අරුණි ශපීරෝ‍ වෙතින්

ඇත්ත පඹයා හා බොරු පඹයා

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2010

ඇත්ත පඹයා නම් ලෝකයේ ගෙවතු වගා කරනා අය තම වගාව කා විනාශ කරන්නට එන කුරුල්ලන් පලවා හරිනු පිණිස මිනිසාගේ හැඩ හුරුවෙන් හදා ඇති පඹයාය.

බොරු පඹයා නම් අනුන්ව කොපිකැට් කරමින් තමන් විසින් තමන්ව රවටා ගන්නා අයයි.

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක ප්‍රථම වසරේ ඉන්න මගේ දුව රෑ ටෙක්ස්ට් පණිවුඩයක් එවයි. කාමරේ ඉන්න අනිත් 3 දෙනා රියැලිටි ටෙලිවිෂන් බලන්න ඇබිබැහි නිසා හරි කරදරේ නිදා ගන්නත් නෑ යනුවෙන් එහි සඳහන් වෙයි. ඊ ළඟ බ්ලොග් එකෙන් මට ඒ ගැන ලියන්නලු. මං උත්තරයක් ගැහැව්වා මගේ බ්ලොග් කියවන අය වැඩි දෙනෙක් රියැලිටි ෂෝ වලට ඇබ්බැහි අය නෙවේ කියල මම හිතන බව. එතකොට එයා කියනවා ඒක නිසාම තමයි මේ ගැන ලියන්න ඕන එතකොට අර වෙබ් කෑම් එකකින් ඕ ලෙවල් රිසල්ට්ස් ගැන කෙටි චිත්‍රපටිය හදපු dude වගේ ඔරිජිනල් වැඩ කරන්න ආස අය වැඩි වෙයි කොපි කැට් සංස්කෘතිය අනුගමනය කරන බොරු පඹයෝ අඩු වෙයි කියල. වෙබ් කෑම් එකෙන් චිත්‍රපටිය හදලා බ්ලොග් කියවන අපිට බලන්න දාල තිබුනෙ ලක්පති.

දුවගෙ කතාව හරි. කොපි කැට් සංස්කෘතිය අනුගමනය කරන අය බොරු පඹයෝ. ලෝකේ වටේ යනකොට හැම තැනම දකින්න පුළුවන් ඔරිජිනල් අදහස් වල කොපමණ හිඟයක් තියෙනවා ද වග.

මම දුවව පොඩි දවස්වල ඉඳලාම දර්ශන පංති එක්කන් ගියානෙ මාත් එක්ක. ඉතින් එයා පොඩ්ඩක් අනිත් අයට වඩා වැඩියෙන් නිදහස්ව හිතන්න දන්නවා. අද නර්තනය ඉගෙන ගත්තට එයා කැම්පස් ප්‍රථම වසර මට්ටමින් (මෙහෙ තියනවා උසස් පෙළ හා සමාන පංති වලදි ගන්න ඇඩ්වාන්ස් ප්ලේස්මන්‍ට් පංති) මනෝවිද්‍යාව, ඉතිහාසය (ඇමෙරිකන් හා ලෝක), පරිසර සංරක්ෂණය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, වීජ ගණිතය සහ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයන් හදාරලා තියෙන්නෙ. ඇමෙරිකන් පාසැල් ක්‍රමයේ දුර්වලතා දැක්ක නිසා මම විශ්ව විද්‍යාලයෙන් අයින් වෙලා දුවට ගෙදර ඉගැන්නුවා 3 වසරේ සිට 9 දක්වා.

වැඩෙන මොළයකට ආහාර තියෙන්න ඕන. ආහාර නැතිව වැඩෙන සත්වයෙක් කෙසඟ හා ලෙඩ දුක් වලින් පිරි අයෙක් වෙනවා හා සමානව ආහාර නැතිව වැඩෙන මොළයක් පිබිදීමකට ලක් වෙන්නෙ නැහැ. අනිත් සත්වයෝට වඩා අපි වෙනස් වෙන්නෙ හිතන්නට ඇති හැකියාව නිසාමයි. නමුත් අද ලෝකය දිහා බැලුවාම හිතන්න නිදහසක් ඇති වාතාවරණවල දීද හිතන්න හුරු පුරුදුකම ඇත්තෙ ටික දෙනාටයි.

හිතනවා කියන්නේ අනේ ‍අපොයි මෙහෙම රටක් කිය කිය හිතන එක නෙමෙයි. හිතන්න කලින් තමා හිතන විෂය ගැන කරුණු කාරණා සොයා ගන්න ඕන. පුස්තකාල, පොත් සාප්පු, පුවත්පත්, රේඩියෝව සහ දැන් අන්තර්ජාලය අපිට ඒ සඳහා උපකාර වෙනවා. ඒත් අපි එක පැත්තකින් පළවෙන දේ සියල්ල පමණක් පිළිගන්නා නිසා ඒවා පමණක් කියවනවා නම් අපේ මොළේට හිතන්න පුළුවන් එක් නැඹුරුවකින් පමණයි.

අද පැති වලට බර වෙච්ච පුවත්පත්, රේඩියෝ විතරක් නෙමෙයි දත්ත සොයන සංවිධාන, ව්‍යාපෘති දියත් කරන සංවිධාන වගේම විශ්ව විද්‍යාලත් එක එක පැත්තට කඩේ යන ඒවා. ඉතින් එක සංවිධානයකින් එන දත්ත ඒ පැත්තෙ අයගෙ සපෝට් එකට ලියන ඒවා. හරියට දැන ගන්න දෙපැත්තේම දත්ත ගැන දැන ගන්න ඕනා. ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඒක තමයි බොරු පඹයින්ට කරන්න බැරි. බොරු පඹයො වග විභාගයක් නැතුව කියන ඕනෑම දෙයක් පිළිගන්නවා.

අපි සමාජයට අපේ පුද්ගලික තීරණ ගන්‍න ඉඩ දෙන්නෙ නැතුවට අපේ ළමයින්ගෙ මොළ හදන්න බාර දීලා තියෙනවා කිසි විමසීමක් නැතුව. කාලයක් ගිහින් ළමයි ලොකු වෙලා රියැලිටි සංස්කෘතියක් එක්ක එකතු වුනාම ඒක පිටින් ආපු විනාශයක් යයි බනිනවා.

පිටින් ආපු විනාශය ගේ ඇතුලට අරන් තියෙන්නෙ අපිම තමයි. මොකද හැදෙන වැඩෙන මොළයට නිසි ආහාර නොදීපු වැරැද්ද අපේ. අපේ ගෙදර ඇතුලට ගන්න දේවල් අපි කතාබහ කරල තෝරලා බේරලා පිළිගන්නවා ද නැද්ද කියල විමසීමක් කරන හුරුවක් ඇති කරගන්න අය බොරු පඹයෝ වෙන්නෙ නැහැ. විචාරයක් කරන්න නම් ආවේග, මත, පිළිගැනීම් පැත්තකට දාලා කරුණු මොනවාද කියල සංසුන්ව කතාබහ කරන්න ඕනා.

රියැලිටි වැඩ සටහනක රියල් නැත්තෙ මොනවා ද? ලොස්ට් කියන්නෙ අතරමං වුනාම. මේ අය අතරමං නෑනේ. කැමරා ශිල්පියෝයි, අධ්‍යක්ෂකයි කණ්ඩායමක් එක්ක ඉන්න කොට කොහොම ද අතරමං කියන්නෙ?

සාමාන්‍ය පුද්ගලයෝ විසින් සත්‍යය ජීවිතයේ සිදු කරන දේවල් රූ ගත කලාට ඒකෙන් කිසිම රසාස්වාදයක් විඳින්න නැහැ. දවසක් හෝ දවස් කිහිපයක් රසවත් වුනාට එදිනෙදා ජිවිතය රසවත් චිත්‍රපටියක් නෙමෙයි.

ඉතින් සාමාන්‍ය පුද්ගලයෝ කියලා මහත් සංඛ්‍යාවකින් කිහිප දෙනෙක් තෝරාගෙන ඒ අයව අසාමාන්‍ය තැනකට දාලා සාමාන්‍ය අපිට ඒ අයගෙ පාලනයකින් වන අසාමාන්‍ය සිදුවීම් පෙන්වනවා. එහෙම නැත්නම් අසාමාන්‍ය අය අතර තරඟයක් තියල සාමාන්‍ය අපිට ඒක පෙන්නනවා. ඒකයි සංගීතයට දක්ෂ හෝ නර්තනයට දක්ෂ අය අතරින් සුපිරි කෙනෙක් සොයා ගන්න තරඟය.

රූ රැජින තරඟ අතීතයේ පටන් එන රියැලිටි ෂෝ. මෝටර් රේස්, ක්‍රිකට් මැච්, චන්ද රැළි හා චන්ද ප්‍රතිඵල සේරමත් රියැලිටි වැඩ සටහන්. ඒවායෙහි තරඟ කරන අය වැඩ සටහන් නිෂ්පාදනය කරන අය අතින් පාලනය වීමක් හෝ මෙහෙයවීමක් නැහැ. ඒවා අගය කරන්න කෙසේ වෙතත් ඒවායේ වෙන්නෙ මොකද කියල වටහා ගන්න පුටුවක් උඩ වාඩිවෙලා ටෙලිවිෂන් සෙට් එක දිහා බලල මදි. තරඟයේ නීතිත් රියැලිටි ෂෝ වලට වඩා සංකීර්ණයි. ඒවල තරඟ වදින රියල් තරඟකරුවො කවුද කියල වැඩ සටහන පටන් ගන්න කළින් කෙටියෙන් හැඳින්වීමක් කළාට ඒක මදි තරඟකාරයෝ දිනයි ද පරදියි ද මැන ගන්න. ඒවා ගැන ඇල්මක් ඇති කෙනෙකුට තමයි තරඟයේ අළුත් අය කවුද පරණ අය කවුද පැරදෙන්නෙ කවුද දිනන්නට ඉඩ තියෙන්නෙ කාටද කියලා හිත හිතා රස විඳින්න පුළුවන්. කාලයත් සීමාසහිත නැහැ. එපිසෝඩ් ටික ගණන් කරල ජයග්‍රහණය ලැබෙන්නෙ කාට ද කියන්න අමාරුයි. එක එක කාලෙට අළුත් අය එක්වෙනවා. පරණ අය හැලෙනවා. දිග කාලයක් යන නිසා කෙටි අවධානයකින් ඉන්න අයට මතකයේ තබා ගන්න අමාරුයි.

චන්ද කාලෙට බ්ලොග් කියවන එකත් රියැලිටි රස විඳීමක් වගේ ඇබ්බැහි වෙච්ච අය හිටියානෙ.

ඉතින් රියැලිටි ෂෝ වල තවත් පැත්තක්. මහත් පිරිසක් අතරින් එක් අයෙක් මහත් ජනප්‍රියතාවයක් ලැබීම. හරියට ලොතරැයි දිනනවා වගේ. දිනුව අයට ජය. අනිත් අය පරාජයට මුහුණ දෙන්න ඉගෙන ගන්නව. ලැබිච්ච පරාජයෙන් පාඩමක් ඉගෙන ගන්නව. ලැබිච්ච ප්‍රසිද්ධියෙන් කීයක් හරි හම්බ කරගන්නව. රියැලිටි වැඩ සටහන් හදන අය පඹයෝ කැමැත්තෙන්ම දෙන සල්ලි හෝ ගාලා ගොඩ ගහ ගන්නව.

නරඹන්න වැඩිය මොළේ වෙහෙසන්න අවශ්‍ය නැති නිසා මොළේ වෙහෙසන්න වෙනත් අංශ හොයා ගන්නවා. ඒකට රියැලිටි ෂෝ එක පටන් ගන්න දවස් ගණන් කලින් තියා ඒ ගැන කතාබහ සහ ඉවර වෙලා දවස් ගණනක් යනකම් ඒ ගැන තවත් කතාබහ කරනව. කිසි හරයක් නැති දෙයක් ගැන දවස් ගණන් කතා කරන්න ලේසි නැහැ. ඒකත් වර්ධනය කරගන්නා හැකියාවක්.

ඉතින් මොළය වෙහෙසන්න කැමති නැති වැඩි පිරිස රියැලිටි කියල බලන්න පුරදු වෙලා ඉන්නෙ රියල් නැති දේවල්නෙ. එතකොට හැන්දට බෙදලා බොන්න දිව ළඟින් තිබ්බම ගිලින එක විතරයි කරන්න ඕන. පසුබිමක් ගැන හොයන්න බලන්න යන කාලය ඉතිරි වෙනව. හොඳක් නරකක් ගැන හොයන්න යන කාලය ඉතිරි වෙනව. 

කොපිකැට් කරන බොරු පඹයෝ එදාත් හිටිය. අදත් ඉන්නවා. හෙටත් ඉඳියි. නමුත් එයාල නෙමේ රටක් ජාතියක් ඉදිරියට ගෙනි යන්නෙ. ඔය අතරෙ ඉන්නවා මහන්සි වෙලා තමන් විසින් හොයලා බලලා නිදහස් සිතුවිලි වලින් රියල් මොනවාද කියලා හොයා ගන්න ටික දෙනෙක්. ඒ ටික දෙනා අර විශාල පඹ අනුගාමිකයන් වත් කරගහ ගෙන ලෝකය ඉදිරියට ගෙනි යනවා. ඒ පඹ අනුගාමිකයෝව හුරු කරලා තියෙන්නෙ අනුගමනය කරන්න නිසා ලේසියි දක්කා ගෙන යන්න. ඉතින් ඒ අය සංස්කෘතිය නාස්ති කරල දායි කියල බය වෙන්න ඕන නෑ. ඔරිජිනල් අදහස් ඇති ටික දෙනෙක් ඉඳ හිටල (අර අයගෙ බරත් කර ගහගෙන යන නිසා එයාලට වැඩ වැඩියි) ඉඩ පහසු ඇති වෙලාවට ලෝකයට ඔරිජිනල් දෙයකුත් නිර්මාණය කරල දායාද කරනවා.

ලෝකෙ හැම තැනම ගිහින් බැලුවාම, ඉතිහාසය කියවලා බැලුවාම එදාත් වෙලා තියෙන්නෙ, අදත් වෙන්නෙ, අනාගතයේත් සිදු වන්න පුළුවන් ඕකම තමයි. ඒකත් මනුෂ්‍ය ස්වභාවයනෙ.

ඡායාරූප ඉතිහාසයේ වඩාත්ම නැවත ගහපු ඡායාරූපය හැටියට හැඳින්වෙන්නෙ ජෝ රොසෙන්තාල් නැමති ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පියා 1945 පෙබරවාරි 23 වැනිදා ගත්තු ඉවෝ ජීමාවේ ඇමෙරිකන් සෙබළු කණ්ඩායමක් ඇමෙරිකන් කොඩිය ඔසවන ඡායාරූපය. මෙන්න ඒක:

2010 පෙබරවාරි 6 වැනිදා “ද ඉකොනොමිස්‍ට්” සඟරාවේ (එංගලන්තයේ ප්‍රකාශිත) ලංකාවේ අළුත්ම දාහේ නෝට්ටුවේ පින්තූරයක් දාලා තිබුණ. අර ඉහතින් දාපු පින්තූරය ගැන ද සඳහන් කරන සඟරාව මේක දකින්නේ කොපි කැට් කිරීමක් හැටියට. අජිත් කබ්රාල් මහත්තය “එක වගේ පෙනුම තියන අය කොච්චර ඉන්නව ද?” කියලත් අහල මේ ඡායාරූපය අර ප්‍රසිද්ධ ඡායාරූපය වගේම වීම අහඹු සිදුවීමක් බව පෙන්වන්න. මෙන්න රුපියල් දාහේ නෝට්ටුවේ පින්තූරය:

මේක කියවද්දි මතක් වුනා ඔරිජිනල් අදහසක් තියෙන රුපියල් නෝට්ටුවක් ගැන. ඒකත් තිබුනෙ “ද ඉකොනොමිස්ට්” සඟරාවේම තමයි. අල්ලස් ගැනීම තුරන් කරන්න ගහපු ඉන්දියාවේ නෝට්ටුවක්. මේ‍ක රුපියල් බිංදුවක නෝට්ටුවක්. ඉන්දීය රුපියල් පනහේ පාටෙන් හදල තියන මේක මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ඉන්දීයානු භෞතික විද්‍යා මහාචාර්යවරයෙක්ගෙ ඔරිජිනල් අදහසක්. එයා ආපහු ඉන්දියාවට ගියාම පගා ඉල්ලන අය දැකල එපා වෙල මේ විදියට නෝට්ටු හදාගෙන පගා ඉල්ලන අයට දීලා පගා දීමට තමා කැමති නැති බව පෙන්වන්න.

ඒක දැකපු විජේ ආනන්ද් කියන 5th Pillar සංවිධානයේ සභාපති මේ වගේ නෝට්ටු විසිපන්දාහක් ගහලා පගා අල්ලස් ඉල්ලන අයට දෙන්න කියල එයාගේ සංවිධානයෙන් පටන් ගෙන. 2007 සිට අද වෙනතෙක් එයාල නෝට්ටු මිලියනයක් බෙදා හැරලා තියෙනවාලු.

තමිල් නාඩුවේ එක නිලධාරියෙක් තමන් අතට මේ බිංදුවේ නෝට්ටුව ලැබුණාම කොයි තරම් ලැජ්ජා වුනා ද කිව්වොත් තමා ගමට විදුලිය අරන් දීමට ගත් අල්ලස් සේරම ආපසු දීලා දැම්මාලු. තවත් එක්කෙනක් දුව ඉස්කෝලෙකට දා ගන්න ආපු වයසක ආච්චි කෙනෙකුගෙන් අල්ලසක් ගන්න ගිහින් මේක ලැබුණම අල්ලස නොගෙන ආච්චිට තේකක් දීලා වැඩෙත් කරලා දීලම යවලා තියෙනවා.

ආනන්ද් මහත්තයා පෙන්නන්නේ අල්ලස් ගැනීම හිතන්නෙ නැතුව කරන තරමට සමාජයේ පැතිරිලා නිසා මෙහෙම නොකරන කෙනෙක් හමු වුනාම අල්ලස් පගා ගන්න අය කල්පනා කරල බලන්න පෙ‍ළඹෙනවා කියල. මේ වගේ අදහස් හැම තිස්සෙම වැඩ කරන්නෙ නැති බව එයාල පිළිගන්නව. ඉන්දීය ආණ්ඩුව පගා ගන්න අයගෙ ලැයිස්තුවක් දාලා තියෙනවා අන්තර්ජාලයෙන්. එතැන දී කොයි නිලධාරීන් අල්ලස් ගන්නව ද දැන ගත්තු ජනතාව වැඩි වැඩියෙන් එයාල ළඟට ගිහින් වැඩ කරවා ගන්න.

ඉතින් මේ ඔරිජිනල් අයිඩියා එකේ මුදල් අගයක් නැති වුනාට වටිනාකමක් තියෙනවා.  මෙන්න ඒ බිංදුවේ නෝට්ටුව:

ලංකාවේ නෝට්ටු හා ඉන්දියාවේ නෝට්ටු “ද ඉකොනොමිස්ට්” සඟරාවෙනි. ඉවෝ ජීමා පින්තූරය www.iwojima.com වෙතිනි.

14 Responses

Subscribe to comments with RSS.

  1. පිටස්තරයා said, on පෙබරවාරි 6, 2010 at 2:51 ප.ව.

    Flags of Our Fathers කියන චිත්‍රපටිය බලන්න (Clint Eastwood අධ්‍යක්ෂණය). ඉවෝ ජිමා පින්තූරය දැකපු නිසා චිත්‍රපටිය ගැන කිව්වේ.

  2. Sam said, on පෙබරවාරි 6, 2010 at 2:56 ප.ව.

    ලංකාවේ මෑත ඉතිහාසයේ ගොඩක් දේවල් අරගෙන බැලුවතින් ඕහොම තමයී. අන්තර්ජාල නොතිබුනු කාලයේ බොහොම සුලු කොටසකට විතරක් පිට රටවල දේවල් දකින්න කියන්න ඉගන ගන්න ලබුනා. ඒ ගොල්ලො ලංකාවේ ඒවා තමාගේ අදහස වගේ ප්‍රකාශකරලා, ලූලා නැතිවලට කනයා පන්ඩිතයා වුනා. ප්‍රන්ෂයෙන් එංගලන්තෙන් කොපි කර ගත්තු සමසමාජ වාදයෝ ලංකාවට ඇවිල්ල අඳ ගොවි ක්‍රමය නැති කොරලා දැම්ම, මහා විනාශයක් කොලා, දැන් බටහිරට විරුද්දව කෑගහනව. අර ඇමරිකාවේ ඇපල් ගස්ද මොනවාද හිටවාපු උන්දෑ වාගේ අපේ අය කොස් ගස් හිටවන්න ගත්ත. පහුගිය දවසක මට ඔන්න සන්නාලියනේ සින්දුවේ ඉන්දියානු රචනය හමු වුනා. ඔය රුපියල් දෙදාහේ කතාවත් එහෙමයී. ලංකාවේ බොහෝමයක් දෙනා තවම පලමු රූපය දැකලා නැහැ. ඒ නිසා ඒ නෝට්ටුව ඇදපු කනයාට වලේ පන්ඩිතයා වෙන්න පුලුවන්.

    සිංහල බ්ලොග් දවසින් දවස වැඩිවෙන හැටි ආසාවෙන් බලාගෙන ඉන්නේ ඒ නිසායී. කනයින් පන්ඩිතයන් වීම වලක්වන්න පුලුවන් වල ගොඩ කිරීමෙන් විතරයී. අන්තර්ජාලය හිමීට හිමීට මේ වල ගොඩ කරයී කියලායී මම හිතන්නේ.

  3. prabath said, on පෙබරවාරි 6, 2010 at 8:17 ප.ව.

    Hello Aruni,
    could you give us a little update about Amerikan Tax system?

    http://justathoughtnotasermon.blogspot.com/

  4. තරිඳු said, on පෙබරවාරි 6, 2010 at 10:18 ප.ව.

    කොපි කිරීම දැන් සිංහල බ්ලොග් අවකාශේත් පැතිරී යනවා. අවාසනාවකට කරුණ බොහෝ දෙනා ඒක අනුමත කිරීම. මගේ ඊලඟ ලිපිට ඒ ගැන.

  5. V said, on පෙබරවාරි 7, 2010 at 12:08 පෙ.ව.

    මෙකේ තව හරස් කඩක් තියෙනවා

    ඇයි ලංකාවේ බහුතරයක් තමාගේම දෙයක් කරන්න හදන්නේ නැත්තේ ?

    හුගක් වේලාවට අපි පුරුදු වෙලා ඉන්න විදිය ඒක වෙන්න ඇති

    එහෙම නැත්නම් අපි ඉගෙන ගෙන තියෙන්නේ අනුකරණය කිරීමට පමණයි

    තව දෙයක් මමත් බොහොම උත්සහ කරන්වා innovative දෙයක් කරන්න හැබැයි මට ඒ තත්ත්වයට තාම මගේ හිතන විදිය වෙනස් කර ගන්න බැරි උනා

    • Sam said, on පෙබරවාරි 7, 2010 at 12:42 පෙ.ව.

      මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියනවා.

      • arunishapiro said, on පෙබරවාරි 7, 2010 at 12:07 ප.ව.

        කොපිකැට් කරන අයට සෑම් දාපු මේ වගේ අනගි ලෙක්චර් එකක් සිංහලෙන් ලියලා දාන්න බැරි ද? වෙලාව තියන කවුරු හරි කළොත් හොඳයි අනිත් අයට කියවන්න. කියපු සේරම එක්ක එකඟ නැති වුනාට බොහෝ දේ වඩාත්ම වැදගත් ලංකාව වගේ නිතරම අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන රටකට පැහැදිලි පදනමක් හොයාගන්න.

  6. Anewasika said, on පෙබරවාරි 7, 2010 at 8:16 පෙ.ව.

    බොරු පඹය ඉන්න නෝට්ටුව නං මාත් දැක්කා ලඟදි ලංකාවට ගිය වෙලේ.

    – අනේවාසික

  7. කොපි කිරීම | අච්චාරු said, on පෙබරවාරි 7, 2010 at 11:33 පෙ.ව.

    […] දෙයක් අරුණි සහෝදරිය ලියල තියෙනවා. මෙතනින් ඒක කියවන්න. reinvent wheel, උපුටා ගැනීම, කොපි […]

  8. […] හැටි පහත විඩියෝවෙන් බලන්නට පුළුවන්. ඇත්ත පඹයන් හා බොරු පඹයන් අතර වෙනස හඳුන… හැකිවේවි ද? රස්සාවක් කියන්නෙ […]

  9. කොපි කිරීම – Tharindu R M said, on ඔක්තෝබර් 4, 2021 at 9:23 ප.ව.

    […] දෙයක් අරුණි සහෝදරිය ලියල තියෙනවා. මෙතනින් ඒක […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: