අරුණි ශපීරෝ‍ වෙතින්

ඔමහාවේ දිවැස් කියන්නා, බුද්ධිමතා සහ විද්වතා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2010

අද උදෑසන අවදි වූයේ ඔමහාවේ දිවැස් කියන්නා Oracle of Omaha ලෙසින් නම් දරන වොරන් බෆට්ගේ (Warren Buffet) කටහඬ‍ටය. සාමාන්‍යයෙන් ජනමාධ්‍ය සාකච්ඡා වලට සහභාගී නොවෙන ඔහු ඊට හේතුව ලෙසින් කියන්නෙ එයින් තමාට කිසි ලාබයක් නැති බවයි. 2008 දී ඔහු ලෝකයේ වඩාත්ම ධනය ඇත්තා විය. තම ධනයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පරිත්‍යාග කර අද ඇමෙරිකාවේ දෙවැනි ධනපතියා සේ නම් දරන ඔහු බිල් ගේට්ස් (මුලටම ඉන්නා ධනපතියා) සමඟින් ලොව වඩාත්ම විශාල පුද්ගලික සමාජ සේවා සංවිධානයේ දානපතියෙක් ද වන්නේය. තමාගේ අභාවයෙන් පසු සිය ධනයෙන් සියයට අසූපහක්ම ඒ සංවිධානයට පරිත්‍යාග කරන බවට ඔහු පොරොන්දු වී ඇත. ඔහුගේ වයස අවුරුදු 79 කි.

NBC රූපවාහිනියෙන් ඔහු කතාවට එක්වුනේ තමන්ගේ කොටස් වෙළඳපලේ ආයෝජනයන්හි නිෂ්පාදනයන් ද පසුබිමට එක් කර ගනිමිනි. කොකා කෝලා කේස් දෙකක් අසලින්ම තිබුණු අතර ඔහු වරින් වර චෙරි කෝක් බෝතලයෙන්ම උගුරක් දෙකක් බිව්වේ කැමරාව ඔහු වෙතට හැරී තිබිය දී ය. ලාබය ගැන සිතන්නාට ඕනෑම අවස්ථාවක දී එයින් ලාබයක් ලබා ගැනීම අමතක නොවේ.

කොකා කෝලා හා තරඟ කරන පෙප්සි කෝලා කොම්පැණියේ අද සභාපති හා විධායක නිලධාරිනිය ඉන්ද්‍රා නූයි නැමති ඉන්දියා-ඇමෙරිකන් කාන්තාවකි. ඇය ද වොරන් හා කතාවට එක් වූවාය. දෙදෙනාගේම මතය වූයේ තවත් වසරක් යන තුරු ඇමෙරිකන් ආර්ථිකයේ පැහැදිලි ඉහළ යාමක් සිද්ධ නොවන බවයි.

මේ දෙදෙනාම අද රට පාලනය කරන අයට වඩා රටේ විපර්යාස ගැන මැනවින් දන්නා බව කතාබහෙන් පෙනුනි. වොරන් බෆට් ගඩොලක මිල සත තිස්පහක් යයි දැන සිටියේය. ඔහුට ඇක්මි ගඩොල් සමාගම අයිතිය. වැඩ සටහන් නිවේදකයා සිතුවේ ගඩොලක මිල සත දහයක් කියාය. ඉන්ද්‍රා නූයි ඇමෙරිකානුවන් කාබනේට් සෝඩා බීම අඩු කර වෙනත් බීම වර්ග සොයා යන බව දැන සිටියේය. ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නට නොබියව ඉදිරිපත් වන නිසාම මේ දෙදෙනාට තමන් දරන උසස් තනතුරු දරන්නට හැකියාව ඇත.

බුද්ධිමතා (wise) හා විද්වතා (intellectual) අතර වෙනසක් ඇත් ද? මේ ගැන ලිය වී ඇති පොත් රාශියකි. ඇල්ෆ්‍රඩි නෝර්ත් වයිට්හෙඩ් පවසා ඇති අන්දමට “විද්වත්ඥානය (intelligence) නම් හැකියාවෙන් පිටත වූ යමක් ඉක්මණින් තේරුම් ගැනීමට සහ ඒ තේරුම් ගැනීම අනුව බුද්ධිමත්ව ක්‍රියාකාරී වීමට පුළුවන්කමක් තිබීමය.” -ඇල්ෆ්‍රඩ් නෝර්ත් වයිට්හෙඩ්, “දෙසැම්බර් 15, 1939” -(1954)

මේ නිර්වචනයට අනුව වොරන් බෆට් විද්වතෙක් නොවන්නේය. ඥානය (intellect) යනු බුද්ධිය (wisdom) නොවේ. බුද්ධිමත් නොවන විද්වතකු ලෙස නම් ගන්නේ ජෝන් රෝව්ල්ය (John Rawls). ඔහු ඉදිරිපත් කළ යුක්තිය පිළිබඳ න්‍යාය -A Theory of Justice පොතේ ඔහු යුක්තිය අනිකුත් සියළු සමාජ සලකා බැලීම් පරදවා වැඩි අගයකින් පෙන්වීම මීට පැහැදිලි උදාහරණයක් ලෙස දාර්ශනික ආචාර්යවරු නිතරම පෙන්වති. යම් දේවල් දෙකක් අතර අගැයුම් දෙකක් ඇත්නම් එකක් අනිකට වඩා අගැයුමෙන් වැඩි නොවේ. දියමන්තියක් සතයකට වඩා අගයෙන් වැඩි විය හැකිය. එහෙත් සත සංඛ්‍යාව ඉහළ යද්දී ඒවායේ අගය දියමන්තියට වඩා වැඩිවෙයි. වොරන් බෆට් අද ජනමාධ්‍ය සාකච්ඡාවේ දී පැහැදිලිව කිහිප වරක් උලුප්ප උලුප්පා කීවේ තමන් නොදන්නා දේට අත නොගහන බවය. නැතහොත් තම හැකියාවෙන් පිටත වූ යමක් තේරුම් ගැනීමට ඔහුට නොහැකි බවය.

සංකීර්ණ වූ අදහස් හසුරුවන්නට හා වටහා ගන්නට ඇති හැකියාව විද්වත් බවට සාධක වුවද එයින් බුද්ධිමත් බව නොහැ‍ඟෙන්නේ බුද්ධිමතාට ඥානය හා විනිශ්චය එකතු කර මහත් හේතු සංඛ්‍යාවකින් අදාල හේතු වෙන් කරගත හැකි වීමය. තවත් ආකාරයකින් කිවහොත් විනිශ්චයක් නැති ඥානය විද්වත් බවයි. බුද්ධිය නම් ඥානය, දැනුම, අත්දැකීම් සහ විනිශ්චය යනාදී සියල්ල එකතුවකින් අවබෝධයක් ලබාගත හැකිවීමේ හැකියාවයි.

බුද්ධිය සඳහා ආත්ම-හික්මීමක්, ලෝකයේ ඇත්ත ඇති සැටිය ගැන අවබෝධයක්, තමන්ගේ අත්දැකීම් වල සීමාවන් ගැන දැනීමක් හා විචාරය අවශ්‍යයය. විද්වත් බවේ විරුද්ධ පැත්ත වන්නේ යමක් තේරුම් ගැනීමේ දී ඇතිවන මොට බව හෝ ඒ අනුව ක්‍රියාකරන වේගයේ දුර්වල බවයි. එහෙත් බුද්ධිමත් බවේ විරුද්ධ පැත්ත වන්නේ මෝඩකමයි.

මුදල් උපයන්නට දක්ෂයෙක් වූ පමණින් කෙනෙකුව සමාජයේ විද්වතෙක් සේ සැලකෙන්නේ නැත. මොළයේ ශෛල්‍යකර්ම කරන ශල්‍ය වෛද්‍යවරයෙක් හෝ අහස් උසට බිල්ඩින් ගොඩනඟන්නට දන්නා ඉංජිනේරුවා විද්වත් කියා සමාජයේ කිසිවෙක් සලකන්නේ නැත. ඔවුන් ක්‍රියා කරන්නේ තමන් ලබාගත් දැනුම අනුවය. ඔවුන් ඉදිරියේ ඇති ගැටළු ඔවුන් විසඳන්නේ තමන්ගේ පුද්ගලික අදහස් අනුව නොවේ. තමන් ඉගෙන ගෙන ඇති විද්‍යානුකූල සිද්ධාන්තයන්, තමන්ගේ අත්දැකීම්, කියවා හෝ පවත්වා ඇති පර්යේෂණ හා පළපුරුදුකම් අනුව ගැටළුව ඉදිරියේ විසඳුම ඔවුන් සොයා ගනිති.

ඊට වෙනස් වන විද්වතා අදහස් ඉදිරිපත් කරන්නේ ඒවා තමන් විසින් ක්‍රියාත්මක කරන්නට නොවේ. ග්‍රන්ථ කතෘවරු, ඇකඩමියාවේ අය වැන්නන් ඉදිරිපත් කරන මතවාදය හෝ අදහස ක්‍රියාවට නංවන්නේ ප්‍රතිපත්ති සැලසුම් කරන ආණ්ඩු, සමාජ සේවකයෝ, පොලීසිය වැනි ඒවා ක්‍රියාවට නංවන අය වෙති. ලංකාවේ නලින් ද සිල්වා, දයාන් ජයතිලක, අර්ජුන ද සොයිසා, සුසන්ත ගුණතිලක, ශ්‍රී ලාල් ලක්තිලක යනාදීන් විද්වතුන් සේ සැලකිය හැකි ද? ඔවුන් කියන ලියන අදහස් වලට පක්ෂ හා විපක්ෂ අය ද, ඒ නිසා තම ජීවිත හැඩගස්වා ගන්නා අයත් සිටී ද? ඒ අයගේ අදහස් නිසා සමාජයේ වෙනසක් සිද්ධ වේ ද?

වෛද්‍යවරයා ලෙඩාගේ රෝගයට කෙළින්ම දායක වෙයි. රෝගය සුව වී ගෙදර යාම හෝ මරණයට පත්වීම දකියි. ඉංජිනේරුවා ඉදි කරන බිල්ඩින් භූමියේ කාලය ගත කර ගොඩනැ‍ඟෙන බිල්ඩිම ශක්තියෙන් ඇත්දැයි දකියි. ඇද වැටී විනාශ වෙනවා දැයි දකියි. අදහසකින් පටන් ගන්නා බුද්ධිමතාගේ වෑයමේ අවසානය ප්‍රතිඵලයකි. විද්වතාගේ අවසන් ප්‍රතිඵලය අදහසක්ම වෙයි.

ජෝනාස් සාල්ක්ගේ අවසන් ප්‍රතිඵලය එන්නතකි. බිල් ගේට්ස්ගේ අවසන් ප්‍රතිඵලය කොම්පියුටර් ක්‍රියාකරන පද්ධතියකි. ඔවුන් බුද්ධිමතුන්ය. ඔවුන්ගේ කාර්යය අදහසකින් පටන් ගෙන නිෂ්පාදනයකින් නිමාව දැක්කේය. එහෙත් ඇඩම් ස්මිත් හා කාල් මාක්ස් වැන්නන්ගේ දායකත්වය අදහසකින් පටන් ගෙන අදහසකින්ම නිමා විය. ඒ බුද්ධිමතුන් හා විද්වතුන් අතර ඇති පැහැදිලි වෙනසකි.

බුද්ධිමතුන්ට වඩා විද්වතුන් සමාජ විපර්යාසයන් ඇති කරනවා ද? ඔවුන් ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කරන්නට ඔවුන් කෙළින්ම දායක නොවන නිසා ඔවුන්ගේ මතවාදයන් නිසා අපහසුවට පත්වන සමාජය ප්‍රතිඵල ගැන ද ඔවුන් කෙළින්ම විවේචනයට භාජනය වෙනවා ද?

කාල් මාක්ස් හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දෙදෙනා 19 වැනි ශ.ව. දී විද්වත් අදහස් ඇති පොත් ලියා වඩාත්ම බලපාන සමාජ විපර්යාසයන් ඇති කළ දෙදෙනාය. නමුත් මේ අයගේ අදහස් සමාජය කලාතුරකින් කියවා, ඊටත් වඩා අඩුවෙන් අවබෝධයක් ලබා ඇති අදහස් වෙති. නමුත් ඔවුන්ගේ අදහස් ලෝකය වටා මහත් විද්වතුන් ර‍ාශියක් අවදි කරවීම නිසා, ඒ විද්වතුන් මඟින් සාමාන්‍ය ජනයාට බලපෑම් එල්ල කළහ.

මාග්‍රට් තැචර් හා රොනල්ඩ් රේගන් යන දෙදෙනාගේ දේශපාලන යුගය ෆෙඩ්රික් හයෙක් හා මිල්ටන් ෆ්‍රීඩ්මන් යන අයගේ විද්වත් අදහස් වල ප්‍රතිඵලයකි. විනිසුරු ඔලිවර් වෙන්ඩල් හෝම්ල්ස් පවසන ආකාරයට හයෙක් යනු මිය ගොස් වසර සීයක් ගත වී අමතක වී ගියාට පසුත් ඔහු ගැන කිසිත් නොදත් අයෙකු හයෙක්ගේ චින්තනය නිසා හැදියාව වෙනස් කරගන්නට බලපෑම් කරනු ඇතැයි කියාය.

ආතර් සී. ක්ලාක්ගේ විද්වත් අදහස් නිසා අද සැටලයිට් තාක්ෂණය බිහිව ඇත. එය ඔහුගේ විද්‍යා ප්‍රබන්ධවල වූ අදහසකි. ක්‍රියාවට නැඟුවේ ඔහු නොව වෙනත් අයයි. ඇල්බටි අයන්ස්ටයින්ගේ විද්වත් අදහස් නිසා පරමාණු බෝම්බය බිහි විය. ඔහු තනිවම බෝම්බය නිපැදවූයේ නැත.

විද්වත් අදහස් ඉදිරිපත් කරනා අය ඊට වගකීමක් දරනවා ද? මුදල් ආයෝජනය කරන්නෙක් වොරන් බෆට් දුන් උපදෙස් නිසා සිය ආයෝජනය නැති කර ගත්තා නම් ඔහු බෆට්ගේ අදහස් ප්‍රතික්ෂේප කරනු ඇත. බෆට්ගේ බර්ක්ෂයර් හැතවේ කොම්පැණියේ තවත් ආයෝජන කිරීම නතර කර බෆට් බංකොලොත් කරනු ඇත. එතැන් පටන් වොරන් බෆට්ට වෙන කිසිවකුට උපදෙස් දෙන්නට නොහැකිය. ඉංජිනේරුවෙක් ගොඩ නඟන ලද බිල්ඩිමක් කඩා වැටුනු කල ඒ ඉංජිනේරුවාව වෙන කිසිවෙක් නැවත පාවිච්චි නොකරති. රෝගියා මරණයට පත්වෙන වෛද්‍යවරුන් වෙත අප යන්නේ නැත.

පිටතින් පැහැදිලිව පෙනෙන නිසි හෝ අනිසි ප්‍රතිඵල බුද්ධිමතුන් වෙතින් දැකිය හැකි වුවද විද්වතුන් වෙතින් එසේ දැකිය නොහැක. සංකීර්ණ, කුතුහලය දනවන, නව සොයා ගැනීම්, ප්‍රගතිශීලී අදහස් අපි අගයන්නටත් සරල, යල්පැන ගිය, ප්‍රගතිශීලී‍ නොවූ අදහස් ප්‍රතික්ෂේපයටත් අප හුරු ව ඇත්තෙමු. යම් අදහසක් ගැන අපි දැනගන්නේ කෙසේද? කෙනෙකු ලියූ පොතක් කියවා තනිවම ලබා ගන්නා අවබෝධයකින් ද? නැතහොත් ඒ පොත ගැන තව අය කියනා දේ අසා ඒ දෙවැනි අයගේ මතයෙන් ද? බොහෝවිට අපි අහන්න කියවන්න පුරුදුව ඇත්තේ ද අපි කැමති අයගේ අදහස් පමණි.

ඔලිම්පික් අවසන් කරමින් කැනඩාවේ පිරිමි අයිස් හොකී කණ්ඩායම තියුණු සටනකින් පසු රත්තරන් පදක්කම දිනා ගත්හ. ඇමෙරිකන් පිල සාමාන්‍ය කාල වේලාවේ අවසාන මිනිත්තු කිහිපයේ දී ලකුණකින් පිටුපස සිටියහ. ඇමෙරිකන් පුහුණුකරු ඔවුන්ට යම් උපදෙස් දීමක් කරනවා දකිනු ලැබිය හැකිවිය. සාමාන්‍ය කාල වේලාවේ අවසානයට පෙර ඔවුන් 2-2 ලෙසින් ලකුණු සම කරන්නට සමත් වූහ. කාලයෙන් එහා තරඟ වැදුණු හොකී කණ්ඩායම් දෙකේ ජය තීරණය කරන ගෝලය මෙහෙය වූ කැනඩාවේ උපදේශකරුවාගේ අදහස සංකීර්ණ ද, ප්‍රගතිශීලී ද, යල් පැන ගියා ද කියා කිසිවෙක් සොයන්නේ නැත. මන්ද ප්‍රතිඵලය වූ ජය පමණක් සැලකිල්ලට ගැනෙන නිසාය.

නමුත් විද්වතුන් ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කරන්නේ විද්වතා නොවන නිසා එය සහතික කරගත හැකියාව නැතිව යයි. ඔබාමාගේ සෞඛ්‍ය පනත වෙනුවට අළුතින් පනතක් සකස් කළ යුතු යයි අද වොරන් බෆට් කියා සිටියේය. ඔහු ඔබාමාට මැතිවරණයේ දී දිනන්නට අත දුන්නෙකි. අද දිනයේ ද ඔහු ඔබාමාගේ ප්‍රතිපත්ති බොහොමයක වැරැද්දක් නොදකී. නුදුරු දිනයක දී සම්මත කරන පනත ක්‍රියාවට නැ‍ඟෙන්නේ 2018 න් පසු නිසා එහි සාර්ථක බවට හෝ අසාර්ථක බවට වගකිව යුතු අය රට පාලනයේ නොසිටිනු ඇත.

1939 දී ජර්මනියේ දර්ශනය හැදෑරූ ඡොන් පෝල් සාත්‍රේ ‍සිය රටට පැමිණ කීවේ හිට්ලර්ගේ ජර්මනියේත් ප්‍රංශයේත් තමා වෙනසක් නොදකින බවයි. 1968 දී පෝල් එයර්ලික් කියා සිටියේ මනුෂ්‍යයාට කන්න දෙන අරගලය අවසන්ය, 1970 ගණන් වෙද්දී මිලියන දහස් ගණනින් ජනයා සාගතයෙන් මැරී යනු ඇත කියාය. නොබෙල් තෑග්ග දිනූ ඇල් ගෝර් කියූ තරමට ලෝකයට පරිසර විනාශයෙන් හානියක් වේදැයි අනාගතයේ පෙනී යනු ඇත. නමුත් මේ අය සියල්ලෝටම ඒ අය ඒ අදහස් කියූ දා සේම අද දිනයේ ද විවේචනයට ලක් නොවෙති. අනාග‍තයේ ද අපකීර්තියට පත් නොවෙනු ඇත.

බුද්ධිමත් විද්වතුන් නැතැයි කියනවා නොව විද්වතකු වූ නිසාම බුද්ධිමත් නොවන බව සටහන් කරන බව සලකන්න. එසේම බුද්ධිමතුන් තම ක්‍රියාවන්ට වගකීමක් දැරිය යුතු අතර විද්වතුන්ට එසේ වගකීමක් නැති බවත් පෙන්වා දීමකි.

මෙහි ඇති විද්වත් අදහස් තැන තැන අසා හා කියවා ඇත්තා සේම පහත පොත් ද ඇසුරෙනි. The Giver, Lois Lowry (1993); Flowers for Algernon, Daniel Keyes -novel (1966); The Burden of Bad Ideas: How Modern Intellectuals Misshape Our Society, Heather MacDonald (2000); Public Intellectuals, Richard Allen Posner (2003); Intellectuals and Society, Thomas Sowell (2009); Intellectuals, Paul Johnson (1990).

6 Responses

Subscribe to comments with RSS.

  1. Taboo Subjects said, on මාර්තු 1, 2010 at 11:16 ප.ව.

    These are my own definitions.

    Start with raw data.

    Information is the derivative of data. (In other words, process raw data to end with Information)
    Knowledge is the derivative of Information.
    Wisdom is the derivative of knowledge.

    Why differentiation, not integration? The answer will be obvious to any student of mathematics.

    What happened to ‘intelligence’? Intelligent is not independent of the parameters above.

    • arunishapiro said, on මාර්තු 2, 2010 at 9:28 පෙ.ව.

      Taboo, thanks for your visit. Enjoy your site immensley. I think I understand your comment, but how can we make this a practical reality?

      Many raw data though available are not easy to process.

      For example, since my German knowledge is limited to two words; hello and goodbye, I cannot read and understand Karl Marx by myself. Marx’s Capital is portrayed as a classic example of an intellectually masterful elaboration of a fundamental misconception -the notion that “labor”, (american spelling) the physical handling of the materials and instruments of production, is the real source of wealth. I also read that in “The Economic and Philosophic Manuscripts, 1844” Marx distinguishes between “labor-power” and “labor” where “labor-power” is potential of the worker associated with the production and that worker’s work includes muscles, brains, skills and capacities. So did Marx distinguished two kinds of labor and developed a labor theory of value that would make “labor-power” also included in “labor”, making that as the real source of wealth?

      If “labor” is just the physical handling of materials and instruments of production, and is the real source of wealth then countries with much labor and little technology should be more wealthy. But we see that it is not so. However, if “labor-power” is included to labor wealth, then all the techno rats are also laborers (so are doctors and engineers) and we see such countries with wealth.

      So there lies my inablity to process raw data to end with information. I rely on the “intellectuals” to translate and explain truthfully the originals. I see that these are done in a partisan fashion. Both sides are so divided they do not provide a non-partisan exploration. It leaves me with no information, no knowledge and no wisdom.

  2. නිලන්ත පියසිරි said, on මාර්තු 1, 2010 at 11:56 ප.ව.

    බොහොම දෙයක් දැනගත්තා.

  3. Sam said, on මාර්තු 2, 2010 at 1:18 ප.ව.

    “තවත් ආකාරයකින් කිවහොත් විනිශ්චයක් නැති ඥානය විද්වත් බවයි”
    බොහොම හොද කියමනක්.

    “හැකියාවෙන් පිටත වූ යමක් ඉක්මණින් තේරුම් ගැනීමට සහ ඒ තේරුම් ගැනීම අනුව බුද්ධිමත්ව ක්‍රියාකාරී වීමට පුළුවන්කමක් තිබීමය”
    මේ කියනම සහ ඉහල කියනම දෙකටම අදාලව, පොඩි කාලයේ අපි වැඩිපුර බුද්දිමත්ද, වයසත් සමග බුද්ධිය (හැකියාවේ) අඩුවීමක් වෙනවාද? දැනීම ප්‍රමාණයෙන් වැඩි නිසා බුද්දිය (හැකියාව) අඩුයැයී අපිට නොතේරනවාද? දැනීම වැඩි නිසා, අපි ලමා කාලයට සාපේක්ශව විද්වත් බාවෙයෙන් වැඩි නේද?

    ගූගල් බුද්දිමත්ද? මම හිතන්නේ නැතැයී කියායී. අතිවිශාල දත්ත ප්‍රමාණයක් ඇති නිසා, බුද්තිමත් වාගෙ හැසිරීමේ හැකියාව පමනක් ඇත. අති විශාල දත්ත ප්‍රමාණයක් ඇති නිසාත්, එම දත්ත හැසිරීමට දන්නා නිසාත්, ගූගල් විද්වතෙක්ද? මුලු ත්‍රිපිටකයම කට පාඩමෙන් දන්නා පුද්ගලයෙක් බුද්දාගම පිලිබද විද්වතෙක්ද. ත්‍රිපිටකය නොදන්නා නමුත්, සෝපාක බුද්දිමතෙක්ද?

    ඒ කෝදුව යටතේම, දොස්තර මහත්තයා බුද්දිමත්ද. අපේ නැන්දා “ඔව්” යැයී කියා කීවත්, මා දන්න හැටියට සමහර දොස්තරලාත් බුද්දිමත් නැත. නොදැනුවත් නම් නොවේ. දැනුමනම් බොහෝමය. රැකියාවේ වටිනාකම අනුව අපි (සමාජය) ඒ රැකියාවේ යෙදෙන පුද්ගලයන්ට බුද්දිමත් සහතිකය දෙනවාද. උඹ හොදට ඉගෙනගෙන දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් වෙයන් යැයී කියාලයි අපේ ආතා කීවේ. “ඉස්පිරිතාලෙ කංකානම් වුනාට, මිනිහා බුද්ධිමත්” යැයී කීම හොද වර්ණනාවකුත්, “ඉස්පිරිතාලෙ කංකානම් වුනාට, මිනිහා විද්වතෙක්” යැයී කීම විහිලුවක් අපහාසයකුත් (sarcasm) වෙන්නේ ඇයී.

    //විද්වත් බවේ විරුද්ධ පැත්ත වන්නේ යමක් තේරුම් ගැනීමේ දී ඇතිවන මොට බව හෝ ඒ අනුව ක්‍රියාකරන වේගයේ දුර්වල බවයි. එහෙත් බුද්ධිමත් බවේ විරුද්ධ පැත්ත වන්නේ මෝඩකමයි//
    මැමත් වල් අලි වදවීමට හේතුව උන්ගේ මස් කල් තියාගන්න බැරි නිසාත්, කුකුලන් වේලකට සෑහෙන නිසා වද නොවෙන බවත් කියනා කාල් පොකින්ටන්, රිකී ග්‍රැවේයස් කියනා විදිහට ගොඩේ මොඩයෙක්ද (ricky gervais postcast/ ricky gervais Show) ?

    //ආතර් සී. ක්ලාක්ගේ විද්වත් අදහස් නිසා අද සැටලයිට් තාක්ෂණය බිහිව ඇත.//
    //විද්වත් අදහස් ඉදිරිපත් කරනා අය ඊට වගකීමක් දරනවා ද?//
    රුවන්වැලිය හැදුවේ දුටු ගැමුණුද, පහල ගොඩැල්ලේ කිරිබන්ඩා බාස්ද?

    //බුද්ධිමත් විද්වතුන් නැතැයි කියනවා නොව විද්වතකු වූ නිසාම බුද්ධිමත් නොවන බව සටහන් කරන බව සලකන්න. එසේම බුද්ධිමතුන් තම ක්‍රියාවන්ට වගකීමක් දැරිය යුතු අතර විද්වතුන්ට එසේ වගකීමක් නැති බවත් පෙන්වා දීමකි.///
    වටිනා කියමනකි.

  4. […] චෙරි සිරප් එකතු කරමින් බි බී සිටි වොරන් බෆට් නැමති ධනවතා චෙරි කෝක් සිය ප්‍රියතම පානය කර ගෙන […]

  5. […] කාල් මාක්ස්ගේ ව්‍යවහාරයට අනුව නිෂ්පාදනයේ අමු ද්‍රව්‍ය හා උපකරණ භාවිතා කරන පුද්ගලයාගේ උත්සාහය නොහොත් කම්කරු ශ්‍රමය, ධන වස්තූන්ට මූලික වූ සම…. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: