අරුණි ශපීරෝ‍ වෙතින්

සිතෙන් වැඩගන්න හැටි

Posted in Uncategorized by arunishapiro on මැයි 11, 2010

සිතෙන් වැඩගන්න හැටි ලෝකයට මුලින්ම කියා දුන් ශාස්තෘවරයා බුදුරජාණන්වහන්සේය. කාලයාගේ ඇවෑමෙන් ඒ පිළිවෙත පැතිර ගිය රටවල තිබූ පැරණි මත හා ඉන්දියාවේ සිද්ධාර්ථ ගෞතමයාණන්ටත් පෙර පැවති බමුණු මත හා යළි එකතු වී කැඳ හැලියක් ව කැළතී තිබිය දී ලංකාවේ සුමනදාස සමරසිංහ නැමත්තා එය නැවත පහදා ගත්තේය. ඔහු එය කියා දුන්නේය. තම තම නැණ පමණින් ඔහුගේ අනුගාමිකයෝ සිතෙන් වැඩ ගන්නා හැටි වටහාගන එයින් වැඩ ගත්හ.

කරපින්නා ගත් මිථ්‍යා දෘශ්ටියන් බිමට හෙළන තෙක් සිත යොදවා ගත හැක්කේ සීමිත වූ ජයග්‍රහණයන් පමණි. මකුළු දැල් කඩා පිරිසිදු කරගත් මනස කොතරම් තියුණු ආයුධයක් ද (ගින්න සොයාගත් මානවයාට වැනි) යන්න ඊට උත්සාහයක් දරන්නාට පැහැදිලිව වටහා ගත හැකි වෙයි. ඇත්ත ඇති සැටියෙන් දකිනා කල අනාගත වාක්‍යය පහළ කරත හැකියාව ලැබෙයි. ඒ කේන්දරය බලා නොවේ.

පිළිවෙත ගැඹුරුය. එසේම සරලය. හැමදාම උදෑසන නැඟිට තේ කෝප්පයක් බොන්නට පුරුදු වූ අයට ඇති හැදියාව ඒ ගැන විමසීමක් හිතා බැලීමක් නොමැතිව සිද්ධ වන්නා සේ සිතෙන් වැඩගත හැකි පිළි‍ෙවතෙහි ගැඹුරු බව අවබෝධය නොහැක්කේ ඇරුණු මනසට නුහුරු නිසාය. තමා කරන කියන දෑ විමර්ශනය කිරීම හුරු කරගත යුතුය. යමක් ඒ ආකාරයෙන් කරන්නේ හැමදාම එය එසේම කළ නිසා ද නැතහොත් ඒ වඩාත්ම කාර්යක්ෂම හා වැඩි ඵල ලබාදෙන ආකාරය ද? සෑම දෙයටම නිසි අවධානය (attention), විමර්ශනය (inquiry), හා වෙනස (change) භාවිතා කිරීම බැඳි පළමු කඩුල්ලයි. එයින් පැන්න දාට මෙය කොතරම් සරල පිළිවෙතක් ද යන්න සක් සුදක් සේ අවබෝධ වෙයි.

‍ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ කෘතිම බුද්ධිය පාඨමාලාව වැනි බොහොමයක සිද්ධ වෙන පර්යේෂණ හා දැනුම අද දවසේ විස්තර කර දෙන්නට වැර දරන්නේ බුදුරජාණන්වහන්සේ ඉතා ඈත කාලයක දී ලොවට වදාළ සිත වැඩ කරනා පිළිවෙත ක්‍රියාත්මක වන ආකාරයයි. එය තවමත් විද්‍යානුකූලව ඔප්පු කර ගැනීමට මේ විද්‍යාඥයන්ට නොහැක්කේ ඔවුන් ද හණමිටි සම්ප්‍රදායික මතවාද වලින් බැහැර විය නොහැකිව ලතවීම නිසාය.

සුමනදාස සමරසිංහ පැහැදිලි කර දුන්නේ මන‍ස ක්‍රියා කරන ආකාරය පිළිබඳව (ජීව විද්‍යානුකූල පර්යේෂණයකින් නොව බෞද්ධාගම පෙරදැරිව මනුෂ්‍යයාගේ ස්වභාවික හැසිරීම නිරීක්ෂණය කොට සොයාගත්) මූලික ධර්මයයන්ය. බුදුරජාණන්වහන්සේ කියා දුන් “මනෝ පුබ්බංගමා ධම්මා..” අනුව මනසින් වැඩ ගන්නා ආකාරය අනතුරුව සුමනදාස සමරසිංහ සරලව පැහැදිලි කළේය.

කුඩා කාලයේ පටන් මනසින් වැඩ ගන්නට හුරුවක් වඩාගත් නිසා ඉතා පහසුවෙන් ජීවිතය ජයගන්නට හැකියාව ලැබුණි. මනස හසුරුවන්නට නොදත් සහෝදරිය වතුර බාල්දි වල කකුල් ඔබාගෙන, රෑ නිදි කිරමින්, නැවත පාන්දර හතරට අවදි වී පාඩම් කරද්දී මා නිදි මැරුවේ නැත. පොත් කියවද්දී එකවරින්ම ධාරණයට සමත් වීමි. පංතියේ සවන් දීම පමණකින්, ටියුෂන් පංති නොයා, කට පාඩම් නොකර, විභාග ඉහළින්ම, එකවරින්ම පාස් වුනෙමි. ලාංකික අධ්‍යාපන ක්‍රමයේ ධාරණය මිස විමර්ශනයට හෝ ගවේෂණයට ඉඩක් නැත. ඉතින් විභාග පාස්වීම කොතරම් පහසු ද? වඩවා ගත යුත්තේ ධාරණ ශක්තිය පමණි.

ඉතා වේගයකින් කියවීමේ හැකියාව වර්ධනය කරගත් නිසා එක් නිවාඩු කාලයක් කොළඹ මහජන පුස්තකාලයේ එක පොත් කාමරයක පොත් රාක්කවල තිබූ පොත් සියල්ලම කියවා අවසන් කළෙමි. ලංකාවෙන් පිටත් වෙද්දී එතෙක් පළ කරනා ලද සියළු පොත්පත් අඩුගානේ පොත ඇර බලා වැදගත්කමක් ඇත්දැයි වත් සොයා බලා තිබුණි. නිවාඩුවකට ලංකාවට පැමිණි මා සමඟ පොත් කඩයකට ගිය මගේ යෙහෙළියක් මා පොත් එකතු කරගත් ආකාරය දැක පුදුම වූවාය. මා වාසය කරන ඕනෑම ප්‍රදේශයක පුස්තකාල හා පොත්කඩ මා නිතර ගැවසෙන තැන්ය. හැම අංශයකින්ම ලියූවක් කියවන්නට හා අවබෝධයට නිති උත්සාහය ගනිමි. අද ඒ විභාග පාස්වන්නට නොව මනසට පොහොර දෙනු පිණිසය. මනසින් වැඩ ගන්නට පෙර මනසට පොහොර දිය යුතුය. යන්නේ කොහෙද කියා දැන යාමට ගූගල් සිතියමක්වත් තිබිය යුතු සේය. නොදැන ගියොත් අතරමං වන්නා සේ මනසින් ගත හැක්කේ කුමන වැඩදැයි සොයා ගැනීමට ඊට පසුබිමක් සකස් කරගත යුතුය.

එඩ්ගා කේසී වැන්නන් හැඳි ගෑරුප්පු නවන විජ්ජා මනසින් වැඩ ගැනීමක් නොවන බව වටහා ගන්නට මෙසේ මනස වර්ධනය කරන පසුබිම අනුව හැකිවන්නේය. ඉන්පසු හරි නොයන දේ එසේ වීමට හේතුව මන්දැයි වටහා ගන්නට හැකිය. නමුත් එය පැත්තක් අල්ලා ගත් මනසකින් නොහැක. අළුත් පිටුවක ඕනෑම දෙයක් ටයිප් කරනු හැකි සේ, ඕනෑම පවර්පොයින්ට් රූපයක් ඇඳිය හැකි සේ මිසදිටු මත බැහැර කරන්නාට හරි නොයන දේ එසේ වූයේ මන්දැයි ‍වටහා ගැනීමටත් ඉදිරියේ දී හරියන ආකාරයට කරන්නට බුද්ධියත් පෑදෙන්නේය.

සිතෙන් වැඩ ගන්න සිතට පොහොර දැමිය යුත්තා සේම ඊට පසුබිමක් සකස් කරදිය යුතුය. ඥානය වඩවා ගත යුතුය. සිතේ කුනු කන්දල් බැහැර කරලිය යුතුය. එසේ නොකර සිතෙන් වැඩ ගන්නා අය මනස හඳුනා නොගෙන ජීවිතයේ සීමිත ජය පමණක් ලබාගත්තවුන් බවට පත්වෙති.

ධන චින්තනය යනු ධනවත් වන්නට මාර්ගය යයි වැරදියට සිතා ගත්තවුන් අවසානයේ ලබන්නේ සීමිත වූ ධනවත් බවක් ද පමණි. ධන චින්තනය නම් සිතූ පැතූ සියල්ල ලබාගත හැකි මාර්ගයයි. නමුත් සිතන පතන සියල්ලම තමා ඒ බලාපොරොත්තු වන විදියට යයි සිතා පතා ඒ ආකාරයන්ගෙන්ම ලබද්දී යම් සන්ධි ස්ථානයකට පැමිණ, ලැබෙන ආකාරයට අකැමතිව, දැන් එසේ ලබනු අකමැතිය එනිසා මේ ආකාරයට ලැබීම දැන් නවතිනු යයි සිතට කිව නොහැක. සිත යනු වැඩගන්නට මුල සිටම නිසි ලෙසින් හුරු කරගත යුත්තකි.

අවශ්‍ය වන්නේ කුමක් ද එය ලබාගන්නට හැකියාව තමාට ඇතැයි කීම බුදුරජාණන්වහන්සේ නන්ද කුමරුට දිව්‍යාංගනාවන් ලබාගන්නට මහණ වන්න යයි ආරාධනා කිරීම හා සමානය. නිසියාකාරව සිතෙන් වැඩ ගන්න ආකාරය අවබෝධ කරගන්නා අය කිසිදාක වැරදි මඟක ගොස් අතරමං වන්නේ නැත. අයුතු දේ ලබාගන්නට සිත යොදා ගන්නේ නැත. එය හරියාකාරව අවබෝධය නොලත් අය, ධනවත්, සුප්‍රසිද්ධ අය වුවත් සාර්ථකත්වය නොලබති. මන්ද සිත යොමු කළේ සීමිත වූවකට පමණක් නිසා ඔව්හු ධනයෙන් පිරි වුවද නොයෙකුත් ශරීර ආබාධයන් වලින් පෙළෙති. අසාර්ථක පවුල් සබඳතාවල හිර වී සිටිති. නොයෙක් චිත්ත පීඩාදියේ පසුවෙති.

මා ගත කරන්නේ මනෝහර ජීවිතයක් (charmed li‍fe) යයි මා ළඟින් දන්නා හඳුනන අය මට නිතර කියති. එය ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකිය. අවශ්‍ය වන්නේ ඊට උවමනාවත් අත් නොහරින කැපවීමත් පමණි. දැන් පැවතෙන්නේ ඇමෙරිකාවේ ගෙවල් අලෙවිය ඉතා දුෂ්කර සමයකි. සමහර පෙදෙස්වල නිවෙස්හි මිල වටිනාකමින් භාගයකටත් වඩා අඩු වී වසර කිහිපයක් වෙළඳ පොලේ හෙම්බත්වන තත්වයක් ඇත. අපි පදිංචි ප්‍රාන්තය වෙනස් කරද්දී අප නිවස වෙළඳපොලට ඉදිරිපත් කර දවස් තුනකින් අපි ඉදිරිපත් කල මිලටම ගන්නට කැමති අය හා එකඟතාවයකට අත්සන් තබා අපට අවශ්‍ය වූ දිනයට විකුණන්නට හැකිවිය. අපව දන්නා සියල්ලන්ටම (මගේ සැමියා ද ඇතුළුව) එය පුදුමයක් වී නමුත් මට එය තවත් ජයග්‍රහණයක් පමණි. එසේ කියන්නේ එහි වැදගත්කම අවතක්සේරු කරන්නට නොව, මහන්තත්වකමකට නොව, ඔබටත් මටත් දායාදව ඇති සිතේ බලය කොතරම් මහත්දැයි මා වටහාගෙන ඇති නිසාය.

හැදියාව පිරිසිදු කරගත් තරමට සිතේ බලය වැඩිවේ. සිතේ ශක්තිය තියුණු වේ. හැදියාවේ ඇති දුර්වලතාවයන් සිත මොට කරයි. සිත බැඳ එකතැනක තබන්නට වෙර දරයි. චංචල සිතකින් ප්‍රයෝජන අඩුය. සංසුන් සිත අරමුණ සාක්ෂාත් කරවයි. වැදගැම්මකට ඇති වැදගත් දේ සොයන සිත පෝෂණය ලබයි. යහපත් මිතුරු ආශ්‍රය සිත දියුණු කරවයි. පුද්ගලයා නිරෝගී කරවයි. පුද්ගලයා ප්‍රසන්න පෙනුමකින් යුතු කරවයි. මෙය විජ්ජාවක් නොව විද්‍යාවකි.

නිසියාකාරව සිතෙන් වැඩ ගැනීම ප්‍රගුණ කරගත් පසු සිතට කතාකරන්නට අවශ්‍ය නැත. ජයගත යුත්ත සිතට කියන්නට වුවමනා නැත. සිතින් ඉල්ලන්නට අවශ්‍ය නැත. සිත ඔබේය. ඔබේ සිත අරමුණ දනී. එය ඔබට ඉටු කර දෙයි.

19 Responses

Subscribe to comments with RSS.

  1. අඛිල said, on මැයි 11, 2010 at 11:11 පෙ.ව.

    සුමනදාස සමරසිංහ මහතා විසින් පහදා ගත් සිතෙන් වැඩගන්න හැටි ගැන හොයාගන්න පුළුවන් කොහෙන්ද?

  2. ප්‍රශාන් ප්‍රනාන්දු said, on මැයි 11, 2010 at 11:32 පෙ.ව.

    ඔබේ ලිපිය නම් ඉතා වටිනවා. මමත් ආසයි ඔයා වගේ සිත, මට ඔනේ විදිහට පාලනය කරන්න. ඒකට මම කොච්චර උත්සහ කළත් මට තවමත් බැහැ. සිත එක තැනක තියා ගන්න බැහැ. කුනු ගොඩවල් පිරිලා. සිත පාලනය කිරීම ගැන තව ලිපියක් ලියලා හරි මට වගේම අනෙක් අයටත් උදව් කරනවනම් ලොකු දෙයක්. (තව මම කැමති මනො විද්යාව/දර්ශනය ගැන ඉගෙන ගන්න. ඒකට මට කොහෙන්ද ප්‍රවේශයක් ගන්න පුලුවන්??).
    ප.ලි. ඔයාට හොද ලිවීමේ හැකියාවක් තියෙනවා(ගොඩක් අය ඔයාට කියල ඇති ).

    • arunishapiro said, on මැයි 11, 2010 at 2:21 ප.ව.

      ප්‍රශාන් ප්‍රනාන්දු, පටන් ගන්න හොඳම පොත තමයි “මිනිස් හිතේ හාස්කම්” අංක 1 පොත. එම කාණ්ඩයේ පොත් 10 කි. තවත් පොත් 40 කට ආසන්න ගණනකි. සරසවි වැනි ප්‍රසිද්ධ පොත්හලකින් ගන්න පුළුවන්. මා ලියන ලද “තරඟ ජය”, “ආචාරශීලී ලෝකයට අවශ්‍ය චාරිත්‍ර”, “ළමයි හදන්නේ කොහොම ද?” හා “දුකින් තැවෙන සිතට සහනයක්” යන පොත් ද දර්ශනය හා මනෝවිද්‍යාව ගැන ලියැවී ඇත. ලංකාවේ නම් 011-575-3060 න් ගයානි සමරසිංහට කතා කරලා විස්තර අහගන්න. අන්තර්ජාලයේ ලංකාහෑන්ඩ්ස් හෝ කප්රුක වැනි අඩවි වලින් ද ලබාගත හැකියි. දර්ශනය හා මනෝවිද්‍යාව ගැන සිංහලෙන් ලියා ඇති පොත් බොහොම ටිකයි. ඒ වගේම සමහර ඒවා සරල නොවන අතර සමහර ඒවා එතරම් පර්යේෂණාත්මක හෝ විද්‍යානුකූල නැහැ. මේ අඩවියේම ඇති අනෙක් ලිපිත් කියවා බලන්න. මම මේ ගැන තව ලියන්නම්. ලිවීමේ හැකියාව අගය කළාටත් ස්තූතියි.

  3. hemantha samarakoon said, on මැයි 11, 2010 at 12:24 ප.ව.

    සිතෙන් වැඩ ගැනීම කෙසේ වෙතත් සිත දියුණු කරගැනීමට ලැබේ නම් එයත් ලොකු දෙයක් නේ……..

  4. […] This post was mentioned on Twitter by Kottu. Kottu said: සිතෙන් වැඩගන්න හැටි http://bit.ly/9Zf6id […]

  5. upali said, on මැයි 12, 2010 at 2:00 පෙ.ව.

    THANK U ARUNI

  6. sorry.com said, on මැයි 12, 2010 at 8:33 පෙ.ව.

    ලිවීමේ හැකියාව අගය කළා

  7. මද්දු said, on මැයි 12, 2010 at 12:05 ප.ව.

    මමත් මීට කාලයකට ඉහතදි පොතක තිබුනු ආකාරයට මට අවශ්‍ය දේ නිතර නිතර මවා ගනිමින් ,එය ලගා වීමෙන් මට ලැබෙන සතුට සිතින් විදිමින්,නින්දට යාමට පෙර නිතර නිතර එය ආවර්ජනය කරමින් මගෙ ඉලක්කයට යන්න උත්සාහ කරා,නමුත් අවසානයේ එය බලාපොරොත්තු කඩ වීමක් වුනා.එයින් පසුව එය පිලිබද මාගෙ විශ්වාසය බිදී ගියා.නමුත් නැවත ඔබගේ ලිපි කියවීමෙන් ප්‍රබෝදයක් ඇතිවිය.මාගේ ගැටලුව වන්නෙ ඔය ක්‍රමය පුද්ගලයාට අනුව වෙනස් වන්නෙද,පොතක ඇති විදිහ හැමොට එකසේ ප්‍රථිඵල ලබා නොදෙන්නෙද?එසේම මෙමගින් ඕනෑම දෙයක් ඉටුකරගැනීමට හැකිද(සාමාන්‍ය්යෙන් සමාජයෙ ඉතා අසීරු යයි සම්මත දැ )

    • arunishapiro said, on මැයි 12, 2010 at 12:29 ප.ව.

      මද්දු, පුද්ගලයාට අනුවයි ප්‍රතිඵල. ඉතා අසීරු කාට ද? සම්මත අසම්මත සැලකීම කා විසින් ද? තව ලියන්නම්. වැඩිදුර දැනගන්න දිගටම කියවන්න.

  8. s.a.t.madusanka said, on මැයි 21, 2010 at 12:38 පෙ.ව.

    this is very good

  9. sampath said, on ඔක්තෝබර් 5, 2011 at 2:40 ප.ව.

    ඔබගේ E-mail ලිපිනය සඳහන් කරන්න පුලුවන්ද? මම කැමතියි මේ ගැන තවත් ගොඩක් විස්තර දැනගන්න.
    ඔබගේ ලිපිය හා ඔබගේ ලිවීමේ හැකියාව මමත් ගොඩාක් අගය කරනවා. තවත් සිත ගැන විස්තර හා එයින් වඩාගන්නා හැටි ගැන අපිට කියල දෙන්න.
    ඔබගේ පියාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මනස සංවිධානයේ වත්මන් සභාපතිතුමා ඒ කර්තව්‍ය නියමාකාරයෙන් කරගෙන යන බව නම් මගෙ හැගීමයි. එතුමා වර්තමානයේ අනුගමනය කරන පිළිවෙතේ ඔබගේ පියා ඉදිරිපත් කල සමහර දේවල් වෙනස්කර දැක්වීමක් කර තිබේද? සහ එහි වර්තමාන තත්වය පිලිබඳ ඔබගේ අදහස් මොනවද කියල මම දැනගන්න කැමතියි.
    මා දන්නා සහ දැක ඇති ආකාරයට මනස සංවිධානය අද රටේ ගොඩක් පුරවැසියන්ට ඔවුන්ගේ සිතෙන් වඩාගන්නා හැටි කියල දීලා ගොඩාක් පිරිසකගේ ජීවිත ආලෝකමත් කරලා තියෙනවා. ඒ වගේම සාන්ත ජයසුන්දර සර් ඔබතුමියගේ පියාගේ ගුණ හා එතුමා ලබාදුන් ඒ මහත් වූ දැනුම ගැන හැමවෙලාවෙම මතක කරන්නත් පෙළඹෙනවා. සුමනදාස සමරසිංහ ශ්‍රීමතාණන්ගේ අපේ රටට ලැබුනා වූ ඒ අතිමහත් දැනුම පිළිබඳව සාන්ත ජයසුන්දර සර් හැම දේශනයකදීම මතක් කිරීමට පෙලබෙන්නේ නිරායාසයෙන්මයි. ඒ වගේම වර්තමානයේ මනස සංවිධානයේ වැඩසටහන් වලට සහභාගිවන හැම කෙනෙකුගේම සිතේ ඔබතුමියගේ පිය ගැන ඇත්තේ මහත් වූ භක්තියක්.
    සුමනදාස සමරසිංහ ශ්‍රීමතාණන් සදා අමරණීය බව අප වැඩි දෙනෙකුගේ හැගීමයි.එවැනි උතුමෙකුගේ ඇසුර කුඩා කාලයේ පටන්ම ලැබුන ඔබතුමියගේ සාර්ථකත්වය ගැන අපිට හිතාගනීමට වෙනත් කිසිවක් අවශ්‍ය නැහැ. ඔබගෙන් මනොධර්ම විද්‍යාව පිළිබඳව වැඩි දුරටත් දැනගන්න අපි ගොඩාක් අසාවෙන් බලාගෙන ඉන්නවා. බොහෝම ස්තුතියි ඔබතුමියට.

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2011 at 5:35 ප.ව.

      sampath,

      ආයුබෝවන්!

      මගේ E-mail ලිපිනය arunishapiro@gmail.com හැබැයි, ලැයිස්තු වලට ඒක දාගන්න එපා. එහෙම එවන ලිපි කෙළින් ම යන්නෙ කුණු කූඩයට.

      //ඔබගේ පියාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මනස සංවිධානයේ වත්මන් සභාපතිතුමා ඒ කර්තව්‍ය නියමාකාරයෙන් කරගෙන යන බව නම් මගෙ හැගීමයි. එතුමා වර්තමානයේ අනුගමනය කරන පිළිවෙතේ ඔබගේ පියා ඉදිරිපත් කල සමහර දේවල් වෙනස්කර දැක්වීමක් කර තිබේද? සහ එහි වර්තමාන තත්වය පිලිබඳ ඔබගේ අදහස් මොනවද කියල මම දැනගන්න කැමතියි.//

      මම 2008 දී ලංකාවට ආපු විට මනස සංවිධානයේ රැස්වීමකට සහභාගී වුනා. එදා කතාබහෙන් වෙනස් මඟක යනවා කියා හිතුනෙ නැහැ. එහෙත් පසුගිය දිනක දැනගන්නට ලැබුනා ධන චින්තනයටත් කෙන්සියානුවාදය රිංගා ගෙන බව. ඒ ගැන සටහනක් ඉදිරියේ දී දමන්නම්. කෙටියෙන් කිව්වොත් ණය වෙලා හරි ධනවත් විදියට ඉන්න එතකොට ධනවත් වෙනවා යන කතාවක්. හැබැයි මේක එන්නෙ තම පුතාලා එහෙම ජීවත් වෙන විදිය ගැන දැනගන්න අහපු අම්මා කෙනෙක් ගෙන්. එහෙම ධනාත්මක චින්තනයක් තාත්තා කියල දුන්නෙ නැහැ.

      සාන්ත ජයසුන්දර මහතා හමු වූ දවසක ඒ ගැන කතාබහ කරන්න ඕන හරියට ම දැනගන්න.

      ඉදිරියේ දී මනෝවිද්‍යාව ගැන තව ලියන්නම්.

      ජය!

  10. sampath said, on ඔක්තෝබර් 5, 2011 at 2:42 ප.ව.

    ඔබතුමියගේ සහ අනෙකුත් user’s ලාගේ පිළිතුරු සැපයීම මම බලාපොරොත්තු වෙනවා. Thank you very mach madam.

  11. අමිල said, on අප්‍රේල් 2, 2012 at 3:42 පෙ.ව.

    සුමනදාස සමරසිංහ මහතාගේ මිනිස් සිතේ හාස්කම් කෘතියට ජෝසෆ් මර්ෆි ලියපු The Power Of Subconscious Mind කියන කෘතිය පාදක වූනාද ?

    • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 10:50 පෙ.ව.

      අමිල,

      ඒක කියන්න හරියට ම දන්නෙ නැහැ. ඔය නමින් පොතක් ඒ දවස්වල ගෙදර තිබූ බව මතකයි. හැබැයි ඊට වඩා මම හිතන්නෙ Émile Coué විසින් ඉදිරිපත් කරපු විස්තර පාදක වූවා කියා.

  12. Lakmal said, on ඔක්තෝබර් 9, 2019 at 10:50 පෙ.ව.

    මේ ගැන තව ටිකක් සරලව ගැඹුරට හදාරන්නේ කොහොමද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: