නිදහස් කුරුල්ලෝ
මා වාසය කරන නිවස පිහිටා ඇත්තේ අත්ලාන්තික් මුහුදට යාබද ගොඩ දැමූ වගුරු බිමකය. නිවස පිටුපස්සෙන් පොකුණක් ද ඊට ගලා යන වතුර පාරක් ද ඇත. අසල්වැසි නිවෙස් හා එකතුව ගෙවල් වටා දිවෙන හැතැප්ම 5 ක් පමණ දිගු අඩිපාරකි. දිනපතා කිහිප වතාවක් මගේ බැල්ලිය හා ඇවිදින්නට යන මා දකින නිදහසේ පියාඹන කුරුල්ලෝ මහත් සංඛ්‍යාවකි. ඉඳහිට උදෑසනක නරියෙක් හෝ සවස් යාමයක මුව රැළක් ද දකිනු හැකිය. කුඩා කුරුළු රෑන්වලට අමතරව කැනඩා පාත්තයෝ, තාරාවෝ සහ නිල් කොක්කු ද නිතර දකින්නට ලැබේ. උදෑසනම යනවිට එකතැනකම සිට මාළු බාන නිල් කොකෙක් මුල් දිනවල දුටු විගස පියාඹා ගිය ද දැන් දැන් බැල්ලියත් මමත් අඩිපාරේ නික්ම යනතුරු ඌ වතුරේ පැත්තකට වි බලා සිටියි.
ඇමෙරිකාවේ නිදහස් කුරුල්ලෝ නරඹන විනෝදාංශය ඉතා ජනප්‍රියයි. කුරුළු නැරඹීම නොහොත් කුරුල්ලන් නරඹන්නට චාරිකා යෑම සංචාරක කර්මාන්තයට මුදල් උපයන්නකි. තනිවම නොව කණ්ඩායම් වශයෙන් එකතු වී ඈත පළාත් වලට හා පිටරටවලට යන කුරුළු නරඹන සංචාරකයෝ තමන්ගේ සටහන් පොත්වල තමන් දුටු කුරුළු විස්තර සටහන් තබති. කුරුල්ලන් ගැන සාකච්ඡා පවත්වති. කුරුල්ලන් සුරැකීමට අත දීමත්, වඳ වී යන කුරුළු වර්ග නැවත වැඩි කරන්නටත්, උන්ගේ පැවත්මට පරිසරය ආරක්ෂා කිරීමටත් මුදල් පරිත්‍යාග කිරීම කුරුළු නරඹන්නෝ සිදු කරති.
අතීතයක දී පක්ෂීන්ට කැමැත්ත ඇත්තෝ ඔවුන් කූඩුකර ගත්හ. ඔවුනට සිංදු කියන්නට කියා දුන්හ. “රන් කූඩුවේ දමලා…ඇති කරන්න ගත්ත මාල ගිරවී..” යයි එසේ කූඩු කරගන්නා කිරිල්ලී ගැන ද(?) ගීත ගැයූහ. කුරුල්ලන් වෙනුවෙන් ඉදි වූ කුරුළු උයන් ද ඇත. අද මිනිසා විනෝදාංශයට නිදහසේ උන්ගේම වාසභූමියේ වසනා කුරුල්ලන් නරඹන්නට උන් සොයා යති.
සරත් කොටගම මහතාගේ නවතම කුරුළු ග්‍රන්ථය -Illustrated Guide to the Birds of Sri Lanka අප්‍රේල් 5 වැනිදා එළි දැක්වේ. ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයේ නිව් බයොලොජි ලෙක්චර් තියටරයයි. (සිංහලෙන් කොහොම ද කියන්නේ?) වෙලාව සවස 5 ට. සියල්ලටන්ම ආරාධනා. පොතේ මිල රුපියල් 2000කි. එදින එය අඩු මිලට පොත මිල දී ගත හැකිය. පොත මිල දී නොගත්තත් එය දැක බලාගෙන රසවත් කුරුළු කතා සහ කුරුළු පින්තූර දැකීමට ද හැකිවනු නිසැකය. පොතේ කුරුළු විස්තර සරත් කොටගම මහතා ගෙනි. පින්තූර ගාමිණී රත්නවීර ගෙනි. සරත් කොටගම මහතා ලාංකික සමාජයේ සම්පතකි. ඔහු ඉතා නිහතමානී අයෙකි. ලංකාවේ කුරුල්ලන් ගැන සිංහලෙන් බ්ලොග් ලියන්න කැමති අයෙකුට ඔහු හා හමුව කතා බහ කර ඒ සඳහා ද දැනුමක් ලබාගන්නට ද කදිම අවස්ථාවකි.
කාලීනව ඉදිරිපත් කරන මෙම පොත නිදහස් කුරුල්ලන් නරඹන්නට ලංකාවට එන සංචාරකයන්ට වැදගත් වන්නා සේම ලංකාවේ කුරුළු නරඹන විනෝදාංශිකයන්ටත් අත්පොතක් වනු ඇත. එසේම ලාංකික ඉතිහාසයටත් කුරුළු වාර්තාවක් එක් කරයි. නිදහස් කුරුල්ලෝ නරඹන සංචාරක ව්‍යාපාරයන් නිදහස් ලංකාව තුල තවත් වැඩි වී ඒ බව අන්තර්ජාලයෙන් දැනගන්නා ලෝකයේ කුරුළු නරඹන්නෝ ඉක්මණින්ම ලංකාවට ගුවන් යානා වලින් පියාඹා එනු ඇත. ඉන් රටට මුදල් සහ කුරුළු සංචිතය වර්ධනය කිරීමට ද හැකිවනු නිසැකය.
කුරුල්ලෙක් සේ නිදහස් යයි කියමනක වූවත් කුරුල්ලා නිදහස් නැත. සෑම කුරුල්ලෙක්ම යම් පරිසරයකට සීමා වී ජීවත් වෙයි. නිදහසේ පියාඹන්නේ ඒ සීමා වූ පරිසරයේ පමණි.
මගේ නිවස අසල වසනා නිල් කොකාට මාව පුරුදු නිසා ඉගිළී නොයනවා ද? එතැන හැමදාම උදයේ ඉන්නේ එකම කොකා ද? දැන් පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන නිසා කොකා ඉගිළී නොයයි ද? නැත්නම් කොකාටත් මටත් “කොකා” පෙන්වන්නේ හැමදාම උදයේ එකම වෙලාවට අවදි වී ඇවිදින්නට යන්න ඉල්ලන මගේ බැල්ලිය ද?!!!
ලෙක්චර් තියටරය = දේශන ශාලාව හොඳ නැද්ද? 🙂
ඉන්දරේ, Cinema Theatre -සිනමා ශාලාව, Operation Theatre -ශෛල්‍යකර්ම කාමරය, Tower Hall Theatre -ටවර් හෝල් රඟහල? ඔව්, නව ජීවවිද්‍යා දේශන ශාලාව හරි යයි සිතුවත් එහෙම නොලිව්වෙ කොළඹ විශ්ව විද්‍යාලයේ අය එතැන කොහොම හඳුන්වනවා ද නිවැරදිව නොදන්න නිසා. කතා කරලා අහන්න පුළුවන් කොළඹ විශ්ව විද්‍යාලයේ අය නිවාඩුනේ මේ දිනවල. අනික ඇයි නව ජීවවිද්‍යා? පැරණි ජීවවිද්‍යාව උගන්වන දේශන ශාලාවකුත් තියෙනවා ද?!!! නැත්නම් මේ ජීවවිද්‍යා දේශන ශාලා අතර ඇති නවතම ගොඩනැඟිල්ල ද?
හිහී…
මං හිතන්නෙ “නව, ජීවවිද්‍යා දේශනශාලාව” වෙන්න ඇති නේද?
ඉන්දරේ, අද දැනගත්තා සිංහල නම. නව ජීව විද්‍යාගාරය. නමුත් කවුරුත් සිංහලෙන් නම කියන්නෙ නැතිලු. ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ New Arts Theatre එකට කියන්නේ නව කලාගාරය කියලයි!!!
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: නිදහස් කුරුල්ලෝ http://bit.ly/cobJre […]
සරත් කොටගම මහතා කුරුලු පින්තූර අඳින්නන් දක්ෂයි නේද?
ඔබගේ බැල්ලිය කොකා පෙන්නීම කෙසේ වෙතත් කොකා බලන්න යන්න නම් කැමති හැඩයි!
}:-)
මමත් යන්න හිතාගෙන ඉන්නෙ. අපි අලුතින් සංචාරක සඟරාවක් පටන් ගන්න හිතන් ඉන්න නිසා අපට ගොඩක් වැදගත් වෙනවා.
තරිඳු, හොඳ ළමයා වගේ විස්තරයක් දාන්නකො අපටත් දැනගන්න ගිහින් ආවාම.
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/