අරුණි ශපීරෝ‍ වෙතින්

අවිචාර ලෝකයේ විචාරය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 10, 2010

හිම වරුසා පිට පිටම ඇවිත් හදිසි අවශ්‍යතා සපයන අය ඇරෙන්නට අනිත් හැමෝටම පාරේ යෑමෙන් වැළකෙන්න කියා එක දිගට නිවේදන. පාසැල්, විශ්ව විද්‍යාල, රජයේ කාර්යාල හා පුද්ගලික ආයතන වසා දමා ඇත. එහෙන් මෙහෙන් විදුලිය නැතිව ගිය අයට ලැගුම් ගන්නට මධ්‍යස්ථාන (පල්ලි හා පාසැල්) විවෘතය. ඒවායේ ඉන්නා අයට කන්න බොන්න දෙන්න සංවිධානයන් ද ඉදිරිපත්ය. මේ මා වාසය කරනා ගමේ අද තත්වය.

රේඩියෝවට කතා කල අයෙක් තමා හදිසි සේවා සපයන අයෙක් නිසා තම වාහනය නිවසේ නොව (හිම පිරී ඇති නිසා) අසල ඇති වෙළඳපලක රථගාලේ (හිම ඉවත් කර ඇති නිසා) රෑ නතර කර ආ හැටිත්, එයට ඊ ළඟ දිනයේ යද්දී ලයිසන් නොම්මර ලියා ගන්නා අයෙක් හමු වූ බව කීවේය. ලයිසන් නොම්මරය ලියාගන ඇත්තේ අවසර නැතුව එම රථගාලේ නවතා තැබු නිසා නීතියෙන් දඬුවම් කර දඩයක් ගැහීමටයි.

කතාව අසා සිටි තවත් අයෙක් වහා රේඩියෝව අමතා “අපි ඒ වෙළඳපලට අපේ සල්ලි දෙන එක නතර කරනවා මේ වගේ වේලාවක ඔය වගේ දෙයක් කරන නිසා” යයි කියයි. ඒ ඇසුණු වහාම තව තවත් ඇමතුම් රේඩියෝ නාලිකාවට ගලා එයි. “සපෝර්ට් එක දෙන්නම් අපිත් බඩු ගැනීමෙන් වැළකිලා” යයි ඔව්හු ද කියති. පැයක් ගත වෙද්දී අර වෙළඳපලේ අයිතිකරුවා රේඩියෝව අමතයි. ඇය එසේ නඩුයාම සාමාන්‍යයෙන් කරන පිළිවෙතක් බව කියා මෙම හිම වැටී ගම කරදරයේ ඇති අවස්ථාවක එසේ කිරීම නුසුදුසු බව තමාත් පිළිගන්නා බව කියා ඒ අයව නීති මාර්ගයට ගෙන නොයන බවට පොරොන්දු දෙයි.

ජනතාවගේ සංවේදී බවක අගය එයින් පැහැදිලි වුනා ද? ඒ රැල්ලට පෙරලීමෙන් ඇති වූ හොඳ ප්‍රතිඵලයක් ද? ව්‍යාපාර ස්ථානයට තම සල්ලි නොදෙන බව කීම නිසා ඒ කතා කල කිසිවෙකුට අතින් පාඩු නැත. ඒ ව්‍යාපාරය පළාතේ යමක් සපයන එකම ව්‍යාපාරය ද නොවීය.

තවත් රේඩියෝ සාකච්ඡාවක ජනාධිපති ඔබාමාට ජනතා කැමැත්ත ඉක්මණින් නැතිවන ආකාරය ගැන නව දත්ත කියැවුනි. මේ තරම් ඉක්මණින් ඔහුට ජනතාව අකමැති වී ඇත්තේ ඔහු ගැන අළුත් අවබෝධයක් ලැබීම නිසා නොවේ. මේ රැල්ලට පෙරලෙන නරක තත්වයක් ද? ජනාධිපති තරඟයට ගිය ඔබාමා ජනාධිපති වූවාට පසු වෙනස් වී නැත. එහෙත් ජනතාව දැන් ඔහු අත්හැර දමා යති. එසේ යන වැඩි දෙනා තමා මුලින් කැමති වී දැන් අකැමති ඇයි දැයි නොදනිති.

කවුදෝ කෙනෙක් ජෝර්ජ් බුෂ් පෙනී සිටින පෝස්ටර් බෝඩ් රටපුරා අලවයි. ඉන් අහන්නේ “මා නැති පාළුව (පාඩුව) දැන්වත් දැනෙනවා ද?” කියාය. අදහස් ප්‍රකාශයට නිදහසක් ඇති රටක් බව එයින් කියා පෑව ද ඉන් ජනතාවට කිසි ඵලයක් නැත. ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ ජනතාවට ආදරය කරනවා ද? නැතහොත් රට්ටු බෙදන උත්සාහයක විකෘති ආශාවක් රස විඳිනවා ද?

ඔබාමා දැන් ජෝ බයිඩන් අත්හැර හිලරි ක්ලින්ටන් සමඟ ඊ ළඟ ජනාධිපතිවරණයට සැරසෙනවා යයි කටකතාවක් ද විය. රටකට මැතිවරණ තිබිය යුතුය. ‍එහෙත් මැතිවරණ සඳහා යන කාලය, මුදල් හා ශ්‍රමය නිසා රටේ දියුණුව ඇණ හිටීම ගැන අමතක නොකළ යුතුය. ඇමෙරිකාව දැන් සිටම ඊ ළඟ ජනාධිපතිවරණයට සූදානම් වුවහොත් (සේරා පේලන් මේ දිනවල ජයටම වැඩ) ලංකාව වගේ කැමැති වෙලාවකට මැතිවරණ පැවැත්විය නොහැකි නිසා, 2012 දක්වා රටේ කිසිදු වැඩක් කෙරෙන්නේ නැත. රට දියුණු කරත හැකි විශාල මුදල් ප්‍රමාණයක් ද නාස්ති වී යයි.

බුද්ධි හීන සමාජයක (irrational) සිහිබුද්ධියෙන් (rational) ජිවත් වෙන්නේ කෙසේද?

අද සමාජය (ඇමෙරිකාව පමණක් නොව ලෝකයම සලකා බලන විට) කිසිවක හොඳ නරක ගැන සිහි බුද්ධියෙන් විනිශ්චයක් දීමට නොදන්නා ස්වභාවයක් ගනී. එසේ සිට කවුරු හෝ හොඳක් හෝ නරකක් කී විට ඊට රැල ගැසී එක්වෙන ස්වභාවයක් ඇත. එසේම තමා පිළිගන්නා පැත්තේ විනිශ්චය සොයා නොබලා මුළුහිතින්ම පිළිගන්නා ආකාරයත් එය විමසන්නට කිසි උත්සාහයක් නොගන්නා ආකාරයත් පෙනේ. හොඳ නරක මොනවා දැයි කියා අපිට අපේ පන්සලෙන්, පල්ලියෙන් හෝ පක්ෂයෙන් කියන්න අපි ඒ ආකාරයෙන්ම ගිල දමන්නට පුරුදු වී ඇත්තෙමු.

හොඳ නරක ගැන විනිශ්චයක් දීම මහත් වගකීමකි. වෙන අයෙක් කියන්න පිළිගැනීම තම වගකීමක් නොවේ. වෙන අයෙක් කියන්න තමා පිළිගත්තේ ද, මතය සමාජයේ වෙනස් වන කලට තමාටත් තම පිළිගැනීම වෙනස් කර ගත හැකිය. මන්ද විනිශ්චය තමාගේ නොවන නිසාය.

හොඳ නරක ගැන විනිශ්චයක් දෙන්නට මහත් දැනුමක් අවශ්‍ය නැත. දන්නා පමණින් දුන් විනිශ්චයක් වැරදී ගිය කල එයට සමාව ලැබේ. දැනුම වැඩි කරගත් කල විනිශ්චය වෙනස් කරගත ද හැකිය. හොඳ නරක ගැන විනිශ්චයකට තමා තමාට අවංක අයෙකු විය යුතුය. මන්ද අවසානයේ පිටතින් එන මහජන අප්‍රසාදයටත් වඩා තම හිත තුලම තමා විනිශ්චය කෙසේද දුන්නේ යන්න දන්නා නිසාය.

අපි අපට අවංක ව මුහුණ දෙන්නට හැකියාව ඇත්තෝ වෙමුද යන්න සොයාගත හැක්කේ හොඳ නරක ගැන තවෙකෙකු කියන නිසා නොව අපිම සිතා බලා විනිශ්චයක් කරන්නට උත්සාහ ගන්නා කළ දීය.

අනුන්ව විනිශ්චය කරන්න යන්නා තමාව විනිශ්චය කරන්නට අනිත් අයට ද ඉඩ දී ඇත. එසේ ඉඩ දීමට කැමති නැති නිසාත් අපි අනුන්ව විනිශ්චය නොකරමු.

රැල්ලට පෙරලෙන අපි ඒ මෝහනයෙන් මිදීමට නම් අපේ පැත්ත නොකියන්නේ මොනවාද කියාත් විමසා බැලිය යුතු වෙයි. ඇමෙරිකාවේ ජනතාව මෝහනය කර ඇත්තේ නිදහස් අදහස් ප්‍රකාශයට යයි කියා ගන්නා පැති ගත් ජන මාධ්‍යය සහ පාසැල් අධ්‍යාපනයයි. දෙකකට බෙදී ඇති මේ දෙපැත්තේ අය තමන්ගේ පැත්තේ අදහස් පමණක් පුන පුනා කීම හා අනිත් පැත්තට පහර දීම මෙහි මනාව දැකිය හැකිය. අන් රටවල මෙන් එක පැත්තකට පමණක් නොව පැති දෙකටම එසේ කරත හැකිවීම පමණි වෙනසකට ඇත්තේ.

ලංකාව වැනි රටක නම් රැල්ලට පෙරලීමට මෝහනය කර ඇති මාධ්‍යයන් අනේක සංඛ්‍යාවකි. කේන්දරය බලා අනාගතය කියන,‍ පොල් ගෙඩියක් ගසා මල් වට්ටියක් හා පඬුරක් දී දෙයියන් රවටා වැඩ ගන්න, ඕනෑම අකරතැබ්බයක දී පෙර ආත්මයේ කරුමයට දොස් පවරන ලතාව උපන් දිනයේ පටන් හුරු කර ඇති නිසා තමන් කරන කියන කිසිවකට තමන් වගකීම බාර ගැනීම ඉවත් කර දමා ඇත.

මනුෂ්‍යයා උපතින්ම බුද්ධිමත් හෝ‍ මෝඩයකු වන්නේ ද?. අළුත උපන් දරුවාගේ මොළය Tabula rasa නොහොත් දැනුම ලියා ගන්නට නිර්මාණය වී ඇති හිස් පුවරුවක් යයි ඇරිස්ටෝටල් සිට අද දක්වා දාර්ශනිකයෝ හා මනෝවිද්‍යාඥයෝ පිරිසක් පෙන්වා දෙති. ඊට දෙන දැනුම හා තොරතුරු අනුව දරුවා වැඩී තීරණ ගන්නට හැකියාව ඇති කර හෝ නැති කර ගනියි. අළුත උපන් දරුවෙකුගේ මොළය දෙමාපියෝ වෙත බාර කරන ලද වටිනා වස්තුවකි. එහෙත් බොහෝ දෙනා අළුත උපන් දරුවාට කන්න බොන්න දී, අඳින්නට වස්ත්‍ර දී, නින්දට යහනක් දී දරුවා කාලයක් යනතුරු අමතක කර දමයි. අධ්‍යාපන ආයතන හා රටේ පාලකයෝ දරුවාගේ මනස හැඩ ගස්වා අවසන් කර පසු අපේ මෝඩයෝ කියා ඔවුන් හඳුන්වති.

එක් එක් සමාජයට ආවේනික අගැයුම් දිහා බලන කල ඊට ඒ අගැයුම් දී ඇත්තේ ඒ සමාජයේ විසූ ජනයාම නොවේ ද? අපි අපේ දරුවන්ට පුහුණු පුරුදු කරන අගැයුම් වලින් ඔවුන් තීරණ ගන්නා විට අපි ඔවුන්ට බැන වදිනුයේ කෙසේ ද? අපි ජිවත්වන සමාජයේ වගකීම අපිට පැහැර හැරිය නොහැකිය. ජනතාව මෙසේ තීරණ ගන්නා කල ඒවා අපිට බලපානවා සේම, ඒ තීරණ එසේ ගැනීමට අපි ද වගකිව යුතුය.

ඉතින් ලෝකයක් ලෙසින් රැල්ලට පෙරලෙන්නට ජනතාවක් හුරු කරගත් කල, පාලකයෝ විසින් තමන්ට උවමනා ආකාරයෙන් කිසිම වග විභාගයක් කරන්න නොදත් මෙවැනි අය ඉතා පහසුවෙන් හසුරුවා දක්කා ගෙන යා හැකිය. එසේ දක්කා ගෙන යද්දී, තම තමන් එකිනෙකාට “මේ වගේ මෝඩයින්ට සැර පාල‍කයෝ ඉන්න ඕනා” යයි කියාගෙන සැනසෙති. තමන් යන්නේ කොහෙද කියා නොදන්නා පාලකයෝ ද නොදන්නා පාරේ ගොස් අතරමං වී තවත් තමන් වැනිම වූ තවත් පාලකයන්ට ඉදිරියේ දි පාලනයට ඉඩකඩ පාදා දෙති.

රැල්ලට පෙරලෙමින් ලෝකය ඉදිරියට යන්නේ ඔන්න ඔහොමයි. විනිශ්චයක් දෙන්නට තමා අවංක වී තම සිතින් සිතා බලන්න යයි ලෝකයට මුලින්ම කියා දී ඇත්තේ බුදුරජාණන්වහන්සේය. පසු කලෙක තවත් බුද්ධිමත් අය විවිධාකාරයෙන් එයම කියා ඇත.

ඉහතින් කී වෙළඳ ආයතනය පළාතේ එකම ෆාමසිය වූවා යයි මොහොතකට සිතමු. එහි සේවා ප්‍රතික්ෂේප කළ අයෙකුගේ දරුවකුට උණ ගැනීම නිසා ඩිස්ප්‍රින් පෙත්තක් ගන්නට සිදූ වූවා යයි සිතමු. එවිට එම වෙළඳපලේ සේවය ප්‍රතික්ෂේප කළ නිසා තම දරුවාට බෙහෙත ලබා දීම නුසුදුසු යයි අපි කියමු ද? වැඩිහිටියෙකු ගත් තීරණයට දරුවා පළි නැහැ කියා ප්‍රතිඥාව කඩ කිරීම කමක් නැති ද?

පොරොන්දුවක් වූ කල එය කඩ කිරීම නුසුදුසුය. එහෙත් පොරොන්දු වන්නට පෙර පොරොන්දුව කුමක් දැයි විචාරා බලා තිබිය යුතුය.

විචාරයක් නොමැතිව ප්‍රතිඥා දීම හෝ පැත්තක් අල්ලා ගැනිම නිසා සිද්ධ වන්නේ එය කඩ කිරීම සාමාන්‍යයක් සේ සලකන්නට පුරුදු වීමය.

වෙළඳපොල අයිතිකාරිය සහජීවනයට අත දීමක් ලෙසින් යම් ඉඩකඩක් සලසා දීම තම අයිතිය කියා වැරදියට තේරුම් ගැනීම නිසා එසේ යමක් ප්‍රතික්ෂේපයට හෝ පිළිගැනීමට විචාරයෙන් තොරව එකඟ වූවෝ තමන් විසින්ම තමන්ව අමාරුවේ දාගෙන ඇත.

2 Responses

Subscribe to comments with RSS.

  1. දසයා said, on පෙබරවාරි 10, 2010 at 12:00 ප.ව.

    මේ කතාව නම් සහතික ඇත්ත. රැල්ලට යන සමහරුන්ගෙන් මොකටද යන්නේ ඇයි එහෙම යන්නේ කියල අහපුවම දෙන්න උත්තර නෑ. පහුගිය චන්දෙදි ඒක හොඳට පෙනුනා.

  2. indik said, on පෙබරවාරි 11, 2010 at 2:20 පෙ.ව.

    බහුතරයක් මිනිස්සු කවදාවත් හිතන්නෙ නැතුව විචාරයකින් තොරවනෙ වැඩ කරන්නෙ. විශේෂයෙන් ලංකාවෙ ඒක ගොඩක් වැඩි… රැල්ලට යන එක තමයි තියෙන්නෙ….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: