අරුණි ශපීරෝ‍ වෙතින්

දූෂණය, තාක්ෂණය හා විනිවිදභාවය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 2, 2010

අප දේශපාලනඥයෙකු පත් කරගන්නේ දේශයේ පාලනයටය. දූෂණයේ යෙදෙන දේශපාලනඥයෝ ගැන අතීතයේ සිටම අප අසා ඇත්තෙමු. එහෙත් ඒ ගැන තැකීමක් නොකර අප සෑම දේශපාලනඥයෙක්ම (බලය ඇති කාලයේ) දූෂණයේ යෙදීම සාමාන්‍ය දෙයක් සේ සලකමු. සෑම රටකම දූෂණය නිසා පමණක් දේශපාලනඥයෙකුට බලය නැති නොවුණි. දූෂණයත් සමඟ වෙනත් අප්‍රසාදයක් එක්වීම නිසා බලය නැති විය.

ඇමෙරිකන් ආණ්ඩුවේ පාලකයන් ආචාර ධර්ම රකිනවා ද යන්න තීරණය කරන්නේ කමිටුවකි. සල්ලි ශීතකරණයේ සඟවා තබාගත් පාලකයෝ, විවාහව සිටිය දී වෙනත් රටකට හොර අඹුවක් හා යෑම අතේ මාට්ටු වූ අය, රජයේ මුදලින් තම නිවෙස් නිම කරගත් අය, බදු නොගෙවපු අය, යනාදී ක්‍රොන්ග්‍රස් හා සෙනෙට් සේම ප්‍රාන්ත ආණ්ඩුකාරවරු ඇතුළු ලිස්ට් එක දිගය. එයින් දෝෂාභියෝගයක් ලද නවතම පුද්ගලයා චාල්ස් රැන්ගල්ය. කැරීබියන් නිවාඩු දෙකකට කොමිපැණි පරිත්‍යාග මුදල් ලබා ගැනීම ඔහ‍ුගේ වැරැද්දය. මීට වඩා වැරදි ඔහු කර ඇත. නිව් යෝර්ක් නගරයේ සිටි කොලෙජ් හි තම නමින් ඉදි කෙරෙන බිල්ඩිමකට ආධාර එකතු කිරීමට තම කාර්යාලය අනිසි ලෙසින් පාවිච්චිය හා ඩොමිනිකන් රිපබ්ලික්හි ඇති ඔහුගේ නිවසක කුලිය ආදායම් බදු වලින් සැඟවීම වැනි දේ ගැන කමිටුව තවම තීරණයක් දී නැත.

ලෝකයේ දූෂිත පාලකයෝ අතරට පිලිපීනයේ මාකෝස්, තායිලන්තයේ තක්සින්, පකිස්තානයේ ‍අල් සදාරී මෙන්ම අද දවසේ ආර්ජන්ටීනාවේ නෙස්ටර් කර්ච්නර් වැන්නන් පැහැදිලි උදාහරණය. 2003 දී කර්ච්නර් පවුලේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 2.3 ක් වූ අතර 2008 දී එය මිලියන 12 කි. ඒ කාලය තුල ඔවුන් දේශපාලනය හැරෙන්නට වෙන කිසිම වෘත්තියක රැකියාවක් නොකළහ. නෙස්ටර් කර්ච්නර් ආර්ජන්ටීනාවේ ජනාධිපති වූයේ 2003 දී ය. ආර්ථිකය රාජ්‍ය පාලනය යටතේ තබා ගනිමින් නීති තද කළ ඔහුට ලෝක කෘෂිකාර්මික නිෂ්පාදන මිල ඉහළ යාම නිසා හොඳ ආර්ථික ලාභ ලබාගත හැකිවිය. එසේම කළින් ගත් ණය සහනයක් ද ආර්ථිකය ඇද වැටීම නිසා මාස 18 කට කළින් ලැබී තිබුණෙන් රටේ ආර්ථිකය හොඳ තත්වයට පෙරළුනේ ඔහුගේ දක්ෂකම නිසාම ‍නොවේ. 2007 දී ඔහුගේ භාර්යාව වූ ක්‍රිස්ටිනා ෆර්නෑන්ඩේස් ඩ කර්ච්නර්ට ජනාධිපතිකම දිනා ගන්නට ලැබුණේ ඒ නිසාය. ආර්ථිකය හොඳ නම් දූෂිත වූ පාලකයෙක් පමණක් වීම මහජනතාව තැකීමක් නොකරයි. අද ඔවුන් දෙදෙනාගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ මිතුරන්ට ධනවාදය හා සතුරන්ට සමාජවාදයයි කියන්නේ පෙබරවාරි 27 වැනිදා “ද ඉකොනොමිස්ට්” සඟරාවයි.

පුද්ගලයෝ පමණක් නොව රටවල් ද දූෂණයේ යෙදෙති. තම රටේ ජනතාවගේ බදු වලින් ජනතාවගේ කැමැත්ත අකැමත්ත විමසීම කෙසේ වෙතත් ජනතාවටත් හොරෙන් අනිත් රටවල් යාළු කරගන්නට, යුද කරා යොමුකරවන්නට, යුද වලින් බේරා ගන්නට, යුද වලින් ලාභ ලබන්නට මෙන්ම තම තමන්ගේ පුද්ගලික ආයෝජන රැක ගන්නටත් දූෂිත ක්‍රියාවේ යෙදෙති. ඇමෙරිකාව වැනි රටක් නිතරම අපකීර්තියට පාදක වන්නේ ඒ රටේම ඉන්නා අය තමන්ගේ පාලකයන් කරන දූෂණයන් ගැන ප්‍රසිද්ධව කතා කරන නිසාය. අනෙක් බොහෝ රටවල් ද මේ වැරැද්දටම වැරදිකරුවන් වුවද වැරදි ගැන කතා කරන්නෝ අල්පයක් නිසා හෝ ඔවුන් බන්ධනාගාර ගතවීම, මරණයට පත් කිරීම හා සොයා ගන්නට නොහැකි සේ අතුරුදහන්වීම නිසා ඒ ගැන දැනගන්නට නොලැබුණු පමණින් එවන් දූෂණ නොවන්නේ යයි කිසිවෙක් පිළිනොගනිති.

පුද්ගලයෝ සේම, රටවල් ද දූෂණයේ යෙදුනු පමණින්ම ලෝකයාගේ ප්‍රතික්ෂේපයට ලක් නොවේ. ඊට තවත් වැරැද්දක් එකතු වුනු කල පමණක් ලෝක අපවාදයක් ගොඩ නැ‍ඟේ.

ඒ මතවාදය ඇත්ත නම්, අචාර ධර්ම නීතියක් චාල්ස් රැන්ගල් වෙත එල්ල කරන හවුස් එතික්ස් කොමිටිය ජය නොගනු ඇත. නමුත් ආණ්ඩුවට පහර වැදෙමින් සිටින අවස්ථාවක බිල්ලට දෙන්න කෙනෙකු සොයා ගැනීමක් නමි චාල්ස් රැන්ගල්ට ගෙදර යන්නට සිද්ධ වනු ඇත. එයින් ආණ්ඩුව විනිවිද බව ආරක්ෂා කරන්නේ යයි කියා තමන්ට ලකුණු දමා ගැනීමක් කරනු ඇත.

විනිවිදභාවය වසන් කරගත නොහැකි ලෝකයකට අද අප පා තබා ඇත්තෙමු. එය ස්ථාපිත කරන්නට අවශ්‍ය නොවේ. එය ඉබේටම ඇති වී පැතිරෙමින් යයි.

ගූගල් සමාගම අද යුරෝපයේ සාකච්ඡාවට භාජනය වන්නේ ඔවුන් ගූගල් ලෝකයෙන් යුරෝපයේ ගම්, නගර, පාරවල්, නිවෙස් සියල්ල අන්තර්ජාලයට ඇතුල් කරන නිසාය. බර්ලිනයේ පාරවල් පින්තූර පුද්ගලිකත්වයට පහරක් යයි තර්කයකි. අද ඇමෙරිකාවේ වසන මාගේ නිවස දැක බලා ගැනීමට ලංකාවේ අයට ද පුළුවන. ලිපිනය ලියූ කල සැටලයිට් කැමරාව රොකට් එකක් සේ පාත් වන්නේ නිවසටය. පාර අයිනේ නවතා ඇති (සැටලයිට් පින්තූරය ගත් දිනයේ) නවතා තිබූ මිතුරන්ගේ වාහන යනාදියත් පාර දිහා හැම පැත්තකින්ම අසල්වැසියන්ගේ ගෙවල් ද දැකගත හැකිය. ඒ සියල්ල අන්තර්ජාලයෙන් ලෝකයටම දැකගත හැකි ලෙසින් ඇතුල් කර ඇත්තේ මගෙන් අවසර අරගෙන නොවේ.

නොබෝදා ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක පර්යේෂකයෝ යුරෝපයේ වයර්ලස් දුරකතන භාවිතා කරන අයගේ තොරතුරු වයර්ලස් කොමිපැණි වලින් ලබාගෙන අධ්‍යයනය කළහ. ඒ පුද්ගලයා යම් නිශ්චිත චර්යාවකින් ඉන්නවා ද නැතහොත් හිතුමතයේ චර්යාවකින් ඉන්නවා දැයි සෙවීමටය. ප්‍රතිඵලය වූයේ පුද්ගලයා නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්නෙකි යන්නය. අපි වයර්ලස් දුරකතනයකින් ඇමතුමක් කරන හැම විටක දීම එය පටන් ගන්නේ අවසන් වන්නේ කොතැනක ද කියා සටහන් වෙයි. අපි ගමෙන් බැහැර ගිය කළ කතා කරන්නේ කාට ද? නිතරම ගමෙන් බැහැර යනවා ද? නිතර කතා කරන්නේ එකම දුරකතන නොම්මර වලටම ද? මිනිසා කොතරම් නිශ්චිත වූ හැදියාවක ඉන්නා බව සොයා ගත්තේ පනස් දහසක වයර්ලස් භාවිතයේ වූ දත්ත විමසීමෙනි.

ගූගල් විමසීමක් කරන ඔබ කාටවත් නොකියන විෂයයන් ගැන ගූගල් මූණේ ලියයි. ඔබ විමසීමක් කරන හැම වතාවකම ඔබ කරන විමසීම ඔවුන් ද සටහන් කර ගනිති. ඔබ කරන විමසීම් ඉතිහාසය ගැන වාර්තාවක් තබා ගන්නා ඔවුන් ඔබ කා හටවත් නොකියා ඇති දේ දන්නේය! ඔබ කවුදැයි නොදැන සිටියත් මෙසේ ගමක, රටක, මහාද්වීපයක ජනතාවක් සොයන්නේ, කැමැත්ත දක්වන්නේ, කතාබහ කරන්නේ මොනවාද යන්න ඔබ නොදන්නා පිරිසක් ද වාර්තා තබා ගැනීම ගැන සිතා ඇත් ද?

ගමේ අය හා කතාබහෙන් පමණක් සෑහීමකට පාත්‍ර නොවී, ලෝකයේ ජනයා හා අදහස් හුවමාරුවට, තමන් කවුදැයි නොකියා (එමඟින් අවංක කතාබහට?) ඉඩකඩ සැලසෙන යුගයක, හැමෝටම හැමෝ ගැන දැනගන්නට මාර්ග බිහිවෙද්දී විනිවිදභාවය නීතියෙන් ස්ථාපිත නොකර තමන් හොඳ යයි කියා ගන්නට නොහැකි කාලයක් උදා වී ඇත. අඩු ගණනේ තමන්ගේ හොඳ පැවැත්ම ගැන විනිවිදභාවය පෙන්වන ආචාර ධර්ම කමිටුව කළ සහතිකය නිසා තමන් අතින් වරදක් වී නැතැයි කියා ගන්නට ඉඩ සැලසේද? කමිටුව හොඳ සහතිකයක් නොදුන්නොත් ඒ අයට දඬුවම් දීමත් කරනු ඇත් ද? නැතහොත් නුදුරු කාලයක දී ම මෙම කමිටුවටත් අර ලංකාවේ කෝප් කමිටුවට වූවා සේ කිසිම සැලකිල්ලක් නොදැක්වේ ද?

දූෂිතයෝ තවත් දූෂණයේ යෙදෙනු ඇත. මන්ද කොතරම් විනිවිදභාවයක් තිබුණ ද, දූෂණය නිසාම කෙනෙකුගේ තත්වයට වෙනසක් සිද්ධ නොවන්නේ නම් දූෂණයෙන් ඈත්වීම කුමක් අරභයා කරනු ද?

8 Responses

Subscribe to comments with RSS.

  1. පිස්සා said, on මාර්තු 3, 2010 at 5:15 පෙ.ව.

    දූෂණය නිසාම කෙනෙකුගේ තත්වයට වෙනසක් සිද්ධ නොවන්නේ නම් දූෂණයෙන් ඈත්වීම කුමක් අරභයා කරනු ද?

    ඇයි අරුණි අක්කා තමුන්ගේ හෘද සාක්ෂිය තියෙනවානේ..
    ඒකට වංචා කරන්න කාටවත් බෑ..

    • arunishapiro said, on මාර්තු 3, 2010 at 10:26 පෙ.ව.

      පාලකයෝ බලයේ සිටිය දී කරන දූෂණය නිසා පමණක් ඒ අයගේ පාලනය අහිමි නොවීම ගැනයි සටහන. ඊට ජනතාවගේ පැහැදිලි අපුසාදයක් නැත්තේ ජනත‍ාවත් එක්තරා ආකාරයකට දූෂණයේ යෙදී සිටින නිසා ද? නැතහොත් පාලකයෝ දූෂණයේ යෙදීම සාමාන්‍ය දෙයක් හැටියට අද පිළිගැනෙන නිසා ද?

      හෘද සාක්ෂිය හැමෝටම තියෙනවා ද?

      දූෂණයෙන් ඈත්වීම කුමක් අරභයා ද කියන එක තමයි වැදගත්ම ප්‍රශ්නෙ. දෙයියො නැත්නම් දෙයියො සතුටු කරන්න බැහැ. පරම උත්තර සද්භාවයක් නැත්නම් (කාලෙන් කාලෙට වෙනස් වන්නේ නම්) හැමෝටම අනුගමනය කරන එකම සද්භාවයකුත් නැහැ. ඉතින් එහෙම නම් අපි දූෂණයෙන් ඈත් වීම අවශ්‍යය ඇයි???? සමාජයේ ජීවත් වීම පහසු කරගන්න? සැනසිලිදායක සිතින් ජීවත්වන්න? සැනසිලි සිතින් ජීවත්වෙද්දී රෝගාබාධ වලින් තොර ජීවිතයක් ගෙවන්න? සතුටින් ඉන්න? එතකොට “සතුට” කියන්නෙ මොකක්ද?

      • Sam said, on මාර්තු 3, 2010 at 3:53 ප.ව.

        //පාලකයෝ බලයේ සිටිය දී කරන දූෂණය නිසා පමණක් ඒ අයගේ පාලනය අහිමි නොවීම ගැනයි ..//
        දූශණයක් සිදුවුනු සෑම විටම පාලන බලය අහිමි විය යුතුද? දූශණයේ ප්‍රමාණය සහ, පලකයාගේ දක්ශතාවය මීට බලපානවා නේද?

        //ජනතාවගේ පැහැදිලි අපුසාදයක් නැත්තේ ජනත‍ාවත්… //
        ජනතාව අප්‍රසාදයක් නැතෙයී කියන්නේ කොහොමෙයී? ජනතාව නීතී හදා, නීතියට ඒ කාරනා කටයුතු බාර දී ඇත්තේ ඒ නිසායී.

        //ඒ සියල්ල අන්තර්ජාලයෙන් ලෝකයටම දැකගත හැකි ලෙසින් ඇතුල් කර ඇත්තේ මගෙන් අවසර අරගෙන නොවේ.//
        අවසර ගත යුතුද?

        • arunishapiro said, on මාර්තු 3, 2010 at 9:20 ප.ව.

          අන් අයට වඩා බලපෑමක් කරන්නට හැකියාව ඇති නිසා පාලකයෝ වෙතින් දූෂණයක් වූ විට සාමාන්‍ය පුද්ගලයා අතින් වෙන එම දූෂණයටම දෙන දඬුවමට වඩා වැඩි දඬුවමක් පාලකයා වෙත පැනවීම වඩා සුදුසු වෙයි. පාලකයාට වඩා දැනෙන්නේ පාලන බලය අහිමිවීම නම් පාලන බලය අහිමි විය යුතුය. දූෂණයේ ප්‍රමාණය හා දක්ෂතාවය මණිනු හැකි මිණුම් දණ්ඩ කුමක් ද? එහෙම නම් ඩොක්ටර් ජැකල් හා මිස්ට හයිඩ් හරි වැරැද්ද සමතුලනය කරගත්තෙක් වන්නේ ද?

          ජනතාව අප්‍රසාදයක් නැතැයි කියන්නේ එවැනි පාලකයන්ට චන්දය දීමෙන් බලයේ තබා ගැනීම තව දුරටත් කරගෙන යන නිසාය.

          පුද්ගලිකව මට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් හැම හන්දියකම, කඩවල් වල, මහජන ගොඩනැඟිලි වල සෙකියුරිටි කැමරා. 1984 පොත අද ඇත්ත වෙනවා වගේ.

  2. nandz said, on මාර්තු 4, 2010 at 3:09 පෙ.ව.

    ඔබ කියන මේ දේවල් වලට එකඟයි. මේ හොයන දේවල් වලින් එක හොඳකුත් වෙනවා නේද ඔච්චර විමසිලිමත්ව ඉඳලා විනාශකාරී දේවල් වෙන්න කලින් හොයාගන්න බවක්, ත්‍රස්තවාදී උවදුරු වගේ දේවල් ගැන වුනත් හොයාගන්න පුළුවන් බවක් සහ අපිවම ආරක්ෂා කරන්නයි මෙච්චර දේවල් කරන්නේ කියලයි කියන්නේ. කොහොමත් අනිත් කෙනා ගැන සැකයෙන් අවිශ්වාසෙන් කල් අරින මිනිස්සු ඉන්න ලෝකෙක අනුන්ගේ හැමදේම හොයන එක ගැන නම් කුමන කතාද කිව්වලු.
    හරි මට නොතේරෙන එකම දේ මේ සියල්ල හොයාගෙන මොකක් කරන්නද කියලයි. ග්‍රහ ලෝකයක් විදිහට ගත්තොත් ඉතින් අපි සේරම මේ මුහුදු ලෝකෙ තනිවෙලා. මේවා හොයලා හොයලා කෙළවරක් තියේද මම නම් මේ ගැන දරන්නේ වෙනස් මතයක්. හොයාගන්න හොයන්න … මැරිලා ගියාම ඒ කිසි දේකින් වැඩක් නෑනේ. පුද්ගලයා එතනින් ඉවරයි ! මගේ වැල් වටාරම් සේරම මෙතන ලියවුනා ඒත් ඔබේ බ්ලොග් සටහන් හරි කැමැත්තෙන් කියවන පාඨකයෙක් මමත් !

    • arunishapiro said, on මාර්තු 4, 2010 at 9:09 පෙ.ව.

      nandz, ස්තූතියි ප්‍රතිචාරයට සහ සුබ පැතුම් වලට. ඔව් අනිත් අය වගේ දක්කන් යන පාරේ යන්න වුනාට ගෙනියන්නෙ විනාශයට ද නැත්නම් කන්න දෙන පිට්ටනියකට ද කියලා විමසීම නිසා දැනුම ලබාගත හැකියි. සැකයකට වඩා විචාරයක්. වෙනස සැකය නිසා බිහිවන ප්‍රතිඵලයක් නැති වීම. විචාරය නිසා තමන් විසින් අවසානයේ පිළිගත හැකි ප්‍රස්තුතයකට ළං වන්නට හැකියාව. ඒ හැකියාව නිසා ගමන් මඟ වෙනස් කරන්න විකල්පයක් පෙනීම.
      ලෝකෙ වෙන දේවල් සේරම තියා දන්න කියන දේවල් ගැනත් පරතෙරකට සොයා ගන්න අපේ මේ කෙටි ජීවිත කාලය මදි. නමුත්, එහෙමයි කියලා බුද්ධිමත් විචාරයක් නොමැති ජීවිතයක් රසවත් කරගන්න පුළුවන් ද? ඉන්න කෙටි කාලය තුල බුද්ධියෙන් සිටීමෙන් සතුටින් ඉන්න වඩා අවස්ථාවක් ලැබේ ද? අපේ මුතුන් මිත්තන්, දෙමාපියන් අපි වෙනුවෙන් ඒ අයගේ ලෝකයට වඩා වැඩි දියුණු ලෝකයක් ලබා දුන්නා නම්, අපිත් අපේ දරුවන්ට, ඉදිරි අනාගතයේ වැසියන්ට අපි සිටි ලෝකයට වඩා හොඳ ලෝකයක් ඉතිරි කර යා යුතු ද? මිනිසා මරණයෙන් ඉවර නොවන්නේ ඔහු ඉතිරි කර යන දැයින් ඔහු නැති කාලයේ ද වෙනස්වීම් ලෝකයේ ඇති වන හෙයිනි. බලන්න කතන්දරගේ ජොලි සීයා කියවා අපි කී දෙනෙක් (ජොලි සීයාව කිසිදාක නොදැක නොහඳුනන) ඔහු ගැන ප්‍රසාදයක්, සතුටක්, ආඩම්බරයක් ඇති කරගන්නවා ද කියා!

  3. කසුන් said, on මාර්තු 6, 2010 at 12:18 ප.ව.

    ජනතාවට රටට ලැබෙන්න ඕන දෙයක් තමයි දූෂනය කරන්නෙ ඒකෙන් වෙන හානිය ජනතාවටමයි විශේෂයෙන් දුප්පත් රටවල එදා වේල හොයා ගන්න බැරුව ඉන්න අයට.අප්‍රසාදයක් නැහැයි කියල කෙලින්ම කියන්න බෑ දූෂණය ඇරෙන්න වෙනත් හේතු ඡන්දෙ දෙද්දි බලනව.අනික ලංකාවෙ වගෙ වෙනත් හොද විකල්පයක් හොයා ගන්න බැරි වෙනකොට ඔය කාට හරි දීල දානව


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: