එක සිතුවිල්ලක් මොළය වෙනස් කරයි
“මගේ වචන ධනාත්මකයි, වචන මගේ හැදියාව බවට පත්වෙයි. මගේ හැදියාව ධනාත්මකයි, හැදියාව මගේ හුරුව බවට පත්වෙයි. මගේ හුරුව ධනාත්මකයි, හුරුව මගේ අගැයුම් බවට පත්වෙයි. මගේ අගැයුම් ධනාත්මකයි, අගැයුම් මගේ අනාගතය බවට පත්වෙයි.” මෙසේ කියා ඇත්තේ මහත්මා ගාන්ධි විසිනි. ගාන්ධිගේ බිරියගෙන් වරක් මාධ්‍යවේදියෙකු මෙතරම් හපන්කම් රාශියක් ඔහු ඉටු කළේ කෙසේද කියා ඇසූ කළ, ඇය කියා ඇත්තේ ගාන්ධි සිය වචන, සිතුවිලි හා ක්‍රියාවන් එකිනෙක හා එකඟතාවයෙන් කටයුතු කළ බවයි.
එක සිතුවිල්ලකට අපගේ මොළය වෙනස් කරනු හැකියාව ඇත. එය නුරුස්නාකමක්, අගැයීමක්, සතුටුදායක, කිසි වැදගම්මකට නැති හෝ බියක් ඇති කරන වැනි ඕනෑම සිතුවිල්ලක් වුවද එයින් හටගන්නා සන්ධිතාවය නිසා මොළයේ සෛල වෙනස්කමක් ඇති වෙයි. එක ඇරෙන සෛලයක් විසින් තවත් සෛලයන්ට බලපෑමක් කරනු ලබයි. මෙම සෛල ක්‍රියාවලියේ දී සෛල ඇතුලත වාහනය වන ශ්‍රාවය (cerebrospinal fluid) හා ලේ ගමනාගමන පද්ධතිය මඟින් ශරීරය පුරා මෙහි දී ඇතිවන විද්‍යුත්රසායනික (electrochemical) වෙනස් කිරීම් රැගෙන යාමෙන් පුද්ගලයාට බලපෑම් ඇති කරයි.
ඉතින් අවසානයේ එක සරල සිතුවිල්ලක් හේතුවෙන් ඒ සිතූ පුද්ගලයා සුවිශේෂී වූ, ඉතා සංකීර්ණ වූ, මහත් විශාල සංඛ්‍යාවකින් වූ වෙනස්කම් රාශියක් සිය මොළයෙන් පටන් ගෙන ශරීරයට ද අනාගතයට ද බලපාන ලෙසින් ජීවිතය වෙනස් කර ගනියි.
අපගේ උප්පත්තියේ දී මොළයේ සෛල (neurons, gila) අතර නියුරෝන බිලියන 23 කි. මේ නියුරෝන සංඛ්‍යාව නොව ඒවා එකිනෙකට සන්ධි වී ඇති ආකාරය අනුව පුද්ගලයාගේ මානසිකත්වය තීරණය වෙයි. එක නියුරෝනයක් තවත් නියුරෝනයක් හා සන්ධි වන්නේ යාබදව පවතින විට ඒ ඒ නියුරෝනවල කෙළවරයන්හි ඇති axons එකතු වීමෙනි. සන්ධි ඇතිවන්නේ යම් සිතුවිල්ලක් හෝ ඇස, කන, නාසය, ස්පර්ශයෙන් පුද්ගලයාට ලැබෙන තොරතුරුවලදීය.
“ඇවතාර්” චිත්‍රපටිය දුටු අය එහි නිල් පුද්ගලයෝ තම කොණ්ඩා කෙළවරයන්හි ඇති කෙඳි වලින් සත්තු හා ගස සමඟ එකතු වන ආකාරය දකින්නට ඇත. ඒ හා සමාන ආකාරයකින් අප ලබන දත්ත නිසා අපගේ මොළයේ ඇති එක නියුරෝනයක් අනිකුත් නියුරෝනය හා සන්ධි වෙයි. සන්ධි වන්නට උපකාර වන කොටසට සිනැප්සස් (synapses) යයි කියයි.
මෙසේ පටන් ගන්නා සන්ධි වීම එක නියුරෝනයක් තවත් නියුරෝන සියයකට වඩා ගණනකටත්, සිනැප්සස් දාහක සිට දහ දාහකට වැනි ගණනකිනුත් වෙයි. එක් අයෙකුගේ මොළයක මෙවැනි සන්ධිතාවයන් කොතරම් ප්‍රමාණයක් ද නම් Cerebral Cortex කොටසේ පමණක් ඇති සිනැප්සස් සංඛ්‍යාව ගණනය කිරීමට පමණක් වසර මිලියන 32 ක් පමණ ගතවෙනු ඇතැයි එඩෙල්මන් කියා ඇත.
“මට ….දෙය ලැබේවා” යයි ගෙයි මුල්ලකට වී ප්‍රාර්ථනා කරන්නෙක් සිතුවිල්ලක් ආරම්භ කරයි. එයින් ඇතිවන මොළයේ නව සන්ධිතාවයට තමන් තවත් සන්ධිතාවයන් ඇති කර ගැනීමට උපකාර දෙමින් ඉදිරියට ගෙන යා යුතුය.
බොහෝ අය තමන්ට යමක් ලබා ගැනීමට නොහැකි යයි සිතා සිටිය දී, එක් අයෙක් ඕනෑම දෙයක් සිතට පුළුවනි යයි කියා එය සත්‍යයක්දැයි සොයා බලන්නට එක දෙයක් ලබා ගැනීමට උත්සාහයක් ගෙන බලයි. මෙසේ ගන්නා වෑයමේ දී ප්‍රාර්ථනාවක් කිරීම මඟින් තම සිතට යම් මතක් කිරීමක් අරඹයි. සිත බලවත්ය. ප්‍රාර්ථනාවක් කිරීම යනු නොයෙක් අත මංමුලාවී හැසිරෙන සිතේ බලයට අරමුණක් ලබා දීමයි.
ප්‍රාර්ථනාවක් ඍන වූ කල අයහපත් වූ විද්‍යුත්රසායනික ක්‍රියාවලියක් මොළයෙන් බිහි කරයි. යහපත් ප්‍රාර්ථනාවන් මොළයේ හිතකර විද්‍යුත්රසායනික ක්‍රියාවලියන් ඇති කරයි. ස්වයං යෝජනාවක් හෝ දිරි වදනක් පටන් ගැනීම වචනයෙන් ධනාත්මක විය යුත්තේ මේ හේතුව නිසාය. එයින් නතර නොවී ප්‍රාර්ථනාව ඵල ලබන්නට නම් හැදියාව, හුරුව, අගැයුම් හා අනාගතය ධනාත්මක කරගත යුතුය.
හැමදාම එකම ආකාරයෙන් හිත හිතා ඉන්න බොහෝ පුද්ගලයෝ නැඹුරුව සිටිති. හිතට ගොඩ වදින සිතුවිලි ගලා යන ආකාරය ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා දවස පුරා හිතන්නේ මොනවාදැයි ඔවුන් නොදනිති. නිතර නිතර “මට …දෙය ලැබේවා” කියා පතමින් අනිත් කාලය සිතේ නළියන සිතුවිලි ගැන අවධානයෙන් නොයුතු අයෙක් අරමුණ ගැන සිහියෙන් නොවෙන්නෙකි.
අරමුණ නම් සිත දියුණු කර ගැනීමයි. නොදියුණු සිත දෙන්නේ සීමිත දෙයකි. සිත දියුණුවට ධනාත්මක චින්තනය අවශ්‍යයය. ධනාත්මක චින්තනය යනු ධනය ලබා ගන්නට සිතන චින්තනය නොවේ. හොඳ සිතුවිලි වලින් සිත පුරවා ගැනීම ධනාත්මක චින්තනයයි.
හොඳ සිතුවිලි මොනවාදැයි කෙනෙකුට අළුතින් කියා දෙන්නට අවශ්‍ය නැත. තමාගේ සිතට එන දෑ ගැන කල්පනාවෙන් ඉන්න. අයහපත් සිතුවිලි වහා හඳුනාගෙන ඊට පැලපදියම් වන්නට නොදී පලවා හරින්න. එය පලවා හරින්නට කළ යුතු වඩාත්ම කාර්යක්ෂම ආකාරය යහපත් සිතුවිල්ලක් හිතේ පුරවා ගැනීමයි.
මැසිවිලි කියන්නෝ සුලබ පරිසරයක හිත අපිරිසිදු වීම නිතර සිද්ධ වන්නකි. පුරුද්දට ගිය කල උදේ ඇහැරුණ වේලේ පටන් රාත්‍රී නින්දට යන තෙක් අවලාද, ඕපාදූප හා දුක් කරදර ගැන කන්දොස්කිරියාවෙන් පිරුණු කතාබහ දෙසවනට වැටෙන පරිසරයක දියුණුවක් ඇති වන්නේ කෙසේද?
අනුන්ගේ ඍන වදන් වලින් තමාගේ ධන චෛතසිකය සෙලවෙන්නට නොදී පවුරක් ලෙසින් පවත්වා ගන්නට නම් තමා නිතර දෙවේලේ එළඹ ගත් සිහියකින් යුක්ත විය යුතුය. එසේම තමාගේ ප්‍රගතියට කෙනෙක් ගෙන් ලැබෙන නිසි විවේචනයක් ඍන වදනක් කියා බැහැරලන්නට පෙර ඒ ගැනත් විමසා බලන්න.
යන එන ගැවසෙන තැන්වල කෙරෙන කතාබහ ඔබගේ සවනට වැටෙද්දී විමසිලිමත්වන්න. ධනාත්මක අගයකින් යුතු කතාබහට එක්වන්න. ඍන ඕපාදූප වලින් ඈත් වන්න. පිටව යා නොහැකි, බස් රථයක හෝ කෝච්චියක හිර වී සිටින කල තම සිතින් ධනාත්මක දෙයක් ගැන සිතන්න.
කෙනෙක්ගේ සිත නිතර සිතන සිතුවිලි මොනවාද ඒ හා සමාන සිතුවිලි සිහියේ තිබීම ක්‍රමයෙන් වර්ධනය වෙයි. හොරකම් කරන්නාගේ සිතේ සැලසුම් ඇඳෙන්නේ හොරා ගන්නා ආකාරයන් ගැනය. පින් දහම් කරන්නට කැමැති අයගේ සිතෙහි ඇතිවන්නේ ඒ සඳහා මාර්ගයන්ය. මේ ආකාරයෙන් “මට …දෙය ලැබේවා” යයි ප්‍රාර්ථනය කරන්නාගේ සිතට ඒ දෙය ලබා ගැනීම සඳහා කරත හැකි මාර්ග ගැන සිහියට එයි. ඒ අනුව කටයුතු කරද්දී, ධනාත්මකව අරමුණ කරා යන්නට සිත යොමු කරගත යුතුය.
තමනට සිද්ධ වන අලාභ හානි, උවදුරු හා විපත්, රෝගී තත්වයන් රස කර කර කියන්නට ඇබ්බැහි වී ඇති අය ඇත. එයින් ඔවුන් ලබන්නේ ඍන වින්දනයකි. එවන් අය වෙත තව තවත් එවැනිම දේවල් ළඟා වෙයි. ඔවුන්ගේ මොළය අයහපත් රසායනයෙන් පිරී යයි. තව තවත් අගාධයටම ඇද දමයි. තමන්ගේ සිතට එවන් අය කෙරෙහි අනුකම්පාවෙන් බලන්නට ඉඩ නොතියන්න. අනුකම්පාව දැක්විය යුත්තේ දුර්වලතාවයෙන් ගොඩ එන්නට වෙර දරන තැනැත්තාට මිස එහි ලැග ඉන්නාට නොවේ. ශක්තිමත් මනසක් වඩවා ගන්නා අනුන්ගේ දුක් ගැනවිලි ගැන නොසිතයි. ඒවා ගැන හිතන්නට කාලය ද නාස්ති නොකරයි.
අලාභ හානියක් හෝ විපතක් සිද්ධ වූ විට ද, එය ගැන ලතවීම බැහැර ලා ගොඩ එන මාර්ග ගැන සොයන්නට පටන් ගන්නා අයට ඉතා ඉක්මණින් යහපත් මානසිකත්වයක් ළඟාවේ. විපතක් ගැන සිතිය යුත්තේ එය තවත් අභියෝගයක් කියාය. එසේ සිතන්නාට විපත් අඩුවෙන් ද ජයග්‍රහණ වැඩියෙන් ද ළඟාවෙයි.
දියුණු සිතක් ඇති කරගන්නට කැමැත්තා වඩාත් ඇසුරු කරන්නේ ධන සිතුවිලි පිරි පරිසරයක ඉන්නා අයයි. තමාගේ සිතට එන ඍන අදහස් පලවා හරින්නට පුරුද්ද වඩවා ගෙන යද්දී දියුණු සිතට ඇල්ම කරන්නා ඍන කතාබහ ඉක්මණින් හඳුනාගෙන එයින් පලා යයි.
අපි සොයා යන්නේ මොනවා ද? අප වෙත ලැබෙන්නේ අපි සොයා යන දෑය. දියුණු සිත සොයා යන ගමනේ දී ඍන කතා බහෙන් ඈත් වෙමු. ධන සිතුවිලි වලින් සිත පුරවා ගනිමු. මෙය නිතර නිතර මතක් කර ගනිමු. එසේ නොකරන අයගේ ආශ්‍රය දුරස් කරමු.
මෙසේ නොකර ඕනෑම ආකාරයකින් නිෂ්ඨාව ඉෂ්ට කරගන්නට උත්සාහය ගන්නාට පැහැදිලි මෙන්ම අපැහැදිලි ප්‍රතිඵල ද ලැබීම වළක්වා ගත නොහැකිය. පැතුම් ඉටුවුනත් ශාරීරික ආබාධ මතුවිය හැකිය.
මොළයේ ඇතිවන සන්ධිතා ප්‍රමාණය හා එය සිද්ධවන ආකාරය එක් එක් පුද්ගලයා අනුව විශේෂ වූවකි. අළුත් තොරතුරු ඉදිරියේ ඒවා බාරගන්නා එක් එක් අවස්ථාවේ දී අප සිතන්නේ කෙසේද ඒ ඒ අවස්ථාවට අනුව සන්ධිතාවයන් ගොඩ නැඟේ. නිරෝගී සිත හැකිතරම් ඔබව කරදරයෙන් බේරාගෙන යහපත සඳහා මෙහෙයවයි. ඊට සවන් දීම හෝ නොදීමට ඔබට නිදහස ඇත.
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: එක සිතුවිල්ලක් මොළය වෙනස් කරයි http://bit.ly/cNgbDc […]
නියමයි!!!!!!!!!!!!!!! මම හිතන්නෙ ඔයා සහෝදරියෙක්…. කොහොම උනත් ලිපිය නම් කියල වෑඩක් නෑ… එකයි comment එකක් දාන්නම හිතුනෙ. නියම අදහස් ටික……
කසුන්, දාපු ඕපපාතික (spontaneous) ප්‍රතිචාරය සතුටින් හා ස්තූතියෙන් බාරගන්නම්.
ඍනාත්මක සිතුවිලිවලින් ඈත් වී ධනාත්මක සිතුවිලිවලින් සිත පුරවාගැනීම කළයුතුබවට එකඟයි.
මට ඇති ප්‍රශ්නයක් තමා යම් දෙයක් කරන්නට පෙර එහි වාසි-අවාසි විමසා බලද්දී අවාසි වැඩිපුර පෙනීම ඍනාත්මකද? යන්න.
නදී, අවාසි වැඩියෙන් පෙනෙන්නට හේතුව ඊට වැඩි හුරුවක් වඩා තිබීමයි. එසේම කරන්නට හිත ඇදීයන කාර්යයන්හි අවාසි වැඩියෙන් තිබෙන්නට ද පුළුවන. අවාසි පෙනෙන කල වැඩක් පටන් නොගෙනම අත්හැර දැමීමට එයම නිදහසට කාරණයක් ලෙසින් ද භාවිතා කළ හැකිය. කොළයක් අරගෙන අළුත් කාර්යයක් පටන් ගන්නට පෙර වාසි අවාසි ලියන්න. අවාසි දහයක් පෙනෙද්දී වාසි දහයක් ද සොයා ලියන්නට වෑයමක් ගන්න. මෙසේ උත්සාහයක් ගන්නා කල වාසි වැඩියෙන් පෙනෙන්නට පටන් ගනී. නමුත් එවිටත් අවාසිම පෙනේ නම් ඒ කටයුත්ත අත්හැර දැමීම සුදුසුය. දිනපතාම වාසිදායක දෙයක් කිරීමට හොයාගන්න. නොසොයාම වාසිදායක දෙයක් කරන්නට හිත යොමුවන කල වාසිදායක වූ දේවල් දෙකක් සොයා ගන්න. මෙසේ ක්‍රමයෙන් සොයන දේ වැඩි කරද්දී ලැබෙන දේ ද වැඩි වෙයි. අවාසි වැඩිපුර පෙනීම ඍනාත්මකයි. ස්වභාවයෙන්ම ඍනාත්මක හැදියාවෙන් යුතු වූ අය ධනාත්මක හැදියාවකට හුරු කර ගැනීම ලෙහෙසු පහසු නොවූවත් පුද්ගලයාගේ උවමනාව අනුව එය ඉෂ්ට වෙයි. මුල දී අසීරු වුවත් කාලයාගේ ඇවෑමෙන් ධනාත්මක බව ද හුරුවක් බවට පත්වේ. එවිට ඍනාත්මක වූ අවාසිදායක දේට හිත යොමුවීම වෙනුවට වාසි දෙයට පමණක් හිත ඇදී යාම පටන් ගනී.
වැඩේ අවාසි පෙනුනත් ඒ වැඩේ කරන්න හිතාගත්තොත්, අවාසි පෙනෙන එකත් උදව්වක් වෙනවා නේද ඒ වැඩේ හරියට කරන්න. (අවාසි පෙනුනම ඒක නොකර අතාරින එකනම් ඍනාත්මකයි!)
SWOT analysis එකකදි හරියට weaknesses & threats දැනගෙන ඉන්න එපායැ හරි පාරෙ යන්න.
නදී, හරියටම හරි.
අැත්තටම හොද ලිපියක්
i can not type sinhala this is fantastic artical i shared it with my wife i am working Maldives
mahesh,
ආයුබෝවන්! ඔබටත් ඔබේ බිරින්ඳෑටත්. කියවන්නට එනවාට බොහොම ස්තූතියි මහේෂ්.
ලංකාවට ගිය දවසක සුමනදාස සමරසිංහ ලියපු ‘මිනිස් හිතේ හාස්කම්’ නැමති පොත් පෙළේ අංක 1 -10 දක්වා කියවන්න තවත් මනස ගැන දැනගන්නට කැමති නම්. පසුකාලීනව ඔහු ලියූ පොත්වල වැදගත් බවට වඩා මුලින් ලියූ පොත් වැදගත්කමින් වැඩියි.
miss aruni thank you this post.. samarasighha sir gee poth wala megana godak pahadili karala thiyenawaa. mama chana windanaya gana manase nowenas wana nithi ( mind law ) gana thawa oba thumiyage lipi walin danaganimata kamathi thank you ..
DISHAN,
කියවන්න ආවාට ස්තූතියි. ධනාත්මක චින්තනයට අවුල් වූ අදහස් බොහොමයක් රිංගලා. ඒකට කේන්ස් හිටන් රිංග ගෙන!!! ළඟක දී දවසක ධනාත්මක චින්තනය ගැනත් ලියන්න අදහස් කරනවා.
ඇත්තටම මේ ලිපි වලින් දුකින් පීඩාවට පත් වෙලා ජීවිතේ අතරමග නතර වෙලා ඉන්න ජීවිත වලට අලුත් බලාපොරොත්තුවක්. ස්තූතියි…