අරුණි ශපීරෝ‍ වෙතින්

මොනාකෝහි යුරොපියන් ග්‍රාන්ඩ් ප්‍රී

Posted in Uncategorized by arunishapiro on මැයි 16, 2010

ලස්සන පුද්ගලයෝ හා ගැවසෙන්නට ප්‍රිය කළ අයෙක් යයි සැලකෙන්නේ මහා දාර්ශනික ප්ලේටෝවය. ලස්සන පිටතින් මෙන්ම ඇතුලතින් ද තිබෙන ස්වභාවයකි. පිටත ලස්සන හැමටම දැකිය හැකිසේම ඇතුලත ලස්සන අයගේ ද අමුතු පින් පාටක් නොහොත් සිත් ගන්නා බ්‍යාමප්‍රභාවයක් පිටට පෙනෙන්නට ඇත. ලස්සන අය හා ගැවසෙන්නට මා ද ඉතා ප්‍රියය.

අද දවසේ ලස්සනම (පිටතින් හා ඇතුලතින්) පුද්ගලයෝ රැස්ව සිටින ස්ථානයකි මොනාකෝහි ග්‍රාන්ඩ් ප්‍රී මෝටර් රේස් උළෙල. මික් ජැගර්, මයිකල් ඩග්ලස් වැනි සුප්‍රසිද්ධ අය ද මේ ලස්සන පුද්ගලයෝ අතර ගැවසෙනවා දැකගත හැකිවිය. මැලේසියාවේ ඕනෑම අයෙකුට ගුවන්ගමන් යන්නට ඉඩකඩ සැලසූ ටෝනි ෆර්නෑන්ඩේස් ද අද මේ තරඟයේ වාහන අයිතිකරුවෙකි. ඇමෙරිකාවේ පැවැත්වෙන නෑස්කාර් මෝටර් රේස් තරඟ නරඹන්නා අතරින් පැහැදිලිව වෙනස්වන යුරොපියන් ග්‍රාන්ඩ් ප්‍රී නරඹන්නා පෙනුමෙන්, ඇඳුම් පැළඳුම් වලින් මෙන්ම හැදියාවෙන් ද පියකරුය.

වාහන ද නෙත් පිනවන හැඩයෙන් යුතුය. පත ටයර් රත්ව තබන්නට නවතා ඇතිවිට ටයර්වලට ද ඇඳුම් අන්ඳවන ආකාරයත්, දිළිසෙන්නට ඔප දමා ඇති ආකාරයත් ඔවුන් වාහනයේ කාර්යක්ෂමතාවය මෙන්ම පෙනුම ගැනත් සැලකිල්ලක් දැක්වීම පෙන්නුම් කරයි.

මඟ දෙපස ඇති නිල් පැහැයෙන් වූ වතුරේ දියමන්ති සේ දිලෙන හිරු රැස් වැටුනු මුහුදත්, වතුරේ ඉහළ පහළ යන උස් වූ රුවල් ‍නංවා ඇති නැව් හා මහා සුබෝපභෝගී නෞකාවන් ද, ඒවායේ එහා මෙහා ඇවිදින රූමතියන් ද, මනා දේහයෙන් යුතු තරුණයෝ ද පරිසරය සුන්දර කරයි.

බාර් එකකට යන්නාට හමුවන්නේ බේබද්දෝය. විශ්ව විද්‍යාලයට ගොඩ වදින්නාට හමුවන්නේ උගත්කම අගය කරන පිරිසකි. වොෂිංටන් ගියවිට හමුවන්නේ ජනතාවගේ සුවසෙත සලසන නාමයෙන් මොන ආකාරයකින් හෝ බලය අයිති කරගන්නට වෙහෙසන්නෝය. ලස්සන හා (මුදලින් හා හැදියාවෙන්) ධනවත් අය හමුවන්නට නම් මොනාකෝ ග්‍රාන්ඩ් ප්‍රී බලන්නට ප්‍රංශය පැත්තට ආ යුතුය!

ක්‍රීඩා ලෝකයේ ඇති තරඟය සුහදය. ඔවුන් කෙසේ හෝ බලය අයිති කරගන්නට තැත් නොදරයි. තරඟ පිටියේ නීති වලට අනුකූලව තරඟ කරන ක්‍රීඩකයා සිය උත්සාහය, කැපවීම හා දක්ෂතාවය අනුව (ජනමතය අනුව නොව) පැහැදිලිව ජයක් අත්කර ගනී. මෙහිදී අයිස් මත රඟ දක්වන හෝ පිහිනුම් තටාකයකට පිනුම් ගහන වැනි විනිශ්චය මණ්ඩලයක ලකුණු මත ජය තීරණය කරන ක්‍රීඩා නොසැලකේ. වෙනත් අයකුගේ තීරණයක් නොව ක්‍රීඩකයෝ අතරින් පැහැදිලිවම ජය පරාජය පෙනෙන ක්‍රීඩා පමණක් නිසි තරඟය සේ සලකමි.

ලංකාවේ නුවර පැවති මෝටර් රේස් තරඟයක දී එක් තරඟකරුවෙකුගේ රේස් කාර් එක බැම්මක වැදී ඔහු ලැබූ තුවාල නිසා ඔහු මිය ගියේය. ඔහුගේ අවමංගල්‍ය උත්සවය දා මව සිය කුඩා පුතුණුවන් කිසිදා රේස් තරඟ නොකරන බවට පියා‍ගේ දේහයට අත ගසා දිව්රවා ගත්තීය. තවත් කෙනෙකුගේ අභිප්‍රායක් උපදින්නටත් පෙර සිඳ දමන ලදැයි මට සිතුණි. අපි සැමියාගේ, භාර්යාවගේ හෝ දරුවන්ගේ ක්‍රියාකලාපයන් මෙසේ පාලනය කරන්නට වැර දරන්නේ ඇයි?

තවත් ලියන්න හැකි බොහෝ දෑ ඇති වුවත් දැන් තරඟය නරඹන ලස්සන අය හා එකතු විය යුතුය. රූපවාහිනිය නරඹන ඔබට මේ ග්‍රාන්ඩ් ප්‍රී තරඟයක් නරඹන්නට අවස්ථාව ඇත්නම් මෝටර් රේස් ගැන කිසිත් නොදන්නා වුවද නරඹන්නට අයැද සිටිමි. ඔවුන් මනාව සියල්ල විස්තර කරදෙනු ඇත. මෙය ලස්සන රියැලිටි ෂෝ එකකි.

මගේ ප්‍රියතම තරඟකරුවා ලුවිස් හැමිල්ටන් දිනනු ඇතැයි බලා සිටිමි. ඒත් කවුරු දිනුවත් සතුටු වෙමි.

11 Responses

Subscribe to comments with RSS.

  1. Bimal said, on මැයි 16, 2010 at 11:46 පෙ.ව.

    හොදයි මෙ වගේ ලිපි මගේ පෝරම් එකටත් දානවද

  2. නවීන් said, on මැයි 16, 2010 at 12:07 ප.ව.

    මගෙත් ප්‍රියතම මෝටර් රථ ධාවකයින් ලුවිස් හැමිල්ටන් සහ ෆනාඩෝ අලොන්සෝ තමයි..

    ලංකාවේ තාම adventure sports වලට ළමයි යවන්න අම්මල කැමති නෑ ඒක හරිම ආත්මාරථකාමී තීරණයක්.. එත් අම්මලාගේ පැත්තෙන් බැළුවම කවුද කැමති තමන්ගේ ළමය අඩු වයසින් මැරෙනව දකින්න..

    • arunishapiro said, on මැයි 16, 2010 at 12:20 ප.ව.

      නවීන්,
      මැරෙනවයි කියන මූලික බයෙන් පටන් ගත්තොත් ඉෂ්ට වන්නේ එයයි. වතුරට බය නිසා මිනිස්සු වැඩියෙන් මැරෙන රට වතුරට බය මිනිස්සු ඉන්න ලංකාව වගේ රටවල්. ලෝකයේ මෝටර් රේස් තරඟ කරන ක්‍රීඩකයෝ සංඛ්‍යාව ගත්තම ක්‍රීඩාව නිසා මරණයට පත්වූවෝ කොතරම් අල්පයක් ද? මහා මාර්ගවල මෝටර් රථ පැදවීම නිසා පමණකින් රිය අනතුරු වලින් ලෝකයේ මිය යන රියැදුරු සංඛ්‍යාව ඉමහත්ය. නමුත් කිසිම අම්මා කෙනෙක් තමන්ගෙ දරුවාට රස්සාවට යන්න රිය පදවන්න එපා කියල බල කරන්නේ නැත්තේ එහි ඇති අවදානම නොදන්නාකම නිසා ද?!

      අද රේස් එකේ දී අවසන් වට කිහිපය තුල ඉන්දීය රේස් ඩ්‍රයිවර් අශෝක් හා වූ රිය අනතුරේ දී නිසි ලෙස වූ ආරක්ෂිත පිළිවෙත් නොවුනා නම් මරණයක් සිද්ධ වන්නට ඉඩ තිබුණ. නමුත් ආරක්ෂාවට නිසි අවධානය දෙන මිනිස්සු නිපදවා තිබූන වාහනයේ පොල්ල, රියැදුරු හෙල්මට් හා ගෙල බැඳි ආරක්ෂිත පටිය නිසා තරඟකරුවා වාහනයෙන් කිසිම උවදුරක් නැතිව බැහැලා ගියා.

      ෆර්නෑන්ඩෝ අලාන්සෝටත්, ලුවිස් හැමිල්ටන්ටත් තවත් දවසක ජය ලැබේවා!

      • නවීන් said, on මැයි 16, 2010 at 1:26 ප.ව.

        ඔයා රේස් බලන්න යනවද? ටිකට් වල ගනන් කොහොමද? මගෙත් හිතේ තියෙන ලොකු ආසවක් තමයි.. ඉතින් ග්‍රාන්ඩ් ප්‍රී එකක් බලන එක..

        ඔයා ඔහොම කියනව අපේ අම්ම මට මෝටර් සයිකල් ලයිසන් ගන්නවත් දෙන්නේ නෑ.. හික්හික්.. කාර් එකේ යද්දිත් වේග සීමා දානව.. 😀 තනියෙම යනකොට තමයි ඔය නීති නැත්තේ.. 😀

        • arunishapiro said, on මැයි 16, 2010 at 4:18 ප.ව.

          නවීන්, ඔව් මම රේස් බලන්න යනවා ඉඩක් හොයාගත්තම. මගේ පදිංචිය ඇමෙරිකාවේ. තමන්ගේ වාහනයකින් හෝ එතැනින් දෙන වාහනයක රේස් ක්‍රීඩකයෝ නොවන අයටත් රේස් යන්න හැකි ස්ථාන තියෙනවා. ඒකටත් දවසක ඉඩක් හොයාගන්න ඕන. හැබැයි මහපාරේ යනකොට නම් අම්මා කියන‍ දේ අහන්න. වේග සීමා කඩ කරන්න එපා. ග්‍රාන්ඩ් ප්‍රී ටිකට් හිතන තරම් වැඩි මුදලක් නෙමේ. මෙතැනින් ටිකට් විස්තර ගන්න. https://www.f1gpt.com/ මැලේසියන් ග්‍රාන්ඩ් ප්‍රී එකට ටිකට් එහෙ ටැක්සිකාරයෝ හිටන් විකුණනවා. ඒක තමයි ලේසියෙන්ම, අඩු මුදලින් යන්න පුළුවන් එක. ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්දි 500 රේස් එකකදි පේස් කාර් එක ඩ්‍රයිව් කලා මගේ ඇමෙරිකන් ඥාතියෙක් 1970 ගණන්වල. එයාගේ වාහනේ ගගණගාමී ජෝන් ග්ලෙන් හිටියා. ඉන්දි 500 රේස් වල අද දක්වාම අනතුරක් වුනු එකම පේස් වාහනය ඒකයි! රේස් එකට කළින් පැරේඩ් එහෙම තියනවා. එවැනි පැරේඩ් එකක දී තවත් ඇමෙරිකන් ඥාතියෙක්, හිටපු ෆුට්බෝල් ක්‍රීඩකයෙක්, පැරේඩ් එකේ පේස් කාර් එක පැදවූවා. එයාගෙ පැසෙන්ජර් ජේසන් ප්‍රීස්ලි නම් නළුවා. ජේසන් කළින්දා පාටියේ දී හොඳටම බීලා මුළු පැරේඩ් එක යනකම් ඔළුව උස්සගන්නවත් බැරුව ඉඳලා තියෙන්නෙ. රේස් දවස්වල පාටි ගොඩයි. එක එක සමාජ සේවා සංවිධානවලට මුදල් එකතු කරන්නෙ ඒ රේස් ක්‍රීඩකයෝ එක් කරගෙනයි. පළාතම සෙනඟ පිරිලා කානිවල් එකක් වගෙ!

  3. […] This post was mentioned on Twitter by Kottu. Kottu said: මොනාකෝහි යුරොපියන් ග්‍රාන්ඩ් ප්‍රී http://bit.ly/aiXKCs […]

  4. SiriBiris said, on මැයි 17, 2010 at 1:34 පෙ.ව.

    ” ලංකාවේ නුවර පැවති ….. තවත් කෙනෙකුගේ අභිප්‍රායක් උපදින්නටත් පෙර සිඳ දමන ලදැයි මට සිතුණි”

    Not fair. Who are we to judge the feeble attempt to protect her son of that grieving mother?

    • arunishapiro said, on මැයි 17, 2010 at 7:03 පෙ.ව.

      SiriBiris, මම “තීරණය” දුන්නෙ නැහැ. මට “සිතුණ” ආකාරය එයයි. කෙසේ වුවද අනුන්ගේ ක්‍රියාවන් ගැන විනිශ්චයක් (judge) කිරීම වැරදි යයි සමාජය සිතීම අද “හොඳ” යයි පිළිගන්නා උපකල්පනයකි. මමත් මවකි. එසේම මමත් ජීවත්වන්නේ ලෝක සමාජයේය. ඉතින් මවක් ලෙසත් සමාජයේ සාමාජිකාවක් ලෙසත් විනිශ්චයක් දීමේ ඇති වැරැද්ද මොකක්දැයි සිතා බැලීම වටිනාය. “බල කිරීමෙන් සහ යෝජනාවෙන් අපගේ අභිප්‍රාය දරුවාගේ අභිප්‍රාය බවට පත් කිරීම ඉතා පහසුය. නමුත් අප එසේ කළහොත් අපි දරුවාගේ අනගිතම අයිතිය උදුරාගෙන ඇත්තෙමු. දරුවා කැමති ආකාරයෙන් දරුවාගේ පෞරුෂය ගොඩනඟා ගත හැකි හැකියාව එවිට දරුවාගෙන් අප සොරකම් කර ඇත.” මෙසේ කියා ඇත්තේ මාරියා මොන්ටිසෝරි, ඉතාලි ජාතික වෛද්‍යවරිය හා මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘවරියයි. දරුවාගේ සම්පූර්ණ හැදියාව දෙමව්පියන් වෙත බාර කරන ලද වටිනා වස්තුවකි. එහි අගය වැඩි වෙන්නට ඉඩකඩ සලසනවාට වඩා වැඩිදෙනා කරන්නේ දරුවා තමාගේ යයි “අයිතියෙන්” දරුවාගේ සම්පූර්ණ හැදියාව තමනට උවමනා ආකාරයෙන් පාලනය කිරීමයි. එයින් වන්නේ නිදහස් මිනිසුන් නොව තවත් එවැනිම බෙලහීන (feeble) පුද්ගලයෝ ඇතිදැඩි කර සමාජයට එකතු කිරීමකි. ‍අනතුරුව සමහර පුද්ගලයෝ දරුවන් පමණක් නොව තමන් ඇසුරු කරන ආදරවන්තයා(තිය), සැමියා හෝ බිරිඳ පාලන‍ය කරති. සමාජ සබඳතා සාර්ථක වන්නේ පාලකයෙක් හා පීඩිතයෙක් අතර නොව සහයෝගයෙන් එකිනෙකාගේ ස්වාර්ථවාදය (individualism) අගැයීමෙනි.

  5. […] අද මේ සටහන ලියන්න පාදක වුනේ SiriBiris අහලා තිබුණ හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය හා උත්තරය මෙතැනින් බලාගන්න. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: