අරුණි ශපීරෝ‍ වෙතින්

ඔලිම්පික් අයිස් හොකී ක්‍රීඩාව සහ ලිංගික හෝර්මෝන රහස්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2010

සීත කාලයේ හිම වැටෙන රටවල් හිම ක්‍රීඩාවන්ට දක්ෂකම් දක්වති. ඉතිහාසට ජැමෙයිකානු ජාතික පුද්ගල හතර දෙනෙකුගෙන් යුත් bobsled කණ්ඩායම එකතු වන්නේ උෂ්ණ කලාපීය රටකින් සිසිර ඔලිම්පික් වලට එක් වන්නට ගත් පළමු උත්සාහය එය නිසාය. ජැමෙයිකන් බොබ්ස්ලෙඩ් කණ්ඩායමේ කතන්දරය පසුව Cool Runnings(1993) චිත්‍රපටියට ද පාදක වුනි. නොර්වේ පැවති 1998 සිසිර ඔලිම්පික් හි දී ජැමෙයිකානු කණ්ඩායම ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය හා එක්-පුද්ගල බොබ්‍ස්ලෙඩ් තරඟ කල ඉතාලිය ද පසුකර 14 වැනි ස්ථානය දිනා ගැනීම ඔවුන්ගේ වැදගත්ම ජයග්‍රහණයයි. 2010 සිසිර ඔලිම්පික් බොබ්ස්ලෙඩ් තරඟයට ජැමෙයිකානු ජාතික කණ්ඩායම වරම් නොලදි.

ගමේ චණ්ඩියා පිට ගිය කළ චණ්ඩියෙක් වේ ද? ගමේ දක්වන හපන්කම් පිටත දීත් දක්වත හැකිද? කෙනෙක් ක්‍රීඩාවක් තෝරා ගන්නේ එම ක්‍රීඩාවට තම වාසභූමියේ ඇති ජනප්‍රියත්වය අනුව ද? තම වාසභූමිය ක්‍රීඩා තරඟ ජයට බලපෑමක් කරනවා ද? එසේනම් ඊට හේතුව කුමක් ද?

කැනේඩියානු කාන්තා ඔලිම්පික් අයිස් හොකී කණ්ඩායම පෙබරවාරි 25 දා රත්තරන් පදක්කම දිනා ගත්හ. පළමු අදියරේ මිනිත්තු 10 ක් වෙද්දීම ප්‍රථම ගෝලය දිනාගත් ඔවුන් ඇමෙරිකාව පරදවා 2-0 ලකුණින් මුල් තැන ගත්තෝය. ඒ ඔවුන් නොකැඩී ලබාගත් තෙවන ඔලිම්පික් රත්තරන් පදක්කමය. එසේම එය ඔවුන් නොපැරදී දිනාගත් 15 වන ජයග්‍රහණයයි.

කැනඩාවේ අයිස් හොකී ක්‍රීඩාව ඉතා තරඟකාරී පසුතලයක පැවතෙන්නකි. අයිස් හොකී කණ්ඩායම් දිනන පරදින ආකාරය අනුව මනෝවිද්‍යානුකූල ලිංගික හෝර්මෝන රහස් සොයා ගන්නට දැරූ උත්සාහයක් 2007 ජනවාරි Psychology Today සඟරාවේ මෙසේ සඳහන් වෙයි.

අයිස් හොකී කණ්ඩායම සිය වාසස්ථාන නගරයේ අයිස් මත තරඟ වදිනා කල මනා දක්ෂතාවයන් පෙන්වති. ලකුණු පිට ලකුණු රැස් කරන ඔවුන් හොකී පිත්ත අතකොළුවක් කර ගන්නේ එයත් අතැතිව උපත ලැබූවන් මෙනි. එහෙත් ගමෙන් පිටත ගියකල ඔව්හු එසේ හැසිරෙන්නේ නැත. ආරාධිත කණ්ඩායමක් වශයෙන් පිට පළාතකට තරඟ කරන්නට යන ඔව්හු සැකයෙන් හා කලබලයෙන් තරඟ වදිති.

මෙම හැසිරීම නීරික්ෂණය කල කැනඩාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක් එම අයිස් හොකී ක්‍රීඩකයින් සමඟින් පර්යේෂණයක් පැවැත්වූහ. තම වාසස්ථාන නගරයේ පැවැත්වෙන ක්‍රීඩා තරඟයක් එළඹෙන්නට පෙර සතියක පටන් සිට ඔවුන්ගේ testosterone ම‍ට්ටම් ඉහළ ගොස් ඇති බව පැවැත්වූ පරීක්ෂණ වලින් පෙනුනි. එහෙත් පිටස්තර නගරයක තරඟයක් සඳහා යන ඔවුන්ගේ testosterone මට්ටම් අඩුවෙන් පවතී.

මෙසේ සිදු වීමට හේතු විපරම් කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ තම වාසභූමිය ආරක්ෂා කර ගැනීමට සහජයෙන් මිනිසා තුල ඇති ඕනෑකමය. සුනඛයන් සිය වාසස්ථානයන් මායිම්කඩ ලකුණු කිරීම සඳහා වත්තෙ පිටේ ගස් ගල් වලට මුත්‍රා කර ඒ තමන්ගේ ප්‍රදේශය බව කියා පානවා සේ තම වාසභූමිය ගැන හැඟීමක් මනුෂ්‍ය සිතේ පතුලේ සැඟව ඇතැයි ඔවුන් සටහන් කරති. ලිංගික හෝර්මෝන ලෙස සැලකෙන estrogen හා testosterone සෑම පුද්ගලයෙකුම තුල ඇත. කාන්තාවන් තුල estrogen වැඩියෙන් ද පිරිමි තුල testosterone වැඩියෙන් ද ඇත.

කාන්තා ක්‍රීඩිකාවන් තුල තරඟයේ දී estrogen ඉහළ යෑමක් පවතී ද? ඔලිම්පික් තරඟ වදින ජෝනී රොචෙට් සිය මවගේ හදිසි අභාවයෙන් පසු හඬ හඬා ලෝකඩ පදක්කම දිනන්නට සමත් වන්නේ ඒ නිසා ද? නැතහොත් ඒ estrogen ඉහළ යෑම නොව testosterone ඉහළ යෑමක් ද? සමහර විට දිනූ ජය සමරන්නට කැනේඩියානු කාන්තා හොකී කණ්ඩායම Molson Canada Hockey House හි මොල්සන් බියර් බී, ෂැම්පේන් එකිනෙකාගේ මුවට වත් කරගනිමින්, ‍හෝගී සුරුට්ටු පත්තු කරගත්තේත් ඒ නිසාම ද? සාමාන්‍යයේ ඒවා පිරිමි ජය සමරන ආකාර වෙති. නැතහොත් estrogen ඉහළ යෑම නිසා පරාජයට පත් වූ ඇමෙරිකාන් කාන්තා හොකී කණ්ඩායමේ කැප්ටන් වාර්තාකරුවන් ඉදිරියේ හඬමින් දුක කීවේ ද?

මෑතක දී ලෝක තරඟපිටියේ ක්‍රීඩාවෙන් පරාජය ලැබූ ක්‍රීඩකයෝ හඬනා ආකාරය දැක ගන්නට ලැබුණි. රොජර් ෆෙඩරර් 2009 ඔස්ට්‍රෙලියානු තරඟය පැරදීම නිසාත්, ටිම් ටීබෝ සිය ෆ්ලෝරීඩා ෆුට්බෝල් කණ්ඩායම පැරදුන නිසාත් කැමරා ඉදිරියේ හැඬූහ. අද ක්‍රීඩකයාගේ testosterone මට්ටම අඩුවෙමින් estrogen මට්ටම ඉහළ ගොස් ඇත් ද? ක්‍රීඩිකාවන්ගේ estrogen මට්ටම පහළ ගොස් testosterone මට්ටම ඉහළ ගොස් ඇත් ද?

ඇමෙරිකන් පිරිමි අයිස් හොකී කණ්ඩායම අවසන් පූර්ව තරඟයේ දී පහසු ජයක් 6-1 අත්කර ගෙන ඇත. එසේම මුල්වටයේ තිබුණු තරඟයක දී ඇමෙරිකාව කැනඩාව පරදවන්නට ද සමත් විනි. අවසන් පූර්ව තරඟයේ දී කැනඩාව ජය ගත්තේ 3-2 ලකුණු වලිනි. ඇමෙරිකානුවන් කැනඩාවත් ඇමෙරිකාවේ කොටසක් යයි සලකා තරඟ වදින්නේ මව්බිමේ තරඟ වදිනා සේ ද? නැත‍ෙහාත් පර්යේෂකයන්ගේ සොයා ගැනීම් සනාථ කරමින් කැනේඩියානු පිරිමි අයිස් හොකී කණ්ඩායම අවසන් තරඟයෙන් රත්තරන් පදක්කම දිනා ගනීවි ද? ගමේ චණ්ඩි ජය ගනියි ද? පිරිමි අයිස් හොකී අවසන් තරඟය වැන්කුවර් නගරයේ දී 28 ඉරිදා පැවැත්වෙයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Rasika Suriyaarachchi said, on පෙබරවාරි 28, 2010 at 6:49 පෙ.ව.

    මගේ තට්ටය පෑදී ගෙන එන විට එයට හේතුව ලෙස දැනගන්නට ලැබුනේ ඒ testosterone වැඩිපුර තිබීම නිසා ඇතිවන අතුරු ඵලයක් බවය.

    Estrogen ඉන්ජෙක්ෂන් ගත්තා නම් කොණ්ඩය රැක ගන්නට ඉඩ තිබුණි.

    මම පිරිමි කම ද male pattern boldness එකද තෝරා ගත්තෙමි.

    රසික

    I think R. Federa is full of estrogen and E. Merrismo is full of testosterone.

    • arunishapiro said, on මාර්තු 1, 2010 at 8:25 පෙ.ව.

      රසික, ඊයේ හොකී තරඟයෙන් කැනඩාව දිනූ බව දකින්න හෝ අහන්න ඇතිනෙ. හෙල්මට් ගලවන කොට තට්ටය පෑදිච්ච හොකී ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් දැකලා ඔයාගෙ කමෙන්ට් එක මතක් වුනා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: