අරුණි ශපීරෝ‍ වෙතින්

උරගයා, දිවියා හා ආධුනිකයා

Posted in Uncategorized by arunishapiro on මැයි 27, 2010

සුබ වෙසක් දිනයක්!

මේ සති අන්තය ඉන්දියෑනාපලිස් නගරයේ ඉන්දි 500 නැමති මෝටර් රේස් තරඟය පැවැත්වෙන සති අන්තයයි. මගේ ඇමෙරිකන් ඥාතියෝ 35 කට අධික මහා පවුලට ඔවුනොවුන් වෙනුවෙන් වෙන් කරගත් පුටු පේළියක් ද මෝටර් රේස් නරඹන්නට ඇතත් මෙවර තරඟය සජීවීව නොබලන්න 3 දෙනෙකුගෙන් වූ අපේ කුටුම්භය තීරණය කරන ලදි. සති අන්තයේ අපි රුවල් බෝට්ටුවක් ගන්නට දුර ගමනක් යන්නට සූදානම්ය.

Kurt Vonnegut ඉන්දියෑනාපලිස් නගරයේ විසූ කීර්තිමත් ප්‍රබන්ධ රචකයෙකි. Galapagos (1985) නැමති ඔහු විසින් රචිත කෘතියේ මිනිසා විසින් ප්‍රගතිශීලී යයි සොයාගත් දේශපාලන හා සමාජයීය සොයාගැනීම් ගැන අප්‍රසාදය පළ කිරීමට ඔහු “බොහොම ස්තූතියි, සුවිසල් මොළය” (Thanks a lot, Big brain”) යයි පවසයි. මොකක්ද මේ සුවිසල් මොළය? එහි බර ද? ප්‍රමාණය ද? නැතහොත් එයින් කරන කාර්යයන් ද?

බොහෝ විමර්ශන හා අර්ථකතනයන් මා සටහනට එකතු කළත් ඒවායේ ඇත්ත නැත්ත විමසා බැලීම ඔබගේ කාර්යයකි. මා අනාවරණය කරගත් කිසිම‍ දෙයක් මෙහි නැත. මෙය මා මොළය පිළිබඳව තොරතුරු සොයා යන පාරේ දී මට හමු වූ අනුන් විසින් සොයාගත් විස්තරයි.

එකමත් එක කාලයක ලොව වාසය කළේ උරගයෝ (lizards) පමණි. උරග මොළය සරලය. එය ක්‍රියා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට, ආහාර දිරවීමට, ලේ ගමනාගමනයට සහ වර්ගයා බෝ කිරීමටය. කාලයාගේ ඇවෑමෙන් උරග මොළයේ නාටිය (brain stem) දික්ව දිවියාගේ (leopard) මොළය (limbic system) ඇතිවිය. General adaptation syndrome (GAS) නැමති මොළය වර්ධනයේ දෙවැනි අදියර බිහිවිය. ආවේගයන්ට ඉඩකඩත්, ක්‍රියාවන් හසුරුවන හැකියාවත් වර්ධනයට ඉඩ ලැබුණි. මෙය පළා යන හෝ සටන් වදින ප්‍රතිචාරය (‍‍‍‍‍fight or flight response) සේ පරිණාමය වූ බව තහවුරු කරන්නේ මහත් විශාල සංඛ්‍යාවක උරග වර්ගයෝ එතැනින් පසු නැති වී ගිය හෙයිනි. තුන්වන හා නූතන මොළයේ වර්ධන අවදිය හැඳින්වෙන්නේ ආධුනික නොහොත් ඉගෙනගන්නා හැකියාව (learn) ලැබි අවදිය ලෙසයි. ප්‍රශ්න විසඳන්නට, භාෂාව හා අංක පාවිච්චිය, මතකය වඩාගන්නට සහ නිර්මාණශීලී වන්නට මේ තුන්වන අවදියෙන් ජීවියාට මොළයේ ඉඩකඩ (cerebral cortex) සෑදුණි. වැඩි විස්තර සඳහා Paul D. MacLean ‍කියවන්න.

වසර මිලියන ගණනක සිද්ධ වූ උරග, දිවියා අනතුරුව ආධුනිකයාට යන මොළයේ පරිනාමය අද සෑම මනුෂ්‍ය කළලයකම මාස නවයක දී සිද්ධ වෙයි. මෙම ප්‍රස්තුතය විචාරයට භාජනය වූවකි. ඊට අනුව සෑම කළලයක්ම (ontogeny) තම වර්ධනයේ දී තමන් ගොඩනැඟුණු ආකාරයේ තම පරම්පරාගත (phylogeny) අඩිපාරේ නැවත ගමන් (retraces) කරයි. “Ontogeny recapitulates phylogeny” වැඩි විස්තර සඳහා Morton M. Hunt, The Universe Within: A New Science Explores the Human Mind (1982); Richard M. Restak, The Modular Brain (1994); Susan Green‍field, Human Mind Explained: An Owner’s Guide to the Mysteries of the Mind (1996); Richard Gregory, The Ox‍ford Companion to the Mind (1987).

මිනිස් මොළයේ බර රාත්තල් 3 ක් පමණ යයි සැලකේ. ශරීරයේ බරින් 2% ක් වන මනුෂ්‍යයාගේ මොළය අද ලොව සිටිනා අනිකුත් ක්ෂීරපායී සතුන් අතර (ඩොල්ෆින් නොවන) ශරීරයට සමානුපාතිකව හය ගුණයකින් විශාලය. ඩොල්ෆින් මොළය හා මිනිස් මොළය ශරීරයට සමානුපාතිකව ප්‍රමාණයෙන් ළං වූ මොළයන් වෙති. එහෙත් ඩොල්ෆින් මොළය පසුගිය වසර මිලියන 20 තුල දී වෙනස්කමට භාජනය වී නැත. Douglas Adams නැමති විද්‍යා ප්‍රබන්ධ රචකයාගේ The Hitchhiker’s Guide To The Galaxy පොතේ ඩොල්ෆින් ලෝකයෙන් පිටත්ව යද්දී “So Long and Thanks for all the Fish” කියූ අවසන් වගන්තිය මෙහි දී සිහියට නැ‍ඟේ! පොත සොයාගෙන ඔබ කියවන්නට හැකි නිසා ඩොල්ෆින් එසේ කීමට පාදක වූයේ ඇයි දැයි නොකියමි.

මිනිස් මොළයේ පරිනාමය බොහෝ විද්‍යාඥයන් කුතුහලයට හා විසඳාගත නොහැකි ව්‍යාකූලතාවන්ට පත් කරන විෂයයකි. සත්ව වර්ගයන්ගේ පරිනාමයේ දී අනිකුත් සත්වයන්ගේ මොළය ඔවුන්ගේ අනිකුත් ශරීර අවයව සේ වර්ධනය වුනි. වසර 250,000 කට පෙර බොහෝ ක්ෂීරපායී සත්වයන් ඔවුන්ගේ මොළයේ සංකීර්ණ වූ හා සමස්ත වූ පරිනාමයේ උච්ඡ අවස්ථාවට පැමිණියහ. එහෙත් මිනිසා අනිත් ක්ෂීරපායී සතුන්ගෙන් වෙන්ව ගොස් neocortex ප්‍රදේශයේ පෙරළියක් ඇති කරගනිමින් සංකීර්ණත්වය හා සමස්ත ප්‍රමාණය බෙහෙවින් ඉතා කෙටි කලක දී වර්ධනය කරගති.

ඒ වර්ධනය වූ ආකාරයටම තවත් වර්ධනය වී ග‍ියේ නම් අද කාන්තා‍වගේ උකුල් පෙදෙස හිටගන්නට නොහැකිව නැවතත් කකුල් හතරෙන් යා යුතු අන්දමට පුළුල් වන්නේය. මන්ද විශාල මොළයක් ඇති දරුවා බිහිකරන්නටය! මනුෂ්‍ය ඉතිහාසයේ සිට අද දක්වාම දරු ප්‍රසූතිය අවදානම් කරන්නේ ද මේ සුවිසල් වූ මොළයයි.

ප්‍රමාණයෙන් සුවිසල් මොළය තවත් දියුණු කරන්නට ස්වභාව ධර්මයේ බුද්ධිය අමුතුම පියවරක් ගති. ඔළු කට්ට මහත් නොකර එහි තුල වූ දැනුම ගබඩා කරන මොළය අකුළන මොළයක් බවට පරිනාමය වූයේය. ජපන් පවානක් වැසූ කළ එහි ඇති පියකරු පින්තූරය සැඟවී යනවා සේ මොළය ද ඔළු කට්ට තුල අකුළන ලදි. එයින් ප්‍රමාණය විසල් නොකර තොරතුරු ගබඩා කරන්නට සුවිසල් ප්‍රදේශයක් ඇති කරගන්නා ලදි. අද අපට ඇත්තේ වසර 250,000 ට පෙර තිබූ සමස්ත මොළ ප්‍රමාණයම වූවත්, ගබඩා කරගන්නට හැකි හා වර්ධනයට හැකියාව ඇති අද දිනයේ මොළය අප එයින් ඉතා අල්පයක් ප්‍රයෝජන ගන්නා මොළයක් වී ඇත. තවත් විදියකින් කියතහොත් අද අපට ඇති “සුවිසල්” මොළය ප්‍රමාණයෙන් විශාල නොවූවද එයින් ඉටුවන හා ඉටු කරගත හැකි කාර්ය භාර්ය අද අපට ඇති දැනුම පමණින් නිමක් කොණක් නැති තරමට ඉඩකඩ ඇත්තකි.

අපට රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින්, කොම්පියුටරයෙන් ස්කයිප් හෝ ෆෙස්බුක් වලින් හිතවතුන් හා සම්බන්ධ වෙමින්, තේ කෝප්පයක් බොන ගමන්, හැලපයක් හපන ගමන්, වයර්ලස් ෆෝනයේ පණිවුඩ වලට පිළිතුරු යවමින් යනාදී …..තවත් වැඩ කොපමණක් එකවර කරත හැකි ද? මොළයට මෙසේ වැඩ කරන්නටත්, එසේම එක් දෙයකට පමණක් සම්පූර්ණ අවධානය යොමුකර කරත යුතු කටයුත්තක් ගැන වෙහෙස වන්නට ද හැකියාව ඇත.

වයසට යද්දී බුද්ධිය වර්ධනය නොවන බව මිථ්‍යාවකි. වයසක දේශපාලනඥයෝ දිහා බලන කල එය ඇත්ත යයි සිතුන ද එය සත්‍යය නොවේ! බුද්ධිය නම් අකුළන ලද මොළයේ ඒ ඒ ප්‍රදේශයන්හි කවන දත්ත අනුව සම්බන්ධතා එකිනෙකා හා ඇති කරගන්නා ප්‍රමාණය අනුව තීරණය වන්නකි. ජීවත්වන ආකාරය හා මොළයට දෙන පුහුණුව අනුව මේ සම්බන්ධතා වලින් මොළයේ මයලීන් ප්‍රවාහයත් සම්බන්ධකම් ඇති කරන neural pathways ඇති කර ගැනීමෙන් මොළය තවත් දියුණු කරගත හැකිය. මරණය තෙක් ම දියුණු කරගන්නට ඉඩකඩ අද මිනිසාගේ මොළයේ ඇත.

මෙතෙක් කවදාවත් රස නොබැලූ කෑමක් කා බලන්නට සිතට අදහසක් ආවා නම් හැමදාම හුරු පුරුදු රස දන්නා කෑම බීමට වහල් වී නොසිට නුහුරු නුපුරුදු කෑමක රස බලන්න. එයින් අවදිවන්නේ මොළයේ මෙතෙක් අවදි නොවූ සෛලයන්ය. එයින් පැන නඟින සබඳතා හා නිෂ්පාදනය කරන රසායන මොළයට අළුත් දත්ත ලබා දෙනවා පමණක් නොව මොළය තුල අනාගතයේ අමුතු දෙයකට මුහුණ දෙන හැඩ ගැසීම් රාශියක් ද ඇති කරයි.

මොළය යන්ත්‍රයක් යයි සලකන්නේ නම් වසර සියයක් පමණ එය හොඳට වැඩ කරන ලෙස පවත්වා ගැනීමේ කාර්යභාරය වෙන අයකුට නොව පැවරෙන්නේ ඔබටමය. වෛරස්වලට ඇතුල්වන්නට ඉඩ නොදී ඒවා පළවා හරින ක්‍රම සහ විධි උපයෝගී කරගෙන නිතර යාවත්කාලීන කරගන්නා මොළයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට සැලසුම් කරන ලද ප්‍රබෝධාත්මක අරමුණක් දිය යුතුය. චිත්‍රපටි, සිංදු, කතන්දර පොත් යනාදිය රස බලන්නට හැමදාම එකම නිර්මාණ ශිල්පියාට හිර වී නොසිට අළුත් අය සොයා යන්න. වෙනස් භාෂා වලින් අහන්න, දකින්න, කියවන්න. Aerobic ව්‍යායාම් ශරීරය ක්‍රමවත් කරනා සේ මොළයට දෙන neurobic ව්‍යායාම් මොළය ක්‍රමවත් කරයි. වැඩි විස්තර සඳහා Barry J. Gibb, Rough Guide to the Brain (2007).

මොළයේ සෛලයකින් සුගතිය හා දුගතිය

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2010

නමුත් විමතියකි මා හට කියා නොමැත්තේ
මොළයට හසු කරගත හැකිය කියා
එක් පුංචි සුදු සෛලයකට
දෙවියන්වහන්සේගේ දිව්‍යලෝකය හෝ අපාය

ඔස්කා වයිල්ඩ්

ඔස්කා වයිල්ඩ් ඉතා දක්ෂ සාහිත්‍යකරුවෙකි. වැස්සක් නොවැස්සත් අහස අඳුරු නිසා නිවාඩුවට ගෙදර පැමිණ සිටින දියණියත් මමත් අද මුහුදේ පිහිනන්නට නොගියෙමු. බැදපු පිකෑන් ඇට, මී පැණි යොදා දුව හැදූ කෙසෙල් ගෙඩි පාන් කමින් අපි දෙදෙනා The Importance o‍f Being Earnest (2002) චිත්‍රපටිය නැරඹුවෙමු. අප දෙදෙනාම ඔස්කා වයිල්ඩ්ගේ ඉහත නමින්ම වූ නාට්‍ය පොත කියවා ඇති නිසා සෑම දෙබසක්ම කටපාඩමින් සේ දත්තෙමු. ඔස්කා වයිල්ඩ්ගේ අගනාම කෘතිය මෙයැයි සිතන පිරිසට අපි දෙදෙනා ද අයත් වෙමු. ඉහත සඳහන් කවිය චිත්‍රපටියේ නොමැති ඔහු ලියූ විරහ ගීයක අවසානයයි. එය ලියන්නට ඇත්තේ ඔහුගේ සමරිසි පෙම්වතෙකුට ද?

මෙම කවියේ දී ඔස්කා වයිල්ඩ් මොළයේ එක් පුංචි සුදු සෛලයක් කියන්නේ මොළයේ ඇති නියුරෝන නොහොත් සංවේදන සෛල (nerve cells) පිළිබඳව විය හැකි ආකාරය විස්තර කරන පොතකි Evolve your Brain, Joe Dispenza (2007). පහත ඇති මොළයේ සෛල හා සම්බන්ධ විස්තර මෙම ‍ෙපාතෙහි සඳහන් තොරතුරු හා අන්තර්ජාලය ආශ්‍රිතව සකස් කරන ලදි.

නිරෝගී සිරුරක් පැවතිය ද මොළයේ ඇති සංවේදන සෛල මැරී යන රෝගය ඇති පුද්ගලයාගේ සෛල එසේ විනාශයට පත්වන ආකාරය විමසනු පිණිස අද නිරෝගී සෛල හා රෝගී සෛල (motor neurone disease -MND) නිෂ්පාදනය කර හදාරන බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසකි. නුදුරේ දී අපට ඉහත රෝගයෙන් නියුරෝන මැරී යන ආකාරය ගැන දැනුවත් වන්නට ද හැකිවනු ඇත.

නියුරෝන මහත් විශාල සංඛ්‍යාවක් වූ කල අපිට බුද්ධිය ඇති වේ. නියුරෝන ඉතාමත් කුඩාය. තිස් දාහක් හා පනස් දාහක් අතර ප්‍රමාණයක් ඇල්පෙනෙත්තක හිස මත පැටවිය හැකිය. Neocortex නම් අපගේ අවධාන විඥානය (conscious awareness) පිහිටි මොළයේ පැත්තය. එහි ඇති එක සංවේදන සෛලයකට (cortical nerve cell) තවත් සංවේදන සෛල හතළිස් දහසක් හා පනස් දහසක් සමඟ එකතුවන්නට (link) හැකියාව ඇත. Cerebellum නැමති පැත්තේ පිහිටා ඇති සංවේදන සෛලයකට (purkinje nerve cell) මිලියනක් තරම් තවත් එවැනි සෛල හා සම්බන්ධ වන හැකියාව ඇත. මොළයේ neutral networks යයි හැඳින්වෙන්නේ මේ සෛල අතර සම්බන්ධතා පැවැත්වීමය.

සම්බන්ධයක් ඇති වීමට මේ සංවේදන සෛලයකට (ඇසින්, කනින්, නාසයෙන්, ස්පර්ශයෙන්, සිතුවිල්ලකින්) උත්තේජනයක් ලැබිය යුතුය. එවිට එය විද්‍යුත් කිරණයක් (electrical charge) නිකුත් කරයි. මෙයින් ක්‍රියාවලි රාශියක් හට ගැනේ. ලණුවක් කොණකින් අල්ලා ගෙන කස පහරක් සේ විසි කරනා ආකාරය ගැන හිතන්න. සෛලයෙන් පටන් ගන්නා විද්‍යුත් තරංගය මේ ආකාරයෙන් ස්ව-පතුරුවා (sel‍f-propogate) විද්‍යුත් කිරණයක් හරියි. මෙසේ හට ගන්නා තරංගයක් සංවේදන සෛලයේ සිට අන්තිම කෙළවර වන axon දක්වා ගලා යාම එවැන්නක් පටන් ගත් පසු නතර කළ නොහැක. එසේ එක තරංගයක් ලෙසින් ගමන් කර අන්තිමේ දී මුළු සංවේදන impulses විසුරුවා හරියි.

මෙහි ගමන් කිරීම වේගවත්ය. යම් ක්‍රියාවක් කරන්නට හැකියාව ඇති තරංගයක් axon දක්වා ගලා යන්නේ පැයකට සැතපුම් 250 කට ‍අධික වේගයකිනි. පටන් ගත් පසු වේගය ‍වෙනස් නොවේ. මේ විද්‍යුත් තරංග අපේ මොළයේ හැම මොහොතක දීම හට ගනී. අප අවට පරිසරයෙන් ලැබෙන තොරතුරු අප විමසද්දී මෙන්ම, තනිවම පැත්තකට වී සිතද්දී හා නිදියන විටත් ඒවා තරංග නිකුත් කරමින් මොළයේ පැති පැතිවල මිලියන ගණනින් විවිධ නියුරෝන හැම තත්පරයක දීම පත්තු වෙයි. මිනිස් මොළයක එක දවසක ඇතිවන electrical impulses පෘතුවියේ සියළුම වයර්ලස් දුරකතන වලින් නිකුත් කරන electrical impulses වලට වඩා අධිකය.

ඔබ සිතන ඕනෑම සිතුවිල්ලක් නිසා එය තරහ, දුක, සතුට, ඊර්ෂ්‍යාව හෝ රාගික වූවද එයින් ඔබේ ශරීරය වෙනස් වන්නේය. ඔබව වෙනස් කළේ ඔබමය. මෙය කියවන ඔබ වෙන කිසිම ශාරීරික ක්‍රියාවක් නොකළ ද මේ මොහොතේ ඔබගේ සිතේ වූ සිතුවිල්ල නිසා ඔබගේ ශරීරය වෙනස් වුනි. අග්න්‍යාශයේ (pancreas) සහ ඇඩ්රනල් ග්‍රන්ථිවල හෝර්මෝන විසුරුවා හැරීමක් සිද්ධ වූ අතර මොළයේ විද්‍යුත් කිරණ හට ගැනීම නිසා නම් කළ නොහැකි තරම් නියුරෝරසායනයන් ප්‍රමාණයක් නිෂ්පාදනය වුනි. පිලාව (spleen) හා තයිමස් ග්‍රන්ථිය (thymus gland) ඔබේ ප්‍රතිශක්ත පද්ධතියට (immune system) වෙනස්කම් බොහොමයක් ඇති කරන්නටය කියා සමූහ ඊ මේල් එකක් යවන ලදි. ආහාර දිරවන අම්ල ශ්‍රාවය වන්නට පටන් ගනියි. පීකුද්ද මීට මොහොතකට කළින් නොවූ එන්සයිම විසුරුවා හැරීමක් පටන් ගෙනය. හදවත ස්පන්දනය වෙනස්ය. පෙනහළු හුස්ම ගන්නා ආකරය වෙනස්ය. ගලා යන රුධිරය විසින් ඔබේ අත් පා වෙනස් කරයි. ඒ සියල්ල සිද්ධ කළේ ඔබ ඇති කරගත් එක සිතුවිල්ලකිනි. ඔබ එතරම් බලවත්ය.

“මනෝ පුබ්බංගමා ධම්මා..” යන ධම්ම පදයන් අප අසා කියවා කට පාඩම් කරගෙන ඇත්තෙමු. චෛතසික ධර්මයෝ හෙවත් සිතේ ඇතිවන ගති සිත පෙරටු කරගෙන ඇත්තාහුය. ඒ ගති සිතට ශ්‍රේෂ්ඨ කොට පවතින්නේය. සිතින්ම උපදින්නේය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියත් නම්, කරත් නම්, සිරුර හැර නොයන සෙවැනැල්ලක් සේ ඔහු පසු පස්සේ සැපය ලුහුබඳී.

සිතුවිල්ලක් ඇති වීම වළක්වා ගත නොහැකිය. එනිසා පහන් සිතුවිලි නොහොත් ධන සිතුවිලි වලින් වාසය කරන්නා ශරීරයේ ඇති කරන වෙනස්කම් ද ධනාත්මක කරගන්නේය.

ඇති සුගතිය හා නැති සුගතිය

Posted in Uncategorized by arunishapiro on මැයි 24, 2010

පහුගිය සටහනේ දී සහන් තන්තිරිවත්ත ලියූ ප්‍රතිචාරයට මා දුන් පිළිතුර තව දුරටත් විමර්ශනය කිරීමට උත්සාහයක් මේ. එහි කියූ පරිදිම වටහාගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්න උත්සාහයක් ගන්නම්. එහි ලියූ කරුණු නැවතත් මෙයට එක් කරගන්නේ විස්තරය අවබෝධ කරගැනීමට පහසුවන්නටය. එසේම කළින් ලියූ සටහන් කිහිපයකින් ද කරුණු එකතු කරන්නෙමි.

බුද්ධ ධර්මය අනාත්ම බව පැහැදිලිව සරලව විස්තර කර ඇත්තේ වල්පොල රාහුල හිමියන් විසිනි. ආත්මන් යන්න සංස්කෘතික වචනයකි. එය බුද්ධ ධර්මයට පෙර පැවතියකි. සමහර ආගම්වලට අනුව හැම පුද්ගලයෙකුටම තමන්ට යයි කියා වෙන් වූ (දෙවියන් විසින් මවන ලද) “ආත්මයක්” ඇත. මේ ආත්මය මිනිසාගේ මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ හෝ අපායේ (මැවුම්කාර දෙවියන්ගේ විනිශ්චය අනුව) සදාකාලිකව ජීවත් වෙයි. තවත් සමහර ආගම්වලට අනුව මේ ආත්මය විවිධ උප්පත්ති වලට භාජනය වෙමින් ලබාගන්නා පව් පින් අනුව පිරිසිදු වී අවසානයේ දෙවියන්වහන්සේ හෝ විශ්ව ආත්මය හා (එය පටන්ගත් තැනටම) එකතු වෙයි. මෙය මිනිසාගේ සිතුවිලි සිතන, සංවේදන විඳින, කරන ලද හරි වැරදි වලට ලාබ අලාබ ලබන ආත්මයයි. බුද්ධාගම ලෝකයේ ආගම් ලෙස සැලකෙන දහම් අතුරින් පැහැදිලිව වෙනස් වන්නේ මෙවැනි ආත්මයක් නැතැයි කීම නිසාය. මම ඒ වල්පොල රාහුල හිමියන්ගේ පැහැදිලි කිරීම නිවැරදි යයි සලකමි.

ඊ ළඟට, මොළය ගැන කතාබහේ දී උඩු සිත (subjective consciousness) යනු “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින සිතයි. මෙය මරණයෙන් පසු කොහේවත් තැනකට යන්නේ නැත. මොළයේ ක්‍රියාකාරීත්වය නතරවීමෙන් උඩු සිත ද ක්‍රියාවිරහිතය. යටි සිත (objective consciousness or subconscious) අපට හිමිය. අප ජීවත්වන්නේ හිතාමතා හුස්ම ගෙන, රුධිරය පිරිසිදු කරගෙන නොව යටි සිත විසින් ඉටු කරදෙන නිසාය. මෙයට “මම” ය “මාගේ” ය කියන හැඟීමක් නැත. “මම” යන පුද්ගලයාගේ දැනීමෙන් තොරව “මම” යන පුද්ගලයාව ආරක්ෂා කරයි. උඩු සිතක් නොමැති මොළයක යටි සිතකින් කරන්නේ ශරීරය ක්‍රියාකාරීව පවත්වා ගැනීම පමණි. ක්‍රියාකාරී මොළයක් නැති තැන ඒ දෙකම නැත.

ක්‍රියාකාරී මොළයක මෙම උඩු සිත හා යටි සිත අතර සම්බන්ධය මෙහෙයවන්නේ ස්වභාවික බුද්ධියයි. එය විශ්වයේ පැතිර පවතී. මොළයක් උපදින විට (ක්‍රියාකාරීත්වය පටන් ගනිද්දී) එය මොළය තුළින් එළි දකියි. මොළය ක්‍රියාවිරහිත වීමෙන් එය එම මොළයේ නිමාව දකියි. එය පුද්ගලයා කළ හොඳ නරක හෝ පව් පින් ගණන් කරන, එකතු කරන, රැගෙන යන, පුද්ගලයාට සීමිත වූ, වෙන් වූ, බුද්ධියක් නොවෙයි. නමුත් ක්‍රියාකාරී මොළයේ නිමාව නිසා එය වෙනත් තැනක නැතැයි කීමට නුපුළුවන. ක්‍රියාත්මක වන මොළයට එය පිවිසෙන්නට එය කොහේ හෝ තැනක පැවතිය යුතුය.

මහ මුහුදේ පැන නඟින පෙන බුබුලකි. එය සුවිශේෂී වූ අනිත් පෙන බුබුළු වලට වඩා වෙනස් වූ, ඒකජ වූවකි. නමුත් එය මහ මුහුදෙන් බැහැර වූ එකක් යයි කිව නොහැක. එහෙත් එය මහ මුහුද යයි ද කිව නොහැක. පෙන බුබුලකට වඩා මිනිස් මොළය වෙනස් වන්නේ අනිත් සත්වයන්ට නැති විචාර බුද්ධිය ඇති කරන නිදහස් සිතුවිලි (free will) තිබීම නිසාය. ජීවත්වන කාලය තුල දී “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින්නේ අර ස්වභාවික බුද්ධියත්, ඉන් යා කරන උඩු සිත හා යටි සිත ඇති ක්‍රියාකාරී මොළයක ආධාරයෙන් ජීවත්වන පුද්ගලයාය. මේ ස්වභාවික බුද්ධිය ආවේ කොහෙන්දැයි යන්නේ කොහාටදැයි විමර්ශනයට කාලය වැය කිරීමට වඩා බුදුන්වහන්සේ නැවත නැවතත් වදාරන්නේ එයින් නිදහස් සිතුවිලි ඇති ක්‍රියාකාරී මොළයක් පවතින පුද්ගලයා තමාගේ ජිවිතය යහපත් කරගැනීමට සිත යොමු කරන ලෙසය.

ආවේ කොහෙන්දැයි යන්නේ කොහාටදැයි විමර්ශනයෙන් ඵලක් නැත්තේ එය ආ තැනක් ද යන තැනක් ද නැති පවතින්නා වූවක් නිසාය. නමුත් “වක් වූ අත දිගු කරන්නට පෙර පිටසක්වල පවා” යන්නට හැකි යුගයක තවමත් මිනිසා එකිනෙකා හා ඇණකොටා ගෙන, යුද්ධ කරමින්, විවිධ මතවලට භේද වී උඩු සිතත්, යටි සිතත්, ඒ දෙක යා කරන ස්වභාවික බුද්ධියත් මේ ජීවත්ව ඉන්නා සුළු කාලය තුල තමන්ගේ සුභ සිද්ධියට යොමු කර නොගෙන තැවෙති.

මෙහිදී පැන නඟින බලවත්ම ගැටළුව නම් මිනිසා ආත්මයෙන් ආත්මයට එකතු කරන පව් පින් නැත්නම්, පින් දහම් කර දිව්‍ය ලෝකයටත් පව් කළ නිසා අපායටත් මරණයෙන් පසු නොයන්නේ නම්, පුද්ගලයෙක් යහපත් විය යුත්තේ ඇයි ද කියාය. අපි මේ ජීවත්වන කාලය තුල ගුණ දහම් වැඩිය යුත්තේ ඇයි?

මිනිසා ස්වභාවයෙන්ම නරකය යන විශ්වාසය ලොව පවතින මිථ්‍යාවක් ද? නැතහොත් මිනිසා ස්වභාවයෙන්ම ගුණ යහපත් වූවත් සමාජයීය බලපෑම් නිසා මිනිසා නරක පුද්ගලයෙක් වන්නේ ද?

මේ අදහස් විමසද්දී, ස්වභාවයෙන්ම නරක වන්නට අපේ ජානු වලින් ලැබෙන්නා වූ දායාදයන් ද, සමාජයීය වශයෙන් නරක වන්නට හැදියාවේ අඩුපාඩුකම් ද දායක බව පෙනී යයි.

මොළය යනු මිනිසාට ලැබී ඇති සුවිශේෂී වූ ඉන්ද්‍රියයක් වන්නේ එය වෙනසට භාජනය කළ හැක්කක් නිසාය. අනිකුත් සත්වයින්ට නැති සහජ ඥානය ඉක්මවා යන මිනිස් මොළයට විචාර බුද්ධිය ඇත්තේ උඩු සිත, යටි සිත හා ස්වභාවික බුද්ධිය තම ගුණ යහපත් බව වඩවා ගන්නටය. මන්ද ගුණ යහපත් බව නොමැති ලෝකය ජීවත් වීමට නුසුදුසුය. සිත කලකිරවන්නට සමත්ය. බියෙන් චකිතයෙන් පුරවන්නට සමත්ය. එමඟින් රෝග තත්වයන් ඇතිකර මානසිකව හා ශාරීරිකව දුකින් පෙළන්නට සමත්ය. එකිනෙකා නසාගෙන ලෝකය විනාශයට යයි.

මනුෂ්‍යයා උපතින්ම බුද්ධිමත් හෝ‍ මෝඩයකු වන්නේ ද? අළුත උපන් දරුවාගේ මොළය Tabula rasa නොහොත් දැනුම ලියා ගන්නට නිර්මාණය වී ඇති හිස් පුවරුවක් යයි ඇරිස්ටෝටල් සිට අද දක්වා දාර්ශනිකයෝ හා මනෝවිද්‍යාඥයෝ පිරිසක් පෙන්වා දෙති. මෙය සහමුලින්ම නිවරද නොවූවත් (ජානුමය බලපෑම ඇති නිසාත්, කළලයේ සිටින දරුවාගේ මොළය ද තොරතුරු රැස්කරන, වැඩෙන මොළයක් නිසාත්) මොළයට දෙන දැනුම හා තොරතුරු අනුව දරුවා යහපත් තීරණ ගන්නට හැකියාව ඇති කර හෝ නැති කර ගනියි.

අළුත උපන් දරුවෙකුගේ මොළය දෙමාපියෝ වෙත බාර කරන ලද වටිනා වස්තුවකි. එහෙත් බොහෝ දෙනා අළුත උපන් දරුවාට කන්න බොන්න දී, අඳින්නට වස්ත්‍ර දී, නින්දට යහනක් දී දරුවා වැඩිවිය පැමිණෙන කාලය වෙනතුරු අමතක කර දමයි. මොළය වැඩෙන වටිනාම කාලය දරුවාගේ වැඩීම බාරව ඉන්නා අය විසින් අපතේ යවති. අළුත උපන් දරුවාගේ යහපත් හැදියාව තීරණය කරන්නේ දරුවාගේ වැඩීම බාරව ඉන්නා අය විසිනි.

එක් එක් සමාජයට ආවේනික අගැයුම් දිහා බලන කල ඊට ඒ අගැයුම් දී ඇත්තේ ඒ සමාජයේ විසූ ජනයා විසින්ම නොවේ ද? අපි අපේ දරුවන්ට පුහුණු පුරුදු කරන අගැයුම් වලින් ඔවුන් තීරණ ගන්නා විට අපි ඔවුන්ට බැන වදිනුයේ කෙසේ ද? අපි ජිවත්වන සමාජයේ වගකීම අපිට පැහැර හැරිය නොහැකිය. ජනතාව මෙසේ තීරණ ගන්නා කල ඒවා අපිට බලපානවා සේම, ඒ තීරණ එසේ ගැනීමට අපි ද වගකිව යුතුය.

අපායක් ඇතැයි බියෙන් වැරදි නොකරන සමාජයක් වතිකානුවේ ද නැති බව අද සනාථය. අද පුද්ගලයා වැරදි කරනුයේ අපායට බි‍ය නිසා නොවේ නේද? නැති අපායක් ගැන බය කරගෙන සිටීම වැනි පැරණි හණමිටියක් අද දවසට උවමනා නැත. අගැයුම් කියා දීමට අපාය හෝ දිව්‍යලෝකය අවශ්‍ය නොවේ. එසේම අගැයුම් තීරණය ඇත්තේ අප අතම නිසා විනිශ්චයක් දෙන්නට එක් එක් පුද්ගලයාගේ පව් පින් කිරා මණින විනිශ්චයකාරයෙක් ද අවශ්‍ය නොවේ.

දිව්‍යලෝකයක් ඇතැයි සිතා පින් කරන්නා එසේ කරන්නේ තමාගේ මේ ලෝක‍ෙය් යහපතට නොව ආගමික නායකයන් විසින් ප්‍රකාශිත පරලොව යහපත සලසනවා යයි සැලකෙන පිළිවෙත්ය. එවිට මේ ලෝකයේ ජීවත්වන කාලයේ සුභ සිද්ධිය සැලකෙන්නේ කෙසේද? වැරදි කර, පසුව පව් සමාකරගෙන පින් දහම් කර මරණින් මතු නැති සුගතිය සෙවීමට වඩා හැම දිනයේම ගුණ දම් වඩාගෙන ජීවත් වන්නට හුරු කරවී‍මෙන් මෙහි අද, ඇති සුගතිය වඩා සුදුසු නොවන්නේ ද?

හැම ආගමකම, හැම සමාජයකම, හැම පුද්ගලයෙක් තුලම ඇති ගුණ දහම් හා අගැයුම් සලකා බැලීමට හුරු වන්නාට පින්තූරයේ පුංචි කොටසක් නොව මුළු පින්තූරයම දැකගත හැකිය. ඒ හැම තැනකම ඇති ගුණ අගුණ දකින්නටත් ඒ ගුණ අගුණ අගැයුම් කරන්නටත් දැනුම ලැබේ. මරණින් මතු සුගතිය නොව මෙම ජීවිතයේම යහපත් බවින් සුගතිය සලසා ගත හැකි බව අවබෝධ කරගත හැකිය.

ඇමෙරිකානුවාට ජීවය උපදවන හැකියාව ඇත

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2010

පෙරළියට, ආන්දෝලනයට තුඩු දෙන පර්යේෂණ කරන්නට හපන් ඇමෙරිකානුවෝ එවැනි වෑයම් නවතා නැති බව අළුත්ම විද්‍යාත්මක සොයාගැනීමකින් නොබෝදා පෙන්වා දෙයි. විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ජීවයක් (life) උපදවන්නට හැකි වූ බව ඔවුන් ඔප්පු කරති. මෙතෙක් කාලයක් ජීවයක උප්පත්තිය සිද්ධ වූයේ ස්වභාව ධර්මයා හෝ “දෙවියන්වහන්සේ” වෙතින් පමණි. අද ඇමෙරිකානුවාත් ජීවය උපදවන්නට හැකියාව ලබා ඇත. ඉදිරි ලෝකය කොතරම් වෙනසකට පාත්‍ර වන්නේ ද යන්නත්, රෙගුලාසි පැනවීම හා ලෝක යුද්ධ කෙසේ ඇතිවේද නැතිවේද යන්නත් විවාදයට දැන් දොර විවෘතය. එසේම මෙතෙක් ලෝකය මැවූ “දෙවියන්වහන්සේ” විශ්වාසය කළ අයට මෙතෙක් එය විස්තර කළ ආකාරය වෙනුවට යළි නව උත්තර කලාවක් සොයාගන්නටත් සිද්ධ වන්නේය.

මනුෂ්‍යයාගේ මරණයෙන් පසුවත් නොනැසී පවතින විඥානයක් (consciousness) ඇතැයි ද යන්න බුදුරජාණන්වහන්සේ කතාබහට ලක් කල මාතෘකාවකි. ඩේවිඩ් කළුපහන රචිත A History of Buddhist Philosophy හි මරණයෙන් පසු ‍නොනැසී පවතින්නා වූ විඥානය හේතු සාධකයක් ලෙස පිළිගැනීමට බුදුරජාණන්වහන්සේ කැමැත්ත දැක්වූයේ විඥානය ක්‍රියාකරන්නේ අභිරුචිය (interest) අනුවත් ඒ හා වූ මතකය (memory) නිසාත් යයි සඳහන්ය. කළුපහන දක්වන පරිදි උපනිෂද් චින්තකයෝ විඥානය යනු කුමක්දැයි අර්ථ කතනය කළහ. “කතාබහ කරන, දැනෙන, වෙනස් වෙනස් අවස්ථාවල හොඳ නරක අත්දකින “පුද්ගලයා” නියෝජනය කරන්නේ විඥානයයි. නැතහොත් කතාබහ කරන, හැඟීම් ඇතිවන, අත්දැකීම් ලබන මනසේ අයිතිකාරයා නොහොත් “ඇතුලත පාලනය කරන්නාය (inner controller-antaryamin).” ඉහත සඳහන් පොතේම කළුපහන විසින් “සබ්බේ ධම්මා අනත්තා” යන්න (all experienced phenomena are non-substantial) සංදිග්ධ නොවූ (unambiguous) සහ අපැහැදිලි නොවූ (unequivocal) බුද්ධ වදනක් සේ සලකයි.

නූතන මොළය පිළිබඳ විමර්ශනයේ දී දිනෙන් දිනම ඔප්පු වන්නේ ක්‍රි. පූ. 565 ගණන්වල දී බුදුරජාණන්වහන්සේ අවබෝධයෙන් කියා දුන් අදහස්ය. ඒ අවබෝධය ලබාගන්නට වෙහෙසෙනවා වෙනුවට ඔහුට කළින් වූ මත අත්නොහැර එය සත්‍යය යයි කියා ඒ අනුකරණයෙන් ජීවත් වන්නෝ එය බුද්ධාගම යයි කියන්නට ද ඉදිරිපත් වන්නෝය.

විඥානය අපට සිතන්නට ඉඩ පාදා දෙයි. එසේම ඒ සිතන අවස්ථාවේ දීම අප සිතන ආකාරය (thinking process) ගැන නිරීක්ෂණයට ද ඉඩ සලසයි. Consciousness නොහොත් විඥානය යනු අප ගැන (self) හා ලෝකය ගැන අප දරනා අදහස (our perception of the world) යයි අපි සලකමු. නමුත් අද දවසේ neuroscience හදාරන්නෝ විසින් තවත් බුද්ධියක් ගැන කතාබහක් පටන් ගැනී ඇත. එනම් ස්වාභාවික බුද්ධියයි (innate intelligence). භෞතික මොළය මඟින් ඉදිරිපත් කරන මේ ස්වාභාවික බුද්ධිය යනු ශරීරය තුල ඇති විශ්ව ඥානයේ (universal intelligence) ඉදිරිපත් කිරීමක් කියාය.

උඩු සිත, යටි සිත යන දෙකට අමතරව වූ මේ විශ්ව ඥානය ගැන සුමනදාස සමරසිංහ ද විස්තර කරන්නට උත්සාහයක් ගෙන ඇත. එහෙත් දැඩි බන්ධනයෙන් වූ අදහස් අල්ලා ගෙන ඉන්නා අයෙකුට එය වටහා ගැනීම සම්ප්‍රදායට එරෙහිව සිතන්න කීමක් වැනිය. ගැඹුරු වූ සේ පෙනුනත් මෙය සරලය. Occam’s razor නම් ගැටළුවකට පිළිතුරක් සොයා ගන්නා ක්‍රමයකි. එනම් සංකීර්ණ වූ පිළිතුරු හමුවේ වඩාත්ම නිවැරදි පිළිතුර නම් පහසුවෙන්ම අවබෝධ කරගත හැකි සරල වූ පිළිතුර වන්නේය.

උඩු සිත (subjective consciousness) පුද්ගලයාගේ නිදහස් සිතුවිලි (free will), යමක් ඉගෙනීම, ධාරණය, කුසලතාවක් වර්ධනය කරගැනීම, සිහින දැකීම, තෝරා ගැනීම හෝ තෝරා නොගැනීම කරයි. මෙය “මම” (self) වන්නේය.

බුද්ධිමත් අවධාරණයෙන් යුතුව අපට ජීවය දිනපතා ලබා දෙන්නේ යටි සිතයි (objective consciousness or subconscious). මෙම අවධාන ක්‍රියාවලිය (system of awareness) විඥානය ඇති මනසෙන් (conscious mind) බැහැර වූවකි. එය මහත් බුද්ධියෙන් යුතුය. නිසි අවධානයෙන් (mindful) යුතුය. සිතන මොළයෙන් බැහැරව එහෙත් මොළයේ අනිකුත් කොටස් හා එකතුව වැඩ කරයි. අපි එදිනෙදා ජීවිතයේ ලැබී ඇතැයි සිතා සලකන හදවත ස්පන්දනය, ආහාර දිරවීම, ලේ පිරිසිදු කිරීම, සෛල වර්ධනය, අපගේ DNA සංවිධානය වැනි සියල්ල කරනුයේ මේ සුවිසල් සීමා නොමැති යටි සිතේ ඇති විෂයමූලික බුද්ධියයි (objective intelligence).

විෂයමූලික බුද්ධියට අප අප ගැන දන්නවාට වඩා අප ගැන දැනුම ඇත්තේය. ලෝකය ගැන දැනුම ඇත්තේය. සියල්ල දන්නා ඥානයයි කියා හඳුන්වා දිය හැකිය. මෙය හැඳින්වීමට Zero Point Filed, the Source, සහ විශ්ව ඥානය (universal intelligence) යන වචන භාවිතා වී ඇත. Quantum ක්ෂේත්‍රය (field) භෞතික රූපයට ප්‍රවර්තනය කරන්නේ එයයි. ජීවයේ බලය එයයි. Quantum physics කියා හඳුන්වන්නේ මේ ක්ෂේත්‍රයේ හැකියාවන් සලකා බැලීමටය.

මනුෂ්‍යයෝ වශයෙන් අපට උඩු සිත හා යටි සිත දෙකම ඇත. මේ දෙකම එකිනෙක හා සම්බන්ධ කරනුයේ කවරක් ද? මොළයට විඥානයක් නැතිනම් එය ජීවයෙන් තොරය, වැඩක් කරනුයේ නැත. විඥානය පුද්ගලයාගේ මොළය හා ක්‍රියාකරද්දී මොළයේ මනසක් බිහිවේ. මනස යනු වැඩ කරන මොළයකි. මනස විසින් උඩු සිත හා යටි සිත උපකාරී කරගෙන ජීවිතය සාර්ථක කරගන්නේ මේ ස්වාභාවික බුද්ධිය නොහොත් විශ්වය පුරා පැතිර ඇති ඔබේත් මගේත් විඥානයෙන් බැහැරව ඇති බුද්ධියක ආධාරයෙනි. එයට ස්වභාව ධර්මයා යයි කිය හැකිය. කැමැත්තෝ ‍”දෙවියන්වහන්සේ” එය යයි කියා ගනු ඇත.

මෙය කාහටත් ඇති බුද්ධියකි. අළුත් අදහසක්, අළුත් ස්පර්ශයක්, දැකීමක්, ඇසීමක් වැන්නකින් අපගේ මොළයේ සෛල අවදි වනවා සේම, උඩු සිත හා යටි සිත එකතු වී ක්‍රියාකරන ආකාරය වටහා ගැනීම නිසා අපට මේ ස්වභාව ධර්මයා ක්‍රියාකරන ආකාරය ගැන ද දැනුමක් වඩවා ගත හැකිය. යමක වටිනාකමක් ඇත්තේ එය ගැන දැන සිටීමෙන් පමණක් නොවේ. එයින් සුභ සිද්ධියක් සලසා ගත හැකිනම්ය. උඩු සිත ගැන අප අද දනිමු. යටි සිත ගැන ද යම් තරමට අප දනිමු. උඩු සිතත් යටි සිතත් එක් කරන ස්වාභාවික ඥානය ගැන දැනුමක් ඇති කරගන්නා අයට ඒ දෙක එකතු වී කතාබහ කරනා ආකාරයත් ඒ දෙක එකතු වී ක්‍රියාත්මක කරනා ආකාරයත් දැනගත හැකියාව ලැබේ. මොළය කීතු කීතු කපා පර්යේෂණ කර ඇමෙරිකන් විද්‍යාඥයෝ සොයා ගන්නට උත්සාහ කරන්නේ එයයි. ජීවයක් අළුතින් බිහි කිරීම වූ සොයාගැනීම ඒ විශ්වය පුරා පවතින ස්වභාව ධර්මයෙන් වැඩ ගන්නා ආකාරය සොයා ගැනීමයි.

එය විශිෂ්ඨ වූ බුද්ධියක් නම්, සැමටම දායක වූ බුද්ධියක් නම්, අපිට පහසුවෙන් වටහා ගෙන අපේ දියුණුව සලසා ගත හැකි ප්‍රායෝගික වූ බුද්ධියක් නම් එයට පන්සල් පල්ලි සාදා, මල් පහන් පුද පූජා කර අල්ලස් දෙනුයේ කුමකට ද? බුද්ධිය කෙසේ වැඩ කරන්නේ ද යන්න වටහා නොගෙන එය උතුම් වූ බුද්ධිය යැයි කියා ඒ ගැන විස්තර සඳහන් වූ ගාථා ගිරව් සේ කියමින් වැඳ පුදා ගැනීමෙන් ජීවිතය දියුණු වන්නේ කෙසේද?

මගේ පරම්පරාවේ වැදගත්ම සොයාගැනීම

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2010

“මගේ පරම්පරාවේ වැදගත්ම සොයාගැනීම නම් මිනිසාට තම ජීවිතය වෙනස් කරගැනීමට තමන්ගේ මනසේ ගති ලීලාව (attitude) වෙනස් කිරීමෙන් පුළුවන් බව සොයාගැනීමයි.” මෙසේ කියූ විලියම් ජේම්ස් ජීවත් වුනේ 1842-1910 කාල පරාසය තුල. ගෞතම බුදුරජාණන්වහන්සේ මේ සොයා ගැනීම කළේ ඊට පරම්පරා ගණනාවකට පෙරයි. ලංකාවේ වාසය කරන අය තමන්ගේ ප්‍රෞඪ ඉතිහාසය ගැන උදම් අනිද්දි උදම් ඇනිය යුත්තේ මොනවටදැයි නොදනිති. හේතුව බුද්ධ ධර්මය කියා දෙන ගුරුවරයෝ මිථ්‍යාව පෙරදැරි කරගෙන ධර්මය වටහා ගැනීමට උත්සාහයක් නොගෙන විජ්ජා පෙන්වමින් සිටීමය.

‍ලෝකයේ ඉන්නා මනස, මොළය ගැන හදාරන අය කොටස් 3 කට බෙදන්නට පුළුවන. කට්ටියක් පර්යේෂකයෝ, අනික් කොටසක් පරිහරණය කරන්නෝ, ඉතිරිය තමයි වටහා දීම කරන්නෝ. බුදුරජාණන්වහන්සේ ගිහි සැප විඳ, දුෂ්කර ක්‍රියාකර, තමන් ඇසූ දුටු සියල්ල ගැන විමසා බලා, පරිහරණය කර, වටහා දුන් මනස ගැන අද නූතන විද්‍යාවේ පර්යේෂණ වලින් ඔප්පු කරල පෙන්වද්දී ඒ ගැන අවබෝධය ලැබෙන්නෙ මිථ්‍යාවෙන් සත්‍ය ධර්මය වෙන්කර ගන්න හැකියාව ඇති අයට පමණයි.

අවුරුදු 80 ක් විතර පරණ ක්‍රමයක් වූ electroencephalogram (EEG) මඟින් මොළය ගැන කතාබහ වුනත් එයින් මෑතක් වෙනතුරු සිද්ධ වුනේ මොළයක ක්‍රියාකාරීත්වය ගැන පර්යේෂණ නොවෙයි. 1972 දී හඳුන්වා දුන් computed tomography (CT) -CAT Scan නිසා මොළයේ ඇතුලත ස්නැප්ෂොට් එකක් ගන්නට අවස්ථාවක් උදා වුවත් එය ‍එක මොහොතක දී ගත්තක් වූයේය. CAT Scan එකකින් මොළය වැඩකරන්නේ කෙසේද කියා පැහැදිලි නොකරයි. එය පැහැදිලි කරන්නේ මොළය සාමාන්‍ය විදියෙන් වැඩ නොකරන්නේ ඇයි කියා පමණයි.

අද Positron emission tomography (PET) නිසා මොළය නිකුත් කරන ගණනය කළ නොහැකි රසායනික ක්‍රියාවලි ගැන හදාරන්න අවස්ථාව ලැබී ඇත. නැතහොත් වැඩ කරන මොළයක ජීවරසායන ක්‍රියාකාරීත්වය විමසන්න අවස්ථාව ලැබී ඇත. Functional magnetic resonance imaging (‍fMRI) මඟින් වැඩකරන මොළයක කොයි කොයි පැත්ත මොන මොන අදහස් නිසා ක්‍රියාකාරී වන්නේ ද යන්න හදාරන්නට ඉඩ ලැබී තිබේ. Single-photon emission computed tomography (SPECT) gamma-ray කිහිපයක් මඟින් පුද්ගලයාගේ මොළය වටා කරකැවෙමින් මොළය ක්‍රියාකරන ආකාරය විමසයි.

ඉහත සඳහන් අන්තිම ක්‍රම විධි තුන ස්නැප්ෂොට් තාක්ෂණය අභිබවා යමින් ක්‍රියාකාරී නොවන මොළයක තතු වෙනුවට ක්‍රියාකාරීත්වයෙන් පසුවන මොළයක තතු දැන ගැනීමට ඉඩක් සපයයි. යම් සිතුවිල්ලක් සිතද්දී මොළයේ කොයි සෛල වලට ද රුධිරය ගලා එන්නේ කියාත්, අවදි වන්නේ කුමන සෛල කියාත්, නිකුත් කරන්නේ කුමන රසායන ද කියාත් විභාගයට අවස්ථාව අද පෑදී ඇත.

මනස හා මොළය යනු දෙකකි. මොළය යනු හාර්ඩ් වයර් කරන ලද කොම්පියුටරයක් වැනි යයි ගතහොත් මනස යනු නිතර ඊට අළුත් ක්‍රම සහ විධි ඉදිරිපත් කරමින් ඇතුල් කරන සොෆ්ට් වෙයාර් ප්‍රෝගෑම් වැනිය. එකක් නැතිව අනෙකින් වැඩක් ගත නොහැකිය. එසේම දක්ෂ ලෙසින් වැඩගත හැකි වන්නේ දෙකම මනාව එකිනෙක හා වැඩකරන ලෙසින් පවත්වා ගන්නා අයෙකුටය. සුපර් කොම්පියුටරයක් හා ලොව විශිෂ්ඨතම සොෆ්ට් වෙයාර් සියල්ල තිබුණත් ඒවා මෙහෙයවන්නට නොදත්තාට ‍ඒවායෙන් වැඩක් ඇත්ද?

මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නට එක අදහසක් වෙත සිත යොමු කිරීමෙන් හැකියාව ලැබේද යන්න විමසමින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල 2004 දී එළි දැක්වුණි. දයාව කරුණාව හා කොන්දේසි නැති ආදරය යන සංකල්ප ගැන සිත යොමු කරන්නට භාවනාව හුරු පුරුදු බෞද්ධ ස්වාමීන්වහන්සේලා පර්යේෂණයේ විෂයයන් (subjects) වූහ. විද්‍යුත් සංවේදකයන් (sensors) 256 ක් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැනීමට පාවිච්චි කෙරුණි. භාවනා කරන්නට නොදත් පිරිසක් ද එසේම පර්යේෂණයට භාජනය වූහ. ස්වාමීන්වහන්සේලා අසලකටවත් එන්නට භාවනා නොදත් අයට හැකි වූයේ නැත. මෙම ස්වාමීන්වහන්සේලාට තම මොළයේ ක්‍රියාකාරීත්වය කැමැත්ත අනුව වෙනස් කරගත හැකියාව තිබුණි.

පැය 50,000 ක් පමණ භාවනා කර හුරු පුරුදු වූ ස්වාමින්වහන්සේලාගේ මොළයේ frontal lobes කොටසේ වූ ක්‍රියාකාරීත්වය ඉතා වැඩිය. ගැමා ‍කිරණ යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් මොළයේ ජවනය (impulses) වැඩි භාවනා කළ ඇති අය අතරින් දැකගත හැකි විය. මෙම මොළ කිරණ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නව සර්කිට් නිපදවන විට පමණි. මොළයේ frontal lobes පැත්ත සතුට පවතින පැත්තයි. එක බෞද්ධ ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ මෙම frontal lobes පැත්ත කොතරම් වැඩි වර්ධනය වී (enhance) තිබුණා ද යයි මවිතයට පත් පර්යේෂකයෝ ඔහු ජීවත්ව සිටින පුද්ගලයන් අතුරෙන් වඩාත්ම සතුටින් ඉන්න පුද්ගලයා වියහැකි යයි කියූහ.

මෙම පර්යේෂණය මෙහෙය වූයේ ඇමෙරිකාවේ Universiy o‍f Wisconsin හි Richard Davidson නැමැත්තාය. ඔහු කියනා පරිදි භාවනාවේ දිගු කාලයක් යෙදි සිටින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය මෙතෙක් ඔවුන් නොදැකි තරම් මහත් ප්‍රමාණයකින් සිද්ධ වූයේය. ගොල්ෆ් ක්‍රීඩාව හෝ ටෙනිස් ක්‍රීඩාව යනු නිත්‍ය පුහුණුවෙන් පවත්වා ගතයුතු ක්‍රීඩාවන්ය. කාලයක් ඉක්ම ගොස් නැවත පිටියට පැමිණ කළින් වඩවා තිබූ කුසලතා තත්වයෙන් තරඟයේ යෙදෙනු නොහැකිය. මෙම බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේ භාවනාව සතුට ඇති පැත්ත මෙහෙයවන frontal lobes මොළයේ ගොල්ෆ් හා ටෙනිස් නිතර ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ සේම වැඩි වර්ධනය වී (enhance) ඇතැයි ඩේවිඩ්සන් කියයි. එසේම මොළ ඡායාරූප දිහා බලන කල පුහුණු කරන ලද මොළය හා මනස ඇත්තාගේ මොළය පුහුණු නොකරන ලද මොළයකින් පැහැදිලිව වෙනස්කම් දැකිය හැකි බව ද ඔහු කියයි.

මනසට තනිවම මනස වෙනස් කළ නොහැකිය. මන්ද මනස මොළයේ ප්‍රතිඵලයකි. මනසට නිකම්ම නිකම් සිට මොළය වෙනස් කළ ද නොහැකිය. මන්ද මනස මොළයේ නිෂ්පාදිතයකි. මොළයට තනිවම මොළය වෙනස් කළ නොහැකිය. මන්ද මොළය යනු මනසක් නොමැති නම් ජීවයක් ද නැත්තකි.

මොළයත් මනසත් වඩා කාර්යක්ෂම ‍ෙලස වැඩ කරන්නට පුහුණු කරගන්නට නම් මොළයේ හා මනසේ වෙනස්කම් ඇති කරන්නේ කවුද? Consciousness නොහොත් විඥානයයි. ඔබ යමක් පටන් ගන්නට පෙර හිතට කොඳුරා කතා කරන්නේ කවුද? හරි වැරදි ගැන සිතට වද දෙන්නේ කවුද? හරි මඟ යන්නත් වැරදි මඟ අත්හරින්නත් යොමු කරන මෙම විඥානය ‍ඇත්තේ තමන් තුලම යයි මුලින්ම කියා දී ඇත්තේ බුදුරජාණන්වහන්සේය. නමුත් අපි එයට කිසිම වැදගත්කමක් නොදී තුට්ටු දෙකේ පෙළහර පානා මිසදිටු විජ්ජාවන් පෙන්වන්නෝ පසුපස දුව යමු.

බුද්ධි හීන ලෝකයක බුද්ධිමතෙක් ජීවත් වන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2010

මම ධනවත් යයි කියා හඳුන්වා ගන්නට ඇති අකැමත්ත සේම මම බුද්ධිමත් යයි කියා හඳුන්වා ගන්නට ද අද ලෝකයේ පුද්ගලයෝ තුල ඇත්තේ බලවත් පසුබැසීමකි. ධනවත් බව මෙන්ම බුද්ධිමත් බව ද එක මට්ටමක් පෙන්වා මෙතැනින් ඉහළට මෙයා ධනවත්, බුද්ධිමත් හෝ මෙතැනින් පහළ අය දුප්පත්, බුද්ධි හීන යයි කියත හැකි අපහසුව ඊට කිසිත් ලෙසින් හේතු සාධක නොවේ. ඉහත ලෙසින් තමන් ගැන කීමට පුද්ගලයෝ පසුබාන්නේ නොහැකි නොමැති අය වැඩියෙන් ලෝකයේ ඉන්නවා යයි සිතා තමනට ඇතැයි හැකියයි කීම නුසුදුසු යයි මතයක් පැතිර ගොස් තිබීම නිසාය.

මම ධනවත් යයි කියන්නට මට පැකිළීමක් නැත. හිතේ හැටියට කැමති දේ කරන්නට යහපත් ආර්ථික ලාභත්, ඊටත් වඩා වැදගත් වූ එදිනෙදා සතුට බෙදාගන්නට දැඩි ලෙසින් ආදරය කරන පුරුෂ රත්නයක් ද, අගැයුමෙන් උසස් හොඳ හැදියාවෙන් යුතු තමන්ගේම වූ ස්වාර්ථවාදයක් ගොඩනඟා ගත් බුද්ධිමත් දියණියක් ද මගේ ජීවිතය සම්පූර්ණ කරති. ඒ නිකම් ලැබුණු දේවල් නොව මහත් වෙහෙසක් දරා, ලෝකය පීරා හොයාගත්, බුද්ධිය විමසා ඇති දැඩි කරගත් මගේ ජීවිතය දෙස යථාර්ථවාදයෙන් (realism) බැලීමකි.

අද මේ සටහන ලියන්න පාදක වුනේ SiriBiris අහලා තිබුණ හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය හා උත්තරය මෙතැනින් බලාගන්න.

ග්‍රීසිය, තුර්කිය ඊ ළඟට ස්පාඤ්ඤය වැනි රටවල් පිටින් බංකොලොත් වන කාලයකි අද උදා වී ඇත්තේ. මේ ලෝකය පුරා ඔඩු දුවන බංකොලොත්භාවයට හේතු කාරකය ධනවත් අයගේ අනිසි ආයෝජනයන් යයි එක් මතයකි. ඒ අනිසි ආයෝජන කොටස් වෙළඳ ‍පොල පටන් ගත් සිට ලොව පැවතුණි. කාලයෙන් කාලයට වස්තු නැති වූවෝ උස් බිල්ඩින් වලින් බිමට පැන, හිසට වෙඩි තබාගෙන දිවිනසා ගත්හ. තවත් මතයක් නම් ධනවත් වූවෝ සුළු පිරිසක් විසින් දුප්පත් මහත් පිරිසක් කර පින්නාගෙන යන පිළිවෙතේ එක්තරා හන්දියකට අද අප ප්‍රාප්ත වී ඇති බවයි. මෙය රටවල් වලින් ක්‍රියාත්මක වන සමාජ සේවා වැඩසටහන් නිසා පැන නැඟි තත්වයකි. ලෝකයේ මෙතෙක් වූයේ ධනවත් සුළු පිරිසක්, මහත් මැද පංතියක් හා දුප්පත් සුළු පිරිසකි. අද මැද පංතිය වඳ වී යයි. ධනවත් අයත් දුප්පත් අයත් අතර පරතරය තවත් විශාල වෙමින් පවතී.

මෙතෙක් ලොව වර්ජනය, තර්ජනය හා විරෝධතා පෙළපාලි ගියේ දුප්පතුන්ය. හෙට දිනයේ පැහැදිලිවම දැකගත හැකි වනුයේ වර්ජනය, තර්ජනය හා විරෝධතා පෙළපාලි යන ධනවතුන්ය. මන්ද ඔවුන් තව දුරටත් දුප්පතුන් කර තබාගෙන යා නොහැකි යයි කියනු ඇත. ඒ යථාර්ථය දැකීමයි. අප අකමැත්තෙන් වුවද ඇත්ත ඇති සැටියෙන් දැකීම යටගසා මඬිනු නොහැකිය.

බුද්ධිස්වාතන්ත්‍රවාදී (rational) ජීවිතයක් අවිචාරී වූ බුද්ධි හීන වූ (irrational) ලෝකයක ගෙවන්නට නම් කිසිම අවස්ථාවක ආචාර ධාර්මික වූ අගැයුමක විනිශ්චයක් දීමට පසුබට නොවිය යුතුය. මෙසේ කියා ඇත්තේ අයින් රෑන්ඩ් නැමති ඇමෙරිකන් දාර්ශනික කතුවරියයි. ඇය විසින් මෙම සටහනේ ශීර්ෂයෙන් ලියූ ලිපිය සොයා ගැනීමට මෙහි අන්තිමට ඇති ඉංග්‍රීසි වාක්‍යය ක්ලික් කරන්න.

අනුන්ගේ ක්‍රියාවන් ගැන විනිශ්චයක් (judge) කිරීම වැරදි යයි සමාජය සිතීම අද “හොඳ” යයි පිළිගන්නා උපකල්පනයකි. නමුත් එලෙසින් විනිශ්චයක් නොදෙන කල පුද්ගලයාගේ හැදියාව දූෂිත වන්නේය. කිසිම අවස්ථාවක තවත් අයෙකුගේ ආචාර ධර්මයන් පිළිබඳ අගැයුමක් නොදීම සදාචාරාත්මක අඥෙයවාදයයි (moral agnosticism). එයින් පිළිගැනෙන්නේ අපි කිසි විටෙක ‍ෙහාඳ හෝ නරක අතර වෙනසක් නොදකින බවයි.

පුද්ගලයාගේ සද්ගුණයන් අගය කිරීමෙන් වැළකීම හා දුරාචාරයන් හෙළා දැකීමෙන් වැළකීම නිසා යුක්තිය හෝ සාධාරණත්වය ස්ථාපිත කිරීමක් නොවෙයි. ‍හොඳ හෝ නරක කියා අගැයුමක් එක් එක් පුද්ගලයා වෙතින් බලාපොරොත්තු නොවෙන කල, එවැන්නක් සමාජයේ වාසය කරනා පුද්ගලයෝ අපක්ෂපාතීව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින කල, කවුද නරක යයි කියා සහ කවුද හොඳ යයි කියා අප සලකන්නේ කෙහොම ද?

ආචාර ධාර්මික වූ අගැයුමක් ඉදිරිපත් කිරීම මහත් වූ වගකීමකි. විනිශ්චයකරුවෙක් වන්නට කෙනෙකුට ද්‍යෝෂාභියෝග (impeach) කළ නොහැකි වූ හැදියාවක් තිබිය යුතුය. සියල්ල දන්නා ඥානයක් හෝ කිසි දිනෙක වැරදි නොවීම අවශ්‍ය නැත. ‍මන්ද මෙය දැනුමේ වැරැද්දක් පිළිබඳ ප්‍රශ්නයක් නො‍වන්නේය. විනිශ්චයක් දෙන පුද්ගලයාට අවශ්‍ය වන්නේ අඛණ්ඩ වූ අවංකභාවයයි (integrity).

කිසිම ආකාරය කුහක වූ වැරදි පිළිනොගන්නා අයෙක් විය යුතුය. උසාවියේ විනිශ්චයකරුවෙක් සේ සාක්ෂි සම්පූර්ණ නැති කළ ඇති සාක්ෂි මඟහැරිය නොයුතුය. අල්ලස් නොගත යුතුය. පුද්ගලික හැඟීම්, ආවේග, ආශාවන් හෝ බිය පෙරදැරි කරගෙන මනස විසින් විමසන විනිශ්චයේ සත්‍යතාවය පිළිබඳ දත්ත විමසීම අවුල් කළ නොයුතුය.

සෑම බුද්ධිස්වාතන්ත්‍රවාදීයෙක් විසින්ම එක හා සමාන වූ දැඩි සහ අවංක බවින් උසාවියේ විචාරයට හා සමාන පසුබිම් වන මෙවැනි ප්‍රතිපත්ති වලින් සදාචාරාත්මක අගැයුම් විනිශ්චයට තමාගේම මනස උසාවියක් කරගත යුතුය.

මේ වගකීම මහජන විනිශ්චය සභාවක‍ට වඩා තේජස් (awesome) ය. බ්‍රැඩ් පිට් Fight Club (1999) චිත්‍රපටියේ කියන ලද සේ “ලෝකයෙන් ඔබට උවමනා කරන සියල්ලම ලබාගත් විට අවසානයේ ඔබට ඔබ හා ජීවත් විය හැකියාව තිබිය යුතුය.” විනිශ්චයකරුවා ලෙසින් ඔබව ද්‍යෝෂාරෝපණය කළ හැක්කේ ඔබටමය.

තමා විසින් කරන ලද වැරදි සියල්ල දන්නේ වෙන කිසිවකුත් නොව තමා විසිනි. එය කාට වසන් කරගත්ත ද හැම දිනයේම, හැම තත්පරයේම තමා ජීවත් වන්නේ තමා කළ වැරදි සමඟය.

විනිශ්චයකාරයෙක් සේ තමා අගැයුමක් විනිශ්චය කරන හැම අවස්ථාවක දීම තමාවත් උසාවියේ විභාගයට ගැනේ. මෙය විෂයමූලික යථාර්ථයයි (objective reality).

පුද්ගලයා විනිශ්චය වන්නේ ඒ පුද්ගලයා විසින් දෙන විනිශ්චයන් අනුවය. එක් අයෙක් හොඳ යයි කියා ගුණ අගයන විෂයමූලික යථාර්ථය අනිත් අයගේ ස්වතන්ත්‍ර වූ තක්සේරුවට ලක්වෙයි. එයින් ඉදිරිපත් කරන්නේ ඒ පුද්ගලයාට විශේෂ වූ ආචාර ධාර්මික හැදියාවයි. මෙන්න මේ තමන්ගේ වූ ආචාර ධාර්මික හැදියාව ගැන බිය ඇති නිසා ආචාර ධාර්මික විශේෂත්වයක් නොමැති තත්වයක සිටීමට පුද්ගලයෝ හුරු වී ඇත.

“අනුන්ව විනිශ්චය නොකරන්න, එයින් ඔබව විනිශ්චය වන්නේය” (judge not that ye be not judged) යන සංකල්පය නිසා ආචාර ධාර්මික වගකීම අප අත්හැර දමා ඇත. අනුන්ට ඕනෑම ආකාරයකින් හැසිරෙන්නට ඉඩදෙන ආචාර ධාර්මික නොවූ ලෙසට ගණන නොදමා අත්සන් ගැසූ චෙක්පතක් බාර දෙන්නා තමන්ටත් එසේම ගණන නොදමා අත්සන් ගැසූ චෙක්පතක් අපේක්ෂා කරයි.

පුද්ගලයාට තෝරා ගැනීම් අත්හැරිය නොහැක. තෝරා ගැනීම් කරන තාක් කාලයක් අගැයුම් වලින් පළා යාමට ද නොහැකිය. අගැයුම් තෝරා ගන්නට සිද්ධ වන තාක් කාලයක් ආචාර ධාර්මික විශේෂත්වයක් නොමැති සදාචාරාත්මක අපක්ෂපාත තත්වයක (morally neutral) සිටිනු නොහැකිය.

පීඩකයා සදොස් බව නොකීමෙන් ඔහුට අත් උදව්කාරයෙක් වන්නේය. ඔහුගේ බිල්ලට හසුවන අයට දුෂ්ටයෙකු වන්නේය.

විනිශ්චයක් දෙන්න, එසේම අනුන් වෙතින් විනිශ්චය වන්නට සූදානමින් ද ඉන්න.
Judge, and be prepared to be judged.”

මොනාකෝහි යුරොපියන් ග්‍රාන්ඩ් ප්‍රී

Posted in Uncategorized by arunishapiro on මැයි 16, 2010

ලස්සන පුද්ගලයෝ හා ගැවසෙන්නට ප්‍රිය කළ අයෙක් යයි සැලකෙන්නේ මහා දාර්ශනික ප්ලේටෝවය. ලස්සන පිටතින් මෙන්ම ඇතුලතින් ද තිබෙන ස්වභාවයකි. පිටත ලස්සන හැමටම දැකිය හැකිසේම ඇතුලත ලස්සන අයගේ ද අමුතු පින් පාටක් නොහොත් සිත් ගන්නා බ්‍යාමප්‍රභාවයක් පිටට පෙනෙන්නට ඇත. ලස්සන අය හා ගැවසෙන්නට මා ද ඉතා ප්‍රියය.

අද දවසේ ලස්සනම (පිටතින් හා ඇතුලතින්) පුද්ගලයෝ රැස්ව සිටින ස්ථානයකි මොනාකෝහි ග්‍රාන්ඩ් ප්‍රී මෝටර් රේස් උළෙල. මික් ජැගර්, මයිකල් ඩග්ලස් වැනි සුප්‍රසිද්ධ අය ද මේ ලස්සන පුද්ගලයෝ අතර ගැවසෙනවා දැකගත හැකිවිය. මැලේසියාවේ ඕනෑම අයෙකුට ගුවන්ගමන් යන්නට ඉඩකඩ සැලසූ ටෝනි ෆර්නෑන්ඩේස් ද අද මේ තරඟයේ වාහන අයිතිකරුවෙකි. ඇමෙරිකාවේ පැවැත්වෙන නෑස්කාර් මෝටර් රේස් තරඟ නරඹන්නා අතරින් පැහැදිලිව වෙනස්වන යුරොපියන් ග්‍රාන්ඩ් ප්‍රී නරඹන්නා පෙනුමෙන්, ඇඳුම් පැළඳුම් වලින් මෙන්ම හැදියාවෙන් ද පියකරුය.

වාහන ද නෙත් පිනවන හැඩයෙන් යුතුය. පත ටයර් රත්ව තබන්නට නවතා ඇතිවිට ටයර්වලට ද ඇඳුම් අන්ඳවන ආකාරයත්, දිළිසෙන්නට ඔප දමා ඇති ආකාරයත් ඔවුන් වාහනයේ කාර්යක්ෂමතාවය මෙන්ම පෙනුම ගැනත් සැලකිල්ලක් දැක්වීම පෙන්නුම් කරයි.

මඟ දෙපස ඇති නිල් පැහැයෙන් වූ වතුරේ දියමන්ති සේ දිලෙන හිරු රැස් වැටුනු මුහුදත්, වතුරේ ඉහළ පහළ යන උස් වූ රුවල් ‍නංවා ඇති නැව් හා මහා සුබෝපභෝගී නෞකාවන් ද, ඒවායේ එහා මෙහා ඇවිදින රූමතියන් ද, මනා දේහයෙන් යුතු තරුණයෝ ද පරිසරය සුන්දර කරයි.

බාර් එකකට යන්නාට හමුවන්නේ බේබද්දෝය. විශ්ව විද්‍යාලයට ගොඩ වදින්නාට හමුවන්නේ උගත්කම අගය කරන පිරිසකි. වොෂිංටන් ගියවිට හමුවන්නේ ජනතාවගේ සුවසෙත සලසන නාමයෙන් මොන ආකාරයකින් හෝ බලය අයිති කරගන්නට වෙහෙසන්නෝය. ලස්සන හා (මුදලින් හා හැදියාවෙන්) ධනවත් අය හමුවන්නට නම් මොනාකෝ ග්‍රාන්ඩ් ප්‍රී බලන්නට ප්‍රංශය පැත්තට ආ යුතුය!

ක්‍රීඩා ලෝකයේ ඇති තරඟය සුහදය. ඔවුන් කෙසේ හෝ බලය අයිති කරගන්නට තැත් නොදරයි. තරඟ පිටියේ නීති වලට අනුකූලව තරඟ කරන ක්‍රීඩකයා සිය උත්සාහය, කැපවීම හා දක්ෂතාවය අනුව (ජනමතය අනුව නොව) පැහැදිලිව ජයක් අත්කර ගනී. මෙහිදී අයිස් මත රඟ දක්වන හෝ පිහිනුම් තටාකයකට පිනුම් ගහන වැනි විනිශ්චය මණ්ඩලයක ලකුණු මත ජය තීරණය කරන ක්‍රීඩා නොසැලකේ. වෙනත් අයකුගේ තීරණයක් නොව ක්‍රීඩකයෝ අතරින් පැහැදිලිවම ජය පරාජය පෙනෙන ක්‍රීඩා පමණක් නිසි තරඟය සේ සලකමි.

ලංකාවේ නුවර පැවති මෝටර් රේස් තරඟයක දී එක් තරඟකරුවෙකුගේ රේස් කාර් එක බැම්මක වැදී ඔහු ලැබූ තුවාල නිසා ඔහු මිය ගියේය. ඔහුගේ අවමංගල්‍ය උත්සවය දා මව සිය කුඩා පුතුණුවන් කිසිදා රේස් තරඟ නොකරන බවට පියා‍ගේ දේහයට අත ගසා දිව්රවා ගත්තීය. තවත් කෙනෙකුගේ අභිප්‍රායක් උපදින්නටත් පෙර සිඳ දමන ලදැයි මට සිතුණි. අපි සැමියාගේ, භාර්යාවගේ හෝ දරුවන්ගේ ක්‍රියාකලාපයන් මෙසේ පාලනය කරන්නට වැර දරන්නේ ඇයි?

තවත් ලියන්න හැකි බොහෝ දෑ ඇති වුවත් දැන් තරඟය නරඹන ලස්සන අය හා එකතු විය යුතුය. රූපවාහිනිය නරඹන ඔබට මේ ග්‍රාන්ඩ් ප්‍රී තරඟයක් නරඹන්නට අවස්ථාව ඇත්නම් මෝටර් රේස් ගැන කිසිත් නොදන්නා වුවද නරඹන්නට අයැද සිටිමි. ඔවුන් මනාව සියල්ල විස්තර කරදෙනු ඇත. මෙය ලස්සන රියැලිටි ෂෝ එකකි.

මගේ ප්‍රියතම තරඟකරුවා ලුවිස් හැමිල්ටන් දිනනු ඇතැයි බලා සිටිමි. ඒත් කවුරු දිනුවත් සතුටු වෙමි.

එක සිතුවිල්ලක් මොළය වෙනස් කරයි

Posted in Uncategorized by arunishapiro on මැයි 15, 2010

“මගේ වචන ධනාත්මකයි, වචන මගේ හැදියාව බවට පත්වෙයි. මගේ හැදියාව ධනාත්මකයි, හැදියාව මගේ හුරුව බවට පත්වෙයි. මගේ හුරුව ධනාත්මකයි, හුරුව මගේ අගැයුම් බවට පත්වෙයි. මගේ අගැයුම් ධනාත්මකයි, අගැයුම් මගේ අනාගතය බවට පත්වෙයි.” මෙසේ කියා ඇත්තේ මහත්මා ගාන්ධි විසිනි. ගාන්ධිගේ බිරියගෙන් වරක් මාධ්‍යවේදියෙකු මෙතරම් හපන්කම් රාශියක් ඔහු ඉටු කළේ කෙසේද කියා ඇසූ කළ, ඇය කියා ඇත්තේ ගාන්ධි සිය වචන, සිතුවිලි හා ක්‍රියාවන් එකිනෙක හා එකඟතාවයෙන් කටයුතු කළ බවයි.

එක සිතුවිල්ලකට අපගේ මොළය වෙනස් කරනු හැකියාව ඇත. එය නුරුස්නාකමක්, අගැයීමක්, සතුටුදායක, කිසි වැදගම්මකට නැති හෝ බියක් ඇති කරන වැනි ඕනෑම සිතුවිල්ලක් වුවද එයින් හටගන්නා සන්ධිතාවය නිසා මොළයේ සෛල වෙනස්කමක් ඇති වෙයි. එක ඇරෙන සෛලයක් විසින් තවත් සෛලයන්ට බලපෑමක් කරනු ලබයි. මෙම සෛල ක්‍රියාවලියේ දී සෛල ඇතුලත වාහනය වන ශ්‍රාවය (cerebrospinal fluid) හා ලේ ගමනාගමන පද්ධතිය මඟින් ශරීරය පුරා මෙහි දී ඇතිවන විද්‍යුත්රසායනික (electrochemical) වෙනස් කිරීම් රැගෙන යාමෙන් පුද්ගලයාට බලපෑම් ඇති කරයි.

ඉතින් අවසානයේ එක සරල සිතුවිල්ලක් හේතුවෙන් ඒ සිතූ පුද්ගලයා සු‍විශේෂී වූ, ඉතා සංකීර්ණ වූ, මහත් විශාල සංඛ්‍යාවකින් වූ වෙනස්කම් රාශියක් සිය මොළයෙන් පටන් ගෙන ශරීරයට ද අනාගතයට ද බලපාන ලෙසින් ජීවිතය වෙනස් කර ගනියි.

අපගේ උප්පත්තියේ දී මොළයේ සෛල (neurons, gila) අතර නියුරෝන බිලියන 23 කි. මේ නියුරෝන සංඛ්‍යාව නොව ඒවා එකිනෙකට සන්ධි වී ඇති ආකාරය අනුව පුද්ගලයාගේ මානසිකත්වය තීරණය වෙයි. එක නියුරෝනයක් තවත් නියුරෝනයක් හා සන්ධි වන්නේ යාබදව පවතින විට ඒ ඒ නියුරෝනවල කෙළවරයන්හි ඇති axons එකතු වීමෙනි. සන්ධි ඇතිවන්නේ යම් සිතුවිල්ලක් හෝ ඇස, කන, නාසය, ස්පර්ශයෙන් පුද්ගලයාට ලැබෙන තොරතුරුවලදීය.

“ඇවතාර්” චිත්‍රපටිය දුටු අය එහි නිල් පුද්ගලයෝ තම කොණ්ඩා කෙළවරයන්හි ඇති කෙඳි වලින් සත්තු හා ගස සමඟ එකතු වන ආකාරය දකින්නට ඇත. ඒ හා සමාන ආකාරයකින් අප ලබන දත්ත නිසා අපගේ මොළයේ ඇති එක නියුරෝනයක් අනිකුත් නියුරෝනය හා සන්ධි වෙයි. සන්ධි වන්නට උපකාර වන කොටසට සිනැප්සස් (synapses) යයි කියයි.

මෙසේ පටන් ගන්නා සන්ධි වීම එක නියුරෝනයක් තවත් නියුරෝන සියයකට වඩා ගණනකටත්, සිනැප්සස් දාහක සිට දහ දාහකට වැනි ගණනකිනුත් වෙයි. එක් අයෙකුගේ මොළයක මෙවැනි සන්ධිතාවයන් කොතරම් ප්‍රමාණයක් ද නම් Cerebral Cortex කොටසේ පමණක් ඇති සිනැප්සස් සංඛ්‍යාව ගණනය කිරීමට පමණක් වසර මිලියන 32 ක් පමණ ගතවෙනු ඇතැයි එඩෙල්මන් කියා ඇත.

“මට ….දෙය ලැබේවා” යයි ගෙයි මුල්ලකට වී ප්‍රාර්ථනා කරන්නෙක් සිතුවිල්ලක් ආරම්භ කරයි. එයින් ඇතිවන මොළයේ නව සන්ධිතාවයට තමන් තවත් සන්ධිතාවයන් ඇති කර ගැනීමට උපකාර දෙමින් ඉදිරියට ගෙන යා යුතුය.

බොහෝ අය තමන්ට යමක් ලබා ගැනීමට නොහැකි යයි සිතා සිටිය දී, එක් අයෙක් ඕනෑම දෙයක් සිතට පුළුවනි යයි කියා එය සත්‍යයක්දැයි සොයා බලන්නට එක දෙයක් ලබා ගැනීමට උත්සාහයක් ගෙන බලයි. මෙසේ ගන්නා වෑයමේ දී ප්‍රාර්ථනාවක් කිරීම මඟින් තම සිතට යම් මතක් කිරීමක් අරඹයි. සිත බලවත්ය. ප්‍රාර්ථනාවක් කිරීම යනු නොයෙක් අත මංමුලාවී හැසිරෙන සිතේ බලයට අරමුණක් ලබා දීමයි.

ප්‍රාර්ථනාවක් ඍන වූ කල අයහපත් වූ විද්‍යුත්රසායනික ක්‍රියාවලියක් මොළයෙන් බිහි කරයි. යහපත් ප්‍රාර්ථනාවන් මොළයේ හිතකර විද්‍යුත්රසායනික ක්‍රියාවලියන් ඇති කරයි. ස්වයං යෝජනාවක් හෝ දිරි වදනක් පටන් ගැනීම වචනයෙන් ධනාත්මක විය යුත්තේ මේ හේතුව නිසාය. එයින් නතර නොවී ප්‍රාර්ථනාව ඵල ලබන්නට නම් හැදියාව, හුරුව, අගැයුම් හා අනාගතය ධනාත්මක කරගත යුතුය.

හැමදාම එකම ආකාරයෙන් හිත හිතා ඉන්න බොහෝ පුද්ගලයෝ නැඹුරුව සිටිති. හිතට ගොඩ වදින සිතුවිලි ගලා යන ආකාරය ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා දවස පුරා හිතන්නේ මොනවාදැයි ඔවුන් නොදනිති. නිතර නිතර “මට …දෙය ලැබේවා” කියා පතමින් අනිත් කාලය සිතේ නළියන සිතුවිලි ගැන අවධානයෙන් නොයුතු අයෙක් අරමුණ ගැන සිහියෙන් නොවෙන්නෙකි.

අරමුණ නම් සිත දියුණු කර ගැනීමයි. නොදියුණු සිත දෙන්නේ සීමිත දෙයකි. සිත දියුණුවට ධනාත්මක චින්තනය අවශ්‍යයය. ධනාත්මක චින්තනය යනු ධනය ලබා ගන්නට සිතන චින්තනය ‍නොවේ. හොඳ සිතුවිලි වලින් සිත පුරවා ගැනීම ධනාත්මක චින්තනයයි.

හොඳ සිතුවිලි මොනවාදැයි කෙනෙකුට අළුතින් කියා දෙන්නට අවශ්‍ය නැත. තමාගේ සිතට එන දෑ ගැන කල්පනාවෙන් ඉන්න. අයහපත් සිතුවිලි වහා හඳුනාගෙන ඊට පැලපදියම් වන්නට නොදී පලවා හරින්න. එය පලවා හරින්නට කළ යුතු වඩාත්ම කාර්යක්ෂම ආකාරය යහපත් සිතුවිල්ලක් හිතේ පුරවා ගැනීමයි.

මැසිවිලි කියන්නෝ සුලබ පරිසරයක හිත අපිරිසිදු වීම නිතර සිද්ධ වන්නකි. පුරුද්දට ගිය කල උදේ ඇහැරුණ වේලේ පටන් රාත්‍රී නින්දට යන තෙක් අවලාද, ඕපාදූප හා දුක් කරදර ගැන කන්දොස්කිරියාවෙන් පිරුණු කතාබහ දෙසවනට වැටෙන පරිසරයක දියුණුවක් ඇති වන්නේ කෙසේද?

අනුන්ගේ ඍන වදන් වලින් තමාගේ ධන චෛතසිකය සෙලවෙන්නට නොදී පවුරක් ලෙසින් පවත්වා ගන්නට නම් තමා නිතර දෙවේලේ එළඹ ගත් සිහියකින් යුක්ත විය යුතුය. එසේම තමාගේ ප්‍රගතියට කෙනෙක් ගෙන් ලැබෙන නිසි විවේචනයක් ඍන වදනක් කියා බැහැරලන්නට පෙර ඒ ගැනත් විමසා බලන්න.

යන එන ගැවසෙන තැන්වල කෙරෙන කතාබහ ඔබගේ සවනට වැටෙද්දී විමසිලිමත්වන්න. ධනාත්මක අගයකින් යුතු කතාබහට එක්වන්න. ඍන ඕපාදූප වලින් ඈත් වන්න. පිටව යා නොහැකි, බස් රථයක හෝ කෝච්චියක හිර වී සිටින කල තම සිතින් ධනාත්මක දෙයක් ගැන සිතන්න.

කෙනෙක්ගේ සිත නිතර සිතන සිතුවිලි මොනවාද ඒ හා සමාන සිතුවිලි සිහියේ තිබීම ක්‍රමයෙන් වර්ධනය වෙයි. හොරකම් කරන්නාගේ සිතේ සැලසුම් ඇ‍ඳෙන්නේ හොරා ගන්නා ආකාරයන් ගැනය. පින් දහම් කරන්නට කැමැති අයගේ සිතෙහි ඇතිවන්නේ ඒ සඳහා මාර්ගයන්ය. මේ ආකාරයෙන් “මට …දෙය ලැබේවා” යයි ප්‍රාර්ථනය කරන්නාගේ සිතට ඒ දෙය ලබා ගැනීම සඳහා කරත හැකි මාර්ග ගැන සිහියට එයි. ඒ අනුව කටයුතු කරද්දී, ධනාත්මකව අරමුණ කරා යන්නට සිත යොමු කරගත යුතුය.

තමනට සිද්ධ වන අලාභ හානි, උවදුරු හා විපත්, රෝගී තත්වයන් රස කර කර කියන්නට ඇබ්බැහි වී ඇති අය ඇත. එයින් ඔවුන් ලබන්නේ ඍන වින්දනයකි. එවන් අය වෙත තව තවත් එවැනිම දේවල් ළඟා වෙයි. ඔවුන්ගේ මොළය අයහපත් රසායනයෙන් පිරී යයි. තව තවත් අගාධයටම ඇද දමයි. තමන්ගේ සිතට එවන් අය කෙරෙහි අනුකම්පාවෙන් බලන්නට ඉඩ නොතියන්න. අනුකම්පාව දැක්විය යුත්තේ දුර්වලතාවයෙන් ගොඩ එන්නට වෙර දරන තැනැත්තාට මිස එහි ලැග ඉන්නාට නොවේ. ශක්තිමත් මනසක් වඩවා ගන්නා අනුන්ගේ දුක් ගැනවිලි ගැන නොසිතයි. ඒවා ගැන හිතන්නට කාලය ද නාස්ති නොකරයි.

අලාභ හානියක් හෝ විපතක් සිද්ධ වූ විට ද, එය ගැන ලතවීම බැහැර ලා ගොඩ එන මාර්ග ගැන සොයන්නට පටන් ගන්නා අයට ඉතා ඉක්මණින් යහපත් මානසිකත්වයක් ළඟාවේ. විපතක් ගැන සිතිය යුත්තේ එය තවත් අභියෝගයක් කියාය. එසේ සිතන්නාට විපත් අඩුවෙන් ද ජයග්‍රහණ වැඩියෙන් ද ළඟාවෙයි.

දියුණු සිතක් ඇති කරගන්නට කැමැත්තා වඩාත් ඇසුරු කරන්නේ ධන සිතුවිලි පිරි පරිසරයක ඉන්නා අයයි. තමාගේ සිතට එන ඍන අදහස් පලවා හරින්නට පුරුද්ද වඩවා ගෙන යද්දී දියුණු සිතට ඇල්ම කරන්නා ඍන කතාබහ ඉක්මණින් හඳුනාගෙන එයින් පලා යයි.

අපි සොයා යන්නේ මොනවා ද? අප වෙත ලැබෙන්නේ අපි සොයා යන දෑය. දියුණු සිත සොයා යන ග‍මනේ දී ඍන කතා බහෙන් ඈත් වෙමු. ධන සිතුවිලි වලින් සිත පුරවා ගනිමු. මෙය නිතර නිතර මතක් කර ගනිමු. එසේ නොකරන අයගේ ආශ්‍රය දුරස් කරමු.

මෙසේ නොකර ඕනෑම ආකාරයකින් නිෂ්ඨාව ඉෂ්ට කරගන්නට උත්සාහය ගන්නාට පැහැදිලි මෙන්ම අපැහැදිලි ප්‍රතිඵල ද ලැබීම වළක්වා ගත නොහැකිය. පැතුම් ඉටුවුනත් ශාරීරික ආබාධ මතුවිය හැකිය.

මොළයේ ඇතිවන සන්ධිතා ප්‍රමාණය හා එය සිද්ධවන ආකාරය එක් එක් පුද්ගලයා අනුව විශේෂ වූවකි. අළුත් තොරතුරු ඉදිරියේ ඒවා බාරගන්නා එක් එක් අවස්ථාවේ දී අප සිතන්නේ කෙසේද ඒ ඒ අවස්ථාවට අනුව සන්ධිතාවයන් ගොඩ නැ‍ඟේ. නිරෝගී සිත හැකිතරම් ඔබව කරදරයෙන් බේරාගෙන යහපත සඳහා මෙහෙයවයි. ඊට සවන් දීම හෝ නොදීමට ඔබට නිදහස ඇත.

ඇරෙන වැහෙන මොළයේ සෛල

Posted in Uncategorized by arunishapiro on මැයි 12, 2010

අපේ ශරීරය එක් එක් අවස්ථාවන්හි වෙනස් වෙනස් වූ උවමනාවන් සපුරාලන්නට හැඩගැසී ඇත. උදාහරණයක් වශයෙන් පිපාසිතයෙකුට වතුර උගුරක් තරම් වෙන කිසිත් වැදගත් නැත. මහත් විඩාව ඇති කල නින්ද තරම් වැදගත් කිසිත් නැත. එසේම උපන් දා සිට අපගේ නිරෝගි මොළයේ වැඩීමට නළියන සෛලයන්ට ඒ ඒ කාලයේ දී අත් උදව්වක් ලබා දෙන්නේ නම් ඒ පුද්ගලයාගේ මොළය තීක්ෂණ බුද්ධියෙන් පිරී යයි. නොසැලකිල්ල නිසා හෝ නොදන්නාකම නිසා අත්හරින ලද මොළයේ සෛල දුර්වල වී, වියළී හැකිළී යයි.

එක් එක් වයස්වල දී අපට පහසුවෙන් ඉගෙනගත හැකි කුසලතාවන් වෙති. උපන් වයසේ සිට අවුරුදු හතර දක්වා කාලයේ දී නොයෙකුත් හැඩ, පාට, දුර ප්‍රමාණයන් හා චලනයන් දකින දරුවා දකින තොරතුරු හඳුනා ගැනීමත් තොරතුරු සංවිධානටත් ඇති මොළයේ සෛල වඩවා ගනියි. මේ වයසේ දරුවාගේ මොළය වැඩිහිටියෙකුගේ මොළයට වඩා දෙගුණයකින් ක්‍රියාකාරීත්වය වැඩිය. බොහෝ ගුරුවර ගුරුවරියන්ගේ දරුවෝ මොළයේ වඩාත් සෛල ප්‍රමාණයක් ඇර ගන්නේ ළදරු වයසේ දීම තම දෙමව්පියන්ගේ ගුරු බලපෑමෙන් ලබන ප්‍රතිඵල හේතුවෙනි.

උප්පත්තියේ සිට අවුරුදු දහය දක්වා භාෂාව ප්‍රගුණ කරන කාලයයි. ඕනෑම භාෂාවක් හෝ භාෂා කිහිපයක් එකවර කතා කිරීමේ හැකියාව දරුවාට ඇත. මෙම කාලයේ දරුවාට ඇහෙන්න හැකිතරම් කියවන්න, ගයන්න හා දරුවාටත් කැමති තරමට ඒවායෙහි නියැළෙන්නට ඉඩ ලබා දීමෙන් ඒ සඳහා ඇති සෛල වඩවා ගත හැකිය. භාෂා කිහිපයක් එකවර කතා කිරීමෙන් ඒ භාෂා සියල්ල කතා කරන්න දරුවා පුහුණු වෙයි.

උප්පත්තියේ සිට මාස 18 දක්වා වැඩෙන්නේ චිත්ත ආවේගාත්මක මොළයයි. පුද්ගලයා සතු IQ මඟින් 20% ක් එම තැනැත්තාගේ දක්ෂතාවයන් තීරණය කරද්දී පුද්ගලයාගේ චිත්ත අවේගාත්මක බුද්ධිය ඉතිරි 80% දක්ෂතාවය සපුරාලයි. මොළයේ ඇති amygdala නම් කොටස වැඩෙන මේ යුගයේ දරුවෝ අවට අයගෙන් ලබන සුහදත්වය නිසා යහපත් පුරවැසියෝ වෙති. කෲරත්වය නිසා අයහපත් දුෂ්ටයෝ වෙති. මේ කාලයේ දී දරුවන්ට හැකිතරම් සුහදත්වය, සෙනෙහස පෙන්වීම වැදගත්ය. නිවසේ සෞම්‍ය පරිසරයක් තිබීම ද වැදගත්ය.

වයස අවුරුදු 21 ක් පමණ වනතුරු ‍තරුණ මොළයක dorsal lateral prefrontal cortex කොටස සම්පූර්ණයෙන්ම වැඩී නොමැත. එමනිසා හරි තීරණ ගැනීමටත්, නිසි ලෙස ප්‍රශ්න විසඳීමටත්, අද කරන කටයුත්තක අනාගත ඵල විපාක වටහා ගැනීමටත් හැකියාවක් එම වයසේ මොළයකට නැත. ඒ නිසා මෙම කාලය තුල දී අනාගත ජිවිතයට බලපාන වෙනස් නොකළ හැකි දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටීම සුදුසුය. නමුත් ඒ නිසාම තනි තීරණ ගැනීමේ හැකියාව යටපත් කිරීම සුදුසු නොවේ. වර්ධනය කරගත යුතු හැකියාව ගැන සැලකිල්ලෙන් සිටීම කළ යුත්ත වන්නේය.

මොළයේ සංගීතය ඇසෙන පැත්තම ගණිතයට ද දක්ෂකම් දක්වන පැත්ත වෙයි. ගර්භාෂයේ සිටින මාස පහක් වූ කළලයටත් සංගීතය ඇසෙන්නට සලස්වා කරන ලද පර්යේෂණ වලින් පෙනී ගියේ ගර්භාෂයේ සිටිය දීම දරුවා ඊට ප්‍රතිචාර දක්වන ආකාරයයි. තවම ඇයිදැයි පැහැදිලිව තේරුම් කරගැනීමට නොහැකි වුවත් ශාස්ත්‍රීය සංගීතය (පොප් සංගීතය නොව) මොළයේ වැඩීමට උපකාර වන බව පෙනී ගොස් ඇත. සම්භව්‍ය සංගිතයේ ඇති සංකීර්ණත්වය ගණිත ගැටළු විසඳීම සඳහා උදව් වන spatial reasoning කරන සෛල අරියි. දරුවා වැඩෙත්ම වයස අවුරුදු 10 ට කළින් සංගීත භාණ්ඩ වාදනය ඉගෙන ගැනීමෙන් ද ගණිතයට දක්ෂකම් ඇති මොළයේ සෛල අවදි කර ගනියි.

මොළයේ සෛල වර්ධනය කුඩා කාලයේ දී වේගවත් වුවත් වයසට යද්දී අඩු වේගයකින් සිද්ධ වූවත් එය පුද්ගලයාගේ මරණය දක්වා ඇරෙන වැහෙන ක්‍රියාවලියකි. මනසට වැඩක් බාර දුන්විට මනස ක්‍රියාත්මක වන අතර වැඩක් නොමැති මනස මළකඩ බැඳි මොට ආම්පන්නයක් වෙයි.

අප ව්‍යායාම දෙන ප්‍රමාණය අනුව අපේ මාංශ පේශීන් වැඩේ. දුවන අයගේ කකුල්වල මාංශ පේශී ශක්තිමත්ය. බර උසුලන අයගේ අත් ශක්තිමත්ය. එලෙ‍සම මොළයට ද ව්‍යායාම අවශ්‍යයය. වැඩිය කතාබහ නොකරන අයකුගේ කතාබහට ඇති මොළයේ සෛල ක්‍රමයෙන් හැකිළී යන්නේය. එසේම ‍නිතර නිතර ලියන්න, හෝ කතා පවත්වන්න වෙර දරන අයකුගේ ඒ සඳහා ඇති සෛල වර්ධනය වී දියුණු වන්නේය. ඔබට වඩවා ගන්නට අවශ්‍ය කුමන දක්ෂතාවය ද? ඒ ගැන නිරන්තර උත්සාහයක් ගන්නා විට ක්‍රමයෙන් ඊට වෙන් වූ මොළයේ සෛල ඇරී දියුණු තියුණු වෙයි. එමඟින් ඔබට එයට දක්ෂයෙක් වන්නේය.

ශරීරයට පෝෂණය ලබා දෙන විට ශරීරය ශක්තිමත් වන්නා සේම මොළයට පෝෂණය ලබා දිය යුත්තේ දැනුම, කුතුහලය වඩවන තොරතුරු වලිනි. හැමදාම එකම දේ කියවන, එකම අය හා එකම ඕපාදූප කතාබහ කරන, එකම දේ අහන, මොළයට අළුත් යමක් ඇතුල් වන්නේ කොහින් ද? මනසට තොරතුරු මඟින් දෙන පෝෂණය සේම ආහාර මඟින් ද පෝෂණයක් ලැබෙයි. එනම් අප අනුභව කරන සමහර ආහාර පාන ද මොළය වර්ධනයට උපකාර කරයි. බත් හෝ මස් පිරි අහරට වඩා ඒ සමඟ පලා වර්ග, අල, ධාන්‍ය හා පළතුරු පිරි සමබර ආහාර වේලක් කෑම වඩාත්ම සුදුසුය.

වැසී ගිය හෝ අනතුරක් නිසා නැති වී මොළයේ සෛල නැවත අරිනු හැකිදැයි පර්යේෂණ අද පැවැත්වේ. සමහර අයගේ ප්‍රගතිය වෛද්‍ය පර්යේෂකයෝ පවා පුදුමයට පත් කරති. ඒ වැඩි දියුණු වීම් සියල්ලටම මූලික වන එකම සාධකය නම් පුද්ගලයාගේ දැඩි උවමනාවයි. නිතරම එකම ලෙසින් කරන කාර්යයක් වෙනත් ලෙසකින් කරත හැකිදැයි සොයා බලන්නාට මොළයේ නව සෛල ඇරගත හැකිය. හැමදාම දකුණතින් කොම්පියුටරය පොයින්ට් ක්ලික් කරන්නා එය වමතින් පාවිච්චිය පටන්ගත් දාට අළුතින් සෛල ඇරේ. හැමදාම දකුණතින් හිස පීරන්නාට වමතින් හිස පීරා මොළයේ සෛල ඇරගත හැකිය.

ඇරෙන හැම සෛලයක් නිසාම මොළයේ ක්‍රියාකාරීත්වය තියුණු වන්නේය. ලෝකය පුරා දිවෙන කේබල් වයර් සංඛ්‍යාව ලෝකයේ ජනගහණයට තොරතුරු දැන ගැනීමටත් එයින් ප්‍රයෝජන ගැනීමටත් උදව් උපකාර වන්නා මෙන් අළුත් තොරතුරු ඇසින්, නැහැයෙන්, කනින්, ස්පර්ශයෙන් ලබන මොළයේ ද නියුරෝන සංධිතාවයන් අළුතින් පටන්ගෙන ඒ ඒ කාර්යයන් සඳහා වන සෛල ඇරී දියුණුව සලසන සම්බන්ධතාවයන් ඇති කරන සංකීර්ණ නෙට්වර්කින් පටන් ගනියි.

මොළයේ වර්ධනය එක මොහොතින්, එක දවසින් හෝ එක සතියෙන් ප්‍රතිඵල ලබනු හැකි එක ජයක් නොව එක් එක් පුද්ගලයාගේ කැපවීම අනුව, ඒ අයගේ මොළයේ සෛල වැඩීම අනුව ඒ ඒ පුද්ගලයාටම අවේණික වූ වේගයකින් සිද්ධවන ජයග්‍රහණයක් අනේක සංඛ්‍යාවකි. එසේම මොළයට පෝෂණය දීම නතර නොකරන්නාට එය උපන් දා සිට මරණය දක්වාම නොනැවතී දියුණු කරගත හැකිය.

සිතෙන් වැඩගන්න හැටි

Posted in Uncategorized by arunishapiro on මැයි 11, 2010

සිතෙන් වැඩගන්න හැටි ලෝකයට මුලින්ම කියා දුන් ශාස්තෘවරයා බුදුරජාණන්වහන්සේය. කාලයාගේ ඇවෑමෙන් ඒ පිළිවෙත පැතිර ගිය රටවල තිබූ පැරණි මත හා ඉන්දියාවේ සිද්ධාර්ථ ගෞතමයාණන්ටත් පෙර පැවති බමුණු මත හා යළි එකතු වී කැඳ හැලියක් ව කැළතී තිබිය දී ලංකාවේ සුමනදාස සමරසිංහ නැමත්තා එය නැවත පහදා ගත්තේය. ඔහු එය කියා දුන්නේය. තම තම නැණ පමණින් ඔහුගේ අනුගාමිකයෝ සිතෙන් වැඩ ගන්නා හැටි වටහාගන එයින් වැඩ ගත්හ.

කරපින්නා ගත් මිථ්‍යා දෘශ්ටියන් බිමට හෙළන තෙක් සිත යොදවා ගත හැක්කේ සීමිත වූ ජයග්‍රහණයන් පමණි. මකුළු දැල් කඩා පිරිසිදු කරගත් මනස කොතරම් තියුණු ආයුධයක් ද (ගින්න සොයාගත් මානවයාට වැනි) යන්න ඊට උත්සාහයක් දරන්නාට පැහැදිලිව වටහා ගත හැකි වෙයි. ඇත්ත ඇති සැටියෙන් දකිනා කල අනාගත වාක්‍යය පහළ කරත හැකියාව ලැබෙයි. ඒ කේන්දරය බලා නොවේ.

පිළිවෙත ගැඹුරුය. එසේම සරලය. හැමදාම උදෑසන නැඟිට තේ කෝප්පයක් බොන්නට පුරුදු වූ අයට ඇති හැදියාව ඒ ගැන විමසීමක් හිතා බැලීමක් නොමැතිව සිද්ධ වන්නා සේ සිතෙන් වැඩගත හැකි පිළි‍ෙවතෙහි ගැඹුරු බව අවබෝධය නොහැක්කේ ඇරුණු මනසට නුහුරු නිසාය. තමා කරන කියන දෑ විමර්ශනය කිරීම හුරු කරගත යුතුය. යමක් ඒ ආකාරයෙන් කරන්නේ හැමදාම එය එසේම කළ නිසා ද නැතහොත් ඒ වඩාත්ම කාර්යක්ෂම හා වැඩි ඵල ලබාදෙන ආකාරය ද? සෑම දෙයටම නිසි අවධානය (attention), විමර්ශනය (inquiry), හා වෙනස (change) භාවිතා කිරීම බැඳි පළමු කඩුල්ලයි. එයින් පැන්න දාට මෙය කොතරම් සරල පිළිවෙතක් ද යන්න සක් සුදක් සේ අවබෝධ වෙයි.

‍ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ කෘතිම බුද්ධිය පාඨමාලාව වැනි බොහොමයක සිද්ධ වෙන පර්යේෂණ හා දැනුම අද දවසේ විස්තර කර දෙන්නට වැර දරන්නේ බුදුරජාණන්වහන්සේ ඉතා ඈත කාලයක දී ලොවට වදාළ සිත වැඩ කරනා පිළිවෙත ක්‍රියාත්මක වන ආකාරයයි. එය තවමත් විද්‍යානුකූලව ඔප්පු කර ගැනීමට මේ විද්‍යාඥයන්ට නොහැක්කේ ඔවුන් ද හණමිටි සම්ප්‍රදායික මතවාද වලින් බැහැර විය නොහැකිව ලතවීම නිසාය.

සුමනදාස සමරසිංහ පැහැදිලි කර දුන්නේ මන‍ස ක්‍රියා කරන ආකාරය පිළිබඳව (ජීව විද්‍යානුකූල පර්යේෂණයකින් නොව බෞද්ධාගම පෙරදැරිව මනුෂ්‍යයාගේ ස්වභාවික හැසිරීම නිරීක්ෂණය කොට සොයාගත්) මූලික ධර්මයයන්ය. බුදුරජාණන්වහන්සේ කියා දුන් “මනෝ පුබ්බංගමා ධම්මා..” අනුව මනසින් වැඩ ගන්නා ආකාරය අනතුරුව සුමනදාස සමරසිංහ සරලව පැහැදිලි කළේය.

කුඩා කාලයේ පටන් මනසින් වැඩ ගන්නට හුරුවක් වඩාගත් නිසා ඉතා පහසුවෙන් ජීවිතය ජයගන්නට හැකියාව ලැබුණි. මනස හසුරුවන්නට නොදත් සහෝදරිය වතුර බාල්දි වල කකුල් ඔබාගෙන, රෑ නිදි කිරමින්, නැවත පාන්දර හතරට අවදි වී පාඩම් කරද්දී මා නිදි මැරුවේ නැත. පොත් කියවද්දී එකවරින්ම ධාරණයට සමත් වීමි. පංතියේ සවන් දීම පමණකින්, ටියුෂන් පංති නොයා, කට පාඩම් නොකර, විභාග ඉහළින්ම, එකවරින්ම පාස් වුනෙමි. ලාංකික අධ්‍යාපන ක්‍රමයේ ධාරණය මිස විමර්ශනයට හෝ ගවේෂණයට ඉඩක් නැත. ඉතින් විභාග පාස්වීම කොතරම් පහසු ද? වඩවා ගත යුත්තේ ධාරණ ශක්තිය පමණි.

ඉතා වේගයකින් කියවීමේ හැකියාව වර්ධනය කරගත් නිසා එක් නිවාඩු කාලයක් කොළඹ මහජන පුස්තකාලයේ එක පොත් කාමරයක පොත් රාක්කවල තිබූ පොත් සියල්ලම කියවා අවසන් කළෙමි. ලංකාවෙන් පිටත් වෙද්දී එතෙක් පළ කරනා ලද සියළු පොත්පත් අඩුගානේ පොත ඇර බලා වැදගත්කමක් ඇත්දැයි වත් සොයා බලා තිබුණි. නිවාඩුවකට ලංකාවට පැමිණි මා සමඟ පොත් කඩයකට ගිය මගේ යෙහෙළියක් මා පොත් එකතු කරගත් ආකාරය දැක පුදුම වූවාය. මා වාසය කරන ඕනෑම ප්‍රදේශයක පුස්තකාල හා පොත්කඩ මා නිතර ගැවසෙන තැන්ය. හැම අංශයකින්ම ලියූවක් කියවන්නට හා අවබෝධයට නිති උත්සාහය ගනිමි. අද ඒ විභාග පාස්වන්නට නොව මනසට පොහොර දෙනු පිණිසය. මනසින් වැඩ ගන්නට පෙර මනසට පොහොර දිය යුතුය. යන්නේ කොහෙද කියා දැන යාමට ගූගල් සිතියමක්වත් තිබිය යුතු සේය. නොදැන ගියොත් අතරමං වන්නා සේ මනසින් ගත හැක්කේ කුමන වැඩදැයි සොයා ගැනීමට ඊට පසුබිමක් සකස් කරගත යුතුය.

එඩ්ගා කේසී වැන්නන් හැඳි ගෑරුප්පු නවන විජ්ජා මනසින් වැඩ ගැනීමක් නොවන බව වටහා ගන්නට මෙසේ මනස වර්ධනය කරන පසුබිම අනුව හැකිවන්නේය. ඉන්පසු හරි නොයන දේ එසේ වීමට හේතුව මන්දැයි වටහා ගන්නට හැකිය. නමුත් එය පැත්තක් අල්ලා ගත් මනසකින් නොහැක. අළුත් පිටුවක ඕනෑම දෙයක් ටයිප් කරනු හැකි සේ, ඕනෑම පවර්පොයින්ට් රූපයක් ඇඳිය හැකි සේ මිසදිටු මත බැහැර කරන්නාට හරි නොයන දේ එසේ වූයේ මන්දැයි ‍වටහා ගැනීමටත් ඉදිරියේ දී හරියන ආකාරයට කරන්නට බුද්ධියත් පෑදෙන්නේය.

සිතෙන් වැඩ ගන්න සිතට පොහොර දැමිය යුත්තා සේම ඊට පසුබිමක් සකස් කරදිය යුතුය. ඥානය වඩවා ගත යුතුය. සිතේ කුනු කන්දල් බැහැර කරලිය යුතුය. එසේ නොකර සිතෙන් වැඩ ගන්නා අය මනස හඳුනා නොගෙන ජීවිතයේ සීමිත ජය පමණක් ලබාගත්තවුන් බවට පත්වෙති.

ධන චින්තනය යනු ධනවත් වන්නට මාර්ගය යයි වැරදියට සිතා ගත්තවුන් අවසානයේ ලබන්නේ සීමිත වූ ධනවත් බවක් ද පමණි. ධන චින්තනය නම් සිතූ පැතූ සියල්ල ලබාගත හැකි මාර්ගයයි. නමුත් සිතන පතන සියල්ලම තමා ඒ බලාපොරොත්තු වන විදියට යයි සිතා පතා ඒ ආකාරයන්ගෙන්ම ලබද්දී යම් සන්ධි ස්ථානයකට පැමිණ, ලැබෙන ආකාරයට අකැමතිව, දැන් එසේ ලබනු අකමැතිය එනිසා මේ ආකාරයට ලැබීම දැන් නවතිනු යයි සිතට කිව නොහැක. සිත යනු වැඩගන්නට මුල සිටම නිසි ලෙසින් හුරු කරගත යුත්තකි.

අවශ්‍ය වන්නේ කුමක් ද එය ලබාගන්නට හැකියාව තමාට ඇතැයි කීම බුදුරජාණන්වහන්සේ නන්ද කුමරුට දිව්‍යාංගනාවන් ලබාගන්නට මහණ වන්න යයි ආරාධනා කිරීම හා සමානය. නිසියාකාරව සිතෙන් වැඩ ගන්න ආකාරය අවබෝධ කරගන්නා අය කිසිදාක වැරදි මඟක ගොස් අතරමං වන්නේ නැත. අයුතු දේ ලබාගන්නට සිත යොදා ගන්නේ නැත. එය හරියාකාරව අවබෝධය නොලත් අය, ධනවත්, සුප්‍රසිද්ධ අය වුවත් සාර්ථකත්වය නොලබති. මන්ද සිත යොමු කළේ සීමිත වූවකට පමණක් නිසා ඔව්හු ධනයෙන් පිරි වුවද නොයෙකුත් ශරීර ආබාධයන් වලින් පෙළෙති. අසාර්ථක පවුල් සබඳතාවල හිර වී සිටිති. නොයෙක් චිත්ත පීඩාදියේ පසුවෙති.

මා ගත කරන්නේ මනෝහර ජීවිතයක් (charmed li‍fe) යයි මා ළඟින් දන්නා හඳුනන අය මට නිතර කියති. එය ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකිය. අවශ්‍ය වන්නේ ඊට උවමනාවත් අත් නොහරින කැපවීමත් පමණි. දැන් පැවතෙන්නේ ඇමෙරිකාවේ ගෙවල් අලෙවිය ඉතා දුෂ්කර සමයකි. සමහර පෙදෙස්වල නිවෙස්හි මිල වටිනාකමින් භාගයකටත් වඩා අඩු වී වසර කිහිපයක් වෙළඳ පොලේ හෙම්බත්වන තත්වයක් ඇත. අපි පදිංචි ප්‍රාන්තය වෙනස් කරද්දී අප නිවස වෙළඳපොලට ඉදිරිපත් කර දවස් තුනකින් අපි ඉදිරිපත් කල මිලටම ගන්නට කැමති අය හා එකඟතාවයකට අත්සන් තබා අපට අවශ්‍ය වූ දිනයට විකුණන්නට හැකිවිය. අපව දන්නා සියල්ලන්ටම (මගේ සැමියා ද ඇතුළුව) එය පුදුමයක් වී නමුත් මට එය තවත් ජයග්‍රහණයක් පමණි. එසේ කියන්නේ එහි වැදගත්කම අවතක්සේරු කරන්නට නොව, මහන්තත්වකමකට නොව, ඔබටත් මටත් දායාදව ඇති සිතේ බලය කොතරම් මහත්දැයි මා වටහාගෙන ඇති නිසාය.

හැදියාව පිරිසිදු කරගත් තරමට සිතේ බලය වැඩිවේ. සිතේ ශක්තිය තියුණු වේ. හැදියාවේ ඇති දුර්වලතාවයන් සිත මොට කරයි. සිත බැඳ එකතැනක තබන්නට වෙර දරයි. චංචල සිතකින් ප්‍රයෝජන අඩුය. සංසුන් සිත අරමුණ සාක්ෂාත් කරවයි. වැදගැම්මකට ඇති වැදගත් දේ සොයන සිත පෝෂණය ලබයි. යහපත් මිතුරු ආශ්‍රය සිත දියුණු කරවයි. පුද්ගලයා නිරෝගී කරවයි. පුද්ගලයා ප්‍රසන්න පෙනුමකින් යුතු කරවයි. මෙය විජ්ජාවක් නොව විද්‍යාවකි.

නිසියාකාරව සිතෙන් වැඩ ගැනීම ප්‍රගුණ කරගත් පසු සිතට කතාකරන්නට අවශ්‍ය නැත. ජයගත යුත්ත සිතට කියන්නට වුවමනා නැත. සිතින් ඉල්ලන්නට අවශ්‍ය නැත. සිත ඔබේය. ඔබේ සිත අරමුණ දනී. එය ඔබට ඉටු කර දෙයි.