සුමනදාස සමරසිංහ නම් වූ අපූර්ව පුද්ගලයා
ස්ථානය දෙමහල් නිවසක සදළුතලයකි. විවිධ පාටින් යුතු බෝගන්විලා මල් පෝච්චි පෙළකින් ද, සුදු තීන්තෙන් ඔපවත් වූ යකඩ වැටෙකින් ද එතැන සුන්දර වුණි. සාකච්ඡාවකට සරිලන සේ අඩ රවුමකට තැබූ ඇඳි පුටුවල අසුන් ගෙන ජනතාවගේ සිත් අවදි කරන්නට මේ පුද්ගලයා පටන් ගත්තේ “තම තම දැන පමණින්” බ්ලොග් ලියන කුමුදු පින්තු වැනි සත්‍යය ගවේෂකයෝ කෙනෙක් දෙන්නෙක් සමඟය. සාකච්ඡා පැයකට හමාරකට පමණක් වෙන්කළ නොහැකි වුණි. මනස දියුණු කරගන්නට පිපාසයෙන් පෙළෙමින් සිටි බාල මහළු සෑම දෙනාම ඔහු වටා එක් රොක් වූහ.
ඔහුගේ කතාව සරලය. උපමා කතා හා විහිළු අනේකය. ඇසූ පිරූ තැන් බොහෝය. ස්වාධීන චින්තය නුහුරු නොයෙකුත් මානසික බැමි වලින් පීඩිතව සිටි රසිකයෝ පුටුවලින් නැඟිටින්නට අකැමැතිව අන්තිම බස් එකේ ගෙදර යන්නේ අඳුර දුරලන මනසට ආලෝකය ලබාගෙනය. ඔවුන් ඊ ළඟ දිනයේ එන්නේ තවත් කෙනෙකු කැටිවය. වැඩි කලක් නොගොසින් සඳළුතලයේ පුටු මදි විය.
කොහුවල ග්රීන්පාත් සිට දෙහිවල දුටුගැමුණු වීදියේ නව නිවහනට ඔහු ගියේ තම ගෝල පිරිස හා පා පෙරහැරකිනි. පාඩම් පොත් පෙළකින් ආරම්භ කල ඔහු විසින් ලියූ පොත්පත් දැන් උණු කැවුම් මෙන් අලෙවි වෙයි. කුරු පොල් ගස් යට බොරළු මිදුලට පුටු රාශියක් එක්විය. සාකච්ඡාවට සහභාගී වූ පිරිස දවසින් දෙගුණ තෙගුණ වන්නට පටන් ගැනුණි.
ඉරිදා උදය වරුවට සීමා වූ දේශනයත් ඉන් අවසානයේ ප්‍රශ්න පිළිතුරු සංවාදයටත් සහභාගී වන්නට අනුරාධපුරයෙන්, රත්නපුරයෙන්, අඟුණකොලපැලැස්සෙන් වැනි ගම් නියම්ගම් වලින් ජනතාව පැමිණියහ. අව්ව සැර වෙද්දී එක් පැත්තකට ඇදෙන පුටු පෙළ අව්ව බහිද්දී තවත් පැත්තකට ඇදෙයි. උදය වරුවට කියා සීමා වී පටන් ගත්ත ද දිගින් දිගට යන කතාවේ විරාමයක් නැත. සහභාගී වන්නන් වෙත කිරි තේ කෝප්පයක් ද දීමේ සිරිත පටන් ගැනුනේ දවල් කෑමත් පහුවෙන තෙක් ඔවුන් රැඳී සිටි නිසාය. ටික දිනෙකින් නිවස ඇතුලත ශාලාවක් ඉදිවිය. සියයක් පිරිසකට එහි පුටු තැබුණි. සියයක් තේ කෝප්ප හැදුණි. එහෙත් සියයක් පුටු පිරී යන්නටත්, සියයක් කෝප්ප පීරිසි මදි වෙන්නටත් වැඩි කලක් නොගියේය.
හමුවට නිතිපතා පැමිණි විදුහල්පතිවරයෙකුගේ ඇරයුමෙන් තවත් පා පෙරහැරක් ඇරඹුණි. මෙවර සොයා ගියේ පාසැලකි. පාසැල් කාමර දෙක තුනක් පිරෙන්නට ගියේ තවත් මාස කිහිපයකි. පාසැලේ ඉඩකඩ ද මදිවිය. පුරහල්වල, රඟහල්වල සම්මන්ත්රණ පටන් ගැණුනි. ඕනෑම නගරයක ආසන දාහක් පුරවන්නට මාස්පතා නිකුත් වූ “චිත්ත ධර්ම විද්‍යා” පත්‍රය පමණක් සමත් විය. පොත්පත් සඟරා විකුණා සහ සම්මන්ත්රණ පවත්වා සංවිධායකවරු ද ලාබ හා කීර්තිය ලැබූවෝය. සවන් දෙන ජනතාව තම ආර්ථික හා අධ්‍යාත්මික තත්වයන් වැඩි දියුණු කරගත්හ.
ඔබටත් මටත් හිමිව ඇති මහඟුතම වස්තුව වූ සිත අපගේ දියුණුවට යොදා ගන්නේ කෙසේද යන්න ඔහු පුරා වසර තිහකට අධික කාලයක් ලාංකික ජනතාව හමුවේ තැබීය. කථිකත්වය ක්‍රමයෙන් තියුණු වුවත් භාෂාව පටන්ගත් දා සේම සරලය. උපමා හා විහිළු කාහටත් වටහාගත හැකි සේ සිතට හුරු පුරුදුය.
කටුකුරුන්දේ “තරු එළිය” නිවසේ කාර් හෝදන්නට සහභාගී කර ගනිමින්, එකට ඉරිදා උදෑසන පත්තර කියවමින් සිටි, කන්දෙවත්තේ නිවසේ දී ස්කූටරයක නැඟ ඉස්සරහින් සිටගෙන පාසැල් එක්ක ගිය, කොහුවල නිවසේ දී මාළු කූරීන් පිටින් උයා අලිගැට පේර ක්‍රීම් හදා දුන්, දුටුගැමුණු වීදියේ රෑ පාඩම් කරද්දී රතු ඉන්දියානුවෙකු මෙන් මුහුණේ ඉරි ඇඳගෙන නැටූම් රඟ දැක් වූ තාත්තා දැන් මුළු කාලය ගෙවන්නේ අනුගාමිකයෝ සමඟය.
අනුගාමිකයෝ නොයෙක් පළාත් වලින් මෙන්ම පිටරට ගොස් ආර්ථික ලාබ ලැබුවෝ ද වූහ. උගත් නූගත් මෙන්ම බාල මහළු අය ද වූහ. අධ්‍යාපනයේ දුෂ්කර කඩඉම් ජයගත් අය වූහ. කේන්දර විශ්වාස කළ අය මෙන්ම කේන්දර විශ්වාස නොකළ අය ද වූහ. සතේ අතේ නැතිව රබර් සෙරෙප්පු පැළඳගෙන ආ සමහර අය ඔහුට සවන් දී, පොත් කියවා, මනස හඳුනාගෙන, එයින් වැඩගෙන, පසු දිනයක සුපිරි ධනවතුන් වූහ. ආවාහ විවාහ වී රසවත් පවුල් ජීවිත ගෙවූහ.
සම්ප්රදායේ වැරදි බොහොමයක් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන් මේ අපූර්ව පුද්ගලයා කාන්තාව ගැන දැරූ හණමිටි මත කිසි දා අත්හළේ නැත.
සම්පූර්ණ බලය පුද්ගලයා සම්පූර්ණ දූෂිතයෙක් කරයි යන්න සනාථ කරමින් වැඩි වැඩියෙන් අනුගාමිකයෝ වැඩි වෙත්ම, ධනය, බලය හා තත්වය වැඩි වෙත්ම, ඒ කුඩා ලෝකයේ රජකම ලබද්දී යටපත් වී තිබූ තණ්හා, ද්වේෂ, මෝහාදිය එළියට ආවේය. ඇසුරු කරන්නෝ කෙනෙකුගේ හැදියාව වෙනස් කරයි යන්න සනාථ කරමින් වැරදි මඟක යමින් සිටි පිරිසක් හා ඇසුර වැඩි වී ඔහු ද වැරදි මඟක ගමන් ගති.
මරණයට දවස් දෙකකට පෙර තාත්තාට ඇමෙරිකාවේ සිට දුරකතන ඇමතීමක් අප නිවසෙන් සිදුවිය. තාත්තා අඩිපාරේම වැරදි මඟක ගිය පුතෙක් ද අද සිටියි. තාත්තාගේ අවසන් අවවාදය ඒ පුතාටය. පුතණ්ඩියා අද දක්වා ඒ අවසන් ඉල්ලීම සපුරා නැත. තාත්තාගේ අඩිපාරේ ගොස් තම මනස දියුණු කරගත්, මනසෙන් ප්‍රයෝජන ගැනීම මනාව ප්‍රගුණ කරගත්, තමන්ගේ පුංචි ලෝකයේ කිරුළු පළන් රැජිනක් සේ දියණියක් ද සිටියි. ඇයගේ ඇසුර සුදනෝ සමඟය. නිතර නිතර නිසි විවේචනයට ඉඩ තබමින් සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයා බිහිකරන බව මතක් කරගනිමින් දිවිය ගෙවන ඇය වැරදි මඟක නොයන්නට වගබලා ගනී.
තාත්තාගේ චරිතාපදානයක් ලියන්න යයි මට කිහිප දෙනෙක් ඇරයුම් කර තිබුණත් ඒකට මම පසුබටයි. මොකද මට ලියන්න අවශ්‍ය විදියට ඒක ලිව්වොත් ලියන්න ආරාධනා කරන අයත් තරහ වේවි!
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: සුමනදාස සමරසිංහ නම් වූ අපූර්ව පුද්ගලයා http://bit.ly/c4fqhQ […]
අරුණි, සම්පූර්ණ බලය පුද්ගලයා සම්පූර්ණ දූෂිතයෙක් කරයි යන්න කෙදිනකවත් බොරු නොවන සත්‍යයකි. ඔබට ස්තූතියි මෙවැනි නිවැරදි දේ ලියනවාට.
ඔබටත් ඔබේ පියාගේ හැකියාවන් බොහොමයක් දායාද වී ඇති හැඩයි.
ආරාධනා කරව අය සතුටු කරන්න නෙවෙයි ඔබට අවශ්‍ය නිසා තාත්තාගේ චරිතාපදනයක් ලියන්න.
නදී, ඔයාලා වගේ කියවන්න, දිරි දෙන්න අය ඉන්න නිසා කවදා හෝ එයත් ඉටු කරන්න පුළුවන් වෙයි.
තම පියා ගැන වුවත් ඇත්ත ඇති සැටියේ කීම පිළිබඳව ඔබට ස්තූති කරමි.
ක්ලේශයන් නොනැසූ විට ඔබඳු දේ සිදු වුණත් අපි සුමනදාස සමරසිංහ මහතානන් සිංහල බසින් ඉදිරිපත් කළ ඒ විශ්ව දැනුම අප දන්නා තරමින් හැමෝටම බෙදා දෙමු. මිනිස් සිතේ හාස්කම් පොත් පෙළ ද ඔබ කියූ පරිදි නැවත මුද්‍රණය කරන්නේ නම් එය අප කාගේත් සතුටට හා යහපතට හේතු වනු ඇත.
කුමුදු, ක්ලේශයන් නසා නැති අපි සියල්ලෝම පෘතග්ජනයෝය. මනසින් වැඩ ගන්නට දත් අයට මනස හසුරුවා ගත හැකිය. මනස දියුණු කරගන්නාට ක්ලේශයන් ද පාලනය කරගත හැකිය. එකක් කරන්නත් අනික නොකරන්නත් හිත යන්නේ පුද්ගලයාගේ ඕනෑ එපාකම මත පමණි. එය සමාවට හෝ නිදහසට කාරණයක් නොවන්නේය. අපගේ දුර්වලතා හඳුනාගෙන ජය නොගත්තොත් අප සැමදා ලැග්ග තැන ලැග සිටිමු. ක්ෂණික ආවේග, විශේෂයෙන් මෝඩ කතා වලට තරහ යෑම මගේ බලවත්ම අඩුපාඩුවයි. නිතිපතා මතක් කරගනිමින් එය ජයගත යුතු දුර්වලතාවයක් සේ හසුරුවා ගැනීමට හැකිතාක් වෙර දරමි. ජීවිතයේ අවසන් දිනය දක්වා මනස යොදා ජය ගන්නට දෑ ඇති බව වැටහෙන්නේ ඊට උත්සාහයක් ගන්නා අයට ද පමණි. එසේම එයින් ලැබෙන මානසික නිදහසින්, කීර්තියෙන්, ලාබ වලින් හා දැනුමෙන් පිරී යන්නේ ද පාවිච්චි කරන්නාගේ මනසයි නැතහොත් ජීවිතයයි. මා කියන්න ඕන නෑ මේ සේරම ඔයාත් දන්නවානෙ. ඒ නිසා වැරදි නොකර ඉන්නට දැනුම ඇත්තෝ වැරදි කරද්දී ඊට පෘතග්ජනයා කියා සමාව දීම සුදුසු නැත. නොදැන කළ යම් වැරැද්දකට එක් වරක් සමාව දීමත්, වැරැද්ද වැරැද්ද යයි දැන දැන නොකඩවා කරගෙන යද්දී සමාව දීමත් එකම නොවේ. දෙවැන්නේ දී අප කරන්නේ පුද්ගලයා නියැළී ඉන්නා වැරැද්දට දෙන අනුබලයකි.
තාත්තා ලාංකික සමාජයට මහත් සේවයක් කළ පුද්ගලයෙකි. මගේ සාර්ථක ජීවිතයට ද ආලෝකය පාදා දුන්නේ ඔහුයි. ඔහු ජීවත්ව සිටිය දී මෙන්ම ඔහුගේ මතකයට ද මම සැමදා ගරු කරමි. දැඩි ආදරය කරමි. මගේ ඉහත තර්කය ඔහුට ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලැබුනා නම් එය ද ඔහු පිළිගන්නා බව ස්ථිරවම දනිමි. අගයන් ඇත්තේ ඒවා බැහැර කරලීමට නොව ඒවාට සමීප වන්නට උත්සාහ කිරීමටය. නැතහොත් දියුණු මනසක් කුමකට ද?
@AruniShapiro, kumudupinto:
අපි සුමනදාස සමරසිංහ මහතානන් සිංහල බසින් ඉදිරිපත් කළ ඒ විශ්ව දැනුම අප දන්නා තරමින් හැමෝටම බෙදා දෙමු.
ඔය දෙන්නගෙන් කාට හරි හෝ, දෙන්නම එකතු වෙලා හරි මේ සම්බන්දව බ්ලොග් එකක් ලියුවොත් නරකද?
Grey, කුමුදු ඉඳහිට මේ ගැන එයාගෙ “තම තම දැන පමණින්” බ්ලොග් අඩවියේ ලියනවා. මමත් ලියන්නම්. ඒකටම අළුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕන නෑනෙ. තාත්තා කියා දුන් දැනුම බෙදා හරින මහා පරිමාණ හා කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාර කිහිපයක් අද ලංකාවේ පළාත් ගණනාවක! ඉතින් අපි නොමිලේ ඒ දැනුම දුන්නොත් ඒ ව්‍යාපාර කරන අයටත් පව් නේද?!!! තාත්තා ලියූ පොත් කියවන්න කැමති අයට ගයනි සමරසිංහ, තැ.පෙ. අංක 1, මත්තේගොඩ යන ලිපිනයෙන් පොත් මිල දී ගත හැකියි. දුරකතනය 011-575-3060
බොහොම ස්තුතියි!!! මම බලන්නම්. 🙂
ලේඛකයගේ නම අහල පුරුදුයි හොඳට, ලියපු පොතුත් දැකල තියෙනවා, ඒත් බැරිවෙලාවත් ඒ පොතක් පෙරලල බලන්න වත් හිතිල නෑ.
ඊයෙ මගේ වෙනත් ලිපියක් ගැන කතා කළ කෙනෙක් මට එයා කියන දේ නොතේරෙන්නෙ කාලකණ්ණි කම නිසාය කියල කිව්ව. චිත්ත ධරම විද්‍යා පොත් කියවන්ණ හිතුනෙ නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති. පවට පිණ දෙන්න බෑනේ.
මං කවදාකවත් සිල් ගන්න එකකුත් නෑ, භාවනා කරන එකකුත් නෑ. ඒකත් කාලකණ්ණි සිතිවිල්ලක්ද මන්දා.
මා ගැන ලිවීම ගැන සමාවන්න. මිනිස් සිත වැඩ කරන හැටි ගැන ඔබ දන්නවානේ?
කතන්දරකාරයා, පව් පින් නෙමේ. කාලකණ්ණි සිතුවිල්ලකුත් නොවේ. අවස්ථාවක් පැහැර හැරීමක් පමණයි. ඉතින් ඕනෑකමක් ඇති වුවහොත් අනාගතයේ දී ඉඩක් පාදා ගන්න පුළුවන්. කොහොම ද දැන් ඔබගේ පියාණන්ට? කිහිප දෙනෙක් අහලා තිබුණ බවත් දුටුවා. සෙත් පැතුම්!
සුමනදාස සමරසිංහ ශූරීන්ගේ මිනිස් හිතේ හාස්කම් පොත අංක 1 මගේ අතට ලැබුනේ මට වයස 13 දී විතර. කේන්දර වලින් හොල්මන් වලින් බය වෙලා මිරිකිලා හිටපු මගේ ලමා කාලය ඉන් ගැල්වුනේ ඒ පොත නිසා. අද මං සරසවි සිසුවියක්. මේ සටහනට එතුමගේ ගුණ කියලා වචනයක් නොදා ගියොත් එක ලොකු ගුණමකු කමක් කියලා හිතුනා