අරුණි ශපීරෝ‍ වෙතින්

අධ්‍යාපන සරණාගතයෝ

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2010

අද ඇමෙරිකාවට යුරෝපයෙන් එන අධ්‍යාපන සරණාගතයන්ට මෙහි පදිංචියට අවසර දි ඇත. ජනවාරි 26 වැනිදා ඇමෙරිකන් විනිශ්චයකාරවරයෙක් බටහිර ජර්මනියෙන් ආ පවුලකට දේශපාලන සරණාගතයින් (political asylum) යටතේ ඇමෙරිකාවේ පදිංචියට ඉඩ දුන්හ. රොමෙයිකි පවුලේ තාත්තා පියානෝ ගුරුවරයෙකි. බිරිඳ ඇතුළු දරුවන් පස් දෙනෙකි. ඔවුන් දේශපාලන සරණාගතයින් වූයේ තම දරුවන්ට තම කැමැත්ත අනුව තම රටේ දී ඉගැන්වීමට නොහැකි අධ්‍යාපන සරණාගතයන් වූ නිසාය.

ජර්මනියේ නීති අනුව දරුවන්ට ගෙදර දී ඉගැන්විය හැක්කේ ඉතා සීමිත වූ අවස්ථාවල දී වඩාත් තද නීති යටතේය. රොමෙයිකි පවුලට ගෙදර දී දරුවන්ට ඉගැන්වීම නිසා යූරෝ 12.000 කට දඩ වැදුනි. ඔවුන්ගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් දරුවන් බලයෙන් රැගෙන පාසැල් ගෙන ගියහ.

2006 සැප්තැම්බරයේ දී යුරෝපීය මානව අයිතීන් උසාවිය විසින් ජර්මනියේ දරුවන් පාසැල් නොඑවන දෙමාපියනට දඬුවම් දියහැකි බවට තීන්දුව දුන්හ. පාසැල් නියෝජනය කරන්නේ සමාජයයි. දරුවන්ගේ අනාගතය සමාජයේ කොටසක් වීම නිසා පාසැල් යාම දරුවන්ගේ හොඳට සිද්ධ විය යුතු බව විනිශ්චය කෙරුණි. දෙමවිපියන්ට දරුවන් හදා වැඩීමේ අයිතිය දරුවන්ට පාසැලෙන් ලැබෙන සමාජ අත්දැකීම ඉවත් කිරීමට අයිතිය‍ට වඩා අඩුය. නීතියෙන් තහනම් වුවත් ගෙදර පාසැල් අද ජර්මනියේ ප්‍රචලිත වෙමින් පවතී. Friedensau Adventist University හි සමාජවිද්‍යාඥයකු වන තෝමස් ස්පීග්ලර් (Thomas Spiegler) කියන්නේ 600 -1000ක් අතර සංඛ්‍යාවක් දරුවන් අද ගෙදර පාසැල් උගන්වන බව කියයි.

බ්‍රිතාන්‍යයේ ද ගෘහ පාසැල් වල් ප්‍රචලිත වන ආකාරය පෙනේ. එහෙත් පනවන්නට යන නව නීති නිසා රජයේ නිලධාරීන්ට හිටිහැටියේ නිවසට කඩා පැන ගෘහ පාසැල් දරුවා දෙමාපියන් නොමැති විට දී ප්‍රශ්න පත්‍රයක් දී විභාග කරන්නට ද ඉඩකඩ ඇත.

ගෘහ පාසැල් බොහොමයක ආරම්භයට හේතු වූයේ ආගමයි. පරිණාමවාදය පිළිනොගත් ආගම් හා පාසැලේ ලිංගිකත්වය ගැන කතාබහට අකමැති දෙමවි‍පියෝ තමන් විසින් දරුවාගේ අධ්‍යාපනය තම අතට ගත්හ. සමහර ක්‍රිස්තියානි ආගම් අදහන දැඩි භක්තිකයෝ ඩයිනසෝරස් ගැන බයිබලයේ සඳහන් නැති නිසා ඒ ගැන ඉගැන්වීමත්, ඩාවින්ගේ පරිණාමවාදය ඉගැන්වීමත් අනුමත නොකළහ. එසේම මෑත කාලයේ දී පාසැල් වල උප්පත්ති පාලන ක්‍රම ගැන කියා දීමත්, හෙදර්ට ඉන්නේ මව්වරු දෙදෙනෙකි වැනි සමරිසි පිළිගැනීම් පාසැල් පොත්වලට එකතුවීමත් නිසා තම දරුවන් පාසැල් යවන්නට අකමැති වූහ.

මගේ දියණියට මා වසර 3 සිට 9 දක්වා ඉගැන්වූයේ ද ගෙදරමයි. එකල මා වාසය කල ටෙනසි ප්‍රාන්තයේ ඊට අනුමැතිය වසර පතා අයැදුම් කර ලබා ගත යුතුයි. නමුත් මා විසින් ඇයගේ අධ්‍යාපනය මා අතට ගැනීමට ආගම හෝ සමරිසි අගැයුම් මුල් වූයේ නැත. ඇය මොන්ටිසෝරි ක්‍රමයෙන් පෙර පාසැල් හුරුවක් ලබා සිටි නිසා පාසැලේ අනිත් ළමුන්ට වඩා කියවීම, ලිවීම හා ගණිතය දත්තීය. පාසැල් පටන් ගත් කල අනිත් අය ඇයගේ මට්ටමට එනතුරු ඇයට කරන්නට වැඩක් පංතියේ නොවුනි. ඇගේ හැකියාව මොට වන්නට පෙර, ඇයගේ උනන්දුව නැති වන්නට පෙර, ඇයට යා හැකි ඉක්මණකින් ඉගෙනීම ලබා දිය හැකි එකම විකල්පය වූයේ මා ඇයට ඉගැන්වීම බාර ගැනීමයි.

ගෙදර පාසැල් පවත්වන අයට උපකාර සලසන ආයතන බොහොමයකි. අප වෙනුවෙන් විශේෂ අඩු මිලක් නියම කර පොත්පත් ගැනීමටත්, අනෙකුත් අධ්‍යාපන අමුද්‍රව්‍ය ගැනීමටත් සමහර සමාගම් ඉඩ දුන්හ. පුස්තකාලයේ දී පොත් කියවන සංගම්, භූගෝල තරඟ, අක්ෂර වින්‍යාස තරඟ, චෙස් තරඟ පැවැත්වීමට ඉඩකඩ ලැබුණි. තම තම දරුවා කැමති සංගම් වල මව්වරු හෝ පියවරු ඒ ඒ සංගම් දිනයන්හි දරුවන් ඒ සඳහා ගෙන ආහ. දරුවාට අනිකුත් තම වයසේ දරුවන් හා එක්ව හැසිරෙන්නට එයින් ඉඩ ලැබුණි.

එසේම ටෙනිස්, බැඩ්මින්ටන්, ගොල්ෆ් යනාදී ක්‍රීඩාවන් ඉගෙනීමටත් තරඟ වැදීමටත් ඒ ඒ හැකියාවන් ඇති මව්පියවරුන් විසින් සියළු ගෘහ පාසැල් දරුවන්ට ඉඩකඩ සලසා දුන්හ. විද්‍යා අංශයේ පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණාගාර පහසුකම් අපට මුදල් ගෙවා ලබාගත හැකිවිය. කෞතුකාගාර, චිත්‍රපටි හා නාට්‍ය සංදර්ශන බැලීමට යාම අධ්‍යාපන චාරිකා විය. කැමති වෙලාවක නැඟිට දවසේ පැය හතරක් ඉගෙනීම සඳහා නීතියෙන් වෙන් කෙරුනත් වැඩෙන දරුවා යනු අවදි වී සිටින සෑම මොහොතේම යමක් ඉගෙන ගන්නා අයෙක් බව මේ ගෘහ පාසැල් ඉගැන්වූ සෑම දෙමාපියෙක්ම පිළිගත්තකි.

ඔවුනට සහාය සපයන ආයතන ද බිහිවිය. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ගෘහ පාසැල්කරණයේ යෙදෙන ළමුන් සඳහා විශේෂ ගණිත පංති අන්තර්ජාලයෙන් ඉදිරිපත් කළහ. පශ්චාත් උපාධි ශිෂ්‍යයෙකු හා චැට් කර තම ගැටළු විසඳා ගැනීමටත් තම හැකියාවට අනුව ඉක්මණින් හෝ හෙමිහිට හෝ ඉදිරියට යාමට (පංතිය නොව තම හැකියාව මත) ඒ දරුවන්ට හැකිවුනි. ගෘහ පාසැල් වලින් එන දරුවන්ට විශේෂයෙන් සැලකීම ලැබෙන්නට පටන් ගත්තේ ඔවුන් අනිත් අයට වඩා දක්ෂ ලෙසින් විශ්ව විද්‍යාලයේ දී ඉගෙනීම කරන්නට ගත්විටය. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පටන් ගෙන අද බොහෝ විශ්ව විද්‍යාල ගෘහ පාසැල් වලින් එන අයැදුම්කරුවන්ට කැමැත්ත හා සැලකිල්ල දක්වති.

මෙහි අනිසි විපාක ද ඇත. ගෘහ පාසැල් අධ්‍යාපනය දෙනවා යයි කියා යම් දෙමාපියෙක් දරුවා පාසැල් නොයවා, ගෙදර දී ද අමතක කර දමා ඉන්නට පෙළඹෙනු ඇත. එහෙත් ඒ අහම්බෙන් අයෙකි. ගෘහ පාසැල්හි ඉගෙන ගන්නා දරුවා 5 වසරේ දී හා 7 වසරේ දී ප්‍රමිති විභාගයකට අනිත් පාසැල් ළමුන් හා වාඩිවිය යුතුය. එතැන දී අසමත් වුනොත් රජයේ පාසැලකට දරුවා ඇතුල් කරන්නට සිදුවේ.

ගෙදර පාසැල් කල කාලයේ දී මගේ දියණිය ජීවිතය හෙමිහිට රස වින්ඳාය. කැමති වෙලාවට නැඟිට, නිවි සැනසිල්ලේ ආහාර ගෙන, පත පොතේ යෙදී, ශරීරය වෙහෙසන ටෙනිස් ක්‍රීඩාවත්, නැටුම් පංතිත් ගියාය. ඇයට නියමිත කතන්දර පොත් වෙනුවට (පාලකයෝ තීරණය කරන ලද) තමන් කැමති පොත් කියවන්නට කාලය තිබුණි. ටෙනිස් තරඟ වලට දිනාගත් කුසලාන එමටය. නැටුම් සංදර්ශනයන්ට පෙනී සිට කුසලතා වර්ධනයට ඉඩකඩ ලැබුණි.

ඇමෙරිකාවේ ද ගෙදර පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් සංඛ්‍යාව එන්න එන්නම වර්ධනය වේ. ඒ ආගම, පරිණාමවාදය හෝ ලිංගිකත්වය පාසැලේ උගන්වනවාට හෝ උගන්වන්නේ නැතිකමට ඇති විරෝධතාවයක් වශයෙන් මෙන්ම පාසැල් අධ්‍යාපනය ඒකීය දරුවාට සැලකිල්ලක් නොදක්වන නිසාය. පාසැල් කාලය එන්න එන්නම දික් වේ. මෙතෙක් පැවතියේ සැප්තැම්බරයේ පටන් ගන්නා පාසැල් මැයි මාසයේ දී අවසන් වන හුරුවයි. දැන් දැන් වසර පුරාම පාසැල පවත්වන්නට අදහස් කෙරෙයි. පැය හත අටක් දරුවා පාසැල් යයි. පැය තුනක් හතරක් හැමදාම පාසැලෙන් දෙන ගෙදර වැඩ කරයි. රජයේ පාසැල් ක්‍රමය අනුව වසර 12 ක් අවසන් කර එළියට එන දරුවා ඉගෙනීමෙන් විඩාවට පත් වූවෙකි.

පාසැල දරුවා දෙමාපියන්ගෙන් ඉවත් කර රජය විසින් තමන් විනිශ්චය කරගත් වඩා හොඳ සැලසුම් අනුව දරුවාගේ මනස සකස් කරයි. නමුත් විශ්ව විද්‍යාලය අධ්‍යාපන ඉදිරියේ දී අද දකින්නට ඇත්තේ ගෘහ පාසැල් වලින් එන දරුවන් වඩා දක්ෂ බවයි. එනම් තම දරුවාට නිසි ලෙස අධ්‍යාපනය ලබා දීමට දෙමවිපියනට හැකියාව ඇති බවයි. රජයේ පාලනයට අකමැති දෙමාපියෝ බදු ගෙවා (පාසැල් පවත්වාගෙන යාමට) තම වියදමෙන් තම දරුවාට ඉගැන්වීමේ අයිතිය සඳහා ඉදිරිපත් වෙති.

රටේ අනාගත පරපුරට අපි යම් දවසක රට බාර දෙන්නට අදහස් කරන්නේ ද අද සිට ඒ අනාගත පරපුරට රට බාර ගන්නට සුදුස්සෝ ලෙසින් සැලකිය යුතුය. තමන් රටේ සියළු පුරවැසියන්ට සැලකිය යුතු ආකාරය මෙසේ යයි තීරණය කර, ඒ සැලසුම් දියත් කල කිසිම රජයක් ලෝකයේ සාර්ථකත්වයක් අත්කර ගෙන නැත. විවිධ මාර්ග ඇති කර දී, කැමති මාර්ග තෝරා ගන්නට ඉඩ සලසා දුන් කල ජනතාව දියුණුව ලබා ඇත.

දරුවන්ගේ අපේක්ෂාවන්ට ගරු නොකරන සමාජයක දෙමාපියන් වෙත පාසැල් අධ්‍යාපනය බාර දීම ද අනිසි ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ද අමතක නොකළ යුතුය. රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙක් (ගෙදරින් වූ බලපෑම නිසා වෛද්‍යවරයෙක් වන්නට අවුත්) ජීවිතය එපා වී සියදිවිනසා ගත් ආකාරය ද, මෑතක දී සියදිවිනසා ගත් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ චින්තන හරිශ්චන්ද්‍ර දරුවා ද වැන්නන් අමතක කළ නොහැකිය. බටහිර සමාජයේ අධ්‍යාපනය දියුණුවට ඇති එකම ඉනිමඟ යයි සැලකෙන්නේ නැති නිසා දෙමාපියෝ දරුවන්ට එවැනි බලපෑම් නොකරනවා ඇති යයි සිතේ.

පාසැල් අධ්‍යාපනය ගෙදර දී ලබා දෙන්නට ඉදිරිපත් වන්නේ ඉහළ බුද්ධි මට්ටමක ඉන්නා දෙමවිපියවරුන් වීමත්, ආර්ථික අතින් (මවත් හෝ පියා රැකියා නොකර ගෙදර සිටිය හැකි) පුළුවන් අය වීමත් බව ද සටහනට එක්විය යුතුය. එසේම පිටරටවල් වලින් අධ්‍යාපන සරණාගතයන් සේ එන්නට මෙසේ නීතියෙන් ඉඩකඩක් ඇති වීම නිසා මෙතෙක් ලංකාවෙන් ආ දේශපාලනික සරණාගතයන් වෙනුවට අධ්‍යාපන සරණාගතයන්ට ඉඩකඩක් සැලසේ ද? දිල්ෂාන් කුමාර් පෙරුමාල්ලාට එයින් ඉඩක් අද තිබුනත් ඔවුන් ඒ ගැන දැනගන්නේ කෙසේද?

Paid Training for Biomedical Engineering students at Dalhousie University, Nova Scotia, Canada

3 Responses

Subscribe to comments with RSS.

  1. ashan said, on පෙබරවාරි 16, 2010 at 2:52 පෙ.ව.

    ඔබ වැනි මවක් සිටින නිසා ඔබගේ දියනිය වාසනාවන්ත බව සිතෙයි. එහෙත් බහුතර ශ්‍රී ලාකික මව්වරුන් ගැන කුමන කතාද ?

  2. Anewasika said, on පෙබරවාරි 17, 2010 at 12:10 ප.ව.

    තමන්ඝෙ ළමයට ඉගැන්වීම – ඕක හැමෝටම කරන්න බැහැ.

    අනේවාසික

  3. Krishna Ramanayaka said, on ජූලි 29, 2014 at 1:14 පෙ.ව.

    මගේ ලොකු පුතා ශිෂ්්‍යත්වෛට හෙම්බත් වෙලා දැන් 6 වසරේ ඉන්නෙ එයා බොහොම උනන්දුයි සත්තු ගැන මමත් ඉතින් පොත් සීඩී ගෙනත් දෙනව.සමහර හුඟක් සතුන්ගෙ විද්‍යාත්මක නම් සහ අනෙක් විස්තර කට පාඩම් ඩයිනෝසර් සත්තු ගැන දැනීමත් ඉහලයි.නමුත් මේව ගුරුවරුන්්ට අල්ලන් නෑ.මෙයා සත්තු ගැන චිත්‍ර අඳිනව කියල හරියට කම්ප්ලේන් උදේට හවසට පාලි ගාතා කියනව පෝයට බලෙන් ශිල ව්‍යාපාර එදාට සුදු සරම කමිසෙ ප්‍රින්සිපල් කර්නල් කෙනෙක් ගේට්ටුව ගාව සපත්තු ඇඳුම් චෙක් කරන්න සර්ල ප්‍රිෙපපෙට්ටල . මට බය පුතාට අධයාපනේ එපාම වෙයිද කියල .ඇත්තටම අපිටත් අධ්‍යාපන සරණාගතයන් වෙන්න ඇත්නම් හෙට ම එනව


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: