අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝකයේ අවසාන අධිරාජ්‍යය කඩා වැටුණි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 25, 2010

ලෝකයේ වඩාත්ම කාලයක් වඩාත්ම බලයකින් වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. අද දිනයේ ද ඔටුන්න පැළඳ ගත් බ්‍රිතාන්‍ය රැජිනගේ ඡායාරූප නිදහස් රටවල් යයි කියා ගන්නා කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවල දකින්නට ලැබේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බදු අය කිරීමත් එයින් තමන්ට බදු අය කරන පාලකයා තෝරා ගැනීමට අවස්ථාවක් නොවන නිසාත්, ඇමෙරිකන් නිදහස් අරගලය දියත් වී ජනතාව විසින් තෝරා පත් කරගත් රජයක් විසින් ජනතාව පාලනය කෙරෙන ලෝකයේ ප්‍රථම පර්යේෂණාත්මක රට ලෙසින් 1776 දී ඇමෙරිකාව බිහිවිය. පසු කාලයක මෙම ජනතාව විසින් ජනතාව පාලනය කිරීම නැතහොත් තමන් නිර්වචනය කරන ලද නිදහස හා මානුෂික අයිතීන් ලෝකයා වෙත ද පටවන්නට තැත් කිරීම ඇමෙරිකන් අධිරාජ්‍යවාදයයි.

ප්‍රංශය ඇමෙරිකන් නිදහස් අරගලයට මුදලින් ආධාර පමණක් නොව පුහුණු හමුදා භටයන් ද එවීය. ප්‍රංශයේ අරමුණ වූයේ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයට එරෙහි වන්නටය. 1783 දී ඇමෙරිකන් නිදහස් අරගලයට සහයෝගය සපයා අවසානයේ දී ප්‍රංශ භාණ්ඩාගාරයේ පැවති බංකොලොත් භාවය පසු කලක දී ඇරඹුනු ප්‍රංශ විප්ලවයේ ආරම්භයට හේතු සාධක වූවා යයි ද කිව හැකිය. එකළ මුළු ප්‍රංශයටම හිටියේ හාර දහසක් පමණ රදළ ධනවතුන් සංඛ්‍යාවකි. රටෙහි සියළු සම්පත් අයිති වුනේ රදළ පවුල්වලටය. ඔවුන් බදු වලින් නිදහස් වූහ. විශාල ඉඩකඩම් හා වතුපිටි අයත් වූවන් වූහ. රදළ පවුල් වල පුත්තු පල්ලි වල බිෂොප් තනතුරු දැරූ අතර යුධ හමුදාවෙහි හා නාවුක හමුදාවෙහි උසස් තනතුරු දැරූහ. බදු ගෙවීමත් පල්ලිය රක්ෂණයත් බාරව තිබුණේ දුප්පතුන්ටය.

ඇමෙරිකාව අනුගමනය කළ ප්‍රංශය ඔවුන්ගේ නිදහස් කැරැල්ලක් ද දියත් කළහ. එය ඇසූ ඇමෙරිකානුවෝ ඊට සිය සංවේගය ප්‍රකාශ කළහ. මෙහි දී ඇමෙරිකාව තුල වූ නිදහස් අරගලය දුප්පතුන් පොහොසතුන් අතර වූ අරගලයක් නොව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහි වූ අරගලයක් බව අමතක නොකළ යුතුය. ඇමෙරිකාවේ පැහැදිලි පරමාර්ථය වූයේ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයෙන් ඉවත් වන්නටය. ප්‍රංශයේ වූයේ පීඩිත බවින් තෙරපී සිටි දුප්පතුන් හා රදළ පංතිය අතර වූ අරගලයකි.

දහසය වැනි ලුවී රජු හා ඔහුගේ සුප්‍රසිද්ධ “පාන් නැත්නම් කේක් කාපල්ලා” කියූ මාරි ඇන්ටොනෙට් රැජින ඇතුළු ප්‍රභූන් විසින් පමණ ඉක්මවා කළ නිස්සාර වියදම් දැක ජනතාවගේ අප්‍රසාදය වර්ධනය වුනි. දහසය වැනි ලුවි රජු ආහාර අනුභව කළේ ප්‍රභූවරුන් 383 සමඟිනි. රජුට චාරිත්‍රානුකූලව වතුර වීදුරුවක් පිළිගැන්වීමට පුද්ගලයන් හතර දෙනෙකු අවශ්‍ය වුනි. ජනතාව හාමතයෙන් සිටිය දී පාලකයෝ කරන විකාර දැක තවත් නිහඬව සිටිය නොහැකි කළ ත්‍රස්තවාදීන්ට නැඟ එන්නට ඉඩක් බිහිවේ. හරියාකාර නායකයෙක්, ප්‍රතිපත්තියක් හෝ ජනතා සුබ සිද්ධිය පිණිස වූ අරමුණක් ද නොමැති වූ ප්‍රංශ විප්ලවය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වූයේය. දේශපාලන සිරකරුවන් රඳවා තිබූ බැස්ටිලයේ කඩා දැමීමත් සමඟ පටන් ගත් ජැකෝබියන් යුගය යනු ප්‍රභූ පන්තියට විරුද්ධව දුප්පත් ජනතාව සමාජයේ ප්‍රභූන් ඔවුන් ප්‍රභූන් වූ නිසාම වැරදිකරුවෝ බව ජනතා උසාවි වලින් තීරණය කර ගිලටිනයෙන් මරා දැමූ යුගයයි. මෙම නීතියේ පදනම මානව අයිතීන් සුරැකීම නොව ප්‍රභූ විරෝධී පදනමකි.

ඇමෙරිකන් නිදහස් අරගලයට අත දුන් නිසා ප්‍රංශයේ සහයට යා යුතුද යන්න ඇමෙරිකාවේ සාකච්ඡාවට ලක්වුනි. එහෙත් ඇමෙරිකන් නිදහස් අරගලයට අත දුන්නේ රජු හා පාලකයෝය. ඔවුන් එවිට මරණයට පත්ව ඇත. ඇමෙරිකන් කොංග්‍රසයේ සමහරු ප්‍රතිපත්තියක් ලෙසින් ජනතා නිදහස් අරගලයට යා යුතු යයි කීහ. තවත් කොටසක් නීති විරෝධී ලෙසින් කෙරෙන ප්‍රභූ ඝාතන නැවැත්වීමට යා යුතු බව කීහ. රදළයන් හා ප්‍රභූන් උගතුන් නිසා රටක් ආණ්ඩු කළ හැක්කේ ඔවුනට පමණක් යයි පිරිසක් කීහ. එසේ කියූ අයව තමන් පළවා හැරි බ්‍රිතාන්‍යයන් හා සම කරන්නට ඊට විරුද්ධ වූවෝ උත්සාහයක් ගත්හ. ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ආරක්ෂාවට සටන් වැදිය යුතු යයි තවත් පිරිසක් කීහ.

අවසානයේ ඔවුන් ප්‍රංශයට සහය නොදුන්හ.

ලෝකයෙන් අධිරාජ්‍යවාදය තුරන් කර නිදහස් රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ගොඩනඟා ගත්හ. අද නිදහස හා අයිතීන් පතුරුවන ඇමෙරිකන් අධිරාජ්‍යයට චීනය එළිපිටම බලවත් බාධක පමුණවමින් සිටිති. නමුත් නොබෝදා ලෝකයේ බොහෝ පිරිසක් යටත් වී සිටි තවත් අධිරාජ්‍යයක් කඩා වැටුණි. ඒ බරාක් ඔබාමාගේ සෞඛ්‍ය පනතින් කඩා වැටුණු ක්‍රිස්තියානි අධිරාජ්‍යය ද? නැතහොත් ලෝකයාට නිදහස හා අයිතීන් පතුරුවන ඇමෙරිකන් අධිරාජ්‍යය ද?

මේ දිනවල පාප්වහන්සේ ද ළමා අපචාර වල නියැළි බිෂොප්වරුන්ට නිසි දඬුවම් නොදී ස්ථාන මාරු කලා යයි චෝදනාවට මුහුණ දෙමින් සිටියි. කතෝලික පල්ලිය ලෝකයේ පවත්වා ගෙන ගිය ඒකාධිකාරයට හෙණ වැදුනේ කතෝලික පල්ලිය විසින්ම තම අධිරාජ්‍යයේ නීති ක්‍රියාත්මක කළ පිරිසගේ අපරාධ වසන් කිරීමට තැත් කිරීම හේතුවෙනි. කතෝලික පල්ලියට එසේ පහර වැදෙද්දී ඒ හා නිතර තරඟයේ ඉන්නා අනිකුත් ක්‍රිස්තියානි සභාවන් ද නිදහස හා අයිතීන් වල වෙනස්වන නිර්වචනයන් ඉදිරියේ දුබල වෙමින් පවතින්නේ ද?

“මනුෂ්‍යයාට අයිතීන් ඇත” යන්න අද හැම අයෙක්ම පාහේ අසා ඇති වදනකි. මේ මානුෂික අයිතීන් කැඩීමට වෙනත් පුද්ගලයෙකුට හෝ පිරිසකට නොහැකිය යන්නත් අද පිළිගත්තක් වී ඇත. අයිතීන් පිළිබඳ කතාබහේ දී මෙම අයිතින් “දෙවියන්වහන්සේ” සෑම පුද්ගලයෙක්ම වෙත පවරා ඇති අයිතීන් යයි නොකියා “ස්වභාවයෙන්” පවතින අයිතීන් යයි පිළිගැනුනේ ආරම්භයේ දී රජු යනු දෙවියන්වහන්සේගේ ආඥා ක්‍රියාත්මක කරන්නා ලෙසින් පිළිගැනීම හේතුවෙනි. ස්වභාවයෙන් අයිතීන් පවතින කළ රජුට විරුද්ධව යා හැකිය. එවිට දෙවියන්වහන්සේට විරුද්ධව ද යා හැකි බව සැලකීම ඔවුන් බැහැර කළහ. දෙවියන් අදහන ලෝකයක දෙවියන්ට විරුද්ධව යන්නේ කවුද?

පදනමක ඇති දුර්වලතා නිසා කාලයක් ගිය පසු පදනම දෙදරා යයි. පිටතින් වැදෙන ප්‍රහාරයකට වඩා ඇතුලත දෙදරීම හානිකරය.

ඔබාමාගේ සෞඛ්‍ය පනත සම්මත වූයේ 220-212 ක චන්දයෙනි. මෙයින් මෙතෙක් නොවූ විරූ බද්දක් රටේ මුළු ජනතාව වෙතම පැටවෙයි. මෙතෙක් කාලයක් ගෙයක්, වාහනයක් අයිති, ආදායමක් උපයන අයෙකු පමණක් එවැනි ලබා ගැනීමකට අයිතිය කියූ නිසා බද්දක් ගෙව්ව ද අද ඇමෙරිකාවේ ජීවත්වන පුරවැසියෙක් වූ පමණින් සෞඛ්‍ය බද්දක් ගෙවන්නට සිද්ධ වේ. ඇමෙරිකාවේ බදු ගෙවන තරම් ආදායමක් නැති අයෙකු විසින් ද ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ‍පෝරමයක් පුරවා යවයි. එවිට තමාගේ ආදායම් මට්ටම අඩු නිසා රජය විසින් සමෘද්ධි මුදලක් ඒ පුද්ගලයා වෙත එවයි. නුදුරු අනාගතයේ දී මෙසේ එවන මුදලින් සෞඛ්‍ය බද්ද කපාගෙන එවනු ලැබෙයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බදු ගෙවීමෙන් නිදහස සොයා සටන් වැදීමෙන් ආරම්භ වූ තවත් (නිදහස හා අයිතීන්ම පෙරදැරි කරගත්) රටක් මෙයාකාරයෙන් තමන්ම නැවතත් අධිරාජ්‍යවාදී පිළිවෙතක්ම පනවා ගත්හ.

නීත්‍යානුකූල සමාජ සංස්ථා විකල්ප සොයා භෞතික සම්පත් වඩාත් සමානාත්මතාවයකින් යුතුව බෙදා හැරීම සුදුසු බව බොහෝ අය විශ්වාස කරති. නමුත් එසේ සුදුසු ඇයි කියා පැහැදිලි කිරීමක් පදනමකින් යුතුව කිරීමට බොහෝ දෙනෙකුට අපහසුය.

කතෝලික පල්ලියත් අනෙකුත් ක්‍රිස්තියානි සභා ද විශ්වාස කරන්නේ දෙවියන්වහන්සේ මවන ලද සියළු පුද්ගලයෝ එක හා සමාන අයිතීන් වලින් යුත් අය කියාය. කතෝලික පල්ලිය තම ශ්‍රද්ධාවන්තයින් අතරේ සමානාත්මතාවය පතුරවන්නට නොයෙකුත් සමාජ සේවා දියත් කරති. ධනවතාගෙන් ආධාර ලබා දුප්පතාට උදව් කරන්නට කතෝලික පල්ලිය සේ සමත් වෙන සමාජ සේවා ආයතනයක් ලොව නැත. ඒ තව තවත් කතෝලික බැතිමතුන් වර්ධනය කර ගන්නටය. අනෙක් ක්‍රිස්තියානි සභා ද දෙවියන්වහන්සේගේ පණිවුඩය ලෝකයාට ගෙනියන්නට ඒ ආකාරයෙන්ම උත්සාහ කරති. ක්‍රිස්තියානි දහම සේම මානුෂික අයිතීන් ද එකසේ ලෝකයා වෙත පැතිරීම ඔවුන්ගේ උත්සාහයයි. භෞතික සම්පත් මෙසේ නීත්‍යානුකූල සමාජ සංස්ථා ක්‍රමයකින් බෙදා හැරිය ද, කතෝලික පල්ලියේ ළමා අපචාර වසන් කරගෙන සිටීම නිසා පාලකයෝ ලෙසින් ඔවුන් තුල වූ බලය මුළු මහත් ජනතාවටම එකසේ සමානාත්මතාවයකින් නොවූ බව පැහැදිලි විය. දෙවියන්වහන්සේ පල්ලියේ බිෂොප්වරුන්ටත්, අසරණ ළමයින්ටත් එක හා සමාන මානුෂික අයිතින් පවරා ඇත්නම් එවන් කඩ කිරීමක් මෙසේ කාලාන්තරයක් පවත්වා ගෙන යෑම නිසා ප්‍රංශ ජනතාව සිය රදළයන් ගිලටිනයට යොමු කරා සේ ලෝක කතෝලික ජනතාව ද කතෝලික පල්ලියෙන් බලාපොරොත්තු වෙන්නේ සිය වරදකරුවන්ට දඬුවම් දීමය.

දෙවියන්වහන්සේ යන පදනම එය පිළිනොගන්නා අයට සමානාත්මතාවය බෙදා හැරීමට යොදා ගත නොහැකිය. අද ජීවිතයට ඇති අයිතිය සඳහා සටන් කරන්නෝ ගර්භාෂයේ දරු කළලයක් විනාශ නොකරන්න යයි කියන්නේ ඒ දෙවියන්වහන්සේගේ නිර්මාණයක් නිසාය. අහිංසාවාදී දෙවියන් පිළිනොගන්නා අය ද ඊට එකතු වී ඇත. එසේම අයිතීන් සඳහා සටන් කරන්නෝ තම ශරීරයේ අයිතිය තමාගේ යයි ද කියති. ඔබාමාගේ සෞඛ්‍ය පනත සම්මතයේ තීරණය අයිතීන් සඳහා සටන් කරන්නන්ගේ වාසියට හේතු විය. ජීවිතයට ඇති අයිතිය වෙනුවෙන් සටන් කෙරූ පිරිසට චන්ද සෑහෙන ප්‍රමාණය නොලැබුණි. එයින් පෙනෙන්නේ දෙවියන්වහන්සේ සංකල්පය කෙමෙන් අඩුවන ආකාරය ද නැතහොත් අයිතීන්ට සඳහා කැමැත්ත වැඩිවන ආකාරය ද? කෙළින්ම මුදල් ගර්භාෂිත ළදරු කළල විනාශයට ‍වෙන් නොකෙරුන ද වෙනත් දියත් කරන සමාජ සේවා සැලසුම් වලින් මුදල් ඒ පිණිස යෑම වැළැක්විය නොහැකි වන්නේය.

ස්වභාවය සංකල්ප පදනම් කරගත් අය අද සැමටම එකසේ සලකන්නට යාමට ගන්නා උත්සාහයෙන් සැමගේම අයිතීන් කප්පාදු කරයි ද? මෙසේ සමානාත්මතාවයක් පල්ලියේ නීතියෙන් හෝ රටේ නීතියෙන් ද පනවන්නට නොහැක්කේ මිනිසා (දෙවියන්වහන්සේ මැව්ව ද, ස්වභාවයෙන්ම වූව ද) කුරිරු, ආත්මාර්ථකාමී පුද්ගලයෙක් නිසා ද? උදා වූයේ ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදයේ කඩා වැටීම ද? උදා වූයේ නිදහස් අයිතීන් ප්‍රමුඛ කරගත් අධිරාජ්‍යවාදයක අවසානය ද?

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. කොලූ said, on මාර්තු 25, 2010 at 2:59 ප.ව.

    උදා වූයේ ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදයේ කඩා වැටීම ද? නැත.
    උදා වූයේ නිදහස් අයිතීන් ප්‍රමුඛ කරගත් අධිරාජ්‍යවාදයක අවසානය ද? නැත.
    අලුතින් උදා වූ කිසිවක් නැත.

  2. Anewasika Lankaputhra said, on මාර්තු 26, 2010 at 3:06 පෙ.ව.

    Yankee neo-colonialism is not dead. It is ever expanding.

    -Anewasika : the non resident

  3. දසයා said, on මාර්තු 26, 2010 at 3:33 පෙ.ව.

    මම ඉන්න රටෙත් ආණ්ඩුවෙන්ම ගෙවන සුබ සාධක සල්ලි වලට ආණ්ඩුවම ආයෙ බදු කපා ගන්නවා. හැබැයි ඉතින් වෙල්ෆෙයා ස්ටේට් කියන එකනම් මෙහේ අකුරටම වැඩ. හැමදේම ආණ්ඩුවෙන් තමයි. එකම අවුල ගන්න පඩියෙන් 1/3 බදු වලට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: