අරුණි ශපීරෝ‍ වෙතින්

අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 11, 2010

ඇමෙරිකන් මනෝචිකිත්සක සංගමයේ (American Psychiatric Association) අළුත් (DSM-5 වැනි) සංශෝධන අත්පොතේ කටු සටහන පෙබරවාරි 10 වැනිදා අන්තර්ජාලයේ පළවිනි. එය සම්පූර්ණයෙන් නිමකර ඉදිරිපත් කරන්නෙ 2013 මැයි මාසයේ දී. මේ කටු සටහන ඒක නියමිත ආකාරයෙන් සං‍ශෝධනය සඳහාය. මානසික රෝග සඳහා පිළියම් දෙන මනෝවිද්‍යාඥයින් හා මනෝචිකිත්සකයන් බොහොමයක් පරිහරණයට ගන්නේ මේ අත්පොතයි. එසේම නඩුහබ වල දී ද මානසික රෝග නිශ්චය වන්නේ එහි විස්තර අනුවය. රටේ පාලන ප්‍රතිපත්ති සැකැස්ම සඳහා ද එය භාවිතා කර ගැනේ. DSM-1 නිකුත් වූයේ 1952 දී.

පෙබරවාරි මාසය යුරෝපයේ අන්තර්ජාල පාවිච්චිය ගැන දරුවන් දැනුවත් කරන මාසයයි. පෙබරවාරි 10 වැනිදා ඔවුන් “අන්තර්ජාලයෙන් ආරක්ෂා වන දිනය” (Internet Safety Day) ලෙස යොදා ගත්හ. යුරෝපයේ විවිධ රටවල පාසැල් දරුවන් අන්තර්ජාල පරිශීලනයෙන් තමන්ගේ තොරතුරු නොහඳුනන අයට නොදිය යුතු ආකාර ගැන කාටූන් චරිත හා සිංදු මඟින් ඉගෙන ගත්හ. මනෝවිද්‍යා සංගමයක් අන්තර්ජාලයේ හැසිරෙන ආකාරය ගැන කෙටි විඩියෝ තරඟයක් ද පාසැල් දරුවන් අතර පැවැත්වීය.

දකුණු කොරියාවේ අන්තර්ජාල ඇබ්බැහිය ලොව වඩාත්ම අන්තර්ජාලයේ හැසිරෙන්නන් එහි වූ නිසා ඇති වූවකි. අද දකුණු කොරියාව අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් සේ සලකයි. අන්තර්ජාලයේ සෙල්ලම් කරන්නට ඇබ්බැහි වූ දරුවන් කෑමට බීමට සැලකිල්ලක් නොදැක්වූ නිසා ලෙඩ රෝග ද, ඇස් රෝග වැඩි වීම ද, කන් ආබාධිත තත්ව වැඩි වීම ද, සමාජ ආශ්‍රයෙන් ඈත් වීම ද අන්තර්ජාල ඇබිබැහියේ රෝග විපාකයන්ය.

ඔවුන් වෙනුවෙන් අද දකුණු කොරියාවේ වැඩමුළු, පංති හා සහන සේවා මධ්‍යස්ථාන ඇරඹී ඇත. සමූහයක් එක්ව ලබා ගන්නා උපදෙස් වැඩමුළුවකට සහභාගී වන අන්තර්ජාල ඇබ්බැහියෙන් පෙළෙන අය තම තමන්ගේ ඇබ්බැහිය ගැන කතා කරන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවෙන්නට එක්ව අමද්‍යප සංගමයක කතාබහ සේය. මෙවැනි සමුළුවක කතාබහ BBC සේවයෙන් අසා සිටියෙමි. ලබන අඟහරුවාදා PBS සේවයේ ඒ ගැන වැඩ සටහනක් (Frontline; Digital Nation) ඇමෙරිකාවේ ප්‍රචාරය වනු ඇත.

ඇමෙරිකාවේ ද අන්තර්ජාල ඇබ්බැහියෙන් ගැලවෙනු සඳහා මධ්‍යස්ථානයක් ඇත. පසුගිය වසරේ එහි හිටියේ එක ලෙ‍ෙඩක් පමණකි.

මත්පැන් විකුණන වෙළඳුන් තම බෝතල් වල “වගකීමෙන් පානය කරන්න” (Drink Responsibly) යයි ලේබල් ගසනවා සේ කොම්පියුටර් වල “වගකීමෙන් අන්තර්ජාල කරන්න” (Internet Responsibly) යයි ලේබල් අනාගතයේ ඇති වේ ද? ඔන්න කාට හරි ලෝකයට විකුණන්න නව නිෂ්පාදනයක්!

ඇමෙරිකන් DSM-5 න් අළුත් රෝග එකතුවට අන්තර්ජාල ඇබ්බැහිය එක් කරනවා ද නැද්ද යන්නත් එය සූදු කෙළියට ඇබ්බැහිය හා සමානව සලකා උත්තේජක අපහරණ කොට්ඨාශයට (substance related disorders) ඇතුලත් කරන්නේ ද යන්නත් දැන් කතාබහට දොර විවෘතව ඇත. සූදු කෙළියට ඇබ්බැහිය මෙතෙක් මානසික රෝගයක් ලෙසින් තිබුනේ පෙළඹවීම් පාලන ආසාදන (impulse control disorders) යටතේය. එයත් අහක් කරනවා ද තියා ගන්නවා ද යන්නත් මෙම අළුත් පොතේ සැලකීමට භාජනය වෙයි. පෙළඹවීම් පාලනය කරගත නොහැකි ආසාදනයක උදාහරණයක් නම් කෙනෙක් තම කොණ්ඩය උදුරා දැමීමය (trichotillomania). ලංකාවේ කුඩා දැරියක් තමාගේ කොණ්ඩය උදුරා කා මිය ගිය කතාවක් පත්‍රයෙන් දැක්කෙමි. එවැනි තමාට පාලනය කරගත නොහැකි පෙළඹවීමක් මානසික රෝග ඝනයට වැටේ. එහෙත් සූදු කෙළිය, ටයිගර් වුඩ්ස් වැන්නන් කම් සුඛ සෙවීම හා අන්තර්ජාල ඇබ්බැහිය ඊට ඇතුලත් කිරීම සුදුසු ද?

මේ ගැන සුළුවට තැකිය නොහැක්කේ රටක රෝග හඳුනාගත් පසු ඒ වෙනුවෙන් දියත් කරන වැඩ පිළිවෙල රටේ දියුණුවටත් අනාගත පරපුරක මානසිකත්වයටත් බලපාන නිසාය.

අවධානය නිසියාකාරව පවත්වා ගත නොහැකියාව (Attention – Deficit and Disruptive Disorders = ADDD) රෝගයක් ලෙසින් සලකන්නට පටන් ගත් දා සිට ඒ වෙනුවෙන් බෙහෙත් නියම කරන්නට ද, ඒ බෙහෙත් ගැනීම පාසැල් දරුවන්ට නියමිත කිරීමට පාසැලේ ගුරුවරුන් හා උපදේශකයන් ද කටයුතු කළහ. මා නොක්ස්විල් නගරයේ ලේක්ශෝර් මානසික රෝහලේ දී බෙහෙත් නියම කෙරුනු බොහෝ දරුවන්ගේ රෝග ලක්ෂණ ගැන ඒ වෛද්‍යවරු හා එකඟ නොවුනෙමි. දිනපතා අපි රෝගීන්ට නියම කරන ප්‍රතිකාර ගැන වටමේස සාකච්ඡා කළෙමු. නිරීක්ෂණයේ දී ඒ දරුවන් රූපවාහිනිය බලන්නට මනා අවධානයක් ඇත. අවධානය නැතිව යන්නේ ගුරුවරුන් ඉදිරියේය. බෙහෙත් දීම නිසා දරුවන් පංතියේ “දඟ” නොකර නින්දට වැටෙති. නැතහොත් බෙහෙත් “මතින්” සිටිති. ඉතින් ගුරුවරයාට පාලනය පහසුය.

පසුබිම දිහා බැලූ කල සමහර දරුවන්ගේ අවධානය නොමැත්තේ ඇයි කියා සොයාගත හැකිය. නමුත් එක් එක් දරුවා ගැන සොයා බලන්නට දරුවාගේ දෙමාපියන්ට ද ඉස්පාසුවක් නැති කල, ඔවුන් ගෙන යන වෛද්‍යවරුන්ට ඒ සඳහා කාලයක් ඇත් ද?

ඇමෙරිකාවේ මනෝචිකිත්සක සංගමය විසින් මානසික රෝග වර්ග කර පෙන්වීම නිසා අතීතයේ චර්යා වැරදි ලෙසින් ගැනුනු බයිපෝලර් වැනි ආසාදනයන් අද හඳුනාගෙන ඇත. එයින් දරුවන් කුඩා අවදියේ හැසිරීම නොමනා නිසා දඬුවම් විඳීම වෙනුවට එසේ හැසිරීම රෝගයක් නිසා ඒ සඳහා විශේෂ පහසුකම් සැලසුනි. අද දිනයේ හඳුනා ගන්නා Autism රෝගය ද එවැනි තවත් රෝගාබාධයකි. ලංකාවේ ඒ ගැන දැනුවත් කිරිම සඳහා සිංදුවක් ද ගැයුණි. විශේෂ පාසැලක් පටන් ගත් අතර එයින් දරුවෙක් තම සිතුවම් වලින් නිම වූ නිෂ්පාදන ඔඩෙල් වැනි වෙළඳ සැලක අලෙවියට තබා දරුවා වෙනුවෙන් මුදල් මාර්ගයක් ද ඇති කරලීය.

අතීතයේ තරුණ වයසෙන් මිය ගිය බයිපෝලර් රෝගීන් වෙනුවට අද දිනයේ රෝගී තත්වයෙන් සිටිය ද ඵලදායක ජීවිත ගතකර වඩාත් කාලයක් ජීවත් විය හැකියාව ඔවුනට ලැබේ. ඒ නිසා මානසික රෝග වර්ගීකරණය සහමුලින්ම නිෂ්ඵල දෙයක් වන්නේ නැත. නමුත් එවැන්නක දී මානසික රෝග හරියාකාරව හඳුනාගත හැකි අපහසුව නිසා සෑම හැදියාවක්ම, ඇබ්බැහිකමක්ම රෝගයක් සේ සැලකීමට ඉක්මන්විය යුතු නැත.

“මහජන සුබසෙත” සාදන අරමුණු සඳහා ප්‍රතිපත්ති සකස් කරනා විට එක් එක් පුද්ගලයා අමතක වී යයි. සමාජය හැදී තිබෙන්නේ එක් එක් මිනිසුන් රාශියක් එකතු වීම නිසාය. ඒ හැමෝටම එකම ආකාරයකින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකිය. අවධානය නොමැති වීමට එක් එක් දරුවාට ඇති හේතු වෙනස් වේ. නමුත් අවධානය නොමැති වීම රෝගයක් යයි හැඳින්වීම මඟින් ඒ එක් එක් අයගේ හේතුව අතහැර සමස්තයක් (collective) ලෙස සලකා ඔවුන් සියල්ලටම එක බෙහෙතක් නියම කළ හැකිය.

මත්පැන් වලට ඇබ්බැහිය ද රෝගයක් ද නැතහොත් හුරුවක් ද? ජානුගත උවමනාවක් ද? නැතහොත් පරිසරයෙන් දකිනා නිසා ඊට තමනුත් හුරු වන්නක් ද? තමන් පිළිගන්නා පැත්තට අනුව දත්ත ඉදිරිපත් කෙරෙන නිසා (සමාජ ප්‍රතිපත්ති සකස් කරන ආණ්ඩුවේ මුදල් වෙන් කිරීම් අනුව) දෙපැත්තම හරි හෝ වැරදි යයි පෙන්වීමට දත්ත දෙපැත්තෙන්ම සොයා ගත හැකිය.

මත්ද්‍රව්‍ය හෝ මත්පැනට ඇබ්බැහි වූ අයෙක් කාලයක් එයින් වැළකී සිට නැවත ඇබ්ත්තක් හෝ උගුරක් ගත් කළ පාලනයකින් තොරව යළි ඊට ඇබ්බැහිය ඇති කර ගනියි. සූදු කෙළිය, කම්සුඛ සෙවීම, හෝ අන්තර්ජාල ඇබ්බැහිය යම් පාලනයකින් යුතුව කරන්නට හැකි වීම නිසා එයින් ඇබ්බැහියක ලක්ෂණ දැක්වේ ද? වැඩ කිරීමට ඇබ්බැහිය (workaholic) හා චොක්ලට් කන්න ඇබ්බැහිය (chocoholic)යනාදියත් රෝග ලෙසින් දැක්විය යුතු ද?

විද්‍යාවේ (science) වටිනාකමක් ඇත්තේ එය මනුෂ්‍යයාගේ ජීවිතය ආරක්ෂා කර, සාරවත් කර, වර්ධනය කරනවා නම් පමණකි. මනුෂ්‍යයා යනු එක්, සුවිශේෂ, හිලව් නොකළ හැකි ඒකීය මිනිසාය (individual man). සමාජයේ සුබ සාධනය සඳහා සමස්ත වැඩ පිළිවෙල් ක්‍රියාත්මක කිරීමෙන් ඒකීය පුද්ගලයාව නොසලකා හැරේ.

තාක්ෂණය නිසා ලබා ගන්නා නව දැනුමේ වටිනාකම ඇත්තේ ඊට කලින් වූ දැනුම නිදහස්ව පරිහරණයටත්, එහි ඵල ‍රස විඳින්නටත් හැකි අයටය. තමන් වෙහෙස මහන්සි වී දිවා රෑ වෙහෙසෙන්නාට දැනුම නිදහස්ව පරිහරණයටත්, ඵලදායක බව රස විඳින්නත් කාලයක් නැත. එදිනෙදා වැඩට යන පුද්ගලයා පාලකයා විසින් ක්‍රියාත්මක කරන සැලසුම් ගැන දැනුමක් නැති නිසා කියා ඊට එකඟ විය යුතුද? නැතහොත් තමාගේ දහඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරන ලාබයෙන් සමස්ත ජනතාවට සුබසෙත සලසන නාමයෙන් දියත් කරන සැලසුම් ගැන සොයා බලන්නට කාලයක් වැය කළ යුතුද?

අතීතයේ පටන් දියත් කර ඇති එවැනි සැලසුම් දිහා බලනා කල, රුසියාවේ වේවා ඇමෙරිකාවේ වේවා මහජන සුබසෙත සලසන ප්‍රතිපත්ති බොහොමයක ඵලදායක බවක් කාලයක් ගියත් දැක ගන්නට නොහැකිය. උදාහරණ ලෙස ගගණගාමීන් අභ්‍යාවකාශයට යැවූ රුසියාව තම පුරවැසියා හාමතෙන් තැබීය. ආර්ථික සහන සැලසුම් හා හමේ පාටට වැඩි අවධානය දුන්න ද, කළු ඇමෙරිකානුවන් තවමත් ඉන්නේ ආර්ථිකයෙන් පහළ මට්ටමකය.

තම දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි යයි කියන දෙමාපියෝ දරුවා ඊට මුලින්ම සම්බන්ධ කල ආකාරය දිහා බැලිය යුතුය. දරුවාට වෙනත් මාර්ග වලින් තම ජිවිතය රසවත් කරගන්නට අවස්ථා ලබා දුන්නා ද? අන්තර්ජාලයේ ක්‍රීඩා කිරීම හා එළිම‍හනේ ක්‍රීඩා කිරීම සමබරතාව‍යකින් කළ යුතු බව පෙන්වා දී ඊට ඉඩකඩ ලබා දුන්නා ද? නැතහොත් තම පහසුව පිණිස එය අධ්‍යාපනයට රුකුලක් යයි කියා දරුවා ඒ ඉදිරියෙන් වාඩි කරවා තමාගේ වැඩ කටයුතු වල නියැළුනා ද?

තමන්ගේ ජීවිතය හසුරුවන්නට පාලකයාට ඉඩ දෙන්නා පාලකයා විසින් එය තමන් අතට මුළුමනින්ම ගත් දාට වූයේ කුමක් දැයි සොයාගත නොහැකිව ලත වෙති. පාලකයාට වඩා සැම අවස්ථාවක දීම තමාගේ සුවසෙතට කළ යුත්තේ කුමක් දැයි දන්නේ තමාය. අපි සමස්තයක් ලෙසින් සුබසෙත සලසන්නට ගොස් පුද්ගලිකත්වය අමතක කර දමා ඇත.

සමස්තයකට සුබසෙත සැලසීම පරාර්ථාකාමී සද්භාවයක් යයි අපි පිළිගෙන ඇත. ඒ අර කාණ්ඩයක් එකතු වී සල්ලි සම්මාදම් කර දන්සැලක් දානවා වැනිය. මා දෙන්නේ ටිකකි. මා බලාපොරොත්තු වෙන්නේ මහත් පිරිසකට දානයක් දීමෙන් ලබන මහත් පිනකි. මගේ අරමුණ වූ මහා පින් සලසා ගැනීම මා බාර කර ඇත්තේ ඊට ඉදිරිපත් වූ පිරිසක් වෙතය. ඔවුන් “හොඳ” යයි මා සැලකූ නිසා මගේ ආධාරය ඔවුන්ට දෙන්නෙමි. නමුත් ආධාරය ගත් පසු ඔවුන් ඔවුන්ට කැමති පරිදි කටයුතු කිරීමෙන් වැළකීමට මට හැකියාවක් නැත. අපි සම්පූර්ණ බලය දී සම්පූර්ණ දූෂිතයෝ බිහි කරන්නේ එලෙසිනි.

මේ වෙනස් කිරීම් ගැන ජනතාවට, වෛද්‍යවරුන්ට හා පර්යේෂකයන්ට අප්‍රේල් මාසය දක්වා අදහස් අන්තර්ජාලයෙන් ඒ ඒ කමිටු වෙත ඉදිරිපත් කරන්නට ඉඩ සලසා ඇත. DSM -5 අත්පොතට මැයි 2013 දී අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ලෙසින් අවසානයේ ඇතුළු වේදැයි නොදනිමි. නමුත් මත්පැන් හා මත්ද්‍රව්‍ය ඇබ්බැහි වැටෙන උත්තේජක අපහරණය හා සමානව සලකා බලන කල මෙයත් එකතු කරන්නට ඒ පදනම නොසෑහේ යයි සිතේ. මෙයින් සිද්ධ වන්නේ මහජන සුබසෙත සලසන නියායෙන් සමස්තයකට නිකුත් කරන ප්‍රතිපත්ති නිසා අනාගතයේත් එක් එක් මිනිසා වෙත අවධානය යොමු කිරීම මඟ හැරී යාමයි.

රෝග කෙසේ වර්ගීකරණය වුවත් එක් එක් පුද්ගලයා, (දරුවන් ගැන දෙමාපියෝ හෝ බාරකාරයෝ) විමසා බලා තමාට සුවිශේෂී වූ තත්වය ද විචාරා නොබලා පිළිගැනීම මනුෂ්‍යත්වයට මදිකමකි. පාලකයා හෝ වෛද්‍යවරයා හෝ මනුෂ්‍යයා යනු සියල්ල දන්නා අයෙක් නොවේ යන්න අපත් මතක් කරගෙන නොදන්නා අයටත් කියා දිය යුතුය.

විද්‍යාව හා තාක්ෂණය ගැන කැමැත්ත ඇති අයට ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුව මාස 3 ක් ගත කරන්නට අවස්ථාවක් ගැන මේ. විද්‍යා ශිෂ්‍යයෙකු හෝ විද්‍යාඥයෙකුව සොයන්නේ විද්‍යාව හා තාක්ෂණය ගැන ලිපි ලියන්නට “ද ඉකොනොම්ස්ට්” සඟරාවයි. විස්තර සඳහා

9 Responses

Subscribe to comments with RSS.

  1. දසයා said, on පෙබරවාරි 11, 2010 at 9:50 පෙ.ව.

    ඉස්සර අපේ ගෙදරත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා. වැඩ ඇරිල ගෙදර ගිය ගමන් මම කොම්පුටර් එක ඉස්සරහ (දවල් දවසමත් වැඩ කරන්නේ ඒක ඉස්සරහ ඒත් මදි). රෑට කන්නෙත් කොම්පුටර් මොකක් හරි බල බල. ඉතින් අපිට කතා බහටවත් වෙලාවක් නෑ. දැන් අපි කතා වෙලා හවස 5 වෙද්දි කොම්පුටර් එක ඕෆ් කරනවා. ආයේ දාන්නේ රෑ 9ට.

  2. තරිඳු said, on පෙබරවාරි 11, 2010 at 9:57 පෙ.ව.

    මම නම් දැනටමත් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා. ඕක ලංකාවට ආවොත් මමත් අංගොඩ නැත්නම් මුල්ලේරියාවෙ.
    රටක ප්‍රතිපත්ති තීරණය කරන්න ඔය වගේ රිපෝර්ට් භාවිතා කරන එක හරි වැදගත්. අපේ රටේ නම් කට්ටියයට දැනෙන හැටියටනෙ (gut feeling) රටේ ප්‍රතිපත්ති හදන්නෙ. අපේ සෞඛ්‍ය ඇමති එක පාරක් ජත්‍යන්තර සමුලුවකදී කිව්ව ආරක්ෂිත ලිංගික හැසිරීම් (safe sex) වෙනුවට එක ලිංගික සහකරුවෙක් (one sex partner) කියන ප්‍රතිපත්තිය තමා ආණ්ඩුව පාවිච්චි කරන්නෙ ඒඩ්ස් වැලැක්වීමට කියල.

  3. panhida said, on පෙබරවාරි 11, 2010 at 11:42 පෙ.ව.

    අන්තර්ජාලය තමා මගේ අනිත් ලෝකේ….මාත් ඇබ්බැහිවෙලාද මන්දන්නේ නැ….මේකේ ඉන්න වෙලාව අඩුකරන්නම බෑනේ…

  4. Grey said, on පෙබරවාරි 11, 2010 at 12:12 ප.ව.

    That link at the end is for last year
    http://www.economist.com/displaystory.cfm?story_id=13014990

  5. Kalinga said, on පෙබරවාරි 15, 2010 at 11:41 පෙ.ව.

    i wrote some thing like this some time back on the blog, and true that we all are addicted to internet 2 much.

    http://sinhala.kalingasblog.com/2009/01/08/im-an-internetholic/

    dont think im spaming your blog post 🙂 just wanted to share it !

  6. Anewasika said, on පෙබරවාරි 17, 2010 at 12:16 ප.ව.

    මං නං කක්කුට්ටෙක්. මගෙ ළමයින්ට onlinefamily.norton.com නීති දාල, මං රෑ වෙනතුරු අන්තර්ජාලෙ.

    අනේවාසික

  7. මහාචාර්‍ය අගලකඩ සිරිසුමන හිමි said, on ජනවාරි 25, 2018 at 7:21 පෙ.ව.

    ඔබේ ලිපිය කියවීමි. එය මම ධර්ම දේශනාවක මූලාශ්‍රයක් ලෙස භාවිත කරමි. මෙවැනි වැදගත් ලිපියක් සිංහල මාද්‍යයෙන් ඉදිරිපත් කිරීම ගැන බොහෝ ස්තුති වන්ත වෙමි.

  8. wrthero said, on අගෝස්තු 23, 2018 at 11:01 ප.ව.

    මගේ අදහස අපි හැමෝම පාලනය කර ගත යුතු වන්නේ අපගේ සිත් ය


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: