කෙටි කාලීන ජීවිතයක් වෙයිද මන්දා
මගේ ජීවිතේ නෙමෙයි මේ බ්ලොග් සටහන්වල ජීවිතය කෙටි වෙයිද කියලයි ගැටළුව.
නොබෝදා නිව් යෝර්ක් නගරයේ ලෝක දානපතියෝ රැස්වුනහ. ඒ අන්තර්ජාතික රථවාහන ප්‍රදර්ශනය නරඹන්නට නොව හයිතියට දෙන ආධාර ගැන කතාබහටය. උඩ පැන පැන එකිනෙකාට ඉහළින් හයිතියට “අපි මෙච්චර දුන්නා” යයි කියා ගන්නට ඔව්හු තැත දැරූහ. හයිතියේ රෙදිපිළි කර්මාන්ත ඇමති ශාලාවේ අන්තිම කෙළවරේ පුටුවකට බර දී ලෝක දානපතියන් පොරොන්දු වෙන මුදල් සංඛ්‍යාව මෙපමණ යයි එකතු කළේය. අවසානයේ ලැබෙන්නට නියමිත මුදල් බිලියන පහකට වැඩි බව ඔහුගේ ගණන් එකතුවේ පෙනී ගියේය. පොරොන්දු වූ අනතුරුව ලෝක දානපතියෝ සභා ගර්භයෙන් එළියට අවුත් රැස්ව සිටින වාර්තාකරුවන්ට ද කෙටි කතාවන් පැවැත්වූහ.
ඇමෙරිකානුවන් හයිතියේ දූර්භාග්‍ය සඳහා දැනටමත් ඇමෙරිකන් ඩොලර් මිලියන 800.9 (රජයේ නොවන පුද්ගලික දානපතියන් විසින් -මතක ද කිව්වා ෆුට්බෝල් බලද්දී දුරකතනයෙන්ම මුදල් පරිත්‍යාග කරන්න දැන්වීම් දාපු හැටි ගැන) පරිත්‍යාග කර ඇත. මෙයින් මිලියන 588 ක් තවමත් දුර්භාග්‍යයෙන් අවතැන් වූවන් වෙනුවෙන් පිළිසරණ පිණිස භාවිතා කර නැත. අවතැන් වූවන් දුක්ඛිත තත්වයක පසුවන නිසාම මුදල් ඉක්මණින් බෙදා දී සහනය ළඟා කරනු නොහැකිය. නිකම් ලැබෙන මුදල් ලබාගන්නා අය එය පරිහරණය කර අවසන් කරනු ඇත. ඉන්පසු මෙතෙක් කාලයක් දුප්පත්ව සිටියා සේ නැවතත් දුප්පතුන් පිරි හයිතියක ඔවුන් ජීවත් වෙනු ඇත. අවතැන්ව සිටින්නන්ට ආධාර ලබාදිය යුතුය. එය ඉක්මණින්ම ලබා දීමත් වැදගත්ය. එහෙත් නිරීක්ෂකයන්ගේ සිත සනසනවාට වඩා අවතැන් වූවන්ට සෙත සැලසෙන ආකාරයෙන් එය සිදු කිරීම වැදගත්ය.
නිතරම දුප්පත් රටවල් සඳහා ලෝක දානපතියන් ආධාර දෙනවිට ඒ හා සමඟින් කරනා දෝෂාරෝපණය දුප්පත් රටවල් නිසි විනිවිදභාවයෙන් මුදල් පරිහරණය කරන්නේ නැත කියාය. තමා විනිවිදභාවයෙන් කටයුතු කරන්නේ යයි හයිතියේ අගමැති ජෝන්-මැක්ස් බෙලරීවි කියා සිටියි.
අතීතයේ දවසක ස්වේච්ජා සේවය සඳහා තම විද්‍යාත්මක දැනුම ලබා දෙන්නට කෙටි කාලයකට හයිතියට ගිය මගේ සැමියා වරායේ බාන එක්සත් ජාතීන්ගේ ආධාර පෙට්ටි එතැනදීම විකුණන ආකාරය සියැසින් දුටුවෙකි. මෙහිදී එහි වරද රජයට ද නැතිනම් එතැන බඩු ඔසවන අයගේ ද යන්න නිශ්චිතවම කිව නොහැක. රටක ඔඩු දුවා ඇති දූෂිත භාවයක් පැවති කළ වංචා සිද්ධ වන්නේ හැම තැනකමය. හැම මට්ටමකින්මය.
අද දිනයේ ලංකාවේ වරායේ නිසිබලධාරීන් “ද ඉකොනොමිස්ට්” සඟරාවේ අප්‍රෙල් 3 දා කලාපය විකිණීමට අවහිර කරති. ඊට හේතුව එහි පළවී ඇති “ලංකාවේ ආධාර ආරවුල්, අසම්පූර්ණ සාමය” -Aid rows in Sri Lanka, Imperfect Peace නැමති ලිපියකි. මා ඒ ලිපිය මෙහි සාකච්ඡාවට ලක් කරමි. කෙටි කාලීන ජිවිතයක් වෙයි ද මන්දා යයි කියුවේ මින් කිසි බලපෑමක් වෙයිදැයි නොදන්නා නිසාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ ආයතන එකතු කර ලංකාවේ උතුරේ අවතැන් වූවන්ට බෙදා හරින ආධාර මාර්තු 25 වැනිදා වෙනවිට පොරොන්දු වී ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 15 කි. ඒ අනාථ කඳවුරුවල ඉන්නා අයට හා සරණාගතයන් නැවත පදිංච් කරවන්නට අවශ්‍ය මුදලෙන් සියයට හතරක් පමණි. UN’s Office for the Co-ordination of Humanitarian Affairs (OCHA) සංවිධානය මාස තුනක සහනාධාර ඔවුන්ගේ හදිසි ආධාර මුදල් වලින් ලබා දෙන්නට සූදානම් වෙති. ඒ මුදල සෑහෙන්නේ අනාථ කඳවුරු වල සිටින අයගේ වතුර, ආහාර හා හදිසි වාසස්ථාන සඳහා පමණකැයි ද සඟරාවේ කියැවේ.
මෙතෙක් කලක් ආධාර ලබාදීම පරීක්ෂාවට ලක්වූයේ OCHA අධීක්ෂණය යටතේ ස්ථාපනය කරනු ලැබූ Common Humanitarian Action Plan (CHAP) විසිනි. නමුත් මාර්තු මාසයේ දී ඔවුන් විසින් සොයා බලා මෙපමණක් යයි තීරණය කර “ඒකාබද්ධ ඉල්ලීමක්” වෙනුවට ජනාධිපතිගේ විශේෂ බලකායක් යටතේ බැසිල් රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ආධාර ලබාගන්නට ලංකා රජය ඉල්ලයි. එය ද කියන්නේ “ද ඉකොනොමිස්ට්” සඟරාවයි.
මේ මගෙන්. ලංකාවේ රජයක් පිටරටට අතපාන කාලය නතර කළ යුතු යයි කීවේ අද ඊයේ නොවේ. අප පිටරටින් එන ආධාර වලින් යැපෙන්නට හුරුවීම රටට සුදුසු නැතැයි හැම පණ්ඩිතයෙක්ම කියා ඇත. ඕනෑම අයෙකුගෙන් ආධාර ගන්නා විට ඒ ඒ අයට ඕනෑ ආකාරයට නටන්නට ද වුවමනාය. ආච්චී දෙන තෑග්ග වුවත් දෙන්නේ අඩුම ගානේ “පුතේ හොඳට පාඩම් කරහන්” කියාය. තෑග්ග දෙන්නේ ආදරේට නම් ඊට කොන්දේසියකුත් එකතු කිරීම නොමනාය. ඇත්ත, පාඩම් කිරීම තමාගේ දියුණුවට හේතුවෙයි. එහෙත් කිසිම කොන්දේසියක් නැතුව කෙරෙන පරිත්‍යාගයන් අපට ලැබෙන්නේ කොතරම් සුළුවෙන් ද කියා කල්පනා කර බලන්න.
මේ එම සඟරාවෙන්. පසුගිය සතියේ රජය විසින් තඩි ලිපිගොණුවක් ආධාර දෙන ආයතනයන්ට බෙදා දී ඇත. එහි ඇති කිසිවක් තමනට තේරුම් ගත නොහැකි යයි ඒ ආධාර ආයතන කන්කෙඳිරි ගානවාළු. අද දිනයේ හයිතියට මුදල් වෙන් කරන්නට පොරකන ලෝක දානපතියන් නිසා ලංකාවට එන ආධාර මේ ගැටළු මධ්‍යයේ අඩුවේ යයි අවදානමක් ඇති බව මේ ආධාර වෙන් කරන ආයතන කියති.
මේ මගෙන්. හයිතියේ දුර්භාග්‍යය නොවුනත් අද ලෝකයේ ආධාර ලබන ආයතන සියල්ලම ක්‍රමයෙන් ආධාර ලබන්නේ අඩුවෙනි. ලෝකයේ පවතින ආර්ථික බහින කලාව ඊට හේතුවකි. ආර්ථිකයන් නැවත ඉහළ යන කාල වකවාණුවක් නොදැන කිසිම රටක් පොරොන්දු වන මුදල්වත් ලබා දෙයිද යන්න සැකයකි. තත්වය එසේ හෙයින් ලංකාවට එන ආධාර කවුරු කෙසේ වියදම් කරනවා ද යන්න නිසි අධීක්ෂණයකට භාජනය විය යුතුමය. ඒ මුදල් ඩිංගෙන් ආධාර බෙදන්නට එන එක්සත් ජාතීන්ගේ අයම කොපමණ වැය කරනවා ද යන්නත් සොයා බැලීමකට ලක් කරන්නට හැකිවන්නේ සියල්ලම එකතැනකින් ලබාගෙන වැය කරන්නේ නම් පමණි. නැතහොත් ආයතන බොහොමයක් තමනට කැමති කැමති පරිද්දෙන් මුදල් පරිහරණය සිදු කරනු ඇත. දුප්පත් රටවල දේශපාලනඥයෝ දූෂණයේ යෙදීම මනාව පෙනුන ද පොහොසත් රටවල් ද දූෂණයේ යෙදෙන දේශපාලනඥයෝ නැතිවා නොවේ.
කෙසේ හෝ “ද ඉකොනොමිස්ට්” සඟරාව තහනමට ලක් කළේ එහි ඇති ලිපිය කාට දිරවන්නේ නැති නිසා ද යයි නොදනිමි. අනික එම සඟරාව මුදල් ගෙවා ලබාගන්නා අයට අන්තර්ජාලයෙන් එය කියැවීමට හැකියාව ඇත. ඉතින් වෙළඳපොලෙන් මිල දී ගෙන කියවිය නොහැක්ක අන්තර්ජාලයෙන් කියවිය හැකි බව වරාය බලධාරියෝ දන්නවා ද? එය අවශ්‍ය නම් PDF දමා විද්‍යුත් තැපෑලෙන් ලංකාවේ අයටත් එවන්නට හැකි යුගයක අපි සිටිමු. වාරණ පනවන්නට අද ලෝකයේ නොහැකිය.
මා දකිනා ආකාරයට එහි සටහන් කාරණා වලින් ලාංකික රජයට දොස් පැවරිය නොහැක. හයිතියේ වේවා ලංකාවේ වේවා අවතැන් වූවන්ගේ, සරණාගත කඳවුරු වල සිටින්නන්ගේ තත්වය ඉතා ඛේදජනකය. හයිතිය විනිවිදාත්මක ලෙසින් කටයුතු කරනවා යයි ලෝක දානපතියන් විශ්වාස කරන්නේ නම් (බිලියන පහක් පොරොන්දු වන්නට තරම්) ලංකාවට ද එසේ කළ හැකි බව විශ්වාස නොකරන්නේ මන්ද? කොන්දේසි විරහිත ආධාර නොලැබෙන කළ, ආධාර බෙදාහරින්නේ කෙසේද කියා ද තීරණය ගත් නොහැකි කළ, ආධාර අධීක්ෂණයටවත් කවුරු හරි වගකිවයුත්තෙක් සිටිය යුතුය. වගකිව යුත්තෝ බොහොමයකට වඩා එක වගකිවයුත්තෙක් මනාය. මන්ද එම තැනැත්තා හරියාකාරව කටයුත්ත ඉටු නොකළ හොත් පැහැදිලිව පෙනී යනු ඇත. වගකිවයුත්තා විසින් අන්තර්ජාලයේ වෙබි අඩවියකින් ලැබෙන මුදල් හා එය බෙදා දෙන ආකාරය විනිවිදාත්මකව මුළු ලෝකයටම පෙන්වා දෙන්නට හැකියාව ඇති ලෝකයක අපි ජීවත්වෙමු. හැමදාම මාළු නොදී මාළු බාන්නට කියා දෙන්න යයි මේ ආධාර දෙන ආයතනයන් ගෙන් ඉල්ලා සිටිය යුතුය.
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: කෙටි කාලීන ජීවිතයක් වෙයිද මන්දා http://bit.ly/af1aNx […]
ඉකොනොමිස්ට් වගේ සඟරාවක් තහනම් කරන එක නම් අමු ම මෝඩ කමක්. ඒක කියවන්න තරම් මොලේ තියන එකෙක් කොහොම හරි කියවනව නේ තහනම් කළොත්. මේ ආණ්ඩුවෙ ඔක්කොමත් හරි මෙන්න මේ වගේ ගොන් පාට් තමයි ඉවසන්න බැරි.
හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියනවා. ඔය පලවැනි ලෝකයේ සඟරා තුන්වැනි ලෝකය ගැන කියන කතා වල නිරවද්‍යතාව ගැන එච්චර කරදර වෙන්නෙ නැහැ නෙ. (ඉකොනොමිස්ට් එකේ ලිපිය බොරු නොවුනා වෙන්න පුලුවනි) මගෙ හිතේ මේක ප්‍රගතිශීලී ආණ්ඩු පෙරලීමේ අදිරාජ්‍යවාදී වුවමනාවකට වඩා “මෙන්න මේ වගේ ජරා රට වලුත් තියෙනවා, ඒවගෙ හැටියට අපේ රටවල් කොච්චර සිරාද” කියල පාඨකයො නලවල තියා ගන්න තියන වුවමනාව කියලයි. (විරෝධතා විකිනීම වෙනුවට මිනිස්සු චූන් එකේ ඉන්න තරමට බිස්නස් වලට වාසියි කියන එක දැන් දැන් ලංකාවෙ මීඩියා වලටත් තේරුම් යන්න පටන් අරන්.) ඒක නිසා වැරදි දෙයක් පළ වුනොත් නම් තද පියවරක් ගන්න එක මගේ හිතේ කමක් නැහැ.
ඊනියා මාද්‍ය නිදහසත් පරිස්සම් කරගෙන, සුද්දන්ට හරියට වදින තැනට ගැහුව ලී ක්වාන් යූ. ඒ කතාව මෙතන, ඔහුගෙ “From third world to first” කියන පොතෙන්.
ලංකාව පිට රටවල ආධාර බලාපොරොත්තු වීම නැවැත්විය යුතුය. එහි කතා දෙකක් නැත. නමුත්, අප කොතෙක් අකමැති වුනත් සමහර දේවල් අපට පිට රටවලින් ලබා ගැනීමට සිදුවේ. ඒ අපට අවශ්‍ය සමහර සම්පත් හා තාක්ෂණය අපට නැති බැවිනි. එබැවින් අප කළ යුත්තේ පිට රටවල මූල්‍ය ආධාර ඉල්ලීම පසෙක ලා අපට අවශ්‍ය බුද්ධිමය හා තාක්ෂණික ආධාර පමණක් ඉල්ලා සිටීමට හැකි තැනට රට පත් කිරීමය. එවිට අපට අධාර දෙන රටවල කොන්දේසි වලට පමණක් නොව, අපගේ මුදල් පරිහරණයේ ඇති විනිවිද භාවය පිළිබඳව ඇති චෝදනා වලටද එරෙහිව නැගී සිටීමට අපට හැකි වනු ඇත. කාලයාගේ ඇවෑමෙන් බුද්ධිමය හා තාක්ෂණික නිදහසද අප ඇතිකර ගත යුතුමය. අප රටට පූර්ණ නිදහසක් උදා කර ගත හැක්කේ එවිට පමණකි.
ද ඉකොනොමිස්ට් සඟරාව තහනම් කිරීමට ගෙන ඇති තීරණය ආණ්ඩුවට සම්බන්ධ, ඊට උපදෙස් දෙන කවුරු හෝ බක පණ්ඩිතයකුගේ වැඩකි. ලිඳේ ඉන්නා ගෙම්බන් වැනි මොවුන් ගනු ලබන මෙම තීරණ ලංකාවේ ස්වෛරී භාවයට අත පෙවීමට කෙල හලමින් බලා සිටින රිලවුන්ට පැනීමට තබන ඉනිමං වැනිය. ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ අතකොළු සංගමයේ කුමක් හෝ අටවාගත් සමුළුවකට මීලඟට ඉදිරිපත් කරන ලංකාවට එරෙහි යෝජනාවක හෝ චෝදනා පත්‍රයක එක් සාක්ෂියක් ලෙස ඉකොනොමිසට් සඟරාව තහනම් කිරීමත් දක්වා නොතිබුනේ නම් එය අරුමයකි.
ඔයා ලංකාවෙන් පිට ඉන්න නිසා තමයි එහොම කියන්නේ. මෙහේ හිටියා නම් මේ සටහන ලියන එකක් නැහැ. දෙවො වසසතු කාලෙන……රාජා භවතු ධමමිකො