අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිසාගේ අවරෝහණය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 9, 2010

දේශගුණික වෙනස්කම් ගැන කතා කරන්න ගිහින් බුද්ධිමත් මිනිස්සු දැන් සියදිවිනසා ගන්න හිතනවා කියල 2010 පෙබරවාරි 7 වැනිදා ලන්ඩනයේ පළ කරන Sunday Times පත්තරේ ප්‍රවෘත්තියක්. විද්‍යුත් තැපැල් වලින් යවපු ලිපිවල තිබුණු කරුණු කාරණා පහුගිය දවස්වල ලෝක පරිසර සමුළුවට පෙර ඒකට විරුද්ධ පැත්තෙ අය හොයාගෙන හැම තැනම බෙදා හැරියා. ඉතින් ඒ නිසාම තමන් දත්ත වෙනස් කරා කියන අවලාදයට Director of Climatic Reserach Unit, University of East Anglia හිටපු Phil Jones මහත්තය තනතුරෙන් ඉල්ලා අස්වුනා. දැන් එයාට කමිටුවක් ඉදිරියේ නිදහසට කාරණා පෙන්වන්න වෙලා. ඉතින් එයා තමයි කියන්නෙ සියදිවිනසා ගන්න හිතිලා තියෙන බව.

පැත්තට දත්ත පෙන්වන්න ගිය තවත් කෙනෙක් තමයි Rajendra Pachauri. එයා ඉන්දියාවේත් වෙන රටවලත් තනතුරු හොබවන අයෙක්. එයාව වැඩියෙන්ම අවලාදයට හසුවුනේ එයා Chairman, Intergovernmental Panel on Climate Change (IPCC) හැටියට හිමාලයේ හිමගිරි 2035 වෙනකොට අතුරුදහන් වෙලා යන බව කීමයි. මේ දත්ත මුලින්ම කියූ Syed Hasnain නැමැත්තා රජේන්ද්‍ර්‍ර පචෞරි මහත්තයා Director General, The Energy and Recources Institute (TERI) ඉන්න ආයතනයේ පර්යේෂකයෙකි. ඒත් පචෞරි කියනවාලු දෙන්නට දෙන්නා කවදාවත් හමු වුනේ නැහැ කියල. හස්නෙන් දැන් කියනවාලු එයා එහෙම දත්ත දුන්නෙත් නෑ කියල.

දැන් කවුද ඇත්ත කිව්වෙ කවුද‍ බොරු කිව්වෙ කියලා හොයනවා. තත්වය බරපතලයි කියලා කිව්වෙ නැත්නම් කවුරුත් පරිසරය ආරක්ෂා කර නොගනියි කියන අදහස මත, නැති දත්ත හදලා දක්වලා තියන බවයි දැන් මතය. මේ දවස්වල Al Gore කිසිම සද්දයක් නැහැ. මට ඇල් ගෝර් හමුවුනේ එයා දෙවැනි සැරේට උප ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙද්දී. Earth in the Balance කියවා තිබුනු නිසා අතට අත දීලා ඒ ගැන කිව්ව. බිල් ක්ලින්ටන් ළඟින් ඉන්න කොට හැමෝගෙම අවධානය යොමු වෙන්නෙ ක්ලින්ටන්ට. චතුර කථිකයෙක් වගේම ජනතාවගේ සිත් දිනාගත හැකි ‍පුද්ගල ස්වභාවයක් ඇත්තෙක්. ඉතින් මටත් බිල් ක්ලින්ටන් එක්ක අතට අත දිලා කතා කරපු එක වඩා හොඳින් මතකයි.

ලංකාවේ පදිංචි කාලේ මැලේසියාවේ (Pinang) තිබුනු පරිසර සංරක්ෂණය ගැන සමුළුවකට ගියා. අතරමඟ දී මහාචාර්ය සරත් කොටගම (තරුණ කාලේ කොණ්ඩෙයි රැවුලයි පසු කාලයේ තරම්ම වැවී තිබුනේ නැහැ) සහ අනුර සිරිවර්ධන (ඒ කාලේ පුවත්පත් කලාවේදියෙක්) මහත්තයාත් ඒ සමුළුවටම යන බව දැන හඳුන ගත්තා. අපි තුන්දෙනා සතියක් විතර ඒ සමුළුවේ. එක එක රටවලින් ආපු අය කියන ඒවා අහගෙන හිටියා. ඒ කාලේ මම විශ්වාස කලේ එක්සත් ජාතීන්ගේ සභාවක දී ඔලිවර් වීරසිංහ නම් ලංකාවේ නියෝජිතයා කියපු කතාව. එයා කියලා තියනවා දියුණුවෙන රටවල අයට දියුණු රටවල් වගේ ජිවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගන්න සටනේ දී පරිසරය ගැන අවධානය දක්වන්න බැරිබව. ආර්ථික දියුණුව අඩපණ කරන පරිසර රක්ෂණයට ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට බැහැ කියලා. ඒත් ඒක කියන්න ගියේ නැහැ. එදත් අදත් කාලය දිහා බැලුවම මහාචාර්ය සරත් කොටගම නිහඬව ලංකාවේ පරිසරය ආරක්ෂා කරන්න සෑහෙන වගකීමකින් කැපවෙලා මහඟු සේවයක් කරලා තියෙනවා.

පරිසරය අපි හැමෝටම ජිවත් වෙන්න අවශ්‍යයයි. මිනිසාට පරිසරය නැතුව බැහැ. හැබැයි පරිසරයට නම් මිනිසා නැති වුනාට කමක් නැහැ. සමහර විට මිනිසා නැති වුනාම පරිසරය විනාස කරන්න කෙනෙක් නැති නිසා පරිසරයට මිනිසා නැත්නම් වඩා හොඳ වේවි. අපි ජිවත් වෙලා ඉන්න නිසාම, හුස්ම අරගෙන පිට කරන කාබන්ඩයොක්සයිඩ් නිසාම සෑහෙන්න පරිසරය විනාශ වෙනවා.

මට 2010 වසරට ලංකාවෙන් ලැබුන සුබ පැතුම් පතක්. ඒක හදලා තියෙන්නෙ අතින්, ස්වභාවික හා නැවත ප්‍රයෝජනයට ගන්නා ද්‍රව්‍ය වලින් නිම වූ බවත් සටහන් කරලා තිබුණ. ඒ වගේම මේ කාඩ්පතේ විකිණීමෙන් ලබා ගත් මුදල් සමාජයේ ජීවිතයේ අගය වැඩි කිරීම සඳහා (uplift the quality of life of the community) යොදවන බවත් එහි කියැවුනා.

ඒ එක්කම තිබිච්ච “ඔබ දන්නවා ද?” මාතෘකාව යටතේ සටහන් වූ තවත් තොරතුරු මේවායි. ඒ කියන්නේ මේ කාඩ්පත මේ ආකාරයෙන් හැදුවේ ඇයි කියන්න විස්තරයක්.

“ලංකාවේ වනාන්තර වසර 50 කට එපිට දී තිබූ ප්‍රමාණයෙන් අද ඉතිරිව ඇත්තේ බාගයක් පමණි.

කශේරුව (නැතහොත් කොඳු ඇට පෙළ) ඇති සතුන්  223 ක් ද, මල් පිපෙන පැල වර්ග 675 ක් ද, අද වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

පසුගිය අවුරුදු 200 තුළ දී භූජලතර (දිය හා ගොඩ ජිවත් වන) සත්ව වර්ග 21 ක් සහ පැලෑටි 72 ක් වඳ වී ගොස් ඇත.” (වරහන් මාගේය.)

ඉතින් කාඩ්පත හැදුව සංගමය ගැන කතා කිරීම මට  පලක් නැති නිසා නම සඳහන් කරන්නෙ නෑ. ඒ සංගමයේ මූලික පරමාර්ථය වන “සමාජයේ ජීවිතයේ අගය වැඩි කිරීම සඳහා” යයි ලියා ඇති වගන්තිය ගැන කරන සාකච්ඡාවක් පමණයි මේ.

වසර 50 කට පමණ පෙර ලංකාවේ ජනගහණය (ශ්‍රී ලංකා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දත්ත ලැබෙන්නෙ 1963 දී) මිලියන 10.6 කි. 2008 දී ඇස්තමේන්තු මාධ්‍ය වාර්ෂික ජනගහණය මිලියන 20.2 කි. ඒ උතුර හා නැගෙනහිර පැති නැතුව.

මෙයින් පෙනෙන්නෙ මිනිසා එදත් අදත් ගත්තම දෙගුණයකින් වැඩී වී ඇති බවයි. ඉතින් වනාන්තර බාගයක් අඩුවෙලා තියෙන්නේ මිනිසා දෙගුණයකින් වැඩි වූ නිසා ද? එහෙම නම් මිනිසාගේ වැඩි වීම ගැන අපි දුක් වෙමු ද? සතුටු වෙමු ද? මිනිසාගේ වැඩිවීම නිසා නැතිවුන වනාන්තර ගැන දුක් වෙමු ද? සතුටු වෙමු ද?

2011 දී ගණන් බැලුවම අපිට අළුත් දත්ත ගැන කතා කරන්න පුළුවන්. දැනට මේ දත්ත ගනිමු.

වනාන්තර වලින් බාගයක් නැති වෙලා ගිහින් තියෙන්නෙ ජනගහණය දෙගුණයකින් වැඩි වීම නිසා ද? නැතහොත් වනාන්තර නැති වී ගොස් තියෙන්නෙ දෙගුණයකින් වැඩි වුනු මිනිස්සු අතර ඉන්න ටික දෙනෙකු ඒවා කපල විකුණ ගෙන පෝසත් වෙච්ච නිසා ද? ලංකාවේ ජනගහණය පැතිරිලා ඉන්න ආකාරය දැක්කම, විශේෂයෙන් ම මොණරාගල බදුල්ල දිස්ත්‍රික්ක වල චන්ද ප්‍රතිඵල දකින කොට කියන්න පුළුවන් ලොකු ප්‍රදේශ වුනාට මිනිස්සු ඉන්නෙ ඩිංගක්නෙ කියලා. එහෙම නම් කොහොම ද වනාන්තර වලට ප්‍රශ්නයක් ඇති වෙන්නෙ? හැමෝම එන්න හදන්නෙ කොළඹ පදිංචිය සඳහාම නේද? නැත්තම් මේ කොළඹ ඉන්න මිනිස්සු කරන පරිසර දූෂණය නිසා අර වනාන්තර නැති වෙලා යනව ද? අර කොළඹ ඉඳන් ගිහින් කැලෑ කපලා විකුණ ගෙන එන අය නෙමේ, හැමදාම උදේට වැඩට ගිහින් රෑට ගෙදර එන කාර්යාල සේවකයෝ නිසා ද වනාන්තර නැති වෙන්නෙ කියලයි මේ අහන්නෙ.

ලෝක ජනගහණය එන්න එන්නම වැඩි වෙයි කියල බයක් තිබුණ කාලයකුත් එකමත් එක කාලයක තිබුණ. ජනගහණයෙන් ලෝකය පිරිලා මනුෂ්‍යයාට ඉන්න ඉඩක් නැති වෙයි කියලා. හැබැයි සුනාමි, භූමි කම්පා, නාය යෑම් වැනි දේවල් වලින් ස්වභාවිකවම ජනගහණය පාලනය වෙන බව ඒ අයට අමතක වුනා. ඒ වගේම උපත් පාලන ක්‍රම නිසාත් ජනගහණයේ වැඩිවීම අද පාලනය වෙලා. ලංකාවේ 1953 දී ගැබ් ගන්නා අනුපාතය 5.3 ක් වූ අතර 1981 දී එය 3.3 ක් දක්වා අඩු වී තිබුන. මෑත කාලයේ දී පන්සල් වල මහණ කරන්න ළමයි අඩු නිසා ළමයි බිහි කරන්න යයි උපාසකම්මලාට දේසනා කරන බෞද්ධ ස්වාමින්වහන්සේලාගේ බණ කතා අන්තර්ජාලයේ සිංහල ගුවන් විදුල‍ි සේවා වලින් මා අසා ඇත. ඒ බණ අහන කොට පරිසර දූෂණය වන්නේ මිනිසා නිසා යයි කියන අයම තමන්ගේ ධර්මය වඩා පිරිසිදු නිසා ළමයි හදා තම ආගමේ වර්ගයා වැඩි කරන්න යයි ද බණ කියනා ආකාරයක් පෙනුන.

ලෝකයේ විශාල මනුෂ්‍ය සංඛ්‍යාවක් මරා දැමූ ජර්මනියේ හිට්ලර්, සුඩානයේ ඕමාර්-අල්-බෂීර් වැනි අයට අපි ඔවුන් පරිසරය ආරක්ෂාවට මිනිසා නැති කිරීමෙන් සේවයක් සැලසුවා කියා යම් සැලකිල්ලක් දිය යුතුද? පරිසරය විනාශ කරන්නේ මිනිසා නම් මිනිසා නැතිකර දැමූ කල පරිසරය විනාශ නොවේ.

ලාංකික මිනිසාගේ ජිවත් වන කාලය 1962 දී වසර 61 වූ අතර 2006 දී එය පුරුෂයන් වසර 71 ක් ජිවත් වෙද්දී ස්ත්‍රීන් වසර 76 ක් දක්වා ජීවත් වන කාලය වැඩි වී තිබේ. මේ සියළු දත්ත ලබා ගන්නේ ලංකාවේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙනුයි. එතකොට වසර 44 ක දී පිරිමි අය වසර 10 ක් වැඩියෙන් ජීවත් වෙන්නත් ගැහැණු අය වසර 15 ක් වැඩිපුර ජිවත් වෙන්නත් ආයුෂ ලබා ගෙන තියෙනවා. අපේ සිතට වැඩි සතුටක් ලැබෙන්නේ වැඩි ආයුෂ ලැබීම ගැන ද? වැඩි දුකක් ඇති වන්නේ ඒ හා සමානව වනාන්තර බාගයක් නැතිවෙලා යන එක ගැන ද?

ගස් කොළන් වඳ වෙලා යන නිසා නම් මිනිහාට කොයි තරම් ආයුෂ වැඩි වුනත් පරිසරය දූෂණය කරන එක වැරදියි. මොකද මිනිසාට ජීවත් වෙන්නත් සතුටින් ඉන්නත් ගස් කොළන් අවශ්‍ය වුවත් ගස් කොළන් වඳ කිරීම ගස් කොළන් වලට කරන අපරාධයක් නම් ඒක වැරදියි.

DDT ගැන අහලා ඇතිනෙ. ඇමෙරිකාවේ 1972 දී DDT ගහන එක තහනම් කලේ පර්යේෂණාගාර වල මියන්ට මිනිසාට සාමාන්‍ය DDT භාවිතය නිසා ලැබෙනවාට වඩා ලක්ෂයක් වැඩියෙන් දීලා කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට. ඒ පර්යේෂණයේ මියන්ට DDT වලින් අක්මාවේ අසාදිත තත්ව ඇති වූ නිසා. ඒත් 1944 සිට 1972 වෙන තෙක් DDT වැඩියෙන්ම ගහපු කාලේ ඇමෙරිකාවේ අක්මා‍ පිළිකා නිසා මරණයට පත් වූ සංඛ්‍යාව සියයට 30 ක් අඩුවෙලාලු.

1948 දී මැලේරියාව ලංකාවේ මිලියන 2.8 කට තිබුනාලු. 1963 වෙනකොට DDT ගහලා මැලේරියා මදුරුවෝ වඳ කරගෙන ගියාම මරණ සංඛ්‍යාව 17 දෙනෙක් දක්වා අඩුවෙලා. ඒත් 60 ගණන් වල අවසානයේ දී DDT ගහන එක නතර වුනාම මැලේරියා ආයෙත් මිලියන 2.5 ක් වාර්තා වෙලා. මේ වාර්තා කරන්නෙ Dixy Lee Ray, Trashing the Planet, 1990.

ඉතින් ඔය ඉහතින් සඳහන් දේවල් අද වගේම පර්යේෂණ තම තමන්ගෙ පැත්ත ඔප්පු කර ගන්න පවත්වන නිසා කවුරු ඇත්ත කියනවා ද කවුරු බොරු කියනවා ද කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙයි ද ප්‍රශ්නයක්. ‍දත්ත ඇත්ත ද? දත්ත ගණනය කරන්නෙ තමන්ගේ පැත්ත හරි යයි පෙන්වන්න ද?

මිනිසාගේ ජීවිතයේ අගය වැඩි කිරීම සඳහා නම් ගස් කොළන් බාගයක් වඳ වී ගියාට මොකද ආයුෂ වසර 10 කින් වැඩි වෙලා තියෙනවනේ. වඩාත් කාලයක් ජිවත්වන්නට ලැබීමට වඩා මිනිසාට වෙනත් ජීවිතයේ අගය වැඩි වීමක් තියෙනවා ද? නැත්නම් සමාජයේ ජීවිතයේ අගය යන්නෙන් සැඟවුනු තවත් අර්ථය මිනිස් සමාජයේ ජීවිතයේ අගය නොව ගස් කොළන් සමාජයේ ජීවිතයේ අගය වැඩි කිරීම ද?

සත්වයා යනු තමා උපන් පරිසරයේම ජීවත් වන්නෙකි. මිනිසාගේ උපකාරයක් හෝ මැදිහත් විමක් නොමැතිව සත්වයාට තමා උපන් පරිසරයෙන් වඩා ඈතකට යා නොහැකිය. කැනඩාවේ සිට හිම පාත්තයින් ඇමෙරිකාවේ උතුරු මැද පළාත් වලට සංක්‍රමණය වූවාට ඔවුන් ලංකාවට පියාඹා එන්නේ නැත.

අළුත් සත්ව වර්ග අද දිනයේ ද බිහිවෙමින් පවතී. 2008 වසරේ රුපියලේ කාසියක් ප්‍රමාණයේ උරගයෙක් (සර්පයෙක්) හොයා ගත්ත. එහෙම අළුත් සත්තු ලිස්ට් එකක් හැම වසරකම ලෝකේ හැම තැනින්ම හොයාගෙන ප්‍රසිද්ධ වෙයි. මිනිසාගේ බලපෑම නිසා සිම්බාබ්වේ අද අලි ජනගහණය වර්ධනය වී ඇත. එසේම මිනිසාගේ බලපෑමක් නොමැතිව වඳ වී ගිය සත්වයින් කොට්ඨාශයක් ලෙස ‍ඩයිනෝසිරස් අමතක නොකළ යුතුය.

ලෝකයේ කර්මාන්ත ශාලා ගොවිපළ වල් නිසා අද ලෝකයේ කුකුලන්, ඌරන්, ගවයන්, එළු හා බැටළු ජනගහණ මහත්ය. මහත් සත්ව ජනගහණයකට උපත්තිය ලැබුණේ මිනිසාගේ ආහාරයට වීම බව වෙනම කරුණකි. එහෙත් ඔවුන්ට කා බි සීමිත කාලයක් ජිවත් වන්නට, ප්‍රාණයට වරම් ලැබී ඇත්තේ උන්ගේ මස් කන මිනිසා නිසා නේද? තවත් විදියකට කියනවා නම් කන්නට සතුන් නොහදනා කළ මේ සත්ව ජනහණය උපදින්නේවත් නැත. සීමිත කාලයක් ජීවත් වෙමින්, ලෙඩ රෝග වලින් තොරව, යහමින් කා බී සිට මැරී යන්නේ නම් එය නොමනා යයි සැලකිය හැක්කේ කුමන ආචාර ධර්ම පද්ධතියකින් ද? කර්මාන්ත ශාලා ගොවිපළ සතුන්ට හිංසාකාරී ලෙස නොව නිදහසේ හැසිරෙන්නට ඒ කාලය තුල දී වාතාවරණය දී ඇත්නම් ඊට විරුද්ධ වන්නෝ ඊට කැමැත්ත දක්වයි ද?

පැලෑටි වලට ඇත්තේ සත්වයින්ටත් වඩා අඩු වූ ජිවත් වීමේ හැකියාවකි. උපන් තැනෙන් සීමිත වූ පරිසරයක ජීවත් වන්නට වරම් ලබන පැලෑටි, හිරු එළිය, වතුර හා ආහාර සොයා වෙහෙස වන්නේ සහජයෙන් ඊට උරුම වි ඇති ලක්ෂණ අනුවය. සිතන්නට හැකියාවක් නැති පැලෑටි වලට “ප්‍රාණයට” අයිතියක් කියනු හැකි ද?

ඉතින් සතුන්ටත් පැළෑටි වලටත් තමන්ව ආරක්ෂා කර ගන්නට බැරි නිසා මිනිසා තමාගේ ජිවත් වීමේ අයිතිය පැත්තකට දමා සතුන්ටත් පැලෑටි වලටත් ප්‍රමුඛත්වය දිය යුතු ද? පරිසරයට වඩා තැනක් දෙන අය එහෙම කියන්නේ නැත්නම් ඔවුන් මිනිසාගේ ජීවත් වීමේ අයිතිය ගැන සඳහන් නොකර සත්ව හා පැලෑටි වල වඳ වී යාම ගැන පමණක් කතා කරන්නේ මන්ද?

මිනිස් සමාජයේ ජිවිතයේ අගය වැඩි කිරිමට අතින් සුබ පැතුම් කාඩ් තැනීම යහපත් යයි සැලකීමක් මෙම සුබ පැතුමෙන් අදහස් කරනවා ද? එනම් ඉන් කියන්නේ ගහ කොළ විනාශ කරන කර්මාන්ත ශාලා කඩදාසි හදන්නට පරිසරය දූෂණය කරන බවයි. කර්මාන්තශාලා ද පරිසර රකිනා පිළිවෙත් වලින් යළි භාවිතා කරන කඩදාසියෙන් කාඩ්පත් හදන්නේ නම් එවිට මෙවැනි සංවිධාන ඒ කර්මාන්තශාලා අනුමත කරාවි ද?

මා ඇමෙරිකාවේ සිට මෑත කාලයක ලියූ පොත් ලංකාවේ ප්‍රකාශයට පත් කළේ ලියන්නට කඩදාසි උපයෝගී කර නොගෙනය. කොම්පියුටරයේ ලියන මේ සටහන් කිසිවකට කඩදාසි එසේ නැතහොත් ගස් කපන්න වෙන්නේ නැත. පුංචි කාලයේ පටන් ලංකාවේ පුවත්පත් වලට ලිපි ලියන පුරුද්දක් තිබූ මට අතීතයේ දී ලිපියක් ලියන්න කොපි පොතක්, නැවත පත්තරේට යවත හැකි ලෙස ෆුල්ස් කැප් පිටුවක ලියන්නටත්, පසු කාලයේ දී ටයිප් රයිටරයකින් ගහන්නටත් සිද්ධ වුනි. ඒවා තැපැල් කර හරින්නට මුද්දර හා ලියුම් කවරත් ගන්නට සිදු වුනි. ඒවා ප්‍රවාහනයට බස්, ගුවන් යානා පහසුකම් ද උපයෝගී කර ගන්නට වුනි. වසර දහයකට පෙර අන්තර්ජාලයේ ලාංකික පුවත්පත් කියවනු නොහැකිය. මා එදා චෙක්පත් වලින් මුදල් තැපැල් කර ලංකාවෙන් මාස්පතා පත්තර ගුවන් තැපෑලෙන් ගෙන්වා ගත්තෙම්. එහෙත් අද අන්තර්ජාලයට පිං සිද්ද වෙන්න, පරිසරය දූෂණය කරන කඩදාසි කර්මාන්ත ශාලා පිහිට නොමැතිව, බස් රථ, දුම්රිය, නැවි හෝ ගුවන් යානා නොමැතිව ක්ෂණයෙන් ලෝකයේ පාඨක පිරිසක් හා එකතු වන්නට හැකියාව ඇත. 

ඇමේසන් වල විකිණෙන කින්ඩල්, ඇපල් අයිපෑඩ් වැනි යන්ත්‍ර පහසුකම් නිසා පොත් කඩදාසි වල මුද්‍රණය වෙනවා වෙනුවට ඒවා ඉලෙක්ට්‍රොනික් පුවරු වලට බාගෙන කියවත හැකි පහසුකම අද ඇත. එයින් පොත් මුද්‍රණයට යන ගස් ද ඉතිරි වේ. ඈත පිටිසර (මා වැනි) පළාතක ඉන්නා අයෙකුට නගරයට ප්‍රැටල් ගහගෙන වාහනය පදවා ගෙන පොත් කඩ සොයා යනවා වෙනුවට ගෙදර දී අන්තර්ජාලයෙන් කින්ඩල් එකට පොත බාගෙන කියවන්නට හැකිය. මෙයින් ගස් කොළන් නැතිවීම හා පරිසර දූෂණය දෙකම අවම කරගත හැකිය.

මේ හැකියාව හදා ගත්තේ මිනිසා මිනිසාට ඇති ආදරය නිසා ද? මිනිසා පරිසරයට ඇති ආදරය නිසා ද? මිනිසා සතුන්ට ඇති ආදරය නිසා ද? මිනිසා පැලෑටි වලට ඇති ආදරය නිසා ද? 

කොම්පියුටරය නිෂ්පාදනය සඳහා වූ පරිසර දූෂණය ද සලකා බැලීමත් අමතක නොකරමි. නමුත් ඒ හා සමානව අද ලෝකයේ ටෙලිකොමියුට් නොහොත් ගෙදර සිට අන්තර්ජාලයෙන් කොම්පියුටර් භාවිතයෙන් රැකියාව කරනා සංඛ්‍යාව නිසා පරිසරය දූෂණය නොවෙන ආකාරය ගැන ද සලකා බැලිය යුතුයි. ඇමෙරිකාවේ 1/3 ක් නිවසේ සිට මෙයාකාරයෙන් රැකියාවේ යෙදෙති.

සමාජයේ ජිවිතයේ අගය වැඩි කිරිමට නම් කාඩ්පත කොම්පියුටරයේ සාදා අන්තර්ජාලයෙන් යවා කිසිම ආකරයක භෞතික වූ කාඩ්පත් හදා විකිණිම නොකිරීමෙන් කොම්පියුටර් නිෂ්පාදනයට ගියාට වඩා අඩු පරිසර දූෂණයක් සිදු වන්නේ ද? කාඩ්පත හුදු සුඛෝප‍භෝගී දෙයකි. කොම්පියුටරය ජීවිකාව ගෙන යෑමට උපකාර කරන නූතනයේ මෙවලමකි. 

ගුවන් තැපෑලෙන් එවන්නට වැය වන කාබන් පා ලකුණට බරක් මේ කාඩ්පත නිසා පරිසරය දූෂණයෙන් එකතු වුනා ද? එය අන්තර්ජාලයෙන් කාඩ්පතක් යවා අවම කර ගන්නට තිබුනා ද?

මහාචාර්ය සරත් කොටගම වැන්නවුන් පරිසරය ආරක්ෂා කරන නාමයෙන් මිනිසාගේ පැවැත්ම අවතක්සේරු කර නැත. මිනිසාට තව තවත් පරිසරයේ රස වින්දනයට හා මිනිස් ජීවිතයේ තත්වය උසස් කරගැනීමට පරිසරය ආරක්ෂා කිරීමත්, මිනිසාගේ පැවැත්ම නිසා පරිසරය නැතිවන්නේය යන අදහස් පෙන්වන්නට බොරු දත්ත පෙන්විමත් අතර ඇත්තේ පැහැදිලි විරුද්ධ මතවාදයන්ය.

3 Responses

Subscribe to comments with RSS.

  1. Siribiris said, on පෙබරවාරි 10, 2010 at 4:06 පෙ.ව.

    Global Warming is real; make no mistake about that. Did some people go over-board with environmental issues? Most probably, yes.

    I wouldn’t say that the creatures living in 2′ by 2′ cages of factory farms are lucky, but wouldn’t deny the necessity of feeding the mass human population.
    The reason why DDT or any other Organo-chlorine product is not a so “miracle” after all is that there extensive and often not essential usage; for ex. take a relatively benign product like Kleenex, chlorine is used to make them ” super white”, giving a false sense of purity.

    The following is from a text book of mine:
    “As early as 1962, environmentalist and scientist Rachel Carson (also, check out Rachel Carson.org) warned us, in a book called “Silent Spring,” that organochlorides are harmful to our natural nvironment. At that time,Carson was treated with hostility from corporate scientists, but today we know that not only are organochlorides dangerous, they are insoluble in fat. In other words, they continue to
    accumulate in our bodies and the bodies of other animals, and we can never get rid of them. For example, any time we eat fish that has eaten insects that have been sprayed with pesticide,we also eat the pesticide. The pesticide becomes stored in our fat forever.”

    Apart from the above, I agree with your most of the points.

    • arunishapiro said, on පෙබරවාරි 10, 2010 at 9:21 පෙ.ව.

      I also agree “global warming” is real. Correct term of it’s supporters now is “climate change”. My argument is that we shouldn’t forget the “man” in this discussion. Man can understand if facts were given to him and it is not necessary to make it alarming (by using non facts) to drive the point. And it is advantageous for man to live in harmony with nature. So man will take care of it.

      No, I wouldn’t say ‘lucky’ for living in a cage; but don’t ignore the question of the value of ‘life’ in this equation. A chicken for meat who usually sat in the 2X2 cage in a factory farm is no longer the norm. That is illegal by USA Food & Drug Administration’s laws. Now they are free to roam in a large chicken house; still a cage with room to roam. They huddle together by nature, so all they take is a 2X2 room even when given the space. Even in the great outdoors they confine themselves to a certain area, larger than a chicken house yet a specific area. Better argument would be that man is able to live on other foods and not eat animal meat at all. We have the technology to mass produce and feed the humans without feeding them animal meat. However then rises the question of when would we give the status of “animal” to a life form? How about amoeba or bacteria? where would we draw the line of a life that is worth saving and ok to kill. And since ‘life’ is present in plants, should we extend this value of life to plants too? Some argue for that too, since it does open up grounds for such reasoning. And then what would man eat?

      In the case of eating fish, with fish farm crops man does control what the fish eat. So we are able to make sure the fish had not eaten any insects sprayed with pesticide. But would that morally make it ok to eat the fish!?

      Ultimately man is able to find ways to protect and care for his environment as much as he can without subjecting himself to extinction. But our current focus has been pointing fingers at each other trying blame someone else other than himself, even acceptance of the problem.

      Above was an attempt at clarification not a rebut to your comment. 🙂

  2. […] මහතා ලාංකික සමා‍ජයේ සම්පතකි. ඔහු ඉතා නිහතමානී අයෙකි. ලංකාවේ කුරුල්ලන් ගැන සිංහලෙන් […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: