අරුණි ශපීරෝ‍ වෙතින්

මගේ නම ඛාන්, මා ත්‍රස්තවාදියෙක් නොවේ

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 12, 2010

MY NAME IS KHAN, and I’m not a terrorist. -movie trailer

මේ පෙබරවාරි 12 වැනිදා ඇමෙරිකාවේ තිරගත කරන බොලිවුඩ් චිත්‍රපටියකි. නළුවා කවුරුත් දන්නා ෂාරුක් ඛාන්ය. කවුරුත් දන්නා යයි කියන්නේ ලෝකයේ වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් දන්නා නළු මුහුණ අයිති ඔහුට නිසාය. එහෙත් ඇමෙරිකාවට පැමිණි ඔහුව (කවුදැයි නොදැන) ආගමන විගමන පෝලිමෙන් ඉවතට ගෙන පැය දෙකක් ප්‍රශ්න කළේ ඔහු මුස්ලිම් නිසත් ඔහුගේ නම ඛාන් වූ නිසත්ය.

ෂාරුක් ඛාන් කියනා අන්දමට ඉන්දියා‍ව තරම් ඔහු ඒ සිද්ධිය ගැන අප්‍රසාදය පළ නොකරයි. ඉන්දීය විදේශ ඇමතිවරයා ඉන්දියාවට පැමිණෙන සියළු ඇමෙරිකානුවන්ව එසේ ප්‍රශ්න කරන්නටත්, ඇඟ අත ගා බෝම්බ ඇත්දැයි සොයා බලන්නටත් තර්ජනය කළ විට ඔහු ඉන්දීය විදේශ ඇමතිවරයාට කියා ඇත්තේ ඇන්ජලීනා ජොලී ඉන්දියාවට ආවාම එයා බෝම්බ සඟවා ගෙන ඇත්දැයි සොයා බලන්න මට බාර දෙන්න, ඒ ඇති කියාය.

ෂාරුක් ඛාන් තමා රඟපාන මෙම ඉන්දීය චිත්‍රපටිය ගැන NPR රේඩියෝවට මෙසේ කියයි. ඉන්දියාවේ චිත්‍රපටි තාත්විකයි කියා නොහිතන අය ඉන්නවා. ඒත් හොලිවුඩ් චිත්‍රපටි වලට වඩා ඉන්දීය ‍ෆිල්ම්ස් තාත්විකයි. අපි පිටසක්වල තරණය හෝ ලෝකය විනාශ කරන්න එන මවාගත් අය හා සටන් වදින්නෙ නැහැ. ලෝකය විනාශ කරන්න එන උල්කාපාත විනාස කරලා ලෝකය බේරා ගන්න ෆිල්ම්ස් හදන්නෙ නැහැ. සුපර් මෑන්ලා, බැට් මෑන්ලා නැහැ. අපි හදන්නෙ කෙල්ලයි කොල්ලයි හමුවෙලා, වාහනයක් දෙකක් ලබා ගෙන, ගෙයක් හදාගෙන හොඳින් ජීවත් වෙන්න ඉලක්කය කරගත් අද සමාජයේ පවතින සමාජ බැමි එක්ක කරන අරගල ගැන චිත්‍රපටි.

ඉතින් රැල්ලක් නිසා ෂාරුක් ඛාන් පිටිපස්සෙ එකතු වන රසික රසිකාවියෝ ෂාරුක් ඛාන් සම්ප්‍රදාය පිළිපදින අයෙක් කියා හිතා ඇද්ද?

ඊ ළඟට රේඩියෝවේ නිවේදකයා ප්‍රශ්නයක් ඇහැව්වා ෂාරුක් ඛාන් මුස්ලිම් නිසා වැඩියෙන් හින්දු ජනගහනයක් ඉන්න ඉන්දියාව වැනි රටක මුස්ලිම් බව පෙන්වන චිත්‍රපටියකින් එයාට පාඩු වෙයි ද කියලා. මේක ඉතින් ඇමෙරිකන්කාරයෙක් අහන සුපුරුදු ප්‍රශ්නයක්. තමන් මුස්ලිම් බව හංගා ගෙන සිටින්නේ නැති බව ඛාන් පිළිතුරු දුන්නෙ.

හින්දු කාන්තාවක් හා විවාහ වූ මුස්ලිම් පිරිමියෙක් ගැන ඉන්දියාවෙන් නිමැ වූ පළමු චිත්‍රපටිය මෙය නොවේ. ආශ්වර්ය්‍යා රායි රඟපාපු Jodhaa Akbar (2008) චිත්‍රපටිය මට මෙහිදී මතකයට නැ‍ඟේ. එහි හින්දු සිටු දුවක් කරකාර බඳින්නේ මුස්ලිම් රජෙකි.

ඉන්දියාව ගැන ඇමෙරිකන්කාරයා දකින්නෙ විවිධාකාරයෙන්. කට්ටියක් ඉන්දියාව අගය කරන අතර අනෙක් කට්ටියක් ඉන්දියාව පසුගාමී රටක් ලෙස දකිති. ඉන්දියාව අගය කරන්නෝ ඉන්දියාවේ අගය යැයි කියන්නේත් පසුගාමී කියන අය එසේ යැයි කියන්නේත් තතු නොදැන වීම කණගාටුවකි.

උදාහරණ ලෙස, ඉන්දියාව අගය කරන අයෙක්, ඉන්දියාවේ කොතරම් නිදහසක් ඇත්ද කියා කියයි. එයින් ඔහු අදහස් කරන්නේ භාවනා, යෝග, මන්තර ගුරුකම් හා පාරේ යන හරක් එළවන්නේ නැතිව හා මස් මාංශ අනුභව නොකර සතුන්ට දක්වන කරුණාවයි. ඔහු හින්දු මුස්ලිම් අරගල, කාන්තාවට පමණක් ඇති නීති රීති හා අල්ලස්, පගා, දූෂණ නිසා මහත් සංඛ්‍යාවක් ඉන්නා දුප්පතුන් ගැන නොදනිති. නිදහස ඇතැයි සඳහන් කරුණු නිසා ඉන්දියාව පසුගාමී යයි කියන්නා ඉන්දියාව ලෝකයේ වඩාත්ම භාෂා රාශියක් කතා කරන, ඉගෙනීමෙන් හා ස්ව-වෙහෙසෙන් තම ආර්ථිකය දියුණුවට මහන්සි වෙන පුරවැසියන් ගෙන් යුතු රටක් යයි නොදනියි.

අද දිනයේ මුස්ලිම් හා ත්‍රස්තවාදීන් ගැන චිත්‍රපටි බොහොමයකි. ෆ්ලෝරිඩාවේ ලාංකිකයෙක් වන ශ්‍රීනාත් රාමාලිංගම් ද කෙටි චිත්‍රපටියක් (Mujahid, 2009) ඉදිරිපත් කරයි.

ඇමෙරිකාව හොලිවුඩ් චිත්‍රපටි ලෝකයට ඉදිරිපත් කරනා ආකාරයෙන් ඉන්දියාවේ බොලිවුඩ් ෆිල්ම්ස් තම ගමන් මාර්ගය වෙනස් නොකර කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ශෛලීය පවත්වා ගෙන එය ලෝකයටම දායාද කරන ආකාරය ද අගැයුමට ලක් විය යුතුය. ඉන්දියාවේ චිත්‍රපටි නරඹන්නට අද ඇමෙරිකාවේ එක් රොක් වන්නේ මෙහි වාසය කරන ඉන්දියානුවන් පමණක් නොව ඉන්දීය භාෂාවන් නොදන්නා සුදු ඇමෙරිකානුවන්ය. ඉක්මණින් ජනප්‍රියත්වයක් ලබා ගන්නා ඉන්දීය චිත්‍රපටි අද රූපවාහිනියේ ද, විඩියෝ වෙළඳසැල් හා අන්තර්ජාලයෙන් ද මෙන්ම පුස්තකාලයෙන් පවා ලබාගෙන නැරඹිය හැකිය. ඔවුන් හොලිවුඩ් වෙතට අභියෝගයක් එල්ල කරන්නේ තමන්ගේ සම්ප්‍රදාය පවත්වා ගැනීමෙනි.

8 Responses

Subscribe to comments with RSS.

  1. Siribiris said, on පෙබරවාරි 12, 2010 at 1:06 ප.ව.

    අපූරු ලිපියක්.

  2. V said, on පෙබරවාරි 12, 2010 at 3:01 ප.ව.

    හොද ලිපියක් බොහොම ස්තුතියි

  3. රවා said, on පෙබරවාරි 12, 2010 at 3:37 ප.ව.

    මා මෙහි අවසාන ප්‍රකාශය ගැන යමක් ප්‍රකාශ කිරිමට කැමතිය. ඉන්දියානුවන් තම චිත්‍රපට ලොකය තුලට ගෙනියන්නෙ තම සම්ප්‍රදායන් , තමුන්ගෙ සංස්කෘතියද ඔබ්බවාගෙනය. තමා හැල්ලුකර මින් නොවෙ. චිත්‍රපට තුලින්ද අන්තර්ජාතිකව වෙසෙන තම මිනිසුන්හට දෙන පනිවිඩය නම් තම මවුබිම කෙරෙහි දක්වන ජාතික මමත්වය වැඩිකරගන්න ලෙසය. බොහො විට විනොදාශ්වාදය හා පණිවිඩයකුත් ලබාදෙන හින්දි සිනමා කෘතින් හා බටහිර සිනමා කෘතින් අතර සංසන්දනයක් කිරිමට නොහැකිය. මක් නිසාද හොද හො නරක දෙකම බලන කෙනාගෙ දැස්වල ඇති දෙයකි.

    • arunishapiro said, on පෙබරවාරි 12, 2010 at 5:55 ප.ව.

      රවා, මගේ සටහනේ හින්දි බටහිර සංසන්දනයක් කරන්නට මා උත්සාහ ගත්තා සේ පෙනුනා නම් සමාවන්න. සංසන්දනය කර ඇත්තේ ෂාරුක් ඛාන් ඔහු කළ සාකච්ඡාවේ දී ය. නමුත් ඔහු ද එකක් වඩා හොඳ යයි කීවේ ද නැත. වෙනස්කම් පෙන්වා දුන්නා පමණි. මගේ එකතුව වූයේ ඔහු “සම්ප්‍රදාය” රැක‍ෙගන බටහිර රැල්ලට පෙරලෙන්නේ නැතිව ඉන්දීය සම්ප්‍රදාය බටහිරට ගෙන එන්නට සමත් වූ බව පෙන්වීමයි. ඔබගේ අවසාන වාක්‍යය හැරෙන්නට අනිත් සියල්ලට මා ද එකඟය. ‍”හොඳ” හා “නරක” බලන කෙනාගේ ඇස්වල ඇති දෙයක් යයි කීම වැරදි වන්නේ ලෝකයේ සම්මත ‍”හොඳ” යන්නත් “නරක” යන්නත් (උදා: සතුන් මැරීම, නුදුන් දේ ගැනීම) තීරණය වන්නේ මුළු ලෝකයටම පොදු එකම අගැයුම් පදනමක් මත හෙයිනි. නමුත් හොඳ හා නරක විවිධ මට්ටම් වලින් විවිධ සමාජ අනුමත කරති. එනිසා “හොඳ” හා “නරක” යොදා නොගෙන අපි “කැමත්ත” හා “අකැමත්ත” විවිධාකාරයි කීම වඩා සුදුසු නොවේ ද?

  4. තරිඳු said, on පෙබරවාරි 13, 2010 at 5:45 පෙ.ව.

    මිනිස්සුන්ගේ පොදු ලක්ෂණයක් තමයි selective amnesia ව. පේන්නෙ වාසී විතරයි. බටහිර රටවල් සම්භන්ධ හින්දි චිත්‍රපටි ගොඩක කරන්න උත්සාහ කරන්නෙ බටහිර පහත් කරල ඉන්දියාව උසස් කිරීම. කව්රු උස්ද කව්රු පහත්ද කියන එක වෙනම කාරණයක්. නමුත් ප්‍රශ්නේ මැදහත් සිතකින් මේ දිහා බලන්න බහුතර සිනමා වෙදියො උත්සාහ කරන්නෙ නැති එක. මම මගේ ඇස් දෙකෙන් දැකපු නිසා මම දන්නව ඔය ෆිල්ම් වල පෙන්නන්නෙ ඇත්ත ඉන්දියාව නෙමේ කියල. පක්ෂග්‍රාහී වීම කොච්චර අන්තයකට යනවද කිව්වොත් අපේ පක්ෂයේ හොඳ සහ විරුද්ධ පක්ෂයේ නරක විතරයි අපට පේන්නෙ.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2010 at 10:28 පෙ.ව.

      තරිඳු, පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. ඇමෙරිකාව තරම් තමන්ගේ රට, ගති පැවතුම් හා එහි පුද්ගලයෝ විචාරයට භාජනය කර තමන් නිපදවන චිත්‍රපටි වෙන රටවලින් එන්නෙ නැහැ. හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් බලයේ ඉන්න කාලයේම ඔහු ගැන විරුද්ධ මත පෙන්වන විස්තරාත්මක චිත්‍රපටි ඇමෙරිකාවෙන් නිෂ්පාදනය වුනා. ඇමෙරිකන් පැවැත්ම විවේචනය කරන දුම්බීම ගැන, කර්මාන්තශාලා කෘෂිකර්මය හා කොටස් වෙළඳපල ගැන පැත්තක ඉඳන් බලල නිෂ්පාදනය කරන චිත්‍රපටි වගේම Platoon (1986) වැනි වියට්නාම් යුද්ධය ගැන විවේචන චිත්‍රපටි ගණනාවක් ද, සිඩ්නි පෝටියේර් රඟ පෑ Guess Who’s Coming to Dinner (1967) වගේම The Secret Li‍fe o‍f Bees (2008) චිත්‍රපටි වලින් කළු අයගේ අරගල ගැන මෑතක දී පවා කතාබහට ලක් වෙනවා. එසේම Black Hawk Down (2001) වලින් ඇමෙරිකානුවෝ පිටරටවල් වල ගිහින් අනා ගන්න හැටි හා නැහැයි කිය කිය යුද්ධ පටන් ගන්න තලිබාන් වලට ආධාර දුන්න හැටි Charlie Wilson’s War (2007) වැනි චිත්‍රපටි වලින් පෙන්වනවා. මේවාත් මැදිහත් සිතකින් කරන එකක් ද යන්න කතාබහට ලක්විය යුත්තක්. නමුත් නිදහස් අදහස් ප්‍රකාශයට ඇති ඉඩකඩ නම් පැහැදිලිව පෙනෙනවා.

      ඒ වගේම ඇත්ත ඉන්දියාව පෙන්වන Mother India (1957) වැනි චිත්‍රපටිත් ඔය අතර තියෙන බව අපි අමතක කළ යුතු නැහැ.

  5. Anewasika said, on පෙබරවාරි 13, 2010 at 8:18 පෙ.ව.

    ලංකාවෙ උපන් අපිත් බටහිට රටවල් වලට ආවම ගනං ගන්නෙ ඉන්දියානුවොයි කියලනෙ. ඕකෙන් වාසි වලට වඩා අවාසි වැඩියි.

    අනේවාසික


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: