අරුණි ශපීරෝ‍ වෙතින්

බන්ධනං ජාතෝ දුශ්ශීලං අරහං

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 2, 2010

මෙහෙන් සුද්දෙක්ට ලංකාවේ විවාහ මංගල්‍යයකට යන්න ආරාධනා පත්‍රයක් ලැබී ඇත. ලංකාව ගැනත් මංගල උත්සව ගැනත් යන්න කළින් දැන ගන්නට අපි හමු වුනෙමු. මනාලිය ලංකාවේ. මනාලයා නවසීලන්තයේ. යන්න හදන අන්කල් ඇමෙරිකන්. ඉතින් අන්කල්ට ප්‍රශ්න ගොඩයි. පෝරු චාරිත්‍ර ගැන එහෙම දැනටමත් හොයාගෙන. පෝරුවේ මූලාරම්භය බුද්ධාගමේ වැඩක් ද හින්දු වැඩක් ද කියලා හොයාගන්න බැරුව. අපි මූලාශ්‍ර ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන ගතිය මෙහිදී කැපී පෙනුන. කොහෙන් එන චාරිත්‍ර ද කියල අපි පිළිගන්නේ අපේ පන්සලේ අපේ හාමුදුරුවෝ හරි අපේ මතය දරන විද්වතා හරි කියන පමණින් නිසා සුල මුල හොයන්න අමාරුයි.

ඒ අස්සෙම යුරෝපයේ කාලයක් විවාහ වී උන් හිතවතියක් දික්කසාදයකට ලෑස්තිය. ඇයගේ චෝදනා සාධාරණයි. ඒත් එයා ඉන්න රටේ නීති ඉතාමත් සංකීර්ණ හා අවාසිදායකයි. විවාහයට එක්වන්න කළින් විවාහය ලිහා දාන හැටි ගැනත් දැනුවත් වන්නට සිද්ධ වෙන කාලයක් උදා වී ඇත් ද?

සරණ බන්ධනයකට එක්වෙන ධනවත් අය දික්කසාදයේ දී කොහොම ද ධනය බෙදන්නෙ කියන එක ගැන පූර්ව එකඟතාවයකට අත්සන් තබති. අතීතයේ දී ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරය කසාද බඳින්න වගේම දික්කසාදයටත් ජනප්‍රිය ස්ථානයක්. හේතුව සල්ලි තියනවා නම් දවසින් කොයි එක වුනත් කරගන්න පුළුවන් නිසා. ඒත් “ද ඉකොනොමිස්ට්” සඟරාවට අනුව අද දවසේ ලන්ඩනය තමයි ලෝකයේ දික්කසාද අගනුවර. සඟරාවේ කියන විදියට මේක වෙන්න හේතු දෙකයි. එකක් ලන්ඩනයේ පදිංචිය ඇති ‍විවාහක අය අතර විවිධ රටවල පුරවැසිකම තිබීම. අනික මෙතෙක් දවසක් ලන්ඩනයේ දික්කසාදය ලබාගන්නා කෙනෙකුගේ දුප්පත් සහකරුවාට වාසි වෙන අන්දමින් නීතිය ක්‍රියාත්මක වීම. මේ තත්වය අද ලන්ඩනයේ සුපිරි උසාවියේ අහන නඩුවකින් වෙනස් වන්නේ දැයි ලෝකයා බලා සිටිති.

කටිරින් රැඩ්මාකර් ජර්මනියේ පරම්පරාගත ධන උරුමක්කාරියකි. ඇය විවාහ වූයේ ප්‍රංශයේ ආයෝජන බැංකු රැකියාවක් කළ නිකලස් ග්‍රැනටීනෝ සමඟය. දෙදෙනාගේ විවාහයට පෙර ඔහු අත්සන් කරන ලද පූර්ව එකඟතාවයට අනුව දික්කසාදයේ දී ඇයගේ ධනයෙන් සතයක් හෝ ඉල්ලන්නේ නැතැයි ඔහු පොරොන්දු වූයේය. 2007 දී ඔවුන් දික්කසාද වූ කළ ලන්ඩන් උසාවිය ඔහුට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.9 ක වන්දියක් ගෙවීමට නියම කළහ. කටිරින් එයට පූර්ව එකඟතා ගිවිසුම පෙන්වා අභියෝගයක් ඉදිරිපත් කළ පසුව උසාවිය එය මිලියනයක් බවට අඩු කරන ලදි. එහෙත් මේ අඩු කිරීමට අභියෝග කරන නිකලස් කියන්නේ ඔහු කටිරින් කොතරම් ධනවත් යයි ගිවිසුමට අත්සන් තබද්දී දැන නොසිටි බවයි. ඇය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 54 ක වත්කමකින් යුක්තය. ඊටත් වඩා විශාල ධනයකට ද උරුම කියයි. තමාට නිසි නිතිමය උපදෙස් නොතිබුණු නිසා පූර්ව එකඟතාවයට අත්සන් තැබුවා යයි කියන නිකලස් සුපිරි උසාවියේ විනිශ්චය එනතෙක් බලා සිටියි.

නොයෙක් රටවල ඇති විවාහ නිති හා දික්කසාද නිති ගැන මෙන්ම අද ලෝකයේ විවාහයට පෙර අත්සන් කරන එකඟතා නීති ද පුද්ගල හැසිරීම වෙනස් කරන්නට සමත් වෙයි. නොබෝදා හොඳම නිළිය සම්මානය දිනාගත් සැන්ඩ්‍රා බුලොක්ගේ සැමියා ජෙසී ජේම්ස් ද අද අනාචාරයේ හැසිරීමේ වරදට ගොදුරු වී ඇරිසෝනාවේ මානසික ප්‍රතිකාර ගන්නේ දික්කසාද නඩුවට මුහුණ දෙන්නට කරන සූදානමක් ලෙසය. ටයිගර් වුඩ්ස් ද අනාචාරයට මානසික ප්‍රතිකාර ලබයි. ඔහු ලෝකයේ වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකය‍ාය.

සවුත්පාර්ක් නම් කාටූන් චිත්‍ර යොදා නිපදවන රූපවාහිනී වැඩසටහනකි. එය ළමා චරිත යොදා නිම වුන ද වැඩිහිටි ප්‍රෙක්ෂකයෝ වෙත පිරිනැමෙන්නකි. ටයිගර්ගේ අනාචාර සිද්ධිය පිළිබඳ රූපවාහිනී වැඩසටහනක් නිෂ්පාදනය කිරීම නිසා සවුත්පාර්ක් අයව විඩියෝ ගේම් කොම්පැණියක් උසාවියට ගෙනි යන්නට ද සූදානමක් ඇත.

මෙම වැඩසටහනේ ටයිගර්ගේ බිරිඳ ඔහුට එළව එළවා පහර දෙන විඩියෝ ගේම් එකක සවුත්පාර්ක් හි ළමා චරිත ක්‍රීඩා කරති. එය නරඹද්දී ඔවුන් වැඩසටහන කොතරම් තාත්වික ලෙසින් නිෂ්පාදනය කර ඇත්දැයි වැටහුනේ බිරිඳගේ මුවින් පිට වූ වදන් ස්විඩිශ් හුරුවට උච්චාරණය වෙනවා ඇසෙද්දීය. අපි හැමෝම දන්නා ඉංග්‍රීසි අකුරු හතරේ කුණුහරුපය 1960 ගණන් වෙනතෙක් මුද්‍රිත මාධ්‍යයන්හි පවා පළ නොවුණි. මේ වදන බ්‍රිතාන්‍යයෙන් ආවා යයි බොහෝ දෙනෙක් වැරදියට සිතන බව Worl‍d WideWords වෙබ් අඩවියේ වදන්වල සුල මුල ලියන Michael Quinion කියන්නේ එය ජර්මානු වචනයක් යයි කියාය. මධ්‍යතනික ඕලන්ද fokken, නොර්වේජියන් fukka, ස්විඩීශ් focka ද යන්නෙන් හැඳින්වෙන්නේ එයයි. එහි මූලාරම්භය 1500 ගණන්වල කවියක සටහන් බව ‍මේ ජනවහරේ සුල මුල සටහන් කරන වෙබ් අඩවිය කියයි.

සිංහල ජනවහරේ ද එන අපූරු වදන් බොහොමයකි. ඒවායෙහි ආරම්භය ගැන සුල මුල දන්නා අය අන්තර්ජාල පිටුවක් පටන් ගන්නේ නම් අගනාය. මුද්‍රිත තොරතුරු සොයා ගන්නට කදිම ස්ථානයකි ජාතික ලේඛනාගාරය. අතීතයක දී එහි රස්තියාදු වීම මගේ විනෝදාංශයක් විය. කවුරුත් කියන්න පිළිනොගෙන යමක් එසේ සටහන් වී ඇත්දැයි සොයා බලන්නට කදිම තැනකි. අභාග්‍යය අද එහි අන්තර්ජාල වෙබ් අඩවියේ සිංහ‍ෙලන් කිසිවක් නොවීමය. ජාතික රාජ්‍ය ලේඛනාගාර දෙපාර්තෙම්න්තුවේ පරණ පොත්පත් අස්සේ සැඟවී සිටින හෙළ ජනව‍හරේ එන කියුම්වල මුල් සටහන් සොයා වාර්තාගත කරන්නටත් පුවත්පත් කලාව වෘත්තියක් කරගත් අයෙක් ඉදිරිපත් වෙන්නට යම් පදනමකින් මුදල් වෙන් කරන තෙක් බලා සිටිනවා ද? වික්ටර් අයිවන්ගෙ ලිපියක මාධ්‍ය නිදහස ගැන සොයා බලන සංවිධානත් කොතරම් මුදලට යටවෙලා ද යන්න විචාරයක්. බලාගෙන යද්දි සල්ලි නැත්තම් වැඩත් නෑ.

සවුත්පාර්ක් වැඩසටහනේ ටයිගර් යන මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි අනිකුත් සුප්‍රසිද්ධ කාටූන් චරිත අතර බිල් ක්ලින්ටන් ද සිටියි. මෙසේ අනාචාරයේ යෙදී හසුවන මුදල් ඇති ධනවත් සුපිරි තරුවලට අනාචාරය නව මානසික රෝගයක් සේ හැඳින්වීමට යෑම සමාජයේ ඉන්නා මානසික රෝගීන්ටත් කරන නිග්‍රහයක් ද? සවුත්පාර්ක් වැඩසටහනේ අනාචාරය මානසික රෝගයක් යයි කියා විහිළුවට ලක් කිරිම එයාලටම ආවේනික වෙන විදියට කෙරෙනවා. එහි ඉන්න කාන්තා කාටූන් සියල්ලම වචනයක් වත් නොකියන ආකාරය විශේෂයි. මොකද මෙච්චර කාලයක් ලෝකයේ සිද්ධ වුනේ කාන්තාව (හිලරි ක්ලින්ටන් වුවත්) නිශ්ශබ්දව සිටීම.

ඉන්දියාවෙන් ඇමෙරිකාවට අධ්‍යාපනය සඳහා පැමිණ නතර වූ ඉන්දියානු දිනේෂ් ද’සූසා ඇමෙරිකාවේ පිළිගත් කතුවරයෙකි. ඔහු රොනල්ඩ් රේගන් ජනාධිපති සමයේ වයිට්හවුස් රැකියාවක් ලද්දේ පුරවැසිකම ලබන්නටත් පෙරය. දිනේෂ් සිය පොතක සටහන් කරන අන්දමට රොනල්ඩ් රේගන්ට අනුව සමාජය ශිෂ්ට සම්පන්න කරන්නේ කසාදය නොවේ. කාන්තාවය. ඒ පුරුෂයා ශිෂ්ට සම්පන්න කිරීමෙනි. කාන්තාව නොවන්නට පුරුෂයෝ තවමත් සත්ව හම් හැඳගෙන පොළු අරාගෙන කැළෑවේ සටන් කරමින් සිටිනු ඇතැයි රොනල්ඩ් රේගන් කියා ඇත.

මගේ “දුකින් තැවෙන සිතට සහනයක්” පොත කියවා එහි මගේ විද්‍යුත් ලිපිනයට විමසීමක් කරන ලංකාවේ කාන්තාවක් සිය පුරුෂයාගේ (ප්‍රසිද්ධ, උගත්, ධනවත්) නොමනා හැසිරීම නිසා තමා මෙතෙක් කාලයක් විඳ දරාගත් දුක ඉවසා ගත නොහැකි බැවින් සාදයක දී හමු වූ අබාධිත රණවිරුවෙකු හා පෙම් බඳින බව කියා සිටියාය. ඇය මගෙන් ඉල්ලා සිටියේ ඊට අනුමැතියකි. එය මානසික සුවය මුල් කරගත් ආයාචනයකි. නමුත් එවැනි අයථා සම්බන්ධයකින් මානසික සුවයක් ලබා නොදෙයි. ඒ විසඳුම සදාචාරාත්මකව හෝ ම‍ානසික සුවය සඳහා අනුමත කළ නොහැකිය.

ආචාර ධර්ම හා රටේ නීති නොදන්නා අයෙකුට එය තේරුම් කර දීම ඉතා දුෂ්කරය. එසේම දරුවන්ට රටේ නීති වරදට පෙළඹෙන්නට පෙර කියා දෙන්නට ඇත්තේ ආගමික සංස්ථා පමණක් ද? ආචාර ධර්මයන් ද ආගමික සංස්ථා වලින් හැරෙන්නට ඉගෙන ගත හැක්කේ විශ්ව විද්‍යාලයක දර්ශනය හදාරන අයට පමණ ද? සමාජයේ පිළිගත් වරදෙහි නියැළීම වරදක් ලෙසින් නොදකින කල තමනුත් එයම කිරීම වරදක් යයි දකින්නේ කෙසේද? වරද කිම දැයි දන්නා විට වරදේ බැ‍ඳෙනු ඇත් ද?

දුශ්ශීල පුද්ගලයන්ට අනුග්‍රහය දක්වනවා වෙනුවට ඔවුන් ප්‍රතික්ෂේප කරන යුගයක ඔවුන් වඳ වී යනු ඇත. ඊට ගල් මුල් ගැහීම හෝ කඩා පනින හමුදාවක් අවශ්‍ය නැත. සමාජයේ වාසය කරන අපි විසින්ම දන්න හඳුනන එවැන්නෙක්ගේ හැසිරීම අගය නොකරන බව පෙන්වීම පමණක් පටන් ගැනීමක් වෙයි.

දැන් දික්කසාද නඩු වලින් වන්දි මුදල් ලබා ගන්න හැකි නිසා ද, නැතහොත් දික්කසාදය සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වන නිසා ද, නැතහොත් කාන්තාවට සමාජයේ තනිවම ජීවත්වන්නට හැකි නිසා ද පුරුෂයා විසින් අනාචාරයේ යෙදීම තව දුරටත් ඉවසා සිටීම නතර වෙන සේයාවක් ඇත් ද?

ලංකාවේ අපි දන්නා කියන හැටියට අතීතයේ පටන් වෙන මොන මොන වැරදිවලට දඬුවම් දුන්නත් සල්ලි ඇති නැති ජනප්‍රිය අය අනාචාරයේ හැසිරීම වැඩි වැරැද්දක් ලෙස සලකන්නෙ නැහැ. අනාචාරය මානසික රෝගයක් යයි කියා ලේබල් අලවන්න ඉක්මන් නොවී සමාජයේ නිසි හැදියාව ඇති පුද්ගලයින්ට වඩා ඉහළින් සලකන්නට පටන් ගන්නවා නම් මොකද? එවිට සල්ලි වියදම් කරල නිති වලින් ගැලවෙන්න හැකියාව තිබුණත් සමාජයේ අපහාසයෙන් ගැලවීම අපහසු වෙයි ද? පාලකයෝ කරන වැරදි පාලකයෝ වසන් කරගෙන සිටි කාලය හමාරය. කියූ කෙරූ වැරදිවල විස්තර කළ එළියට එන සමයක දුශ්ශීල පුද්ගල ආධිපත්‍යය ද ගිලිහී යන කාලයක් උදා වී ඇත් ද?

11 Responses

Subscribe to comments with RSS.

  1. නදී said, on අප්‍රේල් 2, 2010 at 12:31 ප.ව.

    අනාචාරයේ හැසිරීම මානසික රෝගයක් ලෙස අර්ථදැක්වීමට නොහැකිය යන්න මගේ මතයයි. එය මානසික රෝගයක් නොව මනස පාලනය කරගත නොහැකිකමයි.

  2. 123 said, on අප්‍රේල් 2, 2010 at 2:29 ප.ව.

    I think its always with our genes (ya selfish genes) , sole purpose of an animal/ or any other life form is to reproduce, some times with the cost of its own life. only thing we can do is alleviate the situation, may be by love ? but it is a short time remedy some times as love is also an evolutionary mechanism to protect the offspring. with more power (more success ) more need to deliver those successful genes to more and more offspring. what do you think?

    • arunishapiro said, on අප්‍රේල් 2, 2010 at 8:03 ප.ව.

      123,
      RE: “with more power (more success ) more need to deliver those successful genes to more and more offspring.”

      Discussion is not about what “you” think or what “I” think. Are are there any scientific (if what you say is science) evidence to support what you think? If yes, please share. If not, please find a new thinking style.

      • 123 said, on අප්‍රේල් 3, 2010 at 5:18 පෙ.ව.

        Sorry that im writing in English, that s not because of my English is any good but im too lazy to type sinhala.
        Ok back to the argument , yes its not what you or me thinking its all about what our body thinking.
        I wrote this because you are mentioning something like this”මෙසේ අනාචාරයේ යෙදී හසුවන මුදල් ඇති ධනවත් සුපිරි තරුවලට අනාචාරය නව මානසික රෝගයක් සේ හැඳින්වීමට යෑම සමාජයේ ඉන්නා මානසික රෝගීන්ටත් කරන නිග්‍රහයක් ද?”
        my argument is “we, and all other animals, are machines created by our genes” you better read The Selfish Gene (by:Professor Richard Dawkins ). These are his words “Of course in many species the father does work hard and faithfully at looking after the young. But even so, we must expect that there will normally be some evolutionary pressure on males to invest a little bit less in each child, and to try to have more children by different wives.”
        so what im arguing is that all the rules and ethics are artifacts but naturally man are like that, so if you think they break those artifacts because they are crazy or something like that- that’s not true.

        so you need the evidence, this is an actual research “The researchers discovered that while more men than women are squeezed out of the gene pool, Y chromosome variations indicate that those men whose genes survived tended to travel and to have multiple female partners.

        The researchers will publish their work in the October issue of the journal Nature Genetics and in an upcoming issue of the journal Molecular Biology and Evolution.

        “We may think of ourselves as a monogamous species, but we’re coming from an evolutionary history that’s probably slightly polygamous,” said researcher Associate Professor Michael Hammer.”

        “Co-author and postdoctoral fellow Dr Jason Wilder, added: “The modern version that we generally don’t find offensive is that men tend to remarry and have more children much more often than women do.”

        refer (http://www.abc.net.au/science/news/stories/s1204826.htm)

        • arunishapiro said, on අප්‍රේල් 3, 2010 at 7:58 ප.ව.

          123,
          මුලින්ම, ඔයා ඉදිරිපත් කරන කරුණු මා අහපු ප්‍රශ්නයට පිළිතුරු නෙමේ. මම ඇහුවේ වඩාත් සල්ලි තිබීම හා ජනප්‍රියත්වය යන්න සාර්ථක ජානු පැතිරවීමට පොළඹවන බව ඔප්පු කරපු පර්යේෂණයක් ඇත්ද යන්නයි. ඔයා පෙන්වන්නේ පුරුෂයා යනු ස්වභාවයෙන්ම වර්ගයා බෝ කරන්න තැත් දරන සත්වයෙක් යයි කතාබහේ ඇති මත. ඒ මතය හා ආරවුලක් නෑ. මිනිස් පුරුෂයා පමණක් නොව ලෝකයේ ජීවීන් බොහොමයක ස්වභාවය එයයි. මිනිසා අනිකුත් ජීවීන් ගෙන් වෙනස් වන්නේ ඒ ස්වභාවය පාලනය කරගෙන සිටීම නිසයි.

          බලය (එය සාර්ථකත්වය යැයි සිතා) යන්න ඇති බව පමණකින් ජානු හැම තැනම පතුරවන්න ස්වභාවයෙන්ම තැත් කිරීම අතීතයේ පටන් පැවතියක්. ශක්තිමතා දුර්වලයාව යටත් කරගෙන මුදල් හා දේපල කොල්ල කා, එයින් තවත් බලය අත්පත් කරගෙන වර්ගයා බෝ කිරීමට ස්ත්‍රීන් දූෂණය කර තමන්ට කැමති ලෙසකින් හැසිරීම එයින් අනුමත වෙනවා. අතීතයේ (ලෝකය ශිෂ්ටාචාර වන්නට පෙර පැවතුනේ එවැනි සමාජ) මෙන්ම අද අප්‍රිකාවේ සමහර රටවලත් මෙය පැවතෙන තත්වයක්. මම හිතනවා එය ඔබ ස්වභාවයෙන්ම මිනිසා තුල ඇති ජානුගත ස්වභාවයක් සේ පිළිගත්ත ද එය සාර්ථක ජානුවල තත්වයක් සේ පිළිගනු නොමැත කියා. මන්ද අද ලෝකයේ බොහෝ ශිෂ්ට රටවල පුරුෂයන් (සාර්ථකත්වය ලබාගත් අය) වැඩි දෙනෙක් සිය ජානුගත වර්ගයා බෝ කිරීමේ ස්වභාවික උවමනාව පාලනය කරගෙන ශිෂ්ට සම්පන්න ජීවිතයන්හි නියැළීම. ලෝක‍ෙය් වැඩියෙන් උගත්, වැඩියෙන් ධනය ඇති අය දිහා බැලුවම ඒ අය බෝ කරන දරු සංඛ්‍යාව අඩුයි. දුප්පත් වගේම නූගත් අය බෝ කරන දරු සංඛ්‍යාව වැඩියි. එහෙම බැලුවම ලෝකයේ වැඩියෙන් පැතිර යන්නේ සාර්ථක ජානු නොව අසාර්ථක ජානු ද?

          ඊ ළඟට අනාචාරයේ යෙදී හසුවන ධනවත් සුපිරි තරුවලට අනාචාරය මානසික රෝගයක් නම් ධනවත් අයගේ සල්ලි රාජ සන්තක කරලා, සුපිරි ජනප්‍රියත්වය නැති කිරීම මඟින් ඔවුන්ගේ අනාචාර මානසික රෝගය සුවවේද?

          අවසන් වශයෙන් අද කාන්තාවන් විසින් ගෘහමූලිකත්වය ගෙන පවුල් රකිනු හැකි යුගයක කාන්තාව පුරුෂයන් මෙන් තමන්ගේ ජානු පතුරවන්න තව තවත් වැඩියෙන් දරුවන් හදන්න පෙළඹෙයි ද? මොකද දරුවා කියන්නෙ පිතෘ දායාදය පමණක් නොව මාතෘ දායාදය ද සමඟින් බිහිවෙන ජීවියෙක් නිසා. අද සමහර අය සිදු කරන පුරුෂ ශුක්‍රාණු බැංකුවකින් ලබාගෙන තමන්ගේ දරුවෙක් හදාගන්න කාන්තාවන්ට පුරුෂයකු හා සංසර්ගය අවශ්‍ය නැති වෙනවා. අනේ එතකොට අර ස්වභාවයෙන්ම වර්ගයා බෝ කරන්න හදන පුරුෂයින්ට යන්න වෙන්නෙ ශුක්‍රාණු දන් දෙන්න බැංකු වලට විතරයිනෙ.

  3. Roshan Herath said, on අප්‍රේල් 2, 2010 at 6:17 ප.ව.

    “අපි මූලාශ්‍ර ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන ගතිය මෙහිදී කැපී පෙනුන. කොහෙන් එන චාරිත්‍ර ද කියල අපි පිළිගන්නේ අපේ පන්සලේ අපේ හාමුදුරුවෝ හරි අපේ මතය දරන විද්වතා හරි කියන පමණින් නිසා සුල මුල හොයන්න අමාරුයි.”

    ඒක නම් ඇත්ත තමයි. අපේ අයගෙන් , “ඇයි ඒක එහෙම වෙන්නෙ?” කියලා ඇහුවම ලැබෙන උත්තරේ බොහෝවිට “ඒක එහෙම තමයි” කියන එකයි..

    • V said, on අප්‍රේල් 2, 2010 at 10:34 ප.ව.

      ඇත්ත ඉකොලෙදි අපේ අතර තිබ්බේ අංක එක වුනේ ඇයි කියන වචනයනේ.

      හැමදාම පිලිතුරවුනේ එක එහෙම තමා. උසස් පෙල කරද්දී තමා ටිකක් හරි දේවල් තෙරුම් ගත්තේ.

  4. Kathandara Karaya said, on අප්‍රේල් 2, 2010 at 8:47 ප.ව.

    මේ ලිපියේ මා කැමතිම කොටස සහ අති උත්ප්‍රාසය දනවන ironic දෙය නම් ඔබ වචන හතරේ ඉංග්‍රීසි වචනය නොලියා, එහි මූලාශ්‍ර සහ වෙනත් වර නැගීම් වන ඕලන්ද, නොවේජීයන් සහ ස්වෙඩිශ් වචන කෙලින්ම ලිවීමයි.

    ඔබ මේ අකුරු හතරේ ඉංගීරිසි වචනය හෝ එහි අකුරු (ඇත්තටම කීයක්ද? 4, 5?) ගණනේ සිංහල වචනය මෙහි ලිව්වා නම් නීති කැඩිමක් වෙනවා ඇත.

    අපේ සදාචාරය මුලින් සිංහල වලට සහ ඊ ලඟට අප දන්නා ඉංගිරිසියට විතරද යන ප්‍රශ්ණය මෙයින් පැණ නගී.

    අපූරුයි නේද?

    කතන්දරකාරයා

    • arunishapiro said, on අප්‍රේල් 6, 2010 at 10:55 පෙ.ව.

      කතන්දර, පොත හොයාගෙන පුස්තකාලයට යන්න වුන නිසා මේ පිළිතුර ප්‍රමාද වුනේ. A Clockwork Orange (1962) නවකතාව ඉංග්‍රීසියෙන් ලියූ Anthony Burgess කතානායකයාගේ අමන ක්‍රියා විස්තර කරන්නේ ඉංග්‍රීසි භාෂාවත් ව්‍යවහාරයේ පවතින (slang) හා මිශ්‍ර වෙන Slavic මුලාරම්භය ඇති වචන වලිනි. සමහර විට ඒක ගැන මතකයක් කොහේ හරි තිබිච්ච නිසා ද දන්නෑ මමත් එහෙම සිංහලෙන් නොලියා අනිත් භාෂාවලින් ලියන්න ඇත්තෙ!

  5. Grey said, on අප්‍රේල් 6, 2010 at 9:05 පෙ.ව.

    haha…Kathandara is spot on.
    According to wiki (http://en.wikipedia.org/wiki/Fuck) this seems to be have origins from Americal civil war times. (the modern use)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: