දැනුම කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් මාලනී
දැනුම යනු ජීවත්වීමට අවශ්‍ය තොරතුරු දැනගැනීම සේ සලකා මේ සටහන ලියමි. පුද්ගලයා එකතු කර ගන්නා දැනුම අනුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පෝෂණය වෙයි. අනිකුත් අය හඳුනා නොගන්නා දැනුම හඳුනා ගන්නා අයට, අනෙකුත් අය රස නොවිඳින ජීවිතයේ අත්දැකීම් තුලින් සතුටු වන්නට හැකි වන්නේය. දැනුම අවියක් කර ගෙන ජීවිත සටන ද දිනත හැකිය.
එක් පැත්තකට පමණක් නැඹුරු වී දැනුම ලබා ගන්නාට තවත් පැති බොහොමයක් මඟහැරී යයි. නැඹුරු වූ පැත්ත නිවැරදි යයි පෙනෙන්නට වීම නිසා අනිත් පැති ගැන සොයා බැලීමත් නතර වෙයි. තමන් විශ්වාස කරන අයගේ මත හා වාද පමණකට මනස සීමා වෙයි. එවැන්නා තුල ඇත්තේ සීමිත වූ දැනුමකි.
සෑම පැත්තක් ගැනම සොයා බලන්නාට තමාගේ පැත්ත ගැන වඩා හොඳින් තර්ක කළ ද හැකිය. තම විශ්වාස හා මතවාද ගැන වඩා හොඳ අවබෝධයක් ලැබේ. මුකවාඩම් බඳින්නට ගිය කල වන්නේ මොළය මොට වීම පමණි. ඥානාලෝකයක් පහළ නොවේ.
අද ලෝකය දැනුම ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෝකයකි. අවශ්‍ය වන්නේ පිරිසිදු වූ දැනුම එකතු කරගත හැකි ඇරුණු මනසකි. පිරිසිදු යන්නෙන් අදහස් කරන්නේ වෙනත් මත කරපින්නා ගෙන ඒ තුලින් අළුත් දෙයක් අවබෝධයට ගන්නා උත්සාහය නොව අළුත් දේ දිහා බැලීම කරේ ඇති මත පොදි බිම තබා කිරීමය. මෙය කිරීම කොතරම් දුෂ්කරදැයි වැටහෙන්නේ ඊට උත්සාහයක් ගන්නා අයෙකුට පමණි.
එසේම, මෙතෙක් තමා මතවාද වලට නැඹුරු වී ඇත්තේ කෙසේද යන්න නොදන්නා අයටත් ඇරුණු මනසකින් ලෝකය දකිනු නොහැකිය. අපි කරපින්නා ගෙන යන මතවාද කොහෙන් ආවා ද යන්න ගැනත් අපි දැනුමක් ලද යුතුය. එයත් ඉතා දුෂ්කර වූ කාර්යයකි. බොහෝ අවස්ථාවල මූලාශ්‍රය සොයන කල මූලාශ්‍රයේ හිඩැස් දකිනු හැකිය. පාරම්පරික මතවාද වලින් ගතයුතු වැදගත් කොටස රැගෙන අත්හළ යුතු දොස් බැහැර කරන තුරු සිටිනා වළෙන් ගොඩ එන්නට පාර නොපෙනේ.
තම පැත්ත හෝ තමා පිළිගන්නා මතය හෝ තමා කැමති දේ ගැන තුලින් පමණක් දැනුම සොයන්නට හිර නොවූ අයෙකුට ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනු හැකිය. අනාගත වාක්‍ය කියනු හැකියාව පහළ වේ. මන්ද ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ඉතා සුළු පිරිසකි. උදාහරණයක් සේ සෑම මැතිවරණයක දී ම තම පක්ෂය ඉහළින්ම ජය ගන්නා බව පුන පුනා කියන්නෝ ලොව සිටිති. ඔවුන් දැනුම ලබන්නේ තම පක්ෂය තුලින් පමණි. තමා අකමැති සත්‍යය තත්වය දකින්නා පියවි සිහියෙන් සිටින්නෙකි. එවැන්නාට පමණක් අනාගතයේ කුමක් සිද්ධ වනු ඇතැයි සිතාගත හැකිය. තමා අකමැති වුවත් අනාගතයේ මෙවැන්නක් සිදුවෙනු ඇතැයි දැනුම ලබා එහෙත් එය පිළිගැනීම ප්‍රතික්ෂේප නොකර සිටීම ද ඉතා දුෂ්කර වූ කාර්යයකි. එය හරියට ප්‍රේමයෙන් වෙළී සිටින ආදරවන්තයා හෝ ආදරවන්තිය අද හෙට සබඳතාවය නවතා දමනු ඇතැයි දැන දැන එය නොපිළිගැනීම වැනිය.
ෆිලඩෙල්ෆියාවේ කොලීන් ලාරෝස් අද තමන්ව “ජිහාඩ් ජේන්” ලෙසින් හඳුන්වා ගෙන යුරෝපයේ හා අසියාවේ මුස්ලිම් අන්තවාදීන්ට සහාය පළ කළ බවට චෝදනා ලැබ සිටියි. ඇය අන්තර්ජාලයෙන් මුස්ලිම් අන්තවාදීන්ට මුදල් ආධාර එකතු කිරීමත්, ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා පුද්ගලයන් බඳවා ගනු පිණිස අන්තර්ජාලයේ සටහන් ලිවීමත්, හොර ගමනාගමන ලියකියවිලි සාදා දුන් බවටත් ඇමෙරිකන් ආණ්ඩුව ඔප්පු කළහොත් ඇයව ත්‍රස්තවාදියෙකු ලෙසින් සිරගත කරනු හැකිය. ඇය හිර අඩස්සියට ගත් නිලධාරීන් රේඩියෝවට කියා සිටියේ ඇය එවන් ක්‍රියාවන්ට එළඹුනේ අසහනය හා කරදර වලින් පිරි ජීවිත පසුබිම නිසා බවය. එය ත්‍රස්තවාදී ක්‍රියා වලින් නිදහසට හේතු සාධකයක් නොවෙයි. නමුත් රජයට ඇය ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නියැළුන බව ඔප්පු කරගත නොහැකි වුවහොත් ඇයගේ අන්තර්ජාල සටහන් හුදෙක් නිදහස් ප්රකාශනයට ඇති නිදහස ලෙසින් (එවිට අසහනය නිසා ලියූ සටහන් බව සාධක වී) ඇය චෝදනා වලින් නිදහස් වෙනු ඇත.
බහරේන් වසනා සාරා (සේරා?) මාලනී පෙරේරා අද ලංකාවේ පොලිසීයක රඳවා ගෙන ඉන්නේ තමන් බුද්ධාගමෙන් මුස්ලිම් ආගමට ගිය හැටි ගැන (මුස්ලිම් දහමට බුද්ධාගමේ අය හරවනු පිණිස?) පොත් දෙකක් ලිවීම නිසාය. ඇය ද රටට විරුද්ධව හා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළා යයි චෝදනා ලැබ සිටියි. බීබීසී වාර්තාව ලියන්නා පොලිස් ප්‍රකාශක කියූ අන්දමට ඇය සිංහල නමකින් යුත් කාන්තාවක් වුව ද හැඳ සිටින්නේ මුස්ලිම් කාන්තාවක් ලෙසින් යයි ද ලියා ඇත. ඇයගේ මුල් නම සාරා (සේරා කියා ද උච්චාරණය වෙයි) යන්න සිංහල නමක් නොව හිබෲ නමකි. නම ගැන වාර්තාවේ සඳහන මෙසේය. “Sarah Malanie [sic]Perera” මෙහිදී [sic] යන්නෙන් අදහස් කෙරෙන්නේ වචනය ලිවීමේ දී අකුරු වැරදීමක් (එය කලින් ලියූ අය අතින්) බව පෙන්විමටය. මාලනී ඇයගේ නම කෙසේ ඉංග්‍රීසියෙන් ලියනවාදැයි නොදනිමි. බහරේන් පුවත්පත කරන ලද නමේ අකුරු වැරදීම බීබීසී වාර්තාකරුවා පෙන්වන්නේ මාලනී අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලියූ නම අනුව ද? ඇයගේ ආගමන විගමන බලපත්රයෙහි ඇති අනුව ද? නැත්නම් ඇය තවත් නමකින් යුත් තැනැත්තියක් ද? ඇය බුද්ධාගමෙන් මුස්ලිම් ආගමට ගිය, ඒ ගැන ලියා ඇති ප්‍රථම පුද්ගලයා නොවන්නේය. මා කළින් සටහනක සඳහන් කළ අහ්මද් අන්වර් මනතුංග ද එම චෝදනාවෙන් වරදකරුවකු වෙයි. කෙනෙකු තම ආගම වෙනස් කිරීමත්, අන්‍ය ආගමකට පිරිස් බඳවා ගැනීමට කටයුතු කිරීමත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් සේ ඔප්පු කරන්නේ කෙසේදැයි මම නොදනිමි.
නිතර තොරතුරු ලෝකය ගැන අවධානයෙන් සිටින නිසා අද ලෝකයේ බුද්ධාගම ගැන විමසන මහත් පිරිසක් ඇති බවත් සටහන් කළ යුතුය. එහෙත් කාන්තාරයක වතුර පොදක් සොයා ගැනීමට ඇති අපහසුව සේ ඉංග්‍රීසියෙන් බුදු බණ කියන්නට ද හැකියාව ඇති ධර්මය උගත් අයෙක් පළාතක නැත. අද ඇමෙරිකාවේ පිරිස් හිතා ඉන්නේ බුද්ධාගම යනු ටිබෙටන් දලෙයි ලාමා කියන්න පමණක් කියාය.
ලිසා මිලර් නිවිස්වීක් සඟරාවේ ආගම ගැන ලියන ප්‍රධාන කර්තෘ වෙයි. ඇයගේ නවතම පොත දිව්‍යලෝකය ගැනය. ඇය රේඩියෝවේ “ඩයාන් රීම්” වැඩසටහනින් දිව්‍යලෝකය ගැන කළ සාකච්ඡාවක දී වැඩ සටහනට කතා කළ අසන්නියක් ඇය බුද්ධාගම ගැන දන්නවා ද කියා ඇසීය. (ඒ මා නොවේ!) ඇය බුද්ධාගම ගැන කිසිත් නොදන්නා බව පැවසීය. දිව්‍යලෝකය ගැන පොතෙන් ඇය ඉදිරිපත් කරන්නේ මරණයෙන් පසු “ස්වර්ගයක්” ගැන සාකච්ඡාවකි. නිව්ස්වීක් වැනි සුප්‍රසිද්ධ සඟරාවක ආගම ගැන ලියන කතුවරියක් වූ කළ ඇය ලෝකයේ ප්‍රධාන ආගමක් වන බුද්ධාගම ගැන දැනීමක් නැතිවීම කණගාටුවට කරුණකි.
අද ඇමෙරිකාවේ හා කැනඩාවේ ඇති බුද්ධාගමේ පන්සල් බොහොමයක් නිරත වන්නේ ලංකාවේ හැදී වැඩී ඇමෙරිකාවට අවුත් ඉන්නා වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර පවත්වන හුරුවටය. පන්සල් අද සිංහල කෑම කන්නට යන තැනක් වී ඇත. කුඩා දරුවන්ට සිංහල කියා දීම හා මල් පහන් පූජා කිරීමට අවස්ථාවක් ලබා දීම උතුම් කාර්යයක් සේ සැලකීම ගැන මගේ අමනාපයක් නැත. එහෙත් මේ රටවල ඉපිද හැදෙන වැඩෙන දරුවන්ට ධර්මය ඉදිරිපත් කළ යුත්තේ තාර්කිකව හා දාර්ශනිකවය. ඔවුන්ට එය වටහා ගැනීමට හැකි ඇරුණු මනස් ඇත. එසේ ඉදිරිපත් නොකර සිටිනා කල ලංකාවෙන් අවුත් ඉන්නා වැඩිහිටියන්ගේ අභාවයත් සමඟ මෙහි උපන් දරුවන් (බුද්ධාගමේ දෙමාපියන්ගේ) ආගමික අතරමං වීමට ලක්වෙති. ඔවුන් පන්සල්වලට තවත් දායක නොවනු ඇත. ලාංකික පන්සල් නිතරම ලංකාවෙන් එන අය පමණක් වෙතින් යැපෙනු ඇත.
මා ද ඇමෙරිකන් ළමයි හා ලාංකික ළමයි වෙනුවෙන් (ඔවුන් වයස 3 පමණ දී පටන් ගත්) බෞද්ධාගමේ දහම් පාසැලක් මෙම රටේ පැවැත්වූයෙමි. ඔවුන් අද වයස 18 ඉක්ම වූ අයයි. සෑම දෙනාම අද දිනයේ ද තමන් බෞද්ධාගමිකයන් යයි කියා ගනිති. පන්සිල් පද රකිති. බුද්ධාගම ගැන විමසීම සාමාන්‍ය ලාංකික බෞද්ධයෙකුට වඩා වැඩිය. එහෙත් පන්සල් නොයති. මන්ද පන්සල් වල “දෙවියන්ට ආරාධනා කර” දහම් දෙසීමත් “මළගිය අයට පින් පිණිස” කරන අවසානයත් ඔවුනට දිරවන්නේ නැති නිසාය. චාරිත්‍ර හා සම්ප්රදා ඇදහීම පෙරදැරි කරගත් ආයතන මිස ධර්මයට මුල් තැනක් දිය හැකි අයෙකු එනතෙක් ප්‍රෙක්ෂකයෝ අතුරු සිදුරු නැතිව පිරි නමුත් හිස් වේදිකාවක් ඉදිරියේ ඔවුන් බලා සිටිති.
ලංකාවට එන එකෝන්ලාට හා මාලනියටන්ට විරෝධතා දියත් කරනවාට වඩා ධර්මය දැන උගතෙක් එය කියා පෑම වඩා කාලෝචිතය. මාර්තු 26 දා ලක්බිම පත්‍රයේ “බුදු දහම විකෘති කල පොත්පත් රට පැටවීමේ කුමන්ත්‍රණයක් අද තිබෙනවා” යයි දිවියාගහ යසස්සි නාහිමි පවසන්නේ ධර්මය ගැන ලියූ පොතක් නොව තවත් නාහිමිවරයෙකුගේ චරිතාපදාන කෘතිය දොරට වැඩුමේ උළෙලේ දී ය.
අද වරයිසන් වයර්ලස් සමාගම ස්කයිප් මඟින් පිටරටට තම වයර්ලස් ෆෝනයෙන් සම්බන්ධ වන්නට අවස්ථාව සලසයි. එයින් පිටරට ඇමතුම් වයර්ලස් මඟින් නොමිලේ ලබාගත හැකියාව ලැබේ. මෙයින් ප්‍රයෝජන ගෙන ධර්ම සාකච්ඡා මඟින් ධර්මය පහදා දීම වැඩි කරන්නට (ඉංග්‍රීසියෙන්) අයෙක් ඉදිරිපත් වෙයි ද? නැතහොත් තියෙන අඩුපාඩුකම් මදිවාට තව අළුත් අඩුපාඩුකම් ද මවාගෙන ධර්මය අමතක කර බුද්ධාගමත් තවත් අන්තවාදී ආගමක් වෙයි ද?
මෙසේ ලියන මා ද නීතිය කැඩීමක් කරන්නේ ද යයි සැකය. විචාරය නීති කැඩීමක් ද? ඉන් උදාවන්නේ එකම නොවූවත් “දෙවියන්වහන්සේ” අදහන පලස්තීනයත් ඊශ්රායලත් සේ සදා සටන් වදිමින් ඉන්නා ලෝකයක් ද?
තමන් වාසය කරන ප්‍රදේශයේ පවතින නීති රීති ගැන දැනුම ලබා ගැනීමෙන් බන්ධනාගාරයට යෑම වළක්වා ගත හැකිය. නිදසුන් ලෙසින් කෙන්ටකි ප්රාන්ත්රයේ ලෙක්සින්ග්ටන් නගරයේ දී අයිස් ක්‍රීම් කෝන් එකක් සාක්කුවේ දමාගෙන යෑම තහනම්ය. වර්ජීනියාවේ පුලැස්කි කෝරළය (ටෙනසි ප්‍රාන්තයට යාබද ව) තුල වාහනයක් පැයට සැතපුම් 80 කට වඩා වේගයෙන් පදවා ගෙන (අධිවේගී මාර්ගයේ) යන්නකුට වසරක් හිරබත් කන්නට නීතියෙන් අනුමතය. වර්ජීනියාවේ තවත් නීතියක් නම් ශරීර කෘතියක නියැළෙන අයෙකු දිහා වැසිකිළියක් තුල දී එබී බැලීමත් වසරක හිරබත් කන්නට හැකි වරදකි. බොහෝ අවස්ථාවල දී මෙම අතීතයේ ස්ථාපිත නීති ක්‍රියාත්මක නොවේ. ඒවා කඩකරන අයට වන්දි ගෙවා, ඇප ගෙවා නිදහස ලබාගත හැකිය. නමුත් අවශ්‍ය වූ විටෙක දී ඇප නොදී, වන්දි නොගෙවා දඬුවම් පැමිණ වීමේ හැකියාව ද පාලකයා සතුය.
රටක නීති පද්ධතියක් ස්ථාපිත වන්නේ සම්මතයෙන් දඬුවම් කිරීමට නොවේ. එහෙත් අද ලෝකයේ ඕනෑම කෙනෙකුට තවත් අයෙකුට ඇති අකැමත්ත නිසා පමණකින් චෝදනාවක් එල්ල කොට උසාවියට (රිමාන්ඩ් බාරයටත්) යවත හැකියාව ඇති බවක් පෙනේ. වරද විමසා දඬුවම් තීරණය කෙරෙන කල කෙනෙක් එයින් නිදොස් යයි ඔප්පු වුවහොත් එවැන්නෙකුට නැති නීතියක් ඇති සේ ක්‍රියාත්මක කළ අයගෙන් වන්දි නොලැබේ. රටක, ප්‍රදේශයක පවතින නීති රීති ගැන තම නොදන්නාකම ද නිදහසට හේතු සාධක නොවන නිසා නිතරම නීති රීති ගැන සෙවිල්ලේ සිටිය යුතුය.
ස්ථාපිත වන සෑම නීතියක්ම මිනිසාගේ සුවසෙතට කියා ස්ථාපිත වුවත් එයින් අවසානයේ පීඩනයට ලක්වන්නේ ද මිනිසාමය. මගේ වාහනය නිපදවා ඇත්තේ පැයට සැතපුම් 160 කට යා හැකි ලෙසිනි. එහෙත් ඇමෙරිකාව තුල නීත්‍යානුකූලව යා හැකි වැඩිම වේගය පැයකට සැතපුම් 70 කි. (ජර්මනියේ වේග සීමාවක් නැති ඔටෝබාන් හි සිද්ධ වන රිය අනතුරු වලට වඩා ජර්මනියේ මාරක රිය අනතුරු වැඩි පැයකට සැතපුම් 30 සීමාව ඇති අතුරු මාර්ග වලය. ජර්මන් මහේස්ත්‍රාත්වරියක් මෙය කියා ඇත.) සිගරැට් බීම ජිවිතයට හානිකරය. එහෙත් එය ලියූ සිගරැට් පැකට් ආණ්ඩුව වැඩි බදු අය කරගෙන ජිවිත හානියට මුහුණ දෙන දුම් බොන්නාට විකුණති. සුරා හලකට ගොස් ඇති පදම් බීමත් වන්නට ඉඩකඩ ඇත. එහෙත් වයස 21 වන්නට පෙර සුරා පොදක් කට කෑ කල හිරබත් කන්නට සිද්ධ වේ. පෙන්සිල්වේනියාවේ ගුරු වෘත්තියේ යෙදෙන්නට අපේක්ෂා කරන්නෙක් මෙම වරදකට අසුවුව හොත් වෘත්තියේ යෙදෙනු නොහැකිය.
නීති කඩ කිරීමට පුද්ගලයා වෙත අසීමිත ඉඩ ප්රස්ථා ලබා දෙන ලෝක නීති පද්ධති පුද්ගලයා වෙතින් බලාපොරොත්තු වෙන්නේ මනාව වඩවා ගත් හික්මීමක් හා දැනුමක් ද? එසේ වඩවා ගත් හික්මීමක් හා දැනුමක් ඇත්තාට ඇති එකම වාසිය දඬුවම් නොලැබ සිටීම පමණක් ද? නැතහොත් දැනුමෙන් පෝෂණය වූ හික්මීමෙන් වඩවා ගත් චර්යාව නිසා පිටස්තරයෙක් අනිසි චෝදනාවක් කළ විට ඊට සමාජය ඉක්මණින් නිර්දෝෂීභාවය ඔප්පු කර වන්දියක් ලබා දෙයි ද? අනිසි චෝදනා ඉදිරිපත් කළ අයට දඬුවම් කරයි ද? චෝදනාව නිසි හෝ අනිසි යයි තීරණය කෙරෙන්නේ සමාජයේ එදින පවතින සම්මතය අනුව ද? එසේ නම් වඩා ගන්නා දැනුම කොයිබට ද? හික්මීම කුමකට ද?
බොහෝ ඇමරිකානුවන් බුද්ධාගම ලෙස දන්නේ ටිබෙට් හෝ වියට්නාම් හෝ තායි බුද්ධාගමයි. එරට ඇති ලංකාවේ පන්සල්වලින් ලාංකිකයන්ටනම් නොමඳ සේවවාක් සිදුවන බව ඇත්ත. ඒවායින් බුදුදහම ප්‍රචාරණය කෙතරම් දුරට වෙනවාද යන්න ගැනනම් මට අදහසක් නැත.
නීතිය ඇත්තේ ක්‍රියාත්මක කරන්නාගේ අතේ බවනම් සැබෑව. අවශ්‍ය වූ විට (සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වන වැරදිකරුවන්ට) චෝදනා නොකර ඉන්නටත් රජයේ නීතීඥයන්ට හැකියි නොවැ.
ලංකාවේ තාමත් ආණ්ඩුවයි, ආගමයි වෙන්කරන්න බැරි වුනා නේද? අවුරුදු 2500 ගිහිනුත්?
http://kathandara.blogspot.com/2010/02/blog-post.html
අපේ උදවියට අද ඕනැ බෞද්ධ ප්‍රතිපත්ති රකින්නවත්, බෞද්ධ දර්ශනය හදාරන්නවත් නෙමෙයි. අපි තමයි බෞද්ධයෝ, බුද්ධාගම අයිති අපිටයි, කියල අනිත් අයට පෙන්නන්න. අනිත් අය ඒක පිළිගන්න මැළි වෙනවා නම් අපි ගහල හරි ඒක ඒත්තු ගන්නන්ඩ තමයි බලන්නෙ.
ඔබගේ අදහස හදවතින්ම අගයනවා මම ඉස්ලාම් භක්තිකයෙක් ඒත් මම බුදුදහම ඉහලින්ම ගරැකරන කෙනෙක් නමුත් මෑත ලංකාවේ බිහිවී තිබෙන හෙල උරැම හා සමහරක් මුස්ලීම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ වැඩ පෙන්වීම සදහා ආගම් යොදාගනිමින් සිටී. මේවා පිලිබදව අවබෝධයක් නැති අන්ධ භක්තිකයන් හා අන්තවාදීන් ඔවුනට ආවඩමින් සිටී.
විශේෂයෙන් ආගමික විද්වතුන් හා පූජ්‍ය පක්ෂය කලයුතුව ඇත්තේ තම තමන්ගේ ආගමික සමාජයට දේශනා කිරීම මිස මේ ආකාරයට නීතිය අතට ගෙන ක%ියා කිරීම නොව අවසාන වශයෙන් කියන්නට ඇත්තේ
ආගමක් පිලිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම තම මනස හා කරන ගනුදෙනුවක් එය නීතියෙන් හෝ බියවැද්දීමක් මගින් වැලැක්විය නොහැක මේවා තුලින් සිදුවන්නේ බුදුදහම පිලිබදව තවත් වැරදි රෑපයන් ජනතාවගේ සිත්තුල ගොඩනැගීමයි
අර්ශද්, ප්‍රතිචාරයට ස්තූතියි. සටහන කියවා තේරුම් ගැනීම ගැන ද සතුටුයි. අද ලෝකයේ සියළු ආගම් පිළිබඳ නැවත විමසීමක් කළ යුතු කාලයක් උදාවෙලා. විශේෂයෙන්ම ආගමික නායකත්වය තුල ඇති අධිරාජ්‍යවාදී ස්වරූපය ඉවත් කිරීමත්, ආගම වෙළඳාමක් හෝ දේශපාලන අතකොළුවක් නොවන බව ආගමික නායකයන් වෙත මතක් කරදීමත් ආගම අදහන බැතිමතුන් වෙත පැවරී යන සමයක්. නායකයන්ට වඩා බැතිමතුන් ඉන්නා නිසා එය කළ හැකි දෙයක්. තම තමන්ගේ පූජක පක්ෂයේ වැරදි සඟවා නොගෙන එය නිවැරදි කරගැනීමටත් හැම ආගමකටම ගරු කිරීමටත් හැමටම ධෛර්යය ලැබේවා යයි පතමු නේද?
බොහෝ දෙනා දකින්නේ මේ ‘දැනුම යුගය’ ලෙසයි. එහෙත් මා නම් සිතන්නේ අප තවමත් ‘දැනුම යුගයට’ (Knowledge Age) එළඹ නොමැති බවයි.
නීති පද්ධතිය අපේක්ෂා කරන්නේ දැනුමද හික්මීමද යන්න විශාල ගැටළුවකි. දැනුම හා හික්මීම නිසා දඬුවම් නොලැබ සිටිය හැකිය යන්න නීති පද්ධතිය පිළිබඳ දැනුවත් වීමත් සමගම ඇතිවන හැඟීමක් විනා ඇත්ත දැන ගැනීමක් නොවේ. එනම් එය ඇත්ත නොවේ. දැනුම තිබුණද, හික්මීම තිබුනද, වැරදි නොකළද සහනයක් පිළිබඳ හැඟීමක් ඇති වේද? පාලකයා නීතිය භාවිතා කරන්නනේ කුමකටද යන්න මත මේ සියල්ල තීරණය වේ. එබැවින් නීති පද්ධතිය හික්මුණු සමාජයක් වෙනුවෙන්ය යන්න සිතළුවක් පමණි. එය පාලකයාට තවත් අවියක් පමණි. සැබවින්ම නීතියෙන් සිදුවන්නේ වරදකරුට දඬුවම් දීම වුවද, බලාපොරොත්තු විය යුත්තේ සමාජයට පණිවුඩයක් දීමය. අද නීතිය ක්‍රියාත්මක වන ආකාර සලකා බැලූ කළ සමාජයට යන පණිවුඩය ඉතා භයානකය.
කෙසේ හෝ වරදක් නොකර සිටීමේ දැනුම හා හික්මීම ඇති තැනැත්තා වරදක් නොකිරීමෙන් ලබන දෙයක් නොමැත. වරදක් නොකර සිටීම ඇගයීමට ලක් කිරීම වරදක් කිරීමට දඬුවම් දීම තරමටම අවශ්‍ය වේ. වරදකරුවෙකු නිදහස ලබන්නා සේම නිර්දෝෂී අයෙකු දඬුවම් ලැබීමද විසඳාගතයුතු තත්ත්වයන්ය.
මෙම ප්‍රස්තුතයට සමගාමී නොවුවද දැනුම ගැන ලිවූ මෙම ලිපිය කියවා අදහස් දක්කවන්න.
http://rataperalanaliyavilla.blogspot.com/2010/02/blog-post_25.html
? සමාජයේ කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත බෞද්ධ සමාජයට බුදුදහම හා එහි ඉගෙන්වීම් ප්‍රකාශ කරනවා වෙනුවට අනිත් අගම්වලට විවිධ ආකාරයේ තහන්චි දමමින් සමාජයට වැරදි ආදර්ශයක් පෙන්වා දෙමින් අසාර්ථක වෑයමක නිරතව සිටී. මෙවන් ක්‍රියා සැබෑ බෞද්ධයකු කිසිවිටෙකත් අනුමත නොකරනු ඇත. එසේම් බුද්ධිමත් සමාජය මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකල යුතුය.
ඔවුන්ගේ පදනමේ හිද බැලූවේ නම් එනම්, බුදුදහම විමර්ශනටය කරමින් පොත් ලිවීම අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් නම්, මේ වන විට ඉස්ලාම් දහමට එරෙහිව ලාංකීය සමාජය තුල ප්‍රකාශයට පත්වී ඇති පොත් සංඛ්‍යාව කොපමණද? අතුරින් කිහිපයක් සදහන් කරන්නේ නම්,
සිහළ අභියොගය ( පාඨලී චම්පික රණවක )
ජාතික මනස හා මහා සිංහලය ( ඛෙංගුමුවේ නාලක හිමි )
අල් ජිහාද් අල්කයිදා ( පාඨලී චම්පික රණවක )
මගේ දේශය අවදිකරන හ`ඩ ( සෝම හිමි )
බුදුසමය හා දෙවියෝ ( නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි )
වෙනත් සමයන් අතර බුදුසමය ( කන්නිමහර සුමංගල හිමි )
සිංහලේ ජාතික සටන ( දයාවංශ ජයකොඩි )
අල්ලාහු අක්බර් ( කොලට් සේනානායක, නාරද කරුණාතිලක )
ආදම් සිංහලයකි ( මතුගම මහින්ද විෙජ්තිලක )
අඩස`ද ක`එවර ( සුජිත් අක්කරවත්ත )
ධර්මපාල ලිපි ( ආනන්ද ඩබ් පී ගුරුගෙ )
58 හදිසි අවස්ථාව ( ටාසි විට්ටච්චි )
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් ( ඛෙල්ලන ඥානවිමලනා හිමි )
අදුරු මිසදිටු බිද හෙළන්නට ( ඤානදීප හිමි )
නුවණැස පාදන සිරි සදහම් ( ඥානානන්ද හිමි )
ඉහත පදනමේ හිද බලනවිට මේ පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක නීතිය කුමක්ද?. ඇය විසින් ලියන ලද පොත නම් මෙම අත්අඩංගුවට හේතුව මේ පිරිස් සදහා ඒ නීතිය ක්‍රියාත්මකවීමක් අප නොදකින්නේ ඇයි?. මෙහිදී ද යමක් පැවසිය යුතුය. එනම් ඉස්ලාම් තවත් දහමක් හෝ තවත් පිරිසකගේ විශ්වාසයක් අපහස කිරීම අනුමත නොකරන එසේ කිරීම පිලිබදව දැඩිව අවවාද කරන දහමකි. ඒ අනුව ඇය විසින් හෝ වෙනත් ඕනෑම කෙනෙකු විසින් කිසියම් දහමක් අපහසයට ලක්කරයි නම් එම ක්‍රියාව ඉස්ලාම් නොවේ. නමුත් තමන් අවබෝධ කරගත් දැනුමෙන් සමාජය තුල සංවාදයක් ගොඩනැගීම කුමන දහමින් සිදුකලත් එය ඇගයීමට ලක් කලයුතු කාරණයක් මිස අත්අඩංගුවට ගැනීමට කාරණයක් නොවේ. ඉහත සදහන් සමහරක් කෘතීන් සෘජුවම කිසිදු පදනමකින් තොරව ඉස්ලාම් විවේචනයට හා අපහසයට ලක්කරයි
[…] […]
මම ඉතින් ආගමක් අදහන කෙනෙක් නෙමෙයිනෙ නමුත් ඒ ලිපිත් ආසාවෙන් කියවනව