැකි අයකුට‍ හෝ ඉතිහාසය මතක නැති අයෙකුට අනාගතය ගැන තීරණ ගත හැකි ද?

සතුන්ට අයිතීන් නොදිය යුතු යයි කියනා පිරිස තම ප්‍රස්තුතයට බොහෝ විට මූලික කර ගන්නේ දෙවියන්වහන්සේ සත්තු මවා ඇත්තේ මිනිසා වෙනුවෙනි, යෝග්‍යතමයා ජය ගත යුතුය, සත්වයන්ට තනිවම සිතා ගත හැකි තීරණ නැත යනාදියයි. සතුන් බලා ගන්නා එ‍ඬේරා වශයෙන් මනුෂ්‍යයා පත්කර ඇති නිසා සතුන්ව කරුණාවෙන් බලා ගැනීම ද, සතුන් වෙනුවෙන් තීරණ ගැනීම ද මනුෂ්‍යයා තමා වෙත පවරා ගෙන ඇත.

පීටර් සිංගර් 1989 දී Animal Rights and Human Obligations පොතේ සෑම සත්වයෙකුටම ඇති අයිතීන් සමානාත්මතාවයෙන් යුතු (all animals are equal) යයි කියා ඇත. කළු අයට, කාන්තාවන්ට, හිස්පැනික් (දකුණු ඇමෙරකාවෙන් මෙහි අවුත් ඉන්නා) අයට, සමරිසි පුද්ගලයන්ට මෙන්ම නිදහස දීමේ ඊ ළඟ පියවර සත්වයන්ට නිදහස දීම බව ඔහු කියයි. අපි අපව පාගා ගෙන ඉන්නා අයගේ ගණයට වැටෙන්නට අකැමති නම් අපි ඉන් වඩාත්ම පීඩිත වූ අයගේ පැත්තෙන් බලන්නට හුරු විය යුතු බව ඔහු කියයි. එයාට එතන දී අමතක වෙලා තියෙන්නෙ අපිට හිතන්න මොළේ තිබුනාට හැම මනුෂ්‍යයෙක්ම හිතන කෙනෙකු නොවන බව.  එහෙම නම් නොහිතා බලා වැඩ කරන මෝඩයන්ට රට පාලනයත් බාර දීම සුදුසු ද?

ඇමීබාවාට දෙන අයිතින් හා වානරයාට දෙන අයිතීන් එක හා සමාන විය යුතුද?

සතුන්ට අවශ්‍ය හා ලැබිය යුතු අයිතීන් මොනවා ද යන්න ගැන කතාබහ දෙපැත්තක ඉන්නා නිසා පැහැදිලි බවකින් හා ආවේගාත්මක නොවී කතා කර බේරා ගන්නට තවම නොහැකිය. මන්ද දෙපැත්තම තම තමන් හරි යයි සිතනා අන්තයක සිට සටන් වදිනා නිසාවෙනි. තවත් විදියකින් කියතොත් ‍අනෙත් හැම දෙයක් ගැනම දෙපැත්තකට බෙදී ඉන්නා සමාජය සතුන්ගේ අයිතීන් ගැන කතා කරද්දී මිනිසාගේ අයිතීන් අමතක කර දමා ඇත. මිනිසාගේ අයිතීන් ගැන කතා කරද්දී සතුන්ට ඇති කරුණාව අමතක කර දමා ඇත.

4 Responses

Subscribe to comments with RSS.

  1. චතුරංග රූපසිංහ said, on පෙබරවාරි 4, 2010 at 9:58 ප.ව.

    අම්මෝ මේක කියවල මට නිකන් මොකද්ද වගේ වුනා ආන්ටි අරුණි ශපීරෝ‍ හරි ලස්සනට ලියනව නොවැ අපි හැමදාම කියවනව දිගටම ලියන්න

  2. stormcrow said, on පෙබරවාරි 4, 2010 at 11:54 ප.ව.

    එසේම මිනිසා තුල වඩා පවතින්නේ සහජ බුද්ධිය නිසා ගන්නා තීරණ ද? නැතිනම් බුද්ධිය විචාරා ගන්නා තීරණ ද? අවුරුදු 2-3 අතර දරුවෙක් ගත්තම එයාට සහජ බුද්ධියෙන් ගතහැකි තීරණ නැත. එහෙත් කුඩා කාලයේම සත්වයාට සහජ බුද්ධිය නිසා තම ජීවිතය බේරා ගැනීමේ තීරණ ගත හැකියාවක් තිබේ.

    මා හිතන්නේ මේක නිකම් පරිණාමවාදයේ භ්‍රමයක් කියා, බුද්ධිය සම්බන්ධ හෝ බුද්ධියට පමණක් සීමාවූ cognitive ප්‍රශ්නයක් නොවේ, motor සිස්ටම් එකක් එහෙම නේ; කකුල් අත පය උනත් ළදරුවන් ට මේ දැන් උපන් වහු පැටියෙකුට හෝ කුකුළ් පැටියකුට වගේ හසුරුවන්නට බැහැ නොවැ. මිනිස් වර්ගයාට උපදින්නේ අඩුවෙන් වර්ධනය වූ පැටවුන්; ඒකෙන් ‘මිනිසා’ ගැන පොදු තීරණ ගන්නා එක හරි නැහැ නේද.

    මේ ලිපිය මරු. මට හිතන්න ඉතිරි වූ ප්‍රශ්නය තමා ඇත්තටම “බුද්ධිය” කියන්නේ එහෙම පිටින්ම evolutionary response එකක්ද කියන එක. (රිචර්ඩ් ඩෝකින්ස් කොහේ හෝ තර්ක කළා කුඩාවුන් ආගමක් ඉගෙනීමට ඇති නැමියාව සමහර විට evolutionary glitch එකක් විය හැකි බව)

    ඔබ සමහර විට මේ ලිපියට කැමති වේවි:
    http://en.wikipedia.org/wiki/Altruism_in_animals

    • arunishapiro said, on පෙබරවාරි 5, 2010 at 6:49 ප.ව.

      මේ ගැන තව ඉදිරියට ලියන්න අදහස තියනවා. ලිපිය කියෙව්වා. ස්තුතියි. මම “නෙක දුරු රටා ඇත ලොව මවිතකර” සටහනේ වැම්පයර් වවුලෝ ගැනත් ඔය ටිකක් ලිවිවා. කෙටියෙන් ලියන එකයි සරලව ලියන එකයි තමයි ‍තියන ලොකුම අභියෝග.

  3. […] දිගු අඩිපාරකි. දිනපතා කිහිප වතාවක් මගේ බැල්ලිය හා ඇවිදින්නට යන මා දකින නිදහසේ පියාඹන […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: