අශ්ව ලාඩමේ සෞභාග්‍ය හැලුනි
අශ්ව ලාඩම් හරියට සිංහල “ප” යන්න වගේ. නමුත් මැදින් පොඩ්ඩක් හිස්. සෞභාග්‍ය පිරීලා තියාගන්න අශ්ව ලාඩම ධාන්‍ය ගබඩා කරන ස්ටෝරුවේ හරි කෘෂිකාර්මික ගොඩනැඟිල්ලක එල්ලනවා. ඒත් ඊයේ අවසන් මහා සුපර් බෝල් තරඟයේ දී මගේ අශ්ව පැටව් කාණ්ඩායමේ සෞභාග්‍ය නම් හැලිලා ගියා. අවසාන මිනිත්තු හත වෙද්දීත් දිනයි ද පරදියි ද කියලා හිතා ගන්න බැරි තරම් කරින් කර සටන් වැදුනත්, අනිත් කණ්ඩායම බැටේ දෙන එක අත හැරියේම නැහැ. පොඩි අත්වැරදීම් අශ්ව පැටවුන් වෙතින් කෙරෙන්න අනිත් කණ්ඩායම සෑහෙන්න කල්පනාවෙන් තරඟ කලා එයාලගේ අඩුපාඩු ඉක්මණින්ම නිවැරදි කරගෙන. දෙපැත්තෙන්ම වාර්තා බිඳ හෙලුවත් ටීම් එක පැරදුනාම දුකයි.
සතුට කියන්නේ මිනිසාට අවශ්‍ය සුඛෝපභෝගී තත්වයක් ද? නැත්නම් මනෝවිද්‍යානුකූලව නැතිවම බැරි උවමනාවක් ද? ඉතින් සුපර් බෝල් බලන අතරේ මෙන්න කතාව ඇදිලා යනවා.
අපේ පිල දිනුවාම අපේ සතුට කියන්න බැරි තරම්. අපිට ආර්ථික වශයෙන් පුද්ගලික ලාභයක් අලාභයක් නැතුවට (ඔට්ටු ඇල්ලුවේ නැති නිසා) “අපේ” කියලා අපි කියා ගන්න නිසා පිල දිනුවම අපිත් ලබන්නෙ එයින් උකහා ගන්නෙ සතුටක්.
අපේ පිල පැරදුනාම අපිට දුකක් දැනෙනවා. පිලේ තරඟ වැදුනු සමහර අයගේ රස්සාවල් හිටන් ගහලා යන එක ගැන නෙමේ, දැන් එයාලට ලැබෙන සල්ලි අඩුයි කියලා හෝ ක්‍රීඩකයන්ට වූ ශාරීරික තුවාල නිසාත් නෙමේ. තනිකරම පැරදුනු බව නිසා සිතට ඇති දුක. ඒ පිල අපේ කියලා අපි සිතින් අල්ලා ගෙන සිටි නිසා ද?
සතුට කියන වචනයේ පුළුල්ම අර්ථය ගත්තම එයින් කියැවෙන්නෙ යම් කාර්යයක සාර්ථක ක්රියාදාමයකින් ලැබෙන තෑග්ගක්. එයින් සාර්ථක්තවය, ඉදිරියට යෑම හා ජීවය දැක්වෙනවා සේ දුක යන වචනය පුළුල් ව යොදලා තියෙන්නෙ නොහැකියාව, විනාසය හා මරණය යන පිළිවෙල දැක්වෙන ආකාරයට.
සතුට කියන තත්වයේ ඉන්න මිනිසා ජීවිතයේ අගය අත්දකියි. ජීවිතය ජීවත්වීම වැදගත් යයි සිතයි. එසේම ජීවිතය ගැටගසා ගන්නට උත්සාහයක යෙදෙයි. ජීවත්වීම සඳහා මිනිසා යම් යම් අගයන් අත් කර ගැනීම සඳහා වෙහෙසිය යුතුයි. සතුට හා සොම්නස යනු තමාගේ සාර්ථකත්වය සඳහා ලැබෙන දීමනාවයි. ඒ නිසා සතුට හා සොම්නස අත් කර ගන්නට තව තවත් සාර්ථකත්වය ලබා ගන්නට මිනිසා කටයුතු කරයි.
නමුත් අපේ පිල දිනුවා පැරදුනා කියල අපි කොහොම ද කෙළින්ම ඒකෙන් සතුටක් හෝ දුකක් විඳින්නේ? මොකද අපි සටන් වැදිලා නෙමෙයිනේ දිනුම හෝ පරාජය තීරණය වුනේ?
සතුට කියන එක අත්පත් කරගන්නට සාර්ථකත්වය සඳහා වෙහෙසන මිනිසා “මම මගේ පැවැත්ම පාලනය කරන අයෙක්මි” යන පුස්තුතය මත වැඩ කරන නිසා සතුට අත්දැකීමේ දී එය නිතැතයෙන්ම ගැබ් වූ එකක්. තවත් විදියකින් කිව්වොත් කවුරු හරි නිකං දීලා යන දෙයකට වඩා තමන් හොයා ගත්තු දෙයකින් මිනිසාට සතුට වැඩියෙන් ලැබෙනවා. මොකද නිකං ලැබුන දේ ලැබෙන්නත් නොලැබෙන්නත් ඉඩ තියෙනවා. තමන් විසින් ඒකට වෙහෙසීමක් නැහැ. නමුත් වෙහෙසකින් ලබා ගන්න කටයුතු කිරීම, තමන් විසින් පාලනය කරන ලද ක්‍රියාදාමයක් නිසා තමාගේ සාර්ථකත්වය තමාට මැන ගත හැකියි.
ඉතින් ඒ නිර්වචන ආවේ මනෝවිද්‍යාවෙන්. ඒ වගේම දුක දැනුනම අපිට අපේ පැවැත්ම, ක්‍රියා පිළිවෙත පාලනයක් නැතිව ගියා කියල “කර කියා ගන්න දෙයක් නැහැ” හැඟීම ඇතිවෙනවා. සතුට කියන්නෙ හිතට දැනෙන “පාලනය මගේ අතේ”, “සාර්ථක්තවය මා අතේ” කියන හැඟීම් වල ප්‍රතිඵලය. දුක කියන්නෙ කිසිත් කරගන්න බැහැ කියන බෙලහීනත්වය.
අපේ පිල කියලා අල්ලා ගෙන ඉන්න නිසා අපි මේ සතුට හා දුක පිලේ පරාජයත් එක්ක අපේ පාලනය (සැබැවින්ම තිබුනේ නැතත්) පවත්වා ගත්තා හෝ නැතිව ගියා කියන හැඟීම් වලින් අපේ ජීවිතයට මුසුකර ගන්නවා. ඒක මනුෂ්‍ය හිතේ ස්වභාවය.
ඉතින් දර්ශනයෙන් මේ ජය පරාජය දකිනා අකාරය කොහොම ද?
සතුට ලැබෙන ආකාර වලින් වඩාත්ම විශිෂ්ඨ සතුටක් කියලා හැඳින්වෙන්නෙ අභිමානය (pride). තමන්ගේ ක්‍රියාදාම වලින් ලැබෙන සාර්ථකත්වය නිසා තමාගේ භූමිකාව හැඩගස්වා ගන්නා සතුට එයයි. එවැනි පුද්ගලයෙකුට තියෙනවා ප්‍රතිපත්ති සමූහයක්. අරමුණු සාර්ථක කරගන්න යයි ඒ ප්‍රතිපත්ති වලට පයින් ගහලා යන කෙනෙක් නෙමේ අභිමානයට හිමිකමක් කියන්නෙ. එසේම මිනිසාට හැකියාව තියෙනවා කෙනෙකුට ඇති ගෞරවය නිසා සතුට ලබන්න හැකියාවක්. තවත් අයෙකුෙග් උත්සාහය හා වීර්යය නිසා ඒ අය ලබා ගන්නා සාර්ථකත්වය දැක තමන් ලබන සතුට (admiration).
මේක රොමැන්තික අදහසක් බවට සමහරු තර්ක කළා. ඒ ගැන පස්සෙ දවසක මොකද ඒකට ආදරයයි ආදරයේ ප්‍රීති උත්සවය හැටියට පවත්වන ලිංගික ක්‍රියාවයි ඇදිලා ආවා කතා බහට. ඊයේ සංවාද මම හොඳට අහගෙන හිටියේ මේ බ්ලොග් එකට ලියන්න හිතාගෙනම.
ඉතින් දර්ශනයෙන් බලන කොට අපි සාකච්ඡා කළා පැරදුනත් සතුටු වෙන්න ඉඩ කඩක් ඇති ද යන්න ගැන.
බුද්ධිය, ආත්ම විශ්වාසය, මනා පෞරුෂය ඇති අය අගය කරන කෙනෙක් කියන්නන් වාලේ හැමකක්ම දොඩවන, අනුන් කියන දේ හිතන්නෙ බලන්නෙ නැතුව අනුගමනය කරන, තමන්ට කියලා කිසිම තීරණයක් ගන්න බැරුව ඉන්න කෙනෙක්ව අගය කරනවා ද?
අපි සුපර් බෝල් නැරඹුවේ ගෙදරක. දෙපිලම නියෝජනය කරන අයත් එතන හිටියා. අපි හැමෝටම වගේ ප්‍රථම උපාධියක් තරමටවත් ඉගෙනීම තිබුණා. ඉතින් සමහර විට මේ වගේ කතාබහට ඉඩකඩ තිබුනු වාතාවරණ රටේ හැම තැනම තියෙන්නෙ නැතිව ඇති. ඒ ගැන කතාව වුනේ අර ඉහළින් කියපු අපි අගය කරන අය කවුදැයි හඳුන්වන්න යනකොට.
අපි කතා බහට එකතු වෙලා එයින් රස වින්දයක් ලබන්නේ අපි කතාබහ කරන අයත් අපේ බුද්ධි මට්ටමේ ඉන්නවා නම් පමණයි. කෙනෙකුට හිනාවෙලා විඳින රස වින්දනය නොවේ. එකතුව විඳින්නක්. එහෙම කරන්න නම් අපි කතාබහ කරන අය ගැන අපිට අපි ගැන වගේම අභිමානයක් සහ ආඩම්බරයක් තිබිය යුතුයි. එහෙම කරන්න හැකියාව ලැබෙන්නේ ඒ අගැයුම් හොයා යන අයටත් පමණයි. ඕනම ස්පෝර්ට්ස් බාර් එකකට ගොඩවැදිලා සුපර් බෝල් නරඹපු අයට තමන් හා එකතු වුනෙත් බියර් බොන්නයි, කුකුල් අඬු කන්නයි පුරුදු වෙච්ච කටිටියනේ.
ඉතින් ඊයේ දෙපැත්තෙම සටන් වැදිච්ච ටීම් දෙකත් අපිට ඒ වගේම අභිමානයෙන් හා ආඩම්බරයෙන් සලකන්න පුළුවන් ද? දෙපැත්තම දිනන්න සටන් වැදුනේ ඉතා උද්යෝගයෙන්. දෙපැත්තෙන්ම වාර්තා බිඳ හෙලන්න සමත් වුනා. ඊ ළඟට දෙපැත්තම කරපු පෙනල්ටි අවමයි. ඒ කියන්නෙ තරඟ වැදුනේ හොර බොරු වංචාවෙන් දිනන්න නෙමෙයි. එතකොට දිනුවත් පැරදුනත් පිල ගැන අභිමානය සහ ආඩම්බරය අපිට නැතුව ගියේ නැහැ. එහෙම නම් තවත් දවසක දිනන තෙක් දුකින් ඉන්නෙ නැතුව සතුටු වෙන්න අපි හිතා ගත්ත! සතුට කියන්නෙ මිනිසාට අවශ්‍යම තත්වයක්. සතුට නැති ජීවිතයක ඵලක් නැහැ. නමුත් මිනිසාට හිතන්න මොළයක් තියන නිසා අපේක්ෂා සුන් වුනත් සතුටු වෙන්න හිත හදාගන්න අළුත් අපේක්ෂා ඇති කර ගන්න පුළුවන්.
ෆුට්බෝල් සීසන් එක ඉවරයි. දැන් කැනඩාවේ ඔලිම්පික් රියැලිටි ෂෝ එක බලන්න ලැහැස්ති වෙන්න ඕන. ප්‍රථම වතාවට කැනඩාවේ ඔලිම්පික් ක්‍රීඩකයෙකු/ක්‍රීඩිකාවකට කැනඩා මාතෘ භූමියේ තියන ඔලිම්පික් තරඟයක දී රත්තරන් පදක්කමක් දිනාගත හැකිවේ ද? ජැකොබේලිස් (Lindsey Jacobellis) මෙවර තරඟයේ දීත් හිමලෑල්ල පනින්න ගිහින් විච්චූර්ණ දාන්න ගිහින් වැටෙයි ද?
මේකත් සටහනට එක් කරලාම නවතින්නම්. අශ්ව ලාඩමට නිල් පාට ගාලා ඒක අශ්ව පැටව් කණ්ඩායම තමන්ගෙ පිල නියෝජනය කරන ලාංඡනය හැටියට භාවිතා කරන්නෙ. ඒක හරි පැත්තට එල්ලා ගෙන සෞභාග්‍ය ඊ ළඟ සීසන් එනතෙක් එකතු කරන්න පුළුවන් එයාලට. සුපර් බෝල් (Super Bowl) කියන්නේ තරඟය තියන ගොඩනැඟිල්ලේ බේසමක් (bowl) වගේ හැඩය නිසා. පතුලේ සෙල්ලම් කරන පිට්ටනිය. ඇතුලේ වටේ තමයි නරඹන්නෝ වාඩි වෙන්නෙ. විශාලම ෆුට්බෝල් ක්‍රීඩාංගනය පිහිටා ඇත්තෙ Michigan Stadium, Ann Arbor, Michigan ඒකේ ආසන 107,000 කි.
පෙරේදා තරඟය කෝල්ට්ස් පැරදුනා නේද? මටනම් බලන්න බැරිවුනා.
මොනව උනත් කමක්නෑ. මෙච්චරකල් හොඳටම සෙල්ලම් කලානෙ.
Nielsen කියන්නෙ රූපවාහිනී, රේඩියෝ යනාදිය අහන බලන අය කොච්චර ද කියලා ගණන් කරන කොම්පැණියක්. ඒ අයට අනුව මිලියන 106.5 ක් නරඹලා වඩාත්ම සංඛ්‍යාවක් නරඹපු රූපවාහිනී වැඩසටහන ලෙස තරඟය වාර්තා වෙනවා. ප්‍රින්සස් ඩයානාගේ වෙඩින් එක තමයි ඊ ළඟට ලෝකයේ වැඩියෙන්ම ජනතාවක් නරඹලා තියෙන්නෙ කියලා රේඩියෝව අද කියනවාත් අහගන හිටියා.
හිහ් හිහ්… සමහර මෝඩ ඇමරිකන්කාරයෝ හිතාගෙන ඉන්නෙ මේක ලෝකයේම මිනිස්සු බලන තරඟයක් කියලා. CNN වගේ වැදගත් මාධ්‍ය පවා මේක කීම මට හිතාගන්නවත් බෑ.
[…] තිබුණත් ඒ මූලාශ්‍ර සොයන්නට නොගියෙමි. සුපර්බෝල් බලන්න ආ දා කතාබහ ඇසුරින්. වැලන්ටයින් ගැන සටහන් යන නිසා අද […]