අරුණි ශපීරෝ‍ වෙතින්

නූතනයට සුදුසු පරණ අදහසක්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 29, 2010

අද ඇමෙරිකාවේ මහජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයකට ඇතුළු වෙත්ම එහි දොරටුව අසල ඇති අත් පිරිසිදු කරගත හැකි සාන්ද්‍රණ රැගත් ඇසුරුම් වෙති. වෙළඳපොලට, රෝහලට, පාසැලට හෝ ආණ්ඩුවේ කාර්යාලයට ගොඩ වැදෙන්නාට සිය අත් මේ විශබීජ නාශක සාන්ද්‍රණයෙන් පිරිසිදු කර ගැනීමටයි ඒ.

අතීතයේ දී ඇමෙරිකාවේත් යුරෝපයේත් ජලය බීම හෝ පාවිච්චිය නිසා ලෙඩ රෝග බෝවීමට හැකි යයි ජනතාව විශ්වාස කළහ. ඒ නිසා වයින්, බියර් හෝ මත්පැන්, ආහාර සමඟ බීම නිසා ජනතාවට හැදුණු වකුගඩු ආසාදන “ප්‍රභූවරන්ගේ ලෙඩ” ලෙසින් ද නම් කෙරුණි. එසේම බටහිර අය ස්නානයට බියක් දැක්වූහ. ඒ තමන් ස්නානය කරන වතුරෙන් ලෙඩ රෝග සෑදී මරණය ළං වූ අවස්ථා ද තිබීම නිසාය.

1840 දී දොස්තර ඉග්නැස් සෙමෙල්වයිස් (Ignaz Semmelweis) ඔස්ට්‍රියාවේ වියානා රෝහලක සේවය කළ සහාය වෛද්‍යවරයෙකි. වෛද්‍ය සිසුන් සිය ඉගෙනීම සඳහා වූ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා දේශනාගාරවලින් කෙළින්ම පැමිණියේ ගැබිණියෝ සිටි වාට්ටු වෙතය. වෙනත් පැත්තක වාට්ටුවල සිටියේ දුප්පත් ගැබිණියන් වෙනුවෙන් සේවය කළ හෙදියන්ය. දුප්පත් ගැබිණියන් අතපත ගානා හෙදියන් නිතර අත් සෝදා ගත්හ. පොහොසත් අය වෙනුවෙන් වූ වාට්ටුවල වෛද්‍ය සිසුන් මෘතගාරවලින් ගෙනා විශබීජ නිසා මරණ සංඛ්‍යාව දුප්පත් ගැබිණි වාට්ටුවට වඩා තුන් ගුණයකින් වැඩිවුණි. දොස්තර සෙමෙල්වයිස් කොතරම් ඒ ගැන කතාබහ කළත් ඔහුගේ ජීවිත කාලය තුලම ඔහුගේ සාධාරණීය චෝදනා කිසිවෙක් පිළිගත්තේ නැත.

1843 දී ඇමෙරිකාවේ දොස්තර ඔලිවර් වෙන්ඩෙල් හෝම්ස් (Oliver Wendell Holmes) දරු ප්‍රසූතියේ දී ගැබිණියන් වෙත වැළඳෙන උණ පැතිර යන ආකාරය දැක සැමටම අත් සෝදන්න යයි නියෝග කළේය. ඔහුගේ වදන් අනෙකුත් වෛද්‍යවරු පිළිනොගත්හ. අනිකුත් ලෙඩ රෝග නැති දරු ප්‍රසූතිය සඳහා එන ගැබිණිය නිරෝගීය. අත් සේදීම නිසා මරණ සංඛ්‍යාව අඩු කරගත හැකි බව පෙනී ගිය ද එය පිළිගන්නට ජනතාව මැළි වූහ.

1870 දී ප්‍රංශයේ එක රෝහලක් හැඳින්වුනේ “අපරාධ නිවස” (House Crime) යනුවෙනි. දරු ප්‍රසූතිය සඳහා එන ගැබිණියන් සහ අළුත උපන් අත දරුවෝ මරණයට ලක් වූයේ සිතාගත නොහැකි ගණනකිනි. 1879 දී ප්‍රංශ වෛද්‍ය ඇකඩමියේ සම්මන්ත්‍රණයක දී අත් නොසේදීම නිසා මරණ සංඛ්‍යාවේ වර්ධනයක් වෙනවා යන්න ගැන අයෙක් සැක පහළ කළේය. නැඟිට ගත් වෛද්‍යවරයෙක් ඊට තදින් එරෙහිව “ගැබිණි මව්වරුන් මරණයට පත් කරන්නේ අත් නොසේදූ ඔබලා වැනි වෛද්‍යවරුන්” යයි හඬ නැඟීය. ඒ ලුවී පාස්චර් (Louis Pasteur) නැමැත්තාය.

නිසියාකාරව අත් සෝදන ආකාරය මෙසේය. ජලය පිරිසිදු විය යුතුය. ගලා යන වතුර ‍බේසමක හෝ කෝප්පයක පිරුණු වතුරට වඩා සුදුසුය. අත් සේදීමෙන් පසු බේසම, කෝප්පය, ලයිට් ස්විච් හෝ වැසිකිළියේ දොර ඇල්ලීමට පිරිසිදු කඩදාසියක් උපකාර කර ගන්න. සබන් ගා අත් සේදීම නිකම් අත් සෝදනවාට වඩා ප්‍රතිඵලදායකය. ඇල්වතුරට වඩා උණු වතුර ස්වභාවයෙන්ම විශබීජ නාශකයකි. නියපොතු අතර රැඳි සියල්ල හෝදන්නට අමතක නොකරන්න. ඇඟිලි පොළවට හරවා අත් සේදීමෙන් වැලමිට දිගේ විෂබීජ බේරි යාම වළක්වා ගත හැකිය.

ලංකාවේ දී වතුර පයිප්ප දකින්නට ලැබුණාට ඒවායේ වතුර නිතර ගලන්නේ නැත. වතුර බෝතල් වලින් වතුර බොන අය මහමඟ දී නොයෙකුත් දෑ අල්ලති. කන්නට පෙර අත හෝදා ගන්නට වඩා කෑවාට පසු අත හෝදන්නට වතුර සොයන රටාව තවමත් පවතී. කලින් කලට ඇස් ලෙඩ, උණ යනාදි බෝවෙන වසංගත ඉක්මණින් පැතිර රටක් අඩපණ කරන්නට තරමට කාර්යාල සේවකයෝ, ගුරවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙති. අත් සේදීමෙන් මෙම බෝවෙන රෝග පැතිරීම අඩුවනු ඇතැයි කතා කරන කිසිවෙක් සිටී ද?

වතුර පහසුවෙන් ලබා ගැනීමට හිඟ රටක, අත් සෝදන පහසුකම් හැම තැනකම නැති රටකට ඉතා සුදුසු නිර්මාණයකි මේ අත් සෝදන සාන්ද්‍රණ. කාර්ගිල්ස් ෆුඩ් සිටි හා කීල්ස් සුපර්මාකට් වැනි තැන්වල පිටරටින් ගෙන්වන ලද මෙම සාන්ද්‍රණ විකුණන බව හිතවතියක් කීවාය. විෂබීජ නසන මද්‍යසාර (alcohol) සමඟ සමහර අවස්ථාවල සුවඳ විලවුන් ද එක්කර නිපදවා ඇති මෙම කුප්පි සාක්කුවක, හෑන්ඩ් බෑගයක දමාගෙන යා හැකි තරම් කුඩාය. එය හමට ද අහිතකර නොවේ. එය නිමැව ඇත්තේ බොන මත්පැන්වලින් නොවේ! මල් සුවඳ හා පළතුරු සුවඳ වැනි විවිධ විලවුන් වර්ග එක්කර ඇති මෙයින් අත් සෝදා ගත් කළ සුවඳ ද මිහිරිය.

කොහොඹ, කුරුඳු පොතු, එඬරු තෙල්, කරාබු නැටි වැනි දේශීය සාර පිරි, අඹ සුවඳින්, අරලිය මල් සුවඳින් ඇති මෙම අත් සෝදන සාන්ද්‍රණ ඇමෙරිකන් වෙළඳපොලේ අලෙවි වන්නේ අවුන්සයක් ඩොලර් 1.50 ට වැනි ගණනකටය. ප්‍රමිතියකට අනුකූලව ලංකාවේම නිපදවා ගතහැකි මෙවැන්නක් දේශීය වශයෙන් පමණක් නොව ලෝක වෙළඳපොලට ද ඉදිරිපත් කළ හැකිය.

අත් සෝදන සාන්ද්‍රණයට වඩා වතුරෙන් අත් සෝදා ගැනීමෙන් වඩා විෂබීජ විනාශ කළ හැකි වුවත් යන එන ගමන්වල දී වතුර සොයාගත හැකිවේ දැයි නොදන්නා නිසා මම නිතරම ගමන් මල්ලේ මෙයින් කුඩා බෝතලයක් බහාගෙන යන්නෙමි. ජානුමය වශයෙන් ලැබී ඇති සෞඛ්‍යය ද, නිසි සැලකිල්ලෙන් ආහාර පානාදිය ගැනීම ද, නිතිපතා ව්‍යායාම් කිරීම ද නැතහොත් නිතර අත් සෝදන නිසා ද මන්දා මා ලබා ඇත්තේ නිරෝගී ජීවිතයක්ය. මගේ දියණිය ප්‍රසූත කරන්නට ‍රෝහලට ගියේ 1990 දීය. එදා සිට අද දක්වා ලෙඩ දුකක් සෑදී වෛද්‍යවරයෙක් හමු වී නැත්තෙමි. මගේ දියණිය හා සැමියා ද නිරෝගී ජීවිත ගෙවති. අපි තුන්දෙනාගේ නිරෝගීබව සමහර විට හිත හොඳ නිසා වන්නටත් පුළුවන!!

15 Responses

Subscribe to comments with RSS.

  1. නදී said, on මාර්තු 29, 2010 at 3:08 ප.ව.

    ඕකෙ තවත් පැත්තකුත් තියනවා. උවමනාවට වඩා විෂබීජ වලින් ආරක්ෂාවෙන්න හදනකොට ස්වභාවික ප්‍රතිශක්තිය අඩු වෙනවා. වෛද්‍යවරු අත හෝදන තරමටම සාමාන්‍ය අයත් අත් හෝදන්න යන එකනෙ ප්‍රශ්නෙ.
    පාරවල් අයිනෙ කුණු දූවිල්ල එක්ක ඉන්න මිනිස්සු, ළමයි නිරෝගියි සමහර අති පිරිසිදු අයට වඩා.

    • arunishapiro said, on මාර්තු 29, 2010 at 4:54 ප.ව.

      නදී, පාරවල් අයිනේ කුණු දූවිල්ලෙන් ඉන්නවා කියන නිරෝගී අය එක්ක කතාබහ කරල තියෙනවා ද කියල දැනගන්න කැමතියි. නදී ලුවී පාස්චර්ටත් වඩා දන්නවා වගේ!

      • නදී said, on මාර්තු 29, 2010 at 11:58 ප.ව.

        මම ලුවී පාස්චර් තරම් නම් දන්නෙ නෑ.
        මම පාර අයිනෙ ඉන්න හැමෝම එක්ක කතාබහ කරල නැති වුනත්,  පොඩි කාලෙ ඉඳලම විශේෂ පිරිසිදුබවකින් තොරව හැදුනු, නිරෝගී අය දැකලා තියනවා; අඳුනනවා. ඒ වගේම පිරිසිදුබව රකින, ඒත් නිතරම රෝගීවන (නිදන්ගත රෝගී තත්ත්ව නැති, බෝවන රෝග පමණක් වැළඳෙන )අයවත් දැකලා තියනවා, දන්නවා.
        නිතරම අත නොසෝදන, එහෙත් සාමාන්‍ය පිරිසිදුකම රකින අයත් නිරෝගීව ඉන්නවා දැකලා තියනවා.
        මම අදහස් කරන්නේ උවමනාවට වඩා අත සේදීමෙන් ලෙඩ රෝග වැලඳීමේ ඉඩකඩ අඩුවන්නේ මඳවශයෙන් බවයි. ඊට හේතුව ලෙඩ බෝ වන්නේ ස්පර්ශයෙන් පමණත් නොවන විසයි. අත සේදීම වරදක් ලෙස මා දකින්නේ නෑ.

        • arunishapiro said, on මාර්තු 30, 2010 at 9:33 පෙ.ව.

          නදී, උවමනාවට වඩා නිතරම අත සෝද සෝද ඉන්න එකත් මානසික රෝගයක්. එහෙම අත සේදීම නිසා පමණකින් රෝග බෝ වීම වැළකෙන්නේ නැහැ තමා. නමුත් මා දුටු ලංකාවේ විශ්ව විද්‍යාලයේ (2007 දී) පවා වැසිකිළියේ වතුර තිබුණේ එහෙමත් දවසකය. ඉතින් වැසිකිලියට යන්නා ඉන් පිටත්ව යන්නේ අත් නොසෝදාය. මහමඟ දී අපි ගැවසෙන්නේ ඉතා ජනාකීර්ණ වූ ප්‍රසිද්ධ ස්ථානවලය. පාරේ කඩවලින් කෑම රැගෙන අත් නොසෝදා අතින් අනුභව කරන අය බොහෝ දෙනෙකි. ඔව්, රෝග බෝවන්නෙත් ස්පර්ශයෙන් පමණක් නොවේ. නමුත් අඩු ගානේ ස්පර්ශයෙන් බෝවන ලෙඩ ඩිංගවත් අඩු කරගන්න පුළුවන් නම් හොඳයිනෙ. මතක ද අතීතයක අපි පැපොල් කියා හඳුන්වන චිකන් පොක්ස් රෝගයට කුඩා දරුවන් කුඩා කාලයේ දී යොමු කළ හැටි. අද ඊට එන්නත් නිපදවා රෝගය හැදී ලප කැලැල් හා ජීවත් වෙනවා වෙනුවට රෝගය සෑදීම මඟ හරවා ගනියි. ඉතින් යම් රෝගයකින් ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණ නිසාම, එයින් ගැලවී සිටිය හැකි යුගයක ඒ රෝගය වැළඳ ගැනීම විද්‍යාවේ දියුණුවට මදිකමක් නොවේ ද?

  2. බුධාජීව said, on මාර්තු 30, 2010 at 3:20 පෙ.ව.

    ඔය ද්‍රාවණයෙන් අත සේදීම අපි වතුරෙන් අත සෝදනවා වගේ කරන වැඩක් වෙන්න බැහැ නේද? බෝතලයේ ප්‍රමාණය අනුව එහෙම වෙන්න බැරි බවයි පෙනෙන්නේ.

    ඔය ද්‍රාවණය භාවිතා කරනු ලබන ආකාරය පිළිබඳවත් තොරතුරු ලිපියට එකතු වුනානම් වඩාත් සම්පූර්ණයි.

    • arunishapiro said, on මාර්තු 30, 2010 at 9:18 පෙ.ව.

      බුධාජීව, ඔව්. අඩුපාඩුව පෙන්නලා දුන්නට ස්තූතියි. වතුරෙන් වගේ අත සෝදන්නෙ නෑ තමයි. සාන්ද්‍රණයෙන් බිංදුවක් විතර අතට දාලා අත් දෙක ඇතිල්ලුවාම මද්‍යසාර ඇතුළු එහි තිබෙන අනිකුත් විෂබීජ නාශක මඟින් අත් පිරිසිදු වෙනවා. ඒ වගේම අත් පිහිදාන්නත් ‍ලේන්සු හෝ කඩදාසි අවශ්‍ය නැහැ. මොකද සාන්ද්‍රණය වියළී යන ස්වභාවය නිසා. ඇමෙරිකාවේ කුරුඳු පොතු, කරාබු නැටි, කොත්තමල්ලි, එනසාල්, ඉඟුරු වගේ දේවල් සුලබව වැවෙන්නෙ නැති වුනාට අපේ ආයූර්වේද වෛද ක්‍රමයේ තියෙන විශබීජ නාශක බෙහෙත් ද්‍රව්‍යයන් මෙම සාන්ද්‍රණ වලට එකතු කරලා තියන බව ඒ කුප්පිවල ලියලා තියන විස්තර වලින් කියවන්න පුළුවන්. ඒ ස්වභාවික විශබීජ නාශක දුව්‍ය ගැන වඩාත් සූක්ෂම වූ විද්‍යානුකූල සෙවීමක් අද මෙහෙ සිද්ධ වෙනවා. මං ලියපු සටහන අනුව වතුරෙන් අත සෝදන එක විශබීජ නසන්නට වඩා සුදුසු ක්‍රමය. නමුත් අපි යන හැම තැනකම වතුර තියෙනවා ද යන්න නොදන්න නිසයි මේක වැදගත් වෙන්නෙ.

  3. බුධාජීව said, on මාර්තු 30, 2010 at 3:27 පෙ.ව.

    @නදී:

    කුඩා කාලයේ සිටම සුළු සුළු ආසාදනයන්ට නිරාවරණය වුනු අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඒ අනුව හැඩගැසී තිබෙන්නට පුළුවන්.

    නමුත් සැබෑ ලෙසම ආසාදනයන්ට නිරාවරණය වීමෙන් ස්‍වාභාවිකව එසේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හැඩගස්වා ගන්නවාට වඩා යම් පාලනයකට යටත්ව මිනිස් පාලනය යටතේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හැඩගස්වා ගැනීම වඩා උචිතයි.

  4. නදී said, on මාර්තු 30, 2010 at 11:14 පෙ.ව.

    ස්වභාවික ප්‍රතිශක්තිය ලබාගැනීමට ලෙඩ රෝග වැලඳගත යුතු බවක් මා කියන්නේ නෑ. එය වලක්වාගත හැකි විද්‍යාත්මක ක්‍රම (ප්‍රතිශක්තීකරණය වැනි) අනුගමනය කල යුතුයි.
    ආහාර ගැනීමට පෙර, වැසිකිලියට යාමෙන් පසු, ආහාර පිසීමට පෙර ආදී අවස්ථා වලදී අත සේදීම අනිවාර්යයෙන්ම කල යුතුයි. එහෙත් බැංකුවටක. රජයේ කාර්යාලයකට ඇතුල් වීමේදී අත සේදීමෙක් පලක් තිබේද යන්න මට ගැටළුවක්.

    • arunishapiro said, on මාර්තු 30, 2010 at 12:40 ප.ව.

      නදී, ගොඩක් සෙනඟ ගැවසෙන තැන්වල ගොඩක් විශබීජ ද ගැවසෙන නිසා.

      • නදී said, on මාර්තු 30, 2010 at 1:16 ප.ව.

        එහෙනම් බස්/ දුම්රිය ආදී පොදු ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන අයට, පාරෙ යන අයට, කාර්යාල වල වැඩ කරන අයට විනාඩි කීපයකට වරක් අත් සෝදන්න වෙනවා. ඊට අමතරව මුව වැසුම්ද දැමිය යුතුයි.
        එය ඔබ කලින් සඳහන් කළ පරිදි මානසික රෝගයක් වනවා නොවේද?

  5. […] This post was mentioned on Twitter by Supun Budhajeewa, Kottu. Kottu said: නූතනයට සුදුසු පරණ අදහසක් http://bit.ly/8XzNSD […]

  6. […] පැහැදිලි උදාහරණයක් මවිසින් ලියූ ‘නූතනයට සුදුසු පරණ අදහසක්’ යන සටහනෙන් දැක්විය හැකිය. 1840 ගණන් වල දී […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: