අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබාමාගේ සෞඛ්‍යය පනත

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 26, 2010

ඊයේ පැය හත අටක කාලයක් ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමා සහ සිය කොන්ග්‍රස් සභිකයන් හා සෙනෙට් සභිකයන් හා එකතුව කතාබහ කළේ සමස්ත ඇමෙරිකානුවන් සියල්ලටම සෞඛ්‍යය පහසුකම් සලසන ආකාරයයි. එහිදී තමනට සෞඛ්‍යය නිසා කරදරයේ වැටී ඉන්නා ජනතාව එවූ ලිපි සඳහන් කරන්නට තරඟයක් වූ බවක් පෙනුනි. වඩාත්ම දුක්ඛිත කතාව ආවේ කනෙටිකට් සභික ලුවිස් ස්ලෝටර්හවුස් වෙතිනි. ඇය කියූ පරිදි අද ඇමෙරිකාවේ කාන්තාවක් බොරු දත් කුට්ටමක් ගන්නට මුදල් නැති නිසා සිය මියගිය සහෝදරියගේ දත් කුට්ටම පාවිච්චි කරන්නීය.

හයිතියට ෆුට්බෝල් නරඹපු ජනතාවගෙන්ම බිලියන 3 ක මුදලක් පරිත්‍යාග වුනු බව වාර්තාවක කියැවුනි. ඇයට උදව් කරන්නට සිංහ සමාජයක්, රොටරි සමාජයක් වැන්නක් කනෙටිකට් හි නැත්දැයි සැක සහිතය.

අද ස්ටයිල් එක වී ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් කීම නොව වඩාත්ම දැඩි ලෙසින් පෙන්විය හැකි අන්තයක් දක්වා එය සාමාන්‍ය තත්වය යයි කියා මිනිසුන් මුලා කිරීමට ප්‍රවණතාවයකි. නමුත් එසේ කිරීම නිසාම රටේ ජනමාධ්‍ය ඇතුළු සියලුම පාලකයෝ ගැන අප්‍රසාදයක් ජනතාවට ඇතැයි යන්නට කිසිවෙක් මුහුණ දෙන්නට අකැමතිය.

මූලික වශයෙන් වම හා දකුණ එකඟ නොවෙන කාරණය නම් හැමටම සෞඛ්‍යය ලබාදීම පනතක් මඟින් ස්ථාපිත කරනවා ද යන්න ද නොව රජය මඟින් සෞඛ්‍ය රක්ෂණය ලබා දීම කරනවා ද යන්න බව පෙනුනි. නමුත්, රජය මඟින් රක්ෂණය සියතට ගන්නේ හැමෝටම සෞඛ්‍යය පහසුකම් ලබා දීමටය යන්න එය හැමටම සපයන මූලික අයිතිවාසිකමක් යයි සැලකූ අය නොපිළිගත්හ.

සෞඛ්‍යය පනතක් ඇමෙරිකාවේ ස්ථාපිත වුවහොත් එය ලංකාවේ මෙන් නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවා පහසුකම් සේ නොවෙයි. සෞඛ්‍ය රක්ෂණය නැති මිලියන 3 ක් පමණ පිරිසකට ඇමෙරිකන් රජය මඟින් නිතියෙන් පනවන අඩු මිලට රක්ෂණ සේවය ගැනීමට ඇති පහසුකම පමණක් ඇති කරයි.

ලංකාවේ සෞඛ්‍ය පහසුකම් නොමිලේ කිව්ව ද දන්නා කියන හැම කෙනෙක්ම වාගේ චැනල් කර මුදල් ගෙවා වෛද්‍යවරු හමුව උපදෙස් හා බෙහෙත් ද ලබා ගනිති. නොමිලේ කරගන්නා ශෛල්‍යකර්මයට ද පෙර ආණ්ඩුවේ වෛද්‍යවරයා පුද්ගලික චැනල් සේවයේ ඉන්නා අවස්ථාවක ගොස් හමු වී ඒ සඳහා ඉඩකඩ සාදා ගනිති. මුදල් ගෙවා ආසිරි හෝ ඇපලෝ වැනි තැන්වලට යන්නෝ ද අඩුවක් නැත. පුද්ගලික පර්යේෂණාගාර වලින් පර්යේෂණ වාර්තා රැගෙන ආණ්ඩුවේ වෛද්‍යවරු ළඟට යෑම සිරිතකි. මුදල් පරිත්‍යාග එක්රැස් කරගෙන ඇමෙරිකාවට ඇවිත් ශෛලකර්ම කරගන්නා ලාංකික දුප්පතුන් ද ඇත.

ලංකාවේ සමහර පුද්ගලික රෝහල් නම් ඇතුල් වෙන්නේ නිරෝගීව වුවත් පිටවෙන්නේ මිනීපෙට්ටියකිනි. හෘදයාබාධ සැත්කම් නොව නිකම් පරීක්ෂණ පවත්වා ගන්නට ගිය නිරෝගී අය‍ එසේ මරණයට පත් වූ ආකාරය එක්තරා පුද්ගලික රෝහලක සතිපතා සිද්ධ වූවකි. දැන් නම් එහි පාලනය වෙනස්ය. මෙවැනි තත්වයක් මුදල් නැති අයට ඇමෙරිකන් රෝහල් වලින් මුහුණ දෙන්නට මහත් ලෙසින් සිදුවෙනවා යයි පෙන්වන්නට උත්සාහයක් තිබුණ ද, නීතියෙන් වන්දි ලබා ගැනීමේ (ලංකාවට වඩා පහසුවෙන්) අවස්ථාව ඇති නිසා එසේ සිද්ධ වීම ඉතා අඩුය.

ඇමෙරිකාවේ හදිසි ආබාධයකට රෝහලකට ඇතුල්වන්නාට ප්‍රතිකාර කිරීම නිතියෙන් ස්ථාපිතය. බොහෝ රෝහල් හදිසි අනතුරු වාට්ටු වලට ඇතුල්වන අයට නොමිලේ ප්‍රතිකාර ලබා දෙති. එහෙත් ජනගහනය අධික පැතිවල, අඩු ආදායම් ලබන අය ඉන්නා පැතිවල (ඔවුන්ට සෞඛ්‍ය රක්ෂණ නැති නිසා ඔවුන් රෝහලට යන්නේ ආබාධය දරුණු වූවාට පසුය) හදිසි අනතුරු වාට්ටු තදබදයෙන් යුතුය. පැයක් දෙකක් පුටුවේ වාඩ් වී තම වාරය එනතුරු (මැරෙන්නට තරම් දරුණු නැත්නම්) බොහෝවිට ඉන්නට සිදුවේ.

සෞඛ්‍ය රක්ෂණය ඇත්තෝ පදිංචිය රෝහල් පහසුකම් වඩාත් සුලබ පැතිවලය. මන්ද, විශාල වෙළඳ ආයතන මෙන්ම වැඩි ආදායම් ලැබෙන පැතිවල වැඩි ආදායම් ලබත හැකි රෝහල් ඉදිවෙන නිසාය.

කොතරම් නීති රීති ගෙනාවත් මුදල් යහමින් ඇත්තාට (ලංකාවේ කෙසේ වෙතත්) ඇමෙරිකාවේ දී නම් වඩාත්ම ඉහළ වෛද්‍ය පුතිකාර ලබාගත හැකිය. ඒ නිසාම පිටරටවල් වලින් මැති ඇමතිවරු හා ධන කුවේරයෝ ඇමෙරිකාවට අවුත් තම ශෛල්‍යකර්ම කරවාගෙන යති.

මුදල් යහමින් ඇත්තාගේ තත්වය වෙනස් නොවේ නම් ඇයි මේ හැමටම සෞඛ්‍ය රක්ෂණය ලබා දෙන පනතකට විරුද්ධතාවයක්? ඇමෙරිකාවේ දකුණේ ජනමතය රජය විසින් සැලසුම් ක්‍රියාත්මක කිරීම ‍”කොමියුනිස්ට්” ප්‍රතිපත්තියක් කියාය. ඒ නිසා හැමටම රක්ෂණය ලබා දීම රජය විසින් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන්නේ දකුණයි.

අද පවතින තත්වය යටතේ ද සෞඛ්‍ය රක්ෂණය නැති අයට මූලික වෛද්‍ය පහසුකම් නොමිලේ ලැබේ. ඒ වැය දරන්නේ ඇති අය විසිනි. නමුත් නැති අයට මෙසේ ලැබෙන සෞඛ්‍ය පහසුකම් මඳ නිසා (සීමිත නිසා) ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ස්ථිර කිරීමටය රජය අදහස් කරන්නේ. එවිට ඇති අයට තවත් වැඩි වැයක් දරන්නට සිද්ධ වෙයි.

මෙය සමාජයක අරමුණ සමාජයේ ලාභ යම් සමානාත්මතාවයකින් බෙදා දීම යයි පිළිගන්නා අයත්, සමාජයක අරමුණ සමාජයේ ලාභ, ඒ ලාභ උපයන්නන් අතර බෙදා දීමත් යයි පිළිගන්නා අය අතරත් ගැටුමකි. දෙපැත්තම තම මතය වෙනස් කරන්නට අකැමති නිසා එකඟතාවයට එනු නොහැකිය.

ලෙඩ දුකක් හැදෙන්නේ දුප්පත් පෝසත් භේදයක් නැතිවය. නමුත් ලෙඩ දුකට බෙහෙත් කරන්නට වැය වන්නේ එකම මුදල් ප්‍රමාණයක් ද? දුප්පතාගෙන් අඩුවෙන් මුදල් ගැනීමත් පෝසතාගෙන් වැඩියෙන් මුදල් ගැනීමත් (සේවය හා බෙහෙත් එකම නම්) සුදුසු ද? නැද්ද?

මා ලංකාවට ආ දිනයෙක වූ සිද්ධියක් මෙසේය. මා විසින් කරන ලද විශාල පරිත්‍යාගයක් හමුවේ එය ලැබූ කණ්ඩායමේ සංවිධානාත්මක දුර්වලතාවයක් නිසා මගේ වටිනා කාලය (ඊට සරිලන වැයක්) අපතේ ගියේය. ඊට මගේ අප්‍රසාදය මා කියා සිටියෙමි. “සල්ලි තියෙන අයට ටිකක් පාඩු වුනාම මොකෝ?” යන්න මට අහන්න ලැබුණි. මා ධනවත් වූයේ ඒ කණ්ඩායමට වඩා ඉහළින් වූවාට තව අයට වඩා බොහෝ දුප්පත්ය! ඒක වෙනම කාරණයක්. නමුත් ප්‍රශ්නය මෙයයි. ධනවත් අයෙකුට පාඩු වුනාම කමක් නැත්තේ ඇයි? ඒ පාඩුව විඳ දරාගන්න ආර්ථික හැකියාව ඇති නිසා පමණකින් ඒ අදහස දරන අය එසේ කියනවා නොවේ. ඇත්තාට හෝ නැත්තාට සිද්ධ වන පාඩුවක් පාඩුවක්ම නොවේ ද?

හැමෝටම සමානාත්මතාවයකින් සලකන්නට අදහස් කරන්නෝ “ධනවත්” යයි තමන් සලකන අයට ඒ නිසාම වෙනස් විදියකට සැලකීම කම් නැත්තේ “ධනවත්” අයට “පාඩු” වුනාට කමක් නැති එක අද ලොව පිළිගත් සම්ප්‍රදායක් නිසා ද?

9 Responses

Subscribe to comments with RSS.

  1. Sam said, on පෙබරවාරි 26, 2010 at 1:35 ප.ව.

    //හැමෝටම සමානාත්මතාවයකින් සලකන්නට අදහස් කරන්නෝ “ධනවත්” යයි තමන් සලකන අයට ඒ නිසාම වෙනස් විදියකට සැලකීම කම් නැත්තේ “ධනවත්” අයට “පාඩු” වුනාට කමක් නැති එක අද ලොව පිළිගත් සම්ප්‍රදායක් නිසා ද?//

    හැම ලමයෙකුගෙන්ම ටොපිය බැගින් ආන්ඩුව කප්පම් ගන්නවායැයී කියමු. හැමෝටම සමානයැයී කියනා ගණිත සංකල්පය යටතේ, තනි ටොපියක් පමනක් ඇති ලමයා, මුලු ටොපියම දිය යුතු අතර, ටොපි දහයක් ඇති ලමයාට ටොපි නමයක් තබා ගැනීමට අවස්තාව ලැබෙයී. සියයට පනහක කප්පමක් ගත්තෝතින් පලවෙනි කොලුවා ටොපි බාගයකිනි සෑමහීමට පත් විය යුතු අතර, දෙවෙනි කොලුවාට යස අගේට ටොපි පහක් ඉතිරි වෙයී. (නමුත් සැබෑ සමජ තත්වයනම් තනි ටොපියත්, ටොපි දාහක් තරම් පලලය. )

    සමානාත්වතාවය ගණිත ගැටලුවක් නොවෙයී. සමානාත්මතාවය තහවුරු කිරීම උදෙසාම තනි ටොපියක් ඇති ලමයාගේ ටොපියෙන් බාගයක් ගැනීම, අබරං දෙවියන් උදෙසා තමාගේ කොලු පැටියාගේ හිස සිදීම වැනි කිරියාවකි. නමුත් වෙනත් ක්‍රමයකින් සපුරා ගත නොහැකි අවශ්‍යතාවයක් නිසා, ටොපි බාගය ගැනීම අවශ්‍යතාවය උදෙසාම කරන කරනා ආයෝජනයකී.

    ඉහත උදාහරණය අපතේ යෑම පිලිබද උදාහරණයකි. අපතේ යෑම නිසා සිදුවෙන පාඩුවත්, පොදු ප්‍රරයෝජනය උදෙසා යෙදවීම නිසා සිදුවෙන පාඩුවත් දෙකකී.

    ධනපතියා ටොපි පහක්ම ගෙවනා නිසා, ධනපතියාට වෙන පාඩුව, දුප්පතාට වෙන පාඩුවට වඩා වැඩිය. ධනපතියාගේන් ටොපි දෙකක් අපතේ ගිය නිසා, අවශ්‍යතාවය උදෙසාම දුප්පතාගෙන් අරික්කාලක් වැඩිපුර කප්පම් ගැනීමට සිදු වුනෝතින්, සාපේක්ශව වැඩි බරක් වැටෙන්නේ දුප්පතාටය.

    //ඇයට උදව් කරන්නට සිංහ සමාජයක්, රොටරි සමාජයක් වැන්නක් කනෙටිකට් හි නැත්දැයි සැක සහිතය.//
    රජය කියන්නේ අනිවාර්‍ය සිංහ සමාජයකට නේද?

    • arunishapiro said, on පෙබරවාරි 26, 2010 at 2:49 ප.ව.

      සාපේක්ෂ ජීවන බර තීරණය කරන්නේ ආදායම අනුව ද? වියදම අනුව ද? ආදායම අඩු නිසා දුප්පතුන් යයි සැලකෙන අය දුප්පත් නම් ඔවුන්ගෙන් වියදම් බදු අය කරන්නේ ඇයි?

      රජය අනිවාර්ය සිංහ සමාජයක් යයි කීම එක්තරා ආකරයකින් නිවැරදි යයි පෙනුන ද, සිංහ සමාජයක් වැන්නක සමාජිකත්වය නොගෙන සිටිමට හැකි නිසාම, පරිත්‍යාග නොකර සිටිමට හැකි නිසාම, එසේ ඊට සහභාගී නොවී සිටීමෙන් හිරගෙට හෝ දඩ හෝ ගෙවන්න සිදු නොවීම නිසාම එහි වැදගත්ම ලක්ෂණය නොහොත් පැහැදිලි වෙනස්කම වන්නේම අනිවාර්ය නොවීමය.

      • Sam said, on පෙබරවාරි 27, 2010 at 1:01 පෙ.ව.

        //රජය අනිවාර්ය සිංහ සමාජයක් යයි කීම එක්තරා ආකරයකින් නිවැරදි යයි පෙනුන…. //
        වානරයන්ට කිසියම් තරමක සරල හෝ සංකීර්ණ බාවයක් ඇති සමාජයකට අනුගත නොවී ජීවත් වීමේ හැකියාව තියෙනවාද? මම දන්නා ආකාරයටනම් එවැනි තත්වයක් ගැන උදාහරනයක් නැහැ. ප්‍රාතමික වානරයන් පවා සරල සමාජයක් පවත්වාගෙන යනවා. ඒ නිසාම අනිවාර්‍යවීම වෙනස් විය නොහැකී කාරනයක් බවයී මම හිතන්නේ.

        සිංහ සමාජය අනිවාර්‍ය නොවී පවත්වාගෙන යාමේ අවස්තාව ලැබී තියෙන්නේ, වෙනත් සමජයක් අනිවාර්‍ය වීමේ කර්තවය සපුරා ඇති නිසායී. එහෙම නැත්තම් සිංහ කොඩියක් ජාතික කොඩිය වේන්න තිබුනා.

        • arunishapiro said, on පෙබරවාරි 27, 2010 at 3:32 ප.ව.

          මිනිසා වානරයාගෙන් වෙනස් වන්නේ මිනිසාට හොඳ නරක අගැයුම් ගැන වානරයාට වඩා අවබෝධයක් ඇති නිසාම නොවේ ද? සමාජය සරල වුවත්, සංකීර්ණ වුවත් මොළයෙන් හිතන්න හැකියාව ඇති මිනිසාට අනිවාර්ය නීති අවශ්‍යය ද? හයිතියේ භූමිකම්පාවට පුද්ගලයෝ (අද දවසේ ඇමෙරිකානු ආර්ථිකය වැටී රැකියා නොමැතිව තිබිය දී පවා) පරිත්‍යාග කරන්නේ අනිවාර්ය නිතියක් නිසා නොව සිය කැමැත්තෙනි. හෙට දිනයේ පෙරූ රටේ භූමිකම්පාවට ද එ‍සේම ඇමෙරිකානුවන් ලොව අන් සියල්ලන්ටම වඩා මහත් වූ පරිත්‍යාග මුදල් යවනු ඇත. කල්පනා කර බලන්න. ඔබට සිය කැමැත්තෙන් පරිත්‍යාගයක් කරන්න යයි කෙනෙක් කීම හා අනිවාර්යෙන්ම මෙපමණ ගණනක් දෙන්න යයි කී කල, ඔබ පරිත්‍යාග කරන්නේ කැමැති ගණන ද නැතහොත් අර අනිවාර්ය කළ ගණන පමණක් ද? මා දැක ඇති පරිදි (නොයෙක් සමාජ සංවිධාන වලට වාර්තාගත ආධාර එකතු කර ඇති නිසා) කැමති ගණනක් දෙන්න යයි ඉල්ලා සිටින කල නිතරම අපි සිතුවාට වඩා පරිත්‍යාග ලැබෙන අතර ගණනක් නියම කළවිට ලැබෙන්නේ එය පමණි.

          ඊ ළඟට, අද සමාජයේ සිංහ සමාජය වැනි සමාජ සේවා සංවිධාන අනේකය. අනිවාර්ය නොවී පවත්වන එවැනි සංවිධාන සංඛ්‍යාව නිසාම, ඕනෑම කෙනෙකුට තමන් කැමති පරිදි සමාජ සේවා සංවිධානයක් ආරම්භ කිරීමට ඇති හැකියාව නිසාම අනිවාර්ය වීමේ කර්තව්‍යයක අවශ්‍යතාවය නැති වී යයි.

          සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෝ ඇති කරන නිසා යමක පැවැත්ම ද එක් කණ්ඩායමකට පමණක් බාර දී අනිවාර්ය කිරීම සුදුසු නැත. ලෝකයේ එසේ වූ කිසිම සංවිධානයක්, රජයක් යහ පාලනයෙන් සිදු වී ඇත් ද?

  2. Anewasika said, on පෙබරවාරි 26, 2010 at 6:20 ප.ව.

    ඇමරිකාව වැනි රටවල ඔය සෞඛ්‍ය සේවා ගාස්තු ඇමරිකානුවන්ටම දරා ගැනීමට බැරි තරම් ඉහල යෑමට එක හේතුවක් නම් – පොඩි වැරුද්දකට වුවද වන්දි ගන්නට ඇති පොරයයි.
    එහි හොඳ ද ඇත.
    ලංකාවේ නං, ළෙඩා මැරුණොත් දොස්තරල ගෙ වරද වුනත් ඒ ගෙනාපු ආයුභ ඉවර වීම හෝ ලබා උපන් හැටි!!!

    අනේවාසික

  3. ~බිன்ku~ said, on පෙබරවාරි 26, 2010 at 7:22 ප.ව.

    කැනඩාවේ නම් සෞඛ්‍ය රක්ෂණය හා සේවා ( ඇතැම් ඖෂධ හා දන්ත සෞඛ්‍යය හැරෙන්නට) සපයන්නේ නොමිලේ.

    • arunishapiro said, on පෙබරවාරි 27, 2010 at 3:40 ප.ව.

      බින්කු මල්ලි, නොමිලේ වුනාට තත්වයෙන් ඇමෙරිකාවට වඩා අඩු නිසා කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ‍ඇමෙරිකාවට ඇවිත් ප්‍රතිකාර ලබා ගන්නවා. පෝලිමේ ඉන්න ඕනත් නෑ සල්ලි තියෙනවා නම්. කැනඩාවේත් නොමිලේ දෙන නිසා ශෛල්‍යකර්ම වලට එහෙම පෝලිම් තියෙනවා. ඒකෙන් පේන්නෙ සල්ලි ඇත්නම් වෙනස් සැළකිලි. ඒ එක්කම අමතක නොකළ යුතු කාරණයක් තමයි ඇමෙරිකාවට වඩා කැනඩ‍ාවේ බදු ඉතා ඉහළයි. මම වැන්කුවර් හිටි කාලේ කට්ටිය ඇමෙරිකන් බෝඩර් එක පාස් කරලා ගිහින් බඩු ගේනවා දැකලා තියෙනවා. දැන් ඒක වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා අඩුයි. ඒත් ඇමෙරිකාවේ තරම් බඩු තාම ලාභ නැහැ කැනඩාවේ බදු ප්‍රතිපත්ති නිසා.

  4. Sam said, on පෙබරවාරි 28, 2010 at 1:27 ප.ව.

    //මිනිසා වානරයාගෙන් වෙනස් වන්නේ මිනිසාට හොඳ නරක අගැයුම් ගැන වානරයාට වඩා අවබෝධයක් ඇති නිසාම නොවේ ද?//
    මෙහෙම කියන්නේ මිනිහාම නේද?

    //සමාජය සරල වුවත්, සංකීර්ණ වුවත් මොළයෙන් හිතන්න හැකියාව ඇති මිනිසාට අනිවාර්ය නීති අවශ්‍යය ද?//
    කිසියම් ආකාරයේ දඩුවම්දීමක් කෙරෙනවානම් නීතියක් තිබීම මසුරන්ය. වරදට අනිවාර්‍ය සමාව සමාජීය ප්‍රතිපත්තියනම් / “වැරදි”යැයී සමාජීය අදහසක් නැත්නම්, නීති අවශ්‍ය නැත.
    මෙතන ඇති ගැටලුව, රජයට අයිති නරක වැඩ නැවැත්වීම පමනක්ද, නැත්තම් “හොද වැඩ” කිරීමටත් අයීතියක් ඇත්දැයී යන්නය.

    //එක් කණ්ඩායමකට පමණක් බාර දී අනිවාර්ය කිරීම සුදුසු නැත//
    එකගය. රජය තිබියදීත් සිංහ සමාජයටත් උදව්කිරීමේ අවස්තාව ලැබෙන්නේ ඒ නිසා නේද?

    කෙසේ වෙතත්, මේ පනත ඔබාමේගේ නොවේය. ඔබාමේගේ තියා තවම හරි හමන් පනතක් ඇත්තේත් නැත. ඇත්තේ අදහසක් පමනි. මම දන්න හැටියට ඒ අදහස ධනවත් දුප්පත් සියලු දෙනාටම සමාන පහසුකම් දීම නොවෙයී.

    ඇමරිකාවේ අඩු බද්දක් සහ විශාල රක්ෂණ වාරිකයකුත්, රෝහල් ගාස්තුවකුත්, රක්ෂන ආයතනයට ඒකමතිකව යටත්වීමත්, කැනඩාවේ විශාල බද්දක් පමනක් ගෙවා රජයට යටත්වීමත් අතර ලොකු වෙනසක් මටනම් පෙනෙන්නේ නැත. ඇති එකම වෙනස, කැනඩාවේ ධනපතියන් ඇමරිකාවට යාමත්, ඇමරිකාවේ දුප්පතුන් දකුණු ඇමරිකාවට යාමත් නොවෙයීද?

    • arunishapiro said, on පෙබරවාරි 28, 2010 at 2:44 ප.ව.

      //මෙහෙම කියන්නේ මිනිහාම නේද?// ඔව්නෙ. කෝකෝටත් පුළුවන් වුනේ සීමිත අදහස් හුවමාරුවක් පමණයි. නමුත් ඒ එක්කම මිනිසා වෙත වඩා වගකීමකුත් පැටවෙයි.

      //රජයට අයිති නරක වැඩ නැවැත්වීම පමනක්ද, නැත්තම් “හොද වැඩ” කිරීමටත් අයීතියක්..?// රජය වැඩියෙන් කරන්නෙ හොඳද නරකද කියන එකම තමා මෙතන ප්‍රශ්නෙ.

      “අදහස” වසර 50ක් පමණ පැවතිය ද “අද පනත” ඔබාමාගේය. එය ඉතා පටලැවිලි බසකින් ලියා ඇති නිසා සහමුලින් කියවූවෙකු හොයා ගන්නට බැරිය. රජය කෙසේ හෝ එය අනුමත කරනු ද ඇත. එවිට ඉතිහාසයට සටහනක් එකතු කළා කියා එක් කාලසීමාවකට පමණක් තේරී පත් වූ ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබාමාට අපකීර්තියෙන් ගැලවෙනු හැකිය.

      නෑ නෑ. පෝසත් අය තමයි දකුණු ඇමෙරිකාවට යන්නෙ. දැනටමත් පොර්ටෝ රිකෝ සහ සැන්ටා ඩොමින්ගෝ පැතිවල ඇමෙරිකන් දොස්තරවරු ගිහින් ශෛල්‍යකර්ම කරනවා. එහේ ක්ලිනික් දාගෙන. ඇමෙරිකාවේ ඇතුලතට වඩා අඩු වියදමෙන් (රක්ෂණයෙන් නොගෙවන) වෙදකම් කරගන්න හැකියාව ලැබෙන්නෙ ධනවත් අයට පමණයි.

      මගේ තර්කය, ධනවත් අයගෙන් වැඩියෙන් බදු අය කරගන්න කියලා නීති ගේන කොට, ධනවත් අය වෙන මාර්ග හොයා ගන්නවා. ඒකෙන් තවත් තෙරපීමට ලක්වෙන්නෙ දුප්පතුන්මයි. දුප්පතුන් වෙනුවෙන් දියත් කර ඇති කිසිම සැලසුමකින් දුප්පතුන් ඒ තත්වයෙන් ඉහළට අරගන්න බැරි වෙලා තියෙන්නෙත්, තවත් දුප්පතුන් බිහි වෙන්නෙත් ඒ නිසාමයි. මේ දවස්වල රටේ තියන ආර්ථික බහිනකලාව නිසා ප්‍රාන්ත ආණ්ඩු කපලා දාන සැලසුම් බලන්න. සමාජ සේවා, පොලිස් සේවා, ගුරුවරු සංඛ්‍යාව, සෞඛ්‍ය පහසුකම්. ඇයි කිසිම ප්‍රාන්ත ආණ්ඩුවක් තමන්ගෙ ආණ්ඩුවේ වියදම් කපන එකක් ගැන සඳහනක් නැත්තෙ? රජයත් එහෙමයි. කොන්ග්‍රසයේ හෝ සෙනෙට් සභිකයෝ කතා කරන්නෙ බැංකු නිලධාරීන් ගන්න බෝනස් ගැන. නමුත් තමන්ගේ ආදායම (වැටුප) රටේ ඉහළම ආදායම් මට්ටම වී තිබියදී එය අඩු කරන්න කිසිම කෙනෙක් යෝජනාවක් ගෙනැල්ලා නෑ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: