ඉමැනුවල් කාන්ට් සහ බොටුල්වාදය
ප්‍රංශ දාර්ශනිකයෙක් වන Henri-Levy Bernard (HLB) විසින් “Sexual Life of Immanuel Kant” පොත ලියද්දී මවන ලද චරිතයක් මූලාශ්‍රයක් සේ යොදා ගනී. මේ පහුගිය දිනවල ලෝකයේ පැතිර ගිය ප්‍රවෘත්තියකි. 1999 දී Frederic Pages නැමති ප්‍රංශ සාහිත්‍ය පුවත්පත්කලාවේදියා Jean-Baptiste Botul නැමැති චරිතය මවන ලද්දේ විහිළුවටය. HLB අතින් ලියැවුන පොතේ ඉමැනුවල් කාන්ට් පිස්සෙක් යන්න ඔප්පු කිරීමට ඔහු ඒ මවන ලද දාර්ශනික සම්ප්‍රදාය වූ බොටුල්වාදය යොදා ගෙන ඇත.
මූලාශ්‍ර ගැන සැලකිලිමත් වන්නට නැවත නැවතත් මතක් කළ යුතු වන්නේ එසේ නොකළ හොත් මෙම පොත ලියූ සුප්‍රසිද්ධ අය මෙන්ම කෙනෙක් ලෝකයාගේ විහිළුවට පාත්‍ර වන්නට ඉඩ ඇති නිසාම පමණක් නොව තමන් කියන්න ස්ථිර කරන්නට කොහෙන් හරි දත්තයක් සොයා ගැනීම අද පුරුද්දක් නිසා මුලාශ්‍ර විභාගයක් නැතිව යන හෙයිනි.
ඉමැනුවල් කාන්ට් (1724-1804) ජර්මන් දාර්ශනිකයෙකි. ඔහුගේ දර්ශනය ඩේවිඩ් හියුම්ට පිළිතුරක් සේ බිහිවූවක් යයි ඔහු කියයි. නිරීක්ෂණයෙන් බැහැර වූ සත්‍යයක සැබෑ අර්ථය දනවන වදනක් ඇත. ඒ කෙටියෙන් කාන්ටියන් තියරියයි. කාන්ට් ඥානය තුන් ආකාරයට බෙදයි. ප්‍රතිභා ඥානය, දෙවියන්වහන්සේ සම්බන්ධ ප්‍රතිපාදක ඥානය හා ඉන්ද්‍රීය ගෝචර වස්තු සම්බන්ධ සංවේද්‍ය ඥානය යනුවෙනි. අනතුරුව ඒ එක් එක් ආකාරය ගැන ඔහු විශ්ලේශනයක් කරයි. The Critique of Pure Reason (1781) ලියන ඔහු අධ්‍යාත්මවිද්‍යාවේ ප්‍රධාන ගැටළු වන දෙවියන්ගේ පැවැත්ම, ස්වාධීනත්වය, හා අමරණීයත්වය යන සංකල්ප විද්‍යත්මක චින්තනයෙන් විසඳිය නොහැකි බව කියයි.
විෂයමූලික වූ යථාර්ථය -objective reality- දැනගත (අනුභූතිය) හැකි වන්නේ එයට භාජනය වන මොළයේ දැනුම අනුව පමණි. අත්දැකීමට පාත්‍රවන විෂයයන් (ප්‍රපඤ්චය) -phenomena- පමණක් දැනගත හැකි අතර අත්දැකීමට පිටතින් ඇති විෂයය (නිෂ්පප්‍රපඤ්චය) -noumena- ගැන දැනගත නොහැකිය. එවැනි අනුභූත දේ (ස්වලක්ෂණ) -things in themselves- ස්ථිර කරන්නට හෝ නිෂ්ප්‍රභා කරන්නට හෝ විද්‍යාත්මක ලෙසින් පහදන්නට නොහැකි බව කාන්ට් කියයි.
අනුභූතිවාදය (empiricism) හා විචාරය (reason) දෙකඩ කළා යන චෝදනාව සමහර අය කාන්ට් වෙත එල්ල කරන්නේ මේ නිසාය. කාන්ට්ගේ එම බලපෑම නිසා ජර්මන් විඥානවාදය (German Idealism) හා මාක්ස්වාදය බිහි වූ බව ද කියති. එසේම කාන්ට්ගේ බලපෑම ලද අය අතර ජර්මන් විඥානවාදයේ Johann Gottlieb Ficte, Freiderich Wilheim Joseph Schelling, Georg Wilheim Friedrich Hegel සේම පසු කලක මැක්ස් වෙබර්, ජෝන් පියාජේ සහ නෝම් චොම්ස්කි ද දක්වති.
ඔහු යොදාගත් ශුද්ධ ප්‍රතිභාඥානය -Anschauung- යන වචනය ගැන දාර්ශනිකයන් අතර තවමත් විචාරයන් වෙති. ඒ කාන්ටියානු වචනයේ භාවිතය ගැන ලියවුනු පොත් පවා ඇත. කාන්ට් තේරුම් ගන්නට ඔහු ගැන විශේෂයෙන් හැදැරීම අවශ්‍යයය. මන්ද, ඔහු ලියු ජර්මන් භාෂාව භාවිතයේ නොපවතින පහසුවෙන් වටහා ගත නොහැකි වචනෙන් පිරි එකක් වීම, ඔහු ලියන ලද පොත් ප්‍රථමයෙන් ප්‍රංශ බසට පරිවර්ථනය වී ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇති නිසාත් මෙන්ම ඔහු කියා ඇති දර්ශනය ලෙහෙසියෙන් තෝරා බේරා ගතහැකි එකක් ද නොවීමයි.
එහෙත් ශුද්ධ විචාර ශක්තියේ පරීක්ෂාව (1781) පොතෙන් දෙවියන් පළවා හැරි කාන්ට් ඔහුගේ ප්‍රායෝගික විචාර ශක්තියේ පරීක්ෂාව නොහොත් The Critique of Practical Reason (1788) දෙවියන් පස්ස දොරින් ගෙට වද්දවා ගත් බවට විවේචකයෝ පෙන්වති. විශ්ව ලෙසින් පිළිගත හැකි විශ්ව ස්වභාව නිතියක් -a universal law of nature- හඳුන්වා දෙන ඔහු එය නිරුපාධික විධිය -Categorical Imperative- ලෙසින් දක්වයි.
“මේ නිසාම ‘හුදෙක් සම්භාව්‍ය වන්නා වූ, විචාර සම්බන්ධ දේව ධර්මය, සදාචාර නියමයන් උඩ පදනම් වූ හෝ ඒ නියමයන්ගෙන් මාර්ගෝපදේශය අපේක්ෂා කරන්නා වූ හෝ දේව ධර්මය වන්නේය’ යයි කාන්ට් නිගමනය කරයි.” (උපුටා ගන්නේ බ්‍රටුන්ඩ් රසල්, බටහිර දර්ශන ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1970, පිටු 783)
Metaphysics of Morals (1785) පොත ඔහුගේ ආචාර ධර්ම පද්ධතිය ඉදිරිපත් කරයි. එහි දැක්වෙන අන්දමට යම් මූල ධර්මයක් අනුගමනය කරන්නේ ද එය ලෝකයාටම එකසේ අනුගමනය කළ හැකිවිය යුතුය යන්න ඔහුගේ ආචාර ධර්ම ප්‍රතිපත්තිය වූයේය. විශ්ව ස්වභාව නීතිය අනුව ආචාර ධර්මයේ උත්තරීතර මූලධර්මය නම් සෑම ආචාර ධර්ම තීරණයකම පදනම විය යුත්තේ එය විශ්ව ලෙසින් පිළිගැනේ නම් පමණි. මේ අනුව බලන කල විශ්වයක් විසින් පිළිගන්නා තීරණයක් ආචාර ධර්මානුකූලව නිවැරදි වෙයි. ඒ නිරුපාධික විධියයි.
කාන්ට් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළේය. ප්‍රජාතන්‍ත්‍රවාදය නිසා විධායක බලයක් ගොඩ නැඟී එයින් “සියල්ලෝම” වෙත තීරණයන් ගැනෙන්නේ “සියල්ලෝම” විසින් පත් කර නොගත් අය විසින්ය. (All who are not quite all decide for all.)
සියල්ලෝම එකඟ නොවන කල කුමක් කරමු ද? වැඩි පිරිසකගේ කැමැත්තට ඉඩ දී සිටිමු ද? වැඩි පිරිස නිරන්තරයෙන්ම නිවැරදි නොවන බව හිට්ලර්ගේ ජර්මනියෙන් පෙනි යයි. එවිට කාන්ට්ගේ ආචාර ධර්ම පදනම වෙනුවට වෙනත් ආචාර ධර්මානුකූල පදනමක් අවශ්‍ය වෙයි. බටහිර සම්ප්‍රදායික දෙවියන්වහන්සේ, අපාය හෝ නරකාදිය නැති බුද්ධි විචාරය අගයන ආචාර ධර්ම පදනමක් සොයාගත හැකි ද? පිරිසිදු බුදු දහම එවැන්නක් පිළිගන්වනවා ද? එසේනම් ඒ ගැන කවුරුන් හෝ විස්තර නොකරන්නේ ඇයි?
කාන්ට්ගේ 250 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 1974 දී ජර්මන් රජය නිකුත් කළ සමරු මුද්දරය wikipedia වෙතිනි.
(මම හිතන්නේ ජර්මනියේ උදාහරනය 100% සාධාරන නැහැ මොකද ජර්මනිය තුල එවෙලේ බහුතරය කෙසේ වෙතත් ඒ මොහොතේම ලෝකයේ බහුතරය ඒ වුනු දේ හරි යයි නොකී නිසා. අනෙක දේශපාලන නිවැරදි භාවය කියන්නෙ absolute morale එකකට සාපේක්ෂව නිවැරදි කමක් විය යුතු ම නැහැ නෙ.) අනෙක zeitgeist එකත් වැදගත්; එක කාලෙක ලෝකෙම හරි කියල හිතන දේ අනෙක් කාලෙදි වැරදි වෙන්න පුලුවන්, බහුතරය 95%ක් වුනත්. ගෑනුන්ට, කල්ලන්ට සම තැන් දෙන්න බටහිර ලෝකෙට කොච්චර කල් ගියාද. කොටින්ම ගෑනුයි කල්ලොයි දෙගොල්ල වත් එහෙම එකක් ගැන හිතුවෙ නැහැ නෙ. කාන්ට් ගෙ ලෝකයාට ඒ කාලෙ ඕක ප්‍රශ්නයක් වෙන්න බැහැ. කාන්ට් ඕක ගැන කතා කළා ද?
කොහොම උනත් මම හිතන්නෙ එහෙම absolute morals තිබිය නොහැකියි, අඩු ගනනේ සර්ව බලධාරී දේව වාදයකට අනුව වත්. morals කියන්නෙ උත්තර සාධාරණ දෙයක් නම් දෙවියන්ටත් උඩින් තිබෙන, එය දෙවියන් ගෙන් ස්වායත්තව කෙනෙකුට (සෛද්ධන්තිකව) ලබා ගත හැකි විය යුතුයි: එහෙනම් දෙවියන් නිකන් පොලිස් කාරයෙක් විතරයි. අනෙක් අතට morals හැදුවේ දෙවියන් නම්, දෙවියන් නොසිටියා නම් හරි දේ හරි වත් වැරදි දේ වැරදි වත් වන්නට බැහැ. එහෙනම් හොඳ නරක කියන්නේ දෙවියන්ගේ choice එකක් මිස absolute දෙයක් නෙවෙයි. (absolute truth එකකට choice එකක් තියෙන්න බැහැ නෙ)
මම දන්නා හැටියට නම් කවුරුන් හෝ බුද්ධාගමේ absolute moral එකක් ගැන කතා නොකරන්නෙ බුද්ධාගමේ එහෙම එකක් නැති නිසා: අනාත්මවාදයක එහෙම එකක් තියෙන්න බැරි නිසා. “අපාය හෝ නරකාදිය නැති බුද්ධි විචාරය අගයන” rule of thumb guidelines නම් නැත්තේ නෑ: උදාහරණයක් හැටියට:
තංච කම්මං කතං සාධූ
යං කත්වා නානුතප්පති
යස්ස පතිතෝ සු මනො
විපාකං පටිසේවති
– ධම්ම පදය, කොහේ හරි (මට මතක නෑ)
(යමක් කොට පසු නො තැවේද, යහපත් සිතින්ම යම් කර්මයක විපාක විඳීද, කරන ලද්දා වූ ඒ කර්මය යහපති.)
මේවා හැබැයි rigorous logical testing වලට ඔරොත්තු නොදෙන ගයිඩ්ලයින්ස් විතරයි. බුද්ධාගමේ absolutes නැතිවීම තර්ක වලට එහා ගිය epistemological ප්‍රශ්නයක් නෙවෙයි ද?
බොටුල්වාදය පිළිබඳ ප්‍රවෘත්තියෙන් කතාවට බැස්සේම ඔය හේතු නිසා. බොහෝවිට මිනිසා කරන වැරැද්දක්(?) තමයි අපිට අවශ්‍ය කොටසක් උපුටාගෙන එයින් අප මතය තහවුරු කර ගන්නට ගන්නා උත්සාහය. හිට්ලර්ගේ ජර්මනිය කාන්ට් නිසා බිහිවූවක් යයි තර්ක කරන්නේ මම නොවේ. ඒක ලෝක මතයක්. විශේෂයෙන්ම කාන්ට්ට අනතුරුව මා සඳහන් කර ඇති දාර්ශනිකයෝම තමන් විසින්ම කාන්ට් යොදාගෙන ජර්මන් විඥානවාදය පටන් ගත් බව කියන හෙයිනි. කාන්ට් ඇතුළු ඒ සියල්ලෝම සද්භාවය අගය කරවුන් වීම ද සටහනට එක් කළ යුතු විය. එය මගේ අතපසුවීමකි. කාන්ට්ගේ දර්ශනයේ විකාශය (ඔය හේතු නිසා) හිට්ලර්ට සිය පැවැත්ම ජර්මන් ජාතිකයන් අතර තහවුරු කරගන්නට ඉඩ ලැබුණු බව පෙනේ. ගෑනුන්ට හා කළු අයට සමතැන් දීම ගැන කාන්ට් වැන්නෙකු කතා නොකළේ ඔහු මිනිසා යන්නට සියල්ලෝම ඇතුල් කර ඇති නිසා යයි සිතිය හැකිය. විශේෂයෙන්ම කළු හා ගැහැණු පහත් යයි කියූ අය හැරෙන්නට දාර්ශනිකයෝ බොහොමයක් මිනිසා යන්නට සියල්ලෝම සලකා බලන බව පෙනේ. කාන්ට්ගේ ආචාර ධර්ම විභාගය මිනිසාගේ ආචාර ධර්ම පදනම අරබයා විශ්ලේශණය වූවකි.
කාන්ට් තම පොත ලියුවේ හියුම්ට පිළිතුරක් වශයෙනි. හියුම් සෛද්ධාන්තික සංසන්දය සොයා යෑමේ දී කිසිවකින් පැකුළුනේ නැත. හියුම්ට අනුව මිනිස් ජීවිතයේ විචාර බුද්ධියක් තිබිය නොහැක. දාර්ශනික විනිශ්චයකින් ඔබ්බට මිනිස් ජිවිතය යයි. ඔහු අවසානයේ දී දර්ශනයෙන් බැහැර වී බැටළුවන් බැලීම වඩා සුදුසු යයි කියන්නේ (විහිළුවට) ඒ නිසාය.
කාන්ට් හා බුද්ධාගම ගැන මෙහෙම සඳහනක්.
Kant’s approach is also of comparative interest because of the similar ancient Buddhist philosophical distinction between conditioned realities, which mostly means the world of experience, and unconditioned realities (“unconditioned dharmas”), which interestingly include, not only the sphere of salvation, Nirvana, but also space, which of course for Kant was a form imposed a priori on experience by the mind. The connection may be more than a coincidence. Kant’s theory of the Antinomies draws on the Greek Skeptics, whose founder, Pyrrhô of Elis, was with the army of Alexander the Great in India. Pyrrho returned with a principle echoing the Fourfold Negation of Buddhist philosophy. While Kant wants to resolve some of the Antinomies with Postulates of Practical Reason (i.e. presuppositions of morality), the principle remains that theoretical reason generates contradictions when applied to transcendent objects. This would be agreeable to Pyrrhô, or even to Nagârjuna.
බටහිර දර්ශනය දෙවියන්වහන්සේ සංකල්පය බාර ගන්නවා ද නොගන්නවා ද (ආත්මවාදී) යන්න වටා ගෙතුනක්. ඉහළින් කියූ බුද්ධාගම නොව පිරිසිදු ථෙරවාදය අනුව අනාත්මවාදය මුල් කරගත්තකින්, කාන්ට් සෙව්ව absolute morals නැතිවීමට උත්තරයක් සපයනවා ද කියන එක හොඳ විචාරයක්. ඒක කාට හරි පශ්චාත් උපාධියකට ඉදිරිපත් කරන්න පුළුවන් thesis වෙයි.
“ගෑනුන්ට හා කළු අයට සමතැන් දීම ගැන කාන්ට් වැන්නෙකු කතා නොකළේ ඔහු මිනිසා යන්නට සියල්ලෝම ඇතුල් කර ඇති නිසා යයි සිතිය හැකිය.”
මගේ ම වරද නිසා මගේ අදහස හරියට පහළ උනේ නෑ. මා ඇසුවේ shifting moral zeitgeist එකක් කාන්ට් ගේ දර්ශනයෙන් ඉඩ ලැබෙනවාද යන්න. උදාහරණය මා ගත්තේ ගැහැණු සහ කල්ලන්ද ඇතුලුව අති මහත් බහුතරය, සියවස් කීපයකට ඉහත දී සමතැන් නොදීම සාමාන්‍ය දෙයක් ලෙසයි සිතුවේ. අද එහෙම නැහැ. මෙයින් පෙනෙන්නේ (සෛද්ධාන්තිකව හිතුවොත්) ඊනියා “විශ්වය” හරි හෝ වැරැද්ද පිලිබඳ අදහස කාලය සමග වෙනස් කර ගත හැකි බවයි. මිනිසුන් හරි වැරැද්ද කාලානුරූපව වෙනස් කළොත්, “absolute moral” එකත් වෙනස් වෙනවාද? එහෙම නැත්නම්, විශ්වය යන්නෙන් අදහස් වෙන්නේ **සර්වකාලීන** විශ්වීය පිලිගැනීම ද? එහෙමනම් ඉතින් එකම absolute moral එකක් වත් අපට කිසි දිනෙක දැන ගන්නට සෛද්ධාන්තිකවම බැහැ නේද.
හරි වැරැද්ද ගැන කතාබහ කාලානුරූපව වෙනසකට ලක් වෙනවාට වඩා සිදු වී ඇත්තේ කාණ්ඩයක් සෛද්ධාන්තික කල්පනයට බර වීමත් තවත් කාණ්ඩයක් දෙවියන්වහන්සේ සංකල්පයට බර වී පිළිතුරු සෙවීමය. දෙපැත්තටම ආචාර ධර්ම ගැන කතා කළාට absolute moral එකක් දෙපැත්තටම ඔප්පු කරන්න බැහැ. සෛද්ධාන්තිකව ඔප්පු කරන්න බැරි සර්වකාලීනව මෙන්ම සෑම සියළු දෙනාම එකඟ වෙන උත්තරීත්වයක් නැති නිසා. දෙවියන්වහන්සේ දක්වා ඇත්තක් යයි ඔප්පු කරන්නට බැරි දෙවියන්වහන්සේ සිටින බව ඔප්පු කරගන්න (හැමෝටම පිළිගත හැකි ආකාරයට) බැරි නිසා. මේ හේතු නිසා මුලින් කාන්ට් විසින් shifting moral zeitgeist වැන්නකට ශුද්ධ විචාරයේ පරීක්ෂාවෙන් ඉඩ පාදා දුන්නත් පසුව ප්‍රායෝගික විචාර ශක්තියේ පරීක්ෂාවෙන් ඔහු යළි දෙවියන්වහන්සේ පස්සා දොරින් ගෙට වද්දා ගැනීම නිසා ඒ ඉඩකඩ වසා දමන ලද යයි කාන්ට් හදාරන්නෝ කියති. කාන්ට් මුලින් zeitgeist වැන්නකට ඉඩ දුන්නත් ඒක ඔප්පු කරන්න ගිහින් එයා කරදරයේ වැටුනේ ඒකට පදනමක් හොයන්න ගිහින්. කාන්ට් ගණිතඥයෙක් නිසාම එයා ඔප්පු කරගන්න බැරි පිළිතුරකින් සෑහීමකට පත්වෙන්නෙ නැහැ.
මගේ මතය??? කාන්ට්ගේ පොත් ජර්මන් භාෂාවෙන් කියවා අවබෝධයට දැනුම ඇති කරගත් දවසක ඒ ගැන විනිශ්චයක් දිය යුතු යයි සිතමි. ඒක එක අතකින් ප්‍රශ්නය මඟ හැරීමක් යයි කෙනෙක් සිතුවද ජර්මන් වලින් ප්‍රංශ භාෂාවට ගිහින් ඒකෙන් ඉංග්‍රීසියට ආපු එකක් සිංහලෙන් බහ තෝරපු මම කියවලා තේරුම් කරගෙන විනිශ්චයක් දීම කාන්ට්ට කරන අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අය ලියූ ඒවයින් සෑහීමට පත්වෙන්න මටත් සිදුවෙලා තියෙන්නෙ.
zeitgeist යන වචනය මුලින්ම හැදුවෙ හේගල්. ඒ නිසාම තමයි කාලයත් සමඟ වෙනස් වන අගැයුම් මුල් කරගත් ජර්මන් විඥානවාදයට තැනක් ලැබෙන්නෙ. ස්වකීය චිත්ත ස්වභාවය හා ස්වකීය සෛද්ධාන්තික ධර්ම අතර ඝට්ටනයක් ඇති වෙනවා. මේ ජර්මන් විඥානවාදය ගැන කතා කළ පුද්ගලයෝ ආත්ම ගර්විත නොවූවත්, අයථා පරිදි බලකාමී නොවූවත්, අපරාධ නීතියෙහි සීමාවලට යටත්ව සෑම මිනිසා විසින්ම තමන්ට අභිමත පරිදි ක්‍රියා කළ හැකි වූ අන්දමේ අගති රහිත ලෝකයක් පැතුවා වූත්, සමාජයීය හැඟිම් වලින් යුතු වූත් අය වූහ. සාමාන්‍ය යහපත් මිනිසුන් වූ ඔව්හු ශිෂ්ට හා කාරුණික වූහ. නමුත් “කාලය අනුව අගැයුම වෙනස් විය හැකි” යන ඉඩකඩ සැලසීම නිසා විචාර ශක්තියේ ශුන්‍යතාවයක් ඇති කර මොළය විසින් සැක කරන ලද ප්‍රශ්න හෘදය විසින් නිරාකරණයට ඉඩ හැරේ. හේගල් දර්ශන ඉතිහාසයේ මේ වචනය පාවිච්චි කරන්නෙ the spirit of the times වෙනස් වෙන එක පැහැදිලි කරන්න. නමුත් ඒකෙන් වෙනස් වන අගැයුම් ගැන කැමති කැමති ආකාරයට අගැයුම් දී ගන්නට විවිධ අයට ඉඩ පහසුකම් ඇති වෙනවා. මෑතක දී චිත්‍රපටියක් Zeitgeist නමින් ආවා. ඉන් පසුව අද The Zeitgeist Movement එකක් තියෙනවා. කාන්ට්, හෙගල්, ෆික්ටේ, ෂෙලිං වැනි අයගේ අදහස්, මාක්ස්ගේ අදහස් ද එකතු කරගත් හිට්ලර්ගේ ජාතිවාදයෙන් බැහැර වූවත් ජර්මන් විඥානවාදය පිළිගත්, තාක්ෂණය පිළිගත් කැඳහැලියක් සේ එය හඳුන්වා දිය හැකිය. පැහැදිලි අඩුපාඩුව මිනිසා තුල ඇති ලාභය නිසා ඔහුගේ පැවැත්ම වෙනස්වන ආකාරය නොපිළිගන්නා අය වීමය. මුදල් හා දේපල අයිතිය අනවශ්‍ය සේ සලකන ඔවුන් මිනිස් මනස නොහඳුනන හෝ නොපිළිගන්නා සේ පෙනේ. අපි නැවතත් ආචාර ධර්ම පදනම කුමක් ද යන්න විමසීමට අනතුරුව එළඹෙන්නේ පදනමක් නැති කල එවැනි ව්‍යාපාර පහළ වන ඉඩකඩ නිසාමය. මිනිසා හොඳ මිනිසෙක් වන්නේ කුමන පදනමක් මත ද?
[…] වලින් හදන බර්ගර් එකක් ගැන ය. එය බොටුල්වාදය මෙන් කිසිවෙකුත් සොයා නොබලා හැම අතම […]