අරුණි ශපීරෝ‍ වෙතින්

තර ප්‍රතිපත්ති හා කැහැටු ප්‍රතිපත්ති

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 18, 2010

ඇමෙරිකන් ජනාධිපතිවරුන්ගේ බිරින්දෑලා තම සැමියාගේ නිල කාලය තුල දී රටට කරන සේවයක් තෝරා එයට සහයෝගය දීම සම්ප්‍රදායකි. ජෝර්ජ් බුෂ් තාත්තාගේ නිල කාලයේ ඔහුගේ බිරිඳ වූ බාර්බරා බුෂ් දරුවන් කියවීමට ලැදි කිරීම ඇයගේ සේවය කර ගත්‍තීය. පාසැල් වලට ගිය ඇය දරුවන්ට පොත් කියවීම පුවත්පත් වලින් හා රූපවාහිනියෙන් දකිනු හැකිවිය. ළමා පොත් ප්‍රදර්ශන හා ළමා පොත් මුද්‍රණයට රජයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ඉඩකඩ හා මුදල් වලින් මහත් රුකුලක් එකල ලැබුණි. එහෙත් බ්‍රිතාන්‍යයේ ජේ. කේ. රෝලින්ස් “හැරී පොටර්” පොත් පෙළ මඟින් කියවීමේ රුචිය ඉතා සුළු කාලයක දී ඇමෙරිකාවේ මහත් ලෙසින් වර්ධනය කළේ බාර්බරා බුෂ්ට ඇමෙරිකන් ආණ්ඩුවෙන් තිබුනු සහයෝගය හා සැලසුම් ප්‍රතිපත්ති කිසිත් නැතිවය.

අද දවසේ මිෂෙල් ඔබාමා ඇමෙරිකාවේ පාසැල් වයසේ දරුවන්ගේ තරබාරුකම නැති කරන්නට විශේෂ බල කණ්ඩායමක් දියත් කරයි. ඇ‍යගේ විශේෂ අවධානය යොමු වන්නේ පහළ ආදායම් මට්ටම් වල ඉන්නා දරුවන් අතර ඇති තරබාරුකමය. පාසැල් කැන්ටිමේ ඇති කෑම වෙනස් කරන්නට හා පාසැල් වල ඇති ආහාර කාසි දමා ගතහැකි මැෂින්වලින් වඩා පෝෂ්‍යදායක ආහාර දීමටත් මෙම සැලසුමේ අරමුණු අතර වෙයි. පෝසත් ළමයි අතර ඇති තරබාරුකමට පිළියම් ගැන කිසිත් කියා නැත!

ප්‍රංශයේ 1970 ගණන්වල දියත් කරන ලද නිසි ආහාර සැලසුමක් ගැන මෙහිදී මතකයට නැ‍ඟෙයි. ආණ්ඩුව මඟින් දරුවන් සිටින මව්වරුන් වෙත ඒ වැඩ සටහන ඉලක්ක කර ගැනුනි. සෑම මවක්ම තම දරුවාට දිය යුතු පෝෂ්‍යදායී ආහාර, හා ගතයුතු කෑම ප්‍රමාණය පිළිබඳව දැනුවත් කරන ලදි. පින්තූර හා වැඩමුළු මඟින් එය පරම්පරාවක් තුල හිතේ සටහන් වන පරිදි තහවුරු කිරීම නිසා අද දිනයේ ද ප්‍රංශ ජාතිකයන් තුල තරබාරුකම ප්‍රශ්නයක් නොවේ යයි සැලකේ.

පුද්ගලයෙකු විසින් අනුභව කළ යුතු ආහාර ප්‍රමාණය ගැන දැනුවත් කිරීම සඳහා මා වරක් මගේ දුවගේ නැටුම් කණ්ඩ‍ායමේ කුඩා දැරියන්ට පෝෂණය පිළිබඳ දැනුමැත්තියකට ආරාධනා කළෙමි. ඇය රබර් වලින් සෑදු කෑම ආකෘති සාකච්ඡාවට ගෙන ආවාය. එක් වේලකට කන්න සුදුසු තේ කෝප්පයක් වත් නොපිරෙන්නට ඇති බත් ප්‍රමාණය දැක්ක විට අපි කොතරම් අනවශ්‍ය ප්‍රමාණයක් කන්නට හුරු වී ඇත්දැයි වැටහුණි.

1988 දී ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිව් මෙක්සි‍කෝවේ හා ඇරිසෝනාවේ පවත්වන ලද විධිමත් පර්යේෂණ ප්‍රතිඵලයක් වූයේ නිසියාකාර ආහාර ගැනීමේ ප්‍රතිපත්තියකින් සෞඛ්‍යය යහපත් වුවද එයින් තරබාරුකම අඩු නොවේය කියාය. සමහර පුද්ගලයෝ ස්වභාවයෙන්ම තරබාරු අතර සමහර අය ස්වභාවයෙන්ම කෙට්ටු ශරීර ඇති අය වෙති.

තරබාරුකම පමණින් කෙනෙක් සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ද? කෙට්ටු නිසාම කෙනෙකු මනා සෞඛ්‍යයෙන් ද යුතු නැද්ද? මෙය තවමත් ස්ථිරව පහදා ගැනීමට දත්ත ප්‍රමාණවත් ලෙසින් කිසිවෙක් ඉදිරිපත් කර නැත.

මේ අතර ස්පාඤ්ඤයේ රෑ දහයට පෙර බර අඩු කරන දැන්වීම් තහනම් කරන්නට යයි. මන්ද ඒවායේ ශරීරයේ බර අඩු කරගන්නට කරන පෙරැත්තය නිසා දරුවෝ නොකා නොබී සිට රෝගී වන්නට ඉඩකඩ වැඩිකමය. මත්පැන් දැන්වීම් වලට වඩා මෙම බර අඩුකරන දැන්වීම් නිසා ළමා මනසට හානියක් වන බව ස්පාඤ්ඤයේ මතයයි.

පහුගිය දවස්වල හිම වැටී පළාතම වැසී, ඇමෙරිකන් ආණ්ඩුවත් නිවාඩු යද්දී, පෙන්සිල්වේනියාවේ, මේරිලන්ඩ් හා වර්ජීනියා ප්‍රාන්ත වල දරුවන් බඩගින්නේ හිටි බව ද ප්‍රවෘත්තියකි. විශාල ළමුන් ප්‍රමාණයක් පාසැලේ දී ලැබෙන අඩු මිලට හා නොමිලේ දෙන ආහාර වලින් යැපෙන බවත් පාසැල් වසා දමා ඇති නිසා මේ දරුවන් බඩගින්නේ යයි ද එහි කියැවුනි. මේ දරුවන් පාසැල් එන්නේ අඩු ආදායම් පවුල් වලිනි. ඔවුන්ගේ දෙමවිපියෝ දිනපතා ආදායමක් උපයා ගන්නා කම්කරු රැකියාවල යෙදෙන්නෝ වෙති. එසේම මෙම දරුවන් බො‍ෙහාමයක් රටේ හොරෙන් පදිංච් වී ඉන්නා දෙමව්පියන්ගේ ද දරුවන් වෙති. එනිසාම ඔවුනට සමාජ සේවා සැලසුම් යටතේ ලැබෙන ආහාර මිල දී ගතහැකි මුද්දර (මුදල්) ලැබෙන්නේ ද නැත. මේ දිනවල ඒ දරුවන්ගේ දෙමාපියවරු ආහාර ගත්තා ද නොගත්තා ද යන්න නම් වාර්තාවේ කතිකා වූයේ නැත….ඒ අය දරුවන්ට කෑම නොදී තමන් පමණක් කෑවා ද? නැතහොත් ඔවුනුත් බඩගින්නේ සිටියා ද?

පසුගිය ජනාධිපති දිනයේ දී, පෙබරවාරි 15 දා (නිවාඩු දිනය) කැපිටල් හිල් (එය කුඩා කන්දකි) 9/11 පසු මහජනතාවට වසා තිබුණු අවහිර ඉවත් කර එහි හිම ක්‍රීඩා කරන්නට විවෘත වුනි. අන්න එය නම් රජයෙන් වොෂිංටනයේ දරුවන්ට බර අඩු කරගන්නට ලබා දුන් මනා අවස්ථාවකි.

70 ගණන්වල ඇමෙරිකාවේ බාර්බී නම් බෝනික්කිය නිසා මහත් කලබැගෑනියක් විය. බාර්බී සුදුහම ඇති, විශාල කොණ්ඩයක් ඇති (බ්ලොන්ඩ් පැහැති), සිහින් සුඟක් යනාදියෙන් යුත් බෝනික්කියකි. ඇයගේ පෙනුම තමන්ට ද ලබා ගන්නට කුඩා ගැහැණු දරුවන් නොකා නොබී සිටියා යයි අවලාද ඇසුණි. බාර්බිගේ හැඩය මඳක් වෙනස් වී දැන් විවිධ පැහැති ඇති කොණ්ඩ හා විවිධ පැහැති ඇති ඇස්, හම ආදියෙන් යුත් බෝනික්කියන් බිහි වී ඇත. බෝනික්කියක් යනු සත්‍යය කෙනෙකු නොවේ යයි දරුවාට කියා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් වුනා ද?

අද ඇමෙරිකාවේ මහත් සිරුරු ඇති දරුවන් වැඩියෙන් ඉන්නේ අඩු ආදායම් හා කළු ජාතික පවුල් අතර යයි කියන රජය, තරබාරුකම නැති කරන ප්‍රතිපත්තිය යටතේ විශාල වෙළඳසැල් වලට අඩු ආදායම් ලබන අය ඉන්නා පැති වලට තම කඩ ගෙනයන්න යයි යෝජනා කරයි. එළවළු හා පළතුරු වඩා සුලබ එවැනි විශාල වෙළඳ දාමයන්හි බව විශ්වාසය හෙයිනි. එහෙත් හන්දිය කෙළවරේ ඇති චීන කඩයකට ගොඩ වැදී අයෙකුට එහි විකුණන අනේක පළතුරු හා එළවළු දැකීමට පුළුවන. නීතියක් දමා වෙළඳහලකට පැත්තකට ගොස් වෙළඳාම් කරන්න යයි කීමට අවශ්‍ය නැත. එළවළු හා පළතුරු වැඩියෙන් විකිණේ නම් ඒ පැත්තට වෙළඳසල් බලහත්කාරයෙන්ම ගොඩ වදිනු ඇත. එසේම අද ඇමෙරිකාවේ සුපර් වෝල්මා‍ට් දාම හලකට ගොඩ වැදි කෙනෙකුට ද එහි විකුණන පළතුරු හා එළවළු දකිනු හැකිය.

ජෝර්ජ් බුෂ් තාත්තා ජනාධිපතිව සිටිය දී අයෝවා ප්‍රාන්තයේ ග්‍රොසරි හලකට ගොඩ වී එහි කොම්පියුටර් කෑෂ් රෙජිස්ටරය දැක පුදුම වීම එදා ‍මාධ්‍යවේදියෝ ‍බෙහෙවින් විනෝදයට පත් කරන ලද්දකි. ඒ ඔහු සමාජයෙන් ඈත් වී රටේ ඇති තත්වය නොදන්නා බව පෙන්වීම නිසාය. අද මිෂෙල් ඔබාමා ඇමෙරිකන් වෙළඳහලේ විකිණීමට ඇති එළවළු හා පළතුරු ගැන නොදැන සිටීම ගැන නම් කිසිවෙක් කිසිවක් කීවේ නැත්තේ කළු ජනාධිපතිගේ කළු බිරින්දෑට විහිළු කිරීම නුසුදුසු යයි සිතනා නිසාද?

ඇමෙරිකාවේ මහාමාර්ග වල ගමන් කරනා අයෙක් හැම හැතැප්ම සියයකටම එකක් හෝ ඇති මැක්ඩොනල්ඩ් ආපනශාලා දාමය දකිනු ඇත. මන්ද මහාමාර්ග වල ගමන් කරන අය එහි ගොඩවැදී ආහාර මිල දී ගන්නා නිසාය. එහි දැන් එළවළු විකිණීම‍ට තිබුණ ද, පළතුරු කෝප්ප විකිණීමට තිබුණ ද බොහෝ අය තවමත් වැඩියෙන් මිල දී ගන්නේ හැම්බර්ගර් වෙති.

ඇමෙරිකාවේ ලෝකයේ අන් කිසිම රටකට වඩා අඩු මිලට ඉතා පහසුවෙන් පෝෂ්‍යදායී ආහාර ලබාගත හැකිය. මෙය Unprotected Thoughts හි බ්ලොග් සටහනක් වශයෙන් එක්ව ඇත්තේ 2006 දීය. අද දිනයේ ද ඇමෙරිකාවේ මිල ගණන් වල මෙහි සඳහන් වනවාට වඩා සැලකිය යුතු ඉහළ යාමක් දකින්නට නැත. ලෝකයේ නන් දෙසින් එන ආහාර අද ඈත පිටිසර ගම්මානවල ඇති වෙළඳසැල්වල පවා විකිණීමට ඇත. කොයිතරම් ප්‍රතිපත්ති ස්ථාපිත කළත් අවසානයේ පුද්ගලයා‍ තෝරා ගන්නේ තමන් කන්නට කැමැති දේ ද? තමනට ගුණදායක දේ ද? පහසුවෙන් මිල දී ගත හැකි දේ ද?

1862 සිට අද දක්වාම ඇමෙරිකන් ආණ්ඩුව පෝෂණ ප්‍රතිපත්ති සැලසුම් කරති. 1979 වෙද්දී එවැනි ප්‍රතිපත්ති සැලසුම් 350 කි. 2010 ට නව ප්‍රතිපත්ති අවශ්‍ය ද? තවමත් තරබාරුකම නැති කරගන්නට රජයට නොහැකි වී ඇත්තේ රටේ ජනතාව පෝෂණයට අකැමති නිසා ද? නැතහොත් එය පුද්ගල කැමැත්ත අකැමත්ත අනුව එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුත්තක් නිසා ද?

මේ කිසිම ප්‍රතිපත්තියකින් ශරීරයේ නිසි බර පවත්වා ගන්නා අයට නම් විශේෂ ප්‍රතිලාභ ලැබී නැති බව ද සටහනට එක් කළ යුතුය. ඒ ඇයි?

කියවන්නට හෝ ආහාර අනුභවයට ප්‍රතිපත්ති සාදා සැලසුම් දියත් කරන රජයන් ඊ ළඟට පුද්ගලයා‍ෙග් ජීවිතයේ තව මොන මොන දේවල් වලට ඇඟිලි ගහන්නට එයි ද? රස්සාවල් නැතිකම ප්‍රශ්නය වි තිබියදී තරබාරුකමට පිළියම් සෙවීම ගැන ද විහිළුවක් කිසිවෙකුගෙන් අහන්නට ද නොලැබුණි. පෝසත් අය අතින් වැරැද්දක් වූ විට විහිළුවට භාජනය කිරීම මනා වුව ද, දුප්පත් හා සුළු ජාතීන්ට විහිළු කිරීම නොමනා ද?

හැම දෙයක්ම වෙන අයෙකු වෙත පැවරීමෙන්, අපගේ දරුවන්ගේ බර අඩු කරන්නට ද රජයට බාර දීමෙන් අපි අපගේ වගකීම් වලින් තව තවත් ඈත් වෙනවා ද? මම කරන්න ඕන නැහැ ඒකත් රජයෙන් කරාවි යන්න අද පිළිගැනීම වි තිබේ ද? එවිට මගේ කාර්යභාරය වන්නේ කුමක් ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: