අරුණි ශපීරෝ‍ වෙතින්

පීඩිතයා පීඩනය කරන දීමනා

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 5, 2010

පීඩිතයා යනු තමා විසින් පටවා ගත් බරක් ඇති අයෙක් නොව පිටතින් එන පීඩනයකට ලක් වී ඇත්තාය. කෙනෙක් පීඩනයට ලක් වන්නේ තමන්ගේ හමේ පාට, වර්ගය, හැදෙන වැඩෙන පසුබිම, පවුලේ ආර්ථික මට්ටම, අදහන ආගම, දේශපාලන නැඹුරුව, ලිංග භේදය හා ලිංගිකත්වය යනාදියෙනි.

සෑම මනුෂ්‍යයෙක්ම එක හා සමාන යයි මුලින්ම ලොවට වදාළේ ගෞතම බුදුරදුන්ය. (ධම්මපදය,  දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රය) එහෙත් හින්දු ආගම ප්‍රචලිත ඉන්දියාවෙන් පැන නැඟුනු බෞද්ධ සමානාත්මවාදය අද යටපත් වී ඇති ආකාරය දැකිය හැකිය. ‘කුල දරුවන්’ මහනකමට බාර ගැනීමත්, කුල භේද භික්ෂු ශාසනයේ දැකීමත් බෞද්ධාගමේ සමානාත්මතාවය මකා දමන්නකි. සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිත කතාව පටන් ගැනීමේ දී උන්වහන්සේ ජාතිය, දීපය, දේශය, කුලය හා මව සොයා බලා ඉපදිය යුතු ස්ථානය තීරණය කළා යයි හින්දු බ්‍රාහ්මණයා තමා එය ඇසින් දුටුවා සේ වාචිකව ප්‍රසිද්ධ කළේ සමානාත්මතාවය සම්මතයක් වූ විට මෙතෙක් තමනට පමණක් විශේෂ වූ වේද ශාස්ත්‍ර හැදැරීම හා කියා දීමට ඕනෑම ශුද්‍රයෙකු අයිතියක් කියයි සිතා ද? (තරිඳු ‘අච්චාරුව’ බ්ලෝග් සටහනෙන් කරන කාන්තාව හා බුදු දහම ගැන අගනා සාකච්ඡාව ද කියවා බලන්න.)

නැවත වතාවක් සියළු මනුෂ්‍යයාට සමානාත්මතාවයක් පිරිනමන්නේ නීතිමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකිනි. ඒ 1787 දී ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඇමෙරිකන් දේශ සීමාවන්ට පමණක් නීතිය සීමිත වුව ද මේ සෑම මනුෂ්‍යයෙකුම එක හා සමානය යන සංකල්පය නිසා ලෝකය වෙනස් වුනි. ප්‍රංශ විප්ලවය එය භාවිතා කර රටේ කුලීනයෝ සියල්ලම පුරවැසි උසාවි මඟින් තීරණ ගෙන බැස්ටිලයේ දී හිස් ගසා මරා දැමුහ. සංකල්පය ගෙනා ඇමෙරිකානුවෝ හිසේ අත් ගසා ගත්හ. ඔවුන් තම රටේම පැන නඟිනා ප්‍රශ්න දුටූහ. මිනිසා තමා හරි යයි තදින් අල්ලා ගන්නා සංකල්පයන් වෙනස් කිරීම කොතරම් දුෂ්කර දැයි අවබෝධ කර ගත්තේ එවිටයි.

නීති සම්පාදනයේ දී නිතියක් පැහැදිලි විය යුතුය. නිතිය හැම දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක කළ යුතුය. නිතියේ ඇති දර්ශනය නොහොත් නීතියේ පදනම තර්කානුකූල විය යුතුය. නීතිය ස්ථාපිත කරන දේශයේ ජනයාට නීතිය දැනුවත් කළ යුතුය. නීතිය කඩ කරන අයට දඬුවම නියම කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මඟින් ලෝකයේ සෑම මනුෂ්‍යයකු වෙතම නිදහස, යුක්තිය හා සාමය ප්‍රදානය කරන එකඟතාවයක් සම්මත කර ගත්හ. අද දිනයේ අප මානව හිමිකම් ගැන ද විවාදයේ යෙදෙමු. එක සංගමයකින් නොව එකම රටක ඇති විවිධ සංගම් තම තමන්ගේ අභිප්‍රායයන් අනුව තම තමන්ගේ ජාතියට, හමේ පාටට, ආගමට, දේශපාලන නැඹුරුවට යනාදියෙන් සංවිධාන සමූහයක් ඇති කරගෙන එකම නිෂ්ටාවක් සඳහා විවිධාකාරයෙන් සටන් වදිති. මිනිසාට සමානාත්මතාවය වෙනුවට තම කොටසට ලැබෙන සමානාත්මතාවය සඳහා සටනට මිනිසා බෙදී ඇත.

1961 දී අයින් රෑන්ඩ් සිය විෂයමූලිකවාදය නැමති දර්ශනය මඟින් නැවතත් ලෝකයට මනුෂ්‍ය සමානාත්මතාවය පැහැදිලි කරන්නට ඉදිරිපත් වෙයි. ඇයට සවන් දෙන්නේ අර කළින් කී බලවත් වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ පුද්ගල හා සංවිධාන වලට සවන් දුන් අයටත් වඩා ස්වල්පයකි. නමුත් මෑත යුගයක දී බිහි වූ නිසා ඇයගේ කෘති හා දේශන වෙනස් කර, තමනට කැමති ආකාරයෙන් පරිවර්තනය කරන්නට නොහැකි නිසා ඇයගේ දර්ශනය එයාකාරයෙන්ම කැමැති කෙනෙකුට කියවන්නට ඉතිහාසයට එකතු වෙයි.

පීඩිතයා කවුදැයි හඳුනාගන්නා ආකාරය සැවොම පිළිගත්ත ද, පීඩිතයාගේ තත්වය යහපත් කර ගත හැකි ක්‍රමය ගැන මිනිසා එකඟ නොවේ. තමන් හරි යයි ක්‍රම සහ විධි ඉදිරිපත් කරන අය අනිත් ක්‍රම සහ විධි ගැන සංවාදයට අකැමත්ත නිසා අපි තවමත් ලැග ඉන්නේ වෙනස් කරගත හැකි එහෙත් වෙනස් කර නොගන්නා මිනිස්කමට නොගැලපෙන හැදියාවකය.

පීඩිතයා පීඩිත බවෙන් නිදහස් නොකරන පීඩනය වඩවන දීමනා ගැන මෙසේ සලකා බලමු.

බෞද්ධ දර්ශනය තරම් මිනිසාට සිතන්න නිදහසක් දී ඇති වෙනත් දර්ශනයක් ලොව නැත. අයින් රෑන්ඩ් ඒ ගැන නොදත්තේ (ඇය දැන සිටියේ සෙන් දහම පමණි) පිරිසිදු බුදු දහම ලොව කියන කෙනෙක් නැති නිසාය. හින්දු පසුබිමෙන් එන බුදු දහම හින්දු ආගමේ අදහස් වලින් අනා කළතා සලාදයක් කරගෙන ඇති නිසා බෞද්ධ දර්ශනයට ලොව තිබිය යුතු වටිනා ස්ථානය හින්දු අදහස් පැහැරගෙන ඇත.

ඇමෙරිකන් ආදී පීතෘවරු තමන් විසින් ගෙන ආ නීති පද්ධතිය ස්ථාපිත කළේ එය නිවැරදි යයි ඔවුන් විචාරයෙන් ලත් අවබෝධය නිසාය. එහි වැදගත්කම අද දිනයේ ද පෙනෙනුයේ වසර 220ක් ගත වුවද ඒ මුල් ප්‍රතිපත්ති වෙනස් කළ නොයුතු ප්‍රතිපත්ති මූල ධර්ම සේ පැවතෙන හෙයිනි.

නමුත් ප්‍රතිපත්ති සමුදාය එසේ තිබිය දී, සමාජ සැලසුම් ක්‍රම මඟින් මිනිසාගේ පීඩිත භාවය තව දුරටත් පවත්වා ගෙන යන්නට තමන් විසින් යහපතක් කරනවා යයි සිතා කරන්නේ අයහපතක් බව නොදකින්නේ මෙසේය.

60 ගණන් වල ආරම්භ වුනු සමානාත්මතාවය තහවුරු කරන වැඩ සටහන් ඔවුන් කාලයකට පමණක් සීමා කරන බව කියා පටන් ගත් ඒවාය. මෙතෙක් කළු අයට, කාන්තාවන්ට වැසී තිබු දොරවල් අරින්නට ඔවුන් කළු අය හා කාන්තාවන් සඳහා විශේෂ සැලසුම් ඉදිරිපත් කළහ. එයට කාන්තාව ඇතුල් වීම අහඹු සිද්ධියකි. 1964 දී සිවිල් අයිතීන් පනත සකස් කරද්දී එවක 80 වියැති හාවර්ඩ් ස්මිත් නැමැති වර්ජීනියා ප්‍රාන්තයේ කොන්ග්‍රස් නියෝජිතයා කළු අයගේ අයිතීන්ට කාන්තාව ද එකතු කළේ සමච්චලයටය. කළු අයත් කාන්තාවත් සිවිල් අයිති ලබන්නට සුදුසු නැති බව පෙන්වීමටය. එහෙත් සමච්චලයට පාත්‍ර වූයේ ඔහුය. පනත පාස් විය. මෙතෙක් කළු අය හා කාන්තාවන්ට ඉඩ නොදුන් පාසැල්, විශ්ව විද්‍යාල හා රැකියා වලට ඇතුල්වීමට සමාජයේ ප්‍රතිශතය පෙනෙන සේ කළු අයට හා කාන්තාවන්ට ඉඩකඩ සැලසුනි.

කළු අයගේ අයිතීන් හා කාන්තා අයිතින් වෙනුවෙන් සටන් වැදි සංවිධාන (ජාතික කාන්තා සංවිධානය) බිහි වී ඒ අයගේ කර පිටින් ඒවා ව්‍යාපාරයන් කර ගත්හ. පීඩිතයා‍ වෙනුවෙන් පෙනී සිටි අයම පීඩිතයන් බිහි කරන්නට වූයේ මෙතැන් සිටය.

 පීඩිතයා තුරන් වුවහොත් තමන්ට ව්‍යාපාරයක් නැත. එයින් සියළු මිනිසා වෙත සමානාත්මතාවය වෙනුවට කළු අයට, කාන්තාවට, සුළු ජාතික පිරිස් වලට, සමරිසි පුද්ගලයාට යනුවෙන් මිනිස් සමාජය නැවත බෙ‍ෙදන්නට වුනි. ඊ ළඟට මිනිසාට පමණක් නොව සත්වයාට හා පැළෑටි වලට ද දැන් මිනිසාට ඇති සම අයිතීන්ම ප්‍රදානයට සංවිධාන බිහි වී ඇත.

මිනිස් අයිතීන් සැමටම එක හා සමාන ලෙසින් ස්ථාපිත කරනවා නම්, එක් එක් කොට්ඨාශයන්ගේ අයිතීන් ද ස්ථාපිත වන්නේ යයි තේරුම් ගත නොහැකි වීම මිනිසාගේ අභාග්‍යයකි. සමාජයේ වසන සුළු කොටස් ඉලක්ක කරගත් සැලසුම් දියත් කිරීම නිසා සාමානාත්මතාවය අද  දිනයේ ද ස්ථාපිත වී නැත.

අද ඇමෙරිකාවේ නීතිමය වශයෙන් පීඩිතයා පීඩනය කරන සැලසුම් කිහිපයක උදාහරණ මෙසේය.

කළු වර්ගයා 60 ගණන් තෙක් ඇමෙරිකාවේ ජීවත් වූයේ පීඩනයට ලක් වෙමිනි. නීති‍ ක්‍රියාත්මක නොකිරීම නිසා සුදු වහල් හිමියන්ට කළු අයට මනුෂ්‍යකමට නොසුදුසු වඳ හිංසා ‍දිය හැකි වාතාවරණයක් පැවතින. පවුල් කඩා වෙන්කර මව එක් තැනකටත් පියා තවත් තැනකටත් දරුවන් තැන් තැන් වලටත් විකිණින. කළු ජනයා තම පවුල් එකතුව තබා ගැනීමට මහත් වීර්යයක් දැරූහ. 60 ගණන්වල සටහන් වලින් එවැනි පරිශ්‍රම ගැන දැනගත හැකිය. එහෙත් කළු අයට ප්‍රතිලාභ සැලසුම් දීමත් සමඟ, කළු පිරිමි තම පවුල් වල බර උසුලනවා වෙනුවට පවුලේ බර පැහැර හැර යන්නට පුරුදු කර ඇත. අවජාතක දරුවන් කළු පවුල් වල 1865 සිට 1965 දක්වා සිටියේ 25% කි. (ඒ සමහරු සුදු වහල් හිමියන්ට ජාතක වූ අය වන්නට ඇත.) නමුත් 1965 සිට අද දිනය වෙද්දී අවජාතක දරුවන් කළු පවුල් වල සිටීම 70% දක්වා වර්ධනය වී ඇත. ඇමෙරිකාවේ දරුවකුගේ අයිතිය නිතරඟයෙන් පැවරෙන්නේ මවටය. ලංකාවේ පියාටය. ඇමෙරිකානු සිවිල් සහන සැලසුම් යටතේ මවකට පියා නැති දරුවන් සඳහා රජයෙන් විශේෂ දීමනාවක් ලැබේ. රජයෙන් මෙසේ වසර පුරාම සහන දීමනාවක් ලැබේ නම් මහන්සි වී වැඩ කර මුදල් උපයා පවුල රැකීමට අවශ්‍යතාවයක් ඇති වන්නේ ද? පියා දරුවා ගැන ඇති අයිතියත් වගකීමත් රජයට දී ඇත. කළු ජාතිකයන් අතර මෙය දකින්නට වැඩියෙන් හැකි වන්නේ කළු වහලා මෙරටට ගෙනාවේ අප්‍රිකාවේන් පැහැර ගෙනය. ඔවුන් ශරීර ශක්තියෙන් යුත් අය වුවත් උගත්කමින් යුත් අය නොවූහ. උගත්කම වර්ධනය වන්නට පසුබිමක් සලසා දෙනවා වෙනුවට ප්‍රතිලාභ ඔවුනට දීමෙන් ඔවුන්ගේ දියුණුව කප්පාදු වී ඇත. ඉන්දියාවේ හා ලංකාවේ මෙන් උගත්කමට තැන දෙන හුරුවක් කළු අය තුලින් දකින්නට නොහැක්කේ හුරුවක් වර්ධනය වන්නට ඉඩක් දී නොමැති කමෙනි. නිදහසත් සමඟ යාන්තම් දිවි ගෙවා ගන්නට දීමනාවක් අතට ලැබෙන කල ඊට වඩා දියුණුවක් ගැන සිහින මවන්නේ ඉතා අල්පයකි. බොහෝ අය දීමනාවෙන් ජීවත් වී ලැග ඉන්නා වලෙන් ගොඩ එන්නට නොදනිති. එය තවත් වර්ධනය කරන්නට ඔවුන් වෙනුවෙන්ම යයි පෙනී සිටිනා සංවිධාන ඔවුනට තව තවත් සහන ‍ලබා දෙන්නට සටන් වදිති. අද ඇමෙරිකාවේ කළු අයට රැකියාවට, විශ්ව විද්‍යාලයට, අවජාතක දරුවෙක් සිටිනා කළ, ලැබෙන ප්‍රමුඛත්වය සුදු හම ඇති අයෙකුට නැත. නමුත් 60 ගණන් සිටම පැවතෙන මේ සැලසුමෙන් කළු සියල්ලෝම අද සුදු අයට වඩා හොඳ තත්වයකට යා යුතුව තිබුනා‍ නේද? නිකං ලැබෙන විට කා බී නිකං ඉන්නට බුද්ධිය නැති මිනිසා හුරු වන්නේ ඊට වෙනස් දෙයක් ඇතිදැයි නොදන්නා නිසාය. නමුත් නිකං ලැබෙන්නේ නැති කල මිනිසා තම මොළය වෙහෙසා කන්නට බොන්නට වෙහෙස දැරීමෙන් බුද්ධියක් ඇති කර ගන්නේය.

කාන්තාවගේ තත්වය මීට වෙනස් වුනි. කාන්තාවන් විවිධ ජාතික පසුබිම් වලින් ආ නිසා ඉදිරියට යන්න මාර්ග ඇරුනු කල ඉදිරියට ගියහ. 1953 දී මුල් වරට හාවඩ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයට කාන්තාවට වරම් ලැබුන ද එම ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක් නොතිබුනි. ඊට වැසිකිලියක් ලැබෙන්නේ වසර ගණනකට පසුවය. බටහිර දාර්ශනික ඉතිහාසයේ (බර්ට්‍රන්ඩ් රසල් ලියන) කාන්තා දාර්ශනිකයෙක් ගැන සඳහනක් නොවෙයි. කාන්තා දාර්ශනිකයෝ ග්‍රීසියේ ද සිටි බව අද කියැවේ. ප්‍රංශයේ කාන්තා දාර්ශනිකයෝ සිටියහ. ඔවුන් ලියූ කිසිවක් අවබෝධ කර ගැනීමට නොහැකි තරම් අපහසු භාෂාවකින් ලියැවී තිබීම වෙනම කරුණකි. 1961 දී අයින් රෑන්ඩ් නව දර්ශනවාදයක නිර්මාතෘ වෙයි.

ඇමෙරිකන් සමාජයේ වසා තිබූ දොරවල් ඇරුණු පසු කාන්තාවන් සඳහා වූ සමාජ සැලසුම් නතර කළ යුතුව තිබුණි. නැති වූ මං විවෘත කර දී පුරුෂයාටත් කාන්තාවටත් එකසේ තම දියුණුව සඳහා තරඟ වැදිය යුතු පිටිය සකස් කර පාලකයෝ එතැනින් ඉවත්ව නොගියහ. අද ඇති සමාජ සැලසුම් යටතේ කාන්තාවට තවමත් රැකියා හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වැඩි අවස්ථා ලැබේ. අද සමාජයේ රැකියා නොමැතිව දරුවන් බලා ගන්නා පිරිමි තම භාර්යාව උපයන පඩියෙන් ජීවත් වන්නට හුරු වෙමින් සිටිති. මන්ද අද කාන්තාවට අධ්‍යාපනයට හා රැකියාවට පිරිමියාට වඩා අවස්ථාව ඇති හෙයිනි. පිරිමින්ට හා කාන්තාවන්ට සම අයිතීන් ලබා දෙන්නට ගොස් පාලකයෝ ඉටු කර ඇත්තේ සමානාත්මතාවය‍‍ට ඉඩ සැලසීම ද? භූමිකාව වෙනස් කිරීම ද?

කළු අය‍ට හා කාන්තාවට පමණක් වූ සහන දීමනා වලින් සෑහීමකට පත් නොවන පාලකයෝ අද සුළු ජාතීන්ට ද සහන සැලසුම් දියත් කර ඇත. අතීතයේ දී ඇමෙරිකාවට ආ ඉතාලි ජාතිකයන්, අයිරිශ් ජාතිකයන්, පෝලන්ත ජාතිකයන් ඉංග්‍රීසි හා ප්‍රංශ ජාතිකයන් අතරේ ම්ලේඡයන් ලෙසින් පෙනුනේ ඔවුන්ගේ බුද්ධිය මනින මිම්ම තිබුනේ ඉංග්‍රීසි හා ප්‍රංශ සභ්‍යත්වය තුල නිසාවෙනි. සුදු හම තිබුනත් ආගම හා ජාතිය නිසා කැපී ගිය ඔවුන් සිය උත්සාහයෙන්ම ඉංග්‍රීසි හා ප්‍රංශ පරම්පරා වලින් ආ අය සමඟ සටන් වැදී සිය දියුණුව සලසා ගත්තේ නිදහස් තරඟ බිමකය. ඒ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට සංවිධාන වෙනවාට වඩා ඔවුනට උවමනා වූයේ සමාජයට එකතු වීමට වූ හෙයිනි. එසේම ඔව්හු තම හැදියාවන් හා භාෂාවන් ද අත්හැරියේ නැත. අද සිටිනා සුළු ජාතිකයා තමා ආ ජාතිය ගැන වඩා අවධානය යොමු කර ඇමෙරිකන් වීම අමතක කරයි. අද පුරවැසිකම ගන්නට ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නැත. 1990 දී එය අවශ්‍ය වුනි.

යුරෝපීය, චීන හා ඉන්දියානු ව්ශ්ව විද්‍යාල සිසුන් සඳහා ඇමෙරිකන් විශ්ව විද්‍යාල ඇමෙරිකානුවන්ට නැති විශේෂ පහසුකම් සලසයි. ඔවුන්ට ආදායම් බදු සහන යනාදියත්, පහසු ඇතුල් වීමේ වරපුසාදත්, ශිෂ්‍යත්වත් ඇතුව පැමිණ මෙහි උපන් ඇමෙරිකානුවන් හා තරඟයේ යෙදී තම රට රටවල ආර්ථික රටාවන් වෙනස් වෙද්දී, ඇමෙරිකාවට වඩා අවස්ථා ඒ රටවල  ඇති වෙද්දී ඇමෙරිකාව අතහැර ආපසු යන්නට ඉඩ දෙයි. ඇමෙරිකාවේ උපන්, ඇමෙරිකාවේ බදු ගෙවන, තමනට තිබූ අවස්ථා ඉහත කී පිරිස නිසා මඟ හැරී ගිය අය නියෝජනයට කිසිවෙක් නැත.

සුළු ජාතිකයන් (අද කළු අයත් හිස්පැනික් අයත් සුළු ජාතික වීම සඳහා ද තරඟයේ යෙදති) සඳහා බිහි වූ සංවිධාන අනාගතයේ දී තවත් මුහුණුවරක් ගනු ඇත්ද? විශ්ව විද්‍යාල හා රැකියා සියල්ල කාන්තාවන් හා සුළු ජාතිකයන් වැඩියෙන් ඉන්නා ස්ථාන වූ විට, අනාගතයේ දවසක සුළු වර්ගයා ලෙස සංවිධානය වන සුදු පිරිමියා දකිනු ලැබේද? අද දවසේ එවැනි සංවිධාන එකක් දෙකක් විශ්ව විද්‍යාලයෙන්ම හට ගන්නට තැත් දරනා අකාරය පෙනේ.

මා ජර්මනියේ ඩාමස්ටාඩ් විශ්ව විද්‍යාලයේ (Technische Universitat Darmstadt) කාන්තාව ගැන කතාවක් 1988 දී පැවැත්වූයෙමි. එහි දී ප්‍රශ්නයක් නැඟූ මගේ මිත්‍රයා “පිරිමින්ට පමණක් වෙන් වූ සංවිධාන තිබේ ද?” විමසීය. ඒ ප්‍රශ්නයේ වැදගත්කම තේරුම් ගන්නට මට වසර ගණනාවක් ගතවුනි.

අද ඇමෙරිකන් විශ්ව විද්‍යාලයට ඇති අයෙකුට වඩා නැති අයෙකුට ඇතුල් වීම පහසුය. ඇති හා නැති කියා සලකන්නේ අධ්‍යාපන සුදුසුකම් නොව පවුලේ ආර්ථික තත්වයයි.

අද ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ ප්‍රථම වරට පවුලෙන් විශ්ව විද්‍යාලයට යන අයෙක්ට ඇතුල්වීම පහසුය. ඔවුනට විශේෂ ශිෂ්‍යත්ව පිරිනමයි. එයින් තමන්ගේ දෙමපියන්ට උපාධි තිබීම යන්න පමණින් තවත් දරුවෙක් කැපී යයි. 

අද ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ අවජාතක දරුවෙක් සිටීම නිසා ඇතුල් වීමට පහසුය. ශිෂ්‍යත්ව පිරිනැමේ. එයින් අවජාතක දරුවන් ‍බිහි නොකළ දරුවා කැපී යයි.

එකම ලකුණු ලබා ඇති පිරිමියාත් ගැහැණියත් ඉංජිනේරු අංශයට ඉල්ලුම් කරනා කල ගැහැණියට තැන දී පිරිමියා කැපී යයි. එකම හැකියාවෙන් යුත් පිරිමියෙක් හා ගැහැණියක් නර්තන අංශයට ඉල්ලුම් කරනා කල පිරිමියාට තැන ලැබී ගැහැණිය කැපී යයි. මන්ද ඉංජිනේරු අංශයට ඉල්ලන කාන්තාවෝ අඩු නිසාත් නර්තන අංශයට ඉල්ලන පිරිමියෝ අඩු නිසාත්ය. මෙහි දී සමානාත්මතාවය තහවුරු කරන්නට උත්සාහ දරන්නේ දක්ෂතාවය මත නොව ලිංග භේදය මතය.

අතීතයේ දී දර්ශන අංශයේ කාන්තාවක් සිටියේ කලාතුරකිනි. අද දර්ශන අංශයේ කාන්තාවෝ රජයති. ඒ කාන්තාව හිටි හැටියේ දර්ශනයට විශේෂ දක්ෂතාවයක් වඩවා ගත් නිසාද නැතහොත් පාලක ප්‍රතිපත්ති නිසාදැයි නොදනිමි. සහන සැලසුම් නිසා ද නැතහොත් මගේ බුද්ධිය නිසා ද මා ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක දර්ශන පශ්චාත් උපාධිය සඳහා වරම් ලැබුවේ කියා මා කෙසේ දැන ගනිමි ද?!!

විශ්ව විද්‍යාල සියල්ලකම කාන්තා සිසු නියෝජනය වැඩි වෙමින් පවතී. ඒ කාලයාගේ ඇවෑමෙන් පිරිමි මෝඩ වන නිසා නම් නොවන බව පැහැදිලිය.

මේ සමාජ සැලසුම් ප්‍රතිපත්ති ඇමෙරිකාවට පමණක් සීමා නොවේ. කොළඹට කිරි ගමට කැකිරි නිසා ගම්වලට කිරි ගෙනියනවා වෙනුවට කොළඹ දක්ෂයෝ විශ්ව විද්‍යාල වරම් නොලබා කැපී යති. තව ටික කලක් යනවිට වතුවල වැඩ කරනා ද්‍රවිඩ ජනතාවට කියා විශ්ව විද්‍යාලවල ඉංජිනේරු අංශවල හා වෛද්‍ය පීඨවල ද ඉඩ කඩ වෙන් කරනු ඇත. දක්ෂතාවයට ඉඩ ප්‍රස්ථා ඇති කරනවා වෙනුවට දුර්වලකම් සොය සොයා ඒවා ප්‍රතිසංස්කරණය කරනා මාර්ගයෙන් සමාජය තවත් අගාධයට ඇද දමන පීඩිතයා පීඩනය කරන දීමනා එසේය.

අයින් රෑන්ඩ් කියා සිටියේ සියල්ලන්ටම සමානාත්මතාවය දී එක හා සමාන තරඟ පිටියක සටන් කරන්නට ඉඩදිය යුතු කියාය. ඇයව පිළිගත්තේ ඉතාමත්ම සුළු කොටසක් වීම අරුමයක් නොවේ. තරඟයට මුහුණ දී ජය හෝ පරාජය ලබනවාට වඩා අප අද හුරු වන්නේ අපේ නොහැකියාව වෙන කාගේ හෝ වරදක් කියා වරද පටවන්නට කෙනෙක් සොයන්නටය.

නැති අයට සහන දෙන වැඩ කටයුතු වලට මා එරෙහි යයි සිතන්න එපා. මගේ කිට්ටු ඇමෙරිකන් නෑදෑයා දිනක් මා සමඟ කතා කරද්දී ඉගෙන ගන්නා ළමයින්ට අත දෙන සංවිධානයක් තමා සොයන බව කීවේය. ජීවත්වන්නට ඇති පමණින් මුදල් තිබෙනා නිසා නැති අයට උදව් කරන්නට ඔහුට ආසාවක් ඇති වී තිබුණි. ඔහු ඉන්දියාවේ හා මැලේසියාවේ මෙන්ම ඉතියෝපියාවේ ද වැඩ සටහන් කිහිපයක් ගැන සොයා බලමින් සිටියේය. මා ඔහුට ඇමෙරිකාවේ ලාංකිකයන් පිරිසක් විසින් ආරම්භ කර ඇති පහන්සිල කටයුතු ගැන කියා ඔහුව ඒ අය වෙත යොමු කළෙමි. මේ දිනවල සුද්දාත් ඔහුගේ මල්ලීත් ලංකාවේ ඒ කටයුතු සඳහා පැමිණ ඇත. ඔවුන් දැන් වසර කිහිපයක සිට ඊට දායක වී ඇත. එසේම ඔස්ට්‍රියාවේ සිටින මගේ ලාංකික මිතුරියක් ද දැන් ලංකාවේ දරුවන්ට අධ්‍යාපනය සඳහා අත දෙන වැඩ පිළිවෙලක් කරගෙන යයි. එවැනි කටයුතු වලට මගේ නිසි සහය දෙමි. නමුත් එවැන්නක දී ආර්ථිකයෙන් නැති අයට ලැබුනාට දක්ෂතා ඇති අයව ඉන් කැපී යාමක් සිදු නොවේ. උදව් දෙන්නේ ඉගෙනීමට නිසා එයින් යැපෙන පරපෝෂිත මාර්ගයක් කරගන්නට ද නොහැකි වන සේ නිතිපතා සෙවීමෙන් බැලීමෙන් ඔවුන් කටයුතු කරති. ආණ්ඩුවකින් සමාජ සැලසුම් මෙහෙයවනවාට වඩා මෙසේ තම තම වර්ගයාට වැඩ සලසන මාර්ග එක් එක් පුද්ගලයා අතින් අතීතයේ සිට කෙරුනි. ඔවුන් එයින් කා බී දීමනා බෙදා දීම බඩගෝස්තරය කරගෙන ජිවත් වන්නෝ ද නොවෙති. මෙවැනි වැඩ සටහන් පීඩිතයා පීඩනය කරන දීමනා හෝ නව පීඩිතයන් බිහි කරන දීමනා ‍නොවේ.

ඒ කියද්දී තවත් ආරංචියක් ලියන්නට සිතිණ. ඇන්ඩෲ වෙල්ච්මන් මනෝවිද්‍යා පශ්චාත් උපාධියක් එංගලන්තයේ කරන්නට කැමැත්ත ඇති සිසුන් මේ දිනවල හොයනා ආචාර්යවරයෙකි. මෙතැනින් ඒ ගැන වැඩි විස්තර: http://web.me.com/aewmac/Andrew_Welchman/Opportunities.html

හ්ම්….කාන්තාවන්ට විශේෂ තැනක් ලැබේවි ද? සුළු ජාතිකයන් නිසා ලංකාවෙන් ඉල්ලන අයට විශේෂ සැලකිලි ලැබේ ද? හොයාලාම දැනගන්න.

7 Responses

Subscribe to comments with RSS.

  1. තරිඳු රොෂාන්ත said, on පෙබරවාරි 5, 2010 at 9:57 ප.ව.

    කාන්තා දාර්ශනිකයෝ ගැන මම අහල තියෙන්නෙ. බින්ගන් නගරයේ හිල්ඩගඩ් ගැන විතරයි. තව අය ඉන්නවද ?

    එක්තරා විදේශීය විශ්ව විද්‍යාලයකින් අවුරුද්දට සම්පූ‍ර්ණ ශිෂ්‍යත්වයක් දෙනව. මමත් ඉල්ලුම් කලා. අවසාන කිහිප දෙනා අතරට මමත් තේරුනා. එතනින් වැඩිම සුදුසුකම් තිබුනේ මට උනත්, කොලඹින් ආපු දෙමල ජාතිකයෙක්, ලංකාවේ දෙමල අයට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න අමාරු බව ඔප්පු කල නිසා එයාට තමා ශිෂ්‍යත්වය ලැබුණේ. ඒ කෙනා A/L පාස් 3 ක් අරන් තියෙන්නෙත් දෙවනි පාර ට්‍රයි කරල.

    • arunishapiro said, on පෙබරවාරි 6, 2010 at 6:55 පෙ.ව.

      සම්භව්‍ය ග්‍රීක දාර්ශනික ඉතිහාසය අවසාන යුගයේ කාන්තා දාර්ශනිකයෝ 70 ක් පමණ සිටිය බව අද කියැවේ. ඇස්පාසියා, දියෝතිමා, අරිති සහ හිපාතියා ඒ අතරින් වැදගත්ය. හිපාතියාගේ නමෙන් අද කාන්තා විමුක්තියේ පුවත්පතක් ද නිකුත් වෙයි. මෙම ශතකයේ මුල් භාගයේ දී සිමෝන් ඩ බෝවුර්, සූසන් ලැන්ගර් හා එල්. සූසන් ස්ටෙබින් යන අය සිටියහ. නූතනයේ අයිරිස් මර්ඩොක්, පිලිප්පා ෆුට්, ජී. ඊ. එම්. ඇනස්කෝම්බ් සහ ජූඩිත් ජාවිස් තොම්ප්සන් යන අය ද ගයත්‍රී චක්‍රවර්තී ස්පිවැක්, මොනීක් විටිග්, ලූස් ඉරිගාරේ සහ ජූලියා ක්‍රිස්ටිවා යන අය ද වෙති.

      ශිෂ්‍යත්වයට වුනු දේ අහල කණගාටුයි. ඒත් උත්සාහය තියන කෙනාව නවත්වන්න බෑ ඔහු යන ඉදිරිගමනට බාධා දැම්මට.

    • Siribiris said, on පෙබරවාරි 6, 2010 at 1:12 ප.ව.

      මේං මේකත් ඔය ලිස්ට් එකට දාගන්න.
      A Vindication of the Rights of Woman: with Strictures on Political and Moral Subjects (1792), written by the eighteenth-century British feminist Mary Wollstonecraft

      මට මතක විදිහට, ඔය පොත Rights of Man (1791), by Thomas Paine එක්ක සම්බන්ධයක් තියනවා.

  2. උදිත said, on පෙබරවාරි 5, 2010 at 9:59 ප.ව.

    Paulo Freire ගෙ Pedagogy of the Oppressed පො‍තේ පීඩිතයා ගැන දරන අදහස ගැන මොකද හිතන්නෙ? කෙතරම් ප්‍රතිවිරුද්ධ උනත් ඇමරිකාව අති උත්කර්ෂයට නැගීමෙන් ඔබත් බටහිර හා ඇමරිකාව හෙලා දකිමින් “නුවර පාර” වැනි බ්ලොග් කරැවන් ලබන්නේත් එකම මානසික සතුටක් නොවේදැයි සිතේ.

    • arunishapiro said, on පෙබරවාරි 6, 2010 at 7:01 පෙ.ව.

      ඒ පොත හොයාගෙන කියවලා උත්තරයක් දෙන්නම්. මා ඇමෙරිකාව අති උත්කර්ෂයට නඟන්නට උත්සාහ කරනවා නෙමේ. ඇමෙරිකාවේ ඇති හොඳ පැත්තත් නරක පැත්තත් පෙන්වීම මඟින් ආචාර ධර්ම, මනෝවිද්‍යාව, තාක්ෂණය හා දර්ශනය ගැන සාකච්ඡාවක් කරන්නට දරන උත්සාහයක නිරත වෙනවා පමණි. මානසික සතුට ලැබෙන්නේ අදහස් සටහන් කිරීම නිසා මම දකිනා දේ තවත් අයත් ඒ ආකාරයෙන් දැකීමෙන් ද, අනිත් අය වෙනත් ආකාර‍යකින් දකිනා දේ මට පැහැදිලි කිරීමෙන් මා ද ඒ අය දකිනා ආකාරයෙන් ද බලන්න හුරුව වඩා ගන්නා හුවමාරුවෙන්.

  3. indik said, on පෙබරවාරි 6, 2010 at 3:27 පෙ.ව.

    කාලෙකට පස්සෙ ඔක්කොම කියෙව්වෙ. ගොඩක් වැඩ මේ දවස්වල…

  4. Freek Thinker said, on අප්‍රේල් 25, 2011 at 6:50 පෙ.ව.

    කාන්තා දාර්ශනිකයෝ.? Isn’t that oxymoron..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: